දෙරණ’ නාලිකාවේ රාත්‍රියට ප්‍රචාරය වන ජනප්‍රිය සංගීත වැඩසටහනක් වන්නේ ‘මා නොවන මම’ යන වැඩසටහනයි.

 

කැළුම් ශ්‍රීමාල් විසින් මෙහෙය වන මෙම වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය ඔබව පැයක පමණ කාලයක් ද්‍රව-නයිට්‍රජන් භාජනයක ගිල්වා තැබීමයි. ‘මා නොවන මම’ යනු මනෝවිශ්ලේෂණ තේමාවකි.

ටර්මිනේටර් නම් ත්‍රාසජනක ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටය මාතෘකාව අතින් රැඩිකල්ය. එහිදී අපට හමුවන්නේ අතිශය රැඩිකල් සතුරෙකි. මෙම සතුරාට වෙඩි තැබූ විට කුඩා කුඩා කැබලිවලට විසිරී යන අතර ක්ෂණයකින් යළිත් එම කුඩා කුඩා අංශු ඒකාබද්ධ වෙයි. චිත්‍රපටය අවසන් වන්නේ කතාවේ වීරයා සතුරාට වෙඩි තබන මොහොත්දීම ඔහුව ද්‍රව නයිට්‍රජන් භාජනයකට වැටෙන්නට සැලැස්වීමෙනි. එවිට සතුරාගේ බිඳී යන අංශු යළි ඒකාබද්ධ වීමකට ඉඩ නොලැබෙයි. කැළුම්ගේ සංගීත වැඩසටහන තුළ පුද්ගලයෙකුගේ ඔහු හෝ ඇය නොවන කොටස් ජනප්‍රිය සංගීතය සමග මුසු වෙයි. එවිට මා නොවන මම මගින් අලුත් පුද්ගලයකු බිහි නොවෙයි. එනිසා එම වැඩසටහන හිම මෙන් සීතල අත්දැකීමකි.

මෙම වැඩසටහනට මේ මෑත දිනකදී ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක් වන උමාලි තිලකරත්න සහභාගි විය. ඇය තරමක අලුත් දෙයක් වැඩසටහන ආරම්භයේදීම ප්‍රකාශ කළාය. ඇය කීවේ තමන් තුළ තමන්ටත් වටහාගත නොහැකි ‘මා නොවන මා කෙනෙක්’ ජීවත් වන බවයි. ඒ කෙනා ජීවත් වන්නේ කෙසේද? ඒ කෙනාව හඳුනා ගන්නේ කෙසේද යන්න සඳහා ඇයට ඇති ක්‍රමවේදය බුදු දහම බවත් ඇය එඩිතර ලෙස ප්‍රකාශ කළාය.

පුද්ගලයකු තුළ ජීවත් වන, තමන්ටම එරෙහිව යන අමුත්තකු පිළිබඳ මාතෘකාව මනෝවිශ්ලේෂණ මාතෘකාවකි. තමන්ගේ ‘සත්‍යය’ තමන්ටම සම්මුඛ වීමකි. උමාලි තිලකරත්න යනු මීට වසර කිහිපයකට පෙර ජනප්‍රිය නළුවකු සමග පෙමින් වෙළී ජනප්‍රිය විවාහ උත්සවයක්, ජනප්‍රිය මාධ්‍යවල මාතෘකාවක් බවට පත් කළ කෙනෙකි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය වැනි නව ලිබරල් අවකාශයකදී (කුමාර් ගුණරත්නම්ට අනුව නව ලිබරල්වාදය යනු මිනිසා සතු සමාජීය සියල්ල වෙළෙඳපොළකරණයට ලක් වන දේශපාලන ක්‍රියාවලියකි) උමාලිට සත්‍යවාදී පෙම්වතෙක් හමුවීමට ඉඩක් නැත.



