වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව ඊනියා “සංවර්ධිත රටක්” බවට පත් කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ඊනියා “සංවර්ධිත” හෝ “දියුණු” හෝ වැනි විශේෂණ ඇසුරෙන් ලෝකයේ රටවල් වර්ගීකරණය අවිද්‍යාත්මක බව මා මීට පෙර තාර්කිකව පෙන්වා දී තිබේ. එම සරල සත්‍යය අවබෝධ කර ගැනීමට ගතානුගතික ලක් වැසියාට නොහැකි වීම මාගේ ප්‍රශ්නයක් නොවේ. නමුත් ඊනියා සංවර්ධනය පිළිබඳව මෙරට සමාජයේ ඇති බොළඳ අදහස් ඇසුරෙන් රනිල් වික්‍රමසිංහගේ ඉහත පොරොන්දුව විමසීම වැදගත්ය. මේ දූපතේ වැසියන් අපේක්ෂා කරන ඊනියා “සංවර්ධිත රටක්” වසර 2048 වන විට නිර්මාණය කළ හැකිද? 

2048 යන වර්ෂය මෙහිදී තෝරාගෙන ඇත්තේ හුදෙක් 1948 න් වර්ෂ සියයක් ගතවන නිසාය. එනම් “ඊනියා නිදහසින් (නිවැරදිව ස්වාධීනත්වයෙන්) සියවසක් ගතවන විට හෝ ලංකාව දියුණු කළ යුතුය” වැනි ජනප්‍රිය අදහසකින් මිස විද්‍යාත්මක ගණනය කිරීමකින් හෝ නිශ්චිත සැලසුමක් ප්‍රකාරව හෝ නොවේ. මෙය බොහෝ විට ලංකාවේ නාගරික ප්‍රභූ පාන්තික පිරිසක් විසින් සිදුකරන “සෙන්ටිනරි ව්‍යාපාරය” විසින් ප්‍රවර්ධනය කරන බොළඳ අදහසම වැඩිදුර නොසිතා කළ පුනරුච්චාරණයක් විය හැකිය.

මෙහි “සංවර්ධිත රටක්” යන්නෙන් අදහස් කරන්නේ මෙරට වැසියන් “මනසින් මවාගෙන” සිටින ඇමරිකාව හෝ සිංගප්පූරුව හෝ පින්ලන්තය හෝ වැනි වීමකි. වේගවත් කාර්මීකරණය සහ නව්‍යකරණය මගින් භාණ්ඩ හා සේවා විශාල වශයෙන් නිෂ්පාදනය කර වෙළඳපොළ තරගකාරීත්වය හරහා උත්පාදනය කරන මහා ධනය රටේ වැසියන් අතර බෙදී ගොස් ඒ සියලු දෙනාගේම අනේක ආසාවන් පහසුවෙන් පිනවන රටකි. තවත් සරලව කිවහොත් මේ රටේ මිනිසුන් සිහින මවන ආකාරයේ “සුඛෝපභෝගී ජීවිත ගෙවිය හැකි” රටකි. එවැනි ලංකාවක් ප්‍රායෝගිකව නිර්මාණය කළ හැකිද?

.

වර්ධනයට සීමා (Limits to Growth)

1972 වසරේ Massachusetts Institute of Technology (MIT) හී විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉතාම සිත් ගන්නා සුලු පර්යේෂණයක් සිදු කරයි. මානව ශිෂ්ටාචාරය ක්‍රියාත්මක වන ව්‍යුහය හෙවත් “සිස්ටම් එක” ඔවුන් පරිගණක ආකෘතියකට (model) ඇතුළත් කරයි. 

මිනිස් ජනගහනය, කාර්මික නිෂ්පාදනය, ආහාර, (අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි) සේවා, අපුනර්ජනනීය (non-renewable) ස්වභාවික සම්පත්, මානව සුබසාධනය සහ පරිසර දූෂණය යන ප්‍රධාන විචල්‍යයන් සහ ඒවා අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධයන්ද ඇතුළත් පද්ධතියක් ඔවුන්ට හැකි උපරිම නිරවද්‍යතාවයෙන් තාර්කිකව ප්‍රතිනිර්මාණය කරයි. එම ආකෘතියට දත්ත ඇතුළත් කිරීම හරහා මානව ශිෂ්ටාචාරයේ ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙස අත්හදා බැලිය හැකිය. එම ආකෘතිය ඔවුන් හඳුන්වන්නේ WORLD3 නමිනි.

