වර්තමාන ආණ්ඩුව සමාජය තුළ ජනප්‍රිය නොවන බව බොහෝ දෙනකුගේ මතයයි. එම නිසාම ඇතමකු අවිද්‍යාත්මකව පවසන්නේ අනාගතයේ දී පැවැත්වෙන ජාතික මැතිවරනයකදී එජාපයට තමන්ගේම වූ ජනාධිපතිවරයකු පත් කර ගැනීම හෝ තමන්ගේම රජයක් පිහිටුවීට ඇති ඉඩකඩ ඉතා අල්ප වන බවයි. 


මෙම මතය තහවුරු කිරිමට සහ/හෝ බිඳහෙලීමට බොහෝ කරු ණු තිබෙන්නට පිලිවන. එහෙත් මෙම මතයට අදාළව අප පවසන්නේ එජාපය අද ක්‍රියාත්මක වන්නේ නූල කඩාගත් සරුංගලයක් ලෙසට බවය. එයට හේතුවී ඇතැයි අප සිතන්නේ මේ වනවිට එජාපය සමන්විත වන්නේ සහ ක්‍රියාත්මක වන්නේ ඉලක්කයක් රහිත "සෙනග" ගොඩකින් මිස නිශ්චිත දෘෂ්ඨියකින් සන්නද්ධ වූ බලවේගයක් ලෙසට නොවන නිසා බවයි.

මීට ප්‍රතිමුඛව සිටින මහින්දවාදී පිල තමන්, ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී  දේශපාලනය වෙනුවෙන් සෙනී සිටින ජාති දේශපාලන බලවේගයක් බව ප්‍රකාශ කරයි. 

මාගේ පෙර ලිපිය මගින් පෙන්වා දුන් ආකාරයට එම දෟෂ්ඨිය අපට නාමකරනය කළ හැක්කේ " වාම-ජාතික වාදය" ලෙසටය. සැබවින්ම ගත් කල වාම වාදයක් හෝ ජාතික වාදයක් ඔවුන් තුළ නොවන්නට පිලිවන. නමුත් බසින් හා පෙනුමෙන් ප්‍රතිශීලී අභිලාශයන් පෙන්නුම් කරයි. 
පසුගිය පලාත් පාලන ඡන්දයේ දී පමණක් නොව 2015 ජනාධිපතිවරණයේ දීද දකුණේ සිංහල සමාජය මෙම දේශපාලන බලවේගය සමග අනුගතවීම පෙනී යයි. 


පුද්ගලාභිවන්දනය නාසි ලක්ෂණයකි:

බැලූ බැල්මට ආකර්ෂණීය වන මෙම දෟෂ්ඨිය අපට අනුව නම් දීර්ඝ කාලීනව රටට අවැඩක්, අයහපතක් ගෙන එන්නකි. 
මානව ප්‍රගතිය වෙනුවට පුද්ගලවාදය ඉස්මතු කරන මේ දහම මේ විට මහින්දවාදය සිට ගෝඨාවාදය දක්වා පරිවර්තනය වෙමින් පවතී. මේ පුද්ගලාභිවන්දනය නාසි ලක්ෂණයකි. 
එහෙත් තේරුම් ගත යුතු මුලික කරුන වන්නේ මහින්දවාදය හෝ ගෝඨාවාදය රට තුළ පවතින්නේ එජාපයට සමාජයට ඉදිරිපත් කළ හැකි ආකර්ෂණීය දෘෂ්ඨියක් නොමැති නිසාය. එජාපයට අතීතය තුළ ජනප්‍රිය දෟෂ්ඨිවාදයක් නොතිබුණා නොවේ. 
ශ්‍රී  ලාංකික ජාතියේ ආරම්භකයා ලෙස ඩී.එස් ට තමන් ගේම දෟෂ්ඨියකින් හෙබි විය.  එජාපයේ මීලඟ ජනප්‍රිය දෟෂ්ඨිය සමාජගතවන්නේ ඩඩ්ලි සේනානායක සමයෙහිදීය. එය පදනම් වුයේ සුභසාදක ලිබරල්වාදය මතය. තුන්වනුව එජාපය ජනප්‍රිය දෟෂ්ඨියක් සමාජගත කරන්නේ ජේ ආර් නායක සමය තුළදීය. මේ සෑම දෟෂ්ඨියකම පැවති පොදු ලක්ෂණය වූයේ එමගින් ජනතාව ගේ මුලික අවශ්‍යතාවයන් ( basic needs) සහ වර්ධනය වන අවශ්‍යතාවයන් (growing needs) පිලිබඳ අවධාරණයත් ඒ අවශ්‍ය සවදේශීත්වය තුළ ඔතා ඉදිරිපත් කිරීමට සමත්වීමත්ය. 


ජේ ආර් ගේ  ත්‍රී මුර්ථික ප්‍රතිපත්ති :

"යැංකි ඩිකී ලෙස විරුදාවලි ලත් ජේ ආර් පවා තම ත්‍රී මුර්ථික ප්‍රතිපත්ති වන විවෟත ආර්ථිකය, විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික චන්ද ක්‍රමය හඳුන්වාදුන්නේ ස්වදේශිකයා ගේ සිත් සතන් ඇඳබැඳ ගනිමිනි. මඳක් ගැඹුරින් සලකා බැලුවිට පෙනීයන්නේ ජේ ආර් හඳුන්වාදුන් පාලන ක්‍රමය රිපබ්ලිකානු වාදය මත පිහිටවු බවකි. 
එහි මුල් අරුතෙන් ගත් කල ඉන් හැඟ වෙන්නේ ජනරජයක් තුල රටේ පුරවැසියන් සංවිධානය කිරීමක් ලෙසටය. 
රිපබ්ලිකානු චින්තකයකු වූ ජෝන් ඇඩම්ස් පවසා තිබුණේ ජනරජයක් සංවිධානය කිරීම පිටුපස පවතින දේශපාලන විද්‍යාව වන්නේ ජනරජයේ වෙසෙන පුරවැසියන් ගේ සාමාජ සංතෘශ්ඨියේ විද්‍යාව  (science of social happiness) වන බවයි. 
ඒ අනුව තාර්කික හා තෘප්තිමත් සමාජ මිනිසකුගේ පැවැත්ම ජනරජයක දැක්ම විය යුතු විය. වසර දා හතක් බලයේ සිටින්නට එම දෘෂ්ටිය ආධාර කළේය. 


නව ලිබරල් ආර්ථික මොඩලය:

නමුත් 1994 ට පසුව එජාපය භාරගත් නව නායකත්වය විසින් එතෙක් අනුගමනය කරනු ලැබු දෘෂ්ඨියෙන් වෙන්ව ආර්ථික මිනිසකු ගොඩනැගීම අරමුණු කොටගත් නව ලිබරල් ආර්ථික මොඩලය (neoliberal economics) වැලඳගත් අතර එය ක්‍රියාත්මක කරන දේශපාලනය ලෙස එහි නායකයන් අනුගමනය කරනු ලැබුවේ කොන්සර්වටිව් වාදයයි.

 ඒ තුළ වැදගත් ලෙස සැලකන ලද්දේ පාරිභෝගිකවාදය (consumerism) මිස විශ්ව මානවහිමිකම් නොවේ. එජාපයේ මෙම දෟෂ්ඨියට ඇති කැපවීම ක්‍රියාත්මකව පෙන්නුම් කරනු ලැබුයේ 2001 බලයට පත්වු එජාප රජය විසිනි. එම රජයේ මුඛ්‍ය සංවර්ධන වැඩපිලිවල හඳුන්වනු ලැබුයේ "රීගේනිං ශ්රී ලංකා" යනුවෙනි.

 අවසානයේ දී කුමන්ත්‍රනකාරීව වුවත් 2003 පැවති මැතිවරණයෙන් එජාපය පරාජය වුයේය. එම ආණ්ඩුවට එරෙහිව එදා සටන් පාඨ වුයේ රට විකුණන බවය (ආර්ථිකය වෙනුවෙන් රට කැප කිරීම). සිංරාජය විකුණන බවය (පරිසරයට ඇති අසංවේදී බව). සීගිරියත් විකුණන බවය (සංස්කෟතියට ඇති අසංවේදී බව). අපේකම නැතිවී ඇති බවය. 

