1200 x 80 DMirror

 
 

ධම්මික පෙරේරා කියන විදියට ධන  කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? (2 කොටස) - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

මගෙන් දැන් ප්‍රශ්ණයක් ඇහුවා ව්‍යාපාරිකයකුට රටක නායකත්වය ලබා රටක් දියුණු කල හැකිද කියලා. ඉතිහාසය විෂය හා දේශපාලන ඉතිහාසය මා තරමක් ගැඹුරින් හදාරලා තියෙනවා. වසර සිය දහස් ගණනක් පමණක් නෙවෙයි, ඊයේ දිනයත් අයිතිවන්නේ ඉතිහාසයටයි.

අද වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටිලා. මෙතෙක් කල් ලංකාවේ සිංහලයන් ජීවත් වුනේ ඉතාම ආඩම්බරකාර ජාතියක් ලෙස. ලෝකයේ හොඳම භාෂාව කතා කරන, සම්පත් සහිත ධන නිධානයක් උඩ නිදාගෙන ඉන්න, ලෝකයේ හොඳම භූගෝලීය පිහිටීමේ තිබෙන ගුරුත්වාකර්ෂණය අඩුම තැන ජිවත්වන, හොඳම ජාතිය සිටින ලෝකයේ තවත් මෙවැනි රටක් නැතයි යන මතයෙන් ඔළුව උදුම්මාගත් විශාල පිරිසක් ජීවත් වෙන රටක් මේක.

 
තම රටට ආදරය කිරීම හොඳ වුනත් අපේ මතය ජාතික උද්දච්ච කමකට කිට්ටුයි. මේ සිහිනය බිඳ වැටී ලොවින් යදින තත්වයක් ඇතිවෙලා තියෙන මෙවැනි යුගයක පොස්පේට්, ඉල්මනයිට්, ඛනිජ තෙල් නිධි වැනි භූගත නිධාන ගැන, යල් පැනගිය ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගැන, ඌව පළාතේ මීපැණි, පැණි වරකා විකිණීම වැනි අමුතු  සිහින වලින් රට ගොඩගැනීමේ මතයක් දැන් ඉදිරියට එනවා.





අලුත් සංකල්ප අරගෙන ඉදිරියට අරගෙන යන්න සුදානම් වන අය...

තව පැත්තකින් ඉන්නවා ලෝකයත් එක්ක එකතු වෙලා අලුත් සංකල්ප අරගෙන ඉදිරියට අරගෙන යන්න සුදානම් වන අය.

විශේෂයෙන්ම රටක් වැටිච්ච වෙලාවක හමුදා ආණ්ඩුවක් හොඳයි, නොදන්නම මිනිහෙක් පත් කරන එක හොදයි, දන්න කට්ටිය ඔක්කොම හොරු, බොරුකාරයෝ, කපටියෝ කියල මතයන් ඇති වෙනවා.

මිනිසුන් මේ වෙලාවේ හිතනවා සමහර විට දක්ෂ ව්‍යාපාරිකයෙකුට රට භාර දුන්නොත් හදයි කියලා.

 
මාගේ අධ්‍යයනයන්ට වලට අනුව ලෝකයේ කිසිම රටක ව්‍යාපාරිකයෙක් නායකත්වය අරගෙන රටක තිබෙන අර්බුද විසඳල රටවල් ගොඩනඟල නැහැ. සමහර විට මට ලෝක ඉතිහාසයේ හමුනොවුන තැන් තිබෙන්න පුළුවන්. එහෙම තැනක් මට පෙන්වල දුන්නොත් මා මගේ මතය වෙනස් කරගන්නම්. අනෙක් අතින්  ව්‍යවසායකයින් අසාර්ථක රාජ්‍ය නායකයින් බවට ලෝක ඉතිහාසයේ උදාහරණ රාශියක් තිබෙනවා.

 


ලෝක දේශපාලනයෙන් පාඩම්


hghghඩොනල්ඩ් ට්‍රම්ප් - සිල්වියෝ බෙරුස්ලානි - මිගෙල් සෙබෙස්ටියන් - සාඩ් අල් හදීඩ් - තක්සින් සිනමාත්රා


මෑත කාලයේ එවැනි ප්‍රසිද්ධම චරිතය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පුද්ගලයා. ඔහු ඇමරිකාවේ ඉන්න ධන කුවේරයෙක්. පාරම්පරිකව හිමිව තිබු ධනය ඔහු ව්‍යාපාරවලින් වැඩිකරගෙන විශාල ධනවතෙක් වෙලා ඇමරිකාව හදනව කියලා රට භාරගත්තා.

