අප දැන් වෙසෙන්නේ ලාංකීය දේශපාලන පක්ෂ ක්‍රමය අභ්‍යන්තරිකව කැඩී බිඳී නැවත සකස් වන කාල පරිච්ජේදයක් තුළය. එම පරිවර්තනය කොතරම් රැඩිකල්
එකක් වන්නේද යන ප්‍රශ්නය වෙනම සාකච්ජා කළ යුතුය. එය මෙරට සංස්ථාපිත දේශපාලන ක්‍රමයෙහිම පරිවර්තනයක් වෙත දිශානත වන්නේද යන්න තවමත් විවෘත ප්‍රශ්නයකි.
ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට හැකියාවක් ඇතැයි පෙනෙන කවර නායකයෙකු වුවත් මෙරට ආර්ථික ක්‍රමයෙහි රැඩිකල් පරිවර්තනයක් පොරොන්දු වන්නේ නැත. එසේම වත්මන් යුගයේ දේශපාලන ආර්ථික විෂය හා බැඳුණු අනෙක් වැදගත්ම විෂය ක්ෂේත්‍රය ලෙසින් සැලකිය හැකි ජාත්‍යන්තර සබඳතාවලට අදාළවද බරපතල වෙනස්කම් අපේක්ෂා කළ නොහැකිය. ඉදිරි කාලයේදී වඩාත්ම මනෝරාජිකයින් ලෙසින් පෙනී යනු ඇත්තේ මේ ජනාධිපතිවරණයෙන් රැඩිකල් හා ගැඹුරු දේශපාලන පරිවර්තනයක් අපේක්ෂා කරන්නවුන්ය යන්න මගේ අදහසයි. එවන් මනෝරාජිකයින් ආර්ථික දක්ෂිණාංශය තුළ සේම වාමාංශය තුළද හඳුනාගත හැකිය.
මෙහි අදහස මේ ජනාධිපතිවරණයෙන් සිදු වන කවර බල මාරුවක් වුවත් අප දැකිය යුත්තේ ග්‍රාම්ස්චිගේ වචනයෙන් කිව හොත්, "කිසිවක් වෙනස් නොවී පවත්වා ගැනීම සඳහා යමක් වෙනස් කිරීමක්" ලෙසින්ය යන්නද? පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ජන අරගල සන්ධානය ප්‍රමුඛ රැඩිකල් වාමාංශය දේවල් දකිමින් සිටින්නේ එවන් ප්‍රවේශයකින් බව පෙනේ. එම ප්‍රවේශයේ ඇති ගැටළුව වන්නේ රැඩිකල් නොහොත් විප්ලවීය ස්වභාවයේ සමාජ දේශපාලන පරිවර්තන පමණක් විෂය කොට ගැනීමත් ප්‍රමාණාත්මක, ක්‍රමික හා සංක්‍රමණීය පරිවර්තනවල දේශපාලන වැදගත්කම නොතකා හැරීමත්ය.
මේ වනාහී ලොව පුරා විප්ලවවාදී වාමාංශය විසින් ඓතිහාසිකව පවත්වාගෙන එනු ලැබූ චින්තන පුරුද්දකි. ජර්මනියේ හා ඉතාලියේ ෆැසිස්ට්වාදය නැග එමින් තිබියදී ෆැසිස්ට්වාදය විසින් ධනවාදයේ සැබෑ ස්වභාවය හෙළිදරව් කරනු ඇතැයි කල්පනා කළ බොහෝ යුරෝපීය විප්ලවවාදී සමාජවාදීන් මධ්‍ය-වාමාංශික කොටස් සමග එක් පෙරමුණකට එන්නට මැළි වූහ. මෙම ඓතිහාසික වැරදීමේ පල විපාක ගැන කොතෙකුත් දේ ලියැවී තිබේ.
