ආන්දෝලනාත්මක “රන්ජාගේට්” දේශපාලන ගාලගෝට්ටිය ආරම්භ වූයේ මීට සති 03 ට ඉහතින් ජනවාරි 04 වන දින
රාත්‍රියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ මාදිවෙල නිල නිවස පරීක්ෂා කිරීමත් සමගය.
පසුව සමාජ මාධ්‍ය ජාල සහ ප්‍රධාන රූපවාහිනි නාලිකා දෙකක ඔහු විසින් අතිශය වැදගත් රජයේ ඉහළ නිලධරීන් සහ වෙනත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමග කළ සංවාද පටිගත කරනු ලැබූ හඬපට කිහිපයක කොටස් මාධ්‍යයන්ගේ අර්ථකතන ඉස්මතුවන අයුරු ප්‍රචාරය කෙරුණි.
මෙය අතිශය ආන්දෝලනාත්මක දේශපාලන සිද්ධියක් ලෙස සමාජය මත කඩා පාත් වන්නේ, රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට පැමිණි රන්ජන් රාමනායක පසුගිය ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ අභියෝගාත්මක ප්‍රකාශයත් එයටම සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රහාරාත්මක කතාවත් සමගය.
ඔවුන් දෙදෙනාගේ කතා දෙකෙන් මේ පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ආයතන ගරා වැටී ඇති තත්ත්වය ඒවායේ සියලු දුර්ගන්ධයන් සමග හෙළි විය. කිසිදු සදාචාරයක් නැති ආචාර ධර්ම නොදන්නා මජර සමාජයක, දූෂණ වංචා සම්බන්ධ සාක්ෂි සොයාගත හැක්කේද ඒ අයුරින්ම යැයි රන්ජන් ඔහුගේ පිළිවෙත සාධාරණීකරනය කළේය.
දැන් පරීක්ෂණ අරඹා ඇත්තේ රන්ජන්ට සහ ඔහු සමග සාකච්ඡා කළේ යැයි කියන අධිකරණ හා පොලිස් නිලධාරීන්ට එරෙහිවය. එහෙත් ඒ වෙනුවෙන් මේ රටේ නීති කෙතරම් ප්‍රමාණවත්දැයි නීති ක්ෂේත්‍රයේම විවිධ අදහස් පළ වන්නේය.
ඒ සම්බන්ධව යම් අධිකරණ ක්‍රියාවලියකට ඉඩ ඇත්තේ නම්, ඒ හිරුණිකා විසින් අධිකරණයේ ගොනු කළ පෙත්සමට අනුව පමණි. එම හඬ පටිවල කතා බහට සම්බන්ධ දෙපාර්ශවයෙහි අවසර නොමැතිව ඒවා ප්‍රසිද්ධ කළ රූපවාහිනි නාලිකා වලට එරෙහි නඩු නිමිත්තක් ඇති නමුදු පරීක්ෂණ කණ්ඩායම්, නීතිපති දෙපාර්තමේන්තුව සහ සමස්ථ අධිකරණ ක්‍රියාවලිය ගැන මේ සමාජයේ මතු කෙරෙන ප්‍රශ්න සමග එහි ඇත්තේද කුකුසකි.
ඔවුන්ගේ පාර්ලිමේන්තු කතා වලින් පසු ඔවුන් දෙදෙනාට එරෙහිව අවි අමෝරා ගත් සැවොම දැන් ක්‍රමානුකූලව පසුබැස ඇත. දැන් කොමිසම් සහ විශේෂ පරීක්ෂණ සඳහා ඉල්ලීම් අහන්නට නැත. රන්ජන්ට හා හිරුණිකාටද සාධාරණ හා ප්‍රමාණවත් විසඳුම් සඳහා ඊළගට යා යුතු ගමන ගැන නිනව්වක් නැත. යෝජනා නැත.
කෙටියෙන් කිවහොත් මොවුන් දැන හෝ නොදැන අභියෝග කර ඇත්තේ මේ සමාජයේ සමස්ථ බිඳ වැටීමටය. එය නීතිය ක්‍රියාවට නැගීමේ රාජ්‍ය බලය සහිත සියලු පාර්ශව අභියෝගයට ලක් කිරීමට එහා ගිය කතාවකි. ඔවුන්ගේ අභියෝගය දේශපාලන පක්ෂ සහ ඒවායේ ක්‍රියාවලිය සමග සමස්ථ රාජ්‍ය පරිපාලනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහනය, ග්‍රාමීය ජීවිතය, දිළිඳු බව සහ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සමග මුලු මහත් සමාජය වෙලා ගත් දැවැන්ත අර්බූදය එක් කොණකින් අල්ලා ගැනීමේ කතාවකි.
