රටේ තියෙන ප්‍රශ්න මගෙත් ප්‍රශ්න බවට පත්වෙලා විරවපට්ටං ගහල ඉන්න වෙලාවක තනියම හිනාවෙන්න ඕන කියල හිතුණම මම කරන්නෙ එරන්ද ගිනිගේ කියන පුද්ගලය ලියපු මොකක් හරි හෑල්ලක් කියවන එක.

ඇත්තට ම සමහර වෙලාවට මනුස්සය ලියන ඒවට මල පැන්නත් එයාගෙ හුඟක් ලියවිලිවලට සෑහෙන්න හිනා යනව. ඒ අතින් ගත්තම මනුස්සය කරන්නෙ ලොකු සේවයක්. මොකද මේ වෙද්දි නිහාල් සිල්වගෙ සාජන්ට් නල්ල තම්බි නරඹන්න නැහැ නෙ. ඒ අඩුපාඩුව යම් තරමකට හරි මගහරවගන්න මේ එරන්ද ගිනිගේ කියන මනුස්සයගෙ ලියවිලි සෑහෙන්න උපකාර වෙනව.

මේ මනුස්සය ලියන ලියවිලිවලට වඩා හිනා යන්නෙ එයා තමන්ගෙ ලියවිල්ලෙ අන්තිමට එල්ලන උප මාතෘකාව හෙවත් Tag line එකට. ඒ Tag line එක එයා යොදන්නෙ ‘‘ධර්මය අපට මග වේවා!’’ කියල. ඇත්තට ම සමහර ලිපි කියවගෙන යද්දි මට හිතෙනව ‘ෂුවර් එකට අද නම් අර Tag line එක නැතුව ඇති’ කියල. මොනහ්... මනුස්සය මොන දේ ලිව්වත් ඒ Tag line එක නම් එල්ලනව මයි.

හැබැයි මම මේ ලියවිල්ල ලියන්නෙ මනුස්සයගෙ Tag line එක ගැන විතරක් ම නෙවෙයි. ඒක ගැනත් ඉස්සරහට සඳහන් කරනව. මගේ කතාව මෙන්න මේකයි.

මේ මනුස්සය මේ මෑතක (19 January 2023) ලියනව ‘‘ගෝඨාභයට හිමි දෙය!’’ කියල හෑල්ලක්. මං මේක කියෙව්වෙ ladyleader.lk වෙබ් අඩවියෙන්. ඒ, ජනවාරි 23වෙනිද. මං හිතන්නෙ මනුස්සයට මේක ලියන්න හිතෙන්න ඇත්තෙ රටින් පලා ගිහින් යන එන මං නැතුව ආයෙත් මේ රටට ආපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයට අයත් වාහන 19ක් භාවිත කරනව කියල පළ වෙච්ච පුවත නිසා වෙන්න ඇති. එතනදිත් මේ මනුස්සය කියන්න උත්සාහ කරන්නෙ ‘‘ප්‍රතික්ෂේපිත ජනාධිපති’’ ඒ විදියට වාහන භාවිත කරත් කමක් නැහැ කියල. ඒක වඩ වඩාත් තහවුරු වෙන්න මනුස්සය හුඟක් දේවල් ඉතා කෙටියෙන් ලියනව. ඒකෙ ආරම්භක කෑල්ල මෙහෙමයි.

 



‘‘ලක්ෂ 69 ක් ජනතාවගේ බහුතර ඡන්දයෙන් තෝරාගත් නීත්‍යානුකූල ජනාධිපතිවරයා සිය ධූරයෙන් නික්ම යන්නේ රටේම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බව කාරුණික නුවණැත්තෝ දනිති.’’

