මීට සති එකහමාරකට පෙර අප රටේ සිදුවුයේ අර්ධ-ආණ්ඩු වෙනසකි. එය සම්පූර්ණ ආණ්ඩු වෙනසක් බවට පත්වන්නට නම්,

එක්කෝ අලූත් අගමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ බහුතරයේ අනුමැතිය ලැබිය යුතුය. නැතිනම්, පාර්ලිමේන්තු මැතිවරණයක් තුළින් අලූත් ජනාධිපතිතුමා නියෝජනය කරන දේශපාලන සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිවිය යුතුය.

දැනට ලංකාවේ තිබෙන්නේ මහජනතාවගේ බහුතරය විසින් තෝරා පත්කරගන්නා ලද ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තු බහුතරය තමන්ට හිමි බව තවමත් තහවුරු කර නොගත් අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක්ද සහිත ආණ්ඩුවකි.

මෙය වනාහි 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් නිර්මාණය කරන ලද අලූත් තත්ත්වයකි. එහි එක් වක්‍ර ප්‍රතිඵලයක් වී තිබෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අලූත් සාකච්ඡුාවක් ගොඩනැගීමයි. අවකාශ විවෘත වීමයි.

 

‘පරෙස්සමෙන් ලිවීම’

Text 31මෙම තේමාව ගැන සාකච්ඡුා කිරීමට පෙර, මගේ සිතේ වධ දෙන පුද්ගලික කාරණයක් ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතුව තිබේ. ‘ඔයා ඔය ලියන දේවල් ලියන්නෙ පරෙස්සමෙන් නේද?’ යනු, උදෙන්ම නැගිට කියවීමේ ලිවීමේ කටයුතුවල යෙදෙන මට මගේ භාර්යාව දැන් සතියක පමණ කාලයක සිට දවසට දෙතුන් වරක්වත් දෙන අවවාදයකි.

‘පරෙස්සමෙන් ලිවීම’ අභියෝගාත්මක අවවාදයක් වන්නේ සෑම ලේඛකයකුටම නොවේ. මගේ භාර්යාවද දන්නා පරිදි එය අදාළ වන්නේ දේශපාලන විචාරකයන්ට සහ දේශපාලන වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ටය. ලිවීමේදී පරෙස්සම් නොවීම අභියෝගයක් වන්නේ සෑම අවස්ථාවකම නොවේ. නිශ්චිත දේශපාලන පසුබිම් සහ සන්දර්භයන් තුළය. අප දැනට සම්ප්‍රාප්තවී සිටින්නේ එවැනි දේශපාලන පසුබිමකට සහ සන්දර්භයකටද? 

පුවත්පත් ලිපි මගින් දේශපාලන විග්‍රහයේ සහ විචාරයේ අවුරුදු ගණනාවක්ම යෙදී සිටි මගේ අත්දැකීම වන්නේ, දේශපාලන විචාරකයකුට හෝ වාර්තාකරුවකුට ‘පරෙස්සමෙන් ලියන දෙයක් ලියන්න’ යන අවවාදය පවුලේ ඥාතීන්ගෙන් හෝ හිතමිතුරන්ගෙන් ලැබෙන්නේද නැද්ද යන කාරණය, රටක දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සහ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස යන මේවා නිර්ණය කරන දේශපාලන වාතාවරණය පිළිබඳ මිනුම් දණ්ඩක්ද වන බවයි.

ලංකාවේ අප දැනට සිටින්නේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිර්බාධිතව භාවිත කිරීමේ නිදහස පුරවැසියන්ටත්, දේශපාලන විචාරකයන්ටත්, මාධ්‍යවේදීන්ටත් තිබි දේශපාලන වාතාවරණයක් අවසානයට පත්වෙමින් තිබෙන, අවිනිශ්චිත කාල පරිච්ඡෙදයක ආරම්භයේද?

මෙම ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් තවම නැත. සමහර විට ඒ සඳහා සති හෝ මාස ගණනක් ගතවිය හැකිය. බොහෝ විට පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඇතිවන තත්ත්වය විසින් පැහැදිලි පිළිතුරක් අපට ලබාදෙනු ඇත. එතෙක් කල් මගේ හිසේ පිටිපස පැළපදියම් වී තිබෙන මගේ භාර්යාවගේ පරෙස්සමෙන් ලිවීමේ උපදේශයට අනුව ක්‍රියාකළ යුතුද නැද්ද යන විවාදය තුළ සිරවී සිටීම මගේ දෛනික යථාර්ථයක් වනු ඇත.

 

ස්වයං-වාරණය

රටේ සිදුවන දේශපාලන දේ ගැන ‘පරෙස්සමෙන් ලිවීමේ’ අත්දැකීම් මට නැතුවාද නොවේ. විශේෂයෙන් 2015ට පෙර කාලයේ වසර ගණනාවක් තුළම මා ලියූ පුවත්පත් දේශපාලන විවරණ එසේ ‘ඉතා පරෙස්සමෙන්’ ලියූ ඒවාය. ඒ කාලයේදී අනතුරු ඇඟවීම් කිහිපයක්ම ලැබීමෙන් පසු ‘ස්වයං-වාරණය’ යන පුරුද්ද ඇතිකර ගැනීමට මට බල කෙරිණ. මගේ ස්වයං-වාරණ භාවිතයේ අංග දෙකක් ගොඩනැගුණි.

