මම සාමාන්‍යයෙන් චින්තගෙ (චින්තන ධර්මදාස) ලිපියක් දුටු විගස ම  (විද්‍යුත් හෝ මුද්‍රිත) කියවන පාඨකයෙක්. විද්‍යුත් සාකච්ඡාවක් දුටු විගස ම නරඹන ප්‍රේක්ෂකයෙක්; ඇසුණු විගසම සවන් දෙන රසිකයෙක්.

එදා මෙදා තුර මම චින්තනගෙ අදහසකට විරුද්ධ අදහසක් ප්‍රකාශ කරා නම් ඒ එයා යෝජනා කරපු ‘පාපැදියෙන් රැකියාවට යන’ අදහසට විතරයි. ඒකට හේතුව මොකක් ද කියල මම ඒ ලිපියෙ පැහැදිලි කරපු නිසා ආයෙ ආයෙ ඒ ගැන ලියන්නෙ නැහැ. අදත් මගේ මේ ලිපිය ලියන්නෙ එදා චින්තනගෙ අදහසට වඩා බරපතළ අදහසකට එරෙහිව යි. ඒ වගේ ම එදා දක්වපු ප්‍රතිචාරයට වඩා ටිකක් තදින්.

Chinthana Dමම පහුගිය දවසක (2023/ජනවාරි/27) නිදහස ගැන චින්තන ලියපු ‘‘නිදහස ගැන උදහස’’ යන ලිපිය දුටු සැණින් ම ඒක කියවන්න පටන් ගත්ත. ඒ, මම කලින් එයාගෙ ලිපි කියවපු මානයෙන් ම යි. නමුත් ලිපිය තරමක් දුර කියවද්දි මට චින්තන ගැන කේන්තියක් ඇති වුණා. ඒ නිසා ලිපිය දිගට ම කියවනව ද නැද්ද කියල හිතල ‘‘නෑ... කියවලම බලනව’’ කියල හිතල ලිපිය සම්පුර්ණයෙන් ම කියෙව්ව. කියවල ඉවර වුණාට පස්සෙ නම් මට ඇත්තට ම චින්තන එක්ක මල පැන්න. හැබැයි මම ඒකෙන් කියන්නෙ නැහැ චින්තගෙ අදහස් දැක්වීමේ අයිතියට විරුද්ධයි කියල. හැබැයි ඒ අදහස් දැක්වීම තුළින් ගම්‍ය වෙන කාරණය මේ සමාජයට මොන විදියට බලපානව ද කියන එක ගැන මම හිතනව.

 

SKSUOVGIABEFTG4UGZE7SOBWEY

දැන් කාට හරි කියන්න පුළුවන් චින්තනගෙ ඒ අදහස සාපේක්ෂයි කියල. ඔවු... ලංකාවෙ මහින්ද රාජපක්ෂ සහ වේලුපිල්ලෙයි ප්‍රභාකරන් යන සාධක දෙක ගත්ත ම ඒ සාධක දෙක ලංකාවෙ විතරක් නෙවෙයි ජාත්‍යන්තරව ගත්තත් මොන තරම් සාපේක්ෂ ද කියල අපි දන්නව. මේ සාධක දෙක වෙන වෙන ම ගත්ත ම ප්‍රභාකරන් සාධකය දිහා සාධනීය විදියට දකින හෝ බලන ප්‍රජාව මහින්ද රාජපක්ෂක සාධකය දකින්නෙ නිෂේධනීය විදියට. අනෙක් පසින් ගත්ත ම ප්‍රභාකරන් සාධකය දිසා නිෂේධනීය විදියට දකින හෝ බලන ප්‍රජාව මහින්ද රාජපක්ෂක සාධකය දකින්නෙ සාධනීය විදියට. ඒ වගේ ම තමයි නිදහස සම්බන්ධයෙන් චින්තන දක්වපු අදහස. ඒකට කැමති අය වගේ ම අකමැති අයත් ඉන්නව. මම මගේ අදහස් දක්වන්නෙ චින්තගෙ අදහසට විරුද්ධ පාර්ශ්වයෙ ඉඳගෙන.