වමේ අසීරු තෝරාගැනීම්
සමාජ ආර්ථික ක්‍රමයෙහි සමූලික පරිවර්තනයක් කරා දිශානත නොවූවද, පීඩිත ජන කොටස්වල දේශපාලන අභිලාෂයන් සම්බන්ධයෙන් ගත් කල සාධනීය ඇඟවුම් සහිත දේශපාලන පරිවර්තන කොතෙකුත් තිබේ. සාමාන්‍යයෙන් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ලෙසින් හඳුනාගනු ලබන පරිවර්තන ගැනෙන්නේ ඒ යටතටය. එවන් පරිවර්තනවල දේශපාලන වැදගත්කම අඩුවෙන් තක්සේරු කරන්නා වූ වාමාංශයට සිදු වන එක් අවාසියක් වන්නේ සමකාලීන පොදුජන විඥානයට ආමන්ත්‍රණය කිරීමේ ශක්‍යතාව අහිමි වී යාමයි.
මේ ගැටළුව වටහාගැනීම සඳහා ලාංකීය මුල්කාලීන වාමාංශික දේශපාලනයෙන් කොතෙකුත් නිදසුන් ඉදිරිපත් කළ හැකිය. මහාචාර්ය රංජිත් අමරසිංහ පෙන්වා දී ඇති පරිදි, ඉංග්‍රීසි පාලකයින් විසින් ලංකාවට නිදහස ප්‍රදානය කරනු ලැබීමේ සංසිද්ධියේදී එකල වාමාංශය තුළින් ප්‍රතිචාර දෙකක් පැන නැගිණ. කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි ඇතුළු රැඩිකල් ධාරාව නියෝජනය කළ බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ ස්ථාවරය වූයේ එම නිදහස සහමුළින්ම ව්‍යාජ එකක් බැවින් එයට එතරම් දේශපාලන වැදගත්කමක් ලබා නොදිය යුතුය යන්නයි. නමුත්, ෆිලිප් ගුණවර්ධන සහ එන්.එම් පෙරේරා නියෝජනය කළ සමසමාජ ප්‍රධාන ධාරාව නිදහසේ නාමයෙන් සිදු වූ බල හුවමාරුව ගැන විවේචනාත්මක වන අතරම ස්වදේශික පාලනයක් බිහි වීම අරභයා ඇති වූ පොදුජන උනන්දුව නොතකා නොහළ යුතුය යන ස්ථාවරයට පැමිණියහ.
මීටත් වඩා අසීරු තෝරාගැනීමක් පැරණි වම ඉදිරියේ පැන නැගුණේ 1956 දේශපාලන විපර්යාසය පසුබිම් කොටගෙනය. බණ්ඩාරනායක ඇතුළු සිංහල ජාතිකවාදී ප්‍රභූ තන්ත්‍රයේ මහා ජාතික සීමාන්තිකවාදයට එරෙහි වීම වාමාංශිකයන්ට දෘෂ්ටිවාදී තලයෙහි අසීරු තෝරා ගැනීමක් නොවූ බව සැබෑය. එම තෝරාගැනීම නිසා "තමන්ට දේශපාලන වශයෙන් වල් වැදීමට සිදු වුවත් තමන් ඒ සඳහා පසුබට නොවන්නේ" යැයි එකල එන්.එම් පෙරේරාට පැවසිය හැකි වීමෙන් ගම්‍ය වන්නේ එයයි. නමුත්, '56 විපර්යාසයෙහි තවත් පැතිමානයක් තිබිණ. එනම්, එතෙක් කලක් රාජ්‍යයෙන් පරාරෝපණය වී සිටි ස්වදේශික පාලක-නොවන සමාජ ස්ථරයකට රාජ්‍ය බලය සමග ගණුදෙණු කළ හැකි වීමේ තත්ත්වයක් නිර්මාණය වීමත්, එබැවින් ඔවුන් එය පොදුජන දේශපාලනයේ ආරම්භය ලෙසින් හඳුනාගනු ලැබීමත්ය.
