ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ නරකම විදියට ජීවත් වූ මිනිසකු මරණ මංචකයේදී යළි හොඳින් ජීවත් වීමට ජීවිතය ඉල්ලනවා බඳු ක්‍රියාවකි.
ජනතාවට යළි කොළේ වසා ගැසීමේ අරමුණ පෙරදැරිව තෝරාගත් නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේදී ජනපති කීවේ වැරදි හදාගෙන ඉදිරියට යාමට සහයෝගය ඉල්ලා සිටින බවය.
වැරදි නිවැරදි කිරීම වුවමනාවෙන්ම අත්හැර ඇති බව ඔහු කිසිදාක පිළිගත්තේ නැත. අඩුපාඩු හදාගෙන ඉදිරියට යන බවක් ඔහු මීර පෙර අවස්ථා දෙක තුනකදීම ජාතිය ඇමතීමේදී කීවේය. එහෙත් ඒ කියූ පරිදි වැරදි හදාගත් බවක්ද අදවන තුරුම දක්නට නොලැබිණි.
ඔහු සිය පොහොර ප්‍රතිපත්තිය වැරදි බව කියන්නට සෑහෙන කාලයක් තැටමුවේය. හෙතෙම 18 දා කියූ කතාව ගොවීහු ගෝඨාගේ ව්‍යාජ කාබනික පොහොර විප්ලවය ඇරඹූ ගමන්ම කීහ. ඕනෑ නම් බෙල්ලෙන් අල්ලා ගොවීන් ලවා කරවා ගත හැකි යැයි කියූ පොහොර වැඩසටහන ගෝඨාභය විසින්ම වැරදි බව වටහාගන්නා විට රට බරපතළ ආහාර හිඟයකට මුහුණ පා හමාරය.
රටේ කෘෂිකර්මය සම්බන්ධ වැදගත් තීරණ ගැනීමේදී ප්‍රායෝගිකව එහි නියැලෙන පිරිස්වලට සවන් නොදුන්නේ මන්ද යන්න දැන් අප ජනපතිගෙන් විමසිය යුතුය. ඔහු වරද පිළිගන්නේ හොඳටම වැඩේ ඇනුණු පසුවය. ඩොලරය අල්ලාගෙන සිටීම, අතහැරීම, ගජමිතුරන්ට බදු සහන දීම, උසස් තනතුරුවලට හමුදා නිලධාරීන් පත්කිරීම, ජනාධිපති සමාව දීම, ඇතුළු කටයුතු බොහොමයකදී හෙතෙම උද්ධච්ච නායකයකු ලෙස ක්‍රියා කළේය.
මෙවැනි හිතුවක්කාර, අදුරදර්ශී නායකයකුට රටක් පාලනය කළ හැකිද? ඔහු තවදුරටත් ජනාධිපතිධුරයේ තබාගත යුතුද?
ජනජීවිතය මුළුමනින් සමතලා වී තිබෙන මොහොතක ඔහු සිස්ටම් චේන්ජ් එකක් කිරීමට දායක වන ලෙස නව ඇමති මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. එය කරනවා නම් ඒ සඳහා වඩා සුදුසුකම් ඇති ඇමතිවරු පෙර කැබිනට් මණ්ඩලයේ සිටියේ නැද්ද? ඒ අයට සිස්ටම් චේන්ජ් එකක් කිරීමට උපදෙස් නොදුන්නේ ඇයි.
ජොනී, මහින්දානන්ද, ලොකුගේ වැනි මෙගා ඇමතිවරුන්ට බැරි දේ බඩීලාට කළ හැකි යැයි ජනපති සිතන්නේ කවර සාධක මතද. ජනපති මේ විහිළු කරන්නේ රටේ පීඩාවට පත් මිලියන 22 ක් වන ජනතාවටය.
ගෝඨාභය යනු රටේ ජනයා විඳින නිරා දූක ගැන අබැටක තරම්වත් හැඟීමක් නැති නායකයෙකි. පාන් ගෙඩියක මිල රුපියල් 140 කි. පෙට්‍රල් ලීටරය රුපියල් 338 කි. ගෝඨාභයගේ මුග්ධ කැබිනට් ඇමැත්තකූ කීවේ සියයට පනහකින්වත් වැඩිකළ යුතු බස් ගාස්තූ ජනතාව ගැන සිතා සියයට තිස් පහකින් පමණක් වැඩි කළ බවය.
පණ යන මොහොතේ හරියට වැඩ කිරීමට යළිත් පණ නල ඉල්ලන ජනපතිට අවස්ථාවක් දීමට ජනතාව සූදානම් නැති බව දිනපතා, රටපුරා ආණ්ඩුවට එරෙහිව සිදුකැරෙන නැගිටීම් වලින් දක්නා ලැබෙයි.
එහෙත් ගෝඨාභය සහ ඔහුගේ අනුගාමිකයන් තවදුරටත් උත්සහ කරන්නේ ජනයාට ව්‍යාජ සෙනෙහසක් පාමින් උපක්රමශීලීව කාලය ගෙවීමටය.
