1200 x 80 DMirror

 
 

(මෙම ලිපිය විකල්පය කුමක්ද ලිපි මාලාව හා සම්බන්ධයි)




වීදි වල සහ සයිබර් අවකාශයේ සැරිසරන "ගෝඨා ගෙදර යනු" විරෝධතා පාඨය, පුද්ගල කේන්ද්‍රීය වූවක් පමණක් නොව එය එක් දෘෂ්ටිවාදයක සංකේතීය ප්‍රකාශනයකි.

එහි දෘෂ්ටිවාදය වන්නේ "පුරවැසියා ගෙදර යනු" යන්නයි.

සටන් පාඨයේ නිර්මාණකරුවන් සහ වාහකයන් විසින් ගෝඨා දෙසට ඇඟිල්ල දිගු කරන විට ඇඟිලි හතරක් තමා වෙත දිගු වී ඇති බව නොදැක්කා සේ සිටීම මේ මොහොතේ දක්නට ලැබෙන උත්ප්‍රාසජනක කාරණයක්.

ගෝඨා ගෙදර යනු සටන් පාඨ විසින් ප්‍රශ්න කරමින් සිටින්නේ රටේ සමස්ත ජනතාවයි. සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්ය. සමස්තය රාජ්‍ය, දේශපාලන, ආර්ථික, සමාජ ව්‍යුහයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වයයි.

 

එම  විරෝධතා පාඨය විසින් බලය - බලයේ භාවිතය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත ආයතන සහ නීති, ජනාධිපති ක්‍රමය- ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව- මන්ත්‍රීවරු, දේශපාලන පක්ෂ- පක්ෂ නායකයින් සහ සාමාජිකයින්, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සංවිධාන, ආගම්- පූජකවරු සහ අනුගාමිකයින්, අධ්‍යාපන ක්‍රමය- ගුරුවරුන් සහ සිසුන්, ජනමාධ්‍ය ආයතන- ඒවායේ හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්,  පවුල-  පවුලේ සාමාජිකයන්, වීදිය- වීදියේ සැරිසරන්නන් ආදී රටේ සමස්තය ප්‍රශ්න කරයි.

 

අර්බුදය පිළිබඳ පොදුජන කතිකාවකට වේදිකාවක්


2022 4largeimg 840129459

මේ අතර කේන්ද්‍රීය ප්‍රශ්නය විග්‍රහ කිරීමේ සහ විසඳුම් සෙවීමේ වේදිකාව සුපුරුදු පරිදිම කොළඹ කේන්ද්‍රීය ප්‍රභූන්, වෘත්තිකයන්, විශේෂඥයන්, සිවිල්  ක්‍රියාකාරීන්, දේශපාලඥයන් සහ මධ්‍යම පන්තිය විසින් අල්ලාගෙන තිබෙනවා.

රටේ  බහුතර සාමාන්‍ය ජනතාවට මේ තීරණාත්මක මොහොතේ හෝ තම හඬ නගන්නට වේදිකාවක් නැහැ. සමාජීය  මාධ්‍ය වේදිකාව අර්බුදය ගැන තොරතුරු - විනෝදායන, හැඟීම්, උත්ප්‍රාස, like/ dislike post  වේදිකාවක් විතරයි.

අර්බුදය සහ විසඳුම් ගැන ගැඹුරු කතිකාවකට සමාජීය මාධ්‍ය වේදිකා අකෘතිය පහසුකම් සලසන්නේ නැහැ.

අනිත් අතට සමාජීය මාධ්‍ය ප්‍රවේශ අවස්ථාව ජනගහනයෙන් 50% ක ට විතර සීමා වෙනවා.

 

කොළඹ කේන්ද්‍රීය ජනමාධ්‍ය ආයතන සුපුරුදු පරිදි ඒවායේ හිමිකරුවන්ගේ න්‍යාය පත්‍රයට අනුව, තෝරාගත් කථිකයින් හරහා මේ අර්බුදය නිර්වචනය කරමින් සහ නිර්දේශ ඉදිරිපත් කරමින්, උඩුගම් බලා යාමට තිබෙන මේ කදිම අවස්ථාව "අහිමි අවස්ථාවක්" බවට ඉතිහාසයට එක් කරමින් තිබෙනවා.

