වත්මන් ලාංකීය දේශපාලනය තුළ නාට්‍යානුසාරී සිදුවීම්වල සහ කතාවල කිසිදු අඩුවක් නොමැත.

මෑත දිනෙක අයවැය විවාදය අතරතුරදී ජනතා වරමක් නොමැති ජනාධිපතිවරයා තම අභව්‍ය භූමිකාවටම සරිලන ආකාරයේ තවත් නාට්‍යානුසාරී ජවනිකාවක් රඟ දක්වා පෙන්වීය.

අයවැය විවාදය අවසන් වූ වහාම ජනවාර්ගික ගැටළුව විසඳීම සඳහා සර්ව-පාක්ෂික වැඩ පිළිවෙලක් ආරම්භ කරන්නට යෝජනා කිරීමෙන් නතර නොවූ වික්‍රමසිංහ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා දෙසට ඇඟිල්ල දිගු කරමින් නුඹලා බලය බෙදීමට විරුද්ධදැයි විමසා සිටියේය. වහාම නැගී සිටි ලක්ෂ්මන් කිරිඇල්ල, මනෝ ගනේෂන්, සුමන්තිරන් වැනි මන්ත්‍රීවරුන් බලය බෙදා හැරීමේ දේශපාලන විසඳුමකට තමන් කොතරම් කැප වී සිටින්නේදැයි දිව්රා පවසන්නට පටන් ගත්හ.

නමුත්, වඩා වැදගත් ප්‍රශ්නය පෙරළා ජනාධිපතිවරයාගෙන් විමසන්නට ඔවුනට අමතක විය. එනම්, "ඔබ අසලම වාඩි වී සිටින ඔබගේ ආණ්ඩුවේ අගමැතිවරයාගෙන් පළමුව ඔය ප්‍රශ්නය විමසන්නේ නැද්ද" යන්නයි. බලය බෙදීමට ඔබ කැමතිදැයි ජනාධිපතිවරයා ඇසිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ ඉදිරිපස ආසන දෙස බලාගෙන නොව ඔහුගේ පසුපස ආසන දෙස බලාගෙනය. සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා බලය බෙදීමේ දේශපාලන විසඳුමක් සඳහා වන ප්‍රබලතම විරෝධය නියෝජනය කරන්නේ ජනාධිපතිවරයාට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායම බව කවුරු නම් නොදනිත්ද? නමුත්, තම දිගුකාලීන ප්‍රතිවාදීන්ගේ පිළේ නායක පුටුවේ වාඩි වී තමන්ව හැර ගිය පැරණි දේශපාලන ශිෂ්‍යයින් දෙසට ඇඟිල්ල දිගු කරන්නට ලැබීමේ දුලබ 'ආතල් එක' නොවිඳ සිටිනු ඇත්තේ කවුරුන්ද?
 

 

වික්‍රමසිංහගේ නිර්-ප්‍රජාතාන්ත්‍රික ලිබරල්වාදය  

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සම්බන්ධයෙන් වඩා නාට්‍යානුසාරී වූ කොටස ගැබ් වූයේ වික්‍රමසිංහගේ කතාවේ අනෙක් අර්ධය තුළය. එක් අතකින් ඔහු 17 වන, 19 වන සහ 21 වන ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් වූ තම කැපවීම අවධාරණය කරමින් තමන් කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු වීදැයි ප්‍රශ්න කර සිටියේය. අනෙක් අතින්, ඒ හුස්මටම, ජනතා අරගලය නැවත ආරම්භ වුව හොත්, තමන් යුද හමුදාව (පොලීසිය නොවේ) යොදවන බවටත් හදිසි නීතිය පණවන බවටත් ශපථ කර සිටියේය. බැලූ බැල්මට උභතෝකෝටික වන මේ ප්‍රකාශයන් දෙක එකිනෙක ගලපා ගත හැකි උපායක් ලිබරල්වාදී දේශපාලනය සතුව තිබේ. එනම්, ජනතා අරගලය කිසියම් දුෂ්ට, බියකරු, හිංසාකාරී සහ කුමන්ත්‍රණකාරී පිරිසකගේ වැඩක් ලෙස ප්‍රති-අර්ථකථනයට ලක් කිරීමයි. පරම නපුර නියෝජනය කරන එවන් දුෂ්ට බලවේග හැඳින්වීම සඳහා වත්මන් ලිබරල් කතිකාව තුළ තිබෙන වචනය වන්නේ ත්‍රස්තවාදය යන්නයි.



