හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ වසර නමයක පාලන කාලය තුළ

අත්කර ගත් ආර්ථික ජයග්‍රහණ 2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව විනාශ කොට රට ප්‍රපාතයකට හෙළා ඇතැයි චෝදනා කෙළේය.

යහපාලන ආණ්ඩු කාල සීමාව තුළ දළ ජාතික නිෂ්පාදිතය පහත වැටුණු අතර ලබා ගත් විදේශ ණය ප්‍රමාණය දැන් දළ දේශීය ආදායම ඉක්මවා යන තත්ත්වයකට පත්ව ඇත. එම නිසා කොරෝනා වසංගතයට මුහුණ දී ඇති රට ගොඩ නැගීමට සියල්ලන් එකතුව වැඩ කළ යුතුය.

ඇත්තෙන්ම කොරෝනා වසංගතය කඩා වැදීමට පෙර සිටම රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතින බව පැහැදිලිවම දක්නට තිබුණ කාරණයකි. හිටපු ජනාධිපති මෙන්ම එම ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ද වූ මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ ආකාරයට යහපාලන සමයේ රටේ ආර්ථික සංවර්ධන වේගය පහත වැටුණු බව ද සත්‍යයකි.

එහෙත් නොකියන තිත්ත ඇත්ත වන්නේ එම ප්‍රවණතාව ඔහුගේ පාලනයේ අග භාගයේ සිටම දක්නට ලැබුණේය යන්නයි. යහපාලන ආණ්ඩු සමයේ එය වඩාත් උග්‍ර විය. දැන් කොරෝනා වසංගතයත් සමග ආර්ථික වර්ධනය ඍන අගයක් දක්වා පහත වැටෙන බවට අනාවැකි පහළ කර ඇත.

නිල්පාට හෝ කොළපාට කබායක් පොරවා නොගෙන ඉතිහාසය දෙස බලන අයෙකුට පසුගිය යහපාලන ආණ්ඩුව පමණක් නොව ඊට පෙර පැවති සියලු ආණ්ඩු සංවර්ධනයේ නාමයෙන් සිදුකර ඇත්තේ රටේ සම්පත් විනාශ කොට අධික ණය බරක් ඉතිරිකර යෑම පමණක් බව පැහැදිලිය. එය මහින්ද රාජපක්ෂ පාලනයටත් අදාළය.

gamini wijesinghe

හිටපු විගණකාධිපතිවරයකු වූ ගාමිණි විජේසිංහ මහතා දක්වන ආකාරයට 1948 සිට සිදු වූ “සංවර්ධනයෙන්” මහජනතාව පිට පැවරී ඇති ඒක පුද්ගල ණය බර රුපියල් 530,000.00 කි.

එහෙත් සුදු අධිරාජ්‍යවාදීන් මෙම රටට නිදහස ලබා දී පිටව යන විට අපේ ආදායම් අතිරික්තය ඩොලර් දශ ලක්ෂ 23කි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන විට ඩොලර් බිලියන 9ක්ව තිබු විදේශ ණය ප්‍රමාණය 2010 වන විට ඩොලර් බිලියන 21.4 දක්වා ඉහළ ගොස් තිබිණ.

2018 දී එය ඩොලර් බිලියන 52 ද ඉක්මවා ගියේය.

එම නිසා ණය ගැනීමේ ක්‍රීඩාවේ බලයේ සිටි සියලු පක්ෂ දක්ෂ ලෙස යෙදුණ බවට තවත් නිදසුන් අවශ්‍ය නොවේ.

 

ණය සහ පොලී මුදල් ගෙවීමට ණය ගැනීම:

Matiya kulunaපසුගිය යහපාලනයැයි හැඳින්වූ පාලන සමයේ සිදු වූ විශේෂ කාරණය වන්නේ ගත් ණය සහ පොලී මුදල් ගෙවීමට තවත් ණය ගැනීමයි. ඉන් සරලව අදහස් වන්නේ සංවර්ධනයේ නාමයෙන් ලබාගත් ණය මුදල්වලින් ආදායම් උපදවන නැතිනම් ප්‍රමාණවත් ආදායම් උපදවන කිසිත් සිදුකර නැති බවයි.

