ලෝක දේශපාලනය තුළ ඔළුව උස්සාගෙන සිටින රාජ්‍යයන් කණ්ඩායම් දෙකකට බෙදිය හැකිය. එක කණ්ඩායමක් ඇමෙරිකන් එක්සත්
ජනපදයේ මිතුරු පිළ නියෝජනය කරන අතර අනෙක් කණ්ඩායම සතුරු පිළ නියෝජනය කරයි. සතුරු පිළ ලෙස හැදින්විය හැක්කේ රුසියාව හා මහජන චීනය නායකත්වය දෙන මිතුරු ඈලියයි.
මේ රටවල් කණ්ඩායම් දෙකෙන් බැහැරව අප කල්පනා කරන පරිදි වෙනත් ආර්ථික දේශපාලන ගමන් මාර්ගයක ගමන් කරන රටවල් ඇත්නම් ඒ කියුබාව හා උතුරු කොරියාව පමණි. ඒ රටවල් දෙක ගැන බර තබා සාකච්ඡා කිරීම අර්ථ විරහිත ය. ඒ අනුව ස්ථිරවම ප්‍රකාශ කළ හැක්කේ විකල්ප සංවර්ධන මොඩලයක ගමන් කරන රටවල් කණ්ඩායමක් හෝ රටක් හෝ ලෝකයේ නොමැති බව ය.
ලෝක දේශපාලන අවකාශය තුළ පැවැත්ම තීරණය වන්නේ එක්සත් ජනපදයට මිත්‍රශීලී වන හා නොවන ලෙස නම් විකල්ප සංවර්ධන මොඩලයක රටකට පැවැත්මක් නැති බව අප තේරුම් ගත යුතු තිත්ත ඇත්තයි. එනිසා ජාතිකව මොන තරම් න්‍යායන් මත ස්ථාවරව සිට ගත්තත් රට පාලනය කළ යුත්තේ ජාත්‍යන්තරව හිට ගනිමින් නිසා ඒ න්‍යායන් රාජ්‍ය පාලනයේ කල්පවත්නාකමට අදාළ නොවේ. ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරය ආණ්ඩු බලය ගැනීමෙන් පසුව මුහුණ දුන්නේ ඒ තිත්ත ඇත්තටයි.
එනිසා අද ලෝකය තුළ ආධිපත්‍ය දරන එක්සත් ජනපදයට පක්ෂ විපක්ෂ රාජ්‍ය කණ්ඩායම් දෙකෙහි අභිලාශයන්ට පරස්පර වාමවාදී වේවා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වේවා වෙනත් මතවාදයක වේවා කිසිම ආණ්ඩුවකට පැවැත්මක් නොමැත. ඒ නිසා ලෝකයේ හෙජමොනික දේශපාලනය ප්‍රතිසංස්කරණවාදීව වෙනස් කරන්නට යෑමෙන් වෙන්නේ එම ක්‍රියාමාර්ගය විහිළුවකට ලක්වීම පමණි.
එනිසා ශ්‍රී ලංකාව වැනි පරිධියේ රටක ආණ්ඩු බලය ලබා ගැනීමෙන් ප්‍රභූ මූලික ධනේශ්වර රාජ්‍යයට කිසිම බලපෑමක් කළ නොහැක. ජාතික ජන බලවේගයට හෝ සමගි ජන බලවේගයට හෝ කළ හැකි එකම දේ මහජන චීනයේ අත්වැල තදින් අල්ලා ගැනීම පමණි. එහෙත් එමගින් අප බලාපොරුත්තු වන සමාජ දේශපාලන වෙනස්කම් පරිපූර්ණ කිරීම අපහසු දේශපාලනයකි.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ආර්ථිකය (Micro economy) කඩා වැටීමේ මූලික හේතුව ඇත්තේ ගෙවුම් ශේෂ අර්බූදය තුළ ය. වත්මන් ලෝක ආර්ථික වෙළෙද පළ තුළ ගෙවුම් ශේෂ අර්බූදයන් විසදා ගැනීම ජාතික ආර්ථික ප්‍රතිපත්ති වලින් කළ නොහැකිය. ඒ සදහා අනිවාර්‍යෙන්ම ලෝක ආර්ථික බලවතුන් සමඟ එකඟතාවක සිටිය යුතුය.