ඔහු තරම් විකටයෙක් ඇමරිකා ඉතිහාසයේ ජනාධිපති වෙලා නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමරිකාවට සිදු වුදේ පිළිබදව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඇමෙරිකාවේ මෑත කාලයේ පළමු වතාව ජයග්‍රහණය කරල දෙවැනි වතාවට ජයග්‍රහණය කරගන්න නොහැකි වු ජනාධිපති කෙනකු හැටියට එතුමා ඉතිහාසගත වුනා.

 ඉතාලියේ සිටියා සිල්වියෝ බෙරුස්ලානි කියල අගමැතිවරයෙක්. ඔහුත් ඉතාලියේ මාධ්‍ය විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන හිටපු ධන කුවේරයෙක්. ඔහුත් ඉතාලිය හදනව කියල ඇවිල්ලා බලයෙන් පහවුණා පමණක් නොවෙයි, ලිංගික අපචාර හා ලිංගික විෂමාචාර චෝදනාවන්ට ලක් වෙලා දැන් ඔහු දේශපාලන පරිහානියට ලක්වෙලා තිබෙන්නේ.

 තුන්වන උදාහරණය හැටියට මට කියන්න පුළුවන් චිලී රටේ මිගෙල් සෙබෙස්ටියන් ව්‍යාපාරිකයා. මෙම ව්‍යාපාරිකයා පළමු වතාවේ ඡන්දයකින් දිනල ඇවිල්ලා පසුව ඡන්දයෙන් පැරදුනා. දෙවැනි වතාවට ඇවිල්ලා දැන් ඉතාම නරක විදිහට රට හසුරුවන නිසා ජනාධිපති ක්‍රමයම නැති කිරීමට ඒ රටේ උද්ඝෝෂණ ඇති වෙලා තිබෙනවා.

ලෙබනන්වල හිටිය සාඩ් අල් හදීඩ් ව්‍යාපාරිකයා ධන කුවේරයෙක්. ලෙබනනයේ අගමැති ධුරයට පත්වුණු ඔහුත් මුදල් අපහරණ චෝදනාවන්ට ලක්වෙලා බලයෙන් පහකලා. අවසාන වශයෙන් බෝම්බයකින් මියගියා.

තක්සින් සිනමාත්රා කියන තායිලන්ත ජාතික අගමැති  ධනකුවේරයා අතිශය ජනප්‍රියවී බලයට පත්වුවා. ඔහු පාරවල් හදනවා වගේ ඇස් බැන්දුම් දේවල් සිදු කලා. අවසානයේදී විශාල වශයෙන් මුදල් අපහරණය  චෝදනාවට ලක්වෙලා, ජනතා උද්ඝෝෂණ වලට ලක්වෙලා  හමුදා කුමන්ත්‍රණයක් මගින් ඔහුව බලයෙන් පහකලා.

 
 
මේ සියලු දෙනාම දක්ෂ වෙළෙන්දන්. නිෂ්පාදකයින් සහ වෙළෙන්දන් කියන්නේ කොටස් දෙකක්. රටක ඉදිරි පෙළ ධනවතුන් නිෂ්පාදකයින් නම් ඒ රටට ඉදිරියට යන්න පුලුවන්. ලෝකයේ රටවල්වල නිෂ්පාදකයා තමයි ඉදිරියෙන් ඉන්නේ.




චීනය ගැන කතා කලොත් චීනයේ විශාලම නිෂ්පාදකයා තමයි චීන රජය. චින රජයේ සමාගම් වලින් තමයි විශාලම ආයෝජනය කරන්නේ.

ඉන්දියාවේ ඉහලම ධන කුවේරයයන්වන බිර්ලා, අදානි, ටාටා වැනි අය නිෂ්පාදකයන්.  

රටක් විදිහට අපට නිෂ්පාදකයන් ඉදිරියෙන් නැහැ. රටක් දියුණු  කරන්න නම් නිෂ්පාදකයින් ඉදිරියට පැමිණිය යුතුයි, ව්‍යවසායකයින්ට වඩා.

නමුත් රටක ඉන්න ප්‍රධාන පෙලේ ධනවතුන්, වෙළෙන්දන් නම් ඒ රට විශාල අමාරුවක වැටිලා. නිෂ්පාදනයට මුල් තැන දීලා නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියක් නැත්නම් කොහොමද විදේශීය ආදායමක් එන්නේ.  ලංකාවට අද වෙලා තියෙන්නේ ඒකයි.

