වියහැකියාවන්ගේ සිතිජය
මධ්‍ය-වාමාංශික ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා, අනුර කුමාර දිසානායක, 2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ වියහැකියාවක් (possibility) දැන් නිර්මාණය වී පවතී. එම වියහැකියාව සැබෑවට පවතින්නක් (actuality) බවට පරිවර්තනය වේද යන්න අපට දැනගත හැකි වන්නේ තව දින කිහිපයකට පසුවය. එය සැබෑවක් වුවද නොවූවද සියළු ධාරාවන්හි ප්‍රගතිශීලී බලවේග හා කණ්ඩායම් විසින් සාධනීයව භාරගත යුතු වර්ධනයක්ය යන්න අපගේ අදහසයි.
ඉදිරියේදී බලයට පත් විය හැකි මධ්‍ය-වාමාංශික නායකත්වය කෙරෙහි කොතරම් විවේචන තිබියදී පවා ලාංකේය දේශපාලන වියහැකියාවන්ගේ සිතිජය තුළ සිදුව ඇති මෙම පරිවර්තනය සුභවාදීව දකින්නට අප පැකිළෙන්නේ නැත.
මැතිවරණ ක්‍රියාවලිය ඔස්සේ වාමාංශික ධාරාවේ පක්ෂයක් අතට ආණ්ඩු බලය මාරු වේ යැයි විශ්වාසයක් මෙරට පැවතියේ නම් ඒ 1970 දශකයට පෙරය. 1947 දී සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පැවති පළමු මැතිවරණයෙන් පසුව ලංකා සමසමාජ පක්ෂය, බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ව ස්වාධීන මන්ත්‍රීවරුන්ගේද සහයෝගයෙන් වමේ ආණ්ඩුවක් තැනීමේ අවම උත්සාහයක් පැවතියද එය ඉතාම ඉක්මණින් අත් හැර දැමීමට සිදු විය. ඉන්පසුව, 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු සන්ධානය බලයට පත් වූයේ සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාවේ අන්තර්ගතයන් සේම මාක්ස්වාදී වාමාංශික කතිකාවේ ඇතැම් අන්තර්ගතයන්ද තම හෙජමොනික ව්‍යාපෘතියට අවශෝෂණය කර ගනිමින්ය.
ප්‍රධාන ධාරාවේ වාමාංශික පක්ෂ මහජන එක්සත් පෙරමුණ සමග නිතරඟ ගිවිසුම්වලට එළැඹෙමින් එයට සහාය දැක්වූ අතර ෆිලිප් ගුණවර්ධන ඇතුළු ඇතැම් ප්‍රබල මාක්ස්වාදී නායකයින් සෘජුවම බණ්ඩාරනායක ආණ්ඩුවට එක් වූහ. ඉන්පසුව, තමන් හට මැතිවරණ ජයග්‍රහණයක් මගින් ආණ්ඩු බලය දිනාගත හැකි යැයි ලංකා සමසමාජ පක්ෂයේ නායකයින් බරපතල ලෙස විශ්වාස කළේ නම්, ඒ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව පැවති 1960 මාර්තු මැතිවරණයේදීය. එකල නව ආණ්ඩුවක් තැනීමේ අරමුණින් රැඩිකල් වාමාංශික නායකයෙකු වූ ලෙස්ලි ගුණවර්ධන තම බ්‍රිතාන්‍ය සංචාරය අතරමග නවතා ලංකාවට පැමිණි බව වාර්තා විය. නමුත්, වමේ නායකයින් අතර වියහැකියාවක් යැයි පෙනුණු දෙය කිසිසේත්ම සැබෑවට පවතින්නක් වූයේ නැත. ඒ වෙනුවට 1960 දශකයේ ආරම්භයේ සිට මෙරට දක්ෂිණාංශික ද්වි-පක්ෂ සන්ධාන දේශපාලනය හැඩ ගැසෙන්නට පටන් ගත් අතර එතැන් පටන් වාමාංශික පක්ෂවලට ආණ්ඩු බලයට ළඟා විය හැකි වූයේ ශ්‍රීලනිපය සමග සන්ධාන දේශපාලනයකට ඇතුළු වීම මගින් පමණි. එම සන්ධාන දේශපාලනයේ අවශ්‍යතාවක් ලෙස වාමාංශයට ස්වකීය ඇතැම් මූලධාර්මික ස්ථාවරයන් (නිදසුනක් ලෙස ජාතික ප්‍රශ්නය පිළිබඳ ස්ථාවරය) සම්මුතිගත කරන්නට සිදු වූ අතර එය ලාංකීය ඓතිහාසික වාමාංශයේ රැඩිකල්-හරණයේ ආරම්භය ලෙස සැලකිය හැකිය. 1977 දී නව-ලිබරල් හෙජමොනික ව්‍යාපෘතිය ආරම්භ වූ පසුව වාමාංශික පක්ෂයක් මැතිවරණ මගින් ආණ්ඩු බලය අත්පත් කරගැනීම යන්න මේ තාක් කල් ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ කිසිදාක වියහැකියාවක් ලෙස සටහන් වූයේ නැත.