එනිසා හඩපටි ගැන පරීක්ෂණ පැවැත්වීමෙන් මේ මහා වියවුලට විසඳුම් ලබා දිය නොහැක.
“රන්ජාගේට්” හා ගැට ගැසෙන මහ බැංකු බැඳුම්කර දූෂණ සම්බන්ධ වෝහාරික වාර්තාව ප්‍රසිද්ධ කරන්නට මේ ආණ්ඩුවට සිදුවීම හේතුවෙන් සමාජය හමුවේ ඇති අභියෝගයත් වගකීමත් තව දුරටත් තීව්‍ර විය.
මේ වෝහාරික විගණනය කර ඇත්තේ විගණන සේවා හා උපදේශන කාර්යන් සඳහා ලෝ පතල සමාගමක් වන නෙදර්ලන්තයේ මූලස්ථානය පිහිටුවා ඇති “කේපීඑම්ජී” (ක්ලින්වෙල්ඞ්, පීට්, මාවික්, ගොඑර්ඩෙල යන සිව් පුද්ගලයන්ගේ නාමයන්) ඉන්ටනැෂනල් සමාගම විසිනි.
ඔවුන් තෝරා ගනු ලැබ ඇත්තේ ඉතාම විධිමත් විවෘත පිළිවෙතකට යැයි මහ බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු.ඒ. විජේවර්ධන මහතා “සිරස” රූපවාහිනි නාලිකාව සමග පසුගිය දිනෙක පැවැත් වූ සාකච්ඡාවකදී සහතික විය. එසේ කියු විගස එය කිසිවකුගේ ප්‍රශ්න කිරීමට යටත් නොවන්නේය.
එහෙත් ප්‍රායෝගිකව මෙය සිදු කෙරෙන්නේ 2016 නොවැම්බරයේදී “කේපීඑම්ජී” ශ්‍රී ලංකා ශාඛාව සමග මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය අත්සන් කළ ගිවිසුමට අනුව, ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය හා අනුබද්ධිත ඉන්දීය සමාගමක් විසිනි. මෙවැනි ජාත්‍යන්තර සමාගමක් ඔවුන් ලබා ගන්නා කොන්තරාත්තු ඔවුන්ට අනුබද්ධිත කලාපීය හා දේශීය සමාගම් හා ශාඛා මගින් ක්‍රියාත්මක කිරීමේදී සිදු කෙරෙන යෝධ දූෂණ හා වංචා පිළිබඳව හොඳම සාක්ෂි ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2003 පෞද්ගලීකරණය කිරීමේදී “ප්‍රයිස්වෝටහවුස්කූපස්” සහ “අර්නස්ට් ඇන්ඞ් යං” විගණන හා උපදේශන සේවා සමාගම් ක්‍රියාකර ඇති ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිග හැරි කතාවෙහිය.
මහ බැංකු බැඳුම්කර සම්බන්ධ වත්මන් වෝහාරික වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව, අර්ජුන ඇලෝසියස් සහ ඔහුගේ බිරිඳගේ පියා වන අර්ජුන මහේන්ද්‍රන් අතර අදාල බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ කිසිදු කතා බහක් වී නැත. එබැවින් ඔහුට එරෙහිව ඔප්පු කළ හැකි සාක්ෂිද නැතැයි මාධ්‍යයන්හි අනාවරණ විය.
එය විගණනය කළ වුන්ට ලැබුණු දුරකතන කතා බහ කිහිපයකට පමණක් සීමා වූ වෙළුම් 05 කින් යුත් වෝහාරික විගණන වාර්තාවෙහි 04 වන වෙළුමෙහි සටහනක් බවත් මෙම වෝහාරික විගණන වාර්තාවේ වෙළුම් 05 ම එකට ගෙන කියවිය යුතු බවත් ආචාර්ය විජේවර්ධන “සිරස” සාකච්ඡාවෙහිදී පැවසුවකි.
ඔහුට ප්‍රශ්නයක්ව තිබූයේ 2002 ජනවාරි සිට කෙරුණු වෝහාරික විගණනයෙහි 2002 සිට 2005 දක්වා කාලය ගැඹුරු විගණනයකට ලක් නොවීමය. ඒ කාලය සඳහා අවශ්‍ය තොරතුරු හා දත්ත ප්‍රමාණවත් නැතැයි ඔවුන් ඒ කාලය එතරම් සැළකිල්ලට ගෙන නැත.
“ඒ කාලයේ, 2004 වනකම් අගමැති වූයේ වික්‍රමසිංහ බවත් ජනාධිපති වූයේ චන්ද්‍රිකා කුමාරණතුංග” බවත් ඔහු එම සාකච්ඡාවේදී අවධාරණය කෙරුවකි.
