සරළ බව (simplicity) කියන සංකල්පය බෞද්ධ කිසිම කෙනෙකුට අළුත් අදහසක් වෙන්න බැහැ. ඒක බෞද්ධ ඉගැන්වීම්වල එන අතිමූලික සංකල්පයක්.

මේක අල්පේච්ඡ බව එක්කත් ගැට ගැහෙනවා. මටත් මේ අදහස එන්නේ මගේ පවුලේ බෞද්ධ පදනමින්. විශේෂයෙන් මම පොඩි කාලේ මගේ කිරිඅම්මා කියල දුන්නු දේවල් ඔස්සේ (දාර්ශනිකයෙක් ගේ නමක් ඩ්‍රොප් කරන්න බැරි උනාට කමා වෙන්න!). මේක මගේ කුඩා කාලේ ඉඳන් ඇහුව දුටුව දේවල් එක්ක ගොඩ නැගුණු මුලික සංකේත රෙජිස්ටරයේ තියන දෙයක්.

කිසිම දෙයක් ස්ථිර නොවන බවත්, වෙනස් වෙන සුළු බවත්, අවසානයේ ඒවා පැවැත්මේ සිට නොපැවැත්ම දක්වා ගමන් කරන බවත් මම ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳල. මේ සංකේත විශ්වයෙන් (symbolic universe) කිසිම බෞද්ධයෙක් නිදහස් කියල මම හිතන්නේ නැහැ.

පැවැත්මේ මේ අනියත බව ට බෞද්ධ අපි මුහුණ දුන්නේ සරළ බව හරහා. ඒ කියන්නේ මේ අනිත්‍ය ලෝකයේ සියල්ල ඇතිවෙන - නැතිවෙන දයලෙක්තිකයක නිමග්න වෙලා තියන හින්ද අපි භෞතික දේ ගොඩ ගහ ගන්නා එක වෙනුවට කලේ අඩු භෞතික දේවල් ටිකක් එක්ක ජීවිතේ ගෙවන එක. භාණ්ඩ අධික බව වෙනුවට අවම බදු මුට්ටු ටිකක් එක්ක ඉන්න එක.

මේක නුතන ගෘහ නිර්මාන ශිල්පයට අරන් එන්නේ ජපන් අවම වාදය හරහා (Japanese minimalism). ඒ තමයි බෞද්ධ සම්ප්‍රදාය නූතන වෙලා තියන එක අද්විතීය ස්වරූපයක්. ඒ කියන්නේ අපේ ඉතිහාසය ඇතුලේ නිර්මාණය උන අපේ සංකේත විශ්වය අපි තුළ ම සබුද්ධික කර ගන්නා විදිය.

Mahathma Gandhi sIMPLICITY

සරල පැවැත්ම (simplicity) සහ උසස් චින්තනය (higher thinking) කියන දෙක බටහිර සශ්‍රීක, මර්ධනකාරී, භෞතිකවාදී ස්වාමීත්වයට එරෙහිව පාවිච්චි කරනවා ගාන්ධි. මේක තමයි සරළ බව ඉතාම රැඩිකල් විදියට පශ්චාත් යටත් විජිත ලෝකයේ පාවිච්චි උන අවස්ථාව.

භෞතිකවාදයට අනෙක් පසින් තියෙන්නේ විඥානවාදය කියන එක අමතක කරන්න එපා. භෞතිකවාදයට ප්‍රතිපක්ෂව විඥානවාදය කියන්නේ දේශපාලන අවියක් වෙනවා කියන එකත් අමතක කරන්න එපා (උදාහරණ වශයෙන් ඉස්ලාම් මුලධර්ම වාදය). අද වෙනකොට උනත් ඇතිවෙලා තියන මේ වසංගත තත්වය එක්ක මිනිස්සු නැවත මේ පැරණි උරුමයන්ගේ ව්‍යුත්පන්නවීම් ගැන හිතන්න පෙළඹිලා.

මේ සරල බව ගැන දෙවන සිතීමක් ගැන මට යන්න සිද්ද වෙන්නේ The Silence of the Lambs චිත්‍රපටය නිසා. එතැන හැනිබල් ලෙක්ටර් ඉතාම පැහැදිළිව එක තැනක ක්ලැරිස් ට විශ්ලේෂණ අර්ථයෙන් කියනවා මෙහෙම. 'ප්‍රථම මුලිකාංගය වෙන්නේ සරලබව ක්ලැරිස්. කියවන්න මාක්ස් ඔරේලියස්. බලන්න ඔබ තුළ ම. ඔබේ ඇස් හොයන්නේ මොනවද? ඔබ ආශා කරන දේ. ඔබ කරන්න හදන්නේ ඒ ආශා කරන දේ ඔබේ කර ගන්න - අයිති කර ගන්න - හදන එක. අත්පත් කරගන්න හදන එක'.