 

ඔය කියන ජනාධිපති පැනල යන වෙලාවෙ රටේ ම ජනතාවගෙ ආරක්ෂාව තහවුරු වෙලා තිබුණෙ කොහොමද කියල එරන්ද ගිනිගේ දැනගෙන හිටියෙ නැති වුනාට මුළු ලෝකෙ ම ඒ ගැන දන්නව. ඒ වෙද්දි මේ රටේ ජනතාව ඉන්ධන පෝලිම්වල, ගැස් පෝලිම්වල තිරිසන් සත්තු වගේ මැරිල වැටෙනව. පාසල් යන්න වාහන නැතුව දරුවො තමන්ගෙ ජීවිතය පරදුවට තියල වාහනවල වහලයෙ සහ පිටුපස ඉණිමගේ පවා එල්ලිලා පාසල් යනව. ගුරුවරු තමන්ගෙ සිසු දරුවන්ට අධ්‍යාපනය දෙන්න යන්න ප්‍රවාහන පහසුකම් නැතුව ලතවෙනව. රණ විරුවො කියන අමාණුෂික මිනිස් කොට්ඨාසෙට අයිති සමහර දෙපා තිරිසන්නු, පොලිසියෙ ඉන්න සමහර දෙපා තිරිසන්නු තෙල් පෝලිම්වල දවස් තුන හතර දුක්විඳපු මිනිස්සුන්ට එළව එළව පහර දෙනව. කීයක් ගෙවල හරි දරුවන්ට කිරි පිටි පැකට් එකක් අරන් දෙන්න නැතුව දෙමවුපියො සුසුම්ලනව. රටේ ඉන්න ගොවි ජනතාව තමන්ගෙ ගොවිතැන කරගන්න පොහොර සහ කාෂි රසායනික ද්‍රව්‍ය නැතුව ඒව ඉල්ලල උද්ඝෝෂණය කරනව. රෝහල්වල සේවයට වාර්තා කරන්න බැරුව රෝහල් සේවකයො ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සලසන්න කියල රට පුරා ම උද්ඝෝෂණය කරනව. වෛද්‍යවරු තමන්ගෙ වාහනවලට ඉන්ධන ලබාගන්න බැරුව පෝලිම්වල රස්තියාදු වෙනව. ඉතිං කොහොමද ගිනිගේ මහත්තයො ඒ වෙලාවෙ රටේ ජනතාවගෙ ආරක්ෂාව තහවුරු කරන්නයි එයා පැනල ගියේ කියන්නෙ.

 

21643608125ඇත්ත ම කාරණය නම් එයා පැනල ගියේ එයාගෙ පැවැත්මට; එයාගෙ විතරක් නෙවෙයි සමස්ත රාජපක්ෂ සනුහරයෙ ම පැවැත්මට. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ සනුහරය ක්‍රියාත්මක කරේ ලෙනින් කියපු ‘‘පියවරක් පසුපසට පියවර දෙකක් ඉදිරියට නැවතත් වේගයෙන් ඉදිරියට’’ කියන න්‍යාය. ඒක දැන් වඩාත් හොඳින් ඔප්පු වෙමින් පවතිනවා.

හැබැයි එරන්ද ගිනිගේ ගෙ කතාව ගැන අපිට අනිත් පැත්තෙන් මෙහෙම හිතන්නත් පුළුවන්. ඒ කියන්නෙ මැයි නව වෙනිද මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එකතු වෙලා කරපු මෙහෙයුම වගේ මෙහෙයුමක් කරන්න රාජපක්ෂ සනුහරේ කවුරු හරි සැලසුම් කරනව කියල දැනගෙන පැනල ගියාද දන්නෙත් නෑ. මොකද එදා ආණ්ඩුවට විරුද්ධව කැලඹුණේ රටේ ඉතාම සුළුතරයක් විතරයි නෙ... ආයෙත් එහෙම එකක් වුනොත් ඉතිං මුළු රටම කැලඹෙයි කියල හිතල පැනල ගියා ද දන්නෙත් නැහැ. එහෙම හිතුවත් ඉතිං ගිනිගේ ගෙ න්‍යායට ඒ ක්‍රමය පටහැනියි.

ඊළගට ගිනිගේ මෙහෙමත් ලියනව.

‘‘එය ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහසික අරගලකරුවන්ට බයේ ගත් තීරණයක් නොවේ.’’

