වමේ සිතුම් සමහරක්

කොරෝනා වසංගතය විසින් මතු කර ඇති නව ගෝලීය අර්බුදය නව ලිබරල්වාදයේ හා ධනවාදී ගෝලීයකරණයේ අවසානයක් කරා දියත් කළ හැකි වෙයිද ?.. ලොව පුරා වන වාම-ප්‍රගතිශීලී පාර්ශවයන්ගේ පැතුම එයයි. වාම බුද්ධිමතුන් හා වාම චින්තන ව්‍යාපාර මේ මොහොතේ සීරුවෙන් ඒ දෙස බලා සිටියි. පුරෝකථනයන් හා නිරීක්ෂණයන් අවදි වී තිබෙයි.

2007,08 ගෝලීය මූල්‍ය අර්බුදය විසින් ධනේෂ්වර ක්‍රමයේ බිදවැටීම ඉක්මන් කරනු ඇතැයි එවක සැලකිය යුතු තරමේ වාමගාමීහු අපේක්ෂා කළහ. එහෙත් ධනවාදය හා නව ලිබරල්වාදය යළිත් වරක් ගලවා ගැනීමට ලෝක ධනේෂ්වර නියෝජනයන් සමත් විය.

එහෙත් එළඹ ඇති මේ කොරෝනා මොහොත 2008,09 මූල්‍ය අර්බුදයට නොව 1920 දශකයේ අග මතු වූ මහා ආර්ථික අවපාතයටද වඩා බලවත් හා සංකීර්ණ බව කියැවේ. සමාජ හිමිකම හා ආර්ථික බලයේ ප්‍රජාතන්ත්‍රීයකරණය සදහා සියවසකින් හෝ නොපැමිණෙන නිමේෂයක් කොරෝනා විසින් උදා කර ඇතැයි වාමගාමීන් සිතන්නේ එබැවිනි.

''කොමියුනිස්ට් නම් වූ අදහස ගැන අවම අර්ථයක අදාළත්වය මතු කිරීමට කොරෝනා මොහොත හේතු වී ඇතැයි කීර්තිමත් දාර්ශනික ස්ලේවෝ ශීශෙක් ආරම්භයේදීම අදහස් දක්වා ඇත.''

කොමියුනිස්ට් නම් වූ අදහස ගැන අවම අර්ථයක අදාළත්වය මතු කිරීමට කොරෝනා මොහොත හේතු වී ඇතැයි කීර්තිමත් දාර්ශනික ස්ලේවෝ ශීශෙක් ආරම්භයේදීම අදහස් දක්වා ඇත. මහජන සෞඛ්‍යය පිළිබද දැක්මෙන් ගෝලීය වශයෙන් සම්බන්ධීකරණය වූ ජාතික රාජ්‍ය සීමා විනිවිද යන පොදු සෞඛ්‍ය සේවයක වියහැකියාව සම්බන්දයෙන් ඔහු දක්වා ඇති අදහස මෙහිදී සිහිපත් කළ හැකිය.

 

ප්‍රංශ ආර්ථික න්‍යායධර තෝමස් පිකෙටි:

ධනය සමාජ සමානාත්මතා පදනමින් රැඩිකල් ලෙස යළි බෙදා හැරීමක් අවධාරණය කරන ප්‍රංශ ආර්ථික න්‍යායධර තෝමස් පිකෙටි කියන්නේ කොරෝනා අර්බුදය තුළ රජය ආර්ථිකය කරා දැඩි මැදිහත් වීමක් කරමින් ජනතාවාදීව නියාමනය කිරීමේ හැකියාව පෙන්නුම් කළ යුතු බවයි.

 

කැනේඩියානු චින්තිකාවක් වන නයෝමි ක්ලයින්:

ධනවාදී ගෝලීයකරණයට එරෙහි කැනේඩියානු ක්‍රියාකාරී චින්තිකාවක් වන නයෝමි ක්ලයින් පවසන්නේ කොරෝනා අර්බුදය යම් අයුරක ‘පරිනාමීය පිම්මකට’ (evolutionary leap) උත්තේජනයක් විය හැකි බවයි.