නොම්මර එකේ බඩුකාරයන්ගේ තිප්පොළක් වන ටෙලිනාටක ක්ෂේත්‍රය තුළ ඇය සත්‍ය ප්‍රේම බෘංගරාජයෙක් ෆැන්ටසිකරණය කරන්නේ මන්ද? ටෙලිනාට්‍ය නළුවකු පෙම්වතෙක් ලෙස ෆැන්ටසිකරණය කිරීම තුළ උමාලිට ‘මම නොවන මම’ හමු වී ඇත. එනම් ඇය විසින් විවාහක පෙම්වතා ලෙස තෝරා ගත් පුද්ගලයාව ඇය තෝරාගෙන නැත. ඔහුව තෝරාගෙන ඇත්තේ ‘ඇය-නොවන-ඇයයි’ එනම් ඇගේ අවිඥානයයි. උමාලි ජනප්‍රිය සංගීත වැඩසටහනක් හරහා අපට දෙන දැනුම සත්‍යවාදීය.



පුද්ගලයකුට යම් මොහොතකදී තමන්ට තමන් ගැන ඇති දැනුමක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වෙයි. උමාලි තිලකරත්න ඇයගේ කතිකාවට අනුව (කතිකාව යනු සිදුවීමට ඇති දේවල්වල අවිනිශ්චිතභාවය තහවුරු කිරීමයි. එනම් ආපතිකභාවයයි. ප්‍රේමය උමාලි සලකන්නේ සිදුවීමට ඇති දෙයක් ලෙස මිස නිශ්චිත අදහසක් ලෙස නොවේ) බුද්ධිමත් කාන්තාවකි. ඇයගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකි. ඇය ද ජපානයේ උසස් අධ්‍යාපනය හදාරා ඇත. නමුත් ගැටලුවක් ඇත. උගත් – පොහොසත් – මධ්‍යම පන්තික කාන්තාවක් සරුව පිත්තල ටෙලිනාට්‍ය නළුවෙක් සමග පෙමින් බැඳී ජනප්‍රිය ප්‍රසිද්ධ විවාහයක් කර ගත්තේ ඇයි? එය අපට මෙන්ම ඇයට ද ප්‍රහේලිකාවකි.

The Psycho

කවුරුත් දන්නා අසාර්ථක විවාහයක අතාර්කික නියුරෝසීය කඩවසම් පිරිමියෙක් වූ ඇගේ පෙම්වතා (දරුවා) මනෝවිශ්ලේෂණයට අනුව පියාගේ තහනම හඳුනා නොගත්තෙකි. ඔහු මමීගේ පුතෙකි. මවගෙන් කැඩී වෙන් නොවූ ඔහු නෝමන් බේට්සේ මෙන් (The Psycho) ජීවත් වන්නේ මවගේ සුපිරි – අහම තුළය. ඇය තුළ ජීවත් වන ‘ඇය – නොවන – ඇය’ යනු ඇගේ කපාළය තුළින් එළියට ආ අභිරහසක් නොවේ. ඇගේ ‘ඇය – නොවන – ඇය’ ඇය වෙතට එන්නේ පිටත ලෝකයෙනි. ඇයට සල්ලි තිබුණත්, සුන්දර වුවත්, මධ්‍යම – පන්තික වුවත්, ජපානයට ගියත් ඇයට මනේවිශ්ලේෂණය ගැන දැනුමක් නැත. මධ්‍යම – පන්තිකයන්ට අත්‍යාවශ්‍යම විද්‍යාවක් වන්නේ ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණයයි. නෝමන් බේට්ස් මෙන්ම උමාලි සහ විවාහ වූ ටෙලි-නාට්‍ය නළුවා බාහිරින් හරිම අහිංසක පුද්ගලයෙකි. ඔහුගේ දෑස් යට ගැඹුරක් ඇතැයි අපට ද සිතෙයි. ගැඹුර යනු අඳුරයි.