වික්‍රමසිංහ ජනතා අරගලය පිටුපස සිටි පරම නපුර නියෝජනය කරන චරිතය ලෙස හඳුනාගන්නේ කුමාර් ගුණරත්නම්ය. දෘෂ්ටිවාදීව යක්ෂාරූඪ කළ ගුණරත්නම් පසුපස සිටින දුෂ්ට බලවේගය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමටත් ජනතා විරෝධතාවලට එරෙහිව හමුදාව යෙදවීමටත් මැතිවරණ කල් දැමීමටත් ශපථ කර සිටින දක්ෂිණාංශික නායකයාගේ ගැරහුමට ලක් වීමේ වරප්‍රසාදය කිසිදු පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති පෙසපට හිමි වීම එක් අරුතකින් සංකේතාත්මකය. එහි සරල පණිවිඩය වන්නේ දේශපාලනය යනු හුදෙක් සංඛ්‍යා පිළිබඳ කාරණයක් නොවේය යන්නයි.



කෙසේ වුවත්, පෙසප යනු ජනතා අරගලයේ එක් නියෝජනයක් පමණක් බව වික්‍රමසිංහ නොදන්නවා විය නොහැකිය. අරගලය සුවිසල් මහජන නැගී සිටීමක් බවට පරිවර්තනය වූයේ එය ස්වේච්ජාමය සහ නිර්පාක්ෂික ජනතා සහභාගීත්වයකින් යුක්ත වූ බැවිනි. එය නොදන්නා දේශපාලන නායකයෙක් සිටිය නොහැකිය. එසේනම්, එම මහජන නැගී සිටීම පසුපස සිටි බලවේගය ලෙසින් පෙසප නම් කිරීම වික්‍රමසිංහ හුදෙක් නොදන්නාකමට කරන දෙයක් නොවේ. ඒ වෙනුවට ඔහු කරමින් සිටින්නේ පෙසප ප්‍රධාන චරිතය බවට පත් කරමින් අරගලය පිළිබඳ කිසියම් ආඛ්‍යානයක් ගොඩ නැගීමයි. එකී ආඛ්‍යානය ඊනියා ත්‍රස්ත-විරෝධී යුද්ධය පිළිබඳ කතාන්තරය වැන්නකි.

පාලක හවුලට එවන් ආඛ්‍යානයක් වුවමනා වන්නේ හුදෙක් අරගලයේ ක්‍රියාකාරීන් වෙතට එල්ල කෙරෙන මර්දනයට යුක්ති සහගතභාවයක් ලබා ගැනීම සඳහා පමණක් නොවේ. රැඩිකල් වාමාංශික ධාරාවට පිටතින් සිටින කොටස් ඉදිරියේදී අරගලයට එක්වීමට ඇති අවකාශය වසා දැමීමටද එවැන්නක් ප්‍රයෝජනවත් වේ. නමුත්, ජූලි නමවෙනිදා මහජන නැගී සිටීමෙන් මාස හතරකටත් වඩා ඉක්ම ගොස් තිබෙන අද දවස වන විට වික්‍රමසිංහ අපේක්ෂා කරන ආකාරයේ මර්දනයේ ආඛ්‍යානයක් ගොඩ නැංවීමට දැන් හොඳටම ප්‍රමාද වැඩිය.

dfse

ජනාධිපතිවරයාගේ කතිකාමය උපායමාර්ගය සැබවින්ම ලිබරල්වාදී දේශපාලනය තුළ ඉතා පැරණි එකකි. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් නෛතික ආයතනවලට සහ ව්‍යවස්ථාවට පමණක් ලඝු කොට එම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බියකරු සතුරෙකු මවා පෙන්වීමයි. එවිට අපගේ ශිෂ්ට සම්පන්න ප්‍රජාතාන්ත්‍රික ජීවිතය අනතුරට ලක් කිරීමට එන එම සතුරාට එරෙහිව එක්වන්නැයි පොදු ආමන්ත්‍රණයක් කළ හැකිය. එම බියකරු සතුරා පරාජය කිරීමේ නාමයෙන් ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර ගැනීම පවා සාධාරණීකරණය කළ හැකිය. මේ සියල්ල කරනු ලබන්නේ සරදම්ජනක ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙනි. පොතේ කුමක් ලියැවී තිබුණද පොළොවේ 'සැබවින්ම පවතින ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය' ක්‍රියාත්මක වන්නේ මෙසේ ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදය කැප කිරීමෙනි.

