මාර්තු 15 වනදා සමස්ත මහා වැඩ වර්ජනය අවසන් විය.
සාර්ථක ලෙස රට පුරාම එය ක්‍රියාත්මක වූ බව සැබෑය. නමුත්, වැඩ වර්ජකයින්ගේ ඉල්ලීම් පිළිබඳව වික්‍රමසිංහ පාලනය තවමත් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැත. දින කිහිපයකට පෙර පොලීසියේ මර්දනකාරී ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් විසින් කරන ලද විරෝධය ද මර්දනයට ලක් කෙරිණ. මානව හිමිකම් කොමිසම පොලිසිය භාර ඇමතිවරයා වෙත කරන ලද කැඳවීම නිසි ආකාරයට සිදු නොවූයේය යන හේතු දැක්වීම මත සරලව නොතකා හරින ලදී. කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී ජාතික ජන බලවේගයේ අති සාර්ථක ජන රැළියක් පැවැත්විණ. නමුත්, එහි ප්‍රධාන ඉල්ලීමක් වූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන පාලනාධිකාරය තවමත් නිහඬය.
මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් සිටින්නේ ජවිපෙ/ජාජබ සහ සමගි ජන බලවේගය පමණක් නොවේ. රාජපක්ෂ කඳවුරේ අවශේෂ කොටස් ලෙස සැලකිය හැකි උත්තර ලංකා සන්ධානය, නිදහස සන්ධානය, ශ්‍රීලනිපය සහ මෑතකදී ජනරජ පක්ෂය ලෙසින් නම වෙනස් කරගත් චම්පික රණවකගේ කණ්ඩායම යන පිරිස් ද නාමිකව හෝ මැතිවරණයක් පිළිබඳ ඉල්ලීමට දායක වෙමින් සිටිනු දක්නට ලැබේ. (වත්මන් ආර්ථික සහ සමාජ ව්‍යසනයට විශාල වශයෙන් දායක වී තිබෙන පසු කී කණ්ඩායම්වල සුජාතභාවය ද දැන් වික්‍රමසිංහ/රාජපක්ෂ කඳවුරේ සුජාතභාවය තරමටම අර්බුදයට ගොස් තිබේය යන්න වෙනම කාරණයකි). සරදම්ජනක ලෙස, මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙස ප්‍රකාශ නිකුත් කරන කණ්ඩායම් අතර අස්ගිරි-මල්වතු මහානායක දෙපළ සේම කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ද හඳුනාගත හැකිය! නමුත්, සියල්ල එසේ තිබියදීත්, ඒ මදිවාට මැතිවරණයට අදාළ මුදල් නිකුත් කිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබී තිබියදීත් එය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා විවිධ හේතූන් ඉදිරිපත් කෙරෙමින් තිබේ.
මීට අමතරව, දිනෙන් දින උග්‍ර වන ජීවන වියදම හමුවේ සෑම දිනකම රටේ විවිධ තැන්වල විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙයි. නමුත්, ඒවායෙහි ඉල්ලීම් ඉටු නොකෙරෙනවා පමණක් නොව ඒවාට සවන් දීමක් පවා ආණ්ඩුවේ පාර්ශවයෙන් සිදු වන බවක් නොපෙනේ. ඇස් පනාපිට බොහෝ දේ සිදුවෙමින් තිබුණද හරයාත්මකව කිසිවක් වෙනස් වන හැඩක් පෙනෙන්නට නැත. මේ ගෙවී යමින් තිබෙන නිමේෂය එබඳුය.

මේ තත්ත්වය අප තේරුම් ගත යුත්තේ කෙසේද? බොහෝ විශ්ලේෂකයින් මෙය තේරුම් කරන්නේ වික්‍රමසිංහ පාලනය ජන මතයට කන් නොදෙන උද්දච්ච පාලනයක් බැවින් මෙවන් චර්යාවක් ප්‍රකට කරනවාය යනුවෙනි. නමුත්, අප එවන් ආත්මීය වර්ගීකරණයක් මත රඳා නොපවතී නම්, ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ වික්‍රමසිංහ පාලනයට මේ තරම් දුරට බහුතර ජන මතය නොතකා හරින්නට හැකියාව ලැබී තිබෙන්නේ කෙසේද යන්නයි. ජනතා අනුමැතියක් නොමැතිව, මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණ මත අධික ලෙස රඳා පවතිමින් සහ විවෘතවම ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතා අනුව ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය ද්විතීයික තැනට ඇද දමමින් බලයේ හිඳින්නට වික්‍රමසිංහ-රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයට හැකියාව ලැබී තිබෙන්නේ කෙසේද? මා මින් ඉහතදීද පෙන්වා දී ඇති පරිදි, එය හුදෙක් රාජ්‍ය මර්දනයේ පිහිටෙන් බලය දැරීමක් ලෙස පමණක් තේරුම් කිරීම අතිසරල වූවකි. මහජන කැමැත්ත නොහොත් අවනතභාවය ගොඩ නැංවීමත් මර්දනයත් අතිනත් ගෙන යයි. මර්දනයේ පැතිමානය වෙතට අධි-අවධාරණයක් යොමු කරන විපාක්ෂික බලවේගවලට ඇතැම් විට මග හැරී යන කාරණයක් වන්නේ වත්මන් ප්‍රභූ තාන්ත්‍රික පාලනයෙහි දෘෂ්ටිවාදීමය කැමැත්ත ගොඩ නැංවීමේ මානයයි.