එහෙත් මෙය රන්ජන්ගේ පටිගත කෙරුණු හඩ පටි වලට එහා යන විධිමත් දියුණු විගණන පරීක්ෂණයකින් කෙරෙන දූෂණ හා වංචා සම්බන්ධ තොරතුරු සහිත හෙළිදරව්වක් ලෙස පිළිගනු ලබන්නේය.
බලයේ ඉන්නා සහ බලයෙන් ඉවත් කෙරුණු කිසිදු දේශපාලන පක්ෂයකට තනිව හෝ හවුලේ හෝ ඒ කිසිවකට විසඳුම් දිය නොහැකි බවද මේ හෙළිදරව් විසින් ඔප්පු කෙරුණකි. එය අවධාරණය කරමින් පසුගිය දිනක මාධ්‍ය ඇමතු හිරුණිකා සැකයකින් තොරව කියූවේ වෝහාරික විගණන වාර්තාවෙහි නම් සඳහන් කිසිවකුට විරුද්ධව කිසිදු පියවරක් නොගනු ඇත කියා ය.
සියලු ප්‍රධාන පක්ෂ හා ඒවායේ නායකයින් සමග හඩු ජාවාරම්කාරයින් තබා ගන්නා සම්බන්ධතා මේ විවෘත වෙළඳපල ආර්ථිකයේ පැවැත්ම තීන්දු කෙරෙන ප්‍රධානම සාධකයකි. එය මෙතෙක් හෙළදරව් වූ හැම කාරණාවකම යටිපෙළෙහි ලියැවී තිබෙන්නකි. හිරුණිකාගේ අනාවැකිය සමග එකඟ වන්නට මට සිදුවන්නේ එබැවිනි. එනිසා දුරදිග යන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ ජාවාරම්කාර දේශපාලනයද පිරිසිදු කරගත යුතුව ඇත.
ඉදිරි අනාගතය වර්තමාන පරම්පරාවන්ටත් නූපන් පරම්පරාවන්ටත් ජීවත් විය හැකි සමාජ සාධාරණයක් සහිත, නිදහස් ශීලාචාර සමාජයක් ලෙස යළි ගොඩනගා ගැනීමේ වගකීම සමාජයේ විද්වත් ක්‍රියාකාරී පිරිස් වෙත බාර වන්නේ ඒ නිසාවෙනි. බාර ගත යුත්තේ ඒ නිසාවෙනි.
එනිසා රාජ්‍ය ප්‍රතිසංස්කරණ සැළසුම් කළ යුත්තේ කුමන ආකාරයේ ජාතික සංවර්ධනයක් සඳහාද යන්න පළමුව තීන්දු කර ගත යුත්තකි. ඒ සඳහා අප “සංවර්ධනය” යනුවෙන් කතා කරන්නේ කුමන ආකාරයේ සංවර්ධනයක්ද යන්නත් පූර්ව සමාජ එකඟත්වයක් ලැබිය යුත්තකි.
අද ඒ වගකීම අත හරින්නේ නම්, දේශපාලනඥයින්ට හා ජාවාරම්කාරයින්ට දොස් පැවරීමට හා විරුද්ධ වන්නට, රන්ජන්ට හිරුණිකාට හුරේ දමන්නට මේ සමාජයට අයිතියක් නැත. දියුණු අනාගතයක් හදා ගැනීමේ වගකීම බාර නොගන්නා සමාජයකට අනෙකුන් විවේචනය කරන්නට අයිතියක් තිබිය නොහැකි හෙයිනි.
කුසල් පෙරේරා (ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)
2020 ජනවාරි 27
සබැඳි විචාර :
'රන්ජන් බුදු දහමේ සාරය ආරක්ෂා කරන්නෙකි' - දීප්ති කුමාර ගුණරත්න
''තම පැවැත්ම 'හැක්' වුණාට පස්සෙත් කෙළින් හිටගන්න හැටි කියාදුන්නේ රන්ජන්'' -Mahesh Hapugoda
''තවදුරටත් රන්ජන්ට ගොන්ජා කීමෙන් මඤ්ඤං වන්නේ අපිමයි'' -Dhananjaya Karunarathne
'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාගේ ‘මාර කතා’ එකතුවෙන් මතු වන අභියෝග - නාලක ගුණවර්ධන
''රංජන් පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවක්'' -සුමිත් චාමින්ද
'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජන්ටත් වඩා වරදක් කරන්නේ ජනමාධ්‍ය - ඕමල්පේ සොභිත හිමි
රන්ජන් කළාටත් වඩා විනාශයක් කරන ලංකාවේ ජඩමාධ්‍ය (VIDEO)
විජය මාමයි - රන්ජන් බෑනයි : (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව
'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක්
'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)
රන්ජන් රෙකෝඩ්ස් : ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස
රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !
රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''
රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්
රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය'' -Mahesh Hapugoda
රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