මේ දිනවල දවස ඇරඹෙන්නේ අහවර වන්නේ හඬ පට ආශ්වාදයෙනි. මුළු සමාජයම රන්ජන්ගේ හඬ පටවලට වසඟ වී ඇත.
මිනිස්සුන්ට එදිනෙදා ප්‍රශ්න අමතකය. රන්ජන් කාන්තාවන් අමතන පොදු වහර බබාය. රන්ජන්ගේ බබා තියරිය ආණ්ඩුව උපරිම ප්‍රයෝජනයට ගෙන මුළු සමාජයම බබාලා කර ඇත.
ඇමරිකානු දිවියට බර ජනපති ගෝඨාභය මේ ප්රශ්නයේදී මැද මුලන වී ඇත. ඔහු මහා විනයගරුක කෙනෙක් නම් එකෙන්ම මේ හඬ පට ප්‍රචාරය නවත්වන්නට ඉඩ තිබුණි. දැන් වුව එය කළ හැකිය. එහෙත් ඔහු එවැනි තැනකට යන්නේ නැත.
නව ආණ්ඩුවේ ඇමතිවරුන්ට රන්ජන්ගේ හඬ පට හැරෙන්නට කතාවක් නැත. වැඩකට නැති රාජ්‍ය ඇමතිවරු මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හඬ පට වලට විචාර සපයති. රන්ජන් තරමටම මේ ආණ්ඩුවත් වල්මත් වී ඇත.
රන්ජන්ගේ හඬ පට ගැන හිතන විට එක් දෙයක් පැහැදිලිය. එනම් රන්ජන්ට දේශපාලනිකව කළ හැකි වැඩක් නැති අතර ඔහු කර ඇත්තේ බබාල නලවමින් ඇමති වරප්‍රසාද භුක්ති විඳීම පමණක් බවය. මේ ආකාරයට දේශපාලකයන් කී දෙනෙක්ව ජනතාව ලෙස අප නිකරුණේ නඩත්තු කරයිද?
අද, රාජ්‍ය ඇමතිවරු යනු රන්ජන් පන්නයේම අයය. ඒ අය කරනුයේ රන්ජන්ගේ හඬ පටවල එල්ලී ඒවාට වැඩි වටිනාකම් දීමය. දැන් මේ අයත් රන්ජන් පන්නයේම වී ඇත. අපි නිකරුණේ මේ මෝඩ රැළ නඩත්තු කරන්නෙමු.
ජනපති ගෝඨාට මේ නාඩගම් නොපෙනේද? අහුමුළුවල රිංගමින් අඩුපාඩු හොයන ජනපති ගෝඨාට මේ ආණ්ඩුවේ නායයෑම නොපෙනේද? නමට රාජ්‍ය ඇමතිවරු පත්කොට ඔවුනට වැඩ නොදී වැසිකිළි වළවල් ගොඩ දාන්න දීමෙන් රටම ගඳ ගහන බව ඔහුට නොපෙනේද?
දැනට පෙනෙන චිත්‍රය නම් ජනපති ගෝඨා ගමනේ යන අතර සූක්ෂ්මව පාර්ලිමේන්තුව ගෙන යනුයේ මහින්ද බවය. ඒ නිසාම 2015ට පෙර නාඩගම්, ඒ විදියටම කලඑළි බසිමින් තිබේ.
රන්ජන් වගේම ළාමක ආතල්වලට කැමති අගමැති !
රන්ජන් වගේම එවැනි ළාමක ආතල්වලට මහ ඉහළින් කැමති පුද්ගලයකු ලෙස අගමැති මහින්දද ප්‍රසිද්ධය. ඒ කාලේ මහින්දත් එකිනෙකාගෙන් විමසනුයේ එවැනි ඕපාදූප බව ප්‍රසිද්ධ විය. ඒ නිසා මහින්දට දේශපාලනය කරන්නට අවශ්‍ය මෙවැනි හඬ පටය. දැන් වැඬේ ජයට කෙරීගෙන යති.
