"මගෙන් පසුව ගං වතුර පැමිණියාදෙන්." මේ ප්‍රංශය මහත් ව්‍යසනයකට ඇද දැමූ පහළොස්වන ලුවී රජුගේ කුප්‍රකට කියමනකි.

 

xv louis

මාක්ස් ඔහුගේ ප්‍රාග්ධනය කෘතියේ පවසන්නේ ධනවාදයේ උදෘත පාඨය වන්නේ මෙය බවයි. තමන්ගේ පාලන කාලයෙන් පසුව සමාජයට කවර විනාශයක් සිදු වුවද කම් නැත යන්න වත්මන් ලාංකීය ප්‍රභූතන්ත්‍රයේද අප්‍රකාශිත උදෘතය බවට පත්ව ඇති බව පෙනේ. ඇතැම් විට, මෙහි තත්ත්වය 18 වන සියවසේ ප්‍රංශයටද වඩා නරක යැයි කිව හැකිය. මන්ද යත්, වත්මන් ප්‍රභූ පාලන තන්ත්‍රයට පසුව 'ගං වතුර' පැමිණීමක් ගැන සිතීම දැන් එතරම් ගැලපෙන්නේ නැත. මෙරට සිංහල ජාතිකවාදීන්ගේ යෙදුමක් වෙනස් ලෙස අර්ථකථනය කොට පවසන්නේ නම්, 'ඉතිහාසයේ අඳුරුතම පැය' පැමිණෙන්නට නියමිතව තිබෙනවා නොවේ. එය දැනටමත් පැමිණ අවසන්ය. වත්මන් ගෝලීය අර්බුදයට අදාළව ස්ලේවෝයී ශිෂෙක් පවසන පරිදි අප මේ වෙසෙන්නේ මැදියමට විනාඩි පහකට පෙර නොව, මැදියම පසු වී විනාඩි පහක් ගත වූ තැනය. වික්ටර් අයිවන්ගේ වචනයෙන්, අප සමාජයක් ලෙස ව්‍යසනයේ මුව විට සිටිනවා යැයි කීම තවදුරටත් ගැළපෙන්නේ නැත. ව්‍යසනය යනු මේ මොහොතයි.

 

'ඉතිහාසයේ අඳුරුතම පැය' පැමිණෙන්නට නියමිතව තිබෙනවා නොවේ. එය දැනටමත් පැමිණ අවසන්ය. වත්මන් ගෝලීය අර්බුදයට අදාළව ස්ලේවෝයී ශිෂෙක් පවසන පරිදි අප මේ වෙසෙන්නේ මැදියමට විනාඩි පහකට පෙර නොව, මැදියම පසු වී විනාඩි පහක් ගත වූ තැනය. වික්ටර් අයිවන්ගේ වචනයෙන්, අප සමාජයක් ලෙස ව්‍යසනයේ මුව විට සිටිනවා යැයි කීම තවදුරටත් ගැළපෙන්නේ නැත. ව්‍යසනය යනු මේ මොහොතයි.

 