ඉන් පළමුවැන්න නම්, දේශපාලන බලයේ සිටින අයගේ කෝපයට හෝ රාජ්‍ය යන්ත්‍රයේ නිලධාරීන්ගේ උකුසු ඇස යොමුවීමට හෝ තුඩු දෙන දේවල් ලිවීමෙන් වැළකී සිටීමයි.

දෙවැන්න, දේශපාලන විවේචනය, දේශපාලනය කරන පුද්ගලයන් පිළිබඳව කරන පුද්ගලික මට්ටමේ විවේචනයක් බවට ලඝු නොකිරීමයි. මගේ, දේශපාලන විවේචනයට ලක්වන දේශපාලනඥයන්ට පවා ඔවුන්ගේ සිත නොරිදෙන පරිදි ගෞරව දක්වමින්, ඔවුන්ගේ දේශපාලනය ගැන පමණක් විවේචනය කිරීමේ ලේඛන ශෛලියක් ගොඩනගා ගැනීම සිදුවූයේ ඒ නිසාය.

පසුගිය ආණ්ඩුවේ මැද කාලයේ පටන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙපළගේ දේශපාලන වැරදි, අඩුපාඩු සහ පැහැර හැරීම් ගැන තියුණු විවේචන කරන ගමන්ම, එම විවේචන පුද්ගලික ගැරහීම්වල තත්ත්වයට ලඝුු නොකිරීමට මම හැකිතාක් උත්සාහ ගත්තෙමි.

ඒ සියල්ල තිබියදීත්, දේශපාලන විචාරකයකුට ‘ස්වයං-වාරණයේ’ යෙදීමට සිදුවීම සෑමවිටම මිහිරි අත්දැකීමක් නොවේ. ‘මගේ බුද්ධිමය විශ්වාසය මත මා මේ ලියන්නට යන දෙයින් මට හිරේ විලංගුවේ වැටෙන්නට සිදු වේවිද?, පැහැර ගනු ලැබීමට හෝ අතුරුදහන් වීමට හෝ මා ලක්විය හැකිද? පොලිසියට කටඋත්තරයක් දෙන්නට සිදුවේවිද?, ගෙදර වටේ නාඳුනන මෝටර් සයිකල්කරුවන් කැරකෙන තත්ත්වයක් ඇතිවේවිද? යනාදි විවිධාකාර බියක්, සංශයක්, විචිකිච්ඡුාවක් නොමැතිව දේශපාලන විවරණයේ යෙදී සිටි කාලය දැන් අවසානයකට පැමිණ තිබේද? යන අවිනිශ්චිතතාව මගේ පමණක් නොව, අප රටේ තවත් ලේඛකයන්ගේද සිත්වල මේ දිනවල හොල්මන් කරනු නැතැයි සිතිය නොහැකිය.

Text 32 

බලයේ සිටින අයගේත්, රාජ්‍ය යන්ත්‍රයේත් උදහසට ලක් නොවීම සඳහා ස්වයං-වාරණයේ යෙදෙමින් දේශපාලන විවරණයේ යෙදීම අමිහිරි කාර්යයක් පමණක් නොව අපහසු කාර්යයක්ද වෙයි. එය වනාහි කෙනෙකුගේ ආත්මයේ අභ්‍යන්තරයටම දැනෙන දෙයකි.

දැනට අප රටේ දේශපාලනය පවතින්නේ අවිනිශ්චිත සන්ධිස්ථානයකය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්ද රටේ සංවර්ධනයට සහ ඉදිරි ගමනට බාධාවක්ය යන මතය අප රටේ නාගරික මධ්‍යම පන්තිය, උගත් වෘත්තික ස්තර, වෘත්තීය දේශපාලනඥයන් සහ ආගමික පූජ්‍ය තන්ත්‍රය අතර අලූතෙන්ම ගොඩනැගී තිබෙන, මතවාදී සම්මතිය සහ දේශපාලන සාමානය්‍ය දැනුම බවටද පත්වී තිබීම මේ සන්ධිස්ථානයේ ඇති නිර්ණයක ලක්‍ෂණයකි.

මෙම පසුබිම තුළ, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශපාලන සාකච්ඡුාව ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව දැඩි ලෙස ඉදිරි කාලයේදී මතුවනු ඇත. අප ඉහතදී සඳහන් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡුාව අලූත්වීම, මෙම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහජන සාකච්ඡුාව අලූත් කිරීම සඳහාද විවර වන නව ආරම්භයකි.

 

ආණ්ඩුක්‍රම විවාදය:

ඉදිරි කාලයේදී දිග හැරෙන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ විවාදය පිළිබඳ මූලික කතාන්දරය, නැතහොත් නැරටිව් එක, ඉදිරිපත් වනු ඇත්තේ අලූත් ජනාධිපතිතුමා ලබාගත් ජනවරම ක්‍රියාවට නැගීමට ඇති ප්‍රධාන බාධාව 19වැනි සංශෝධනය වන්නේය යන තර්කය මතයි.