එනම් 1920 දශකයේ අග ඇති වූ මහා අවපාතය ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් ගේ ‘නව ගනුදෙනුවට’ (New Deal) හේතු වූ පරිදි මෙම කොරෝනා වසංගතය විසින් ‘හරිත නව ගනුදෙනුවක්’ (Green New Deal) සදහා අවස්ථාව උදාකර ඇති බවයි.තව දුරටත් ඇයගේ වචන මෙසේය.

“ඉතිහාසය අපට උගන්වන එක් දෙයක් තිබේනම් එය වනාහී මෙවැනි කම්පන අවස්ථා ගැඹුරු ලෙසම ස්ථිර නොවේය යන්නයි.එක්කෝ අපගේ පොළොව අපට නැති වී,ප්‍රභූ පංතීන්ට හසුව දශක ගණනක් තිස්සේ ඊට මිල ගෙවන්නෙමු..එසේ නොවේනම් සති කිහිපයකට පෙර කළ නොහැකි යැයි පෙනුණු ප්‍රගතිශීලී ජයග්‍රහණ දිනා ගන්නෙමු..මෙය අපගේ අවදි සිහිය නැති කරගැනීමට කාලය නොවෙයි.අනාගතය තීරණය කෙරෙනු ඇත්තේ එකී සිය අදහස් සදහා දෘඪ ලෙස සටන් කිරීමට කැමති අය විසිනි”

 

ජර්මානු චින්තිකා උල්රික් හර්මන්:

උල්රික් හර්මන් නම් වූ ධනේෂ්වර විරෝධී ජර්මානු චින්තිකාව  ” කොරෝනා දකින නව ලිබරල්වාදයේ ඉර බැසයාම, න්‍යායක අවසානය” නම් වූ ලිපියක් ලියමින් 80 දශකයේ මුල සිට බටහිර ලෝකයේ ආධිපත්‍යය දැරූ “නව ලිබරල් දෘෂ්ටිවාදය” කොරෝනා වසංගතය විසින් මිහිදන් කරනු ඇතැයි බලාපොරොත්තු පළකරයි.

Margaret Thatcher Ronald Reaganමාග්‍රට් තැචර් - රොනල්ඩ් රේගන්

නව ලිබරල් යුගයේ ඇරඹුම තුළ බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර් පැවසුවේ ‘සමාජය නම් වූ දෙයක් නොපවතීය යන්න හා අප යනු තමා ගැනම සැලකිලිමත් යැයි සිතන හුදු පුද්ගලයන් පමණීය’ යන්නයි.. නව ලිබරල්වාදයේ අනෙක් කුප්‍රකට නායකයා වන රොනල්ඩ් රේගන් එවක පැවසුවේ ‘ අප මුහුණ දෙන ගැටළුවට විසදුම රජය නොවෙයි., රජයම ගැටළුව වේය’ යන්නයි.

නිදහස් වෙළද පොළ අත්පත් කරගැනීම සදහා රාජ්‍යය හකුළුවා ලීම, විශ්‍රාම වැටුප් අරමුදල් පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය වත්කම් විකුණා දැමීම, ධනවතුන් සදහා බදු අඩුකිරීම ඇතුළු පොදු ජනතා අයිතිවාසිකම් දැඩි ලෙස කප්පාදු කිරීම් නව ලිබරල් දහමේ මූලික ශික්ෂාවන් විය.