ලෝක ආර්ථික බලවතුන් සමඟ එකඟතාවක සිටීමට නම් නව ලිබරල්වාදය සමඟ අනන්‍ය වීම අනිවාර්‍ය වේ. එහෙත් ඊට සුදුසු හා ශක්‍යතාව ඇති ධනපති පන්තියක් ලංකාවේ නැත. 1978 දී ආර්ථිකය ආකෘතිමය ලෙස වෙනස් කළ පසුව ධනය ඇති පන්තියට රාජ්‍ය බලය ලැබීමෙන් ඒ විඛණ්ඩනය ඇති විය. එපමණක් නොව ධනේශ්වර ප්‍රතිසංස්කරණ වලින් යුතු විප්ලවයක් දියත් කිරීමට පෞර්ෂයක් ඇති නිර්ධන පන්තියේ ශක්තිමත් පෙරටු බල ඇණියක් ද නැත. වර්ෂ 2022 ඇති වූ මහජන නොසන්සුන්තාව හා දේශපාලන අරගලය තුළ ප්‍රදර්ශනය වූයේ එයයි.
එනිසා මාක්ස්වාදීන්ට විකල්පයන් දෙකක් පවතී. එකක් ගෝලීය සමාජ, ආර්ථික, දේශපාලන විප්ලවයට සූදානම් වෙමින් ශක්තිමත් දේශපාලන දෘෂ්ඨියක් නිර්මාණය කර ගනිමින් පොදුජන දේශපාලනය අතහැරීමයි. දෙවැන්න අරාජිකවාදී (Anarchism) දේශපාලනයක යෙදෙමින් ප්‍රභූ පාලක පන්තිය අර්බූදයකට තල්ලු කිරීමයි.
නව ලිබරල්වාදයට එරෙහිවූවන් මේ මොහොත තුළ ආණ්ඩු බලය ඉල්ලීම ස්වයං නාශක බෝම්බයක් වැළඳ ගැනීමකි.
මේ මොහොත තුළ මාක්ස්වාදීන් කළ යුත්තේ නිහඬවීම හෝ අරාජිකවාදීන්වීම හෝ යැයි කියන විට බොහෝදෙනෙක් ප්‍රශ්න කරන්නේ ව්ප්ලවයක් කෙරෙන තුරු මේ දස මහා පීඩාවන් සමාජය විසින් ඉවසිය යුතු ද යන්නයි. ඒ අතිශයෙන් ප්‍රායෝගික එම ප්‍රශ්නයට කෙටිම කෙටි පිළිතුර වන්නේ නැත යන්නයි.
මාක්ස්වාදීන්ගේ වත්මන් දේශපාලනය අප විසින් පවසන උපයෝගිතා උපක්‍රමය මත පිහිටා ඇතත් නව ලිබරල්වාදයට එරෙහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට ඓතිහාසික කාර්‍යභාරයක් තිබේ. එනම් නව ලිබරල්වාදයේ ගැහැට හමුවේ සූරාකෑමට, පීඩනයට හා අර්බූදයට ලක්වන සමාජය වෙනුවෙන් පෙනී සිටීමයි. එහෙත් තිත්ත ඇත්ත වන්නේ ඔවුන් රාජ්‍ය බලය සදහා දේශපාලනය නොකළ යුතුවීමයි.
ලෝක දේශපාලනය තුළ හෙජමොනික වී ඇත්තේ දේශපාලන බල කේන්ද්‍රයන් දෙකක් බව මීට පෙර පැහැදිලි කළෙමු. ඒ අනුව එක් බල කේන්ද්‍රයක් වන්නේ ඇමරි - යුරෝ බල කේන්ද්‍රයයි. අනෙක රුසියා - මහජන චීන බල කේන්ද්‍රයයි. ඒ දෙකම ධනවාදයේ ආකාර දෙකකි. ඒ දේශපාලන ධාරා දෙකට එරෙහිව යන විකල්ප සංවර්ධන මොඩලයක් සහිත දේශපාලන ධාරාවක් මේ මොහොත තුළ රාජ්‍ය බලය ලබා ගැනීම හෝ බලය පවත්වාගෙන යෑම හෝ ප්‍රායෝගික නැත. එනිසා නව ලිබරල්වාදයට එරෙහි දේශපාලන ව්‍යාපාර රාජ්‍ය බලය ලබා ගැනීමට කරන දේශපාලනය අර්ථ විරහිත ය.