උමාලි දැන් පසුතැවිලි වන්නේ තමන්ගේ ජීවිතයේ වටිනාම සම්පත – ආදරය – නවලිබරල්වාදය තුළ ගිලී යාම ගැනය. කැටිපෙආරච්චිගේ භාෂා – කැටයම් විද්‍යාවට අනුව කිවහොත් ඇය පුද්ගලයෙකුගේ ප්‍රථම මුද්‍රාවට රැවටී ඇත. ඇගේ පෙම්වතා විනාශ වී ගිය අතීත පවුලක සාමාජිකයෙකි. විනාශ වී ගිය පවුල්වල සාමාජික සාමාජිකාවන් ජීවත් වන්නේ හෝ අනුන්ව රවටන්නේ කෙසේදැයි හොඳින් දනිති. ලිංගික සබඳතාවලින් ලබන අසීමිත තෘප්තිය මධ්‍යසාරවලින් ලැබිය හැකි යයි සිතන පුද්ගලයකු තමන්ගේ දරුවාව මවගේ ලෝකයක සිර කර දමයි. තම කුඩා කාලය පීතෘ හැඟවුම්කාරකයේ අවිනිශ්චිතභාවය තුළ ගිල්වා දැමු පුද්ගලයකු පහසුවෙන් වැඩිහිටියකු වන්නේ නැත. ජනතාවගේ මිතුරකු වන නාමල් රාජපක්ෂ ද, රනිල් වික්‍රමසිංහ මෙන්ම මවගේ පෙකණිවැලෙන් කතුරක් (හැඟවුම්කාරකය) හරහා කැපී නොආ පුද්ගලයෙකි. එසේ නම් ජනතාවගේ සතුරා කවුද?



උමාලි තිලකරත්න සද්ගුරු කැළුම් ශ්‍රීමාල් සමග සංවාද කරමින් අපට මෙවැනි පිළිතුරක් නිර්මාණය කරයි. “මා තුළ ජීවත් වී මා විනාශ කළ ‘මා – නොවන – මම’ සොයා ගැනීමේදී බුදුදහම සිතට සනීපයක්’’ අප මේ ගත කරන ජීවිතය මායාවන්ගෙන් ගහන මුළාවකි. මේ මායාවෙන් එනම් මට මා ගැනම ඇති දැනුම මා විසින්ම ප්‍රතික්ෂේප කරන්නේ ඇයිදැයි ගවේෂණය නොකර එවැන්නක් මා තුළ නැතැයි සිතා ක්‍රියා කිරීමට අවශ්‍ය දර්ශනය සමග මම අනන්‍ය වෙමි. මේ උමාලි තිලකරත්නගේ සහ තවත් බහුතර මධ්‍යම – පන්තික ස්ත්‍රීන්ගේ ජීවන දර්ශනයයි.



නමුත් ගැටලුව වන්නේ උමාලි තිලකරත්න මෙම ජනප්‍රිය ටෙලිනාට්‍ය චක්‍රයෙන් ඉවත් වුවත් එම චක්‍රය දිගින් දිගටම කැරකි කැරකී තිබීමයි. ඉන් අදහස් වන්නේ ‘මම විමුක්තිය ලැබුවත්’ ඉතිරි අයව මුලා කිරීමට තරම් විෂම චක්‍රය ප්‍රබල බවයි. උමාලි තම ගොදුරු ස්වභාවයෙන් ගැලවී ඉතිරි වුවත් ඒ තැනට දැන් වෙනත් ස්ත්‍රියක් ආදේශ වී ඇත. මේරියන් ක්‍රේන්ට, උමාලි තිලකරත්නට වූ දෙය X නම් අනාගත ස්ත්‍රියකට ද සිදු විය හැක. උමාලි කළ යුත්තේ ඇය නෝමන් බේට්ස්ගේ අහිංසක හිනාවට වශී වූයේ මන්ද යන්න සොයා බැලීම මිස ඇයගේම චිත්ත අභ්‍යන්තරයට යොමු වීම නොවේ. එය මනෝ විද්‍යාවයි.

 
DKG@ දීප්ති කුමාර ගුණරත්න
සමබිම පක්ෂයේ නායක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - 3mana.com)

 

 

 

 

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්