එහෙත් ජර්මානු චින්තිකා උල්රික් හර්මන් පවසන්නේ සහයෝගීතාවය සදහා රාජ්‍යයම මිස අන් විකල්පයක් නැති බවයි. 2008, 09 මූල්‍ය අර්බුදය ඉදිරිපිට මෙකී පාඩම පෙරමුණට ගත හැකිව තිබුණත් සරල මවා පෑම් හරහා සිය න්‍යායන් හා පද්ධතිය ආරක්ෂා කරගැනීමට නව ලිබරල්වාදීන් සමත් වූ බව ඇය කියා සිටියි. එවක අධික ලෙස ණය ලබා ගෙන ඇත්තේ රජයන් විසින් බවත් ඊට අධික ලෙස බැංකු විසින් ණය සැපයීම හරහා රාජ්‍ය මූල්‍ය ක්‍රමයන් සංකීර්ණ ණය අර්බුද උගුලක හි‍ර වූ බවට වන ප්‍රවාදය ඇය සිහිපත් කර සිටියි.

ඇය තවදුරටත් පවසන්නේ කොරෝනා වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක වලක්වා ගැනීමට  ‘වෙළදපොළට’ නොහැකි බව සැමටම පසක් වී ඇති බවත් සැමගේම පොදු අයැදුම වන්නේ රාජ්‍යය වෙතට පියවර තැබීම වන බවත්‍ ය.

 

රාජ්‍යයේ පියවර හා නව ලිබරල්වාදයේ අර්බුදය:

ගෝලීය ව්‍යසනයක් අභිමුව රාජ්‍යයේ භූමිකාව පිළිබදව වන මෙම සාධනීය අවධානයන්ට විවේචනාත්මක ප්‍රතිචාරයන්ද පවතී. විශේෂයෙන්ම මෙම කොරෝනා වසංගතය විසින් රාජ්‍යයේ අසමත් බව හෙළි වී ඇතැයි යන්න ඉන් ප්‍රකාශ කෙරෙයි.

නිදසුන් ලෙස ආපදා ආරක්ෂාව හා වසංගත සූදානම සම්බන්දයෙන් බොහෝ රටවල රාජ්‍යයන් අකාර්‍යක්ෂම හා දුර්වල වී ඇතැයි යන්න මින් අවධාරණය කෙරෙයි.

ඉන් ගම්‍ය කෙරෙන ඊළග අදියර වන්නේ එකී රාජ්‍යයන්ට මෙම වසංගතයන්ගේ පසු ඇතිවන බරපතල ආර්ථික-දේශපාලන කම්පනයන්ට ජනතා විමුක්තිවාදී මැදිහත්වීමක් කළ නොහැකි වන බවයි.

එවැනි සන්දර්භයක රාජ්‍යයේ මැදිහත්වීම උත්කර්ෂණය කිරීම විසින් සිදුවනු ඇත්තේ වත්මන් වසංගත අර්බුදය රාජ්‍ය අධිකාරීවාදී තන්ත්‍රයන් බලවත් වීමේ දිශාවට ගමන් කරනු ඇති බවයි. එවැනි රාජ්‍ය තන්ත්‍රයන් සිය අණසක වෙනුවෙන් වසංගත අර්බුදය ගසා කනු ඇති බවත්‍ ය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය හරහා 1980 සිට යුරෝපීය ප්‍රතිපත්ති සම්පාදනයේ ආධිපත්‍යය දැරූ නව ලිබරල්වාදයේ අභ්‍යන්තර අර්බුදය ඉස්මතු කර පෙන්වීය. එහෙත් ඉක්මන් විකල්පයක් නොමැති තත්වයක් තුළ අර්බුදය කළමණාකරනය කරගනිමින් නව ආරක්ෂාකාරී වටයක් අත් හදා බැලීම කරා නව ලිබරල්වාදයට හැරවුමක් ගත හැකි විය. මහජන සේවා හැකිළවීම,කප්පාදු ප්‍රතිපත්ති, දක්ෂිණාංශික අධිකාරී තන්ත්‍රයන්ගේ බිහිවීම හා ආදිය එහි ප්‍රතිඵල විය.

