කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව මගේ පැරණි ශිෂ්‍යයෙකු පසුගියදා දුරකථනයෙන් මගෙන් තොරතුරු විමසා සිටියා.

ඔහු ඇසුවේ "ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව සංඛ්‍යානමය ගණිත මාදිලියක් නැද්ද? අනාගත පුරෝකථනයක් නැද්ද?" යන්නයි.

ඒ ගැන මා නොදැන සිටියෙමි. කෙසේ වෙතත්, මට එක්වරම අතීත කරුණු දෙකක් සිහිපත් වුණි. එකක් නම් 90 දශකයේදී මහාචාර්ය අර්ජුණ සොයිසා මහතා ලංකාවේ මැලේරියා ව්‍යාප්තිය පිළිබඳව ගණිත මාදිලියක් හා පූරෝකථන ක්‍රියාදාමයක් ඇතිකළ බවය.

මගේ මතකය නිවැරදි නම් ඒ සඳහා ඔහුට ආචාර්ය උපාධියක්ද හිමිවිය. එතුමාගේ උපදේශකවරයා වූයේ මහාචාර්ය කාමිණී මෙන්ඩිස් ය. එකල විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ගණිත අංශයේ සේවය කළ මා සහ පුබුදු ඒ සඳහා විවිධ ඇසුරින් සහාය වූ බවද මතකය.

දෙවැන්න නම්, 2018 වසරේදී "Contagion" නමින් මෙවැනි වසංගත ව්‍යාප්තියක් පිළිබඳව ගණිත මාදිලියක් හා මොබයිල් ඇප් එකක් ගැන BBC සේවය ප්‍රචාරය කළ බවය. (එය අන්තර්ජාලයේ ඇත).

''ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සංඛ්‍යාන අංශය හා වෛද්‍ය විශේෂඥයින් එක්වී විධිමත් දත්ත එකතුවක් ඇති කළහොත් කොවිඩ්-19 පිළිබඳ ගණිත මාදිලියක් තැනීම හා අනාගත පුරෝකථනයන් කිරීම අපහසු නැත.''

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සංඛ්‍යාන අංශය හා වෛද්‍ය විශේෂඥයින් එක්වී විධිමත් දත්ත එකතුවක් ඇති කළහොත් කොවිඩ්-19 පිළිබඳ ගණිත මාදිලියක් තැනීම හා අනාගත පුරෝකථනයන් කිරීම අපහසු නැත. දැනටමත් එවැන්නක් කර ඇතිදැයි නොදනිමි. එහිදී පහත සඳහන් කරුණු වැදගත් වනු ඇත.

  1. කොවිඩ්-19 ව්‍යාප්තිය ඝාතීය වර්ධන තත්වය (Exponential Growth) දක්වා වර්ධනය වී ඇත්ද? ඝාතීය වර්ධනය හා රේඛීය වර්ධනය (Linear Growth) වෙන්කර හඳුනාගත යුතුය.

පැරණි කතාවකට අනුව විලක සහමුලින් පිරී ඇති නෙලුම් කා දමන යක්ෂයෙක් අද දින එක් නෙලුමක්, හෙට දින නෙලුම් දෙකක්, අනිද්දා නෙලුම් 4 ක් ලෙස ගුණාකාර ක්‍රමයට නෙලුම් කා දමයි නම් එතැන ඝාතීය වර්ධනයක් (නෙලුම් විනාශ කිරීමේ) ඇත.

 ඉතින්, දින 29 කට පසු විලේ නෙලුම්වලින් අඩක් විනාශ වී ඇත්නම් එහි තේරුම කුමක්ද? රේඛීය වර්ධනය ගැන සිතන අය තවත් දින 29 ක් ඇති බව කියති. (ලංකාවේ බලධාරීන් කොවිඩ්-19 ගැන සිතුවේද එලෙසය) නමුත්, සත්‍ය ලෙසට මුළු විලේම නෙලුම් විනාශ වීමට ඇත්තේ එක් දිනක් පමණි. ඝාතීය වර්ධනයේ ස්වරූපය එයයි.