එමගින් කියවෙන්නේ නව ලිබරල්වාදයට එරෙහි දේශපාලන ව්‍යාපාරයක් කිසිවක් නොකර අත්දෙක බැඳගෙන සිටිය යුතු බව නොවේ. ඔවුන්ට අත හැරිය නොහැකි සුවිශාල සමාජ කාර්‍යභාරයක් පවතී. ඒ හිඩැස පවතින්නේ විපක්ෂයේ කාර්යභාරය තුළ ය.
උදාහරණයකට ඇමෙරි - යුරෝ දේශපාලනය සමඟ අත්වැල් බැඳ ගත් රනිල් රාජපක්ෂගේ දේශපාලන උපාය වන්නේ ලෝකයේ නන්දෙසින් ණය ලබා ගැනීමයි. එලෙස ගෙනෙන ඩොලර්ස් මගින් රටේ දෑස් නිලංකාර වැට්ටවීමයි. ඊට හිලව් ලෙස මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීමයි. මේ නිසා රටේ දළ ජාතික නිෂ්පාදනයට 40%ක දායකත්වයක් ඇති ජනගහනයෙන් 60%ක් වන පහල ආදායම් ලබන්නන් ආර්ථිකමය ලෙස කඩා වැටීමයි. නව ලිබරල්වාදයට එරෙහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් දේශපාලනය කළ යුත්තේ ඔවුන් සමඟයි. එහෙත් එය විපාක්ෂික දේශපාලනයක් මිසක් කිසිසේත්ම රාජ්‍ය බලය බලාපොරුත්තුවෙන් කරන දේශපාලනයක් නොවිය යුතුය. රාජ්‍ය පාලනය සදහා ආණ්ඩු බලය ඉල්ලීම ස්වයං නාශක බෝම්බයක් වැළඳ ගැනීමකි.
එවැනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයකට තමන්ගේම වූ සංවර්ධන මොඩලයක් තිබිය යුතුය. ජාතික ප්‍රශ්නයට විසදුම් තිබිය යුතුය. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට එරෙහි විය යුතුය. ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවන Return on the investment එක වැඩි කෘෂි හා කාර්මික සංවර්ධන වැඩපිලිවෙලක් තිබිය යුතුය. රට කාර්මීකරණය සදහා සූදානමක් තිබිය යුතුය. එසේම සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කළ යුතුය.
විපක්ෂයේ ප්‍රධාන අරගලකරුවාවීම හැර වෙනත් කාර්‍යභාරයක් අද දේශපාලනය තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයකට නොමැත.
විමුක්තිවාදීන්ගේ කාර්යය වැඩවසම් නිෂ්පාදන බලවේග රැක ගැනීම නොවේ.
ජනාධිපති රනිල් රාජපක්ෂ තෝරාගෙන ඇත්තේ ඇමෙරි-යුරෝ බල කේන්ද්‍රයේ දේශීය නියෝජිතයාවීම බව සක්සුදක් සේ පැහැදිලි ය. සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගය ද තෝරාගෙන ඇත්තේ රුසියා-මහජන චීන බල කේන්ද්‍රයේ දේශීය නියෝජිතයාවීමට ය. රාජ්‍ය බලය ගැනීම ඉලක්ක කර ගත් අර්ථයකින් ඒ බල කේන්ද්‍ර දෙකෙන් එකක් තෝරා ගැනීම අනිවාර්ය වේ.
සමගි ජන බලවේගයට රාජ්‍ය බලය ලබා ගැනීම සදහා කිනම් බල කේන්ද්‍රයක දේශීය නියෝජිතයා වුවත් අභ්‍යන්තර මත ගැටුමක් ඒ සම්බන්ධයෙන් ඇතිවිය නොහැක.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පුළුල් මහජන දේශපාලනයකට විවෘතවීමේ ඉලක්කය ඇතිව ජාතික ජන බලවේගය නිර්මාණය කළත් රාජ්‍ය බලය ලබා ගැනීමේ දී ඔවුන් අනුගමනය කරන උපාය උපක්‍රම සම්බන්ධයෙන් අභ්‍යන්තර දෙදරුම් කෑමක් ඇති ඇති නොවනවාම නොවේ. මේ මොහොත තුළ රාජ්‍ය බලය ලබාගෙන ආණ්ඩු කිරීම විශාල අර්බූදයකට ප්‍රවේශවීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ සමහර දේශපාලන මාණ්ඩලිකයන් තුළ ද දෙගිඩියාවක් ඇතිවී තිබේ.