 

ඒ නිසා රටේ සාමාන්‍ය ජනතාවට-හඬක් නැති නිර්ප්‍රභූන්ට පවත්නා අර්බුදය විග්‍රහ කර ගැනීමට, තම දැනුම, අදහස්, අත්දැකීම් හුවමාරු කර ගැනීමට, අන්තර්  ක්‍රියාකාරීත්වයට සහ විසඳුම් සෙවීමට සෘජුවම සහභාගිවීමට ගැඹුරු කතිකාවක් සඳහා විවෘත වේදිකාවක් ගොඩනගාගැනීම විරෝධතාකරුවන්ගේ න්‍යාය පත්‍රයේ මුලින්ම තියෙන්න ඕන  කාරණයක්.


පුරවැසියා විසින් බලය ආපසු කැඳවීම


විරෝධතාකරුවන්ගේ සමස්ත සටන් පාඨයන්හි හරය වන්නේ පවත්නා ප්‍රජාතාන්ත්‍රික භාවිතාවන් මේ අර්බුදයේ නිර්මාතෘවරුන්ය යන්නයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්, ආයතන ව්‍යුහයන්, සමාජ, ආර්ථික, දේශපාලන  සැකැස්ම පදනම් වී ඇත්තේ  නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මතයි.  එහි කේන්ද්‍රීය ක්‍රියාකාරකම වන්නේ ජනතාව විසින් අවුරුදු පහකට වරක් තමන් සතු බලය තමන්ගේ නියෝජිතයකු වෙත  පැවරීමයි.

වසර පහෙන් පහට තෝරා පත් කරනු ලබන මහජන නියෝජිතයින්ට රටේ ඉරණම තීරණය කිරීමේ වගකීම් පැවරීමේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය අසාර්ථක බව මෙරට ජනයා සර්වජන ඡන්ද බලය භාවිතාකර පාලකයින් පත්කරගැනීමේ දශක නවයක අත්දැකීම් විසින් ඇස් පනාපිට ඔප්පු කර ඇත.

 

නියෝජන ක්‍රමය මෙන්ම මාරුවෙන් මාරුවට ප්‍රධාන දේශපාලන බලවේග දෙකට බලය ලබාදීම අප මුහුණ දී සිටින අර්බුදයට විසඳුමක් ලෙස තවදුරටත් කල්පනා කිරීම නිෂ්ඵල ව්‍යායාමකි. ප්‍රභූ සහ මධ්‍යම පාන්තික හෙජමොනියට සමස්ත පුරවැසි ප්‍රජාවන්ගේ ඉරණම තීරණය කිරීමට තවදුරටත් ඉඩ නොදිය යුතුය.

 

පවත්නා අර්බුදයේ ප්‍රකාශන වේදිකාව අල්ලාගෙන සිටින මාධ්‍ය ආයතන, ප්‍රභූවරුන්, දේශපාලඥයින්, ක්‍රියාධරයින්, සිවිල් ක්‍රියාධරයින්, නිලධාරීන්, වෘත්තිකයින්, සහ පූජකයින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්හි සෘජු ප්‍රතිලාභීන්ය.

පවතින ක්‍රමය විසින් ඔවුන්ට හිමි කර දී තිබෙන බලය, වරප්‍රසාද සහ සමාජ  ප්‍රාග්ධනය කුමන හෝ මිලක් ගෙවා අහිමිකර කරගන්නට සූදානම් නැති බව ඔවුන් අර්බුදයට පවත්නා ක්‍රමය තුළින් ම විසඳුම් යෝජනා කිරීමෙන් පැහැදිලි වෙනවා.

ඔවුන් විසින් ගොඩනගමින් තිබෙන හෙජමනිය ස්ථාපිත වුවහොත් වීදි විරෝධතාකරුවන්ට සහ සයිබර් විරෝධතාකරුවන්ට සිදුවන්නේ මේ මොහොත ඉතිහාසයේ "අහිමි අවස්ථාවක්" ලෙස සටහන් කරමින් ඉච්ඡාභංගත්වය සාක්කුවේ දමාගෙන හිස් අතින් ගෙදර යෑමටය. 

 

රටේ පවතින සමස්ත ආණ්ඩුකරණ ක්‍රියාවලිය සහ සම්ප්‍රදායන් මුළුමනින්ම වෙනසකට භාජනය කරන ආකෘතියක් මේ මොහොතේ අප විසින් සොයා නොගත්හොත් අද රටේ පාලනය ගැන අප තුළ පවතින විවේචනය සහ අපේක්ෂාභංගත්වය තවත් දශක ගණනාවකට හා පරම්පරා ගණනාවක්ට ඉතිරි වනු ඇත.