සැබවින්ම දෘෂ්ටිවාදීමය ක්ෂේත්‍රයෙහි වික්‍රමසිංහ පාලනය සිටින්නේ අතිශය අවාසිදායක තත්ත්වයකය. ඔහුගේ පාලනයට සෘජුව සහාය දක්වන බුද්ධිමය සහ සදාචාරමය නායකත්ව ශ්‍රේණිය ඉතාම පටු එකක් වීම ඔහු මුහුණ දෙමින් සිටින ප්‍රධාන අභියෝගයකි. දැනට වික්‍රමසිංහ පාලනයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පැතිමාන පවා දෘෂ්ටිවාදීමය ලෙස සාධාරණීකරණය කරමින් සිටින බුද්ධිමතුන් කණ්ඩායම් දෙකක් අඩු තරමින් හඳුනාගත හැකිය. එනම්, ඔහු අනුයන නව-ලිබරල් ආර්ථික මාවතට සෘජුව සහාය දක්වන ආර්ථික-දක්ෂිණාංශික බුද්ධිමතුන් සහ තවමත් ඔහුව දේශපාලන ලිබරල්වාදියෙකු ලෙස චිත්‍රණය කොට පෙන්වන්නට අසාර්ථක ප්‍රයත්නයක යෙදෙමින් සිටින කුඩා 'ලිබරල්වාදී' බුද්ධිමය තීරුවයි. මේ දෙවන බුද්ධිමය තීරුව සමන්විතව ඇත්තේ කලක් මානව අයිතීන් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරැකීම වැනි නිෂ්ටාවන් වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීව සිටි පිරිස්වලින් වීම සරදම්ජනකය. නමුත්, මේ දෙපිරිසම පොදුජන මනස හැඩ ගැස්වීම පැත්තෙන් එතරම් බලපෑම් සහගත හැකියාවක් තිබෙන අයවළුන් නොවේ. විශේෂයෙන්ම දෙවන බුද්ධිමය තීරුව වික්‍රමසිංහ පාලනයට සුජාතභාවයක් ලබා දීමට වඩා දැන් තමන්ගේම සුජාතභාවය අහිමි වී යාමේ අර්බුදයකට මුහුණ දෙමින් සිටින සෙයකි.

එසේ හැඩ ගස්වා ඇති පොදුජන අවබෝධයට අනුව වත්මන් ආර්ථික අර්බුදයට එකම සහ අනභියෝගී විසඳුම වන්නේ අයි.එම්.එෆ් වැඩ පිළිවෙළ වන අතර, එය වඩාත් හොඳින් ක්‍රියාවට නැගිය හැක්කේ වික්‍රමසිංහ හටය. මේ අදහස බොහෝ විට ඉදිරිපත් වන්නේ උපන්‍යාසයක් ලෙසින් වුවද, පොදුජන අවබෝධය නමැති සටන් බිම තුළ එය අභියෝගයට ලක් නොවන තාක් කල් එය නිගමනයක් සේ ක්‍රියා කරයි. කොටින්ම, යමෙකු මෙම මූලික උපන්‍යාසය රහසිගතව හෝ පිළිගන්නේ නම්, මේ මොහොතේදී වික්‍රමසිංහ/රාජපක්ෂ ප්‍රභූ තන්ත්‍රයට එරෙහි ජන අරගලය වෙත ඔහුගේ/ඇයගේ පා එසවෙතැයි අපේක්ෂා කළ නොහැකිය. ඉනුත් ඔබ්බට ගොස් මේ පිළිගැනීම අනුව සැබවින්ම අරගලකරුවන්ව දකිනු ලබන්නේ ආර්ථිකය ගොඩ ගැනීමේ අසීරු මෙහෙයුමකට බාධා කරන කඩාකප්පල්කාරීන් පිරිසක් ලෙසයි. වික්‍රමසිංහගේ ආර්ථික මෙහෙයුම අවසන් වන තෙක් දේශපාලනය අඩස්සිගත කළ යුතුය යන ඉල්ලීමේ හරය වන්නේ එයයි.
වික්‍රමසිංහ පාලනයේ පැවැත්ම වියහැකියාවක් වන්නේ කෙසේදැයි වටහා ගැනීමේදී වත්මන් දේශපාලන නිමේෂයට අදාළ වැදගත් සන්ධානගත වීම් දෙකක් වෙතද අවධානය යොමු කළ යුතුය.
