රනිල් වික්‍රමසිංහ ලාංකීය දේශපාලන පිටිය මත පැරණි ක්‍රීඩාවක් නව ස්වරූපයකින් පෙරට ගෙනෙන්නට ප්‍රයත්න දරයි. එය ඔහු ක්‍රීඩා කරන්නට යන්නේ අමුතුම ආකාරයකිනි. මන්ද යත්, වික්‍රමසිංහ දැන් සුළුතර ජනවාර්ගික

නායකත්වයන්ටත්, ලිබරල් සිවිල් සමාජයටත්, ඉන්දු-යුරෝ-එක්සත් ජනපද අක්ෂයටත් ඉඟි කරන්නේ මෙතෙක් ඔහුගේම ප්‍රතිවාදී පිළේ සිටි ක්‍රීඩකයින් ලවා එම ප්‍රතිවාදීන්ගේම ගෝලයට පන්දුව එල්ල කරවීමේ අබූතරූපී ක්‍රීඩාවක් ඔහුට කළ හැකිය යන්නයි. මා කතා කරමින් සිටින්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගොඩ නගා ගැනීමේ නාමයෙන් වික්‍රමසිංහ විසින් ආරම්භ කරන ලද සර්ව-පාක්ෂික සාකච්ජාව ගැනයි.

ජාතික ප්‍රශ්නය යළිත් දේශපාලන සංවාදයේ කේන්ද්‍රයට ගැනීම සමග වික්‍රමසිංහව අසීරුතාවට පත් කරන්නා වූ ආර්ථික අරගලය සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා වූ සෙසු අරගල පසෙකට දැමිය හැකි යැයි ඔහු කල්පනා කරනවා විය යුතුය.

නමුත්, ඔහුගේ උපාය මාර්ගික අරමුණ එවන් කෙටිකාලීන ප්‍රතිපල ඉක්මවා යන ආකාරයේ එකක් වීමට හොඳටම ඉඩ තිබේ. මේ පිළිබඳ කිසියම් අදහසක් ගොඩ නංවා ගැනීමේදී පසුගිය දශක තුන හතර තුළදී ලාංකීය දේශපාලන බලවේගවල පෙළගැසීම් පිළිබඳ විශ්ලේෂණයක් අවශ්‍ය වේය යන්න මගේ අදහසයි.



ජාතිකවාදී වම සහ ප්‍රති-ජාතිකවාදී ලිබරල්වාදය  



1994 සිට මේ දක්වා ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ පැවති ප්‍රධානතම කඳවුරුගත වූයේ එක් පසෙකින් සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරත් අනෙක් පසින් එයට එරෙහිව ගොඩ නැගුණු ලිබරල්වාදීන්, සුළුතර ජනවාර්ගික නායකත්වයන් සහ ඇතැම් විටෙක වාමාංශයේ කොටස් ඒකාබද්ධ වූ ප්‍රති-ජාතිකවාදී කඳවුරයි. මෙම කඳවුරුගත වීම සෑම විටෙකම එකම ස්වරූපයෙන් නොවෙනස්ව පැවති බවක් මෙයින් අදහස් වන්නේ නැත. එය විකාශනය වෙමින් සහ නැවත නැවත හැඩ ගැසෙමින් පවතින්නකි.

JVP 2022.12.241

නිදසුනක් ලෙස, එක් කලෙක මහින්ද රාජපක්ෂගේ ජනවාර්ගික ජාතිකවාදයේ ප්‍රධානතම ප්‍රකාශකයෙකු ලෙසින් සිටි ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ගොඩ නැගෙමින් පවතින වාම-ලිබරල්වාදී ධාරාවක නායක භූමිකාව නිරූපණය කරයි. කෙසේ වුවත්, මෙම කඳවුරුගත වීම එයටම ආවේණික දේශපාලන උභතෝකෝටිකයන් සහිත වූවකි. විශේෂයෙන්ම වාමාංශික කණ්ඩායම් තම සුවිශේෂී දේශපාලන ආමන්ත්‍රණය සමාජයේ පොදු ආමන්ත්‍රණයක් බවට පරිවර්තනය කිරීමට දරන ප්‍රයත්නයේදී මේ කඳවුරු දෙකින් එකක් සමග සන්ධානගත වන්නට ඔවුනට බල කෙරිණ. වාමාංශික කණ්ඩායම් සිංහල බෞද්ධ ජාතිකවාදය සමග සම්මුතිගත වීමට ඉතාම දිගු ඉතිහාසයක් තිබේ.