ඔළු ගෙඩි දැක ස්වයං මෝහණයකට පත්වන බොහෝ නායකයන් මෙන්ම සාමාජිකයන් ද මේ නිසා විචිකිච්ඡාවකට ලක්වුවද ඇත්ත කාරණාව වන්නේ ගෝලීය දේශපාලනය ගැන අබ මල් රේණුවක අවබෝධයක් නැතිව රාජ්‍ය බලය සදහා සටන් කිරීම මේ මොහොත තුළ භයානක ක්‍රීඩාවක් විය හැකිවීමයි. නව ලිබරල්වාදයට එරෙහිව යන පළමු පැයේදීම ආණ්ඩුව බිදවැටිය හැකි බව මේ බොහෝ අය තේරුම් ගෙන නැත. එය ගෝලීය දේශපාලන සත්‍යයයි. යම් හෙයකින් නව ලිබරල්වාදයට අනුගතව ආණ්ඩුකරණය සදහා සූදානම් වුවහොත් දේශපාලන භූමි කම්පාව ඇතිවන්නේ අභ්‍යන්තරයෙනි. එනම් ජනවරම තුළ අඩංගු මහජන අභිලාශයන්ට පරස්පරව ආණ්ඩු කරන්නට යෑම පෙරලා ඇති කරන්නේ වියවුලකි.
මේ මොහොත තුළ පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය බව නොරහසකි. එහෙත් එවැන්නක් අවශ්‍ය වන්නේ නව ලිබරල්වාදයට ශක්තිමත්ව මුහුණදීමට ය. ඒ සදහා රාජ්‍ය බලය ලබා ගැනීම අවශ්‍ය නැත. කළ යුත්තේ ශක්තිමත් දේශපාලන දෘෂ්ඨියක් සහිතව විපක්ෂයේ කාර්යභාරයට සූදානම්වීම ය. බරපතල ප්‍රශ්නය වන්නේ ලාංකික වාම දේශපාලන ව්‍යාපාරයන් එවැන්නක් තේරුම් ගෙන තිබේද යන්නය.
සම්ප්‍රදාය අනුව ලංකාවේ වාම දේශපාලනය සටන් කරන්නේ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුබසාධනවාදයක් වෙනුවෙනි. එහිදී බොහෝවිට ධනේශ්වර ප්‍රතිසංස්කරණයන්ට එරෙහි වන්නේ වැඩවසම්වාදී අර්ථයෙනි. ධනේශ්වර ප්‍රතිසංස්කරණ හමුවේ දී පීඩිතයන්ගේ අහිමිවන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින තරම් ය. එක්දහස් නමසිය අසූවේ දශකයේ දී ඇතිවූ කුරුණෑගල බතලගොඩ ව්‍යාපාරයේ ජල බදු විරෝධී සටනේ දී අරගලය මෝදුවූයේ කුඹුරු ඉඩම් හිමි වැඩවසම් විහාරස්ථානයන්හි බෞද්ධ භික්ෂූන්ගේ හා ගිහි ඉඩම්හිමියන්ගේ අවශ්‍යතාව මත බව 1971 කැරැල්ලේ ප්‍රබල සටන්කරුවකු වූ පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයා මනා ලෙස විග්‍රහ කර තිබේ. එහිදී ජල බදු වලින් ඇත්තටම පීඩා වින්ද පීඩිත ගොවීහු අරගලයෙන් කොන් වී තිබුණි.