ඊළඟ ඡන්දය තෙක් හඬ පට එහා මෙහා වන අතර තව රස කතා ඡන්දය කිට්ටුව ආ හැකිය. රන්ජන්ගේ සිද්ධිය ගැන විවිධ පාර්ශ්ව විවිධ කතා කියති. ඒ අතර සිත් ගත් විග්‍රහයක් දැක්කේ දක්ෂ නළුවකු වන කමල් අද්දරආරච්චිගෙනි. ඔහු ඉතා කෙටියෙන් මේ සිද්ධිය හඳුන්වා දී තිබුණේ “මේක හරියටම දොර ඇරගෙන වැසිකිළි යෑමක් වගේ වැඩක්” ලෙසය.
එයට තව ටිකක් එකතු කරන්නේ නම් දැන් ආණ්ඩුව කරන්නේ එළිපිටම මළපහ කිරීමකි. වියත් මගෙන් ආ ජනපති ගෝඨාගේ ආණ්ඩුව රන්ජන්ගේ අසූචි ගොඩට නිල මැස්සන් සේ වහ වැටීම හිරිකිතය. රන්ජන් මෙන්ම ආණ්ඩුව කෙරෙහිද ඇත්තේ මහා අපුලකි.
විපක්ෂය: වැඩකට නැති පිරිසක් බවට...
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් සමග මෙරට විපක්ෂය යන්න වැඩකට නැති පිරිසක් බවට පත්විය. දීර්ඝ කාලයක් විපක්ෂ නායක ධුරය දැරූ රනිල් හැමදාම කළේ රාජපක්ෂලා සමග ගජමිතුරු ඇසුරක් පැවැත්වීමය. ඔහු විපක්ෂ නායකයා ලෙස කිසිදා සාර්ථක නොවුණි.
එහෙත් ඔහුගේ ගෝල බාලයෝ මේ කෙටි කාලයට සජිත්ගේ විපක්ෂ නායක ධුරයේ අඩුපාඩු සොයති. රාජපක්ෂ දේශපාලනයෙන් පසු කවුරු විපක්ෂ නායක වුවද ඔහුට මහා ලොකු කාර්යයක් නැත. ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය යැයි බොරු හඬක් මතු වුවද එහෙම එකක් පවතින්නට හැකියාවක් නැත.
දැනට ඇති මේ සිස්ටම් එක ඇතුළේ සිදුවිය හැකි එකම දේ ආණ්ඩු විසින්ම විනාශ වන විට අන්තිම කාලයේ එයට විරුද්ධව යහපත් හෙළිදරව් කොට ජනතාව අවධි කර ඡන්ද ගැනීම පමණි.
මේ ආණ්ඩුව වුව කිසිදු හාවක් හූවක් නැතිව වසර පහක් යනු ඇත. ඒ අතර කොතරම් වැරදි කළද ඒවා පෙන්වා දුන්නද කිසිදු වෙනසක් සිදු නොවේ. එහෙත් අවසානයේ ඡන්ද කිට්ටුව ඒවා ජනතාව සමග කිරා බැලිය හැකිය. එය කරන සාර්ථකත්වය මත ආණ්ඩුවේ දුර්වලතා මත බලය එහා මෙහා විය හැකිය.
එසේ නොවී ශක්තිමත් විපක්ෂයක් යන මිථ්‍යාවේ නොගිලිය යුතුය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වුණැයි ඔහු ශක්තිමත් එක විවේචනයක් හෝ යහපාලනයට විරුද්ධව කළේද? විපක්ෂ නායක යනු නිකම් දොරටු පාලක තනතුරක් පමණි.
සජිත්ගේ අගමැති සිහිනය
සජිත් ප්‍රේමදාස මේ දිනවල කියන ජනප්‍රියම කතාව ඉදිරි මැතිවරණයේදී අගමැති තමන් බවය. සජිත්ගේ මේ ළාමක දේශපාලනයට ඔහු කවදා තිත තබන්නේදැයි ගැටලුවකි. දැන් ඇත්තේ රාජපක්ෂලාගේ ආණ්ඩුවකි. ඉදිරි මහ මැතිවරණයත් ඔවුන් නියතව ජය ලබනවා ඇත. එය තුනෙන් දෙකක් ලෙස ජය ගැනීම ගෝඨාගේ අරමුණය. ඒ අයියාටවත් දෙවැනි නොවන ගමනක් යෑමටය.