1668487136 World population 6
උදාහරණයක් ලෙස මිනිස් ජනගහනය මූලික වශයෙන් තීරණය කරනු ලබන්නේ උපත් අනුපාතය සහ මරණ අනුපාතය යන විචල්‍යයන් විසිනි. මිනිස් ජනගනය වැඩි වන්නේ ඝාතීයවය (exponentially). එනම් ජනගනය දෙගුණ වීමට ගත වන කාලය එන්න එන්න අඩු වේ. ජනගහනය අධික වේගයෙන් වැඩි වන විට ආහාර අවශ්‍යතාවය වැඩි වේ. ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට වගා ඉඩම් වැඩියෙන් අවශ්‍ය වේ. ඵලදායිතාවය වැඩි කිරීමට ට්‍රැක්ටර් වැනි කාර්මික නිෂ්පාදන වැඩි වැඩියෙන් අවශ්‍ය වේ. ඒ සඳහා බලශක්තිය සහ අමුද්‍රව්‍ය අවශ්‍ය වේ. මිනිස් ශ්‍රමය අවශ්‍ය වේ. ඒ සඳහා ධනය (captal) අවශ්‍ය වේ. එවිට වනාන්තර එළි කළ යුතුය. ෆොසිල ඉන්ධන දහනය කරන විට වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වේ. වැඩිපුර පොහොර යොදන විට පස විස වේ. කාලගුණික විපර්යාසය සිදු වේ. වැසි චක්‍රය අක්‍රමවත් වේ. ආහාර නිෂ්පාදනය බිඳ වැටේ. ලෙඩ රෝග වැඩිවේ. මරණ අනුපාතය වැඩි වේ. ජනගහනය අඩුවේ. මෙය සරල උදාහරණයකි. 

ඉහත විචල්‍යයන් එකිනෙකට විවිධාකාරයෙන් සම්බන්ධිතය. උදාහරණයක් ලෙස ආහාර නිෂ්පාදනය සඳහා ධනය යොදවන විට අනෙකුත් නිෂ්පාදන සඳහා යොදන ධනය අඩුවේ. එවිට ඒවා අඩපණ වේ. කාර්මීකරණය වන විට මිනිස් ශ්‍රමය කෘෂිකර්මයෙන් ඈත් වේ. එවිට ආහාර නිෂ්පාදනය අඩු වේ. මේ ආකාරයට ලෝකයේ සමස්ත ක්‍රියාකාරීත්වය ජාලයක් ලෙස සැලකිය යුතුය. එක දෙයක් වෙනස් වන විට තවත් බොහෝ දේ වෙනස් වේ. Systems Dynamics ලෙස හඳුන්වන්නේ මෙයයි.

මෙහිදී අප තේරුම් ගත යුතු පළමු සත්‍යය වන්නේ මේ සියල්ල කරන්නට තියෙන්නේ පෘථිවිය නමින් හඳුන්වන මේ ග්‍රහලෝකය පමණක් බවයි. එනම් අපට තිබෙන්නේ “සීමාසහිත” සිස්ටම් එකකි. ලෝකයේ බොරතෙල් සීමාවක් තිබේ. ගල් අඟුරු සීමාවක් තිබේ. ලෝහ වර්ග සීමාවක් තිබේ. ජලය සීමාවක් තිබේ. කිසිවක් අසීමාන්තික නැත. ඒ වගේම ඕනෑම දෙයක් භාවිතා කිරීමටද සීමා තිබේ. උදාහරණයක් ලෙස ෆොසිල ඉන්ධන කොපමණ තිබුණත් ඒවා සියල්ල දහනය කර සිත්සේ බලශක්තිය නිපදවිය නොහැකිය. මන්ද එවිට වාතයේ CO2 ප්‍රතිශතය ඉහළ ගොස් සමස්ත පරිසර පද්ධතියේම සමතුලිතතාවය බිඳ වැටෙන නිසාය. එනම් අප තේරුම්ගත යුතු දෙවැනි සත්‍යය වන්නේ සීමාසහිත ලෝකයේ අපට ක්‍රියා කළ හැක්කේ “සමතුලිතතාවය” රැකෙන පරිදිය.

සරලව කිවහොත් ඊනියා වර්ධනයට/ සංවර්ධනයට/ දියුණුවට “සීමා” (Limits) තිබේ. 2018 වසරේ වියත්මග සමුළුවේ මවිසින් කළ දේශනයේ “ශුන්‍ය ඓක්‍ය සෙල්ලම” (Zero Sum Game) ලෙස මා හැඳින්වූයේ මෙයයි.

