(මංගල සමරවීර ගේ තෙවෙනි අනුස්මරණය අගෝස්තු 24 දිනට යෙදී ඇත)
මම මංගල ගැන දන්නේ බොහොම ටිකයි. ඒකත් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්ත මංගල ගැන.
අදට හරියටම අවුරුදු තුනකට කලින් මංගල කෙරෝනා ආසාදිතව තමන්ගේ ජීවිතේට සමුදෙනවා.
දේශපාලනඥයෝ මියයන්නත් කලින්ම නිවන්සුව ප්‍රාර්ථනා කරද්දි තමන් ගෙවපු අවලස්සන දේශපාලන ජීවිතේ, මරණය විසින් පවා අහෝසි නොකරද්දි මංගලගේ සමුගැනීම ම මංගලව ජීවමාන කරනවා. කිසිම දේශපාලකයෙක්ගේ මරණය වෙනුවෙන් නොඅඩපු මිනිස්සු මංගලගේ වියෝව වෙනුවෙන් ඇඬුවා.
ඒක උත්කර්ෂවත් පැවැත්මක්... රසඥතාවක්... දේශපාලන ඉවක්... තිබ්බ මිනිහෙක්ගේ නික්මයාමක්... ඒ නිසාම මේ සියලු දේශපාලන අවුල් වියවුල් මැද මංගල හිටියා නම්... කියල අද බොහෝ දෙනෙක් කියනවා. ජීවත්ව හිටිය මංගලටත් වඩා මියගිය මංගල ගැන අද වැඩි වැඩියෙන් කතා කරනවා.
මංගල වෙනුවෙන් සමබිමට මම 'මංගල කලාපය' කරද්දි ඒකට මංගල ගැන වචනයක් හරි එකතු කරන්න හැමෝටම ඕන වුනා. නොදන්න මංගල ගැන ඒ ලිපි දිගේ ගිහින් දැන ගන්න හුඟක් දේ තිබුනා. ඒ හැමෝම තමන් දන්න මංගල ගැන ලියලා තිබුනා.
පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්තට පස්සේ තමයි මංගල තමන්ගේ දේශපාලන ජීවිතෙත් පුද්ගලික ජීවිතෙත් ස්වර්ණමය කාලයක් ගෙව්වේ කියලයි මට හිතෙන්නෙ. පාර්ලිමේන්තු දේශපාලනය ඇතුළේ එයාට තිබ්බ සියලු සීමාවන්ගෙන් එයා එළියට ඇවිත් හිටියා. මංගල තමන්ගේ ජීවිතේ දිහාම ආපසු හැරී බැලීමක් ඇතුලේ හිටියේ. ඒ නිසාම එයාට පුලුවන් වුනා තමන් ඇත්තටම විශ්වාස කරපු දේ වෙනුවෙන් පෙනී ඉන්නත් ඒක සද්දෙට කියන්නත්... එයාගේ දේශපාලන ජීවිතය ඇතුළේ එයා අතින් වුන ඇතැම් අතපසු වීම් ගැන පවා පිළිගන්නත්.
ඒකයි මේ දේශපාලන අවුලට තමනුත් වගකියන්න ඕන කියල මංගල ප්‍රසිද්ධියේ කිව්වේ. මංගලගේ දේශපාලන භාවිතය ගැන මොන විවේචන තිබුනත් වැදගත් වෙන්නේ ඒ ගැන අවංකව කතා කරන්න මංගලට තිබුන ධෛර්ය... ඒක ලංකේය දේශපාලන භූමියේ කවදාවත් බලාපොරොත්තු වෙන්න පුලුවන් තත්ත්වයක් නෙවෙයි. ඡන්ද වෙනුවෙන් ජාතික ප්‍රශ්නය ගැන කට ඇරගන්න බැරි... තමන්ගේ අතින් වුන අතීත වැරදි ගැන අවංකව සමාව ගන්න බැරි... ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ගැන කතා කරලා බලයට ආවාම පැසිස්ට්වාදීන් වෙන දේශපාලන හැසිරීම් අතරේ මංගල සුවිශේෂි වෙන්නේ ඒ නිසා.
තමන් පවා හවුල් වුන ඒ අවුල හදන්න 'මංගල ගමනක්' එයා යමින් හිටියා. එයා ඒ ගමනෙදි එහෙම් පිටින්ම විශ්වාස කරේ තරුණ පරම්පරාව. රාජපක්ෂ පාලනය ඇතුළේ විමල් වීරවංශල හදපු ව්‍යාජ දේශප්‍රේමයට ආගම්වාදයට ජාතිවාදයට එරෙහිව මංගල සැබෑ දේශප්‍රේමයට නව අර්ථකතනයක් ගෙන එමින් හිටියා. ඒ වටේට තරුණ රැල්ලක් ගොඩනැගෙමින් තිබුනා. ආරම්භයේදීම මංගල ඒ ගමනට සමුදුන්නත් මංගලගේ බලාපොරොත්තුව තමයි තවමත් දැල්වෙන්නේ.