2024 ජනාධිපතිවරණයේ නිමේෂය තුළ සිදුව ඇති ඓතිහාසික පරිවර්තනය එයයි. තවමත් තමන් මාක්ස්වාදී යැයි හඳුනාගන්නා ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාධර පක්ෂය කේන්ද්‍ර කොට ගනිමින් ගොඩ නගන ලද ස්වරූපයෙන් වාම-ලිබරල් හැඩයක් ගත් දේශපාලන ව්‍යාපාරයක් අතට මැතිවරණ ක්‍රියාවලිය ඔස්සේ සාමකාමීව ආණ්ඩු බලය මාරු වනු ඇතැයි මීට දෙවසරකට පෙර පෙරදැකිය හැකි වූයේ කා හටද? සැබවින්ම එය එසේ විය හැකි වූයේ 2022 මහජන නැගී සිටීමෙන් පසුවය. එම මහජන නැගී සිටීම කෙරෙහි ජවිපෙ/ජාජබ නායකත්වයේ ආරම්භක ප්‍රතිචාරය වැනෙනසුළු සහ නිශේධනාත්මක එකක් පවා වූ බව සැබවි. නමුත්, එතෙක් පාෂාණභූතව පැවති ලාංකේය දේශපාලනයේ මාෆියා/ප්‍රභූ ආධිපත්‍ය සෙලවීමකට ලක් කොට නව දේශපාලන ව්‍යාපාරයක් අතට බලය මාරු වීමේ තත්ත්වයන් සකසන ලද්දේ 'අරගලය' විසිනි.
අරගලයෙන් පසුව යළිත් තම බලය ප්‍රතිස්ථාපනය කරගන්නට මෙරට දේශපාලන-ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තිය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ කොතෙක් ප්‍රයත්න දැරුවද, අරගලයෙන් ප්‍රකාශිත මහජන අභිලාෂයන් යටපත් කරන්නට එය සමත් වී නොමැත. මීට සමාන ඓතිහාසික සදෘෂ්‍යයක් අපට ඇත්නම්, ඒ 1953 හර්තාලයෙන් පසුව '56 දේශපාලන පරිවර්තනය පැමිණීමය. අවස්ථා දෙකේදීම අරගලයෙන් ප්‍රකාශිත අභිලාෂයන් මැතිවරණ ක්‍රියාවලිය තුළ ප්‍රතිනිර්මාණය වන්නේ දෘෂ්ටිවාදී පරිවර්තනයකට හා රැඩිකල්-හරණයකට ලක් වීය. 2011 වර්ෂයේ සිට එක්සත් ජනපදයේත් එක්සත් රාජධානියේත් නගර අල්ලා ගැනීමේ මහජන ව්‍යාපාර තුළින් පැන නැගුණු විරෝධතා දේශපාලනයේ රළ ධාරාව විසින් පිළිවෙලින් බර්නි සැන්ඩර්ස්ගේ සහ ජෙරමි කෝබින්ගේ වාමාංශික ජනතාවාදයේ නැගීම සඳහා මාවත ඉදි කරදුන් පරිදිමය.