සුපුරුදු විදිහට (Business as-usual) 

p07140sl

# MIT පර්යේෂකයන් එම ආකෘතියට එතෙක් තිබූ දත්ත ඇතුළත් කර, කිසිදු වෙනසක් නොකර සුපුරුදු ආකාරයටම මානව ශිෂ්ටාචාරය ඉදිරියට ගියහොත් කුමක් වේවිද කියා බැලුවේය. එවිට ඔවුන්ට දැකගත හැකි වූයේ මිනිස් ජනගහනය වැඩි වෙන ආකාරයට සහ ඊට සාපේක්ෂව පරිභෝජනය වැඩි වෙන ආකාරයට 21 වන සියවසේ එනම් මේ සියවසේ මැද භාගය පමණ වන විට ගෝලීය මානව ශිෂ්ටාචාරය බිඳ වැටෙන (collapse) බවයි. බලශක්ති අර්බුදය ඇතිවී, නිෂ්පාදනය අඩපණ වී, ආහාර හිඟ වී, ජනගහනය සීග්‍රයෙන් අඩු වෙන බවයි. මෙම තත්ත්වය ඔවුන් හැඳින්වූයේ BAU (Business as-usual) කියාය.

# දෙවනුව ඔවුන් බැලුවේ පෘථිවියේ පවතිනවා යැයි එවක ගණනය කර තිබූ අපුනර්ජනනීය (non-renewable) ස්වභාවික සම්පත් “දෙගුණයක්” තිබෙනවා නම් සහ සුපුරුදු ආකාරයට වර්ධනය වන්නේ නම් කුමක් වේවිද කියාය. මන්ද දැනට සොයාගෙන නොමැති බොරතෙල් සහ ලෝහ නිධි අනාගතයේ සොයා ගැනීමට සම්භාවිතාවයක් ඇති නිසාය. නමුත් එවිටත් ප්‍රතිඵලය වුණේ මානව ශිෂ්ටාචාරය මේ සියවසේ මැද භාගය වන විට බිඳ වැටෙන බවයි. එය සරලව පැහැදිලි කළහොත් වැඩිපුර සම්පත් සොයා ගැනීමෙන් නිෂ්පාදනය වැඩිවේ. එවිට ජනගහනය තවතවත් වැඩිවේ. පරිසර විනාශය දෙගුණ තෙගුණ වේ. නැවතත් ඉහත තත්ත්වය වඩාත් උග්‍ර වේ. මෙම තත්ත්වය ඔවුන් හැඳින්වූයේ BAU2 කියාය.

# තෙවනුව ඔවුන් බැලුවේ මිනිසා නව තාක්ෂණික නව්‍යකරණයන් තුළින් පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව, දුර්ලභ ලෝහ සඳහා සරල ආදේශක, අඩු වියදම්කාරී ආහාර නිෂ්පාදනය වැනි දේ සොයා ගතහොත් තත්ත්වය කුමක් වේවිද කියාය. එවිට පෙනුණේ මේ සියවසේ මැද වනවිට ජනගහනය එක් මට්ටමක පවත්වා ගෙන යමින් අධික තාක්ෂණික පිරිවැයක් දරා ශිෂ්ටාචාරය බිඳ වැටීම යම්තම් වළක්වා ගත හැකි බවයි. මෙම තත්ත්වය ඔවුන් හැඳින්වූයේ CT (Comprehensive Technology) කියාය. නමුත් එවැනි විස්මිත තාක්ෂණික සොයාගැනීම් වේදැයි නිශ්චිතව කිව නොහැකිය. දැනටමත් මේ සියවසේ දශක දෙකකට වඩා ගෙවී අවසන්ය. එවැනි විස්මිත සොයාගැනීම් එන පාටක් නැත.

# සිව්වනුව ඔවුන් බැලුවේ දැන් සිටම අන්තර්ජාතික රාජ්‍ය ප්‍රතිපත්ති හරහා ජනගහනය පාලනය කර පරිභෝජනය අඩු කර නිෂ්පාදනය අඩු කර පරිසරය ආරක්ෂා කරගතහොත් කුමක් වේවිද කියාය. එවිට නම් මේ සියවස තුළ මානව ශිෂ්ටාචාරය බිඳ නොවැටී ප්‍රශස්ත මට්ටමක (optimum) පවත්වා ගෙන යා හැකි බව ප්‍රතිඵලය විය. එම තත්ත්වය ඔවුන් හැඳින්වූයේ SW (Stabilised World) කියාය. එය අමුතුවෙන් කිව යුතු නැත. “තිරසාර පැවැත්ම” (Sustainability - නිවැරදිම යෙදුම දීර්ඝකාලීන පැවැත්ම) නමින් ලෝකයේ පසුගිය කාලයේ කතා වුණේ එයයි. 