2012

මේ ව්‍යසනයට මුහුණ දීමේ උපායමාර්ගයක් ලාංකීය ප්‍රභූතන්ත්‍රයට තිබේ. දැන් වික්‍රමසිංහ විසින් ක්‍රියාවට නැගෙමින් තිබෙන එම උපායමාර්ගය පැහැදිලි කිරීමට රෝලන්ඩ් එමරිච්ගේ '2012' චිත්‍රපටය උපමා කොට ගත හැකිය. එම චිත්‍රපටයේ කියැවෙන්නේ දේශගුණ විපර්යාසයේ ප්‍රතිපලයක් ලෙස සමස්ත ජීව ගෝලයම විනාශයට පත්වීමක් ගැනය. මේ ව්‍යසනය ගැන කලින්ම දැනගන්නා ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ලෝක නායකයින් රහසිගත සැලසුමක් ක්‍රියාවට නගයි. එනම්, ආසන්න වශයෙන් පුද්ගලයින් ලක්ෂ හතරකට ගමන් කළ හැකි 'ගැලවුම් නෞකා' කිහිපයක් හිමාලය ප්‍රදේශයේ රහසිගතව නිර්මාණය කිරීමයි. ව්‍යාපෘතියේ අරමුණ මිනිස් වර්ගයාගේ විශිෂ්ටතමයන් බේරාගෙන ශිෂ්ටාචාරයේ අඛණ්ඩත්වය ආරක්ෂා කර ගැනීමයි. නමුත්, ඒ අතරම ව්‍යාපෘතියට අදාළ අමතර අරමුදල් සපයා ගැනීම සඳහා ධනවතුන් හට ඩොලර් බිලියනය ගණනේ ටිකට් පත් අළෙවි කරනු ලැබේ. දැන් ලාංකීය ප්‍රභූතාන්ත්‍රික පාලනය විසින් කරමින් සිටින දෙය ඉහත චිත්‍රපටය සිහි ගන්වන අතරම, කාරණා දෙකකින් චිත්‍රපටයේ කතා ආඛ්‍යාණයෙන් වෙනස් වෙයි. පළමුව, චිත්‍රපටයට වෙනස්ව, අපට වත්මන් ව්‍යසනයෙන් ගැලවීම සඳහා ඇති එකම මාර්ගය මෙය නොවේ. දෙවනුව, රනිල්-රාජපක්ෂ ප්‍රභූතාන්ත්‍රික පාලනය විසින් නිර්මාණය කරමින් සිටින ගැලවුම් නෞකාවට ඇතුල් විය හැක්කේ සමාජයේ විශිෂ්ටයින් හට නොව බිලියනපතියන් හට පමණි. ඒ අඩුතරමින් චිත්‍රපටයේ මෙන් ටිකට් පත් මිළදී ගැනීමකින් පවා තොරවය!

දේශපාලන දඟර නැටුම

xzdfser

වත්මනෙහි රාජපක්ෂ බල ජාලය විසින් නියෝජනය වන්නා වූ දේශපාලන ප්‍රභූතන්ත්‍රය තුළ වික්‍රමසිංහගේ ස්ථානය තහවුරු වීම ආරම්භයේදී ඇතැමෙකුට උභතෝකෝටිකයක් යැයි පෙනුණද, එය කිසිසේත් පුදුමයට කරුණක් නොවේ. මන්දයත්, 1977 න් පසුව ක්‍රමානුකූලව ගොඩ නැගී ස්ථාපනය වී තිබෙන දූෂිත ආර්ථික සහ දේශපාලන බල ජාලයට (නොහොත් සිස්ටම් එකට) කිසිදු හිරිහැරයක් සිදු නොවන පරිද්දෙන් වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීමේ උපායක් ඉදිරිපත් කිරීමට ඔහු සමත්ව තිබෙන බැවිනි. දැන් ක්‍රියාවට නැගෙමින් පවතින්නේ එම උපායයි. එහි මාර්ග සිතියම ඔහුගේ අයවැය කතාව තුළ ඉදිරිපත් කොට ඇත්තේ භාෂාමය අලංකාරෝක්තීන් තුළ සඟවමිනි; "රටක දිගුකාලීන ආර්ථික සංවර්ධනය රඳා පවතින්නේ ජනප්‍රිය ප්‍රතිපත්ති මත නොව, නිවැරදි ප්‍රතිපත්ති මතය." නමුත් එහි සංයුක්ත ප්‍රකාශමාන වීම් දැකිය හැක්කේ දැන් ක්‍රියාවට නැගෙමින් පවතින ප්‍රායෝගික ක්‍රියාමාර්ග තුළය. නිදසුනකට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බිඳ වැටෙමින් පවතින වාතාවරණයක් තුළ එම බිඳ වැටීම තවත් වේගවත් කෙරෙන ආකාරයේ බදු පැණවීම් අප වටහාගත යුත්තේ කෙසේද? ඊට සමාන්තරව, දේශීය ආයෝජන අධෛර්යමත් කෙරෙන ආකාරයෙන් බැංකු පොලී අනුපාත අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීම? මේ වනාහී අභ්‍යන්තර ආර්ථිකය තවදුරටත් සංකෝචනය වන්නට හැරීමකි. කාටත් තේරෙන බසින් කිව හොත්, සාමාන්‍ය ජනතාව බඩගින්නේ තබමින් ඩොලර් ඉතිරි කරගන්නා ක්‍රමයකි. එසේම, අති විශාල වශයෙන් බදු මුදල් පැහැර හැර තිබෙන ධනවත් සමාගම්වලට හෝ විදේශීය අක්වෙරළ ගිණුම්වල තම ලාභය තැන්පත් කර තිබෙන මහා පරිමාණ අපනයනකරුවන්ට හෝ කිසිදු කරදරයක් නොවන ආකාරයෙන් ඩොලර් සංචිතය ගොඩ නගන ක්‍රමයකි.

