බයිසිකල් පැදීම ගැන මං ගොඩක් උනන්දුයි. නගරවල වාහන කේන්ද්‍රීය සිතීම බයිසිකලය දක්වා මාරු කරන්න පුළුවන් වුනොත් අපි ජීවිතේ ගොඩක් ප්‍රශ්න
දිහා බලන විදිහ වෙනස් වෙනවා කියල මං විශ්වාස කරනවා.
ඒක දැවැන්ත මානසික පෙරලියක්.
අර්බුදයක් වෙලාවෙ දුප්පත්කමට හුරුවීම වෙනුවට පොහොසත් කලාවක් අලුතෙන් නිර්මාණය කිරීමක්. ඒක ධනාත්මක අරගලයක්.
මං ඒකට කියන්නෙ බයිසිකල් අරගලය කියල. ඒත් කොහොමද මේක කරන්නෙ?
මේ ගැන අපිට යම් අදහසක් ගන්න පුළුවන් නෙදර්ලන්තෙන්.
නෙදර්ලන්තෙ තමයි වැඩිම බයිසිකල් ප්‍රජාවක් ඉන්නෙ. බයිසිකල් පදින්න ලෝකෙ ආරක්ෂිතම රටත් නෙදර්ලන්තෙ. ඒකට හේතුව බයිසිකල් පැදීම වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන යටිතල පහසුකම් පද්ධතිය.
ශ්‍රී ලංකාවේ සිටින නෙදර්ලන්ත තානාපතිනිය ටොරින්ටන් නිල නිවසේ සිට ගමන් බිමන්..
ගොඩක් අය හිතනවා නෙදර්ලන්තෙ හැමදාම මෙහෙම බයිසිකල් මාවත් තිබුන කියල. ඒක සම්පූර්න ඇත්තක් නෙමෙයි. සමහර තැන්වල බයිසිකල් පාරවල් තිබුන. ඒත් ඒවා පටු, පදින්න අමාරු, එකිනෙකට සම්බන්ද නැති, අනතුරුදායක ඒවා.
ඇත්තටම සයිකල් වෙනුවෙන් මාවත් ගැන එහෙම කාටවත් ඕනකමක් තිබුනෙ නෑ.
දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ තත්වෙ වෙනස් වුනා.
ඕලන්දයට සල්ලි තිබුන. රට අලුතෙන් ගොඩනගන්න ඕන වුනා. මිනිස්සුන්ගෙ අතට වැඩිපුර සල්ලි ලැබුන. මේ හින්ද පාරෙ එලවන කාර් වැඩිවුනා. හැමෝම සුඛෝපබෝගි භාන්ඩ පාවිච්චි කරන්න ගත්තා. පාරවල්වල ඉඩ මදිවුනා. ගොඩනැගිලි කඩලා ඉවත් කරලා කාර් යන්න පාරවල් හැදුවා. තිබුණු කුඩා බයිසිකල් පාරවල් පවා අයින් කළා. නගර චතුරශ්‍ර කාර් පාර්ක්වලට පෙරලුනා. කෙනෙක් දවසක ගමනාගමනයේ යෙදෙන දුර ප්‍රමාණය වැඩිවුනා.
මේක එක පැත්තකින් සංවර්ධනයක් වුනත් ඒ සංවර්ධනය ආවෙ නරක ප්‍රතිපලත් එක්ක.
බයිසිකල් පදින එක හැම අවුරුද්දකම 6%බැගින් අඩුවෙමින් ගියා. අනිත් පැත්තෙන් මිනිස්සුන්ගෙ මාර්ග අනතුරු වැඩිවුනා. මරණ වැඩිවුනා. පාරවල්වල වාහනවල ගැටීමෙන් ගොඩක් මැරුනෙ පොඩි ළමයි.
මිනිස්සු පාරට බැස්සා මාර්ග ආරක්ෂාව වෙනුවෙන්. බයිසිකල් පදින අය සහ පදිකයො විදිහට එකතු වෙලා උද්ගෝෂණ කළා.
මේ අතර 1973 රටේ තෙල් අර්බුදයක් ආවා. අගමැතිවරයා කිව්වා මේ අර්බුදය ජීවිත වෙනස් කරන එකක් කියල. ජීවත් වෙන විදිහ වෙනස් කරන්නත් බලශක්තිය මත රඳාපැවතීම අඩු කරන්නත් අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා. ජීවිතයේ ගුණාත්මක තත්වය පිරිහෙන්නෙ නැතුව මේ වෙනස්කම කිරීම තමයි අභියෝගය වුනේ. බයිසිකල් පැදීම ප්‍රවර්ධනය කිරීම මේ සඳහා හොඳම ව්‍යාපෘතියක් වුනා.
කාර් නැති ඉරිදාවන් හඳුන්වා දුන්නා. මේ නිසා මිනිස්සුන්ට කාර් නැති වුනාම පාරවල් කොහොමද කියල දකින්න පුළුවන් වුනා. කාර් ඇතුල්නොවෙන නගර ඇති වෙන්න පටන් ගත්තා.
වාහන තදබදයට සහ මහමග අනතුරුවලට විරුද්දව විරෝධතා දිගටම පැවැත්වුනා. බයිසිකල් පැදීම ප්‍රවර්ධනය කරන වැඩසටහන් සහ සයිකල් චාරිකා රටේ ආරම්භ වුනා.
මේ නිසා ප්‍රවාහන ප්‍රතිපත්ති ගැන හිතන ආකාරය පවා වෙනස් වුනා. බයිසිකල් මංතීරු නිර්මාණය කරන්න රජය පෙලඹුනා. සයිකල් පැදීම 30%- 60% දක්වා වැඩිවුනා. අවශ්‍ය තත්වයන් නිර්මාණය කළාම බයිසිකල් පැදීමේ පුරුද්ද වැඩි දියුණු වුනා.
නගරවල තදබදය වැඩිවිම. රිය අනතුරු. ආර්තික සහ ඉන්ධන අර්බුදය තමයි ඕලන්දයේ බයිසිකල් සංස්කෘතියේ පිබිදීම ඇති කරන්‍න හේතු. මේ නිසා මෙතෙක් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් වාහන ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති සැකසීම පවා වෙනස් වුනා.
ළමා මරණ අඩුවුනා. කුඩා සයිකල් ලේන් සයිකල් මාවත් වුනා.(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම -Cult Chintha ෆේස්බුක් පිටුවෙන්..)