 

සියල්ල උඩු යටිකුරු කරන මොඩලයක් ?


 උදා වී තිබෙන මේ කදිම අවස්ථාව මෙරට ජනයාගේ උපරිම යහපත දෙසට හරවා ගැනීමට නම් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්, ආකෘතිය, සහ ආයතන  ව්‍යුහයන් ගෙන් බැහැර වූ සියල්ල උඩු යටිකුරු කරන මොඩලයක් සොයාගැනීම අවශ්‍යය. සමාජ පරිවර්තනයක් කළ හැක්කේ එවැනි මොඩලයක් තුළින් පමණි.

මේ සඳහා රටේ සමස්ත පුරවැසියාට සෘජුව සහ සක්‍රියව ආණ්ඩුකරණ ක්‍රියාවලියට සහභාගි විය හැකි සෘජු ප්‍රජාතන්ත්‍රික මොඩලය (Direct democracy/ Deliberative democracy /Discursive democracy) සලකා බැලිය හැකිය.  


සෘජු පුරවැසි සහභාගිත්වයත්වය යන්නෙන් අදහස් කරන්නේ රටේ සමස්ත- විවිධ ජන ප්‍රජාවන් මුහුණ දෙන සමාජ, දේශපාලන, ආර්ථික සහ පාරිසරික ගැටලු හඳුනා ගැනීමට, එම ගැටලු විග්‍රහකර ගැනීමට, එම ගැටලුවලට විකල්ප විසඳුම් සෙවීමට, වඩාත් ප්‍රශස්ත විසඳුම තෝරා ගැනීමට, එම තෝරා ගත් විසඳුම ක්‍රියාත්මක කිරීමට, එම විසඳුම ක්‍රියාත්මකවීම සුපරීක්ෂණයට, එම ක්‍රියාත්මක කළ විසඳුම් ප්‍රතිඵල තක්සේරු කිරීමට මෙන්ම නැවත සැකසීමටද සෘජුව සහභාගිවීමට රටේ සමස්ත පුරවැසියාට අවස්ථාව ලබාදීමයි.

 

වෙනත් වචනවලින් කියන්නේ නම් සෘජු පුරවැසි සහභාගීත්වය යනු රටේ සමස්ත ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම මහජන නියෝජිතයින්, නිලධාරීන්, සහ වෘත්තිකයන් තත්වයෙන් බැහැර ප්‍රජාව විසින් සිදු කිරීමයි. මෙහිදී රාජ්‍ය බල ව්‍යුහය සඳහා සෘජුව සක්‍රියව සහභාගිවෙමින් බලය අභ්‍යාස කිරීමට  සමස්ත පුරවැසියන්ට අවස්ථාව ලබා දෙනු ලැබේ.

 

එමගින් ප්‍රභූ, මධ්‍යම පංතිකයන්, වෘත්තිකයන්, නිලධාරීන්, සහ මහජන නියෝජිතයන් සතු බලය අභ්‍යාස කිරීමේ වරප්‍රසාදය සමස්ත පුරවැසියා අතට පත් කෙරේ. එහිදී වැටුප්, පහසුකම්, වරප්‍රසාද හිමි අත්ළොස්සක් වන මහජන නියෝජිත නිල තනතුර වෙනුවට ස්වෙච්ඡාවෙන් සේවය කරන සමස්ත පුරවැසියා ආදේශ වේ.

මෙය ස්වයං-පාලන, සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සහභාගීත්ව පාර්ලිමේන්තු මොඩලයකි. පුරවැසි සහභාගිත්ව පාර්ලිමේන්තු මොඩලයක් තුළදී ප්‍රභූ -  මධ්‍යම පන්තික හෙජමොනිය, සමස්ත පුරවැසි ප්‍රති- හෙජමොනියක් බවට පත්වෙයි.

සමකාලීන ලෝකයේ සංකීර්ණ සමාජ රටාව සහ විශාල ජනගහනය නිසා සමස්ත පුරවැසි සහභාගිත්වයත්ව ආණ්ඩු ක්‍රමයක් යනු යථාර්ථවාදී අදහසක් නොවන බවට තර්ක ඉදිරිපත් වෙයි.

වෘත්තිකයන්ට, විශේෂඥයන්ට, නිලධාරීන්ට සහ මහජන නියෝජිතයන්ට මෙන් ප්‍රතිපත්ති සම්පාදනයට සහ තීරණ ගැනීමට අවශ්‍ය දැනුම,  කුසලතා, උනන්දුව සහ කාලය රටේ සමස්ත පුරවැසියාට, නොමැත යන්න මීට විරුද්ධව ඉදිරිපත් වන තවත් තර්කයකි.