එහිදී සුළුතර ජනවාර්ගික ප්‍රජාවන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබඳ අරගලය වමට අත්හැර දමන්නට සිදු වේ. එම කාසියේම අනෙක් පැත්ත වන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ආධිපත්‍යයික ප්‍රකාශනයන්ට එරෙහිව වමේ කොටස් ලිබරල් කඳවුර සමග සම්මුතිගත වීමේදී ආර්ථික අරගලයේ ක්ෂේත්‍රය එයට මග හැරී යාමයි.

මේ කඳවුරු දෙකම ප්‍රතික්ෂේප කොට ආර්ථික තලයේ ලිබරල් විරෝධයත් දේශපාලන තලයේ ජාතිකවාද-විරෝධයත් නඩත්තු කළ වාමාංශික කොටස් හමුවේ තිබූ අභියෝගය වූයේ විකල්ප පොදුජන ආමන්ත්‍රණයක් සඳහා උපායමාර්ගයක් ගොඩ නගා ගැනීමේ අසීරුතාවයි.

එක්කෝ සුළුතර ජනවර්ගවල අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම කැප කරන්නේද, නැතහොත් සුළුතරය සමග සිට ගනිමින් ලිබරල්වාදී කඳවුර සමග සම්මුතිගත වන්නේද? වමේ දේශපාලනය හෙජමොනිකකරණය කිරීමේදී මුහුණ දෙන්නට සිදුව තිබූ උභතෝකෝටික ප්‍රහේලිකාව වූයේ එයයි.


පාලක පන්තියේ ද්විත්ව උපායමාර්ගය  

පාලක බල-හවුල පැත්තෙන් ගත්තද මේ තෝරා ගැනීම් දෙක අතර පැවතියේ ආතති සහගත සම්බන්ධයකි. මෙය අපට නූතන ඉතාලියේ දකුණේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ග්‍රාම්ස්චි ඉදිරිපත් කළ විශ්ලේෂණය සිහියට නගයි. ඔහු පෙන්වා දුන් කාරණයක් නම්, වරෙක ඉතාලියානු පාලකයින් කාර්මික උතුරේ මධ්‍යම පන්තික කොටස් සහ කම්කරු පන්තිය සමග උපක්‍රමිකව සන්ධානගත වෙමින් දකුණේ ගොවි ප්‍රජාව මර්දනය කළ අතර, තවත් වරෙක දකුණේ ඉඩම් හිමියන් සහ රාජ්‍ය නිළධාරී තන්ත්‍රය සමග සන්ධානගත වෙමින් උතුරේ කම්කරුවන් මත මර්දනය හෙළීය.

මේ දුෂ්ට චක්‍රය බිඳ හෙළීම සඳහා කළ යුතුව තිබුණේ සමස්ත සූත්‍රය වෙනස් කිරීම බව ග්‍රාම්ස්චි පෙන්වා දුන්නේය. එනම්, උතුරේ කම්කරු පන්තිය සහ දකුණේ ගොවි ප්‍රජාව අතර ඓතිහාසික හවුලක් ගොඩ නැංවීමයි.

 

WhatsApp Image 2022 11 06 at 03.36.19
ලංකාවේ පසුගිය අරගලය මගින් විවෘත කරමින් පැවති නව දේශපාලන විය හැකියාවක් වූයේ වාමාංශික අරගලකරුවන්, සුළුතර ජනවාර්ගික නායකත්වයන් සහ දේශපාලන ලිබරල්වාදීන් අතර සුසම්බන්ධයක් නිර්මාණය කිරීමයි. ත්‍රස්ත පණතට එරෙහි උතුරෙන් ඇරඹුණු පා ගමනට පෙරටුගාමී වම එක්වීම එය සංකේතවත් කොට පෙන්වීය.