“ඇත් පවුර” රූපවාහිනී වැඩසටහන හරහා මවිසින් මෙරටට හඳුන්වා දුන් “සමාජ  ව්‍යවසායකත්වය” යනු දීර්ඝකාලීන පැවැත්ම සඳහා ලෝකයේ සොයාගත් එවැනි ව්‍යුහාත්මක වෙනසකි. එනම් “සුපුරුදු ක්‍රමයෙන්” වෙනස් වූ ක්‍රමයකි. නමුත් එවැනි අන්තර්ජාතික අවබෝධයක් සහ ව්‍යුහාත්මක වෙනස්කම් ප්‍රමාණවත් තරමින් කරන බවක් ලෝකයේ පෙනෙන්නට නැත. මිනිස් ශිෂ්ටාචාරය තවම යන්නේ පරණ විදිහටමය. 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළට සැලකිය යුතු තිරසාර ප්‍රතිපත්ති ඇතුළත් කරගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීම ඊනියා අරගලකරුවන් විසින් වැළැක්වූ නිසා දැන් ඒ ගැන කතා කිරීමෙන් ඵලක් නැත. සිස්ටම් එක සැබැවින්ම වෙනස් කිරීමට අරගල කළ අපව මර්දනය කර පරණ සිස්ටම් එක හෙවත් Business as-usual ක්‍රමයට නැවත ලංකාව පත් කෙරිණි.

ලංකාව බිඳ වැටීම

AP22278339952853.jpg

වසර 2048 යනු මේ සියවසේ මැදය. ඒ සඳහා තව ඇත්තේ වසර 25 කි. ගෝලීය මානව ශිෂ්ටාචාරය බිඳ වැටුණු ලෝකයක ලංකාව ඊනියා සංවර්ධිත රටක් කරනවා යැයි කීම අවිද්‍යාත්මක අතාර්කික අභූතයකි. විකාරයකි. විහිළුවකි. මා දකින ආකාරයට ලංකාවේ මානව ශිෂ්ටාචාරය දැනටමත් බිඳ වැටී අවසානය. වියත්මග බුද්ධි මණ්ඩලය තුළ අපගේ අදහස වූයේ මෙම බිඳ වැටීම වසර 2035-40 අතර වෙනු ඇත කියාය. අප සැලසුම් කළේ ඒ අනුවය. නමුත් කොරෝනා වසංගතය විසින් එය දශකයකින් ඉක්මන් කළ බව මාගේ විශ්වාසයයි. එවැනි වසංගතයක් ගැන 2018 වසරේ වියත්මග සමුළුව දේශනයේදී මම අනතුරු ඇඟවූයෙමි.

ලංකාවට දැන් කිසිසේත්ම ඔය කියන කාර්මික නිෂ්පාදන ආර්ථිකයකට යා නොහැකිය. එවැනි අනාගතයක් ගැන සිහින මැවීම මෝඩකමකි. ඒ සඳහා අවශ්‍ය කරන බලශක්ති ප්‍රභව, ස්වභාවික සම්පත් සහ මානව සම්පත් අපට කිසිසේත්ම නොමැත. ලංකාව දැන් යම්තම් දුවන්නේ සංචාරක සහ ප්‍රේෂණ ආදායම්වලිනි. ලෝකය එන්න එන්නම ආර්ථික අර්බුදයට ලක්වන විට එම බාහිර සේවා ආදායම් මාර්ග කෙරෙහි විශ්වාසය තැබිය නොහැකිය. දැනටත් වැඩිපුර එන්නේ රුසියානු සංචාරකයන්ය. රුසියානු-යුක්රේන යුද්ධය ඇදෙන ආකාරය අනුව එයද අවිනිශ්චිතය. ගෝලීය ආර්ථික අවපතායක් ඇතිවීම වැළැක්විය නොහැකිය. එවිට ප්‍රේෂණ නැවත අඩු වනු ඇත. 