 

එහෙත් මාගේ කල්පනාව වන්නේ ඍජු පුරවැසි සහභාගිත්වය යනු හුදෙක් උතෝපියානු අදහසක් නොවන බවයි. ශ්‍රී  ලංකාව වැනි කුඩා ජනගහනයක් සිටින රටක දී නූතන සන්නිවේදන තාක්ෂණය, සමාජීය  මාධ්‍ය මෘදුකාංගවලට, නිර්මාණශීලී නවොත්පාදන ප්‍රවේශයකින් සෘජු පුරවැසි සහභාගිත්වය සඳහා පහසුකම් සැලසිය හැකිය යන්න මාගේ කල්පනාවයි. 

 

එමෙන්ම විශේෂඥ දැනුම, සහ වෘත්තිය කුසලතා හා සමානවම පුද්ගල අත්දැකීම්, ප්‍රාදේශීයත්වය, ප්‍රජා අනන්‍යතා, සංස්කෘතික විවිධත්වය වැනි කාරණා මෙන්ම කතිකා සහ  අන්තර්ක්‍රියාකාරීත්වය ද ගැටළු වටහා ගැනීමට,  වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම ප්‍රසස්ථ  විසඳුම් සඳහා බලපෑම් සහගතය යන්න මාගේ  නිරීක්ෂණයයි.

අනිත් අතට නිදහසෙන් පසු දශක හතකට වැඩි කාලයක් මෙරට සමස්ත අර්බුදයන්ට විශේෂඥයින්, වෘත්තිකයින්, නිලධාරීන් සහ මහජන නියෝජිතයින් දැනුමෙන් සහ කුසලතාවලින් ලබාදුන් විසඳුම් අසාර්ථක වී ඇත.  

දැනුම හා කුසලතා පදනම් වූ විසඳුම් වෙනුවට අත්දැකීම්, සහභාගිත්වය, සංවාදශීලීත්වය සහ අන්තර්ක්‍රියාකාරිත්වය ඔස්සේ විසඳුම් සෙවීමේ මොඩලයක් සලකා බැලිය හැකිය. එය එක්තරා අන්දමක සමාජ පරීක්ෂණයකි.

මෑත කාලයේ බොලීවියාව සහ වෙනිසියුලාව වැනි ලතින් ඇමරිකානු රටවල පුරවැසි සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සඳහා උත්සාහයන් දක්නට ලැබේ. එහිදී පුරවැසි බලය නැවත ගොඩනැගීමක් සිදුවෙමින් තිබේ. එමගින් විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදයට පිළිගැනීමක් ලබා ගැනීමට උත්සාහ කෙරේ.


ඍජු පුරවැසි සහභාගිත්ව දෙවන පාර්ලිමේන්තුව

 

000 327K26W 1

මෙය අසාමාන්‍ය මොහොතක් ලෙස සලකා අසාමාන්‍ය තීරණ ගන්නා බවට පොදු සම්මුතියකට පැමිණිය යුතුය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව  ලබාදී තිබෙන පරමාධිපත්‍ය බලය සියලුම නීති වලට ඉහලින් තිබෙන බව සලකා ක්‍රියා කළ යුතුය. ඒ අනුව එම මන්ත්‍රීවරුන්ට ලබා දුන් බලය ආපසු කැඳවීමට ද ජනතාවට බලය ලැබෙනවා.

 

එම  පරමාධිපත්‍ය බලය මත පදනම් වී මහජනතාවට පවත්නා පාර්ලිමේන්තුවට පිටතින් දෙවන පාර්ලිමේන්තුවක් පිහිටුවා ගන්න පුළුවන්. දෙවන පාර්ලිමේන්තුවේ භූමිකාව වන්නේ රටේ පුරවැසියාට රටේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගනිමින් සෘජුව ප්‍රතිපත්ති සම්පාදනයට, නීති සම්පාදනයට, ඒවා ක්‍රියාත්මක වන ආකාරය සුපරීක්ෂණය ට සක්‍රියව සහභාගිවීමට අවස්ථාව ලබාදීමයි.