අරගලයෙන් ප්‍රකාශිත මහජන අභිලාෂය වූයේ මෙරට ආර්ථික විවෘතකරණයෙන් පසුව වේගයෙන් වර්ධනය වී රාජ්‍යයේ කේන්ද්‍රයේ සිට පරිවාරය දක්වා පැතිරුණු මාෆියා/ප්‍රභූ බල ජාලයේ බලය බිඳ හෙළීම පමණක් නොවේ. සියළුම ප්‍රධාන ධාරාවේ පක්ෂවල නිල දෘෂ්ටිවාදය තුළ නොතකා හරින ලද රාජ්‍ය-සුභසාධනය පිළිබඳ අවශ්‍යතාව වසර ගණනක් පුරා වසංගතයෙන්ද ඉනික්බිති ආර්ථික අර්බුදයෙන්ද බැට කෑ පහළ පාන්තික ජනතාව තුළ නිසැකයෙන්ම තිබෙන්නට ඇත. පාවුලෝ ජර්බාඩෝ පෙන්වාදෙන පරිදි, බහු-විධ අර්බුදයකට මුහුණ දෙන ජන සමාජයක් තුළ ආර්ථික හා සමාජයීය සුරක්ෂිතතාව උදෙසා වූ ප්‍රති-රැල්ලක් නිර්මාණය වේ. රාජ්‍ය-සුභසාධනයේ අවශ්‍යතාව වනාහී ලාංකේය 'ඓතිහාසික වාමාංශය' කෙරෙන් අඛණ්ඩව ගලා එන පොදුජන අවබෝධයකි (common sense). 1960 දශකයේදී මාක්ස්වාදී වාමාංශය සිංහල-බෞද්ධ ජාතිකවාදයේ මාධ්‍යමික ධාරාව සමග සන්ධානගත වීමෙන් නිර්මාණය වූ 'වාම-ජාතිකවාදී' කතිකාව තුළ එය කේන්ද්‍රීය අංගයකි.
මෙම වාම-ජාතිකවාදී පොදුජන අවබෝධයට පසුකාලීනව රාජපක්ෂ ව්‍යාපෘතිය විසින් ආමන්ත්‍රණය කරනු ලැබුවේ සුභසාධනය වෙනුවට අනුග්‍රාහක දේශපාලනය ආදේශ කරනු ලැබීමෙනි. දැන් ජවිපෙ/ජාජබ ව්‍යාපෘතිය වටා බහුජන මට්ටමින් සංවිධානය වෙමින් සිටින විශාල ජනතාවක් රාජපක්ෂ හෙජමොනියෙන් බිඳී ගිය අයවලුන් වීම මේ අනුව පුදුමයට කරුණක් නොවේ. එසේම, පසුගිය කාලය පුරාම ජවිපෙ පුළුල් මහජන සහයෝගයක් දිනාගැනීමේ උපක්‍රමික අරමුණ සහිතව තම වාමාංශික සංකේතීය මුහුණුවර ආවරණය කොටගෙන වාම-ලිබරල් හැඩයක් ගන්නට ප්‍රයත්න දැරුවද, සමාජ මනෝ විද්‍යාත්මක තලයක් තුළ එය කෙරෙහි වන මහජන ආකර්ෂණය සඳහා එහි ඓතිහාසික වාමාංශික උරුමය මහෝපකාරී වී ඇතැයි පැවසීම සාධාරණය.