 

අද 2023/පෙබරවාරි/පළවෙනිද. තව දවස් තුනකට පස්සෙ... එහෙත් නැතිනම් 2023/ පෙබරවාරි/ හතරවෙනිදට ලංකාවට නිදහස ලැබිල අවුරුදු 75ක් වෙනවලු. මම මේ ‘‘75ක් වෙනවලු’’ කියල යොදන්නෙ වුවමනාවෙන් ම යි. ඒකට හේතු දෙකක් තියෙනව. එකක් තමයි අපිට ජනරජ දිනයක් කියල වෙන ම දිනයක් තියෙනව. නිදහස් දිනය කියල වෙන ම දිනයක් තියෙනව. ඉතිං මට ප්‍රශ්නයක් තියෙනව ඇත්තට ම අපිට නිදහස ලැබුණෙ 1948 වසරෙ පෙබරවාරි 4වන දිනයෙ ද, එහෙමත් නැත්නම් 1972 වසරෙ මැයි 22වන දිනයෙ ද කියල. මගේ පුද්ගලික විශ්වාසය නම් මේ දවස් දෙකම ඔය කියන කාරණයට අදාළ නෑ. මොකද ලාංකීය ජන ප්‍රජාව 1948 වසරේ පෙබරවාරි 04වනදා සිට 1972 මැයි 22වන දින දක්වා හෝ එතැන් සිට මේ දක්වා එහෙම නිදහසක් භුක්ති වින්දෙ නෑ; භුක්ති විඳියි කියල විශ්වාස කරන්නත් බෑ. ඒ වගේ ම ඔය ඊනියා නිදහස ලබාගත්ත කියන කාලයට කලින් වුනත් රටේ ජන ප්‍රජාව එහෙම නිදහසක් භුක්ති වින්දෙ නෑ. ඒක 1505 වසරට කලින් වුනත් එහෙමයි. තවත් සරලව කියනව නම් මිනිසා මිනිසාගේ යහපතට යැයි අදහස් කරමින් මිනිස්සු අතරින් ම නායකයෙකු පත් කරගත් දා සිට සිද්ධ වෙච්ච දෙයක්. මේ සිදුවීම නිසියාකාරයෙන් ම වටහාගන් කැමති අයට පුළුවන් නම් සේපාලි මායාදුන්නේ විසින් රචිත ‘‘දණ්ඩ චක්‍රය’’ සාහිතය කෘතිය කියවන්න කියල මම ආරාධනා කරනවා.

 

danda chakra

දැන් නැවත එමු චින්තනගෙ චින්තනයට. චින්තන එයාගෙ ලිපියෙ දෙවන ඡේදයෙ මෙහෙම ලියනව.

‘‘මට නම් හිතෙන්නෙ නිදහස කියන්නෙ සැමරිය යුතුම දෙයක්. නිදහසක් ඇතත් නැතත් නිදහසක් සැමරීම වටිනවා. ඒක ඒ තරම් වටින අදහසක්. ඇත්තටම පතුලටම වැටිලා ඉඳීමේදී දැනෙන නිදහසත් වටිනා එකක්. අපි මේ වෙලාවෙ ඉන්නෙ තවත් වැටෙන්න තැනක් නැති තැනටම වැටිලා. ණය ගෙවාගන්න බැරි තරමට එරිලා. එතකොටත් කෙනෙකුට දැනෙනවා නිදහසක්. ණය ගෙවන්න බෑ කියල ණයකාරයන්ට කිව්වමත් ඒක නිදහසක්. නැව ගිලුනත් බෑන්චූන් කියන්නෙ ඒ වගේ ආස්වාදයක්. ඒක නරක දෙයක් නෙමෙයි.’’

මට මේ ඡේදය කියවපු ගමන් හිතුණෙ ඇත්තට ම මේ ලිපිය එහෙමත් නැත්නම් අදහස ලිව්වෙ චින්තන ධර්මදාසම ද කියල. මෙහි පළමු වාක්‍ය නම් හරිම ආකර්ෂණීය යි. බලන්න. ‘‘මට නම් හිතෙන්නෙ නිදහස කියන්නෙ සැමරිය යුතුම දෙයක්.’’ ඔවු... නිදහස කියන්නෙ සැමරිය යුතු ම දෙයක් තමයි. හැබැයි අපිට එහෙම සමරන්න තරම් නිදහසක් තියෙනව ද...? එහෙම නැති නිදහසක් අපි සැමරිය යුතු ම ද...?