එහෙයින් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය ඝාතීය ලෙස වර්ධනය වේද යන්න ප්‍රත්‍යක්ෂ කර ගැනීම අත්‍යාවශ්‍ය ය. ලෝකයේ බොහෝ රටවල රෝගය ව්‍යාප්ත වී ඇත්තේ ඝාතීය ලෙසිනි.

  1. විධිමත් දත්ත අවශ්‍යය. එනම්, රෝගී බවට සැක කරන අයගෙන් කී දෙනෙක් දිනකට ආසාදිත පරීක්ෂාවට (PCR) ලක්වේද? (ශ්‍රී ලංකාවේ මෙය 150-200 අතර බැව් හිතවත් වෛද්‍යවරයෙකු පැවසීය. කොරියාවේ මෙය දිනකට 20,000 කි!

''විධිමත් දත්ත අවශ්‍යය. එනම්, රෝගී බවට සැක කරන අයගෙන් කී දෙනෙක් දිනකට ආසාදිත පරීක්ෂාවට (PCR) ලක්වේද? (ශ්‍රී ලංකාවේ මෙය 150-200 අතර බැව් හිතවත් වෛද්‍යවරයෙකු පැවසීය. කොරියාවේ මෙය දිනකට 20,000 කි! ''

මේ වනතෙක් ලංකාවේ PCR පරීක්ෂණයට ලක්වූ පිරිස 2000 කට ආසන්න බව තොරතුරු වාර්තාවේ. ඒ අය අතුරින් ආසාදිත පිරිස කොපමණද? (අද දින වනවිට එය 100 ඉක්මවා ඇත) එනම් 2000 කට 100 ක් හෙවත් 5% කි. අසාදිත වී ඇති, එහෙත් හඳුනා නොගත් පිරිස තව කොපමණ ඇතිද?

චීනයේ නම් එය රෝගයේ මුල් අවධියේ 1:15 අනුපාතයෙන් සිදුවිය) ලංකවේ ඒ පිළිබඳ දත්ත නොදනිමි. අසාදිතයන් සමීපව ඇසුරු කළ පිරිස කොපමණද? (Contact), චීනයේ නම්, එක් ආසාදිත රෝගියෙක් වෙතින් විවෘත සමාජ තත්වයකදී (Lock Down / Shut Down නැති) දින 6 ක් තුළ 3500 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

වෛද්‍ය පාදෙනිය මහතාට අනුව ලංකාවේ මෙම පිරිස 18,000 කට ආසන්නය. කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත දත්ත අවශ්‍යය.

  1. ආසාදිත අය අතරින් කී දෙනෙක් අසාධ්‍ය තත්වයේ සිටීද? (එක්සත් ජනපදයේ නම් එය 20% කි. ලංකාවේ දෙදෙනෙකි) මොවුන් අතුරෙන් කී දෙනෙකුට Ventilators සැපයිය හැකිද? වෙනත් අසාධ්‍ය රෝගීන් (පිළිකා, හෘද, වකුගඩු රෝග ආදිය) හා කොවිඩ්-19 අසාධ්‍ය වූවන් අතුරෙන් මේ සුවිශේෂී පහසුකම ලබාදීමේ හැකියාව කෙබඳුද? (ලංකාවේ ICU ඇඳන් ඇත්තේ 492 ක් බව දැනගන්නට ඇත).

''ලංකාවේ ICU ඇඳන් ඇත්තේ 492 ක් බව දැනගන්නට ඇත - කවර පිරිසක් තොරතුරු සඟවා සමාජයේ හැසිරෙමින් සිටීද?''