රාජපක්ෂ පාලන සමයේ විදෙස් ණය, විශේෂයෙන්ම චීන බැංකුවලින් ණය ලබාගෙන ක්‍රියාත්මක කළ ‘සංවර්ධන ව්‍යාපෘති’ එකින් එක සඳහන් කිරීම අනවශ්‍යය. නොරොච්චෝලෙයි ගල් අඟුරු විදුලි බලාගාරයේ සිට නෙළුම් කුලුන දක්වා කරන ලද ඉදිකිරීම් කිසිවකින් රටේ ආර්ථිකයට මූල්‍යමය ප්‍රතිලාභයක් ඇත්නම් ඒ ඉතාමත් අවම වශයෙනි. එය කිසිසේත් කරන ලද ආයෝජනයට සරිලන්නේ නැත.

නොරොච්චෝලෙයි විදුලි බලාගාර තුන කිසි විටෙකත් මාස තුනක් කඩා වැටීමට ලක් නොවී එක දිගට ක්‍රියා කළ හැකිවූයේ නැත.

නෙළුම් කුලුන ඉදි කිරීමේ දී සිදුව ඇතැයි කියන වංචා දැනට පොහොට්ටුවේ නායකයෙකුව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා එය විවෘත කරන දිනයේ ජනමාධ්‍ය ඉදිරියේ පැවසුවේය.

 

විදේශ බැංකුවලින් වාණිජ ණය ගැනීමේ පුරුද්ද ඇති කෙළේ කව්ද ?

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය යහපාලන ආණ්ඩුව විදේශ බැංකුවලින් වාණිජ ණය ලබා ගැනීම ද සඳහන් කර තිබිණ. එහෙත් සිහිපත් කර ගතයුතු කරුණ වන්නේ විදේශ බැංකුවලින් වාණිජ ණය ගැනීමේ පුරුද්ද ඇති කෙළේ ඔහු ය යන්නයි.

මුදල් ඇමති වශයෙන් සිටිය දී ඔහුගේ අධීක්ෂණය යටතේ පැවති ඉතිරි කිරීමේ බැංකුව විදේශ බැංකුවකින් ඩොලර් දශ ලක්ෂ 750ක මුදලක් සියයට 8.9ක් වැනි ඉහළ පොලී අනුපාතයකට ගත්තේය.

ජනතාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීමට පිහිටුවන ලද ඉතිරි කිරීමේ බැංකුවට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ණය ගැනීමට තිබුණු අවශ්‍යතාව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි කර නැත.

පැතිර ඇති දූෂමාණ ආරංචි අනුව එම මුදල ණයට ගෙන ඇත්තේ බැංකුවේ අවශ්‍යතාවකට නොව රාජපක්ෂ ආණ්ඩුවේ අවශ්‍යතාවන්ටය. ණය මුදල බැංකුවේ ගිණුම්වලට ලැබුණ වහාම එය ඉවත් කර ගෙන ඇත්තේ රජයේ ආයතනයකි.

 

‘සංවර්ධනය’ නමින් හැඳින්වෙන වස්තු මංකොල්ලය

මෙහිදී අපට පැහැදිලි කරගත යුතු කාරණය වන්නේ මෙතෙක් පැවති කිසිම රජයකට මහජනතාවගේ මුදල් අරපරෙස්සමෙන් වියදම් කිරීමේ පුරුද්දක් නොතිබුණේය යන්නයි. එම අනුපාතය සමහරවිට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන්නට ඇත.

මූලික වශයෙන් 1948 නිදහස ලත් දිනයේ සිටම සිදුව ඇත්තේ රටේ සම්පත් විවිධ ආකාරයෙන් විනාශ මුඛයට පත් කිරීම පමණි. ‘සංවර්ධනය’ නමින් හැඳින්වෙන වස්තු මංකොල්ලය හොඳින් පැහැදිලි කළ හැකි වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ද ගෙන හැර දැක් වූ ආකාරයට අපේ මුදල් ඒකකය, රුපියල, විදෙස් මුදල් සමග සැසඳීමේ දී පිරිහීමට පත්ව ඇති ආකාරයයි.

1947 දී එක්සත් ජනපද ඩොලරයක් රුපියල් 4.78කට මිලදී ගත හැකි විය. දැන් එම අගය රුපියල් 200 ද ඉක්මවා ගිය අවස්ථා වාර්තා වේ.