agriculture 696x464 1

ලංකාවේ කෘෂිකර්මය ආනයනික පොහොර සහ කෘෂි රසායන මත දැඩිව පදනම්ව ඇති නිසා ඊළඟ දශක දෙක තුළ එය තිබෙන තැනිනුත් පහසුවෙන් බිඳ වැටෙනු ඇත. ආනයනික පොහොර නවතා ලංකාවේ කෘෂිකර්මාන්තය ස්වයංපෝෂිත කිරීමට ජනපති ගෝඨාභය ගත් ප්‍රතිපත්තිමය සහ උපායමාර්ගික උත්සාහය බිඳ දැමීම සැබැවින්ම ඛේදජනකය. එමෙන්ම ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීමට ගෝඨාභය ගත් උත්සාහයද ව්‍යර්ථ කෙරිණි. ඊළඟ දශකය තුළ මෙරට ගල් අඟුරු සහ ඩීසල් බලාගාර වසා දැමීම වැළැක්විය නොහැකිය. ලංකාව දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ දෙනු ඇත. විදුලි බිල තවත් වැඩි කරනු ඇත. බලශක්ති පිරිවැය වැඩි වීමෙන් කර්මාන්ත වසා දැමෙනු ඇත. 

ලංකාව දැන් කරන්නේ අපට ඉතිරිව තිබෙන සම්පත් ටික විකුණා හැකිතරම් කාලයක් පරිභෝජනය කිරීම පමණී. රාජ්‍ය සංස්ථා විකිණීමෙන් පසුව රාජ්‍ය ඉඩම් විකිණීමට සිදු වේ. උග්‍ර ඉඩම් අර්බුදයක් ඇති වනු ඇත. ලංකාවේ භූගත ජලය විදේශයන්ට මහාපරිමාණයෙන් විකිණීමට සිදු වනු ඇත. ජල බිල්පත් තවතවත් ඉහළ යනු ඇත. ඇති-නැති පරතරය අහස උසට වැඩි වීම වැළැක්විය නොහැකිය.

ඔබ මේ දිනවල අත්විඳින්නේ ඊළඟ දශකය දෙක තුළ ඔබට අත්විඳීමට සිදුවන දරුණු තත්ත්වයේ පළමු අදියරයි. මේ තත්ත්වය හොඳ අතට හැරීමට කිසිම තාර්කික හේතුවක් නොමැත. එහෙම වන්නට නම් අප කිසියම් විස්මිත තාක්ෂණික නව්‍යකරණයක් සොයාගත යුතුය. නොඑසේ නම් ඉතා දැඩි දේශීය රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර රටේ පරිභෝජනය අඩු කර මධ්‍යස්ත ජීවන රටාවකට හුරු විය යුතුය.

එය කිරීමට තිබූ ස්වර්ණමය අවස්ථාව අරගලය විසින් විනාශ කළ නිසා නැවත එය වේ යැයි සිතීමට අපහසුය. ආණ්ඩුව ඒ සඳහා කැමති වුවත් මෙරට ජීවත්වන සාතිශය බහුතරයක් අවිද්‍යාත්මක ජනතාවට මේ යතාර්ථය තේරුම්ගත නොහැකි බව දැන් අපට ප්‍රත්‍යක්ෂය. කළ හැක්කේ මේ තත්ත්වය අවබෝධ කරගත හැකි අය තනි තනිව අනාගතය සඳහා සූදානම් වීමයි.

මෙය ඍණාත්මක දැක්මක් නොවේ. මෙය විද්‍යාත්මක කරුණු මත පදනම්ව කරන යථාර්ථවාදී දැක්මකි. මේ ගැන ලිපි පෙළක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ඉහත MIT පර්යේෂණයට පැමිණි විවේචන සහ ඒවාට පිළිතුරු ඊළඟ ලිපියෙන් දැක්වීමට අදහස් කරමි. මේ පිළිබඳව තාර්කිකව සාකච්ඡා කිරීමට කැමති අය මට පණිවිඩයක් එවන්න. සමාජ ව්‍යවසායකත්වය ගැන ඉගෙනගන්න කැමති අය මා ලියූ පොත කියවන්න. ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 අගෝස්තු 22 



Donella H. Meadows [and others]. (1972). The Limits to Growth; a report for the Club of Rome’s project on the predicament of mankind. New York: Universe Books. 

Branderhorst, Gaya. 2020. Update to Limits to Growth: Comparing the World3 Model With
Empirical Data. Master's thesis, Harvard Extension School.


image 2
image
Screenshot 2023 08 22 at 17.54.39


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්