වාමාංශික පිවිතුරුවාදය සහ හෙජමොනික දේශපාලනය
මෙලෙස ගොඩ නැගෙමින් පවතින මධ්‍ය-වාමාංශික ජනතාවාදී දේශපාලනය කෙරෙහි ප්‍රතිචාර දැක්වීමේදී අප විප්ලවවාදී මාක්ස්වාදී දේශපාලනය තුළ ඓතිහාසිකව විකාශනය වෙමින් ආ එක්තරා ප්‍රවණතාවක් (සහ මානසික පුරුද්දක්) කෙරෙන් ඛණ්ඩනය විය යුතුය යන්න අපගේ අදහසයි. එනම්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රතිසංස්කරණවාදය, සුළු ධනේශ්වර සමාජවාදය යනාදී නම්වලින් හඳුන්වන ලද්දා වූ වාමාංශයේ මාධ්‍යමික ධාරා නිසඟයෙන්ම ප්‍රතිගාමී ඒවා ලෙස දකිමින් බැහැර කිරීමේ නැඹුරුතාවයි. බොහෝ විට එවන් මධ්‍ය-වාමාංශික නියෝජනයන් හැඳින්වීම සඳහා විප්ලවවාදී මාක්ස්වාදී වාමාංශය විසින් යොදා ගන්නා ලද යෙදුම වූයේ 'ව්‍යාජ-වම' යන්නයි. මෙම වාමාංශික පිවිතුරුවාදී කියා පෑම විසින් සමස්ත වාමාංශය කෙරෙහිම ඇති කරන ලද විනාශකාරී බලපෑම සඳහා කදිම නිදසුනක් වන්නේ 1920 සහ '30 දශක තුළ යුරෝපයේ ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ බොහොමයක් මාක්ස්වාදී නායකත්වයන් සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් සමග එක් පෙරමුණකට පැමිණීමට අසමත් වීමයි. ඇතැම්විට, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය 'සමාජ ෆැසිස්ට්වාදයක්' ලෙස හඳුන්වන ලදී; ඒ අතර, පරස්පර විරෝධී ලෙස, ෆැසිස්ට්වාදයේ නැගීම විසින් ධනවාදයේ නග්න ස්වරූපය කම්කරුවන්ට පසක් කරනු ඇත තර්කය යටතේ එය විප්ලවය ඉක්මන් කරන්නා වූ වර්ධනයක් ලෙස පවා අර්ථකථනය කරන ලදී.
මෙම ආන්තික තේරුම් කිරීම්වල ප්‍රතිපලය වූයේ ෆැසිස්ට්වාදයට එරෙහි ශක්තිමත් දේශපාලන කඳවුරක් නිර්මාණය කරගන්නට යුරෝපීය වාමාංශය පොදුවේ අසමත් වීමයි. නොඑසේනම්, ඒ සඳහා බරපතල ලෙස ප්‍රමාද වීමයි. (වත්මන් ලාංකේය සන්ධර්භය තුළ මධ්‍ය-වාමාංශික ජනතාවාදය සහ රැඩිකල් වාමාංශය අතරැති සම්බන්ධය/ගැටුම ෆැසිස්ට්වාදය පැවති යුගයේ යුරෝපයේ වාම දේශපාලනයේ ධාරා සමග රූපිකව ගැලපීමක් මෙයින් කිසිසේත් යෝජනා නොකෙරේ).
යුරෝපයේ සමාජ-ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පක්ෂවල පසුකාලීන විකාශනය දෙස බලන විට ඒවා ධනවාදී හෙජමොනිය සමග කොතරම් දුරට අනුගත වී තිබේද යන්නත් සමාජ විමුක්ති අභිලාෂවලින් පරාරෝපණය වී තිබේද යන්නත් රැඩිකල්-හරණයට ලක්ව තිබේද යන්නත් තියුණු ලෙස පෙන්වා දෙන්නට වාමාංශික පවිත්‍රතාවාදය වෙනුවෙන් පෙනී සිටින න්‍යායවේදීන් නිසැකවම සමත් වනු ඇත. නමුත්, ඒ අතරම මිනිස් ඉතිහාසයේ අන් කිසිදු කලෙකවත් අත්දැක නොතිබූ අයුරින් පොදු අධ්‍යාපනයේ ව්‍යාප්තියක්, පොදු සෞඛ්‍ය සේවයේ දියුණුවක්, පොදු ප්‍රවාහනය ඇතුළු රාජ්‍ය සුභසාධන සේවාවල වර්ධනයක්, ජනතා ස්වාධිපත්‍යයේ බලය ව්‍යාප්ත වීමක්, මහජන පරිමණ්ඩලයේ සක්‍රියතාවක් විසිවන සියවස තුළදී නිර්මාණය වූයේ නම්, ඒ සඳහා සමාජ-ප්‍රජාතාන්ත්‍රික වාමාංශයේ විශාල දායකත්වයක් තිබූ බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. මෙම වර්ධනයන් වනාහී අවසන් අරුතින් ධනවාදී ක්‍රමය තුළම සිදු කෙරෙන ක්‍රමික හා සීමිත ප්‍රතිසංස්කරණ වන්නේය යන අරුතින් ධනවාදයට සේවය කරන ඒවා යැයි තර්ක කරන වාමාංශික න්‍යායවේදීන් සිටිත් නම්, ඔවුන් වඩාත් සමීප වනු ඇත්තේ සමාජවාදය පිළිබඳ වියුක්ත විශ්වීයවාදයකට මිස සැබෑ ලෝකයේ සැබෑවට පවත්නා ප්‍රතිවිරෝධතා සමග ගැටෙන සංයුක්ත විශ්වීයවාදයකට නොවේ.