මංගල මිනිස්සුන්ගේ ශක්තිය විශ්වාස කරා. දේශපාලනිකව මිනිස්සු ගත්ත තීරණ එයා විවේචනය කරේ නෑ. තමන්ගේ අයිතිවාසිකම් ගැන දන්න සැබෑ දේශප්‍රේමී මිනිස්සු වැඩි වැඩියෙන් බිහිවීම ගැන එයා හීන දැක්කා. ඒ වෙනුවෙන් එයා වැඩ කරා...
මානව හිමිකම්, ජාතික ප්‍රශ්නය, සංහිඳියාව වගේ කාරණා පොළොවට ගේන්න දේශපාලන නායකත්වය දුන්නේ මංගල කියලයි මම හිතන්නේ. 'සුදු නෙළුම' සහ 'මව් පෙරමුණ' කියන්නේ ඒකට උදාහරණ. මංගල දේශපාලනිකව කොතන හිටගත්තත් ජාතික ප්‍රශ්නයත් මානව හිමිකම් පිළිබඳ කාරණයත් අත්නොහැර අල්ලන් හිටියා.
පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් තරුණයෝ එක්ක හිටගත්ත මංගලත්, ඒ වෙනුවෙන් කරපු පෙනී සිටීම මොහොතකටවත් අත්ඇරුයේ නෑ. තරුණයෝ එක්ක හිටියට පරණ තැටිනේ ගහන්නේ කියද්දිත් මංගල කිව්වේ අවුරුදු හැත්තෑහතරක් තිස්සේ පරණ තැටිවලට උත්තර හොයා ගන්න බැරි වුන නිසා තමයි අපි තවම මෙතන ඉන්නේ කියල.
පාර්ලිමේන්තු දේශපාලනෙන් එළියට ඇවිත් තමන්ගේ ජීවිතේ ඒ තරම් නිදහස්වත් දේශපාලනිකව පුදුම තරම් සක්‍රීයවත් ගත කරපු වෙන දේශපාලකයෙක් ගැන කියන්න මගේ කෙටි ජීවිතය තුළ අත්දැකීම් නෑ. කට ඇරියොත් නිකන්ම ජෝකර්ලා වෙන දේශපාලකයෝ අතරේ මංගල, Tik tok කරලත් වස්තිලාගේ මහරජ මංගලට රඟපාලත් තමන් කවුද කියල හරියටම සලකුණු කරල පෙන්නුවා.
මංගල හැමදේම පටන්ගත්තේ තමන්ගෙන්. සමානයන් හැටියට හැමෝටම සලකන්න පටන්ගත්තේ මංගල අවකාශයෙන්. මංගල අපි හැමෝටම මංගලම වුනා.
එක වට මේසෙක අපි කතා කරද්දි කවුරු හරි නිශ්ශබ්දයි නම් මංගල එයාව කොහොම හරි කතා කෙරෙව්වා. මහා දේශපාලන සාකච්ඡා අස්සේ විහිළු කරල මහා හයියෙන් මුළු ශරීරෙම ගස්සමින් එයාට හිනාවෙන්න පුලුවන්කම තිබුනා. එහෙම සාකච්ඡාවක් තිබුනේ එයාගේ ගෙදර නම් හවායින් සුරුට්ටුවක් පත්තු කරගෙන නිස්කාන්සුවේ එයා අපිව අහන් හිටියා. ලංකාවේ කිසිම දේශපාලකයෙක්ට තව කෙනෙක් අහන් ඉන්න සංයම තියෙනව කියල මම විශ්වාස කරන්නේ නෑ. ඒත් මංගලට තව කෙනෙක් වෙනුවෙන් ඕන තරම් වෙලාව තිබුනා.
මංගලගේ රැඩිකල්කම තිබුනේ වචනවල නෙවෙයි. මංගල විවේචනය කළේ සිවුරවත් බෞද්ධකමවත් නෙවෙයි.. ඒ යටින් තිබුන කුහක බිම්ගත අශ්ලීල පදනම. ඒක ඒ මොහොතේ ජනප්‍රිය අදහස වුනේ නෑ. ඒ නිසාම මංගල බෞද්ධ වීරෝධීයෙක් වුනා. මංගල තමන්ගේ ලිංගික පැවැත්ම හැංගුවේ නෑ. ඒ නිසාම මංගල සමනළයා වුනා. හැබැයි මංගල එයාගේ ගමන හිනාවේවි ගියා. ඒක බොහොම සවිඥානික දේශපාලන ගමනක්.
ඒ ගමන යන්න එකඟ වුන මිනිස්සු අතරේ කොල්ලෝ කෙල්ලෝ අතරේ පුංචි තැනක ඉඳන් මට එයාව පෙනුනා.
ඒ මංගල, හිනාවෙන් සමරන්න ඕන උත්කර්ෂවත් පැවැත්මක් තිබුන විචිත්‍රවත් මිනිහෙක්.
ඒ තමයි මම දන්න මංගල... එතැන තමයි තවම හිස්තැන.
(ජයනි අබේසේකර)
මාධ්‍යවේදිනී - සිවිල් සමාජ ක්‍රියාකාරිනි