කෙසේ හෝ ගෝඨා ඒ ඉලක්කය සපුරා ගන්නට ඇති ඉඩ බොහෝය. එජාපයේ අසමගිය නිසාම ඉදිරියේදී බොහෝ පිරිස් ගෝඨාගේ දෑත් ශක්තිමත් කරන්නට ගියද අපි පුදුම විය යුතු නැත.
එදා කරු ගත් පෙරමුණ ගන්නට හෙට තව ඕනෑතරම් අය එජාපයේ සිටිය හැකිය. එවන් වටපිටාවක ඉදිරි දේශපාලන ගමනක් වෙනුවෙන් සන්නද්ධ නොවී අප්‍රේල්වල තමා අගමැති යයි කියන්නට තරම් සජිත් බාලයකු වීම පුදුමසහගතය.
සජිත් කළයුත්තේ එජාපයෙන් හෝ වෙනම කණ්ඩායමක් ලෙස හෝ පැමිණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීමය. එය ශක්තිමත් විපක්ෂය විය යුතු නැත. මේ වසර පහ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෝ ගෝඨා ගෙන යනවා නියතය. පහෙන් ගෝඨා පාලනය ඉවරවේද දහයක් ඇදේද යන්න මූලික පහ අනුව තීන්දු වනු ඇත.
කැමති වුණත් අකමැති වුවත් සජිත්ට නොව කරුට වුව තව කාට වුව බලා සින්නට සිදුවනු ඇත. ඒ නිසා ඔබට සතුටුයිද වැනි මහින්දලාගේ කතා ණයට ගෙන සජිත් ජනතාවගෙන් ඇසුවාට පළක් නැත.
යහපාලන ආණ්ඩුව නටපු පිස්සු නිසා ජනතාව නැවත රාජපක්ෂලා තෝරා ගත්තා මිසක් නරක අය ජනතාවට එකවර හොඳ වූයේ නැත. යහපාලනය ඊට වඩා නරක ලෙස පෙනුණේය. සජිත් අයත් වන්නේද ඒ ගොඩටමය. තමා එයින් විතැන් වන්නේ නැත.
සජිත්ගේ කතා සාප්පුව වැසුවේ නම් සජිත් ගොඩය:
ඒ නිසා අලුත් එජාපයක් හදන්නේ නම් සජිත් මීට වඩා දැනමුත්තෙක් විය යුතුය. ළාමක බාල දේශපාලනයෙන් ඉවත් විය යුතුය. තමා ගෝඨාගේ අගමැති වනවා යැයි විලි ලැජ්ජා නැති කතා කියා ඉදිරි ඡන්ද ටිකත් අඩුකර නොගත යුතුය. සජිත් අඩුවෙන්ම කතා කරන තරමට දුර ගමනක් යා හැකිය. නැතහොත් ඔහුගේ ගමන කෙටිය.
ඔහු වෙනත් අයට ඇහුම්කන් දෙන එමෙන්ම තමා කියන දේ ගැන දෙවරක් නොව දහස් වාරයක් සිතිය යුතුය. එමෙන්ම එය කිව යුතුදැයි කමිටුවකින් විමසා ප්‍රකාශ කිරීම වටී. ඒ තරමට සජිත්ගේ කතා සිල්ලරය. සජිත් අඩු දේශපාලන සලකුණක් බවට පත්ව ඇත්තේ මේ කතා නිසාමය.
රන්ජන් හඬ පටයක හිරුණිකාට කියනුයේ සජිත් මෝඩයි බබා යන්නය. හිරුණිකාද එය එකින්ම අනුමත කරයි. සජිත්ගේ කතා සාප්පුව වැසුවේ නම් සජිත් ගොඩය. සජිත් සමග බලන කල රන්ජන් සහ හිරුණිකා මැටිය. එහෙත් ඒවා මැටි බව ප්‍රදර්ශනය වී නැත. දැන් නම් රන්ජන් මැටි නොව කක්කා ගොඩක් බවට පත්වී ඇත.
මෙය කියවන කෙනකුට අපට රන්ජන් සමග මෙතරම් අවුලක් ඇයිදැයි සිතිය හැකිය. රන්ජන් අපායට ගියද කම් නැත. එහෙත් රන්ජන් විශ්වාස කොට කතා කළ බොහෝ අය රන්ජන් අපායට දැක්කුවේය. තරහ එයය. එනම් ඔහු දැනුවත්ව කිරීම සහ අනෙක් අය නොදැනුවත්ව හසුවීමය.
