අද අගෝස්තු 21
වෙලාව රාත්‍රී 10.30 යි.
තවත් මසකින්, එනම් සැප්තැම්බර් 21 වන දින, මේ වෙලාව වනවිට ලංකාවේ උණුසුම් ම ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙලා, අපි හැමෝම නව ජනාධිපති කවුද කියන අපේක්ෂාවෙන් ඉන්න වෙලාවක්.
තුන්කොන් සටනක් පවතින මේ ජනාධිපතිවරණය රටට අතිශයින්ම තීරණාත්මකයි.
එක පැත්තකින් අරගලයෙන් පස්සෙ අවුරුදු දෙකක් රට ඇදගෙන ආපු අවුරුදු පනහක පරිපාලනමය අත්දැකීම් ඇති, ආණ්ඩු හයක ජනාධිපතිවරු යටතේ අගමැති පදවිය පස් වතාවක් හොබවපු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරඟ වදිනව.
අනෙත් පැත්තෙන් මෙතුවක් කල් ඇමති තනතුරකට වඩා ඉහලට නොගිය, රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් නැති, නමුත්, වංචා දූෂණ චෝදනා තවමත් අනිත් අයට වඩා අඩු (නොමැති තරම්) හොරු ඇල්ලීම, සමාජ පරිවර්තනයක් සිදු කිරීම, ප්‍රායෝගික වේ දැයි සැක සහිත නමුත්, ජනප්‍රියවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් විශාල රැල්ලක් ඇතැයි කියන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක තරඟ වදිනව.
අනිත් කෝණයෙන්, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපති තුමාගේ පුතාණෝ, විපක්ෂ නායක තනතුර හෙබවූ, සහ ඇමති තනතුරු හෙබවූ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තරඟ වදිනව.
සමහරවිට, ලබන මාසයේ මේ වෙලාව වනවිට පැහැදිලිවම කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කරාවි දැයි, ඡන්දය අවසන් වන්නටත් පෙර ජනතාවට තේරුම් ගන්න ලැබේවි. නමුත්, මේ වනතෙක් තරඟය විවෘත බවයි මගේ හැඟීම, මාසයක් ඇතුලත ඕනම දෙයක් වෙන්න පුළුවනි. ඒ නිසා මේ විශ්ලේෂණය විවෘතව කරන්න මා බලාපොරොත්තු වනවා.
රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළොත් මොකද වෙන්නෙ. ?
රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කළොත්, දැනට පවතින තත්ත්‍වයේ කිසිදු වෙනසක් සිදු වෙන එකක් නැහැ. ඒ කියන්නෙ පාර්ලිමේන්තුව විසුරවා හැරීම වැනි රටට විශාල වෙනසක් වන තීරණයකට යන එකක් නැහැ. ඉන්පසුව බොහෝදුරට කැබිනට් සංශෝධනයක් සිදු වෙන්න පුළුවන්. ඒ අනුව ඒ ඒ පක්ෂ වලින් පැමිණි විවිධාකාර පුද්ගලයින්ට ඇමති තනතුරු ලැබෙන්න පුළුවනි. ඒ අනුව සමහරවිට ඇමති මණ්ඩලය මීට වඩා විශාල වන්නට පුළුවන්.
ඒත් එක්කම කරගෙන ගිය ව්‍යවස්ථා පනත් කෙටුම්පත් අලුත් කිරීම නව පනත් සම්මත කිරීම වැනි දෑ සිදු වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසුරවා හැරීම කල් දාන්නෙ, මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි වීම නිසා නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වීම නිසා සහ දැනට සිටින ඇමති මණ්ඩලය හෝ පත් කරන ඇමති මණ්ඩලය හරහා දැනට පවතින ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමේ පහසුව නිසා වෙන්නටත් පුළුවනි.
පාර්ලිමේන්තුව කල් පිරුණ පසු, මහමැතිවරණයකට යන්න පුළුවනි. එහිදී දැනට පවතින රජයේ ඉදිරි ක්‍රියාදාමය අනුව වැඩි වාසිය හෝ අවාසිය ඔවුනට ලැබීම ඔවුන්ගේ ක්‍රියාකලාපය හා බැඳී පවතිනවා.