 

සිස්ටම් එකට අත නොතබා අර්බුදයට මුහුණ දීමේ මේ මාර්ගය අනුයන්නට හැක්කේ පොදු ජනයා දේශපාලන ක්‍රියාවලියට කඩා වදින්නේ නැති තත්ත්වයක් තුළය. අරගලයේ නැවත පැන නැගීමක් වැලැක්වීමට වත්මන් ප්‍රභූතන්ත්‍රය අධිෂ්ඨාන කරගෙන තිබීම ඒ අනුව පුදුමයට කරුණක් නොවේ.



සිස්ටම් එකට අත නොතබා අර්බුදයට මුහුණ දීමේ මේ මාර්ගය අනුයන්නට හැක්කේ පොදු ජනයා දේශපාලන ක්‍රියාවලියට කඩා වදින්නේ නැති තත්ත්වයක් තුළය. අරගලයේ නැවත පැන නැගීමක් වැලැක්වීමට වත්මන් ප්‍රභූතන්ත්‍රය අධිෂ්ඨාන කරගෙන තිබීම ඒ අනුව පුදුමයට කරුණක් නොවේ. නමුත්, ඒ සමගම ඉදිරියේදී බලය දිනාගැනීමේ අරමුණින් ක්‍රියා කරන මෙම ප්‍රභූතන්ත්‍රයේ විවිධ කොටස් ඒ සඳහා ජනප්‍රිය දෘෂ්ටිවාදයන්ට ආමන්ත්‍රණය කිරීමේ අන්‍යෝන්‍ය තරඟයකද නිරතව සිටී. එක් අතකින් එකිනෙකාව ආරක්ෂා කරගන්නා අතරම අනෙක් අතින් එකිනෙකා පරයා නැගී සිටින්නට දරන මෙම ප්‍රයත්නය බාහිරින් දෘෂ්‍යමාන වන්නේ විකට ස්වරූපයක් ගත් දඟර නැටුමක් සේය. වික්‍රමසිංහ බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ගැන කතා කරන විට පියවරක් පසුපසට ගන්නා සජබ මන්ත්‍රී කණ්ඩායම වටයක් කැරකී 'විත් මහා මැතිවරණයක් ඉල්ලා සිටියි. වික්‍රමසිංහ අලි-පොහොට්ටු සන්ධානයක් යෝජනා කරන විට ඔහුව වැළඳගන්නා පොහොට්ටු පිළ ඒ සමගම ඔහුගෙන් මදක් දුරස් වී තම අමාත්‍ය ධූර සංඛ්‍යාව ඉහළ දමන්නැයි ඉල්ලා සිටියි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වාචිකව විවේචනය කරන විමල් වීරවංශගේ සිංහල ජාතිකවාදී උත්තර සභාගය පාර්ලිමේන්තුවේ තීරණාත්මක ජන්ද විමසීම්වලදී ආණ්ඩුවට පක්ෂව අත් ඔසවයි. ජනප්‍රිය තලයේදී අලි-පොහොට්ටු සන්ධානයෙන් දුරක් තබාගෙන සිටින්නට ප්‍රයත්න දරන ශ්‍රීලනිප ප්‍රමුඛ නිදහස් සන්ධානය ආණ්ඩුවේ නර්තනයට බාධා නොකර සිටින්නටද වග බලා ගනී. සර්ව-පාක්ෂික සාකච්ජාවලට සහාය දක්වන දෙමළ සහ මුස්ලිම් නායකත්වයන් සජබ සමග සමාන්තර දුරක් තබාගෙන පියවර තබයි. චම්පික රණවකගේ 43 සේනාංකය ඉදිරියේදී ඕනෑම කණ්ඩායමක් සමග යුගල නර්තනයකට ඉඩ තබාගෙන අමුතුම ආකාරයේ හුදෙකලා රංගනයක යෙදෙමින් සිටී. මේ සියළුම දෙනා ගණන් බලමින් සිටින්නේ ඉදිරියේදී වෙනස් වන තත්ත්වයන් තුළ කවර හෝ සන්ධානගත වීමක් ඔස්සේ නර්තන බිමේ මධ්‍යයට පැමිණෙන්නටය.    