දෙවන ඡේදයේ පළමු වාක්‍ය ඒ විදියට ලියපු චින්තන ඊළග වාක්‍යයෙ ලියනව ‘‘නිදහසක් ඇතත් නැතත් නිදහසක් සැමරීම වටිනවා.’’ කියල. ඒක නම් මාර ම තියරියක්. චින්තනට අනුව නිදහසක් නැති වුනත් එහෙම එකක් සමරනව නම් මරු. මම චින්තගෙන් දැනගන්න කැමතියි නැති නිදහසක් සමරන්නෙ කුමන පදනමක ඉඳගෙන ද සහ කොහොමද  කියල. ඒක හරියට චින්තගෙ සංකල්පයකට ම අනුව පාපැදියෙන් වැඩට යන අය තමන් පදින පාපැදියෙ රෝද දෙකේ ම හුළං බැහැල තිබුණත් ඒක පැදගෙන යන එක මරු වගේ වැඩක්.

ඊළගට චින්තනගෙ මේ වාක්‍ය බලන්න. ‘‘ඇත්තටම පතුලටම වැටිලා ඉඳීමේදී දැනෙන නිදහසත් වටිනා එකක්.’’  මම නම් හිතන්නෙ මෙහෙම හිතන්න පුළුවන් විශාල අගාධයකට වැටුණ මිනිහෙකුට නෙවෙයි; පැනල මැරුණ මිනිහෙකුට. මොකද අගාධයකට වැටෙන මිනිහයි පනින මිනිහයි කියන්නෙ දෙන්නෙක් නෙ. වැටුණ මිනිහ නම් හිතන්නෙ අගාධයෙන් ගොඩ එන්නෙ කොයි වෙලාවෙද කියල නෙ... ඉතිං ඒ මිනිහට අගාධයෙන් ගොඩට එනකම් ම නිදහසක් නෑ. හැබැයි මැරෙන්න ම හිතාගෙන අගාධයට පැනපු මිනිහට නම් ඉතිං ඒක නිදහසක් ම තමයි. මොකද එයා අගාධයට පනින්නෙ ම නිදහස හොයාගෙන නෙ...

 800x 1 003 ARCH589109 MG1424660

හැබැයි අපේ රටේ ජනතාවගෙ පැත්තෙන් ගත්තම මේ කතාවෙ පොඩි ඇත්තකුත් තියෙනව. මොකද අපි දැන් මේ වැටිල ඉන්න අගාධෙට කවුරුවත් අපි තල්ලු කරේ නෑ කියලයි මම විශ්වාස කරන්නෙ. (දැන් කවුරු හරි කියන්න පුළුවන් මේකට මාධ්‍ය වග කියන්න ඕන කියල. මම නම් හිතන්නෙ මාධ්‍ය මොනව කිව්වත් ඒක අහන එකා අහන්න ඒන සිහි බුද්ධියෙන්. එහෙම ඇහුව නම් අද රට මේ තත්ත්වෙට පත්වෙන්නෙ නෑ.) රටේ බහුතරයක් දෙනා සිය කැමැත්තෙන් ම මේ අගාධයට පැන්න. හැබැයි මම විශ්වාස කරනව මම නොපැන්න වගේ ම චින්තනත් මේ අගාධයට පැන්නෙ නෑ කියල. ඒ වගේ ම පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨා දිනවපු අය හැර වෙන කිසිම කෙනෙක් මේ අගාධයට පැන්නෙ නෑ කියල. හැබැයි චින්තන කියන විදියට එයාට මේ අගාධයට වැටුණ එකත් හරි නිදහසක් වගේ නම් එයත් අර හැට නව ලක්ෂෙ ම කෙනෙක් වෙන්න ඕන. මොකද එහෙම අය තමයි පතුලට ම වැටිලත් හරි ජොලියෙ ඉන්නෙ; අපි මේ පාරත් උඩින්ම දිනනව කියල කියන්නෙ; ජනතාවට අපි කරපු සේවය එයාලට හොඳට මතකයි කියල කියන්නෙ.

 