 

නව ලිබරල්වාදය වෙත යළි අභියෝගයක් !

කොරෝනා වසංගතය යනු නව ලිබරල්වාදය වෙත යළි අභියෝගයක් එල්ල කර ඇති ගෝලීය සංසිද්ධියකි. ඇමරිකා-බ්‍රිතාන්‍ය රටවල් දශක ගණනාවක් පුරා අත් හදා බැලූ පුද්ගලිකරණ හා වෙළදපොළකරණ නියාමනයන්ගේ බරපතල සීමාවන් මෙම ව්‍යසනය හරහා යළි කතිකාගත වෙමින් තිබෙයි.

වසංගතයෙන් නිර්මාණය කෙරෙන ආර්ථික අවපාතයන් පාලනය කිරීමට නව ලිබරල්වාදය සතු අසමත් කම පෙන්නුම් කරමින් තිබෙයි.  එළඹ ඇත්තේ ආර්ථික සැලසුම්කරණය,කාර්මික ප්‍රතිපත්ති හා නියාමන පාලනයන් සදහා වෙළදපොළ බලවේගයන් අසමත් වන යුග මොහොතකි.සවිමත් රාජ්‍ය සේවයක තීරණාත්මක වැදගත්කම හා ජනතාවාදී රාජ්‍ය නිලධරයක ප්‍රමුඛතාවය ගැන නව අවධානයක් පැන නැගෙමින් පවතී.

ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී රාජ්‍යයේ භූමිකාව පෙරමුණට පැමිණීම තුළ සාධනීය පැතිකඩක් ඇත. විශේෂයෙන්ම නව ලිබරල්වාදය ඉක්මවන වාමගාමී අපේක්ෂාවන්ට ඉන් දේශපාලන අනුප්‍රාණයක් සැපයේ. එහෙත් ධනවාදී ගෝලීයකරණය තුළ වන විවිධ සුවිශේෂීතාවයන්ට අදාළව රාජ්‍යයේ භූමිකාව වර්ධනය වීම ප්‍රගතිශීලී හැඩහුරුවක් ගනු ඇතැයි යන්න අනිවාර්‍යතාවයක් නොවෙයි.

 

සුපරික්ෂාවේ නව අධිකාරිත්වය:

''මේ වනවිට ලෝකයේ බොහෝ පාලන තන්ත්‍රයන් කොරෝනා වසංගතයට ආවරණය වී ආක්‍රමණශීලී සෝදිසි කිරීම් පන ගන්වමින් තිබෙයි. හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් දින නියමයකින් තොරව මැතිවරණ කල් තබා ඒකාධිපති බලතල අත් කරගෙන ඇත. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍ යාහු පාර්ලිමේන්තුව කැදවීම වලක්වන හදිසි නියෝගයක් පනවා තිබේ.''

මේ වනවිට ලෝකයේ බොහෝ පාලන තන්ත්‍රයන් කොරෝනා වසංගතයට ආවරණය වී ආක්‍රමණශීලී සෝදිසි කිරීම් පන ගන්වමින් තිබෙයි. හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් දින නියමයකින් තොරව මැතිවරණ කල් තබා ඒකාධිපති බලතල අත් කරගෙන ඇත. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍ යාහු පාර්ලිමේන්තුව කැදවීම වලක්වන හදිසි නියෝගයක් පනවා තිබේ.  

ලංකාවේ වත්මන් විධායක පාලනය එළඹ ඇති මහ මැතිවරණ කතිකාව සිය බලය සදහා අපයෝජනය කරන ආකාරය අමුතුවෙන් කිව යුතු නැත.  

නිරෝධායන නීති යටතේ යටතේ සිටින ඕනෑම කෙනෙකු සුපරික්ෂාවට ලක් කෙරෙන මුහුණු හදුනාගැනීමේ කැමරා ලක්ෂයක පමණ ජාලයක් මොස්කව් හි ස්ථාපිත කර ඇත.