(First principle, Clarice, is simplicity. Read Marcus Aurelius. Of each particular thing, ask what is it in itself? What is its nature? What does he do, this man you seek? ...What is the first and principle thing he does? What need does he serve by killing?....No...he covets. That is his nature. And how do we begin to covet Clarice? We begin by coveting what we see every day. Don't you feel your eye moving over your body, Clarice? And don't your eyes seek out the things you want?) (බලන්න The Silence of the Lambs පැය 1 මිනිත්තු 8 සිට).

මේ දෙබස ඔස්සේ මා සිතුව දෙය නම් ඉතාම සංකීර්ණ මනුෂ්‍ය පැවැත්මක් තුළ පවා ඇතිවන රෝග ලක්ෂණයේ ආරම්භය තුළ ඇත්තේ (in itself) සරල උපාදානයක් විය හැකිය යන්නය. සංකීර්ණ ලෙස ඔඩු දුවන ලද එහෙත් සරළ හිමිකර ගැනීමේ ප්‍රශ්නයක් සියලු අවුල් වලට මුල් විය හැකියි යන්න ය (obsession). ආශාවේ ගැටයෙන් මිදීමට නොහැකිවීමේ මනුෂ්‍ය ස්වභාවය තුළින් මතුවන අසරණ කමක් තුළින්ය යන්න ය.

The Silence of the Lambs

කෙසේ වුවද ආශා ගැටයේ (knot of desire) සිරවුන හැනිබල් ලෙක්ටර් ද ඇතුළු මේ සියළු රෝගීන් ගැන නව අරුතක් රැගෙන ආ හැකි බෞද්ධ කියවීමක් මේ චිත්‍රපටය ගැන මෙතෙක් සිදුකර නැහැ. ලාංකික විචාර ප්‍රවේශය පැත්තෙන් එය පාඩුවක්.

මේ කුඩා සටහන මා ලිව්වේ මිට පෙර මා මුහුණු පොතේ පළකල ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ගැන ඉතා කුඩා සටහන කට ලැබුණු ප්‍රතිචාර කිහිපයක් ගැන මගේ අදහස පැහැදිළි කිරීමට. මේ සරළ බව ගැන කතාව හිටපු ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා වෙනුවෙන් පවා ඇතැම් විට අදාලයි (ඇත්තටම ඔබාමා අවන් හලක ආහාර ගන්නා පෝස්ටුවක් මේ වෙනවිටත් බුකියේ සැරි සරනවා). ඔවුන් ධනේශ්වර පාලකයින් බව ද සත්‍ය යි. එහෙත් ඇතැම් වමේ බුද්ධිමතුන් පවා ඔවුන් ගැන වර්ණනා මුඛයෙන් කතා කරනවා. ඒ ඔවුන් තුළ ඇති ඇතැම් සුවිශේෂී විශ්වීය ලක්ෂණ කිහිපයක් නිසා. ඒවා ඔවුන් කරන්නේ 'නළු කමට' යන්න සත්‍යයක් වියහැකි වුනත් එයින් අර විශ්වීය ලක්ෂණ නිශේදනය වන්නේ නැහැ.

 ඇත්ත වශයෙන් මේ සරල බව ජනිත කරන්නේ බහු භාණ්ඩික ක්‍රමය ට එරෙහි යම් විරෝධයක්. අධි සංකීර්ණ මිනිස් පැවැත්මට එරෙහි අධ්‍යාත්මික විරෝධයක් වගේ දෙයක්. සංකීර්ණ ලෝකයක හිටියත් එහිම පවතින පැවැත්මේ නොපැවැත්මක් (non-existence within existence). දුරස්ථභාවයක්. ඒකයි මේ සරල කම ඔවුන්ගේ වැටුප පිලිබඳ ප්‍රශ්නයක් තුලට ලඝු කරන්න බැරි. මම කියන්නේ නැහැ ඔවුන් ලොකු පඩියක් ගන්නේ නැහැ කියල. ඒ වගේම එයාලගේ වියදම් ඒ පඩියෙන් නඩත්තු කරන්න බැහැ කියල. ඒ නිසා ඔය කියන සරල කම අමුතු දෙයක් නෙවෙයි කියල.

නමුත් මිනිසුන් හැටියට ඔවුන් තුලින් වරින් වර එළියට එනවා අර හැනිබල් ලෙක්ටර් ක්ලැරිස් ට පෙන්වා දෙන දෙය. පැවැත්මේ මදය තුළ අතිශයින් ස්වභාවිකත්වයට ලං උන, ශිෂ්ටාචාර ගත බවෙන් විගලිත, සාමාන්‍ය මිනිසෙක් ඉන්නවා කියන එක. ටයි කෝට් දාගෙන වැඩට ගිහිල්ලා ආපසු එනකල් ඉවසිල්ලක් නැහැ ඒ ඇඳුම් උනා දාල සැහැල්ලු ඇඳුමක් ඇඳ ගන්නකල්. ඒක තමයි සත්‍ය ය.