මේ සඳහා කදිම නිදසුනක් සපයමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්වාධිපති බලය ඇත්තේ ජනතාව සතුව වුවද, එය ක්‍රියාත්මක කළ හැක්කේ පාර්ලිමේන්තුව මගින් පමණක් බවය. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ හැක්කේ ජනමත විචාරණය මගින් පමණක් යැයිද ඔහු එයට එකතු කළේය. එසේ නොමැතිව "පාරවල් ගානේ නටන්නට ගිය හොත් හමුදාව ඒ ගැන බලා ගත යුතුය." මේ වික්‍රමසිංහ ජනතා පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කරන ආකාරයයි.



නීති දර්ශනයේ වචනයෙන් කිව හොත්, මේ වනාහී ව්‍යවස්ථාවේ සාරය නොතකා හරිමින් එහි වගන්ති හුදෙකලාව සහ යාන්ත්‍රික ලෙස කියැවීමකි. දේශපාලන විද්‍යාවේ වචනයෙන් කිවහොත්, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට එරෙහිව යමින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයම නිර්-ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීමකි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඉදිරිපත් කරන සීමිත සහ පටු අර්ථකථනය අනුව පැහැදිලි වන්නේ මෙරට තුළ ආර්ථික ලිබරල්වාදය සහ දේශපාලන ලිබරල්වාදය අතර කිසිදු සම්බන්ධයක් මින් මත්තට අපේක්ෂා නොකළ යුතු බවය. ආර්ථික ලිබරල්වාදයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන ලිබරල්වාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් මර්දනය කිරීමේ සූදානම දැන් අන් කවරදාටත් වඩා පැහැදිලිව සහ නග්නව ප්‍රකාශයට පත් කොට තිබේ.     



වම සහ ප්‍රජාතාන්ත්‍රික අරගලය

වික්‍රමසිංහගේ උපායමාර්ගය සාර්ථක විය හැක්කේ වාමාංශික සහ ප්‍රගතිශීලී බලවේග ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයෙන් බැහැර වූවොත් පමණි. ප්‍රජාතාන්ත්‍රික පර්යායට එරෙහි පරම නපුර නියෝජනය කරන දුෂ්ටයෙකු පිළිබඳ කතා ආඛ්‍යානයට කිසියම් හෝ වලංගුතාවක් ලැබෙනු ඇත්තේද, රැඩිකල් වාමාංශය හුදෙකලා කොට මර්දනය කළ හැකි වන්නේද එවිට පමණි.



'80 දශකය පුනරාවර්තනය කිරීමට නම් ප්‍රචණ්ඩ අනෙකෙකු වුවමනා වේ. නමුත්, න්‍යායිකව සේම දේශපාලනිකවද පරිණත රැඩිකල් වාමාංශය ඒ උගුලේ නොවැටෙනු ඇති බව දැන් ඉතාම පැහැදිලිය. ඒ වෙනුවට එය තෝරාගෙන තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයම වඩා ගැඹුරු හා පුළුල් කරන මාවතකි. ඒ සඳහා පුළුල් වාම-ප්‍රජාතාන්ත්‍රික පෙරමුණක් ගොඩ නැංවීමේ මාවතකි.



ජන අරගලය නිර්-ප්‍රචණ්ඩ විය යුතු බව කිසිවෙකුත් අපට අමුතුවෙන් කියා දිය යුතු නැත. එය ජන අරගලයේ සියළුම පෙරමුණු විසින් ඕනෑවටත් වඩා හොඳින් අවබෝධ කරගෙන තිබේ. එපමණක් නොව, මර්දනයට එරෙහිව පොදු ක්‍රියාමාර්ග තෝරා ගැනීමේ නොවැම්බර් 02 ප්‍රයත්නයද දැන් තවදුරටත් ඉදිරියට රැගෙන යා යුතුව පවතී. එමගින් ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීමේ අරගලයේ දේශපාලනික, බුද්ධිමය සහ සදාචාරමය නායකත්වය වාමාංශය විසින් දිනාගත යුතුව තිබේ. ඉදිරියේ එන ආර්ථික අයිතීන් සඳහා වන අරගලයත් ප්‍රජාතාන්ත්‍රික අරගලයත් එකිනෙක සුසම්බන්ධ කළ යුතුය. එය කළ හැකිය.  

නොඑසේව, ප්‍රජාතාන්ත්‍රික අරගලය මැතිවරණ දේශපාලනයට පමණක් කොටු කිරීම වනාහී මින් ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ රනිල්ගේ 'තරඟයේ නීතීන්' අනුව ක්‍රීඩා කිරීමට එකඟ වීමකි.                

sUMITH cHAMINDAc(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්