දෙවන පාර්ලිමේන්තුව විසින් සම්මත කරන නීති පළවෙනි පාර්ලිමේන්තුවට යොමු කරනු ලබන අතර එහිදී ඒවා තවදුරටත් සාකච්ඡා කර, විධිමත් කර නීතිගත කරන්න පුළුවන්.

බොහෝ අය මතු කළ හැකි ප්‍රශ්නයක් වන්නේ දෙවන පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූල භාවයයි. ජනතාව විසින් දෙවන පාර්ලිමේන්තුවක් පිහිටුවීමෙන් එහි  නීත්‍යානුකූලභාවය තහවුරු වෙනවා. මේ සඳහා මුලින්ම ගන්න ඕන  පියවර කිහිපයක් තියෙනවා.


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා පහත යෝජනා පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න  පුළුවන්.



1. ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමේ සහ ජනාධිපති තනතුර අහෝසි කිරීමේ  යෝජනාව.  

2. සෘජු පුරවැසි සහභාගීත්ව දෙවන පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තුවෙන් පිටත පිහිටුවීමේ  යෝජනාවක්.

3. දෙවන පාර්ලිමේන්තුවතුවෙහි ආකෘතිය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතක්.

4. පුරවැසි සහභාගිත්වයීත්ව දෙවන පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන කැබිනට් මණ්ඩලය රටේ දෙවන කැබිනට් මණ්ඩලය වශයෙන් පිළිගන්නා බවට යෝජනාවක්.  

5. දෙවන පාර්ලිමේන්තුව විසින් තෝරාගත් කැබිනට් මණ්ඩලය විසින් මහජන උපදේශනය සඳහා යොමුකර කෙටුම්පත් කරනු ලබන දෙවන පාර්ලිමේන්තුව සම්බන්ධ ව්‍යවස්ථාව සහ වෙනත් ප්‍රතිපත්ති සහ කෙටුම්පත් වර්තමාන පාර්ලිමේන්තුව සාකච්ඡා කරන බවට යෝජනාවක්  



දෙවන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් වසර තුනකට වරක් මාරු වන/ නැවත කැඳවන  ආකාරයට / මහජනතාව අතරින් ලොතරැයි ඇදීමෙන් තෝරා ගත හැකිය.

දෙවන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනු ලබන පනත් කෙටුම්පත්, ප්‍රතිපත්ති සහ ඒ පිළිබඳ වාද විවාද සඳහා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට රටේ පුරවැසියන්ට තොරතුරු සන්නිවේදන තාක්ෂණය/ ජංගම දුරකථන/ App ඔස්සේ සහභාගිවිය හැකිය.

 

සෘජු මහජන සහභාගීත්වයෙන් යුත් දෙවන පාර්ලිමේන්තුවන්තුව නිල වශයෙන් පත් වෙනතෙක් භාරකාර අන්තර්වාර දෙවන පාර්ලිමේන්තුවක් පිහිටුවිය හැකිය. මේ සඳහා නියෝජිතයින් පත් කර ගැනීමට තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ app/ ජංගම දුරකථන භාවිතා කළ හැකිය.

 

දෙවන පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලය තෝරා ගැනීම සඳහා පහසුකම් සැලසිය හැකි වන පරිදි එක් එක් විෂය ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයින්/ ප්‍රායෝගික අත්දැකීම් සහිත පුද්ගලයින්/ වෘත්තීය අත්දැකීම් සහිත පුද්ගලයින් / ප්‍රජා නායකයින් ගේ  Profile ඇතුළත් data base ප්‍රසිද්ධ කළ හැකිය.



හඩනගන සුළුතරය සහ නිශ්ශබ්ද බහුතරය -ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.




විකල්පය කුමක්ද සංවාදය :

දියවන්නාවේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා පාර්ලිමේන්තුවක් !

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වක්‍ර කතා - රොහාන් සමරජීවට ප්‍රදීප් වීරසිංහ ගෙන් ප්‍රතිචාරයක්

සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වක්‍ර කතා - ආචාර්ය ප්‍රදීප් වීරසිංහට මහාචාර්ය රොහාන් සමරජීව ගෙන් ප්‍රතිචාරයක්
 
විකල්පය සොයා ගැනීම 'බලය' ප්‍රශ්න කිරීමෙන් පටන් ගනිමු -ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ද? - මහාචාර්ය රොහාන් සමරජීව

විකල්පය සෘජු පුරවැසි සහභාගිත්ව ආණ්ඩුවක් - ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

විකල්පය කොතනද? - ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ


Leader Whats app

 

 


 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58