ව්‍යාජ සෙනෙහස ඔස්සේ මහජන සටන දියවී යන අවස්ථාවක් ඔවුන් බලාපොරොත්තු වනූ ඇත. එම උපක්‍රමය ජයගැනීම සඳහා මූල්‍ය අරමුදලෙන් ලැබිය හැකි ණය සහනය ගෝඨාභය ආණ්ඩුවේ එකම පිදුරු ගස බවට මේ වන විට පත්ව තිබේ.
උපක්රමයට හසුවෙයිද ?
ජනාධිපති අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසු කීවේ ගොවියාට වහාම රසායනික පොහොර ලබා දීමට කටයුතු කරන බවය.
ගොවි ජනයාගේ අවශ්‍යතා එකිනෙකට වෙනස්ය. එම වෙනස්කම් වලට පිළිතුරු සෙවීම අපහසුය. එහෙත් මෙවර ගොවීහු එක් බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑහ. ඒ රසායනික පොහොර තහනමය.
කාබනික පොහොර ප්‍රතිපත්තිය පසුපසට ගෙන රසායනික පොහොර ලබා දී ගොවි ජනයා අතර ආණ්ඩුව ගැන ඇතිවී තිබෙන බලවත් අප්‍රසාදය සමනය කර ගැනීම ජනපතිගේ ආපසු හැරීමෙහි එකම අරමුණ බව පැහැදිලිය.
එහෙත් ඉන්ධන මිල මාස තුනක් ඇතුළත සියයට දෙසීයකටත් වැඩියෙන් ඉහළ යෑම තුළ සමස්ත ජනතාව මුහුණ දෙන පත්ල නොපෙනෙන ආර්ථික පසූබෑමට විසඳුමක් පෙනෙන තෙක් මානයක නැත. එබැවින් නාසයටත් උඩින් වතුර ගිය පසු ජනාධිපතිවරයා සිදුකරන්නට යන ගොවි ගැටලු විසඳීම ගැන දැන් කිසිසේත්ම බලාපොරොත්තු තැබිය යුතු නැත.
ඊළඟට ජනාධිපතිවරයා කීවේ අයි එම් එෆ් එකට වේලාසන ගියා නම් හොඳ බවය.
කබ්රාල් මෙන්ම බැසිල් රටේ මූල්‍ය කටයුතු හැසිරවූ ප්‍රධානීන් දෙදෙනා ලෙස කීවේ අයි එම් එෆ් යාම කිසිසේත්ම නොකළ යුතු ක්‍රියාවක් බවය. කබ්රාල්ගේ හා බැසිල්ගේ තනි ප්‍රකාශයක් ලෙස එය පිළිගත නොහැකිය. මුදල් විෂය භාර ඇමතිවරුන් කරන ප්‍රකාශ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය ලෙස පිළිගැනීමට සිදුවෙයි.
එබැවින් අයි එම් එෆ් විරෝධයට තමන් සම්බන්ධ නැතැයි දැන් ජනපතිට ඇඟ බේරා ගත නොහැකි ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන සෑම ඩොලරයක්ම වියදම් කිරීම පිළිබඳ වාර්තාවක් ඔවුන් බලාපොරොත්තු වෙයි. මෙම විපරම පිළිබඳව ලංකාව වැනි රටවල පාලකයින් නොරිසිය. මෙම විපරම නිසා අවිධිමත්ව හා වංචාකාරීව එම මුදල් පරිහරණය කළ නොහැකි බැවිනි. අයි එම් එෆ් විරෝධයට හේතුව මෙම අත්තනෝමතිකත්වය නොවේ යැයි ජනපතිට කිව හැකිද?
පොහොර ප්රශ්නය සේම ක්‍රියාවලිය සපුරා වැරදුණු පසු අයි එම් එෆ් කලින් ගියා නම් හොඳ බව ජනපති කියයි.
රනිල් වික්‍රමසිංහ අයි එම් එෆ් යා යුතු බව අවධාරණය කර තිබුණේ සෑහෙන කලකට උඩදීය. එවිට එම ප්‍රකාශය කබ්රාල්ලාගේ අවඥාවට ලක් විය.
ව්‍යවස්ථාව වෙනස් කිරීමට සහාය දෙන බව ...
ජනපති ඊළඟට කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට සහාය දෙන බවය. ඒ,20 න් ලබාගත් අධික බලතල වෙනස් කිරීම උදෙසාය.
කරුණුමය වශයෙන් ලොකු විරෝධයක් රටෙහි මතුවෙද්දී ගෝඨාභය විස්ස ගෙනාවේ හිතුවක්කාරීවය. පාර්ලිමේන්තුව තුළ අන්තේවාසික මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක් සිටි නිසා එය සම්මත කර ගත හැකි විය. එහෙත් කුඩාවට හෝ ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් හඬක් නැගුණි. ඔවුන් කීවේ කුමක්ද යන්න ගැන ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව මුළුමනින් නොසලකා හළේය.