ශානිට දේශපාලන පළිගැනීමක් ලෙස වඩා ශක්තිමත්ව ඔසවන්නට තිබූ හිස රන්ජන් කඳෙන්ම වෙන් කළේය. තව බොහෝ අයගේ පෞද්ගලිකත්ව නැත්තටම නැති කළේය. අනේක අයගේ ජාන ගැන කුලේ ගැන කතා කරන රන්ජන්ගේ ජාන සහ කුලේ පැහැදිලිය.
පෞද්ගලික කතා පටිගත කිරීම තුළින්ම ඔහු පෞද්ගලිකත්වය විනාශ කළේය. සැබැවින්ම ඔහු සමග කිසිවකු කතා කළ යුතු නැත. ඔහුව කොන්කර දැමිය යුතුය. එවැනි අය නැවත දේශපාලනයේ නොදැකීම යහපත්ය.
එජාපයට කොතෙක් වැරදි ඇත්ද? එජාපය කොතෙක් රෝගාතුර වී ඇත්ද යන්න රන්ජන්ගෙන්ම වටහා ගත හැකිය. රනිල් කොයිතරම් දුර්වල නායකයෙක්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.
එහෙත් තවමත් රනිල්වාදීන් කියනුයේ සජිත්ගේ වැරදිය. අපට සජිත් මහා කෙරුමකු නොවේ. එහෙත් රනිල් ඇතුළු පිරිස හිවල් දේශපාලනය නිවැරදි කරමින් ගෙදර මුව හමට තඩි බාන්නා සේ සජිත්ට තඩි බෑම අපි අනුමත නොකරමු. ප්රශ්නය එයය.
ආණ්ඩුව : සිංහල බෞද්ධ රාජ්‍ය අත ළඟය.
ආණ්ඩුව වුව මැවූ තරම් සුරංගනා ලෝකය නඩත්තු කළ හැකි තැනක දැන් නැති බව පැහැදිලිය. ගෝඨා වෙනම අයාලේ යන අතර මහින්ද පාඩුවේ වැඩ අල්ලමින් සිටී. හැම දෙයක්ම නිවැරදිව දැකගත හැකිවන්නේ මහ මැතිවරණයෙන් පසුවය.
දැනට බඩු මිල කොතරම් ඉහළ ගියද තවමත් ජනතාව ඉන්නේ ආණ්ඩු ආලයෙනි. රට ගැන හිතන මිනිසුන් බඩ ගැන තකන්නේ නැත. කන්න නැතත් දැන් ලංකාවේ බොහෝ අයගේ බඩපොත්තට ඇලී නැත. ඒ වෙනුවට ඇත්තේ බඩ ගෙඩි පමණය. මේ නිසා බඩ ගැන හිතීම අතහැර ජනතාව බොහෝ කල්ය. නැතිනම් මෙතරම් බඩ ගෙඩි දැකගත නොහැකිය.
මේ තවමත් ආරම්භය පමණි. කිසිවක් ගැන ලොකු සහතික දීම නොවටී. බලා සිටීම හැර වෙන කළ හැකි දෙයක්ද නැත.
ගෝඨා ජනපතිට තරග කරන්නට නාමයෝජනා දුන් තැන සිට විපක්ෂයේ සිවිල් අය ගෝඨා බිල්ලෙක් කළේය. මහා භයංකාර මකරෙකු බවට පත් කළේය. ඒ කතා අහගෙන නින්දට ගිය ජනතාව ඒ භයංකාර මකරාම තෝරා ගත්තේ බයටම විය හැකිය.
දැන් ගෝඨා ආ තැන සිට සමාජයම භිරාන්තව ගොස්ය. මේ නිහඬතාව එයය. එය පහවූ කල නැගී සිටීමත්, නැගී සිටි පසු බය කිරීමත් ඉදිරියට භාරය. ඒ කුමක් වුවත් සිංහල බෞද්ධ රාජ්‍ය නම් අත ළඟය.
(රාවය - ටිරන් කුමාර බංගගමආරච්චි)