ඒ රජය පැත්තෙන්. ජනතාව පැත්තෙන් ගත්තොත්, ජනතාවට මේ යන විදියටම ටික කාලයක් යන්න සිදු වෙන අතර, සමහරවිට වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය වැඩි වී, නැවත විවිධාකාර ඉල්ලීම් මත වර්ජන ඇතිවන්නටත් පුළුවනි. ඒ නිසා රජය අපකීර්තියට පත් කරලා වැඩි වාසි ලබා ගන්න ජවිපෙ සහ වෙනත් වාමාංශික පෙරමුණු අරමුණු කරගෙන ඉන්න පුළුවනි.
බාහිර කරදරයක් නොපැමිණිය හොත් විදේශ සම්ප්‍රේෂණ, සංචාරක ව්‍යපාරය සහ වෙනත් ක්‍රම මාර්ගයෙන් විදේශ සංචිත තර වීම නිසා මීට වඩා යහපත් ආර්ථික තත්ත්‍වයකට රට පත් වන්නට පුළුවනි. ආයෝජන පැමිණීම සහ කර්මාන්ත නැවතත් පණ ගසා ගැනීම රජයට අභියෝගයක් මෙන්ම වාසි ලබා ගැනීමේ තත්ත්‍වයක් ද වනවා.
මහ මැතිවරණයකදී සමහරවිට නැවතත් මේ අය පක්ෂ වලට බෙදෙන්න හෝ නව සභාගයක් යටතේ තරඟ කරන්න ඉඩ තියෙනවා. ඒ අනුව ආණ්ඩුවක් පිහිටවයි. මේ ආණ්ඩුවෙන් රැඩිකල් වෙනසක් අපට බලාපොරොත්තු වෙන්න බැරි උනත්, එහි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුට දැනට වඩා වැඩි කේවල් කිරීමේ බලයක් ලැබෙන නිසා සමහරවිට මීට වඩා හොඳ තත්ත්වයකට එන්න ඉඩක් තිබෙනවා.
අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළොත් මොකද වෙන්නෙ ?
අනුරගේ ජයග්‍රහණය 2019 දී ගෝඨාභයගේ ජයග්‍රහණයට නොදෙවනි වෙන්නෙ නැහැ. පාක්ෂිකයින් පාරවල් වල කිරිබත් උයාවි, සමහරවිට, පාලනයෙන් ගිලිහුණු ආවේගශීලී පාක්ෂිකයින් විරුද්ධවාදීන්ට පහර දෙන්න වුනත් පුළුවනි. මේ තත්ත්‍වය දවස් දෙක තුනක් හෝ සතියක් වුවත් පවතින්න පුළුවනි. නව පුනරුදයකින් පාක්ෂිකයින් ජයග්‍රහණය සමරද්දී අන්තර්වාර පාලනයක් ඇති කරලා, අනුර කුමාර පාර්ලිමේන්තුව විසුරවා හරිනවා. ඒ ජනාධිපතිවරණයේ උණුසුම පිටම මහ මැතිවරණයක් පැවැත්වීමෙන් ලබන වාසිය ලබා ගැනීමට.
මෙම අන්තර්වාර ආණ්ඩුවට දැනට පාර්ලිමේන්තුවේ සිටින කිසිදු මන්ත්‍රීවරයෙක් ඇතුලත්කර ගැනීමට ප්‍රතිපත්තිමය වශයෙන් අනුර කුමාරට නොහැකි වනවා. ඒ, අනුර කුමාර විසින් ම පාර්ලිමේන්තුවේ සිටින 225 ම බූරු කූට්ටමේ කොළ වශයෙන් නම් කිරීම නිසා ඔහුට ප්‍රතිපත්තිමය වශයෙන් සහ සදාචාරාත්මක වශයෙන් එම 225 න් සහයෝගයක් ලබා ගැනීමට නොහැකි වන නිසා. එසේත් නැතිනම්, අනුර සිය ඇඳුම් උනා තබා, පාර්ලිමේන්තුවේ සිටි අයගෙන් අන්තර්වාර ආණ්ඩුව සැකසිය යුතුයි. මෙය අනුරට පනින්න තියෙන පළමු කඩුල්ල වනවා.