 

ආර්ථික පිරිහීමට තුඩු දී ඇති සාධක:

අනිත් වැදගත් කාරණය මෙම ආර්ථික පිරිහීමට තුඩු දී ඇති සාධකයි. ආර්ථිකයේ පිරිහීමට තුඩු දී ඇති සාධක මෙතෙක් පැවති සියලු පාලන ක්‍රම යටතේ නොවෙනස්ව පැවති නමුත් එකෙක් අනෙකාට චෝදනා එල්ල කිරීමෙන් සැබෑ තත්ත්වය ජනතාවගෙන් වසන් කිරීමේ උත්සාහයක් පවතින බවද තේරුම් ගත යුතුය.

මෑතක පළ වූ වාර්තාවක් අනුව රජය සතු ව්‍යවසායන් 422කි. මේවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිට ජයවර්ධනපුර රෝහල දක්වා වූ විවිධ ක්ෂේත්‍රවලට අයත් ආයතනයි. මෙම ආයතනවලින් 2017/18 මුදල් වර්ෂය තුළ ලබා ඇති මුළු පාඩුව රුපියල් දශ ලක්ෂ 57,158කි.

සමස්තයක් වශයෙන් ආයතන 89ක් පාඩු ලබන ආයතන වන අතර ඉන් ඉදිරියෙන් සිටින්නේ විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතනයි.

රෝහල් සේවය කර්මාන්තයක් සේ සලකන්නේ නම් අද පෞද්ගලික අංශයේ විශාලම ලාභ උපයන්නේ පෞද්ගලික රෝහල් ය. එහෙත් ආණ්ඩුවේ පාලනය යටතේ ඇති ජයවර්ධනපුර රෝහල උපයන්නේ පාඩු ය.

''රෝහල් සේවය කර්මාන්තයක්සේ සලකන්නේ නම් අද පෞද්ගලික අංශයේ විශාලම ලාභ උපයන්නේ පෞද්ගලික රෝහල් ය. එහෙත් ආණ්ඩුවේ පාලනය යටතේ ඇති ජයවර්ධනපුර රෝහල උපයන්නේ පාඩු ය.''

මේ කරුණුවලින් පැහැදිලි වන්නේ මෙතෙක් පැවති සියලු ආණ්ඩු දේශපාලන හා ආර්ථික කළමනාකරණයෙන් අසමත් වූයේය යන්නයි. සමහර ජයග්‍රහණ අත්කර ගෙන ඇති නමුත් සමස්තයක් වශයෙන් පෙනෙන්නේ අසමත්කමයි.

දේශපාලන කළමනාකරණයේ දැක් වූ අසමත්භාවය නිසා වසර තිහක අභ්‍යන්තර යුද්ධයකට මුහුණ දුන්නෙමු. එල්ටිටීඊ සංවිධානය එහි නායකත්වය සමග විනාශ කිරීමෙන් සටන් බිමේ ජය අත්කර ගත් නමුත් ආගමික වාර්ගික මෙන්ම භාෂාමය වශයෙන් බෙදී ගිය දේශය එක්සත් කිරීමට නොහැකිව ඇත.

ආර්ථිකයේ ද ඇත්තේ එවැනිම අසාර්ථකභාවයකි. පැයට කිලෝමීටර් සියයක වේගයෙන් යා හැකි අධිවේගි මාර්ග, අහස සිඹින නෙළුම් කුලුනු ඇති නමුත් සෞභාග්‍යයක් දකින මානයේ හෝ නැත. කොරෝනා වසංගතය නිසා රට ආර්ථික වශයෙන් මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබීමෙන් ජනජීවිතය බියකරු සේ බිඳ වැටී ඇත.

lanka peoples

මෙම බිඳ වැටීම සංඛ්‍යා ලේඛන උපුටා දැක්වීමට වඩා පසුගිය සතියේ කොළඹ මාලිගාවත්තෙන් වාර්තා වූ අවසනාවන්ත සිද්ධියෙන් පැහැදිලි කිරීම වඩාත් පහසුය.

කෙටියෙන් එහිදී සිදුවූයේ ආධාර වශයෙන් බෙදා දෙන රුපියල් 1000ක් ලබා ගැනීමට ගොස් ඇති වූ තෙරපුමකින් වයස්ගත කාන්තාවන් තිදෙනෙකු මියයෑමයි.