මේ සංකීර්ණ තත්ත්වය තුළ වමේ ප්‍රධාන ධාරාවේ තෝරාගැනීම වූයේ සිංහල මහා ජාතිකවාදයට විරුද්ධව සිටගන්නා අතරම දේශපාලනයෙහි පොදුජන හැරවුම සමග සමාන්තරව ගමන් කිරීමය. එකල රැඩිකල් වාමාංශයේ ප්‍රමුඛතම නායකයෙකු වූ ලෙස්ලි ගුණවර්ධන පවා සමසමාජ ඉතිහාසය පිළිබඳ ඔහුගේ රචනාවලදී පවසන්නේ '56 විපර්යාසයේ සාධනීය අන්තර්ගතයක් තම ව්‍යාපාරය විසින් හඳුනාගනු ලැබූ බවය. කම්කරු සහ ගොවි ජනතාව පළමු වරට තමන්ගේ ආණ්ඩුවක් බිහි විණැයි උද්දාමයට පත් වූවා යැයි ගුණවර්ධන තවදුරටත් පවසයි. ගුණවර්ධන හෝ අප එය එසේ විණැයි පිළිගත්තද, නොගත්තද දේවල් දෘෂ්ටිවාදීමය තලයෙහි සටහන් වූයේ එලෙසිනි. එම දෘෂ්ටිවාදය ප්‍රායෝගික බලපෑම්වලින් තොර නොවීය. සැබවින්ම, දෙවන වරටත් විපක්ෂ නායකයා බවට පත් වූ එන්.එම් වසරක් ගත වන තුරුම අනුගමනය කළේ 1947 ඩී.එස් සේනානායකගේ ආණ්ඩුව සමග ජී.ජී පොන්නම්බලම් අනුගමනය කළ ආකාරයේ සාධනීය විවේචනාත්මක ස්ථාවරයකි. බණ්ඩාරනායක බලයට පත්ව වසරක් ගත වන තෙක්ම කම්කරු සටන් යළි ඇරඹීමට ප්‍රමාද වීමෙන් ගම්‍ය වූයේද එයයි.
මෙසේ සීමිත ප්‍රජාතාන්ත්‍රික පරිවර්තන කෙරෙහි සාධනීයව ප්‍රතිචාර දැක්වීමට යාමෙන් වමෙහි මූලික දේශපාලන නිෂ්ටාවන් හා පරමාර්ථ ගිලිහී යා නොහැකිද? සාමාන්‍යයෙන් රැඩිකල් වාමාංශික ධාරාව වෙතින් මතු වන මෙම ප්‍රශ්නය අදටත් වලංගු වූවකි. අපි ලාංකීය නිදසුන ඇසුරින්ම මෙය විමසා බලමු. පසුකාලීනව සමසමාජ-කොමියුනිස්ට් නායකත්වය ශ්‍රීලනිපය සමග සන්ධාන දේශපාලනයකට ප්‍රවේශ වීමේදී (විශේෂයෙන්ම 1964 සන්ධානය) තම මූලධාර්මික දේශපාලන ස්ථාවරයන් සම්මුතිගත කළේය. ජාතික ප්‍රශ්නය අරභයා වූ සමසමාජ පක්ෂයේ සමාරම්භක ප්‍රතිපත්තිය ක්‍රමිකව සම්මුතිගත කරනු ලැබීම මේ අතුරින් කැපී පෙනේ. මගේ අදහස නම් මෙම සම්මුතිගත කිරීම වමේ ව්‍යාපාරය රැඩිකල්හරණයට ලක් වීමේ ආරම්භක පියවර වූ බවයි. නමුත් එම පසුකාලීන තෝරාගැනීම් වනාහී '56 පරිවර්තනය අරභයා වමේ නායකත්වය විසින් අනුදත් මගෙහි අනිවාර්ය වර්ධනයක් වී යැයි නිගමනය කළ හැකිද?
පශ්චාත්-මාක්ස්වාදී න්‍යාය අපට උගන්වන පරිදි දේශපාලනය නමැති ක්ෂේත්‍රය තුළ එවන් අනිවාර්ය වර්ධනයන් නොහොත් තාර්කික අන්තයන් තිබිය නොහැකිය. දේශපාලනය යනුම අහඹු/අනිශ්චය නිමේෂයන් තුළ විවිධ හෙජමොනික ඒජන්තයින් විසින් ගනු ලබන තීරණ නොහොත් ක්‍රියාවන්ගේ නිමැවුමක් වන බැවිනි. එබැවින්, මෙරට වම 1964 දී ශ්‍රීලනිපය සමග ඇති කරගත් දේශපාලන සන්ධානය අප දැකිය යුත්තේ දේශපාලනයෙහි එක්තරා සංධිස්ථානමය නිමේෂයක් තුළ වමෙහි නායකයින් විසින් ගනු ලැබූ තීරණයක ප්‍රතිපලයක් ලෙසිනි. ඔවුනට අවශ්‍ය නම්, එම තීරණය නොගෙන ඉන්නටද හැකියාව තිබිණ. වාමාංශික පක්ෂ එතෙක් කලක් ජාතික ප්‍රශ්නය අරභයා අනුගමනය කළ ප්‍රතිපත්තිගරුක ස්ථාවරයෙහි දිගටම රැඳී සිටීමට ඔවුන් '56 පරිවර්තනයෙහි සාධනීය පැතිමානයක් දැකීම යන කාරණය පවා බාධකයක් විය යුතුව නොතිබිණ.