මේ ලිපියෙ සමහර වාක්‍ය තියෙනව ඒව ‘‘කන්න හිතුණ ම කබරගොයත් තලගොයා කරගන්නව’’ කියල කියන කියමනට හරියට ම ගැළපෙනව. බලන්න මේ වාක්‍ය. ‘‘ණය ගෙවන්න බෑ කියල ණයකාරයන්ට කිව්වමත් ඒක නිදහසක්.’’ මම හිතන්නෙ නැ කිසිම ණයකරුවෙක් තමන්ගෙ ණය ගෙවන්න බැහැ කියල ණය හිමියට කිව්වම ඒක මාර නිදහසක් කියල හිතනව කියල. ඒ මිනිහ ඉන්නෙ හැම වෙලාවෙ ම බයෙන්. මොකද ණය හිමිය ඇවිත් කොයි වෙලාවෙ ගෙදර තියෙන දෙයක් හරි අරගෙන යයි ද කියල; එහෙමත් නැත්නම් මගතොටකදි කරදරයක් කරයි ද කියල. චින්තන කියපු විදියට කවුරුහරි හිතනව නම් ඒ පුද්ගලය හරියට ‘‘පෙරළුණ පිට හොඳයි’’ කියන තියරිය හරියට ම ක්‍රියාත්මක කරන කෙනෙක්. ඇත්තට ම දැන් මේ රටේ සිදුවෙමින් පවතින්නෙත් එහෙම තත්ත්වයක් නෙ... චින්තන වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නෙත් ඒක. හරියට එයාගෙ පාපැදි තියරිය වගේ. ඒ කියන්නෙ දවසට තුන් වේලක් කාපු මිනිස්සු දෙවේලක් කන්න පුරුදු වුණාට අවුලක් නෑ, තමන්ගෙ අතේ මුදල් ගැවසෙන විදියට ඉන්ධන ටික ගහගෙන තමන් කැමති වෙලාවක කැමති තැනකට ආ ගිය මිනිස්සු දැන් යාන්තමට අත්‍යවශ්‍ය ගමනක් බිමනක් යන්න පුළුවන් ප්‍රමාණයට හුරු වුණාට අවුලක් නෑ වගේ අදහසක්. දවසකට පැය දෙක තුනක් විදුලිය පාවිච්චි නොකරට අවුලක් නෑ වගේ අදහසක් නේද...?

දැන් චින්තන හරි ඕනනම් එයා දරන අදහස ම දරන කෙනෙක් අහන්න පුළුවන්... ‘‘ඔවු... පරිභෝජනවාදයෙන් ටිකක් හරි වියුක්ත වෙන්න තියෙනව නම් හොඳ නැද්ද...?’’ කියල. ඔවු... අධි පරිභෝජනවාදයෙන් වියුක්ත වෙන්න තියෙනව නම් හොදයි තමයි. හැබැයි ඒ අධි පරිභෝජනවාදයට මිනිස්සු හුරු කරල තියෙන්නෙ ම මේ ධනවාදි ආර්ථික ක්‍රමය ම නෙ. ඒක අසාර්ථක වෙද්දි කියනව පරිභෝජනය සීමා කරන්න කියල. ඒක හරියට සමහර අම්මල තාත්තල හුඟක් දරුවො හදල ‘‘තොපි මහ පවුකාරයො, අපිව කන්න ආපු කාබාසිනියකාරයො. තොපි මැරිල යනවනම්.’’ කියල කියනව වගේ. දරුවො කියන අය කවදාවත් තමන් හදන්න කියල දෙමවුපියන්ට කියල නැහැ නෙ. දෙමවුපියො දරුවො හදන්නෙ එයාලගෙ වුවමනාවට නෙ. එහෙම නම් ඉතිං ඒ දරුවන්ට දෙමවුපියන්ගෙන් වෙන්න ඕන වගකීම් ඉෂ්ටකරන්න ම ඕන; දෙමව්පියො ඒකට බැඳිල ඉන්නව. එහෙම නැතුව දරුවන්ට දෙස් දෙවොල් තියල වැඩක් නැහැ නෙ...

 

ආණ්ඩු කරන අයටත් තියෙන්නෙ අන්න ඒ වගේ වගකීමක්. ජනතාවගෙ ඡන්දෙ අරගෙන රටේ පාලන බලය ගත්ත නම් ඒ රටේ ජනතාවට අවශ්‍ය පහසුකම් ටික අනිවාර්යයෙන් ම දෙන්න ඕන. ඒ පහසුකම් කප්පාදු කරන එක හෝ ඒව සීමා කරන එක ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි. චින්තනගෙ අදහස අනුව නම් හැඟෙන්නෙ ජනතාව ඒ නැතිබැරිකමට හුරුවෙන්න ඕන කියල.

 

දැන් ආයත් මේ නිදහස් කතාවට එමු.