වික්‍රමසිංහ පාලනයේ භූ-දේශපාලනික සන්ධානය (සහ එහි දේශපාලන ගම්‍යයන්) වෙනම විශ්ලේෂණය කළ යුතුය. සංක්ෂිප්තව කිව හොත්, වික්‍රමසිංහ/රාජපක්ෂ සන්ධානයේ පැවැත්ම ගැන විශේෂ වුවමනාවක් අයි.එම්.එෆ් සංවිධානයට ඇතැයි සිතිය නොහැකිය. මැතිවරණයකින් තහවුරු වූ බහුතර ජන බලයක් සහිත ආණ්ඩුවක් ඔස්සේ තම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි නම්, ඔවුන් වඩා කැමති වනු ඇත. එම නව ආණ්ඩුව බලයට පත් වන්නේ ජනප්‍රිය වේදිකාව මත අයි.එම්.එෆ් විවේචනයට ලක් කරමින් වුවද, ඔවුනට එය ගැටළුවක් විය නොහැකිය (ග්‍රීසියේ සිරිසා අත්දැකීම වැන්නක්). ඒ සමගම, ආර්ථිකමය තලයෙහි කාරණා එසේ වුවද දේශපාලනික බලපෑමේ ක්ෂේත්‍රය තුළ බොහෝ විට වඩා බලවත් රාජ්‍යයන් ප්‍රිය කරන්නේ මූලෝපායික වශයෙන් වැදගත් කුඩා රටවල දුර්වල පාලන තන්ත්‍රයන් පවතින තත්ත්වයක් බවද අප අමතක නොකළ යුතුය. ශක්තිමත් ජන වරමක් නොමැති වූද, බරපතල ලෙස පැවැත්ම පිළිබඳ අරගලයක යෙදී සිටින්නා වූද පාලනාධිකාරයක් තම භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා අවනත කරගැනීම වඩා පහසු බව ඕනෑම ගෝලීය හෝ කලාපීය බලවතෙකු දනී.
මෙවන් සුවිශේෂී පැවැත්මේ කොන්දේසි මත රඳා පවතින ප්‍රභූ තන්ත්‍රයක් කිසිසේත්ම සාමාන්‍ය 'තරඟයේ රීතීන්' අනුව ක්‍රීඩා කරාවි යැයි අපේක්ෂා කළ හැකිද? දැන් අනතුරට ලක්ව තිබෙන්නේ එක් හෝ තවත් පක්ෂයක පැවැත්ම පමණක් නොව සංස්ථාපිත දේශපාලන ප්‍රභූවේම පැවැත්ම බව එහි ප්‍රමුඛ නායකයින් (විශේෂයෙන්ම වික්‍රමසිංහ) නොදන්නවා විය හැකිද? සමූහයක් ලෙස ස්වකීය පැවැත්ම අභියෝගයට ලක්ව තිබෙන වාතාවරණයක් තුළ මෙම දේශපාලන ප්‍රභූව කිසියම් පොදු විඥානයක් ගොඩ නගා ගනිමින් සිටිනවා විය නොහැකිද? ඇතැම් විට, වෙනස් සංධර්භයක් තුළ ඩේවිඩ් හාවී පවසනවා සේ දැන් පාලකයින්ගේ පැත්තෙන් පන්ති විඥානයක් ක්‍රියාත්මක වනවා යැයි කිව නොහැකිද? එම සාමූහික විඥානය ක්‍රියාත්මක වන්නේ තම අහිමි වූ සුජාතභාවය සහ හෙජමොනිය නැවත අත්පත් කරගැනීමේ කිසියම් අප්‍රකාශිත මාර්ග සිතියමකට අනුව විය නොහැකිද? පළමුව අයි.එම්.එෆ් ණය සහතිකය ලබා ගැනීම, දෙවනුව යළිත් ණය චක්‍රයට ඇතුල් වීම, තෙවනුව රට තුළ අනුග්‍රාහක දේශපාලන යාන්ත්‍රණය යළිත් පණ ගැන්වීම, සිව්වෙනුව තමන්ට වඩා වාසිදායක මොහොතක ජනාධිපතිවරණය පැවැත්වීම යනාදී ලෙස එම මාර්ග සිතියම එළෙනු ඇතැයි යන්න මගේ උපන්‍යාසයයි. සංකේතීය පිළිවෙළෙහි පැවැත්ම අධික ලෙස විශ්වාස කරන නායකත්වයකට මේ මාර්ග සිතියම හකුළා ඒ වෙනුවට තම මාර්ග සිතියමක් ආදේශ කිරීම පහසු නොවනු ඇත. මන්ද යත්, දැන් අරගලය ඇත්තේ දේශපාලනය තුළ නොව දේශපාලනිකය තුළයි.