මේ දිනවල කොරෝනා වයිරසය නිසා සමාජ-ආර්ථික ක්‍රියාවලිය සාමාන්‍ය අයුරින් පවත්වා ගෙන යාමට සමාජයටම නොහැකිව ඇති නිසාත් වයිරසය පාලනය කර ගැනීමට ආණ්ඩුව පනවා ඇති ඇඳිරි නීතිය නිසාත් සමාජයේ බහුතර පිරිසක් අනාථවී ඇත.
විශේෂයෙන් ජීවත් වන්නට කිසිදු මාර්ගයක් නොමැති ගමෙන් හා වැවිලිකරයෙන් නගරවලට පැමිණ අවිධිමත් ආර්ථික ක්ෂේත්රයෙහි දුක් ගැහැට විඳිමින් නඩත්තු වූ ලක්ෂ ගණනක් දේශීය සංක්‍රමණිකයින්ට අමතරව, පෞද්ගලික බස් රථවල දෛනික ගෙවීමට රියැදුරු-කොන්දොස්තර රැකියා කළ පිරිස්ද, ලක්ෂ 09 ට ආසන්න ත්‍රීරෝද රථ රියැදුරන්ද, හන්දි ගානේ ලොතරැයි අලෙවි කරන වුන්ද එවැනි අසරණවූ පිරිස් අතර බහුතර සංඛ්‍යාව වන්නේය.
ඒ අතර ඉදිකිරීම් ක්ෂේත්රයෙහි කුලී වැඩ කළ, නගරයේ පාරවල මොනවා හෝ කුලී වැඩක් සොයමින් ඇවිද ගිය, එළවළු මාළු කරත්තයක් තල්ලු කළ, නිල දත්ත වලට හසු නොවන විශාල පිරිසක්ද ඇත.
එවැනි දෛනික ආදායම් උපයමින් සිටි පිරිස මිලියන 1.7 ක් සහ නාගරික හා අර්ධ නාගරික සමාජයන්හි විවිධ ක්ෂුද්‍ර ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි ස්වයං රැකියාලාභීන් මිලියන 2.5 ක් කියා ආචාර්ය හර්ෂ ද සිල්වා “ට්වීට්” කර තිබිණ.
පෞද්ගලික අංශයේ මිලියන 03 ක සේවක පිරිස්ද එවැනිම අනාථ වූවන්ය. විශේෂයෙන් අපනයන නිෂ්පාදන ක්ෂේත්රයෙහි සේවක පිරිස් එවැනිය. ඔවුන්ට මාර්තු වැටුප ලබා ගත හැකි වූවත් ඉන් පසු රැකියාව පිළිබඳ ඇත්තේ ඉතා බරපතල අනාරක්ෂිත තත්ත්වයකි. රටම අකර්මණ්‍යව ඇති නිමක් නොපෙනෙන ඇඳිරි නීතිය සමග අප මේ කතා කරන්නේ අරමංව ඉන්නා මිලියන 06 ට වැඩි ශ්‍රී ලාංකික ජනතාවක් ගැනය.
''රටම අකර්මණ්‍යව ඇති නිමක් නොපෙනෙන ඇඳිරි නීතිය සමග අප මේ කතා කරන්නේ අතරමංව ඉන්නා මිලියන 06 ට වැඩි ශ්‍රී ලාංකික ජනතාවක් ගැනය,''
කොරෝනා වයිරසය පාලනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර සතු අසංවිධිත ස්වභාවය පිළිබඳව මේ වනවිට දොස් පවරන හා එහි සියල්ල හොඳයැයි අත්පොළසන් ගසන මැද පංතිකයින් විශාල පිරිසකි. කොරෝනා වසංගතයෙන් මතු වුන අර්බූද සඳහාවන හැම විසඳුමකම ඇත්තේ නාගරික මැද පංතිය සහ ආර්ථිකය වෙනුවෙන් යැයි ව්‍යාපාරිකයින් සඳහාවන අවධාරනයකි. අනෙක් බහුතර සමාජය ගැන එවැන්නක් නැත.