සමාජය කෙරෙහි සිය ග්‍රහනය තීව්‍ර කිරීම සදහා මෙම වසංගත අර්බුදය උපයෝගී කරගෙන ඇත්තේ අධිකාරිවාදී පාලක ස්ථරයන් පමණක් නොවෙයි.

 

ගූගල් හා ඇපල් සමාගම් මෙහෙයුම :

ගූගල් හා ඇපල් සමාගම් එක්ව සෑම ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් දුරකථනයකම මෙහෙයුම් පද්ධතිය තුළ වෛරස් ට්‍රැකර් ලුහුබැදීමේ අඩවියක් වර්ධනය කරන බව දන්වා තිබෙයි. බොහෝ යුරෝපීය පාලන තන්ත්‍රයන් ජාතික නිරීක්ෂණ මෙවලම් ඉහළ නැංවීම සදහා එම සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කරන බව පෙනෙයි.

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය සමග එක්ව ගූගල් හා ඇපල් සමාගම් විසින් ජංගම දුරකථන යෙදුමක් වර්ධනය කිරීමට කටයුතු කරන අතර ඉන් ජනතාවගේ සංචලනය හා ආසාධිත පුද්ගලයන් සමග වන සම්බන්දතා පරික්ෂාවට ලක් කරන බව කියැවේ.

ඇමරිකාව, ජර්මනිය, ඉතාලිය හා චෙක් ජනරජයද ඔවුනගේම වූ නිරීක්ෂණ මෙවලම් වර්ධනය කරමින් ඇති බව වාර්තා වෙයි. කොරෝනා වෛරසය මුවාවෙන් චීනයේ පද්ධතිමය නිරීක්ෂණ ජාලයන් අප සිතනවාට වඩා ඉක්මනින් ඇමරි-යුරෝපය වෙත පැමිණිය හැකිය.

මෙවැනි නිරීක්ෂණ උපක්‍රම හදුන්වා දීමෙන් පසු ඒවා යළි ලිහිල් කිරීම ඉතා දුෂ්කර කෙරෙනු ඇත. “වසංගතයෙන් පසු පුරවැසියා හා රාජ්‍යය අතර ගොඩනගන නව සබදතාවය යළි කිසි දිනෙක වෙනස් නොවනු ඇතැයි”  රහස්‍යතා මෘදුකාංග සංවර්ධකයකු වන සෙන්ට්‍රික්ස් හි ප්‍රධාන විධායක පරාන් චන්ද්‍රසේකරන් මෑතකදී ටයිම්ස් පුවත්පතට පැවසීය.

සෝදිසි කිරීම් වැඩි කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දත්ත පරික්ෂා කිරීමට පුළුල් පරාසයක බලයක් ඉදිරි කාලය තුළ රාජ්‍යයන් විසින් අභ්‍යාස කරනු ඇති බවත් පෞද්ගලිකත්වය පිළිබද නව චින්තාවක් ඉන් නිපදවෙනු ඇතැයි ඔහු තව දුරටත් එහි දක්වා සිටියි.

 

වාමාංශික භූ දර්ශනය:

ඉදිරියේදී ඇමරි-යුරෝපය ඇතුළු ලෝකයේ අනෙකුත් කලාපයන් වලත් වාම-ප්‍රගතිශීලීන් ඉදිරිපිට ඇති භූමිකාව ඉතාම තීරණාත්මකය.ආර්ථිකයන් යළි විවෘත වන විට නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය පිළිබද තත්වයන් පැහැදිළිවම පෙර තිබූ තත්වයන්ට ආපසු යාමට ඉඩක් නොමැත.