භාෂාමය ලෝකයේ කොතරම් විප්ලවීය යැයි පෙනී සිටියද සැබෑවට පවතින සමාජ බල සම්බන්ධතා කෙරෙහි අබමල් රේණුවක බලපෑමක් කිරීමට අසමත් වන්නා වූ විප්ලවීය න්‍යායක් යනු මනෝරාජික සමාජවාදයට කිව හැකි තවත් නමක් පමණි. මේ අරුතින් ගත් කල දේශපාලනයේ අති-රැඩිකල්කරණය සැබවින්ම දිශානත වන්නේ නිර්-දේශපාලනීකරණය දෙසටය; සැබෑවට පවතින හෙජමොනික අරගලයෙන් පළා යාමක් දෙසටය.
ලාංකේය වාම-ජනතාවාදයේ විභවතා සහ සීමා
යානීස් ස්ටව්රකාකිස් පෙන්වා දෙන පරිදි වාමාංශික ජනතාවාදී දේශපාලනයට ඇත්තේ ලොව පුරා දක්ෂිණාංශික ජනතාවාදයේ නැගීමට එරෙහි උපායමාර්ගික වටිනාකමකි. සමාජ විමුක්ති දේශපාලනයේ දෘෂ්ටියෙන් ගත් කල එය කිසිසේත් අවසාන නිෂ්ටාව නොවේ. බොහෝ විට විප්ලවවාදී නොහොත් රැඩිකල් වාමාංශික ධාරාවන් විසින් නොතකා හරිනු ලබන ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණවල තලය තුළ වාම-ජනතාවාදයේ ප්‍රගතිශීලී වටිනාකමක් ඇත. විශේෂයෙන්ම ජනවර්ගවාදී හෝ ආගම්වාදී පසමිතුරුතා අක්ෂයක් වටා ජාතික දේශපාලන දේහය බෙදනු ලබන දක්ෂිණාංශික ජනතාවාදයට (නිදසුනක් ලෙස, ලංකාව තුළ රාජපක්ෂ ව්‍යාපෘතිය) වෙනස්ව, ආර්ථික හා සමාජ පීඩනය ආශ්‍රිත ගැටළු කේන්ද්‍ර කොට ගනිමින් 'ප්‍රභූ තන්ත්‍රය එරෙහිව ජනතාව' යන පසමිතුරුතා අක්ෂය වටා දේශපාලනය සංවිධානය කිරීම වාම-ජනතාවාදයේ සාධනීය ලක්ෂණයකි. පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක යාපනයේ ජනතාව අමතමින් කළ කතාවකදී දකුණේ ජනතාව ලක්ෂ ගණනින් සහභාගී වී සිදු කරන්නට යන ඓතිහාසික පරිවර්තනයට දායක වන්නැයි කළ ආරාධනය මේ අරුතින් වටහාගත යුත්තේ ජනවර්ගවාදය පදනම් කරගත් පසමිතුරුතා අක්ෂය වෙනුවට ප්‍රභූ තන්ත්‍ර විරෝධී පසමිතුරුතා අක්ෂයක් ආදේශ කිරීමේ සන්ධර්භය තුළය.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ජයග්‍රහණයක් විසින් ලංකාවේ ප්‍රජාතාන්ත්‍රීයකරණය සම්බන්ධයෙන් කිසියම් සීමිත නමුත් වැදගත් වර්ධනයක් අපේක්ෂා කළ හැකි වන්නේ එය මෙරට සංස්ථාපිත මාෆියා-ප්‍රභූ තන්ත්‍රයට පිටතින් ගොඩ නැගෙන බලයක් වීම නිසාය. මෙම ප්‍රභූ තන්ත්‍රයේ බල ජාලය රාජ්‍යයේ ඉහළම තලයේ සිට ප්‍රාදේශීය සභාව සහ ග්‍රාම නිළධාරී වසම දක්වා ව්‍යාප්ත වී පවතින්නකි. යම් හෙයකින් අනුර දිසානායක ජයගත හොත් ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණයක්, පළාත් පාලන මැතිවරණයක් සහ පළාත් සභා මැතිවරණයක් අනුක්‍රමයෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මාෆියා/ප්‍රභූ තන්ත්‍රයේ බල ජාලය සෝදා යනු ඇත්තේ එවිටය. ඒ සමගම ලාංකේය වත්මන් දේශපාලන බල