“සුදුසුකම් ලබනවුන්ට” ?
ඉකුත් 20 වන දින පැවති ඇමති මණ්ඩලයේදී ව්‍යාපාර වෙනුවෙන් රුපියල් බිලියන 50 ක හදිසි සහන සැපයීමට තීන්දු කරනු ලැබිණ. “ස්වයං රැකියා ව්‍යාපාර සහ පුද්ගලයින් ද ඇතුළත්ව” යැයි එහි ඇති සඳහන හුදෙක් සමාජ පරිභෝජනය සඳහා වන්නකි.
එම සහන අතර, මෙතෙක් ලබා ඇති ව්‍යාපාරික ණය සඳහා වාරික ගෙවීම් වෙනුවෙන් විරාම කාලයක් ලබාදීමට අමතරව, සියයට 04 ක පොලියකට සක්‍රීය ප්‍රාග්ධන ණය ලබා දීමටද තීන්දුවක් ඇත. එහි අගට ඇත්තේ “සුදුසුකම් ලබනවුන්ට” කියා ය. මේ සියල්ලෙන් කියවෙන්නේ කවුරුන් ගැනදැයි තේරුම් ගැනීමට තව විස්තර අවශ්‍ය නැත.
ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම ගැන කතාවද එවැනිමය. ඇඳිරි නීතිය පැනවූ ඉකුත් 20 වන දින සවස් වන්නට කලියෙන් සහ පැය 06 ට ඇඳිරි නීතිය ඉවත් කළ ඉකුත් අඟහරුවාදා දින ට්‍රොලි ගණන් බඩු පටවා ගෙන ගිය නාගරික මැද පංතිය දෙස සමාජයේ පහළ හා පහළම ස්ථර බලා සිටියේ වෛරයෙනි. දිලිඳු ඔවුන් කොරෝනා වසංගතය පාලනය කිරීමට ගන්නා පියවර වලට ඇතුළත් නැත.
ඉකුත් මාර්තු 11 දා පළමු ආසාධිතයා වාර්තා වූ පසු සියය ඉක්මවන තෙක් ආසාධිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ සමාජයේ පහළ ස්ථර ඇඳිරි නීතිය නොතකා රස්තියාදුවේ යන නිසා යැයි සියලු අවශ්‍යතා සපුරා ගත හැකි මැද පංතිකයින් චෝදනා නගන්නේද මේ සමාජයේ පහළ ස්ථර, තීන්දු තීරණ වලට අදාල නොවන හෙයිනි.
ඔවුන්ගේ දිළිඳු සංස්කෘතිය නූගත් නොහික්මුණු සංස්කෘතියක් යැයි වන පොදු නාගරික මානසිකත්වය හේතුවෙන් තමන් සඳහාවන විසඳුම් වලට ඔවුන් වැද්ද ගැනීමට සූදානම් නැත.
“දැන්වත් ගෙවල් වලට වෙලා හිට පල්ලා” යැයි නාගරික මැද පංතිය ඉතා දැඩිව කියන්නේත් එබැවිනි.
''ආසාධිත සංඛ්‍යාව පිළිබඳව වගකීම පටවන්නේ දිළිඳු සමාජයේ බහුතරය මත ය.''
ආරක්ෂක අංශ හා පොලීසියද ඉහළ යන ආසාධිත සංඛ්‍යාව පිළිබඳව වගකීම පටවන්නේ මේ දිළිඳු සමාජයේ බහුතරය මත ය. “ගෙවල් වලට වෙලා හිට පල්ලා” යැයි ඔවුන්ට බැණ වැදුනාට, මේ පහළ සමාජයද ඇඳිරි නීති කාලයේ ජීවත් වන්නට කෙසේ හෝ මොනවා හෝ සොයා ගත යුතුව ඇත.
එනිසා කොරෝනාව පැතිර යාම වළකා ලීමේ විසඳුම් ඇතුළත මේ බහුතර ජනයාද සිටිය යුතු නමුත් එය හඩ නගන මැද පංතිකයින් ඉතා විරළය.
''ප්‍රාථමික සැපයුම් ජාලය ක්‍රියාත්මක වන්නේ නැත.''
නිවෙස් වෙත භාණ්ඩ එන තෙක් කොළඹ නගරයේ බහුතරයක් මැද පංතිකයින් බලා සිටියද ඒ සඳහා ගම් දනව් වල සිට එළවළු, මාළු, බිත්තර ආදිය ප්‍රාථමික සැපයුම්කරුවන් හරහා එකතු කර ගැනීමේ ජාලය ඇඳිරි නීතිය සමග අක්‍රීය වී ඇත.
දඬුවම් ලෙස අත් අඩංගුවට ගැනීම් හා ඇප නොදීම් නිවේදනය කරමින් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාවට නගන විට, නිවෙස් වෙත භාණ්ඩ ප්‍රවාහනයට ව්‍යාපාරිකයින්ට අවසර ලැබුණද, ප්‍රාථමික සැපයුම් ජාලය ක්‍රියාත්මක වන්නේ නැත.
ප්‍රාථමික සැපයුම් ජාලය අක්‍රීය වූ විට ග්‍රාමීය පහළ සමාජයට ආදායම් හා අවශ්‍ය භාණ්ඩ සැපයුමද අහිමි වන්නේය. ඉන් ඇති වන්නාවූ බඩු හිඟය නාගරික හා ග්‍රාමීය සමාජයේ පහළ හා පහළම ස්ථර වලටද බලපාන්නකි. ඔවුන්ට දිගින් දිගටම අතරමංව සිටින්නට බල කෙරෙන්නකි.
මෙය මැද පංතික ඇතැම් පිරිස් බාර ගන්නේ සමස්ථ විසඳුමෙහි අර්බූදයක් ලෙස නොව, විසඳුමට සම්බන්ධයක් නැති හුදු “මානුෂික” ප්‍රශ්නයක් ලෙසිනි. මේ අයට වගකියන්නේ කවුරුන්දැයි එනිසා ඔවුන් අසන්නේ ආණ්ඩුවෙන් නොව, සමාජයෙනි.
“මනුෂ්‍යත්වය” වෙළඳ පාඨයක් ලෙස යොදාගෙන:
“මනුෂ්‍යත්වය” වෙළඳ පාඨයක් ලෙස යොදාගෙන එක් එක් ප්‍රශ්න වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කළ විට, ඒවා යෝධ ප්‍රශ්න ලෙස ඇදගෙන යා හැකිය. එවිට තම මනුෂ්‍යත්වය සනාථ කිරීම වෙනුවෙන් දායක වන්නට ඉදිරිපත්වන පිරිස් සිටිති.
ඔවුන් කෙතරම් ආගම්වාදී හා වර්ගවාදී අන්තවාදීන් වූවත් කෙතරම් මානව හා කම්කරු අයිතිවාසිකම් විරෝධි වූවත් මේ දිනවල කරන පරිත්‍යාගයකින් දෙකකින් ඔවුහු කැළණි නොගොසින් පව් සමාකර ගනිති. එවගේම ඔවුන් නාගරික මැද පංතියේ වීරයෝද වෙති.
මේ පුහු ආටෝප සමග ඉදිරිපත් කරන “මනුෂ්‍යත්වය” මූලික කාරණා දෙකක් හේතුවෙන් සමාජයට සිදු කරන්නේ බරපතල අවැඩකි.
පළමු වැන්න, ආණ්ඩුවේ මග හැරීම් “මනුෂ්‍යත්වය” පිළිබඳ පුද්ගල වගකීම් වශයෙන් පරිවර්තනය කර සමාජ මානසිකත්වයෙහි පැල කරනු ලබන්නේ ඒ වගකීම් පුද්ගලයින් ලෙස අප බාරගත යුතු සමාජ සත්කාර වශයෙනි. ඒ අනුව ඒ කිසිත් තවදුරටත් ආණ්ඩුවේ වගකීම් නොවන්නේය.
දෙවැන්න, සමාජ අවශ්‍යතා කෑලි ලෙස වෙන වෙනම විසඳීමට එකතු කරන පරිත්‍යාග විසින් සමස්ථ විසඳුමක අවශ්‍යතාව ගැන කතා අත හරින්නේය. ඒ වෙනුවට සමාජ කතිකා සීමා කර ගන්නේ මේ සමාජයෙහි “පරාර්ථකාමය” ගොඩ නැගීමේ අවශ්‍යතාවය සඳහාය. නොහික්මුණු, ජාවාරම්කාර විවෘත වෙළඳපල සමාජය හමුවේ අභියෝගයට ලක් නොවන අයුරු සමස්ථයට විසඳුම් සෙවීම සමාජ සංවාදයෙන් ඉවත් කර තැබීමටය.
රට පුරා රාජ්‍ය යාන්ත්රණයද දූෂිතව, අකර්මන්‍යව තිබියදී...
එහෙත් කිසිදු ආදායමක් නැතිව, හරියාකාර ආහාරයක් සොයා ගැනීමටත් අපහසුව හතර අත බලා සිටින බහුතරයක් ජනතාවගෙන් තැන තැන සියයකට දෙසීයකට තාවකාලික සහනයක් කවුරු හෝ මැදිහත්වී වරක් දෙවරක් සපයා දුන්නද එය සිංහල බෞද්ධ අධිපති මතවාදයක් සහිත සමාජයක, සිංහල බෞද්ධ ආධිපත්‍යධාරී ආණ්ඩුවකට අභියෝගයක් නොවන්නේය.
රට පුරා රාජ්‍ය යාන්ත්රණයද දූෂිතව, අකර්මන්‍යව තිබියදී ඒ කිසිත් කෑල්ලකට තබා කෑල්ලකින් කෑල්ලකටවත් විසඳුම් නොවන්නේය.
දින නියමයක් නොමැතිව දිගු ඇදෙන මෙවැනි ඛේදවාචකයක එක් වරක් ගොඩ ගැසූ සුනාමියේදී මෙන් කෙළවරක තැන තැත විසඳුම් සෙවිය නොහැකි බව තේරුම් නොගන්නා අතිශය ආත්මාර්ථකාමී මැද පංතියක් සිටියදී සියල්ලන් සඳහා විසඳුම් කතා වන්නේ නැත. ඔවුන්ගේ පහසුව හා වාසිය වෙනුවෙන් ඔවුන්ට තෝරා ගැනීම් ඇත. විසඳුම් සඳහා යැයි කෑලි තේරෙන්නේ ඒ අනුවය.
තේරුම් ගත යුතු සරළ සත්‍ය නම්, කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට ශ්‍රී ලාංකීය ජනතාව දෙසතියක් තම නිවෙස්වල ඇඳිරි නීතිය යටතේ නතරකර තබන්නට තීන්දු ගන්නේ නම්, මිලියන 22 ක් වන ඔවුන් සඳහා ඒ කාල සීමාවෙහි අත්‍යාවශ්‍ය සියල්ල ඔවුන්ට සපයා දිය යුතු වන්නේය.
මැද පංතියට මුදලටත් සමාජයේ පහළ ස්ථර සඳහා සහන මිලට හා නොමිලේත් අවම ආහාර පාන, අවශ්‍ය ඖෂධ පොරොන්දු වලින් ඔබ්බට ප්‍රායෝගිකව නිවෙස් වලටම ලබා දිය යුතු වන්නේය. එවැන්නක් සිදු නොවන විට සහ අඩාලව සිදු කෙරෙන සැපයුම් වලින් මිලියන කිහිපයක් දිළිඳු ජනයා අත හැරෙන විට, ඔවුන් නිවෙස් වලට කොටුවී ඉන්නේ නැත. එය සාමාන්‍ය දැනුමකි.
සංවර්ධන සැළසුම් කිසිවක් නොමැති දුප්පත් රටක ආණ්ඩුවකට මිලියන විස්සකට අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයිය නොහැකිය. ඒ වෙනුවෙන් සේවා නඩත්තු කළ නොහැක. ඇත්ත ආරවුල ඇත්තේ එතැනය.
එනිසා ඇඳිරි නීතිය අඛණ්ඩව පවත්වා ගැනීමෙන් ඉදිරියේදී වැඩි වැඩියෙන් එය උල්ලංඝණය වන්නට ඉඩ ඇති අතර, දැනට අත් අඩංගුවේ ඉන්නා සිය ගණනට තවත් දහස් ගණනක් එකතුවීමේ ඉඩකඩ නොපමාව වැසිය යුතුව ඇත.
ඒ සඳහා ''විසඳුම් කෑලි පැත්තකින් තබා ඇඳිරි නීතිය අවශ්‍ය නොවන, සියල්ලන් එකසේ ඇතුළත්වන පිළිගත හැකි විකල්ප විසඳුමක් ඉදිරිපත් කළ යුතුව ඇත. '
එවැනි විසඳුම් යෝජනා මාලාවක් “සමාජයේ අතපය නොකඩා කෝවිඞ්-19 පාලනය කරගැනීම වෙනුවෙන්” යන මැයෙන් මීට දින කිහිපයකට ඉහතින් මම ඉදිරිපත් කළෙමි.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කාර්යාල කේන්ද්‍රීය වන බිම් මට්ටමේ ප්‍රජා සෞඛ්‍යසේවා ව්‍යුහයක් ජාතික මට්ටමින් යළි ස්ථාපනය කිරීමෙන් අවශ්‍ය නියාමනය සාර්ථකව කළ හැකි බවට මම එහි හේතු දැක්වීමි.
එවැනි සැළසුමක් තුල ග්‍රාමීය ආර්ථිකය හා සැපයුම් ජාල යලි පණ ගන්වා පවත්වා ගැනීමටද ඉඩ ඇති හෙයින් අවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් නගර දක්වා ව්‍යාප්ත කිරීමටද හැකි වන්නේය. කෙටියෙන් කියන්නේ නම්, කොරෝනා වයිරසය පැතිරීම වහා පාලනය කර ගැනීමේදී යම් සමාජ ජීවයක් යළි ලබා ගත යුතු හෙයින් සමාජ ආර්ථික ක්‍රියාවලිය අවම මට්ටමින් හෝ පවත්වා ගත හැකි විසඳුම් මාලාවක් අපට අවශ්‍ය වන්නේය. ඒ වෙනුවෙන් මගේ යෝජනා යළි ඉදිරිපත් කරන්නෙමි.
යෝජනා මෙන්න ....
01. MOH කාර්යාල ප්‍රාදේශීය මට්ටමින් ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස ප්‍රකාශයට පත් කරමින් ඒවාට අවශ්‍ය පහසුකම් වහා සැපයිය යුතුය. එහි සේවයේ නියුතු සියල්ලන්ට කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ දින 02 ක සැසි පැවැත් විය යුතු අතර, ඒ සඳහා දැනට නිවාඩු පිට ඉන්නා වෛද්‍ය පීඨ ඇදුරන්ගේ සහාය ලබාගත යුතුය. ග්‍රාම සේවා නිලධාරීන්ගේද සහාය ඇතිව ඔවුන්ගේ ප්‍රදේශයේ නිවෙස් වෙත බෙදා දිය යුතු දැනුවත් කිරීමේ පත්‍රිකාද ලබා දිය යුතුය.
02. සියලු MOH කාර්යාල වලට හදිසි ඇමතුම් සඳහා වෙන් කෙරුණු විශේෂ දුරකතන අංකයක් ලබා දිය යුතුය. එය කෝවිඞ්-19 පිළිබඳව හා ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාවට තොරතුරු ලබාගත හැකි ලෙස විවෘතව තැබිය යුතුය.
03. කෝවිඩි-19 සම්බන්ධයෙන් පළමු පරික්ෂණ කිරීමේ සියලු පහසුකම් සියලු MOH කාර්යාල වලට වහා ලබා දිය යුතුය. එම පරීක්ෂණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හෝ නිලධාරිනිය විසින්ම කළ යුතුය.
04. ආසාධිත යැයි හෙළි වූ විගස එම පුද්ගලයා වහා ස්වයං නිරෝධායනයට යටත් කළ යුතු අතර එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් එම පුද්ගලයා සහ නිවසේ සෙසු පුද්ගලයින් දෛනිකව නියාමනය කළ යුතුය. (අතීත සම්ප්රදායක් වූ පැපොල, සරම්ප වැනි රෝගියකු නිවසේ නිරෝධායනයට තබා ඉන්නා විට අසල්වැසියන්ගේ දැන ගැනීමට නිවසේ ප්‍රධාන දොරටුවෙහි අඹ කොළ හෝ කොහොඹ කොල එල්ලා තැබීම, නැවත හඳුන්වා දිය යුතුය)
05. දෛනිකව එකතු කරනු ලබන ප්‍රාදේශීය තොරතුරු හා දත්ත අප්‍රමාදව MOH කාර්යාල වලදී පරිඝණකගත කිරීමත් ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යගත තොරතුරු ගොන්න හා ජාලගත කිරීමත් අවශ්‍ය වේ. ඒ අනුව එම දත්ත හා තොරතුරු ජාතික මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය හා සම්බන්ධ කළ යුතුය.
06. සියලු දිස්ත්‍රික්ක සඳහා කෝවිඞ්-19 පැතිරීම පාලනය කිරීමේ කමිටු පිහිටු විය යුතුය. ඒ සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරී, විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කලාප අධ්‍යාපන අධ්යක්ෂ සහ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු විය යුතුය. සතියකට වරක් එම කමිටුව රැස් විය යුත්තේ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙනි.
07. දිස්ත්‍රික්කයේ සියලු MOH කාර්යාලවල දෛනික කටයුතු මෙම දිස්ත්‍රික් කමිටුව විසින් සම්බන්ධීකරණය කළ යුත්තේ දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරි හරහා ය.
08. දිස්ත්‍රික් මායිම්, අත්‍යාවශ්‍ය සේවාවන්හි සේවක සේවිකාවන්ට සහ ආහාර හා ඉන්ධන ප්‍රවාහනයට හැර සාමාන්‍ය ගමනා ගමනයට මසක කාලයකට වසා තැබිය යුතුය. දිස්ත්‍රික්කය තුල සාමාන්‍ය ආර්ථික හා වෙළඳ කටයුතු වෙනුවෙන් වෙළඳසල්, භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන, බැංකු සාමාන්‍ය අයුරු පවතත්වා ගත යුතුය. ඒ සමග සාමාන්‍ය ජනතාව කෝවිඞ්-19 පැතිරීම වළකා ගැනීමට අවශ්‍ය පියවර ගන්නේදැයි MOH කාර්යාල විසින් නිරීක්ෂණය කරමින් අවශ්‍ය අයුරින් නියාමන කාර්යන් පවත්වා ගත යුතුය.
09. දිස්ත්‍රික් ලේකම් විසින් කෝවිඞ්-19 වසංගතයට අදාල දිස්ත්‍රික්කයේ තොරතුරු හා විස්තර සති පතා සෑම සඳුදාවකම ඔහුගේ නිල දිස්ත්‍රික් වෙබ් අඩවියෙහි පළ කළ යුතුය.
10. පාසල්, අමතර පංති, අලුත් අවුරුදු උත්සව සහ දේශපාලන සංවිධාන කටයුතු වැනි ඉසව් මසක කාලයකට පූර්ණ ලෙස තහනම් කළ යුතුය.
කුසල් පෙරේරා - ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(උපුටා ගැනීම - kusalperera.blogspot.com)
කුසල් පෙරේරාගේ පෙර ලිපිය මෙන්න :
බලධාරීන්ගේ අවධානය පිණිසයි : සමාජයේ අතපය නොකඩා කොරෝනා පාලනය කරගැනීම වෙනුවෙන් (VIDEO)