 
 
නිෂ්පාදකයන් සහ වෙළෙන්දන්  ලෝකය දිහා බලන විදිහ දෙවිදියක්. වෙළෙන්දන් බොහෝවිට උත්සාහ කරන්නේ කෙටි ක්‍රමයකින් ඉක්මනින් මුදල් උපයන්න. මේ අය දේශපාලනයට ආවහම ඒ අය ක්‍රියා මාර්ග ගන්නේ ඉතාමත් ඉක්මනින් මුදල් උපයන ක්‍රමවලට. කෙටිකලකින් ප්‍රතිපල දෙන ක්‍රමවලට.




ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇසින් බැලුවිට මැක්සිකානු නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නයට විසඳුම මැක්සිකෝවයි ඇමරිකාවයි වෙන්කරලා තාප්පයක් හදන එක. ඒක තාප්පයකින් විසඳන්න බැහැ කියලා ඒ අයට තේරෙන්නේ නැහැ. මේක අපිට විහිළුවක් වුනාට රාජ්‍ය නායකයන් වුනු බොහෝ ව්‍යාපාරිකයන් මෙහෙම වැඩ තමයි කරන්නේ.




අධ්‍යාපනය විකුණා ධනය ඉපයීම

fhgdfh

ධම්මික පෙරේරා මැතිතුමාගේ ඩී. පී. එඩියුකේෂන් ක්‍රමයත් මේ වගේ. ව්‍යාපාරිකයින් යම් කිසි ධනයක් ඉපැයුවට පස්සේ ඒ ධනයෙන් සමාජ සේවයක් කිරීම ස්වභාවික තත්ත්වයක්. එවැනි දේවල් නොකරන පිරිසකුත් ඉන්නවා. එවැනි ආකාරයේ සේවයක් කරන ධම්මික පෙරේරා මහත්තයාට අපේ ස්තූතිය පලකරන්න අවශ්‍යයි.

ඩී.පී. එඩියුකේෂන් එක පිළිබදව මිනිස්සු කියනවා හොඳ වැඩක්, බොහොම පිං, හොඳ දෙයක් නොමිලේ දෙනවනම් මොකද කියලා. එමගින් සමාජයේ යම් කිසි අවශ්‍යතාවයක් සම්පූර්ණ වුනා. ලංකාවේ අධ්‍යාපනික විෂමතාවයන් තිබෙනවා විවිධ පාසැල්වල උගන්වන ක්‍රම සහ අවශ්‍ය ගුරුවරුන්ගේ හිඟ බව වගේ ගැටලු නිසා.

මේවා යම් ආකාරයකට විසඳීමක් සිදුවෙනවා  මේ ඩීපී එඩියුකේෂන් මෙම ක්‍රමය තුලින්. එනමුත් මෙම ක්‍රමය මගින් ඇතිකරන ප්‍රශ්න ගැන සම්බන්ධව කවුරුවත් හිතන්නේ නැහැ. ශාස්ත්‍රීය දැනුම, එනම් පතපොතේ දැනුම ලබා දීම තමයි ඩී.පී. එඩුයුකේෂන් එක මගින් සිදුවෙන්නේ.

අධ්‍යාපනය කියන්නේ දැනුම ලබාදීම පමණක් නොවෙයි. ශාරීරික ක්‍රියාකාරකම් තුලින් ලබා ගන්නා අධ්‍යාපනයක් තිබෙනවා. පාසැලට ගිහිල්ලා අනික් ළමයින් ආශ්‍රය කරල ලබා ගන්නා සාමාජීය අධ්‍යාපනයක් තිබෙනවා. සෞන්ධර්ය විෂයන් වල නිරත වෙලා ගහකොල වටපිටාව ඒවා දිහා බලා ඉඳීම තුලින් සහ ලබා ගන්නා අධ්‍යාපනයක් තිබෙනවා. අධ්‍යාත්මික සංවරය පැත්තෙන් පාසැල ආශ්‍රිතව ලබා ගන්නා අධ්‍යාපනයක් තියෙනවා. මේ ආකාරයට අධ්‍යාපනයේ කොටස් පහක් තියනවා. ඒකොටස් වලින් එකක් වන ශාස්ත්‍රීය දැනුම පමණයි මේ ඩී. පී. එඩුයුකේෂන් මගින් ලබාදෙන්නේ.