1956 මැතිවරණයේදී මෙන්ම 1960 පැවති මැතිවරණ දෙකේදී ඔවුන් ශ්‍රීලනිපය සමග නිතරඟ ගිවිසුම්වලට එළැඹීම යන කාරණය පවා ඒ සඳහා බාධකයක් විණැයි සැලකිය නොයුතුය. පීඩිත සමාජ පන්තීන්ගේ මෙන්ම පීඩිත ජනවාර්ගික ප්‍රජාවන්ගේද විමුක්ති අභිලාෂයන් නියෝජනය කරන්නා වූ ස්වාධීන බලවේගයක් ලෙස වර්ධනය වීමේ ශක්‍යතාව 1960 දශකයේ මැද භාගයේදීත් වාමාංශය සතුව පැවතිණ. ඒ මග නොගැනීම වනාහී වමේ පක්ෂ '56 දී ගත් හැරවුමෙහි තාර්කික හා අපේක්ෂා කළ යුතු ආකාරයේ ප්‍රතිපලයක් වනවාට වඩා ඔවුන් සක්‍රීයව හා චේතනාන්විතව ගත් පසුකාලීන තීන්දු තීරණවල ප්‍රතිපලයක් යැයි කීම සාධාරණය. දේශපාලන ඒජන්තයින්ගේ ක්‍රියාවන් හා තීරණ නිශ්චය කෙරෙන්නේ ඔවුනගේම අතීත ක්‍රියාකාරීත්වයේ බලපෑම් විසින් පමණක් නොවන බැවිනි.
තමන් ඉදිරි අහඹු මොහොතේදී කුමන මගක් ගන්නේදැයි තීරණය කිරීමේ ශක්‍යතාව හා නිදහස ඔවුන් සතුය. (ආරම්භයේදී රාජපක්ෂ හෙජමොනික ව්‍යාපෘතිය ගොඩ නැගීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ ජවිපෙ යුද්ධය අවසන් වීමටත් පෙරම එයින් කැඩී වෙන් වූවා නොවේද?) එබැවින් '56 පරිවර්තනයෙන් නියෝජනය වූ පොදුජන ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයන් කෙරෙහි සාධනීය ප්‍රතිචාරයක් දක්වන අතරම තම මූලධාර්මික දේශපාලන ස්ථාවරයන් සම්මුතිගත නොකර සිටීමේ මගක් ගැනීමට වමට අවශ්‍ය නම් හැකියාවක් තිබිණ.
විය හැකියාවන් සහ ඒවායෙහි සීමා
අපි යළිත් වත්මන් දේශපාලන නිමේෂය වෙතට එමු. මා කලින් සඳහන් කළාක් මෙන් ඉදිරි ජනාධිපතිවරණයෙන් කවර අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළද මෙරට ආර්ථික ක්‍රමයෙහි හෝ විදේශ සබඳතා ක්ෂේත්‍රයෙහි රැඩිකල් පරිවර්තනයක් අපේක්ෂා කළ නොහැකිය. සරලව, ජාතික ජන බලවේගය බලයට පත් වුවද අයි.එම්.එෆ් වැඩ පිළිවෙළ, ඇතැම්විට යම් යම් වෙනස්කම් සහිතව, ඉදිරියට යනු ඇත. භූ-දේශපාලනය තුළ ගත් කල ආර්ථික අර්බුදයෙන් පසුව එක්සත් ජනපද-ඉන්දීය අක්ෂය සමග ලාංකීය රාජ්‍යයේ අනුගත වීම ජාජබ පාලනයක් යටතේ පවා වෙනස් වෙතැයි සිතීම අසීරුය.