එසේ නැතහොත්, අනුරට සිදු වන්නේ සිය පාක්ෂිකයින් සමඟ “වියත්මග 2” රඟ දක්වමින්, ජාතික ජන බලවේගයට ප්‍රතිපත්ති සැකසීමට දායක වූ වියතුන්ගෙන් සමන්විත අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවීමයි. එහිදී ඔවුන් සතුව ප්‍රායෝගික දැනුම ඇති සහ ආණ්ඩුවක් කර නැති කණ්ඩායමක් සිටින නිසා සමහරවිට මූලිකවම එය අපහසු වනු ඇති. නමුත්, එය උපකල්පනයක් පමණයි.
මෙසේ අන්තර්වාර ආණ්ඩුව ක්‍රියා කරන අතර, මහමැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන අතර, විපක්ෂ දේශපාලන පක්ෂ මෙම තත්ත්‍වයෙන් ඵල නෙලා ගැනීමට පවතින තත්ත්‍වය අවුල් සහගත කිරිමට ද ඉඩක් පවතිනවා.. එසේම වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය ද ඒ අනුව වෙනස් විය හැකියි. නමුත් වෘත්තීය සමිති බහුතරයක් ජවිපෙ මූලිකත්වය ගත් වෘත්තීය සමිති නිසා එය පාලනය වනු ඇති.
මීලඟට අන්තර්වාර ආණ්ඩුවට මුහුණ පාන්නට වන අභියෝගය වන්නේ ඔවුන් මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමේ අභියෝගයයි. මෙය යම් තරමකට හෝ සිදු නොවුවහොත්, එය මහ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් ප්‍රබල විය හැකියි.
බඩුමිල පාලනය
ඉන්ධන මිල පාලනය
නීතිය හා සාමය
පවතින වියදම් පාලනය
දූෂණය, මත්කුඩු සහ පාතාල ක්‍රියාකාරකම් නැවැත්වීම
පොරොන්දු වූ බදු සහන - තාවකාලික සහ ස්ථිර
ආදී දෑ ඉටු නොවුව හොත්, තමන් සුවහසක් බලාපොරොත්තු තබාගෙන බලයට ආ අනුර කුමාර පිළිබඳ ක්‍ෂණික ඉච්ඡාභංගත්වයක් රට වැසියා තුළ හට ගැනීම මහ මැතිවරණයේ ප්‍රතිඵලයට ඍජුවම බලපානු ඇති.
අනුරගේ මීලඟ අභියෝගය මහ මැතිවරණයෙන් ආසන 113 කට වඩා බහුතරයක් ලබා ගැනීමයි. ජනාධිපතිවරණ උණුසුම සහ උද්දාමය මත යම් ආසන ප්‍රමාණයක් ලබා ගත හැකි වුවත්, තනි පක්ෂයක් වශයෙන් ආසන 113 ක් ලබා ගැනීම ජාතික ජන බලවේගයට අසීරු කරුණක් විය හැකියි. එසේ නොගතහොත් ඔවුනට සභාග ආණ්ඩුවකට යාමට සිදු වන අතර අනුරට හොරු සමග හෙළුවෙන් ජීවත් වීමට සන්ධානගත වන්නට සිදුවනු ඇති. එවිට පාරිශුද්ධ ආණ්ඩුවක් ගෙන ඒමට දායක වූ කෝටියක් ඡන්ද දායකයින්ට ඇතිවන ඉච්ඡාභංගත්වය කෙසේ දරාගන්නට පුළුවන් වේද යන්න සැක සහිතයි. මන්ද, අනුර මෙන්ම ඔවුන්ද රෙදි උනා දමා සිටින්නට සිදු වන නිසා.
අනුරට 113 ක් ගන්නට නොහැකි වුවහොත් සන්ධානගත වන පක්ෂ එක්ව තනන ආණ්ඩුව සමග අනුරට ඉදිරි වසර රට ගෙන යාමට සිදු වන අතර, එය යහපාලන දීගයටත් වඩා අවුලක් වනු ඇති.
ඉන්පසුව සිදු වන දෑ ගැන කතා කිරීමද පළක් නොවන අතර, අනුරට ඉතා ඉක්මනින් ගෙදර යාමට සිදු වනු ඇති.
සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හොත් මොකක් වේවිද ?
සජිත්ට ද සිදු වන්නේත් පාර්ලිමේන්තුව විසුරවා හැරීමටයි. අනුරට වඩා ඔහුට එය තරමක අභියෝගයක් වන්නේ ඔහුගේ පක්ෂයේ ද විශ්‍රාම වැටුපට හිමිකම් කියන සමහර මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි වීමේ වේදනාව ඔහුට දායක වන්නට සිදු වන නිසා. කෙසේ වුවත් සජිත්ට ද ආණ්ඩුව විසුරවා හැරීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැහැ.