දරුවන් අධ්‍යාත්මික හා සාමාජීයව ඈත් කරවීම

කොවිඩ් වගේ තත්ත්වයක් යටතේ දරුවන් නිවෙස්වලට සීමාවෙලා සිටිය කාලයේ ශාස්ත්‍රීය දැනුම ලබා දීමක් පමණයි කරන්න පුළුවන්.

පාසල් විවෘත වුණු පසු මේක වෙනස්. ශාරිරික අධ්‍යාපනය, සමාජීය අධ්‍යාපනය ගෙදර පරිගණයක් ඉදිරිපිට ලබා ගන්න බැහැ. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය දිගින් දිගටම කරනවිට ඇතිවන ගැටලුව තමයි ඉස්කෝලෙට යනවට වැඩිය හොදයි මේක කියන මතයක් ඇතිවන එක. මට මේ මතය ප්‍රකාශ කරන දෙමවුපියන් හමුවෙලා තියෙනවා.

 
 
මගේ යෝජනාව තමයි ඩී. පී. එඩුයුකේෂන් කියන මේක රජයේ නියාමනයට ලක්කරල උදේ 7 සිට සවස 3 දක්වා ළමයි පාසැලේ ගතකරන කාලය තුල මේ ඇප් එක වහල දාන්න කියන එක. අනික් කරුණ තමයි දහම් පාසැලට ඇතිවන ප්‍රශ්නය. ටියුෂන් පන්ති නතර කරල දැම්මත් දහම් පාසල තිබෙන වෙලාවේත් මේ ඇප් එක ක්‍රියාත්මක කරනවා. ඉරිද දවසේ බෞද්ධ හා අබෞද්ධ ළමයින්ට ආධ්‍යාත්මික අධ්‍යාපනය ලබන කාලයේත් මේ ඇප් එක වැසිය යුතුයි.




මේ කාලවලින් පරිබාහිරව ළමයට ඉගැන්වීමේ අවස්ථාව මේ ඇප් එකෙන් ලබා දීම ඉතාම හොඳයි. පාසැල් කාලය තුල, ළමයින් බාහිර ක්‍රියාකාරකම් සිදු කරන වෙලාවේ, දහම් අධ්‍යාපනය දෙන කාලය තුල, මේ වගේ ඇප් එකක් ක්‍රියාත්මක කිරීම තුලින් සිදුවන්නේ ඇත්ත වශයෙන් ළමයාගේ පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දිමේ හැකියාව අඩුවන එක පමණයි.

ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන ඒ කුඩා කොටසට අධ්‍යාපනය ලඝු කිරීමක් තමයි මේකෙන් සිදුවෙන්නේ.

ව්‍යාපාරිකයෙක් ලොවෙහි අනෙකුත් විෂයයන් දිහා බලන පටු දැක්ම මෙම ඇප් එකෙන් සියලු අධ්‍යාපන අවශ්‍යතාවයන් සම්පුර්ණ වෙනවා කියලා හිතන එකෙන්ම පැහැදිලි වෙනවා.  

ඊලගට ප්‍රශ්නයක් මතු වෙන්න පුලුවන් ගුරුවරුන් නැති පාසැල් වල ළමයින්ට පාසැල් කාලය තුල මෙය ඇසීමේ හැකියාව ලබා නොදිය යුතුද කියලා. ඒ පිළිබදවත් මේ ඩී. පී. එඩුයුකේෂන් වලට මුදල් වියදම් කරපු ධම්මික පෙරේරා මැතිතුමා සැලකිලිමත් වෙලා එවන් පාසැල් සොයා ගෙන ඒ පාසැල්වලට ස්මාට් ක්ලාස්රූම් ආශ්‍රයෙන් ඒ අවස්ථාව සලසා දෙන්න පුලුවන්.

 


රාජ්‍ය නිලධාරීන් වූ ව්‍යාපාරිකයින් අන්ත දූෂිතයි

මම මුලින් සදහන් කරපු රාජ්‍ය නායකයන් වූ වෙළන්දන් සියලුම දෙනාම මුදල් වංචාවන්, මුදල් අපහරණය සම්බන්ධව චෝදනාවන් වලට ලක්වුණා. මේකට හේතුව තමයි වංචාව සහ දුෂණය මේ අයගේ ජිවන දර්ශනය වීමයි.