අනුර කුමාර දිසානායක හට ඉන්දීය රාජ්‍යයේ ඉහළම තලයේ සාකච්ජාවක් සඳහා ඇරැයුම් ලැබුණේ හේතු විරහිතව නොවේ. නිසැකවම මෙම භූ-දේශපාලනික තලයේ සබඳතා රටේ අභ්‍යන්තරික දේශපාලන-ආර්ථික සබඳතා සමග ගැට ගැසී තිබේ. නිදසුනක් ලෙස, මෙරට බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි ඉන්දීය ප්‍රාග්ධනයේ මැදිහත්වීම එක්වරම ආර්ථිකමය සහ භූ-දේශපාලනික ගම්‍යතාවලින් යුක්තය. එක් අතකින් ජාජබ නායකත්වය ඉහත කාරණා සම්බන්ධයෙන් 'දකුණට හැරීමේ' තම පිළිවෙත ජනාධිපතිවරණයට පෙරම නොසඟවා හෙළිකිරීම ගැන ප්‍රශංසාවට ලක් විය යුතුය.
ග්‍රීසියේ සිරිසා සන්ධානය මෙන් බලයට පත්වීමට පෙර රැඩිකල් අපේක්ෂාවන් දිරිගන්වා බලය ගත් පසු ඒවා බිඳ දැමීමට සිදු වීමේ ඉරණමෙන් අඩු තරමින් ජාජබ නිදහස් වනු ඇත. සිරිසාව වුවත් ගෝලීය ප්‍රාග්ධන අධිකාරීත්වයට එරෙහි රැඩිකල් අපේක්ෂාවන් කුළු ගන්වා බලයට පත් වූයේ සැබවින්ම එම අපේක්ෂාවන් යථාර්තයක් බවට පත් කළ හැකි ආකාරයේ බල රටාවක් තුළද? සිරිසා ආණ්ඩුවේ පළමු මුදල් අමාත්‍ය යානීස් වරූෆකීස් ඔහුගේ Adults in the Room කෘතියේ ආරම්භයේදී කලක් ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙසින් සේවය කළ ලැරී සමර්ස් සමග වූ ඔහුගේ දෙබසක් උපුටා දක්වයි:
සමර්ස්: යානීස් ඔයාට ලොකු අත් වැරදීමක් වෙලා තියෙනවා.
මැතිවරණ ජයග්‍රහණයක් පේන තෙක් මානයක නැති වාතාවරණයක් තුළ වාමාංශයට ඉතාම රැඩිකල් ආර්ථික පරිවර්තනයක් පිළිබඳ සටන් පාඨ ඉදිරිපත් කළ හැකිය. පවත්නා තත්ත්වය ජනතා හිතකාමී ආකාරයට පරිවර්තනයට ලක් කිරීමේ පැත්තෙන් බැලූ විට වමෙන් එවන් විකල්ප දේශපාලන ගුරුත්ව කේන්ද්‍රයක් පවත්වාගෙන යාම ප්‍රයෝජනවත්ය. නිදසුනකට මේ මොහොතේ පෙරටුගාමී වාමාංශය විසින් විකල්ප ගුරුත්ව කේන්ද්‍රයක් පවත්වා නොගත්තේ නම් ජවිපෙ/ජාජබ දකුණට හැරීමේ ගමන කොතැනින් නතර වේදැයි සිතාගත නොහැකිය. නමුත්, සැබවින්ම ආණ්ඩු බලය ලබා ගැනීම විය හැකියාවක් වූ වාතාවරණයක් තුළ ජවිපෙ/ජාජබ වැනි පක්ෂයකට සිදු වන්නේ දේශීය සහ ගෝලීය 'ගැඹුරු රාජ්‍යයේ' (deep state: මේ ගැන ඉදිරි ලිපියකදී සවිස්තරාත්මකව සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි) ග්‍රහණයට ලක්ව වැඩ කරන්නටය. එබැවින්, තමන්ගෙන් විප්ලවීය වෙනස්කම් අපේක්ෂා නොකරන මෙන් එහි නායකයින් විසින්ම ඉල්ලා සිටීම සාධාරණය.
