පසුගිය මාර්තු 23 වන දින ජනාධිපති වික්‍රමසිංහ මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ප්‍රධානීන් කර්තෘවරුන් හා මාධ්‍යවේදීන්ගේ හමුවක් පැවැත් වීය.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලාංකාණ්ඩුව ඇතිකරගත් ඔවුන්ගේ විස්තීරණ සහන අරමුදලේ ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිත ගිවිසුම්ගත වැඩසටහන සම්බන්ධ විස්තර දැක්වීමට පැවැත් වූවකි.

එහිදී එක් මාධ්‍යවේදිනියක විසින් අසනු ලැබූ වැදගත් ප්‍රශ්නයකට ජනාධිපති විසින් දෙන ලද “හරහා වැටෙන” පිළිතුරු වලින් සියල්ලෝ නිහඬ වූහ. මෙය බොහෝ අවස්ථාවල මාධ්‍යවේදීන් මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයකි. එය පිළිතුරු දෙන්නාගේ හැකියාවට වඩා ප්‍රශ්න අසන මාධ්‍යවේදීන් තමන් අසන ප්‍රශ්නයට අදාල පසුබිම් තොරතුරු නොදන්නාකම නිසා ඇතිවන අසරණවීමකි.

“ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් සමාගම ඇතුලු රජයේ ආයතන කිහිපයක රජයේ කොටස් විකුණා දැමීමට තීරණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මේ හැම එකක්ම පාඩු ලබන ආයතනද?” යනුවෙන් එදින එම මාධ්‍යවේදිනය ජනාධිපති වෙත යොමු කළ ඉල්ලීමට ඔහුගේ ආරම්භක පැහැදිලි කිරීම වූයේ “ඔක්කොම පාඩු ලබන්නෙ නැහැ. අපට ණය ගෙවන්න තියෙනවානේද? මේවා තියා ගෙන ණය ගෙවන්න බැහැනෙ. අපට ණය ගෙවන්න බැරි නම්, ගෙදර තියෙන මොකක් හරි විකුණලා හරි ණය ගෙවන්න ඕනනේ....” එයට මාධ්‍යවේදිනියගේ අතුරු ප්‍රශ්නය වූයේ සියල්ල පාඩු ලබන්නේ නැතිනම්, පාඩු නොලබන ආයතන විකුණන්නේ මන්ද යන්න ය.

“ඔය මොන ආර්ථික ධර්මෙද කියන්න මට. මොන ආර්ථික ධර්මෙද මගෙන් අහන්නේ? ඒක කියන්න. එතකොට මං කියන්නම්.” අනතුරුව ඔහුගේ පැහැදිලි කිරීමේ අදාල ඉලක්කගත උදෘත කිහිපය මෙවැනිය. “ඇයි රජය බිස්නස් ව්‍යාපාරවල ඉන්නේ? අපේ වැඩක් නෙවෙයිනෙ ඒක. අපි රජයේ ව්‍යාපාරවල ඉන්න වැඩක් නැහැ......... කොයි රටේද නීතියක් තියෙන්නෙ මේවා තියෙන්න ඕනෙ කියලා......දැන් ඉන්දියාව විකුණුවානේ ගුවන් තොටුපොළවල්....ලාභ ලබන ඒවා. දැන් අපිටත් තියෙන්නේ එතෙන්ට යන්න....රජයට තියෙන්නේ නීතිය සාමය ආරක්ෂා කරන්න. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න....එංගලන්තෙ කරන්නෙ ඒකනේ. එංගලන්තේ කාටද අයිති ටෙලිකොම් එක? කාටද අයිති ප්‍රංශේ? කාටද අයිති ඇමෙරිකාවේ? ඉතිං අපි එහෙම දියුණු වෙන්න ඕනේ. නැත්තං උතුරු කොරියාව වගේ වැටෙන්න ඕනෙ”

 