එසේ කොට දැන් ජනාධිපති සුදුළුණු පොඩි කරන්නට එන්නේ ඇයි. ඔහු එසේ කරන්නේ සියල්ල වැරදී ගිය පසුව බව ජනතාව අවබෝධ කොටගත යුතුය. එමෙන්ම චෞර රැළකට කළ හැකි ක්රමයේ වෙනසක් නැති බව ද අවධාරණය කළ යුතු වෙයි.
මහජන උද්ඝෝෂණ තුළ වැඩිපුරම ඇසෙන්නේ ආණ්ඩුවට එරෙහි දූෂණ චෝදනාය. වැඩිපුරම දූෂණ චෝදනා නැගෙන්නේ රාජපක්ෂ පවුලට එරෙහිව ය. ජනාධිපති අන් කිසිවක් නැතත් ඒ ගැන හෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුය. ගෝඨාභය මහතා අවංකව කතා නොකරන බව එසේ නොකිරීමෙන් ගම්‍යමාන වෙයි.
ගෝ හෝම් උද්ඝෝෂණ

'ගෝ හෝම් ගෝඨා' කියන උද්ඝෝෂකයන් දරන බරපතළ අදහසක් වන්නේ ඔවුන්, සියලු පක්ෂ ප්‍රතික්ෂේප කිරීමය. එවැනි අයිතියක් ඔවුන්ට තිබිය යුතුය.
ලංකාවේ දේශපාලන පක්ෂ පිළිබඳ කලකිරීමක් අති බහුතරයකට තිබේ. ගෝ හෝම් ගෝඨා කියන එක් කොටසක්, සපුරා පක්ෂ ප්‍රතික්ෂේප කරන විට තව කොටසක් පක්ෂය යනු ජනතාව එක්රැස් කරන මූලස්ථානය බව විශ්වාස කරති.
එහෙත් එම දෙවැනි පිරිස තුළ, පවතින දේශපාලන පක්ෂ පිළිබඳ විශ්වාසයක්ද නැත.
දැනට ගෝඨාගෝගම මෙම දීර්ඝ උද්ඝෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ තීරණ ගන්නා ලේකම් කාර්යාලයක් ස්ථාපිත ව තිබෙයි. එය කේන්ද්‍ර කරගෙන නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹීම පිළිබඳ පුළුල් කතිකාවතක් ආරම්භ කළ හැකිය.
එම සාකච්ඡාව උගතුන් බුද්ධිමතුන් සමග විවිධ තලවල විවිධ පරිමාණයෙන් කළ හැකිය. විදෙස්ගත ලාංකික උගතුන් සමග මාර්ගගත ක්‍රමයට එම සංවාදයෙ හි නිරත විය හැකිය. උගතුන්ට බුද්ධිමතුන්ට ඒ සඳහා එක්වන ලෙස ආරාධනා කරන වැඩපිළිවෙළක් දැන් ආරම්භ විය යුතුය.
ගෝඨාගෝගම ලේකම් කාර්යාලය මෙම අනාගතවාදී වැඩසටහනෙහි කේන්ද්‍රය කරගත හැකිය. මෙවැනි ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වහා ක්‍රියාමාර්ග ගත යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් ඉවත් කරන වැඩසටහනෙන් පසු ජන අරගලය අරාජික නොවනු පිණිසය. ඊට නිසි ඉලක්කය ලබාදෙනු පිණිසය.
මෙම වැඩ පිළිවෙළ ඔස්සේ ඉක්මනින්ම සිදුවන බලහුවමාරුවක් සඳහා ජන බලය මගින් තවදුරටත් වැටලීම දැඩිකොට ගෝඨාභය සහ ඔහුගේ කල්ලිය පාලනයෙන් පන්නා දමන තැනට අරගලය මුවහත් කළ යුතුය. එසේ නොකරන තාක් ගෝඨාභය තවදුරටත් වැරදි හදා ගැනීමට කාලය ඉල්ලමින් කල්මරනු ඇත.
ගෝඨාභයගේ ගමන නැවැත්විය හැක්කේ මුළු රටම එක විට පාරට බැසීමෙනි. රඹුක්කන දී උද්ඝෝෂකයෙක් මියගියත් ඔවුහු එහිදී එක් වැදගත් තීරණයක් ගත්හ. එය නම් මේ තරම් ඉහළ මිලකට තෙල් එපා කීමය.
ඉන්ධන ලීටරය රුපියල් පන්සියයකට නොව දහසකට නැංවුවත් කෙසේ හෝ පාරිභෝජනය කරන මට්ටමක ජනයා නො සිටී ද? එසේ කරන්නට සිදු වී තිබේ. එහෙත් එය රට පුරා ජනයාට ප්‍රතික්ෂේප කළ හැකි නම් ගෝඨාභයට සහ ආණ්ඩුවට කවර මට්ටමේ බලපෑමක් කළ හැකි ද?

රාවය හිටපු කර්තෘ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.