ප්‍රජාතාන්ත්‍රික ජන අරගලයට එල්ල වූ රාජ්‍ය මර්දනයෙන් පළමු වරට ජීවිතයක් අහිමිව ගොස් තිබේ.

පසුගියදා ජාතික ජන බලවේගය විසින් කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල සංවිධානය කරන ලද සාර්ථක ජන රැළියට එල්ල වූ ප්‍රහාරයේ ප්‍රතිපලයක් ලෙස පළාත් පාලන මැතිවරණයෙහි ජාජබ අපේක්ෂකයෙකු වූ නිමල් අමරසිරි මහතා ජීවිතක්‍ෂයට පත් විය. රැළියට එල්ල වූ පොලිස් ප්‍රහාරය කිසිදු ප්‍රචණ්ඩ හෝ කුපිතකාරී හැසිරීමක් පාලනය කිරීමේ අරමුණින් කළ එකක් නොවූ බැව් පැහැදිලිය. සැබවින්ම කුපිතකාරී වූයේ එම ප්‍රහාරයයි. (මෙය මෑතකදී සාමකාමී මහජන විරෝධතාවලට එරෙහි පහරදීම් තුළ දක්නට ලැබුණු පොදු ලක්ෂණයක් යැයි කිව හැකිය). නමුත්, ප්‍රහාරයෙන් කුපිත වී එයට ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර නොදැක්වීමට තරම් රැළියේ සංවිධායකයෝ පරිණතභාවයක් ප්‍රකට කළහ.

 

මේ ප්‍රහාරය එල්ල වූයේ ව්‍යවස්ථාපිත ලෙස නිසි කලට පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට තමන් කිසිදු සූදානමක් නොදක්වන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලනාධිකාරය නොසඟවා ප්‍රකාශයට පත් කළ පසුබිමක් තුළය. "කල් දැමීමට ජන්දයක් නැතැයි" යන ජනපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස මෑත දිනෙක පුබුදු ජයගොඩ පවසා තිබූ පරිදි එය මැච් එක පැරදෙමින් එන විට බෝලය සැඟවීම හා සමානය.

 

 

පුබුදුගේ ඉහත ප්‍රකාශය ඇසුරින්ම සාකච්ජාවට ලක් කළ හැකි වැදගත් දේශපාලන න්‍යායික තේමාවක් තිබේ. එනම්, අප සැවොම සහභාගී වෙමින් සිටින දේශපාලන ක්‍රීඩාවේ රීතීන් නිර්මාණය කර ඇත්තේ කව්රුන් විසින්ද යන්නත් අවශ්‍ය විටෙක එම රීතීන් කඩ කිරීමට හැකියාවක් තිබෙන්නේ කා හටද යන්නත්ය. තරගයේ ප්‍රධාන පාර්ශවකරුවෙකු විසින්ම එහි රීතීන් කඩ කෙරෙන තත්ත්වයක් තුළ සෙසු දේශපාලන කතෘකයන් විසින් කළ යුතුව ඇත්තේ කුමක්දැයි සාකච්ජා කිරීමද මේ මොහොතේදී ප්‍රයෝජනවත් වනු ඇත. මේ කෙටි ලිපිය ඒ සඳහා ආරම්භයකි. 


තරගයේ රීතීන් සහ දේශපාලනිකය

ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය අප අද එය දන්නා අයුරින් ක්‍රියාත්මක වන්නේ එහි සියලු සහභාගිකයින් විසින් පොදුවේ පිළිගනු ලබන තරඟ රීතීන් රාමුවක් තුළය. නිසි කලට පැවැත්වෙන මැතිවරණ වනාහී එම රීතීන් අතුරින් ප්‍රමුඛ වූවකි. පවතින දේශපාලන පර්යාය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා එම රීතීන් මාලාව ආරක්ෂා කරගත යුතුය. වත්මනෙහි මෙරට උත්ප්‍රාසජනක කාරණයක් වී ඇත්තේ ක්‍රමයෙහි චිරස්ථිතිය සඳහා අවශ්‍ය වන්නා වූ එම රීතීන් කඩ කරමින් සිටින්නේ පාලන බලය හොබවන පිරිස විසින් වීමත්, එම රීතීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නේ ජාජබ ප්‍රමුඛ විපාක්ෂික බලවේග විසින් වීමත්ය.
 