ජනාධිපතිවරයාගේ පිළිතුරු මගින් ඔහු තහවුරු කිරීමට උත්සාහ කළ කාරණා කිහිපයට ප්‍රතිචාර දැක්වීමට ප්‍රථම, කිව යුත්තේ මාධ්‍යවේදීන්ට එදින ඔහුගෙන් අසන්නට තිබුණේ ඉතාම සරළ ප්‍රශ්නයකි. ඊට කලින් දින ඔහු පාර්ලිමේන්තුවේදී කළ පැහැදිලි කිරීමට අනුව, ජා.මූ.අරමුදල සමග ඇතිකර ගත් එකඟතාව සමග අප තවදුරටත් බංකොලොත් නොවන්නේ නම්, අපට ජාත්‍යන්තර පිළිගැනුමක් නැවත ලැබෙන්නේ නම්, අපේ බැංකු ණයවර ලිපි යළි පිළිගනු ලබන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග නැවත ගනුදෙනු කළ හැකි නම්, ගෙදර තියෙන මොකක් හරි විකුණා යැපෙන්නට සිදුව ඇතැයි දැන් කියන විට, නිවැරදි තත්ත්වය කුමක්ද? පාර්ලිමේන්තුවට දුන් සහතිකයද, නැතිනම් මේ කියන බංකොලොත් තත්ත්වයද යන්න ය. මාධ්‍යවේදීන්ගෙන් එය ද සිදු නොවුනි.

දැන් රාජ්‍ය ව්‍යාපාර අලෙවිය පිළබඳව ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීමට ගොඩ වුවහොත් ඔහු තහවුරු කිරීමට උත්සාහ කළ කාරණා කිහිපය වන්නේ,


1. ආර්ථික ව්‍යාපාර පවත්වා ගෙන යාම රජය (නියමාර්ථයෙන් ආණ්ඩුව) සතු වගකීමක් නොව, එය පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ කාර්යකි.
2. රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගනිමින් රටවල් දියුණු කිරීමට නොහැකිය.
3. බටහිර දියුණු රටවල (ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි) රාජ්‍ය ව්‍යාපාර ඇත්තේ නැත.
4. පෞද්ගලික ව්‍යාපාර රජයේ ව්‍යාපාර මෙන් පාඩු ලබන්නේ නැත.
මේවා සනාථ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා පමණක් නොව, පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින ආර්ථික විද්‍යාඥයින් ඇතුළු සියල්ලන් ඉදිරිපත් කරන්නේද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආකාරයේ නිදසුන්ය. ඒවා කෙතරම් නිවැරදිද? කෙතරම් වලංගුද?

 

01. සැබෑය. ආර්ථික ව්‍යාපාර පවත්වා ගෙන යාම නීතිය හා සාමය රැකීම මෙන් ආණ්ඩු විසින් අනිවාර්යෙන් බාර ගත යුතු වගකීමක් නොවේ. එහෙත් බොහෝ පොදු පහසුකම් සමාජ අවශ්‍යතා අනුව පවත්වා ගැනීමට ලාභ ලබන පෞද්ගලික ව්‍යාපාර සූදානම් නොවන විට ඒ වගකීම් බාර ගැනීමට, රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගැනීමට ආණ්ඩු වලට සිදුවන්නේ ය. එනිසා දියුණු වෙන්නාවූ රටවල පමණක් නොව, දියුණු රටවලද රාජ්‍ය සතු ව්‍යාපාර තවමත් ඇත.

 

• එංගලන්තයේ ටෙලිකොම් පෞද්ගලික ව්‍යාපාරයක් වූවත් ලන්ඩනයේ පොදු මගී ප්‍රවාහනය සඳහා උමං දුම්රිය සේවයත් ඊට යා කෙරුණු සාමාන්‍ය දුම්රිය ගමන් මාර්ග කිහිපයකුත් බස් සේවයත් දුරකතන ඇණවුම් මත සැපයෙන ප්‍රජා මගී සේවයත් ලන්ඩනයේ මහ නගර සභාවට හිමි ට්‍රාන්ස්පෝට් ෆො ලන්ඩන් සමාගම විසින් පවත්වාගෙන යන සේවාවන් ය.