 

වෙනස් වන ජන මතයට ආමන්ත්‍රණය කිරීමට තමන්ට ඇති හැකියාව අහෝසි කර නොගනු වස් බොහොමයක් දෙනා වික්‍රමසිංහ-රාජපක්ෂ සන්ධානයෙන් කිසියම් දුරක් පවත්වා ගනිති. නමුත්, ඉක්මණින් ජන මත විමසුමක විනිශ්චයට මුහුණ දීමට තරම් ඔවුනට ආත්ම විශ්වාසයක්ද නොමැති බැවින් ඔවුන් පවතින පාලනය බිඳ වැටෙන්නටද ඉඩ නොදෙති.



මෙම දඟර නැටුම පවතින්නේ පවතින පාලනයේ ජනතා පදනම් බරපතල ලෙසින් දෙදරා ගොස් තිබෙන බව සියලුම නර්තකයින් දන්නා නිසාය. වෙනස් වන ජන මතයට ආමන්ත්‍රණය කිරීමට තමන්ට ඇති හැකියාව අහෝසි කර නොගනු වස් බොහොමයක් දෙනා වික්‍රමසිංහ-රාජපක්ෂ සන්ධානයෙන් කිසියම් දුරක් පවත්වා ගනිති. නමුත්, ඉක්මණින් ජන මත විමසුමක විනිශ්චයට මුහුණ දීමට තරම් ඔවුනට ආත්ම විශ්වාසයක්ද නොමැති බැවින් ඔවුන් පවතින පාලනය බිඳ වැටෙන්නටද ඉඩ නොදෙති. මෙහි ප්‍රතිපලය වී ඇත්තේ අයි.එම්.එෆ් ආශීර්වාදය සහිත වික්‍රමසිංහගේ ආර්ථික සැලැස්ම හැර අන් කිසිවක් නිශ්චිතව සිදු නොවන අන්තර්-අක්‍රියතාවක (inter-passivity) සියල්ලන් ගිලී යාමයි. නිදසුනක් ලෙස, සර්ව-පාක්ෂික සාකච්ජා තුළ කුමක් කතා වුවද, එමගින් ජාතික ප්‍රශ්නයට බලය බෙදීමේ විසඳුමක් කරා යා නොහැකි බව කවුරුත් දනිති. පළමුව කුඩා පරිපාලනමය තලයේ ප්‍රශ්නවලට සීමා වෙමු යැයි වික්‍රමසිංහම පවසන්නේ එබැවිනි. ඒ අතර, මේ කිසිවක් සිදු නොවන ප්‍රභූ නර්තන බිමට යටින් බරපතල සමාජමය බිඳ වැටීමක් සහ ඛේදවාචකයක් සිදුවෙමින් තිබේ.                                                      