 
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ මෑතකාලීන ප්‍රකාශයන් සහ ක්‍රියාකාරීත්වයන් පරීක්ෂා කර බලන විට පෙනී යන්නේ සංස්ථාපිත රීතීන්වල රාමුව ඉක්මවා යාමට නොහොත් ඒවා නොතකා හරින්නට ඔහු ඇතැම්විට පසුබට නොවන බවයි. වෙනත් වචනවලින් කිවහොත්, ඔහුගේ චර්යාවන් එකී රීතීන් මගින් නියාමනය වන බවක් පෙනෙන්නේ නැත. ඔහු තමාව ස්ථානගත කර ගන්නට කැමති බවක් පෙනෙන්නේ රීතීන් අනුව ක්‍රීඩා කරන තැනක නොව ක්‍රීඩාවේ රීතීන් නිර්මාණය කරන්නා වූ තැනකය. ලිබරල් ප්‍රජාතාන්ත්‍රික පිළිගැනීම් අනුව ගත් කල්හි මේ වනාහී නිශේධනීය ලක්ෂණයකි. වික්‍රමසිංහ හට සහාය දක්වන අවංක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් හට පවා ජන අරගලය මර්දනය කිරීමේත්, මහජන මතය විමසීමට ඇති අවස්ථා අහිමි කිරීමේත්, මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණ මත රඳා පැවතීමේත් ඔහුගේ නැඹුරුව විවේචනය නොකර සිටින්නට නොහැකි වී ඇත්තේ ඔහුගේ චර්යාවන් අපගේ පොදු ප්‍රජාතාන්ත්‍රික රීතීන් සමග අනුගත නොවීම නිසාය.
 
 
නමුත්, අප සියල්ලන් විසින්ම බෙදාගෙන සිටින්නා වූ මෙම පොදු රීතීන් රාමුව නිර්මාණය වූයේ කෙසේද? එම රීතීන් මේ නිශ්චිත ආකාරයෙන් හැඩ ගස්වනු ලැබ තිබෙන්නේ කෙසේද? ඒවා හැඩ ගැස්වීමේ බලය සහ හැකියාව තිබුණේ කා හටද? ඒවා එලෙස සැකසීම සහ හැඩ ගස්වනු ලැබීම නිර්-දේශපාලනික ක්‍රියාවක්ද? නොඑසේනම්, රීතීන් නිර්මාණය කිරීමේ ක්‍රියාව එම රීතීන් අනුව ක්‍රීඩා කිරීමේ ක්‍රියාවටත් වඩා දේශපාලනික වනවා නොවේද? අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් විසින් වර්ධනය කරන ලද පශ්චාත්-මාක්ස්වාදී න්‍යාය තුළ මේ ප්‍රශ්නවලට කදිම පිළිතුරක් ලබා දී ඇත. ඒ දේශපාලනිකය (the political) පිළිබඳ සංකල්පය මගිනි. දේශපාලනය යනු දැනටමත් පොදු රීතීන් රාමුවක් පිළිගෙන සිටින ප්‍රජාවක් අතර සිදුවන දෙයකි. එහිදී අනෙකාව දකිනු ලබන්නේ විනාශ කර දැමිය යුතු සතුරෙකු ලෙසින් නොව පරාජය කළ යුතු විපාක්ෂිකයෙකු ලෙසිනි. නමුත්, අපගේ දේශපාලන ප්‍රජාවේ ක්‍රීඩා රීතීන් නිර්මාණය කිරීම සහ වෙනස් කිරීම සිදුවන තලය වනාහී ඉහත විස්තර කළ දේශපාලනයේ තලයට වඩා රැඩිකල් වූවකි. ඒ දේශපාලනිකයේ තලයයි.
 