• ලොව වැඩිම විදුලිය බලයක් උත්පාදනය කරන සමාගමක් වන ප්‍රංශයේ විදුලි ජනන EDF සමාගම රාජ්‍ය ව්‍යාපාරයකි. එහි වැඩිම කොටස් ඇත්තේ ප්‍රංශ රජයට ය.

• ඉන්දියාවේ දේශීය ගුවන් ගමන් තොටුපළවල් කිහිපයක් අලෙවි කිරීම ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතාවක් වූවාද නැතිනම් වර්තමාන ආණ්ඩුවේ අගමැති මෝඩිගේ අවශ්‍යතාවක් වූවාද යන්න ගැන ඉන්දියානු සමාජයේ ගෝසාකාරී ප්‍රශ්න කිරීම් කෙරෙන අතර, ලොව දැවැන්තම දුම්රිය සේවා අතරින් සිව්වන ස්ථානයේ ඇති, පසුගිය වසරේ බිලියන 08 ක් මගීන් ප්‍රවාහනය කළ ඉන්දියානු දුම්රිය සේවය රජයේ සේවාවකි.


රාජ්‍ය ව්‍යාපාර හා පෞද්ගලික ව්‍යාපාර අතර මූලික වෙනසක් ඇත. පෞද්ගලික ව්‍යාපාරවල එකම අරමුණ ලාභ ලැබීම උපරිමකර ගැනීම ය. රාජ්‍ය ව්‍යාපාරවල අරමුණ සමාජ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය දෙන අතර පාඩු නොලබන ව්‍යාපාර ලෙස පවත්වා ගැනීම ය.

 

ebrd 990x556

ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහාවන යුරෝපීය බැංකුව (EBRD) 2021 - 2022 වසරවල රාජ්‍ය ව්‍යාපාරවල පරිනාමය සම්බන්ධ ඉතා පුළුල් අධ්‍යනයක් කර ඇත. එය නම්කර ඇත්තේ “රාජ්‍ය නැවත කඩාවදී” යනුවෙනි.

එහි හැඳින්වීමෙහි ඔවුන් සඳහන් කරන්නේ “රාජ්‍ය ව්‍යාපාරවල අඩු පලදායිතාව හා සුළු ලාභ පෙන්නුම් කරනු ඇත්තේ එවැනි ව්‍යාපාර සතු මුදල්මය නොවන අරමුණු සමග ලාභ උපරිමය කර ගැනීමට එහා යන සහනාධාර මත සේවා සැපයීම, අව වර්ධිත ප්‍රදේශවල ආර්ථික ක්‍රියාවලියට සහාය වීම නැතිනම් ආර්ථික හෝ තාක්ෂණික කම්පන වලදී හෝ පරිසර සුරැකුම වෙනුවෙන් මැදිහත්වීම වැනි හේතුන් ය.”



02. රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගනිමින් රටවල් දියුණු කිරීමට නොහැකියැයි කීම අතිශයින්ම වැරදි නිගමනයකි. ඉහතින් දැක්වූ අයුරු ගෝලීය වෙළඳපල ආර්ථිකයෙහි පවා දියුණු රටවල රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යන්නේය.