බලන්න ගිනිගේ ගෙ වාක්‍ය මොන තරම් අහිංසක ද...? ඔහු අරගලකරුවන් හඳුන්වන්නෙ ‘‘ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහසික අරගලකරුවන්’’ කියල. අනේ ගිනිගේ මහත්තයො... ඒ අරගලකරුවො ‘‘ප්‍රජාතන්ත්‍ර විරෝධී’’ වුණේ කොහොමද කියල ටිකක් පැහැදිලි කරනව ද...? ඒ වගේ ම ‘‘සාහසික’’ වුණේ කොහොමද කියල ටිකක් පැහැදිලි කරනව ද...? ඒ එක්කම මැයි නව වෙනිද ගෝඨාගෝ ගමට එල්ල කරපු ප්‍රහාරය මොන තරම් අහිංසක ද කියලත් පහදලා දෙනව ද...? මොකද ඔයා අර ‘‘වියත් මග’’ කියල අටවගත්ත ‘‘අවියත් නොමග ගිය පිරිසට’’ අයත් කෙනෙක් නිසා අපිට මෙහෙම අහන්න අයිතියක් තියෙනවා. ඉදිරි ලිපියකින් හරි මේ ගැන පැහැදිලි කරා නම් හුඟක් වටිනව.

 




බලන්නකො ගිනිගේ ඊළගට කියන දේ...

‘‘තම නායකත්වය යටතේ වරක් නොව දෙවරක්ම රටේ ජනතාවගේ ජීවිත බේරා දුන් ගෝඨාභය මහතා එලෙස බේරාගත් වැසියන්ගේ ලේ බිඳකුදු නොසොල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන උතුම් සත්කාර්යයකි.’’

ඉස්සෙල්ලම පැහැදිලි කරන්නකො ගෝඨාභය දෙවරක් ම රටේ ජනතාවගෙ ජිවිත බේරල දුන්න විදිය. ඒ එක්ක ම පැහැදිලි කරන්නකො මැයි නම වෙනිද අරගලයට ගහපු වෙලාවෙ ඒ ප්‍රහාරයට මැදිහත් වුණ මිනිස්සුන්ගෙ සිරුරෙන් ගැලුවෙ ලේ නෙවෙයි ද...? ඒ වගේ ම ගෝඨාභය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න මොන තරම් නම් තැටමුව ද කියල. රටේ ජනතාවට බයේ පැනල ගිහිල්ලත් ඔය කියන ඉල්ලා අස්වීමේ ලිපිය ගන්න මොන තරම් අපහසු වුණාද කියල. ඔයා හිතාගෙන ඉන්නෙ ගෝඨාභය පැනල යද්දි ම ලිපිය ලියල අත්සන් කරල තියල ගියා කියල ද...? ඇත්තට ම එහෙම කරා නම් ඔයාගෙ ලියවිල්ල හරියට ම හරි.

ඊළඟට බලන්නකො ගිනිගේ මහත්තය ‘‘ප්‍රතික්ෂේපිත ජනාධිපති’’ වෙනුවෙන් පෙනි ඉන්න අපූරුව.

 

thumbs b c 64ea33474229432d3cd2f6dca3d210f2 

‘‘මෙතෙක් සිටි සියලු ජනාධිපතිවරුන්ට පමණක් නොව සියලු ජනතා නියෝජිතයන්ට හිමි නීත්‍යානුකූල විශ්‍රාම වැටුප සහ පහසුකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් ඒ නියමිත අයුරින්ම පිරිනැමීම රාජ්‍යයේ වගකීම සහ යුතුකමයි.’’

 

ඇත්ත ඇත්ත... මෙච්චර කාලයක් හිටපු ජනාධිපතිවරු නම් ‘‘හිටිය’’ තමයි. හැබැයි මේ ජනාධිපති පැනල ගියා. පැනල ගිහින් ඉල්ලා අස්විමේ ලියුම නොදී හැංගිමුත්තං සෙල්ලම් කරා. අන්තිමට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් පවා විරෝධය එල්ල වෙන නිසා ගලකින් පොත්තක් ගන්නව වගේ ඉල්ලා අස්විමේ ලියුම දුන්න. ඉතිං එහෙව් එකේ ගෝඨාභය කියන්නෙ ‘‘හිටපු ජනාධිපති’’ වෙන්නෙ කොහොමද මහත්තයො. හරි නම් ලක් ඉතිහාසයේ ගෝඨාභය ගැන ලියවෙන්න ඕනෙ ‘‘ප්‍රතික්ෂේපිත ජනාධිපති’’ කියල හෙමත් නැත්නම් ‘‘ජනතාවට බියෙන් රටින් පලා ගිය ජනාධිපති’’ කියල. එහෙව් ජනාධිපති කෙනෙකුට ජනතාවගේ බදු මුදලෙන් දෙන පහසුකම් ලබා දෙන්නෙ මොකට ද මහත්තයො; රටේ ජනතාව නොමරා මරපු, රටේ ජනතාව මන්දපෝෂණයට ඇදල දාපු, රටේ ජනතාවගෙ කෑම වේල් තුන එක කෑම වේලට බස්සපු ජනාධිපතිවරයෙක් නඩත්තු කරන්න ඒ රටේ ජනතාවගෙ බදු මුදල් භාවිත කරන්නෙ මොකටද මහත්තයො. ඔයාලගෙ ඔය ‘‘වියත්කමට’’ ඕව තේරෙන්නෙ නැද්ද මහත්තයො...?