සරලව කිව හොත්, එම තලය තුළ සිටින්නේ 'ගේම් ප්ලේයර්ස්ලා' නොව 'ගේම් චේන්ජර්ස්ලා' ය. පැරණි ලාංකීය ක්‍රිකට් නිදසුනකින් විස්තර කළ හොත්, සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ අසම්ප්‍රදායික පිති හරඹයක යෙදෙමින් සාම්ප්‍රදායික එක් දින තරඟවල රටාව වෙනසකට ලක් කළාක් මෙනි. එම රීතීන් හැඩ ගස්වා තිබුණේ පළමු පන්දු වාර පහළොව තුළදී පිතිකරුවන් දිගින් දිගටම මීටර් සියයේ සීමාවට උඩින් පිති ප්‍රහාර එල්ල නොකරනු ඇතැයි උපකල්පනය කර විය යුතුය. නමුත්, සනත් සහ රොමේෂ් එම උපකල්පනය බිඳ දැමීය. ඒ අනුව, වෙනත් තත්ත්වයක් තුළ උඩ පන්දු විය හැකි පහරවල් පළමු ඕවර් පහළොව තුළදී හතරේ පහරවල් බවට පරිවර්තනය කිරීමට හැකි බව ඔවුන් සොයා ගත්හ. ඔවුනගේ ක්‍රියාවෙන් තරඟ රීතීන් වෙනස් නොවූවද, ගේම් එක වෙනස් විය. 


දේශපාලන න්‍යාය පත්‍ර සැකසීමේ දේශපාලනය
 
 
මා කියන්නට යන්නේ රනිල් වික්‍රමසිංහ 'ගේම් චේන්ජර්' කෙනෙකු බව නොවේ. නමුත්, පසුගිය දශක කිහිපය තුළ ලොව පුරා අන්ත-දක්ෂිණාංශික සහ ඒකාධිපතිවාදී නායකයින් ගණනාවක් තුළම හඳුනාගත හැකි ලක්ෂණයක් වන දේශපාලනිකයේ තලය ස්පර්ෂ කිරීමට ඔහු සමත්ව තිබෙන බවයි. ඒ අරුතින් ලාංකීය 'ට්‍රම්ප් භූමිකාවට' වඩා සමීප වන්නේ ගෝඨාභය රාජපක්ෂට වඩා රනිල් වික්‍රමසිංහ යැයි කිව හැකිය. ප්‍රජාතාන්ත්‍රික රීතීන්, සම්මුතීන් සහ චර්යා විධි නොතකා හරිමින් බලය සහ පසමිතුරුතාව මගින් පමණක් නිර්වචනය වන දේශපාලනිකය තුළ ක්‍රියාත්මක වීමට ට්‍රම්ප් වැනි අන්ත-දක්ෂිණාංශිකයින් සමත් වූහ. එහි ප්‍රතිපලයක් ලෙස ක්‍රම ක්‍රමයෙන් සෙසු දේශපාලන කතෘකයන් හටද එම අන්ත-දක්ෂිණාංශය විසින් නැවත නිර්වචනය කරන ලද තරඟ රීතීන් අනුව ක්‍රීඩා කරන්නට සිදු විය. 
 