ඒ වෙතින්, යෝජනා වනු ඇත්තේ ‘විධායක ජනාධිපති ක්‍රමය’ නැවත ගෙනඒම විය හැකිය. එහෙත්, ඒ සඳහා අලූත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර එකඟතාවක් ඇතිවිය හැකිද?

Text 33ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකම පවුලේ සහෝදරයන් වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බලන විට, රාජ්‍ය ව්‍යුහය තුළ ඒ දෙදෙනා නියෝජනය කරන්නේ බල මධ්‍යස්ථාන දෙකකි. මහජනතාව වෙතින්ම තමන්ට ජනවරමක් ලැබුණිය යන තර්කය මත සිටියද, මෛත්‍රී  ජනාධිපතිතුමාද අවබෝධ කරගත් පරිදි, ජනාධිපතිවරයා සාපේක්‍ෂ වශයෙන් බලය අඩු බල මධ්‍යස්ථානයකි. අග්‍රාමාත්‍යවරයා, සාපේක්‍ෂ වශයෙන් බලය වැඩි බල මධ්‍යස්ථානයකි.

ආරක්‍ෂක ඇමතිධුරය තමා වෙත තබා ගැනීම නව ජනාධිපතිවරයාගේ අභිලාෂය වුවද, ඒ සඳහා ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බලයක් නැත. ඒ අතර අමාත්‍ය මණ්ඩලය පත්කරනු ලැබ ඇත්තේත්, ඉදිරියේදී පත්කෙරෙනු ඇත්තේත් අග්‍රාමාත්‍යවරයාගේ කැමැත්ත සහ තේරීම මතය. අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්‍ෂයේ සාමාන්‍ය සාමාජිකයකු වන ජනාධිපතිවරයාට, මන්ත්‍රීවරුන්ගේ හා කැබිනට් ඇමතිවරුන්ගේ දේශපාලන ළැදියාව සහ භක්තිය පාලනය කිරීමේ කිසිදු හැකියාවක් නැත.

ඒ ඇරත්, අලූත් ජනාධිපතිවරයා නායකත්වය දරන කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්, ඔහු කියා සිටි ආකාරයේ කුසලතාධාරී වෘත්තිකයන් නම් නොවේ, ඊට වෙනස් අයයි. 

මෙම ප්‍රතිවිරෝධය ජයගැනීමට අලූත් ජනාධිපතිවරයාට කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය තේරීම කුමක්ද? ඔහුට ලැබෙන්නට ඉඩ තිබෙන එක උපදෙසක් නම්, ඇමෙරිකානු හෝ ප්‍රංශ ආකාරයේ කැබිනට් ක්‍රමයක් නිර්මාණය කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ගැන සොයාබැලිය හැකිය යන්නයි.

ඇමෙරිකාවේ කැබිනට් ඇමතිවරුන් ජනාධිපතිවරයා විසින් තෝරාගනු ලබන්නේ කොංග්‍රස් සාමාජිකයන්ගෙන් නොවේ. ලංකාවේ ‘වියත් මඟ’ වැනි සංවිධාන තුළින් ජනාධිපතිවරයාට ජයගැනීමට ආධාර කළ සහ අරමුදල් පරිත්‍යාග කළ පුද්ගලික මිතුරන් අතුරෙනි. ප්‍රංශයේ පවත්නා ක්‍රමය අනුව ඇමතිවරුන්, ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් විය යුතුම නොවේ.

Text 34

අලූත් කැබිනට් ක්‍රමයක්

අලූත් ආකාරයක කැබිනට් ක්‍රමයක් ගැන සාකච්ඡුා දැනටමත් පටන්ගෙන තිබේ. එනම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් වැනි ජනාධිපතිවරයාට පුද්ගලිකව ළැදි දේශපාලනඥයන් නොවන පුද්ගලයන්ද ඇමතිවරුන් බවට පත්කළ හැකි වන ලෙස ආණ්ඩුක්‍රම සංශෝධනයක් ගෙනඒමයි.

 ‘කුසලතාධාරීන්ගේ පාලනතන්ත්‍රයක්’ පිළිබඳව ‘වියත්මඟ’ සංවිධානය යෝජනා කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී අවධාරණය කළ අදහසින් යෝජනා වන්නේ මෙවැන්නකි. 

දැනට පවතින තත්ත්වය තුළ, දහනවවැනි සංශෝධනය යටතේ තිබෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති බල සම්බන්ධය මූලික වෙනසකට භාජනය කිරීමේ තත්ත්වයක් කරා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සාකච්ඡුාව යළි දිසාගත වීමට හොඳටම ඉඩ තිබේ. මෙය වනාහි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශපාලන සාකච්ඡුාවද යළි ශක්තිමත් කිරීමේ විවෘතවීමක් වනු ඇත.

(උපුටා ගැනීම අනිද්දා : මහචාර්ය ජයදේව උයන්ගොඩ)

Jayadewa Uyangoda

 

  

    Jayadeva Uyangoda 
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා