මහින්ද රාජපක්ෂ මහතාට මරණීය අපහාස කළ අරගලකරුවෙක් සිය නැගණියගේ විවාහ උත්සවයට මහින්ද සහ නාමල් දෙපලටම

ආරාධනා කර සුබ පතා දැමූ පෝස්ට් එකක් මේ දිනවල viral වෙමින් තිබේ.

 

තවත් මෝඩ අරගලකරුවන් පිරිසක් සමග නාමල් කරට අත දාගෙන ගත් සෙල්ෆියක් ද ඒ අතර හුවමාරු වේ. මා හට එම පින්තූර එවූ ඇතැමුන් කීවේ නාමල් එසේ හැසිරීම මැයි 9 වැනිදා අරගලකරුවන්ගෙන් ගුටි කෑ පොහොට්ටු සාමාජිකයන්ගේ කණට ගැසීමක් බවයි. එක පැත්තකින් එහි ඇත්තක් ද තිබේ. නමුත් මේ කාරණය ඊට වඩා පුළුල්ව විමසිය යුතුය.


[Disclaimer] අරගලයට වචනයකින් හෝ සහාය දුන් අය මා මගේ ජීවිතයෙන් සදහටම ඉවත් කර ඇත. එයට මාගේ ළඟම ඥාතීන්, පාසල් මිතුරන්, වෘත්තීය සගයන් සහ මගෙන් උගත් ශිෂ්‍යයන් පවා ඇතුළත් ය. මා හට ඔවුන් මළවුන් ය. මාගේ නිවසට පැමිණි ඒ ඇතැමුන් මා විසින් හරවා යවා ඇත. මාගේ මරණයටත් ඒ එකෙකුවත් පැමිණිය නොයුතුය. නොහඳුනන අරගලකරුවාට වඩා මා හඳුනන අරගලකරුවා මා හට පිළිකුල් ය. ඔවුන්ගෙන් මිදීම මා හට සැපයකි. මාගේ පැතුම නම් ඔවුන් නැවත සසරේ කිසිදාක මා හට මුණ නොගැසේවා යන්න ය. නමුත් මා හට එවැනි දැඩි ප්‍රතිපත්තියක සිටීමට හැකි වුවත් දේශපාලන නියෝජිතයන්ට එය කළ නොහැකි ය. දේශපාලනය කිරීම ඉතාමත් අමාරු දෙයක් වන්නේ ඒ නිසා ය.


උදාහරණයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලොකුම විශ්වාසවන්තයන් වූ කමල් හෝ ශවේන්ද්‍ර හෝ දිලිත් හෝ වැන්නවුන් එතුමාට කළ සාහසික ද්‍රෝහීකමෙන් පසුව හරි නම් නිවසේ හතර මායිමටවත් වැද්ද නොගත යුතු යැයි ඇතැමුන් කියයි. නමුත් ගෝඨාභය මහතාට එය කළ නොහැකි ය. අබ මල් රේණුවක ලැජ්ජාවක් නැතිව නිවසට රිංගන ශවේන්ද්‍රව “දැන් තමුසේ මොකටද අයිසෙ මෙහෙ එන්නේ?” කියා අසා හරවා යවන්නට නොහැකි ය. එය දේශපාලනයේ හැටියකි. දේශපාලන නියෝජිතයා යනු එක්තරා ආකාරයකට පරාධීනයෙකි. ඔහු සෑම විටම අනුන් මත යැපේ. සිද්ධාර්ථ කුමාරයා සක්විති රජකම ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් තිබේ. දේශපාලනය කිරීමේදී අප්‍රියයන් වුවත් ඇසුරු කළ යුතු ය. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ.


එය ඇතැමෙකුට පෙනෙනු ඇත්තේ බොරු රඟපෑමක් හැටියට ය. සැබැවින්ම එය රඟපෑමකි. ඔය මගුල්වලට ආරාධනා කර එහි ගියාට ඒ හැම එකා පිළිබඳවම දේශපාලන නියෝජිතයන්ට පැහැදීමක් නැත. නමුත් ඒ වෙලාවට සිනා සී කරට අත දාගෙන විහිළුවක් තහළුවක් කර පොඩි රඟපෑමක් කළ යුතු ය. නැත්නම් දේශපාලනය කරන්න බැහැ. “ලෝකය රඟ මඬලකි - අපි එහි නළුවෝ වෙමු.” දැන් පොහොට්ටුවේම ඇතැම් අය පවා මා සමග සිනා සී සිටියාට ඔවුන් කරන්නේ රඟපෑමක් බව මා දනී. මා ගෝඨාභයගේ හිතෛෂියෙකු නිසා හෝ මා විසින් කළ ඇතැම් විවේචන නිසා හෝ ඔවුන් මා සමග යටින් අමනාප ය. නමුත් ඔවුන් දේශපාලනය කරන නිසා මා සමග බොරුවට සිනා සේ. ඒ අතින් කාංචන දේශපාලනික අඥානයෙකි. මොකද ඔහු මා සමග ගහ ගැනීමට ආ නිසා ය. එහෙම දේශපාලනය කරන්නට බැරි ය. තමන්ට ද්වේශ සහගතම අපහාස තර්ජන කළ අරගලකරුවා සමග පවා බොරුවට සිනා සී සිටිය යුතු ය.


අනෙක් පැත්තෙන් අරගලයට ගිය ඇතැමුන් එහෙම ගියේ ඔවුන්ගේ තිබෙන පරාණ බය නිසා ය. භාතිය සන්තුෂ් ඇතුළු තවත් බොහෝ ජනප්‍රිය චරිත “අනේ සර් අපිට කරන්න දෙයක් නැහැ…” කියා අනෙක් පැත්තෙන් රාජපක්ෂලාගෙන් මිදුනාක් මෙන් ප්‍රකාශ නිකුත් කළේ එහෙම ය. Mr කොත්තු බාස් වැන්නවුන් අරගලකරුවන්ට නොමිලේ කන්න දුන්නේ තමන්ගේ කොත්තු කඩේ ගිනි තබාවිය යන බයට ය. සමාජයේ හැම මිනිහෙකුම නිර්භීත නැත. බහුතරය නිවට ය. බියගුළු ය. එය පරිණාමීය අවශ්‍යතාවයකි. බියෙන් සැඟවෙන මීයන් බෝ වීමටත්, නිර්භීත සිංහයන් වඳ වීමටත් හේතුවක් තිබේ. මේ යථාර්ථය අප තේරුම් ගත යුතු ය. දේශපාලනය කිරීමේදී සිංහයන්ට වඩා මීයන් ප්‍රයෝජනවත් ය. අවසානයේ වැදගත් වන්නේ වැඩිපුර ඡන්ද තිබීම පමණී. “ප්‍රතිපත්ති දේශපාලනය” යනු ඔක්සිමෝරෝනයකි.


ඒ සියල්ලටම වඩා මේ කාරණය මට වැදගත් වන්නේ අපේ පැරැන්නන් කියූ “මැරිලා ඉපදීම” යන පිරුළට යස උදාහරණයක් මෙම අරගලකරුවන්ගෙන් ලැබෙන නිසා ය. එදා සිස්ටම් චේන්ජ් කරන්න සටන් කළ අරගලකරුවන්ගෙන් සුලු පිරිසක් දැන් රනිල්ට කඩේ යයි. ඉතුරු අති මහත් බහුතරය රාජපක්ෂලා සමග නැවත එකතු වී තිබේ. මෙවැනි සිදුවීම්වලින් ඔප්පු වන්නේ එයයි. අරගලයට අත් විය හැකි දරුණුතම පරාජය මෙය නොවේද? ඉරාජ්ගේ ෂෝවලට දැන් වැඩිපුරම එන්නේ එදා ඉරාජ්ගේ නමින් ගෝටාගෝගම කක්කුස්සි සංකීර්ණය නම් කළ මෝඩ අරගලකාරයන්ම ය. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2024 ජූනි 22

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්