 

ගිනිගේ ගෙ ලියවිල්ලෙ අවසානෙට හරි අපූරු කාරණයක් ලියනව. ඒ මෙන්න මෙහෙම.

‘‘මරණයට පත් සතුරාටත් ගෞරව කරන්නට ඉගැන්වූ ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ රජවරුන්ගෙන් පැවත එන සිංහලයා...’’

 

ඇත්තට ම මේ ‘‘සිංහලයා’’ 2009 අවුරුද්දෙ හැසිරුණ විදිය ඔයාට අමතක ද මහත්තයො. ප්‍රභාකරන්ගෙ පුතා වුණ බාලචන්ද්‍රන් අමු අමුවෙ ම ඝාතනය කළේ මේ සිංහලයො ම නේද...? ඉසිප්‍රියා හමුදාවට යටත් වුණාට පස්සෙත් සමූහ දුෂණයට ලක් කරල මරල දැම්මෙ මේ සිංහලයො ම නේද...? මරුසුවිල්වලදි සමුල ඝාතනයක් කරෙත් මේ සිංහලයො ම නේද...? එහෙවු ඝාතකයට සමාව දීල එළියට දාපු එකද මහත්තයො ‘‘ශ්‍රේෂ්ට සිංහල බෞද්ධකම’’ කියන්නෙ. මම හිතන්නෙ ඔයාල වගේ ‘‘වියත්’’ අයට දැනෙන්නෙ එහෙම වෙන්න ඇති.

 

කොහොම වෙතත් මහත්තයො මට හිතෙනව ඔයා ඉක්මනට ම මානසික වෛද්‍ය පරික්ෂණයක් කර ගත්ත නම් හොදයි කියල. මොකද ඔයා හැම දෙයක් ම දකින්නෙ අනිත් පැත්තට නෙ... ඒ කියන්නෙ ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ සනුහරය කරපු හැම අමානුෂික වැඩක් ම ඔයාට මාරයි. ඒ අමානුෂික වැඩ පිළිවෙලට එරෙහිව රටේ ජනතාව පාරට බැහැපු එක ඔයාට අශිෂ්ටයි; සාහසිකයි. සමහර විට ඔයා දැන් කියයි ඒක සාපේක්ෂයි කියල. ඔවු... සාපේකෂතාවාදයට අනුව නම් සාපේක්ෂයි තමයි. හැබැයි රටක් විදියට ගත්තම ඔයාගෙ සිතුවිලි ඉතා ම නින්දිතයි; අධමයි; තුච්ඡයි. ඒ නිසා ඔයා අර ඔයාගෙ යාං හැලිවල අන්තිමට එල්ලන Tag line එක ගැනත් ටිකක් හිතන්න. ඒක ඔයාගෙ යාංහැලිවලට මොන තරම් දුරට ගැළපෙනවද කියල දැනගන්නත් එක්ක ම මම ඔන්න ‘‘ධර්මය’’ ගැන සිංහල - සිංහල ශබ්දකෝෂවල තියෙන අර්ථ ගැනත් කෙටි ම කෙටි සටහනක් ලිව්ව.

එහෙනම් ගිනිගේ මහත්තයො... ඔයාගෙ ධර්මය ඔයාට මග වේවා...! රටේ බහුතරයක් ජනයාගේ (රාජපක්ෂ සනුහරයම ප්‍රතික්ෂේප කරන) ධර්මය ඔවුන්ට මග වේවා...!!