නර්තන බිම බිඳ දැමීම

එම සමාජයීය අර්බුදය විසඳීමට නම් පළමුව ව්‍යාජ ප්‍රභූ දේශපාලන සමතුලිතතාව බිඳ දැමිය යුතුව තිබේ. සමාජමය වශයෙන් සැබවින්ම පවත්නා බල තුලනය හැකි තරම් දුරට නියෝජන ආයතන තුළ නිරූපණය වන තත්ත්වයක් නිර්මාණය කළ යුතුව තිබේ. නියෝජන ආයතනත් බහුජන කොටසුත් අතර ඓන්ද්‍රීය බැමි යළිත් ගොඩනැගිය යුතුව තිබේ. සැබෑ දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කළ හැක්කේ ප්‍රභූන් අතර උපක්‍රමික පදනමක් මත තනා ගන්නා තාවකාලික එකඟතා මගින් නොවේ. නව සමාජ සම්මුතියක් මගිනි. දැනට මේ සඳහා ඇත්තේ මාවත් දෙකකි. පළමුවැන්න වන්නේ සමාජ සම්මුතියක් කරා යන ගමනේ සීමිත අංගයක් ලෙස සැලකිය හැකි මැතිවරණයක් කරා යොමු වීමයි. දෙවැන්න වන්නේ අරගලය නොහොත් මහජන නැගී සිටීමේ නව අදියරක් ඔස්සේ ව්‍යාජ දේශපාලන සමතුලිතතාව බිඳ දැමීමයි. මැතිවරණයක් පවත්වනු නොලැබේ නම්, මැතිවරණයක් දිනාගැනීම සඳහා වුවත් ඉතිරි වනු ඇත්තේ දෙවන මාවත පමණි. ඒ සඳහා මහජන මතයට මුහුණ දීමට බිය නොවන සියලුම විපාක්ෂික බලවේගවලත් වත්මන් ප්‍රභූතන්ත්‍ර පාලනයට එරෙහි සියලුම බහුජන කොටස්වලත් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ. කිසිදු පක්ෂයක් එය තමන්ට තනිව කළ හැකි යැයි විශ්වාස කරන්නේ නම්, එයින් ප්‍රකට වනුයේ ජන අරගලයේ සුවිශේෂතාව පිළිබඳ බරපතල අනවබෝධයකි. සරලව, තනි පක්ෂයක විරෝධයක් පදනම් කරගෙන මැතිවරණයක් ලබා දෙන්නට වත්මන් ප්‍රභූතන්ත්‍රය ක්‍රියා කරනු ඇතැයි සිතිය නොහැකිය.

 

මහජන මතයට මුහුණ දීමට බිය නොවන සියලුම විපාක්ෂික බලවේගවලත් වත්මන් ප්‍රභූතන්ත්‍ර පාලනයට එරෙහි සියලුම බහුජන කොටස්වලත් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ. කිසිදු පක්ෂයක් එය තමන්ට තනිව කළ හැකි යැයි විශ්වාස කරන්නේ නම්, එයින් ප්‍රකට වනුයේ ජන අරගලයේ සුවිශේෂතාව පිළිබඳ බරපතල අනවබෝධයකි.



අර්බුදයට සැබෑ ජනතාවාදී විසඳුමක් ලබා ගැනීමේ දෘෂ්ටියෙන් ගත් කල, ආණ්ඩුව විසුරුවීම සහ මැතිවරණයක් දිනාගැනීම යනුම 'බාග විප්ලවයක්' බව සැබෑය. වත්මන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත්කම් සහ සීමිතකම් පිළිබඳ 'සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදීන්' විසින් ගෙනෙනු ලබන විවේචනවල වලංගුතාව ගැනද විවාදයක් නැත. නමුත්, අප දැන් වෙසෙන්නේ ශන්තාල් මූෆ්ගේ වචනයෙන් කිව හොත්, ප්‍රජාතන්ත්‍රවාදය වඩා පුළුල් හා ගැඹුරු කිරීමට පෙර එය නැවත දිනා ගත යුතු මොහොතකය. ඉදිරි මහජන නැගී සිටීමක් තුළ මැතිවරණයක් පිළිබඳ සටන් පාඨය ඉහළට මතු වීම අප දැන් බලාපොරොත්තු විය යුතුය. ජන විඥානයේ එවන් හැඩ ගැසීමක් අපේක්ෂා කළ හැකිය. ඉදිරි අරගලය සැබෑ ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් දක්වා රැගෙන යාමේ 'නිර්-ප්‍රචණ්ඩ ජැකොබින්වරුන්ගේ' කාර්ය භාරයට උර දිය හැකි පෙරටුගාමී වම විසින් කළ යුතුව ඇත්තේ එම පොදු අරගලය තුළ ක්‍රියාකාරී වෙමින් මැතිවරණයක් පිළිබඳ ජනතා ඉල්ලීමට එරෙහි නොවන අතරම මැතිවරණයකින් ඔබ්බට යන නව ව්‍යවස්ථාවක් සහ එම ව්‍යවස්ථාව පදනම් වන්නා වූ නව සමාජ ගිවිසුමක් සඳහා සටන් වැදීමයි. එමගින් ජන සහභාගී සහ 'සංවිචාරණීය' ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ  සංයුක්ත මැදිහත්වීමක් නිර්මාණය කිරීමයි.  


sUMITH cHAMINDAc(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්