පරමාදර්ශය සහ ප්‍රායෝගිකත්වය
නමුත්, ඉහත සියල්ල එසේ තිබියදීත් මෙවර ජනාධිපතිවරණය එක්තරා වැදගත් දේශපාලනික පරිවර්තනයක විය හැකියාව අප හමුවේ විවෘත කොට තිබේය යන්න කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. එනම්, විශේෂයෙන්ම 1977 ආර්ථික විවෘතකරණයෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් මෙරට ස්ථාපිත වූ දේශපාලනික, ආර්ථිකමය සහ නිළධාරීමය ප්‍රභූ තන්ත්‍රයේ බලය බරපතල ලෙස අභියෝගයට ලක් කිරීමට හැකි බලවේගයක් බවට ජාතික ජන බලවේගය පරිවර්තනය වී තිබීමයි. පසුගිය 2022 ජනතා නැගී සිටීමේදී ප්‍රකාශයට පත් වූ ප්‍රධානතම දේශපාලන අභිලාෂයක් වූයේද මෙම ප්‍රභූ තන්ත්‍රයේ බලය අහෝසි කොට දැමිය යුතුය යන්නයි.
මෙරට ඊනියා කළු ආර්ථිකය, පාතාළ ලෝකය, මූල්‍ය හා වෙළඳ ඒකාධිකාරය, සහ රාජ්‍ය නිළධර තන්ත්‍රයේ දූෂිත කොටස් විවිධ දක්ෂිණාංශික පක්ෂ අතර විසිරී සිටින දේශපාලන ප්‍රභූ තන්ත්‍රය සමග සම්බන්ධය. මෙය රාජ්‍යයේ ඉහළ සිට ප්‍රාදේශීය තලය දක්වා විහිඳුණු බල සබඳතා ජාලයකි. වික්ටර් අයිවන් 'මජර දේශපාලන කල්ලියක්' ලෙසින් හඳුන්වන මෙම ප්‍රභූ තන්ත්‍රයේ බොහොමයක් දෙනා දැන් සන්ධානගතව සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමගය. ඔවුන්ගේ සෙසු කොටස් පොහොට්ටු පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රීලනිපය (දැන් එම නමින් කවර කණ්ඩායමක් අදහස් වුවද), විමල්-දිලිත්-ගම්මන්පිළ-කොමියු
පසුගිය 2022 ජනතා නැගී සිටීම විසින් ඉහළට ඔසොවන ලද විමුක්තිවාදී අභිලාෂයන් සම්මුතිගත නොකර ඉදිරියට රැගෙන යමින් සිටින්නේද, එනයින් ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක් උදෙසා අරගල කරමින් සිටින්නේද පෙරටුගාමී වාමාංශය බව සැබෑය. නමුත්, එම අරගලයේ අභිලාෂයන් සාක්ෂාත් කරගනු පිණිස සැපිරිය යුතු පූර්ව අවශ්‍යතාවක් වන්නේ මෙරට සියලු දක්ෂිණාංශික පක්ෂ පුරා විසිර සිටින ප්‍රභූ තන්ත්‍රයේ ආධිපත්‍යය බිඳ හෙළීම බවද එතරම්ම සැබෑවක් නොවන්නේද? කොතරම් න්‍යායික සහ දේශපාලනික විරසකතා මධ්‍යයේ වුවත් අප පිළිගත යුතු යථාර්තයක් නම්, මේ මොහොතේ ඉහත කී කර්තව්‍ය ඉටු කළ හැකි ප්‍රායෝගික දේශපාලන ඒජන්තයා වන්නේ ජාතික ජන බලවේගය බවයි. එහි ජයග්‍රහණය පිළිබඳ වියහැකියාවක් නිර්මාණය වී තිබීම රැඩිකල් වාමාංශය දැකිය යුත්තේ ප්‍රගතිශීලී දේශපාලනය පැත්තෙන් සිදු වූ සාධනීය වර්ධනයක් ලෙසිනි. එය රැඩිකල් වම දකින පරමාදර්ශී තත්ත්වය නොවන්නේ වුවත්, කවර අරුතකින් හෝ සාධනීය තත්ත්වයක් නොවේ යැයි පැවසිය හැකිද?
(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය