ඉදිරි ජනාධිපතිවරණයෙන් ජේවීපියේ හෝ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක දිනයි ද කියන ප්‍රස්නය මේ අවස්තාවෙදී ජනතාව අතර කථා බහට ලක්වෙමින් තිබෙන ලොකුම දේශපාලන ප්‍රස්නය ලෙස සැලකිය හැකිය.
එය ජේවීපී විරෝධීන් අතර පමණක් නොව මධ්‍යම පංතික හා ව්‍යාපාරික ප්‍රජාව අතර ද ලොකු බියක් ඇති කිරීමට හේතුවී තිබෙන සාධකයක් ලෙසද සැලකිය හැකිය.
මට දුරකතනයෙන් කථා කරන වැඩි දෙනෙක්ද විවිද අකාරවලට එම ප්‍රස්නය මගෙන් විමසති. එම ප්‍රස්නය මුල් කරගෙන සමාජයේ සමහර අය තුළ ලොකු බියක් ඇතිවී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එම තත්වය සලකා බැලීමේදී කෂනිකව මට මතක් වූ යේ අහස කඩා වැටෙනවාට බයේ දුවන ලද හාවගේ කථාවය. ලංකා සමාජයේ සමහර අයගේ හැසිරීමද එම කථාවේ එන අහස කඩා වැටෙනවාට බයේ හාවා සමග හැල්මේ දුවන ලද වන සතුන් ට සමාන කල හැකිය. ශ්‍රී ලංකා සමාජය තර්කානු ලෙස කරුණු සලකා බැලීමට තිබෙන හැකියාව අහිමි කරගෙන තිබෙන ප්‍රමාණය ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.
මෙම සටහන ඒ ගන ලියන විචාරයකි.
මෙතෙක් පැවති හැම ජනාධිපතිවරණයකදීම තරඟය තිබුනේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතරය. ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා හා විරුද්ධ පක්ෂ අපේක්ෂකයා අතරය. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ට අතිරේකව විරුද්ධ පක්ෂයට අයත් වෙනත් පක්ෂවල අපේක්ෂකයින් තරඟ කරන අවස්තාවලදී එවැනි අපේක්ෂකයින්ට හැම විටම වාගේ ලබා ගත හැකිවූයේ නොවැදගත් සුළු ජන්ද ප්‍රතිශතයකි.
1982 ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් තරඟ කල ජේ.ආර් ජයවර්ධන පාවිච්චි කල ඡන්ද වලින් 52.91% ක්ද ශ්‍රීලනිපයෙන් තරඟකල හෙක්ටර් කොබ්බෑකඩුව ජන්ද 39.07 %ක් ද ලබා ගන්නා විට නන්දසිරි විජේවිර, කුමාර් පොන්නම්බලම්, කොල්වින් ආර් ද සිල්වා හා වාසුදේව නානායක්කාර යන තරඟකරුවන් හතර දෙනාටම ලබා ගත හැකිවුයේ ජන්ද 8.02% කක් පමණය.
1999 ජනාධිපතිවරණයේදි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ජන්ද 51.12% ක්ද එජාප යේ රනිල් වික්‍රමසිංහ ජන්ද 42.72% ක්ද ලබා ගන්නා විට ජවිපෙන් තරඟ කල නන්දන ගුණතිලක ට ලබා ගත හැකිවූයේ ජන්ද 4.08% ක් පමණය.
ඉන්පසු 2019 ජනාධිපතිවරණයේදීද ගෝඨාභය රාජපක්ෂ ජන්ද 52.25% ක්ද, සජිත් ප්‍රේමදාස 41.99% ක්ද ලබා ගන්නා විට ජාතික ජන බලවේගයෙන් තරඟ කල අනුර කුමාර ලබාගත හැකිවූයේ ජන්ද 3.16% ක් පමණය.
ඒ අනුව මෙතෙක් පැවති හැම ජනාධිපතිවරණයකදීම ප්‍රධාන තරඟය තිබී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා හා විරුද්ධ පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා අතරය. විරුද්ධ පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙකු හෝ අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඉදිරිපත්වූ අවස්තාවලදී එම අපේක්ෂකයාට හෝ අපේක්ෂකයින්ට ලබා ගත හැකි වුයේ නොවැදගත් අඩු ජන්ද ප්‍රතිශතයකි.
කිසියම් විශාල ප්‍රමාණයකට ඡන්ද ලබා ගැනීමේ හැකියාවේදී බොහෝදුරට එක සමාන තරමකට ප්‍රභල, විරුද්ධ පක්ෂයට ලැබෙන ඡන්දවලින් සමාන තරමේ ගොඩවල් දෙකක් ලබා ගැනීමට හැකියාව ඇති අපේක්ෂකයින් දෙදෙනෙකු ජනාධිපතිවරණයකට ඉදිරි පත් වූ පළමු ජනාධිපති වරණය මෙම ජනාධිපති වරණය ලෙස සැලකිය හැකිය.
විරුද්ධ පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය වර්ධනය වී තිබෙන තත්වයක් තුළ පවා ඒ ගොඩ විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනෙකු අතර හරි හරියට බෙදී යන තත්වයක් ඇති විට එහි වැඩි වාසිය යන්නේ ආණ්ඩු පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයාටය. ආණ්ඩු පක්ෂයෙන් තරඟ කරන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සමග විරුද්ධ පක්ෂයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු වෙනුවට තනි අපේක්ෂකයෙකු (සජිත් හෝ අනුර කුමාර) තරඟ කලේ නම් විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට පහසු ජයග්‍රහනයක් ලබා ගන්නට පුලුවන් වන්නට ඉඩ තිබුණි. එසේ නොවී විරුද්ධ පක්ෂයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු තරඟ කලද එක අපේක්ෂයකු ඉතා බලවත් වී අනෙක් අපේක්ෂකයා පොඩි ඡන්ද ප්‍රතිසතයක් පමණක් දිනා ගත හැකි දුබලයකු වී නම් විරුද්ධ පක්ෂයේ ප්‍රභල අපේක්ෂකයාට ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයාට බලවත් තරඟයක් දීමට හැකි වන්නට ඉඩ තිබුණි. විරුද්ධ පක්ෂයේ ඡන්ද බොහෝ දුරට සමාන ගොඩවල් දෙකකට බෙදී යන මේ තත්වය ආණ්ඩු පක්ෂයෙන් තරඟ කරන රනිල් වික්‍රමසිංහට වාසිදායකය.
ඉන් පෙනෙන්නේ එක පාර්ලිමේන්තු ආසනයක් තිබියදී ජනාධිපති ධූරයට පත්වීමෙන් ආරම්භවන රනිල් ගේ වාසනා බල මහිමය තවමත් අවසන් වී නැති බව හා තව දුරටත් ඉදිරියට යමින් තිබෙන බවය. එය අවසන් වනවා නම් අවසන් විය යුතුව තිබුනේ පොහොට්ටුව පක්ෂයේ ප්‍රධාන නායකයින් ආණ්ඩුව අත් හැර යන අවස්තාවේදී එම පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රී වරුන් ලොකු පිරිසක් රනිල් අතහැර යන තත්වයක් ඇති වීමෙනි. එහෙත් එය එසේ සිදුවූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ ඇමතිවරුන් හා මන්ත්‍රී වරුන් ලොකු පිරිසක් ඔවුන්ගේ පරණ නායකයින් අත හැර රනිල් සමග එකතුවීමය. මුලදී රනිල් සම්බන්දයෙන් පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවගේ ප්‍රතික්‍රියාව කුමක් විය හැකිද යන ප්‍රස්නයක් තිබුණි. එහෙත් මේවන විට එම ජනතාවගෙන් ලොකු පංගුවක්වක්ද රනිල්ගේ දේශපාලන නායකත්වය සතුටින් පිලිගන්නා තැනකට මාරු වී තිබෙන බවද දැකිය හැකිය.
එක්සත් ජාතික පක්ෂයට හිතවත් බොහෝ ජනයා අතර රනිල් ගැන ඇත්තේ ආස්වාද ජනක හැගීමකි. බිහිසුණු අගාධයකට ඇද වැටී තිබුණු රට එම තත්වයෙන් ගොඩගැනීමෙන් හිමි කරගත් සැඟවුණු ලොකු ගෞරවයක් මහජනයා අතර රනිල්ට තිබෙන්නේය. ගෙවුම් ශේෂ අර්බුදය ජයගැනීම සඳහා ඔහු ක්‍රියාවට නගන ලද වැඩ සටහන අඛන්ඩව ඉදිරියට යනවා දැකීම මධ්‍යම පංතික ජනයාගේ සේම ව්‍යාපාරික ප්‍රජාවගේද අපේක්ෂාව වී තිබේ. බංගලි දේශය මෙන් රට අරාජක වෙනවා දකින්න මහජනයා කැමති නැත. රටේ සුළු ජාතින් අතර රනිල්ගේ පාලනය ගැන ඇත්තේ සහනශීලි ආකල්පයකි. ඒ සියල්ලේ වාසිය යන්නේ රනිල්ටය.
මගේ මතය අනුව මෙම ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වනු ඇත්තේ රනිල් ය. ඒ සමඟ රට වෙනුවෙන් ඔහුට කල හැකි ලොකුම දේ වනුයේ ගෙවුම් ශේෂ අර්බුදයෙන් රට මුලු මනින් ගොඩ දමනවාට අතිරේකව භේදයකින් තොරව සියලු දේශපාලන පක්ෂද එකතු කරගනිමින් ගරාහැලෙමින් තිබෙන රාජ්‍යය හා සමාජ -දේශපාලන ක්‍රමයේ ගැඹුරු හා යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට රට යොමු කිරීමය. ඒ සදහා වන දැක්මක් තිබෙන පැසුණු නායකයා වන්නේද ඔහුය.
(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)