 

sri lanka

චින්තන ම කියනව ‘‘අපි මේ වෙලාවෙ ඉන්නෙ තවත් වැටෙන්න තැනක් නැති තැනටම වැටිලා.’’  කියල. ඇත්ත නෙ... මේ වෙද්දි රටේ දරුවන්ගෙන් 29% මන්දපෝෂණයෙන් පෙළෙනව. ගැබිනි මවුවරු අතරින් 09%ක් මන්දපෝෂණයෙන් පෙළෙනව. පාසල් දරු දැරියන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් සපයන්න බැරි තරමට රාජ්‍ය බංකොලොත් වෙලා. රටේ අවශ්‍යතාව වෙනුවෙන් පැය විසිහතරම විදුලිය සපයන්න බැරි තරමට රාජ්‍ය බංකොලොත් වෙලා.  එහෙම පතුලට ම වැටිල තියෙද්දිත් අපි මිලියන 200ක් (කෝටි 20ක්) වියදම් කරල ඊනියා නිදහසේ ජෝගිය සමරන්න කටයුතු සුදානම් කරනව. ඒ අතරෙ නව ලිබරල් ආර්ථික නිදහසක් වෙනුවෙන් පෙනී ඉන්න චින්තන මේ ඊනියා නිදහස් ජෝගිය සමරන එක මාර ආතල් වැඩක් කියල කියනව.

 

බලන්න... මේ චින්තනගෙ ම වචන. ‘‘මේ දුෂ්කර නරක කාලෙදි නිදහස් උත්සවේවත් පවත්වන්නෙ නැතුව ගියොත් ඒක ලොකු හිස්කමක් ඇති කරන තත්වයක්.’’ කොහොම ද චින්තනගෙ චින්තනේ...? මට නම් වෙලාවකට හිතෙනව මේ චින්තනයට වඩා මහාචාර්ය නලින්ද සිල්වගෙ චින්තනය හොඳයි කියල. මට වෙලාවකට සැකයක් හිතෙනව ජනාධිපතිවරයට උපදෙස් දෙන්නෙ චින්තන (එහෙම කරන එක නරක නෑ) ද කියල. මොකද මේ අදහස ම පොඩි වචන හුවමාරුවක් දාල ජනාධිපතිවරයත් පහුගිය දවසක කිව්ව. ඒක හරියට අර ‘‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’’ කියන කියමනට සමානයි. ඇත්තට ම චින්තන ඔයාට නිකමට හරි හිතුණෙ නැද්ද මේ ඊනියා නිදහස් ජෝගියට වියදම් කරන කෝටි විස්සෙන් පාසල් දරුවන්ට ආහාර වේලක් දෙන්න වෙන් කරානම් හොදයි කියල. මම කියන්නෙ ඒ මුදල එකපාරට ම වියදම් කරල එහෙම කරන්න කියල නෙවෙයි. ඒ මුදල අරගෙන ස්ථිර තැන්පතුවක දානව. ඒ එන පොලියෙන් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් දෙනව. නිවාඩු කාලෙ දි එකතු වෙන පොලියත් ඒ ගිණුමට ම බැර කරනව. එතන ඉඳල ඒ මුදලට එන පොලියත් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේල දෙන්න වියදම් කරනව. ඊනියා නිදහස් ජෝගිය නවත්තල එහෙම කරා කියල කවුරුවත් (ඔයා වගේ අදහස් දරන අය හැර) දොස් කියාවි කියල මම නම් හිතන්නෙ නෑ.

හැබැයි චින්තන මේ ඍණාත්මක අදහස ලියන අතරෙ ම හොඳ ධනාත්මක අදහසකුත් ලියල තිබුණ. ඒකට ස්තුති කරන්නත් මම අමතක කරන්නෙ නෑ. චින්ත ඒ ලියවිල්ලෙම මෙන්න මෙහෙම ලියල තිබුණ.

‘‘නොවැදගත් සැමරුම් වෙන්නෙ විරු සැමරුම් වගේ ඒවයි. යුද විරුවන් සැමරීම වගේම විප්ලව විරුවන් සැමරීමත් නොවැදගත්. ඒකට හේතුව වීරයෙක් බිහිවෙන්නෙ දුෂ්ටයෙක් බිහි කරමින් නිසයි. හැම වීරයෙක් නිසාම සතුටු වෙන පිරිසක් වගේම දුක් විඳින පිරිසකුත් ඉන්නා නිසයි. හැම වීරයෙක් කියන්නෙම බෙදීමක් නිසයි.’’

ඔවු චින්තන... ‘‘හැම වීරයෙක් කියන්නෙ ම බෙදීමක්’’ තමයි. එහෙම නම් ඉතිං ඊනියා නිදහසේ විරු සැමරුමත් (ජෝගිය) එපා කියල අපි විරෝධය ප්‍රකාශ කරමු. නැත්නම් ඉතිං ඔයත් දුෂටයෙක් වෙන එක අනිවාර්යය යි.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/02/01

 
චින්තාගේ සබැඳි ලිපිය :
නිදහස ගැන උදහස - (චින්තන ධර්මදාස)

JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්