තුලනයේ තවත් වැදගත් පරිවර්තනයක් අපේක්ෂා කළ හැකිය. එනම්, සිංහල-බෞද්ධ වාර්ගික අන්ත-ජාතිකවාදී දේශපාලනයේ ප්‍රධාන පෙළේ නියෝජනයන් සියල්ල මැතිවරණ ක්‍රියාවලිය ඔස්සේ අතු ගෑවී යාමයි. දැන් අපකීර්තියට පත්ව ඇති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මුද්‍රාව යටතේ ගොණු වී සිටින අන්තවාදී නායකත්වයන්ගේ දේශපාලනික අවලංගු වී යාමක් සඳහා වඩාත්ම ඉවහල් වනු ඇත්තේ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය යි. වත්මන් ආර්ථික ක්‍රමයේ මූලධාර්මික පරිවර්තනයක් ඇති කිරීම අනාගත ජාජබ පාලනයක් යටතේ අපේක්ෂා කළ නොහැකි වුවත් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ඇතුළු රාජ්‍ය සුභසාධන ව්‍යුහයන් දුර්වල කිරීමේ න්‍යාය පත්‍රයක් සහිතව වැඩ කරන ප්‍රධාන පෙළේ දක්ෂිණාංශික අපේක්ෂකයින් දෙදෙනාට සාපේක්ෂව ගත් කල එහි කිසියම් ජනතාවාදී විභවයක් පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
නමුත්, දැන් අධිපතිව පවත්නා ආර්ථික ප්‍රතිපත්ති රාමුවෙන් ඔබ්බට යාමක් ඉදිරි ජනාධිපතිවරණයෙන් කවර අපේක්ෂකයෙකු බලයට පත් වුවත් අපට අපේක්ෂා කළ නොහැකිය. එම ආර්ථික ප්‍රතිපත්ති රාමුව සමග අත්‍යන්තයෙන් බැඳී පවතින භූ-දේශපාලනික සබඳතා තලයෙහිද වෙනසක් අපේක්ෂා නොකළ යුතුය. අයි.එම්.එෆ් වැඩ පිළිවෙළ සමග ගැට ගැසී පවතින ඇමෙරිකානු-ඉන්දීය අක්ෂයේ භූ-දේශපාලනික අභිලාෂයන් සමග අනුගතව වැඩ කරන්නට අනාගත අනුර දිසානායක පාලනයකට පවා සිදු වනු ඇත. එක් අතකින්, පුළුල් ජන වරමක් සහිත නව පාලනයක් සමග තම වැඩ පිළිවෙල පෙරට ගෙන යන්නට ගෝලීය හා කලාපීය දේශපාලන-ආර්ථික බලවතුන් වඩා කැමති වනු ඇත. ලංකාව අභ්‍යන්තරයෙහි සිදුවන මාෆියා-ප්‍රභූ තන්ත්‍රයක බලය ගිලිහීම වික්‍රමසිංහ-ප්‍රේමදාස කඳවුරුවලට ගැටළුවක් වුවද, එය දිගුකාලීන භූ-දේශපාලනික න්‍යාය පත්‍රයක් සහිතව ක්‍රියාත්මක වන ගෝලීය බලවතුන්ගේ උත්සුකයක් වන්නට හේතුවක් නැත. වත්මන් යුගයේ හුදෙක් ආණ්ඩු මාරුවක් මගින් පරිවර්තනයට ලක් නොවන්නා වූ ගැඹුරු-රාජ්‍යය (deep state) සකස්ව ඇත්තේ හුදෙක් දේශීය බල සම්බන්ධතා අනුව පමණක් නොව ගෝලීය දේශපාලන-ආර්ථික බල සම්බන්ධතා අනුවය. මේ අනුව, ඉදිරි ජනාධිපතිවරණයෙහි ප්‍රතිපලයක් ලෙස සිදුවන්නට හැකි ප්‍රතිසංස්කරණවල සීමිත බව ඉතාම පැහැදිලිය. ජනාධිපතිවරණයෙහි ප්‍රතිපලය කුමක් වුවත් රැඩිකල් වාමාංශය ඇතුළු ප්‍රගතිශීලී බලවේග විසින් පෙරට ගෙන එනු ලබන 'සිස්ටම් චේන්ජ්' දේශපාලනයෙහි වලංගුතාව සහ අවශ්‍යතාව කෙසේවත් අහෝසි වනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත.
නමුත්, ඇතැම් රැඩිකල් වාමාංශික නායකත්වයන් දකින්නට පෙළඹී ඇති පරිදි ජාජබ ජයග්‍රහණයක් යනු 'ක්‍රම වෙනසක්' සඳහා වූ දේශපාලනය නැතහොත් සමාජය වෙනස් කිරීම ඉලක්ක කරගත් දේශපාලනය සඳහා ඇති අවකාශය අවහිර කරන්නක්ය යන්න අප පිළිගන්නේ නැත. ඒ වෙනුවට මේ මොහොතේදී මෙරට ගතානුගතික පාලක මාෆියා/ප්‍රභූ තන්ත්‍රයේත්, අන්ත-ජාතිකවාදී ධාරාවලත් බලය බිඳ වැටීම විසින් දේශපාලන, සමාජයීය, සංස්කෘතික සහ බුද්ධිමය තලයන්හි පරිවර්තනීය දේශපාලන ප්‍රවණතාවල පැන නැගීම සඳහා වාසි සහගත වාතාවරණයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. රැඩිකල් වාමාංශය විසින් ගත යුතුව තිබූ වඩා පරිණත හා බුද්ධි ගෝචර තෝරාගැනීම විය යුතුව තිබුණේ තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වෙනුවට ජාජබ තුළ නියෝජනය වන ප්‍රජාතාන්ත්‍රික ජනතා අපේක්ෂාවන්ට ආමන්ත්‍රණය කරන්නා වූත් ජාජබහි සීමාවන්ගෙන් ඔබ්බට එම අපේක්ෂාවන් රැගෙන යන්නා වූ, නැතහොත් ඒවා රැඩිකල්කරණය කරන්නා වූත් මගක් ගැනීමය යන්න අපගේ අවබෝධයයි. ඒ මග ගත්තේ නම් ඉදිරියේ එන මැතිවරණවලදී ස්වකීය රැඩිකල් වාමාංශික ඉදිරි දැක්ම පවත්වා ගන්නා අතරම වඩා පුළුල් ජනතා ආකර්ෂණයක් දිනාගන්නට එය සමත් වන්නට ඉඩ තිබුණි.