මේ සම්ප්‍රදායානුකූල වාම දේශපාලනය බොහෝවිට බැදී ඇත්තේ වෘත්තීය සමිති ව්‍යාපාරය සමගය. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ද හුදු පඩි පත හා වරදාන වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් පමණි. ඔවුන් වාම ව්‍යාපාරය සමග එක්ව සටන් කරන්නේ ද වැඩවසම් වාදී අර්ථයෙනි. උදාහරණයකට මගී ප්‍රවාහනයේ දී විශාල දායකත්වයක් දරන නමුත් වංචාව, දූෂණය හා හොරකම නිසා විශාල ලෙස පාඩු විදින දුම්රිය සේවය සලකා බලමු. මේ දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට පාලකයන් උත්සාහ ගන්නේ වසර තිහක පමණ කාලයක සිට ය. ඊට හේතුව එහි වැය බර දරා ගැනීමට මහා භාණ්ඩාගාරයට අපහසු නිසා ය. පාලකයන් කෙසේ කිව්වත් දුම්රිය සේවය අකාර්යක්ෂම, දූෂණයෙන් පිරුණු, ගතානුගතික ආයතනයක් බව අපි දනිමු.
ඒ බව දැන දැනත් ලාංකීය වම උත්සාහ ගන්නේ වෘත්තීය සමිති සමග එක්වී වෙනස්කම් වලට අකැමැති සේවකයන්ගේ ගතානුගතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට ය. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප උත්සාහ කළ යුත්තේ ජව සම්පන්න මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවයක් ලෙස ලංකා දුම්රිය සේවය නගා සිටුවන වැඩපිළිවෙලක් වෙනුවෙනි. එහෙත් රැකියා අහිමිවීම්, වරදාන අහිමිවීම් වැනි යක්ෂයන් මවා පා හැමදාම කරන්නේ අකාර්යක්ෂම, ගතානුගතික දුම්රිය සේවය පවතින අන්දමෙන්ම රැක ගැනීමයි. පාලකයන් දුම්රිය සේවය ප්‍රතිව්‍යුහකරණය කරන්නේ යහපත් අරමුණෙන් නොවන්නට පුළුවන. එහෙත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස වම උත්සාහ කළ යුත්තේ වෘත්තීය සමිතිවාදය ඉක්මවා ගොස් ජව සම්පන්න සේවයක් ලෙස දුම්රිය සේවය ස්ථාපිත කිරීමට ය. එහෙත් ලාංකික වම ඊට ශක්‍යතාවක් නොපෙන්වයි.
ලංකාවේ මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් පමණක් නොව කෘෂිකර්මාන්තය, කර්මාන්තය, සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස ඉදිකිරීම්, නගර නිර්මාණය, පරිසරය රැක ගැනීම, ජනාවාසකරණය යනාදී හැම විෂය ක්ෂේත්‍රයකදී ම පෙන්නුම් කරන්නේ තමන්ගේ නොහැකියාව හා නොදන්නාකමයි. දන්නා එකම දෙය පවතින රාජ්‍ය ව්‍යුහය ඒ අන්දමෙන්ම රැක ගැනීමට මහන්සිවීම පමණි. ඒ අනුව වම පෙනී ඉන්නේ පවතින ආකෘතිය එලෙසම රැක ගනිමින් සිදු කරන වැඩවසම් අරගලයක් සදහා ය. පවතින යාන්ත්‍රණය හා රාජ්‍ය ව්‍යුහය තවදුරටත් දරා ගැනීමට නොහැකි බව ධනපති පන්තිය ද තේරුම් ගෙන සිටියත් වම එය තේරුම් ගෙන නොසිටීම අභාග්‍යයකි.
පවතින රාජ්‍ය ආකෘතිය මුළු එකක් ලෙස වෙනස් නොකර ප්‍රතිව්‍යුහගත කිරීමට ධනපති පාලකයන්ට ද අවශ්‍යව ඇත්තේ පවතින ආකෘතිය දරා ගැනීමට තවදුරටත් අපහසු නිසා ය. පැරණි කේන්සියානුවාදී ක්‍රමයට සකස් කර ගත් රාජ්‍යය ආකෘතිය නව ලිබරල්වාදී ක්‍රමයට සකස් කර ගැනීමට පාලකයන්ට අවශ්‍යව ඇත. එහිදී වම කළ යුත්තේ එම ප්‍රතිසංස්කරණයන්ට ඉඩ දෙමින් වමට අතහැරිය නොහැකි පීඩිත පන්තිය ආරක්ෂා කර ගැනීමට සටන් කිරීම ය. වම හිතාගෙන ඉන්නේ පවතින ක්‍රමයෙන් පීඩිත පන්තියට විශාල ආරක්ෂාවක් ලැබෙන බව ය. පවතින ක්‍රමය පවා ධනේෂ්වරය විසින් නිර්මාණය කර ගත්තේ සමාජ සංවර්ධනයේ එක්තරා නිශ්චිත මොහොතක අවශ්‍යතාව වෙනුවෙනි. එය වමේ මොහොතක් නොව ධනේශ්වරයේ මොහොතකි. එය වෙනස් කරන්නට ධනේශ්වරයට අවශ්‍ය නම් එය බදා ගන්නට වමට හේතුවක් නැත. වම කළ යුත්තේ ධනේශ්වරය නිර්මාණය කර ගන්නා ඕනෑම ක්‍රමයක දී පීඩිතයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ය. නමුත් වම අතහැර ඇත්තේ ද එයයි.