ධර්මය - බුද්ධ දේශනාව, ත්‍රිපිටක පාලිය, ස්වභාවය, ලෝක ස්වභාවය,ප්‍රකෘතිය, සිරිතක් වශයෙන් අනුගමනය කරන දෙය, චාරිත්‍රය, ප්‍රතිපත්තිය

ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය: අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විජේතුංග: පිටුව 905

ධර්මය - ධර්ම, ධම්ම, බුද්ධ වචනය, බුදු දහම, ස්වභාවය, දෙය, ප්‍රකෘතිය, දතයුතුදෙය, ඥෙය්‍යා පථය, ශීලය, නිවන, ආචාර සම්ප්‍රදායය, ගුණදහම, යුක්තිය, හේතුව, යහපත, ආගමික ඉගැන්වීම, චින්තනය, දර්ශනය, කාරණය, විෂයය, නීතිය, නියාමය, කුශලය, අකුශලය, සිද්ධාන්තය, ප්‍රඥාව

සරසවි සිංහල - සිංහල ශබ්දකෝෂය: පිටුව 715

ධර්මය - බුදු රජුන් දේශනා කළ දේශනා පාඨ, ලෝක සත්වයාගේ හිත සව පිණිස බුදු රජානන් වහන්සේ දේශනා කළ ධර්මය, බුද්ධ වචනය, බුද්ධ ධර්මය, තෙවළා දහම, ත්‍රිපිටක පාලිය, දත යුතු කාරණය, ඥේය පථය, ස්වභාවය, ප්‍රකෘතිය, නිවන, නිර්වානය, ගුණ දහම, ශීලය, කුසල, පින්කම, යහපත් ක්‍රියාව, යුක්තිය, සුදුසු දෙය, යහපත, ගුණ යහපත්කම, හේතුව, ඵල උත්පාදක ශක්තිය, සිවුපිළිසිඹියා අතරින් දෙවැන්න, ද්විතීය පටිසම්භිදාව,ධර්ම ප්‍රතිසම්භිදාව

බෞද්ධ ශබ්දකෝෂය: පිටුව 810

ධර්මය - බුද්ධ වචනය, බුද්ධ ධර්මය, ත්‍රිපිටක පාලිය, පර්යාප්ත් ශාසනය, දතයුතු දෙය, ඥෙය්‍යාපථය, ස්වභාවය, ප්‍රකෘතිය, නිර්වානය, ශීලය, ආචාර්ය සම්ප්‍රදායය, ගුනවත් බව, යහපත, ගුණ දහම, කුශලය, පුන්‍ය කර්මය, යුක්තිය, උචිත දෙය, හේතුව, ඵලෝත්පාදක ශක්තිය, ආගමික ඉගැන්වීම, චින්තනය, දර්ශනය, චතුර්වර්ග ඵල අතුරින් දෙවැන්න, කාරණය, විෂයය, තත්ත්වය, සංස්කෘති ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථයන්හි දැක්වෙන චර්යා ප්‍රණාලිය, සිවුපිළිසිඹියා අතරින් දෙවැන්න, ධර්ම ප්‍රතිසම්භිදාව, ජන්ම පත්‍ර යෙහි නවවන ස්ථානය, සත්‍ය, ආපත්තිය, අකුශලය, නියමය, සිද්ධාන්තය

මහා සිංහල සාහිත්‍ය ශබ්දකෝෂය: පිටුව 1114

පාඨක පාඨකාවනි..., ඔබ සියලු දෙනා‘‘ධර්මය’’ යන වදනෙහි මෙම අරුත් වටහා ගන්නේ නම්, ඒ අතුරෙන් එරන්ද ගිනිගේ ගේ ‘‘ධර්මය’’ යන්නට උචිත අරුත කුමකත් ද යන්න ඔබට වටහා ගත හැකි යැයි මම විශ්වාස කරමි.

(උපුටාගැනීම් සියල්ල ඒ ඒ කෘති සහ ලියවිලිවල සඳහන් ආකාරය ම ය)

(ගෝඨාභයට හිමි දෙය)


නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/01/25


JW

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්