EBRD 2021 - 2022 අධ්‍යනයෙහි නිගමනයක් වන්නේ “රාජ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ප්‍රතිශතය අඩුවීම නොතකා වත්කම් අයිතිකරුවකු වශයෙන් රාජ්‍ය වඩ වඩා වැදගත් වන්නට පටන්ගෙන ඇත. ලොව කොටස් වෙළඳපල යෝධ සමාගම් අතර රාජ්‍ය ව්‍යාපාර සංඛ්‍යාව වැඩිවෙමින් ඇත. 2000 වසර ආරම්භයේ සිට පෞද්ගලීකරණය කිරීම් වලට වඩා රජයට පවරා ගැනීම් වැඩි වී ඇත. රාජ්‍ය හිමිකාරිත්වයෙහි වර්ධනය සඳහාවන එක් වැදගත් සාධකයක් ලෙස දැකිය හැක්කේ චීනය හා සිංගප්පූරුව වැනි රටවල ආර්ථික වර්ධනයෙහි රාජ්‍ය කැපී පෙනෙන කාර්යක් ඉටු කිරීමය.”

ඉන් කියැවෙන වැදගත්ම කාරණාව වන්නේ සිංගප්පූරුව වැනි රටවලද පෞද්ගලික ව්‍යාපාර දියුණුව සඳහා ඔවුන්ගේ ආර්ථික ආකෘතියෙහි රජය වැදගත් කාර්යක් ඉටු කරන බවය. එවගේම රාජ්‍ය ව්‍යාපාර හා රාජ්‍ය මැදිහත්වීම් සඳහා වැඩි අවකාශයක් සාධාරණය කෙරෙන්නේ 2008 -2009 ඇතුළු ලොව සියලු අවපාතයන්හි පෞද්ගලික ව්‍යාපාර ගොඩ දැමීමට මහජන මුදල් හා රාජ්‍ය මැදිහත්වීම් අවශ්‍ය වූයෙනි.



03. දියුණු රටවල රාජ්‍ය ව්‍යාපාර නැතැයි වන මතය වැරදි මතයක් යැයි පළමු කාරණාවේදීම පෙන්වා ඇත. ඉහත දෙවැනි කාරණාවෙන්ද එය සනාථ කෙරුණකි.


වර්තමාන ප්‍රවණතාව වන්නේ වැඩි වැඩියෙන් රාජ්‍ය ව්‍යාපාර වෙත නැඹුරුවීම ය. එය EBRD 2021 - 2022 අධ්‍යනයෙහිද සඳහන්ව ඇත. “ශක්තිමත් ආර්ථික ආයතන ඇති රටවල රාජ්‍ය ව්‍යාපාර පාරදෘශ්‍යභාවයක් සමග සාර්ථකව පවත්වා ගැනීමේ වැඩි හැකියාවක් ඇත. ඇත්තෙන්ම, ඉතා දියුණු ආර්ථිකවල මෑතක දැකිය හැකි රැල්ලක් වන්නේ වැඩි සමාජ වගකීමක් වෙනුවෙන් මහ නගර සභා විසින් පොදු පහසුකම් අරභයා ව්‍යාපාර ආරම්භ කිරීමය. (නිදසුන් වශයෙන් ප්‍රංශයේ ජල සැපයුම් අංශය, ජර්මනියේ බලශක්ති සේවාව සහ නෝර්වේජියාවේ ඝණ කසල ඉවත් කිරීමේ කාර්ය) 

 

29 Recession

 

04. පෞද්ගලික ව්‍යාපාර රජයේ ව්‍යාපාර මෙන් පාඩු ලබන්නේ නැතැයි සිතීමත් මුලාවකි. එයට පිළිතුර ඇත්තේ වැඩි ඈතක නොවේ. අපේම ගෙවත්තේය. 2017 අගෝස්තුවේදී සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් කළ ඉල්ලීම් මත ලබා ගත් තොරතුරුවලට අනුව 2010-2016 ආවරණය වන කාලයේ ඔවුන්ගේ අනුමැතිය ලබා තිබූ පෞද්ගලික ව්‍යාපාර 721 ක් වසා දමා ඇත. මේ සියලු නිෂ්පාදන සමාගම් වසා ඇත්තේ ඔවුන්ගේම කලමනාකාරිත්වයේ දුර්වලතා නිසා පාඩු ලැබීමෙන් සහ ආයෝජන මණ්ඩලයේ නියාමනයට යටත් නොවුනු නිසා යැයි ආයෝජන මණ්ඩලයේ හේතු දැක්වීම ය. වඩා වැදගත් වන්නේ රාජ්‍ය ව්‍යාපාර මෙන්ම මේ සියලු පෞද්ගලික සමාගම්ද මහජන මුදලින් හැම ආණ්ඩුවකින්ම ලබා දුන් හැම වරප්‍රසාදයක්ම බුක්ති විඳි සමාගම්ය.