 
මේ සංසිද්ධිය වටහා ගැනීමේදී දේශපාලනය බලය යනු හුදෙක් රාජ්‍ය බලයට පමණක් සීමා නොවූවක්ය යන අවබෝධය ප්‍රයෝජනවත් වේ. සමකාලීන සමාජ සහ දේශපාලන න්‍යාය විසින් පෙන්වා දෙනු ලබන පරිදි බලයෙහි බහු-විධ ස්වරූප තිබේ. රාජ්‍ය බලය දිනාගැනීමේ උපායමාර්ගයකින් තොරව ක්‍රියාත්මක වන දේශපාලනය අනිවාර්යයෙන්ම ප්‍රතිගාමීත්වයට වාසි සහගත වනු ඇතැයි තර්ක කරන ඇතැම් ජවිපෙ/ජාජබ න්‍යායවේදීන් විසින් වටහාගෙන නොමැති කාරණය වන්නේ එයයි. දේශපාලන බලයේ එක් වැදගත් ස්වරූපයක් වන්නේ දවසේ දේශපාලන න්‍යාය පත්‍රය සැකසීමේ බලයයි. පසුගිය වසරේ අරගලය සමයේදී එම බලය සැලකිය යුතු මට්ටමකින් අරගලකරුවන් අතට හිමිව තිබිණ.
 
 
නමුත්, දැන් විශේෂයෙන්ම වික්‍රමසිංහගේ සමත්කමක් වී තිබෙන්නේ දවසේ දේශපාලන න්‍යාය පත්‍රය සැකසීමේ බලය තමන් සතු කර ගැනීමයි. දැන් බොහෝ දේශපාලන පක්ෂ වැඩ කරන්නේ වික්‍රමසිංහ විසින් දැනුවත් තෝරා ගැනීමක් අනුව සකසන ලද න්‍යාය පත්‍රයේ අංගයන් වන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම/නොපැවැත්වීම, 13 වන සංශෝධන විවාදය, ආදායම් බදු පැණවීම යනාදිය මුල් කොට ගනිමිනි. තවමත් දෛනික දේශපාලන සර්කස් දර්ශනයේ මැජික් පොල්ල ඇත්තේ ඔහු අතය. ඔහු මේ සියල්ල කරන්නේ මහජන වරමකින් තහවුරු වූ හෙජමොනික ආධිපත්‍යයකින්ද තොරවය. එබැවින්, නව ක්‍රීඩාව මර්දනය, බලහත්කාරය සහ හිංසනය ඔස්සේ දිවෙන්නකි. 
GettyImages 1247498328
 
මෙවන් තත්ත්වයක් තුළ සැබෑ ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් අපේක්ෂා කරන පක්ෂ, සංවිධාන, කණ්ඩායම් සහ පුද්ගලයින් විසින් කළ යුතුව ඇත්තේ කුමක්ද? වෙනස් සන්ධර්භයක් තුළ ස්ලේවෝයී ශිෂෙක් පවසන්නේ දක්ෂිණාංශය දේශපාලනයේ අසම්ප්‍රදායික මානය (නොහොත් දේශපාලනිකයේ මානය) හඳුනාගන්නා විට වාමාංශය තවමත් සංස්ථාපිත රීතීන් අනුවම දේශපාලන ක්‍රීඩාවේ නිරත වන්නට ප්‍රයත්න දරමින් සිටින බවයි. නමුත්, මේ ප්‍රජාතාන්ත්‍රික බලවේග සහ වාමාංශය දේශපාලනිකයේ නිර්මාණාත්මක මානය හඳුනාගන්නට අවැසි කාලයයි. එහි අදහස වන්නේ දක්ෂිණාංශය මෙන් මූලික ප්‍රජාතාන්ත්‍රික රීතීන් සහ සම්මුතීන් කඩ කරමින් අත්තනෝමතික මගකට අවතීර්ණ විය යුතු බව නොවේ. එහි සම්පූර්ණ අනෙක් පැත්තය. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයම වඩා ගැඹුරු හා පුළුල් කිරීම සඳහා පවත්නා දේශපාලන ක්‍රීඩාවේ රීතීන් නැවත සැකසීමේත් දවසේ දේශපාලන න්‍යාය පත්‍රය නිශ්චය කිරීමේත් නව උපායමාර්ගික දැක්මක් ගොඩ නංවා ගැනීමයි.      


Sumith Chminda(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්