මට හමුවෙලා තියෙන මෙවන් ව්‍යාපාරිකයන් හිතන්නේ වංචාවෙන්, දුෂණයෙන් මුදල්  සොයාගැනීමේ අවස්ථාවක් තියෙද්දී එහෙම නොකරන අය මෝඩයන් කියලා. මේ විදියට මුදල් හම්බු කරලා ධනවත් වුනාම හිතනවා තමන් අතිශයෙන්ම බුද්ධිමතුන් කියලා.

 
වෙළඳාම සහ සොරකම් කිරීම හැරුණු කොට අනෙක් ඕනෑම විෂයක් ගැන ගැඹුරින් කතාකරන විට මේ අයගේ දැනුම කොතරම් පටුද කියලා වැටහෙනවා. අතනින් මෙතනින් කාගේ හරි කටකින් වැටිච්ච දෙයක් ශබ්ද නඟා කියන්න මේ අය දන්නවා. මෙම ව්‍යවසායකයින් ජීවත් වෙන්නේ ප්‍රචාරණ ක්‍රියාවලියත් එක්ක නිසා ඒ ගැන හොඳ අවබෝධයක් තිබෙනවා මේ අයට.



ප්‍රචාරණ ක්‍රියාවලිය තුලින් තමන්ව අලෙවි කර ගැනීමේ හැකියාව, තමන්ගේ ප්‍රතිරූපය ඔසවා ගැනීමේ හැකියාව පිළිබඳව මේ අයට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ අය ප්‍රචාරණ ක්‍රියාවලිය පාවිච්චි කරල ජනතාව නොමග යැවීමේ හැකියාවත් වැඩියි.

ඒ ප්‍රතිරූපය ප්‍රචාරණය කිරිමේදි අඳින පලදින විදියට, ආශ්‍රය කරන අයට මේ අය විශාල වශයෙන් මුදල් වියදම් කරනවා.  

ප්‍රචාරණ ක්‍රියාවලිය තුලින් යම් කිසි දෙයක් උඩට ඉස්සුවට, ඒ ඉස්සීම පවත්වා ගෙන යන්න බැහැ ඒ සමග බැඳුනු, පොළොවේ ඇතිවන සංවර්ධන ක්‍රියාවලියක් නැත්නම්.

DrAjithමේ සංවර්ධන ක්‍රියාවලිය මේ ව්‍යවසායකයින්ට ඇති කිරීමට නොහැකි බවයි මම විශ්වාස කරන්නේ. “ධම්මික පෙරේරා මැතිතුමා විශාල කාලයක් ප්‍රවාහන අමාත්‍යංශයේ ස්ථීර ලේකම් හැටියටත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති හැටියටත් කටයුතු කළා කියලා කාටවත් මතක නැහැ.“ මම හිතන්නේ ඒ කාලවල කිසිම වැදගත් දෙයක් කරන්න බැරිවුණු නිසා අපිට එතුමා ඒ පදවිවල හිටියා කියලා මතක නැති බවයි.

මම දන්නේ නැහැ එතුමා නිහඬ සේවයක් කලාද කියලා. එහෙම කලානම් එතුමා තම ප්‍රචාරණ ක්‍රියාවලිය තුලින් තමන් ඒ පදවිවල සිටියදී කල සේවය අපට පැවසිය යුතුයි.    

 ලෝකයේ මෙතුවක් තිබෙන උදාහරණ අනුව ව්‍යාපාරිකයෙක් රාජ්‍ය නායකයෙක් උනොත් රටේ ජනතාව කබලෙන් ලිපට වැටීම අනිවාර්යයෙන්ම සිදුවෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔවුන්ට දේශපාලන පරිචයක් නොමැති වීම.

ඔවුන් රටක් කියන්නේ දෙස ලොකු ව්‍යාපාරයක් වගේ බලනවා වගේ. එයාල හිතන්නේ ව්‍යාපාරයක් දියුණු කරනවා වගේ රටක් දියුණු කරන්න පුලුවන් කියලා. නියෝග නිකුත් කරන ආකාරය, නියෝග පිළිපදින අයට සලකන ආකාරය, නොපිළිපදින අයට දඬුවම් දෙන ආකාරය පිලිබඳ ඔවුන්ගේ හැසිරීම අතිශයින්ම හානි කරයි.

 

(වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල්ගේ මෙහෙයවන ලද සූම් දේශනයක් ඇසුරින් සකස් කලේ නිදහස් මාධ්‍යවේදී සුජීව සෙනරත්)




සබැඳි ලිපිය :

 


 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්