  1. අසාධ්‍ය නැති එහෙත් ආසාදිතයන්ගෙන් කවර ප්‍රමාණයකට රෝහල්වල ඇඳන් හෝ වෙනත් පහසුකම් තිබේද? අනාගතයේ පූරෝකථනය කරන අගයට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් පවතීද? (වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කරන 18,000 ක පිරිසට මෙය ආසාදිත වුවහොත් එයට පහසුකම් සැපයිය හැකිවේද?)
  1. පෙබරවාරි මස සිට රෝගය ව්‍යාප්ත වූ රටවලින් ලංකාවට පැමිණ දැනට ලංකාවේ ජීවත්වන පිරිස කොපමණද? ඔවුනතරින් කවර පිරිසක් නිවෙස්වල නිරෝධායනය වේද? කවර ප්‍රතිශතයක් රෝහල් කරා පැමිණ තිබේද? (දැනට පොලීසියේ ලියාපදිංචි වී ඇති පිරිස 1000 කට අඩු බව කියැවේ. නමුත් යථාර්තයක් ලෙස එය ඊට වඩා වැඩි අගයක් ගනුඇත) කවර පිරිසක් තොරතුරු සඟවා සමාජයේ හැසිරෙමින් සිටීද?
  1. සම්පූර්ණ සුවය ලබන හා මරණයට පත්වන ප්‍රතිශතය කවරක්ද? (ඉතාලියේ මරණ අනුපාතය 9% කි. එයට හේතුව ආසාදිත හා අසාධ්‍ය ප්‍රමාණය සෞඛ්‍ය පහසුකම් ඉක්මවා යෑමය. තායිවානයේ හා කොරියාවේ මෙය 0.1% කි. එයට හේතුව කලින්ම පූරෝකථනය කර කලින්ම පියවර ගැනීමය) වාසනාවකට ලංකාවේ මෙතෙක් මරණ වාර්තා වී නැත.

දැනට අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකි. දකුණු ආසියාවේ මරණ අනුපාතය ඉතා අඩු මට්ටමක පවතී. එය ඔවුනගේ ජාන ක්‍රියාවලියේ විශේෂත්වයක්ද, පවතින අධික උණුසුම දැයි නොදනී. නැත්නම් අප්‍රකාශිතවම රෝගීන් මිය යනවාද විය හැකිය.

  1. මාර්තු 15 සිට 30 දක්වා බලධාරීන් පවත්වාගෙන යන අර්ධමය Lock Down / Shut Down තත්වයන් පවත්වාගෙන යාමේදී මතුවන සම්පත් හා මූල්‍ය සැපයුම්වල ප්‍රමාණයන් කවරේද? (ආහාර හා ඖෂධ හිඟකමින් දැනටමත් ජනයා අසහනයටත්, කෝපයටත් පත්ව ඇති අතර ඉදිරි සැලසුම වහාම ඉදිරිපත් කර රට දැනුවත් කළ යුතුව ඇත).

බස්නාහිර පලාතේ පමණක් ලක්ෂ 60 කට අධික පිරිසක් ජීවත් වන අතර, ඔවුනගේ දෛනික ආහාර හා ඖෂධ අවශ්‍යථා සැපිරීමට රජය හා පුද්ගලික අංශ අසමත් බව පසුගියදා ඇඳිරි නීතිය ලිහිල් කළ කාල සීමාවේ ඇතිවූ අර්බුද හමුවේ පැහැදිලිවේ.

Image may contain: one or more people, people standing, crowd and outdoorදෛනික ආහාර හා ඖෂධ අවශ්‍යථා සැපිරීමට රජය හා පුද්ගලික අංශ අසමත් බව 
ඇඳිරි නීතිය ලිහිල් කළ කාල සීමාවේ ඇතිවූ අර්බුද හමුවේ පැහැදිලිවේ.

එසේම, මෙවන් මොහොතක, සිය ඇමති ධූර භාවිතා කරමින් ආහාර බෙදාදීම වැනි බාල දේශපාලන වාසි ලබාගැනීමට යාමද ජනතාවගේ පිළිකුලට හේතුවී තිබේ.

කොවිඩ්-19 වසංගතය මැඩලීමට එය මැඩලන විශේෂඥ කාර්යසාධන බලකායට නිවැරදි දත්ත, මාදිලි හා පූරෝකථන අවශ්‍ය වේ. අනාගත පියවර සැළසුම් කිරීමට එය අත්‍යාවශ්‍යය.

හුදු ඇඳිරි නීතිය දමා සමජ සබඳතා අත්හිටුවීමෙන් පමණක් මෙය විසඳිය නොහැක්කේ දැනටමත් වෛරසය සමාජගත වී ඇති නිසාය.‍

(පාඨලී චම්පික රණවක)


Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්