ආණ්ඩුව විසුරවා හැරි පසු, සජිත්ට ඇති එකම වාසිය, අත්දැකීම් ඇති කණ්ඩායමක් ඔහු පසුපස (මේ ලිපිය ලියන අවස්ථාවේ) සිටින නිසා, ඔවුන් භාවිත කර ස්ථාවර සහ වඩා රාජ්‍යතාන්ත්‍රික ලෙස රජය කරගෙන යාමේ වාසිය ලැබීමයි.
ඒ අනුව අනුරට වඩා සුමට ලෙස අන්තර්වාර රජය ගෙන යාම මගින් මහ මැතිවරණ වාසිය ඔහුට ලබා ගත හැකි වන නමුත්, සජබයට ද තනිව ආසන 113 ක් ගැනීමේ අභියෝගය පවතිනවා.
මේ නිසා, කවුරු ජනාධිපති වුවත්, තනි බලයකින් ආණ්ඩුවක් පිහිටවීම අපහසු කාරණයක් වන අතර, අනිවාර්යයෙන්ම සහයෝගීතා, සන්ධානගත ආණ්ඩුවකට යාමට සිදු වනවා. ඒ අනුව ඇමති මණ්ඩලයේ සංඛ්‍යාවන් වැඩි වන අතර කිසිදු අවස්ථාවක නුදුරු System Change එකක් මේ රටට අත්විඳින්නට නොහැකි වනු ඇති.
කවුරු ජනාධිපති උනත්, මැතිවරණ පොරොන්දු වලින් සියයට පනහක් වත් ඉටු කරන්නට ඔවුන්ට ඉඩක් නැහැ. මේ නිසා වැඩිම කම්පනය දැනෙන්නේ, අනුර කුමාර ජනාධිපති වුවහොත්, ඊට දායක වූ 3% ක් වූ ආත්මීය ජවිපෙ සාමාජිකයින්ට සහ ඉන් එපිටට එකතු වන පාවෙන ජවිපෙ සාමාජිකයින්ට, ඔවුන් පක්ෂයෙන් පක්ෂයට පාවෙන නිසා ඔවුන්ට ගෝඨාභය ගෙන් සිදු වූ බලාපොරොත්තු කඩවීම දෙවන වතාවටත් දරා ගැනීමට අපහසු වනු ඇති. දැනටමත් සමහරු පවසන්නේ, “ අනුර නොකළොත්, ඉස්සෙල්ලම පාරට බහින්නෙ අපි” නම් ජනප්‍රිය සටන් පාඨය.
ඇත්තටම අපි පත්වන ජනාධිපති තමන්ගෙ අපේක්ෂා ඉටු නොකළා කියා හැම අවුරුද්දෙම පාරට බැහැලා විප්ලව කරනවාද ? එහෙමත් නැතිනම්, අපි මුලින් හැදිලා, පාලකයට වෙනස් නොවී ඉන්න බැරිවන තැනට කටයුතු සිද්ධ කරනවද ? කියන එක හිතන්න කාලය ඇවිත්.
නමුත්, යකාගෙ හැටියට විමානය කිව්වා සේ, අපට ලැබෙන දේශපාලනඥයින් ලැබෙන්නේ අපේ හැටියට.
අපි තවමත්, දේශපාලනඥයින්ගෙන් සාධාරණත්වය, යුක්තිය, නීතිගරුක බව බලාපොරොත්තු වෙමින්, අපි තමන්ගේ වැඩ කෙසේ හෝ කරගන්න, නීති කඩමින්, අල්ලස් දෙමින්, අනිකා පාගමින්, සදාචාරය පැත්තකට දමා ආත්මාර්ථකාමීව කටයුතු කරමින් සිටින තාක් කල්, අපට ද අප පාලනයට ලැබෙන්නේ අපේම සමාජයේ පැතිකඩක් බව අපි හැමෝම මතක තබා ගත යුතුමයි.
මම සියයට සියයක් නිවැරදි නොවෙන්න පුළුවන්. ඔබේ විශ්ලේෂණය මොකද්ද ?
#එච්චරයි
(පියල් ආරියනන්ද)