කලින් යොදා ගත් උදාහරණයම නැවත සලකා බැලුවහොත් ලංකා දුම්රිය සේවය මේ අන්දමෙන්ම රැක ගත් විට අඩු මුදලකට මගීන්ට ගමන් ගැනීමට ඇති අයිතිය තහවුරු වෙන බව සත්‍යයකි. නමුත් ඒ සදහා වූ බර දරන්නේ සමස්ත සමාජයමයි. එසේම අකාර්යක්ෂම, පසුගාමී හා නොදියුණු දුම්රිය සේවයක් ගැන අපට හැමදාම පසුතැවෙන්නට සිදුවේ. පහසුකම් නැති, හැමදා මහ මග නතරවන, ප්‍රමාදව ධාවනය වන, ගමනකට දීර්ඝ කාලයක් ගන්නා, සේවකයන්ගේ රැවුම් ගෙරවුම් සහිත බර කරත්ත යුගයේ දුම්රිය සේවය අතහැරීමට වම සූදානම් නැත්නම් එය වමට ආවේනික ගතානුගතිකභාවයයි. නමුත් විදුලි දුම්රිය සේවාවක නවීන පහසුකම් සහිත ඉක්මන් ගමනක යෙදෙන්නට නම් ප්‍රතිසංස්කරණ අවශ්‍යම වේ. ඒ ප්‍රතිසංස්කරණයන්ගේ පදනම නව ලිබරල්වාදය බව ඇත්තකි. නමුත් ධනේශ්වර සංවර්ධනයට පිටුපාන්නට කිසිම විද්‍යානුකූල වාමාංශික ව්‍යාපාරයකට නොහැකිය.
ප්‍රශ්නය ඇත්තේ මහජන සේවාවන් හා ව්‍යාපාරයන්හි අයිතිය රජය සතු ද පෞද්ගලික අංශය සතු ද යන්න නොවේ. ව්‍යවසායකත්වයක බර දරන්නට මෙරට රජය මෙන්ම පෞද්ගලික අංශය ද සමත්ව ඇති බවක් දකින්නට නැත. එහෙත් පවතින ක්‍රමය ඒ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන යන්නට පාලක පන්තියට මෙන්ම වමට ද අවශ්‍යතාවක් නොතිබිය යුතුය.
පාලකයන් නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණයන් සිදු කරන විට විමුක්ති ව්‍යාපාරය කළ යුත්තේ ඒ ප්‍රතිසංස්කරණ සමග පොර බදමින් පීඩිතයන්ගේ අයිතිය සහතික කිරීමට සටන් කිරීම මිස අහෝසිවෙමින් පවතින වැඩවසම් ඉතුරු බිතුරු වෙනුවෙන් සටන් කිරීමට නොවේ. මේ අවබෝධය ඇති කර ගන්නට ලාංකික විමුක්ති ව්‍යාපාරය තුළ දැනුමේ විශාල ප්‍රබෝධයක් ඇතිවිය යුතුම ය. ඒ සදහා දෘෂ්ඨිමය නිවැරැදිතාවක් නිර්මාණය කර ගත යුතුම ය. ධනේෂ්වරය බිද වැටෙන මොහොතේ විමුක්ති සමාජ ක්‍රමයක් ස්ථාපිත කර ගැනීමේ විප්ලවීය මාර්ගය ඇත්තේ ඒ තුළ ය.
(පිලිප් ශාන්ත)