නුවන් බෝපගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී කළ කතාව තුළ 'යුදකාලීන ක්‍රෑරකම්' (wartime atrocities) යන යෙදුම භාවිත කළේය. නොවැම්බර් දෙවෙනිදා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සඳහා වූ පොදු උද්ඝෝෂණයට සජබ, දෙමළ ජාතික සන්ධානය සේම පෙරටුගාමී වමද එක් විය.

එමගින් මර්දනයට එරෙහි පොදු ක්‍රියාමාර්ග සඳහා වමේ රැඩිකල් කොටස්වල සූදානම ප්‍රදර්ශනය කෙරිණ. මීට සමගාමීව දේශපාලන ලිබරල් අයිතීන් අගයන බුද්ධිමය සහ සිවිල් සමාජ ශ්‍රේණීන් ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් පෙරටුගාමී වමට හිමි විය. සරලව, වික්‍රමසිංහ විසින් දැන් අභියෝගයට ලක් කරමින් සිටින්නේ මෙසේ ගොඩ නැගෙමින් පැවති වාම-ප්‍රජාතාන්ත්‍රික සුසම්බන්ධයයි. පෙරටුගාමී වම මර්දනය කිරීමට නම්, පළමුව එය සුළුතර ජනවාර්ගික නායකත්වයන් ඇතුළු දේශපාලන නිදහස අගයන කොටස්වලින් හුදෙකලා කළ යුතුව පවතී.


ජාතික ප්‍රශ්නය නැවත වමට මුණ ගැසීම



බලය බෙදීමේ විසඳුමකට ඔබ එකඟද යන ප්‍රශ්නය වික්‍රමසිංහ නාට්‍යානුසාරීව විමසන ලද්දේ ඔහුගේ දක්ෂිණාංශික විපක්ෂයෙනි. නමුත්, එය දේශපාලනිකව ඉතාම තීරණාත්මක ලෙස දැන් වමේ කොටස් වෙතින්ද 6661509විමසනු ලැබෙමින් පවතී. මෙහිදී ජවිපෙ සහ පෙරටුගාමී වම හමුවේ තිබෙන අභියෝගය වන්නේ ජාතික ප්‍රශ්නය මෙරට ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ සම්පූර්ණ නොවූ කොටසක් ලෙස භාරගෙන එය තම ප්‍රජාතාන්ත්‍රික අරගලයේ කේන්ද්‍රීය ඉලක්කයක් බවට පත් කර ගන්නට ඔබ දැන් සූදානම්ද යන්නයි. ඒ සඳහා රෝහණ විජේවීරගේ 'දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද' කෘතියෙන් ඉදිරිපත් කරන ලද දැක්ම ඉක්මවා යන්නට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය ඔබ සතුව තිබේද? නොඑසේනම්, ප්‍රජාතන්ත්‍රවාදයේම සෙසු මූලධර්ම මර්දනය කිරීම සඳහා එහිම එක් මූලධර්මයක් භාවිත කිරීමේ වික්‍රමසිංහ උපායමාර්ගයට ඉඩ විවර වනු ඇත.

එය පැරදවිය හැක්කේ ප්‍රජාතාන්ත්‍රික සහ ලිබරල් වටිනාකම් එකක් අනෙක් ඒවායින් වෙන් කරන්නට ඉඩ නොදෙන භාවිතයක් සහ පෙනී සිටීමක් යෝජනා කිරීම මගිනි. නිදසුනක් ලෙස, උතුරේ ජනතාවගේ සුවිශේෂී ගැටළු විසඳීම සමග දකුණේ ශිෂ්‍ය මර්දනය නතර කිරීමද, ආර්ථික අසමානත්වය අවම කිරීමද බද්ධ විය යුතු යැයි කියන්නට දෙමළ නායකත්වයන්ට යෝජනා කළ යුතුය. එවන් යෝජනාවක් කිරීමේ පූර්ව-කොන්දේසියක් වන්නේ රැඩිකල් වම පළමුව සුළුතරයේ අයිතීන් වෙනුවෙන් විවෘතව පෙනී සිටීමය.

 

 

Sumith Chminda



 

 

(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 

320723070 553561629955212 5233208659897488127 n

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image