ඉදිරි ජාජබ පාලනයක වියහැකියාව හමුවේ රැඩිකල් වාමාංශික දේශපාලනයක වලංගුතාව සඳහා ඇති තවත් හේතුවක් වන්නේ මැතිවරණ මගින් බලය දිනාගැනීමේ ප්‍රයත්නයේදී ජාජබ නිරත වෙමින් සිටින සම්මුතික දේශපාලනය යි. මෙය සැසඳිය හැක්කේ 1960 දශකයේදී මෙරට පැරණි මාක්ස්වාදී වාමාංශය ශ්‍රීලනිපය සමග වූ සන්ධාන දේශපාලනය තුළ ස්වකීය ආරම්භක ප්‍රතිපත්තිමය ස්ථාවරයන් සම්මුතිගත කිරීමත්, එමගින් අවසානයේදී තමන්වමත් පරිවර්තනයට ලක් කර ගැනීම සමගය. මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දී පරිදි වත්මන් මොහොතේ පොදුවේ ප්‍රභූ තන්ත්‍රයට එරෙහි පොදුජන නැගී සිටීම මගින් ප්‍රකාශයට පත්වෙමින් තිබෙන්නේ බොහෝ කලක් තිස්සේ මෙරට දේශපාලනික සමාජ දේහය පුරා සිදුවෙමින් පැවති අණුක පරිවර්තනවල බලපෑමයි. උයන්ගොඩගේ විශ්ලේෂණය පිළිගන්නා අතරම මෙරට ක්‍රම විරෝධී දේශපාලනයේ නිරත කණ්ඩායම්වල සේම ජාජබ තුළම සිටින වාමාංශික කොටස්වල පවා අවධානයට ලක් විය යුතු තවත් ආකාරයක අණුක පරිවර්තනයක් පවතින බැව් අපගේ අදහසයි. එනම්, වාමාංශික කේඩර පක්ෂයක සිට බහු-පන්තික ජනතා ව්‍යාපාරයක් දක්වා පරිණාමය වීමේ ගමන් පථය තුළදී ජවිපෙ/ජාජබ කොතරම් අණුක පරිවර්තනයන්ට ලක් වී ඇත්ද යන්නයි. සමාජ බලවේග සේම ඒවාට නායකත්වය දෙන දේශපාලන ඒජන්තයින්ද අණුක පරිවර්තනයන්ට ලක් විය හැකිය. එබැවින් අනාගතයේදී ඇතැම් විට විපාක්ෂික දේශපාලනයේ නියෝජිතයෙකුගේ සිට රාජ්‍ය පාලකයෙකු දක්වා පරිවර්තනය වීමේ ක්‍රියාවලිය තුළ ජාජබ කොතරම් පරිවර්තනයන්ට ලක් විය හැකිද යන ප්‍රශ්නය මතු කිරීම මේ නිමේෂයේදී වැදගත්ය.
එවන් සන්දර්භයක් තුළ ජනතාවගේ විමුක්ති දේශපාලන අභිලාෂයන් නියෝජනය කරන්නා වූද, අයි.එම්.එෆ් මැදිහත්වීම ඇතුළු දක්ෂිණාංශික ආර්ථික තෙරපුම්වලට එරෙහි ප්‍රති-බලයක් ගොඩ නගන්නා වූද, කලාපීය හා ගෝලීය බලවතුන්ගේ අභිලාෂයන්ට එරෙහි පොදුජන අභිලාෂයන් වෙනුවෙන් අරගල කරන්නා වූද, මහජනයාගේ සෘජු ප්‍රජාතාන්ත්‍රික ආයතන (මහජන කවුන්සිල වැනි) ගොඩ නැගීම ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක් වෙනුවෙන් වැඩ කරන්නා වූද, පොදුවේ ධනවාදී ශිෂ්ටාචාර අර්බුදය හමුවේ නව මානවීය/පාරිසරික ශිෂ්ටාචාරමය වෙනසක නිෂ්ටාව උදෙසා අරගල කරන්නා වූද රැඩිකල් දේශපාලනයක අවශ්‍යතාව අන් කවරදාටත් වඩා තදින් දැනෙනු ඇත. අප පරිකල්පනය කරන සහශ්‍රක සමාජවාදයේ මාවත වැටී ඇත්තේ එවන් බහු-විධ සමාජ විමුක්ති දේශපාලනයක ඉදිරි දර්ශනය ඔස්සේය. මැතිවරණ දේශපාලනය තුළ සිදුවන සාපේක්ෂ හා සීමිත ප්‍රජාතාන්ත්‍රික වෙනසක් අවශ්‍යයෙන්ම ඒ මාවතට බාධකයක් වනු ඇතැයි අප නොදකින්නේ විප්ලවීය පරිවර්තනයේ පූර්ව-අවශ්‍යතාවක් ලෙස පවත්නා තත්ත්වය මහා ව්‍යසනකාරී අන්තයකට ඇද වැටිය යුතුය යන විශ්වාසය අප බෙදා නොගන්නා නිසාය.
'සහශ්‍රක සමාජවාදය සඳහා කතිකාව' වෙනුවෙන්
සුමිත් චාමින්ද සහ විදර්ශන කන්නන්ගර