සමහර විට එතරම් හිතුවේ නැති දෙයක් ඔස්සේ 'සත්‍යය' ඉස්මතු වෙන්නත් පුළුවන් කියල ඒ පෝස්ට් එකෙන් පස්සේ මට හිතුණා. ඇත්තටම මම කළේ මගේ වෝල් එකට පොප් අප් උන සටහනක් පරිවර්තනය කරලා තව වාක්‍ය කිහිපයක් ඇතුළත් කරලා නැවත දාපු එක විතරයි.

Anjala Murcle

එයිනුත් මට දැනුන දේ උනේ මර්කල් ගේ ජායාරූපය. ඒ ෆොටෝ එකේ එයා ඇඳගෙන ඉන්න ඇඳුම් මහා ලොකු පිළිවෙලක් තියන පොෂ් ඒවා නෙවෙයි. අනික එයා අර පළතුරු ගෙඩි අල්ලන විදියේ 'ස්මාර්ට්' බවක් වෙනුවට තියෙන්නේ හරිම 'ස්වභාවික' බවක්. මුළු අතේ ඇඟිලි පහෙන් ම අල්ලනවා. ග්ලවුස් වත් අල්ලන උපකරණයක් වත් නැහැ. නිකම්ම අල්ලලා අර බේසමට දා ගන්නවා.

ශිෂ්ට - ස්මාර්ට් - සෞඛ්‍ය ගැන සැලකිලිමත් - සනීපාරක්ෂක බවකට වඩා මම දැක්කේ ස්වභාවිකත්වයට (මරණයට) වඩා සමීප ගැහැණියක්. මෙයින් අදහස් කරන්නේ නැහැ එයාගේ මුළු පැවැත්ම ම එහෙම ස්වභාවික දෙයක් කියල. නමුත් අතිශයින් පිළිවෙල, ශිෂ්ට, සංකීර්ණ පැවැත්මක් ඇතුලෙන් අර ස්වභාවික මිනිසා එළියට එනවා.

ඔබාමා සැහැල්ලුවෙන් කෑම කනවා. දුවලා එක්ක වෙරළේ ඇවිදිනවා. මෙන්න මේ සාන්දෘස්ටික නිමේෂයන් ලෝකය පුරා වෛරල් ෆොටෝ වෙනවා එයාලගේ අර පිළිවෙල, ක්‍රමික, තාන්ත්‍රික ෆොටෝ වලට වඩා. මේක තමයි මට කියන්න ඕනි උනේ.

mahinda fanny

ඒක මහින්ද මහත්තයා දරුවෙක් වඩා ගන්නා එක, වෙසක් කූඩුවක් හදන එක දක්වා ඕනිනම් දිවෙන්න පුළුවන්. කුමන මට්ටමේ තාන්ත්‍රික කෙනෙක් අතරින් උනත් අර 'මූලික' පැවැත්මේ සත්‍යය එළියට එන්න පුළුවන්.

නිළියක් නැත්නම් මොඩල් කෙනෙක් කැමරාව ඉස්සරහා එයාගේ පෙනුම රැකගන්න ලොකු උත්සාහයක් දෙන වෙලාවක මර්කල් කියන 'මට නිරූපිකාවක් වෙන්න ඕනි නැහැ' යන කියමන තුල තියනවා එයා අර ජර්නලිස්ට්ගේ කැමරාවේ ගේස් එකෙන් නිදහස් කියන එක. මිනිස්සු බලාපොරොත්තු වෙන දැක්මෙන් මිදෙනවා කියන එක. මම ෆැන්ටසි ගැහැණියක් නෙවෙයි කියන එක. ඒ දේවල් ටිකත් මට ඉස්මතු කරන්න ඕනි උනා. එතැනදී මම අර ධනේශ්වර කතාව ගැන එච්චර හිතුවේ නැහැ. ලංකාවේ දේශපාලනය ගැන හිතුවෙත් නැහැ. හිතුවේ පැවැත්මේ තියන විශ්වීය කරුණක් ගැන.

ඒත් මෙතැන තියන වැදගත් දේ තමයි මිනිස්සු ඇත්තටම වැළඳ ගන්නෙත් ඒ එයාලගේ ෆැන්ටසි එකෙන් නිදහස් වෙච්ච ඇන්ජෙලා මර්කල් ම තමයි. කිසි දෙයක් ගණන් ගන්නේ නැතිව සැහැල්ලුවෙන් පාරේ ඇවිදගෙන යන ඔබාමා ම තමයි.

තවත් ගැඹුරෙන් කිව්වොත් අපිට අමතක කරන්න බැරි මිණී මස් කන හැනිබල් ලෙක්ටර් මිසක් නීට් එකට ටයි කෝට් දාල තමන්ගේ තනතුර වෙනුවෙන් ලෙක්ටර් එක්ක ගේම් එකක් සෙල්ලම් කරන ඩොක්ටර් චිල්ටන් නෙවෙයි. එතන තමයි ක්ලැරිස් හැනිබල් ට බැඳෙන තැන. මනමේ කුමාරිය වැදි රජුට බැඳෙන ස්වභාවිකත්වයේ තැන... ඉතිං සරළ කම සරළ ම නැහැ නේද?

Mahesh Hapugoda
(මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී - 2020 මැයි 16)

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්