අපේකමට, සංස්කෟතියට, සමාජ සාධාරණය වෙනුවට ආර්ථික වර්ධනය ගැන පමණක් අවධාරණය කළ එජාපයට, අහම්බයක් තුළ ගොඩනැගූ යහපාලන ආණ්ඩුව තුළ පවා තමන් කටමැත දෙඩවු ආර්ථික සංවර්ධනය හෝ ආර්ථික මිනිසා ගොඩනැගීමට පවා නොහැකි වී ඇතිබව මේ වන විටත් ඔප්පු කරමින් සිටී. 

එබැවින් එම දෘෂ්ටියේ අසාර්ථකත්වය පිට දෙවරක්ම ඔප්පු කොට තිබේ. ඒ අන් කිසිවකටත් වඩා නව ලිබරල්වාදය තුල පැවති ආවේනික දෝෂ හේතුවෙනි. එජාපය මෙය තදින් වැලඳගත්තද නව ලිබරල් වාදී මුලධර්ම පදනම්වන "වොෂින්ටන් සම්මුතිය" හඳුන්වාදුන් ලෝක බැංකුවේ නිර්මාතෘවරු පවා අද වන විට එය පුස්සක් ලෙස සලකා අතහැරදමා තිබේ. 

ඒ තුලින් රටවලට උරුම කර දී තිබුණේ අසහනය හා ඉච්ඡාභංගත්වයයි. නමුත් එජාපය තවමත් එය අන්ධභක්තිකව වැළඳ ගෙන එය රාජ්‍ය පාලනයට මුසුකිරීමේ ප්‍රතිපලයක් ලෙස රටේ ආර්ථිකයද ආණ්ඩුවද, ඒ පිටුපස ඇති දේශපාලන බලවේගයද දුර්මුඛ වී තිබේ. 



එජාප අනාගතය බාර දෙන්නේ කාට ද ?


එජාපය අද සමාජයට දිස්වන්නේ කෙඩෙරී වී ගිය දරාපත් දර කොටයක් විලසටය. එම පක්ෂයට අනාගත ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වන වගකීමක් භාරදිය හැක්කේ ද යන්න පිළිබඳව ජනතාවට ඇත්තේ කුකුසකි. මෙම කුකුස 2010 දීද 2015 දීද සමාජය තුළ තිබුණේය. ඒ නිසාම එජාපයට, ජනතාවාදයට බරතබන්නේ යයි පෙනුණු ජනාධිපති අපේක්ෂකයන් තෝරන්නට එයට සිදුවිය.

 එහෙත් ඔවුන්ගේ භාවිතය ඊට ඉඳුරා වෙනස් විය. එස භාවිතය තුළ සෝභිත හිමියන් කේන්ද්‍ර කොට ගොඩනැගු චින්තනය සමතලා කොට දැම්මේය. එහි ප්‍රතිඵලය දැන් අප අත්විඳිමින් සිටී. එදා සෝභිත හිමියන් මගින් නිරූපණය කරනු ලැබුයේ අපේ මහා සංස්කෟතියයි. සෝභිත හිමියන් නොවන්නට එදා ඉදිරිපත් කළ සටන් පාඨයන්ට තිබුණේ වියුක්ත වටිනාකමකි. 

මානව හිමිකම් පිලිබඳ සංවාදය මෙන්ම රාජ්‍ය  ප්‍රතිසංස්කරනයට අදාල කථකාව ද පිහිටුවිය යුතුව තිබුනේ එකී මහා සංස්කෟතිය පිලිබඳ කථිකාව ඇතුලතය. එජාපය මනංකල්පිත ආර්ථික මිනිසකු තනන්ට ගොස් දේශපාලනික මංමුලාවකට පත්වී තිබේ. 

මේ සියල්ලට හේතුව රටේ ප්‍රධාන දේෂපාලන දෙකින් එකක් වන එජාපයට පස්මහ බැලුම් හෙලා හෝ රටට ඔබින දෟෂ්ඨියක් ගොඩනැගීමෙහි ලා පෙන්වන අසමත් භාවයයි මට සිතේ. එය සිදුනොවන තාක් මහින්ද දේෂපාලනයට ප්‍රතිපක්ෂ බලවේගයට අනාගතයක් නොපවතිනේය යන්න මාගේ විශ්වාසයයි.

(මෙම ලිපිය අනිද්දා පුවත්පතින් උපුටා ගන්නා ලදී )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්