 

දැන් කතාව පැහැදිලි විය යුතුය. රාජ්‍ය ව්‍යාපාර මෙන්ම පෞද්ගලික සමාගම් පාඩු ලබන්නේද කලමනාකාරිත්වයේ අසාර්ථකත්වය හා ව්‍යාපාර සැළසුම්කරණයේ දොස් නිසාවෙනි. ඒ සමග මේ වෙනස සටහන් කරමින් නවතිමි. පෞද්ගලික ව්‍යාපාරවල කලමනාකාරිත්ව දෝස හා පාඩු සඳහා වගකීම් බාර ගන්නේ ව්‍යාපාරයේ ආයෝජන හිමිකරුවන්ය. රාජ්‍ය ව්‍යාපාරවල පාඩු සඳහා වගකිව යුත්තේ ඒවායේ වත්කම් හිමි ජනතාව නොවේ. ජනතාව වෙනුවෙන් ඒ කලමනාකාරිත්ව වගකීම් බාර ගන්නා ආණ්ඩුවේ නායකයින් ය. ඉහතින් උපුටන කිහිපයක් ගෙන හැර දැක්වූ රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධ එම පුළුල් අධ්‍යනයෙහි තවත් උපුටනයක් අවසන් වශයෙන් දක්වතොත් “රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරවල ක්‍රියාකාරිත්ව පරතරය, යහපාලනයක් ඇති ආර්ථිකයන්හි ආයතනික සැළසුම් ඉතා සියුම් ලෙස තීන්දුකර ඇති විට ඉතා පටු වන්නකි.”

 

එය සරළ බසින් කියන්නේ නම් දුර්වල, අකාර්යක්ෂම හා දූෂිත ආණ්ඩු යටතේ රාජ්‍ය ව්‍යාපාරද එළෙසින්ම අකාර්යක්ෂම, දූෂිත හා පාඩු ලබන ආයතන බවට පත් වේ. අනාගත දැක්මක් ඇති යහපාලන යටතේ රාජ්‍ය ආයතන ලාභ ලැබිය හැකි සහ ජනතා යහපත වෙනුවෙන් පාලනය කළ හැකිය. ඒ අනුව වරද ඇත්තේ රාජ්‍ය ව්‍යාපාරවල නොවේ. ඒවා නිවැරදිව කලමනාකරණය කළ නොහැකි දුබල දූෂිත ආණ්ඩු වලය.

 

එනිසා රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංවිධානය කළ යුත්තේ කෙසේද යන්න තීන්දු කිරීමේ අයිතිය තිබිය යුත්තේ ඒවායේ සේවා වැටුප් වලට අමතරව අනවශ්‍ය වියදම් පවා දරණ ඒවායේ වත්කම් හිමි ජනතාවටය. වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන අසාර්ථක ආණ්ඩුවල- නායකයින්ට නොවේ. එබැවින් රාජ්‍ය ව්‍යාපාරවල අනාගතය පිළිබඳ තීන්දු කිරීම සඳහා ආණ්ඩුවද නිල වශයෙන් එක් පාර්ශවයක්වන බහු-පාර්ශවීය මණ්ඩලයක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සමග ස්ථාපිත කරමින් එහිදී “සමාජ සම්මුතියකට” එළැඹිය යුතුයැයි ජනතාවගේ යෝජනාව විය යුතුය.



kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 මාර්තු 27


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image