සීමාකරණයන් හා ස්වයං පරික්ෂාවන්ගෙන් යුතු වූ ආර්ථික-දේශපාලන ජීවිතයක් අභ්‍යාස කිරීමට අපට සිදුවනු ඇත. එවැනි සම්මුතීන් සමග අනන්‍ය වීමට ජනයාට සිදුවන තත්වයක් තුළ වාම-ප්‍රගතිශීලීන්ගේ කර්තව්‍යය විය යුත්තේ පවත්නා සමාජ අසමානතාවයන් උපරිම ලෙස අවම කිරීම සදහා තවදුරටත් පෙරට පැමිණීමයි.

එවැන්නක න්‍යාය පත්‍රය කුමක් විය හැකිද ?.. ඇමරි-යුරෝ අත්දැකීම් ඇසුරෙන් ගත් විට ප්‍රගතිශීලී නව ආර්ථික හා දේශපාලන චින්තනයක් මෑත වසර කිහිපය තුළ මතු විය. සමාජ සධාරණත්වය,ආර්ථික සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය හා පාරිසරික තිරසර බව ඒකාබද්ධ කිරීම ඉන් අරමුණු විය. හරිත නව ගණුදෙනුවේ සිට ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් පුළුල් කිරීම දක්වා එම න්‍යාය පත්‍රය විහිදී යනු පෙනිණි.

ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස් හා බ්‍රිතාන්‍යයේ ජෙරමි කෝබින් යන ප්‍රකට නව වාමාංශික පක්ෂ නායකයන්ගේ සිට යුරෝපයේ බොහෝ රටවල පැන නැගුණු වාමාංශික ජනතා-ජනප්‍රියවාදී ව්‍යාපාරයන් මෙහිදී සිහිපත් කළ හැකිය.

මේ වන විට සැන්ඩර්ස් හා කෝබින් සිය නායකත්ව වේදිකාවෙන් බැසගොස් ඇති බවක් පෙනුනද එම අදහස් වල භෞතික නියෝජනයක් වන ප්‍රගතිශීලී විවේචක විකල්ප ප්‍රජාව සිය ජීවගුණය අත් හැර ඇතැයි කිසිසේත්ම කිව නොහැකිය. ධනවාදී ගෝලීයකරණයට එරෙහිව විවිධ ප්‍රවේශයන්ගෙන් මතු වූ මෙම යෞවන නැගිටීම් පශ්චාත් කොරෝනා තත්වය තුළ සිය මූලෝපායන් හා උද්ඝෝෂණයන් යාවත්කාලීන කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

 

දොරකඩ අසුබවාදය:

''කෙසේ වුවත් ඉක්මන් අනාගතය සුබවාදී නැත.1929,30 ගණන් වල ඇති වූ මහා අවපාතයෙන් පසු යුරෝපය තුළ දක්ෂිණාංශික මර්දනකාරී පාලන තන්ත්‍රයන් ඇති විය. ෆැසිස්ට්වාදය හා නාසිවාදය යන බිහිසුණු දේශපාලන ප්‍රකාශනයන්ට අනුහස් බලයක් හිමි වීම එහි නරකම උදාහරණයන් වේ.''

කෙසේ වුවත් ඉක්මන් අනාගතය සුබවාදී නැත.1929,30 ගණන් වල ඇති වූ මහා අවපාතයෙන් පසු යුරෝපය තුළ දක්ෂිණාංශික මර්දනකාරී පාලන තන්ත්‍රයන් ඇති විය. ෆැසිස්ට්වාදය හා නාසිවාදය යන බිහිසුණු දේශපාලන ප්‍රකාශනයන්ට අනුහස් බලයක් හිමි වීම එහි නරකම උදාහරණයන් වේ.

2007,08 ගෝලීය මූල්‍ය අර්බුදයට පසුව අධිකාරිවාදී දක්ෂිණාංශය හා එවැනි බලාධිකාරයන්ගේ සක්‍රීය පැන නැගීමක් පැහැදිළිවම දැක ගත හැකි විය.

ඊට ප්‍රතිපක්ෂව සැලකිය යුතු තරමේ වාමාංශික ජනතා-ජනප්‍රියවාදී රළ නැගීම් අත්ලාන්තික සාගරය දෙපසින් දක්නට ලැබුණද අධිකාරී ධනේෂ්වරයේ ජනප්‍රියවාදී පාලන තන්ත්‍රයන්ගේ බිහිවීමට සාපේක්ෂව එම වාමගාමී උත්සන්නීන් ප්‍රමාණවත් නැත.

පශ්චාත් කොරෝනා ආර්ථික අර්බුදයට මුහුණ දීමට අරගල කරන මුවාවෙන් බොහෝ රාජ්‍ය තන්ත්‍රයන් සිය ඒකාධිකාරී බලය සමුච්චනය කර ගැනීමේ ඉඩක් පැහැදිළිවම පවතී.

කොරෝනා වසංගතය පදනම් කරගෙන උත්සන්න වූ සංවෘත ස්වදේශවාදයන්, සංක්‍රමණ විරෝධයන්, සමාජ දුරස්ථකරණයන්, පුරවැසි සුපරික්ෂාවන් , නව ආණ්ඩු මට්ටුකරණයන්, මිලිටරි- මහජන ආරක්ෂක මතවාදයන් විසින් එවැනි ඒකාධිකාරී ධනේෂ්වර රාජ්‍ය තන්ත්‍රයන්ට අවැසි දෘෂ්ටිමය පිටුබලය සැපයෙනු ඇත.

Kannangaraපශ්චාත් කොරෝනා මොහොත ධනවාදී ගෝලීයකරණයට එරෙහිව සංවිධානය කිරීමට අදිටනින් සිටින සකල දේශවාසී විවිධ වාමගාමී-ප්‍රගතිශීලී බලවේගයන් ලෝක ධනවාදී ක්‍රමයේ මෙම නව ස්වරූපය පිළිබදව තීක්ෂණ අවධානයෙන් හා අවබෝධයෙන් සිටිය යුතු වේ. මේ මොහොතේ මූලිකවම අතාර්කික වී ඇත්තේ නිදහස් වෙළදපොළ ක්‍රමය බව සැබෑය.

ඒ අතරම රාජ්‍යයන් හා පුරවැසියා අතර අවමව හෝ පැවතුණු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතිය මෙම වසංගත ප්‍රශ්නය විසින් තව දුරටත් අර්බුදයට හෙළා තිබෙයි.. එම සම්මුතියේ බිදවැටීම ඉදිරි කාලය තුළ තවත් තීව්‍ර කෙරෙනු ඇත.

ඉදිරි කාලය තුළ වැඩිම වාසිය ඇත්තේ මෑත යුගය තුළ ක්‍රමයෙන් නැගෙමින් ආ නිදහස් වෙළදපොළවාදය සමග හාද වූ දේශපාලන ඒකාධිපතිවාදයන්ගේ ගමනටයි..කොරෝනා පසුබිම තුළ නිදහස් වෙළදපොළ ක්‍රමය අභියෝගයට ලක් වන තරමට මෙම ධනේෂ්වර දේශපාලන ඒකාධිපතිවාදයන්ගේ මර්දන චක්‍රය උසි ගැන්වෙන ආකාරයන් තීරණය කෙරෙනු ඇත.

1848 කාල් මාක්ස් ලියූ සටහනක් වෙනස් කර මෙසේ දැන් ලිවිය හැකිය.

යුරෝපයේ පමණක් නොව ලොව පුරා අලුත් අවතාරයක් හොල්මන් කරමින් තිබෙයි.කොරෝනා වසංගතය විසින් ජීවය දීමට නියමිත එකී අවතාරය වනාහී ධනේෂ්වර දේශපාලන ඒකාධිපතිත්වයයි..

විදර්ශන කන්නන්ගර (April 25, 2020) (උපුටා ගැනීම : lankatarget.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්