රුපියල් 5000 බෙදා දෙන අවස්ථාවක මෙවැනි තෙරපුමක් නොවීමත් රුපියල් 1000ක් බෙදා දෙනවිට තෙරපුමක් ඇතිවීම පුදුමසහගතයැයි කෙනෙකුට තර්ක කළ හැකිය.

පුදුමසහගත වන්නේ රාමසාන් උත්සව සමයේ මෙසේ ආධාර මුදල් සහ ආහාර ද්‍රව්‍ය බෙදාදීම මීට පෙර වසරවල ද සිදුවුවද තෙරපුමක් ඇති වී මරණ සිදු වූ බවක් වාර්තා නොවීමයි. මීට පෙර ආධාර බෙදීමේ දී පොලීසියෙන් හෝ වෙනයම් බලධාරියෙකුගෙන් අවසර ලබා ගැනීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත.

වෙන කිසිම සාධකයක් නොමැති වුවද එම තෙරපුම ඇති වූ ස්ථානයේ විසිර තිබුණ ගෙවී හිල්වී ගිය රබර් සෙරෙප්පුවලින් ගැඹුරු කතාවක් කියයි. ගෙවී ගිය හිල් වූ රබර් සෙරෙප්පුවලින් කියවෙන්නේ ඔවුන්ගේ අන්ත දරිද්‍රතාවයි.

එය පෙර වසරවල නොතිබූ තත්ත්වයක් නොවේ. එම වසරවල ඔවුන්ට බඩගින්න දරා ගෙන සන්සුන්ව පෝලීමේ ගොස් රුපියල් 1000ක් ලබා ගැනීමට හික්මීමක් තිබිණ. එහෙත් ඇඳිරි නීතියෙන් අවම මට්ටමෙන් හෝ ජීවිතය ගැට ගසා ගැනීමට තිබූ අවස්ථා අහිමි වූ එම අසරණයන්ට සන්සුන්ව සිටිය නොහැකිය. නිසැකයෙන්ම ලැබෙන දේ හෝ ලැබෙන තෙක් බලා සිටිය නොහැකිය. ඉදිරියෙන් සිටින එකා පෙරළාගෙන යන්නේ ඉවසීමක් නොමැතිකම නිසාය.

''ගිනියම් අව්වේ තැපෙමින් වන සතුන්ගෙන් රැක බලාගෙන එළවළු වගා කර, ගමේ පොළට හිස මතින් ගෙන ඇවිත් විකුණා ගැනීමට නොහැකිව ලතැවෙන අසරණ ගොවීන් මුහුණ දී ඇත්තේද මෙවැනිම තත්ත්වයකි.''

මෙය ජීවිතය ගැට ගසා ගැනීමට නොහැකිව සාගින්නෙන් තැවීම මාලිගාවත්තේ හෝ කොළඹ අඩු ආදායම් ලබන වෙනත් ප්‍රදේශවල ජනතාවට පමණක් පොදු වූ තත්ත්වයක් නොවේ. ගිනියම් අව්වේ තැපෙමින් වන සතුන්ගෙන් රැක බලාගෙන එළවළු වගා කර, ගමේ පොළට හිස මතින් ගෙන ඇවිත් විකුණා ගැනීමට නොහැකිව ලතැවෙන අසරණ ගොවීන් මුහුණ දී ඇත්තේද මෙවැනිම තත්ත්වයකි.

ඔවුන්ගේ දුක්ගැනවිල්ල ද අලුත් දෙයක් නොවුවත් කොරෝනා වසංගතයෙන් වෙළෙඳපොළ ක්‍රියාදාමය බිඳ වැටුණ නිසා තත්ත්වය වඩාත් උග්‍ර විය. ඔවුන්ගේ ජීවිත මාලිගාවත්තේ මෙන් පෑගී තෙරපී අවසන් නොවන නමුත් ජීවන පීඩාවේ වෙනසක් නැත.

මින් පැහැදිලි කර ගතයුතු කරුණ වන්නේ 1948 සිට පරිහානිය කරා ගමන් කර තිබූ ආර්ථිකය සහ දේශපාලනය අද ගෙවී ගිය රබර් සෙරෙප්පුවක් බවට පත්ව ඇත යන්නයි.

ඉන් ගොඩ ඒමට මෙතෙක් අනුගමනය කළ අදූරදර්ශී අවස්ථාවාදී දේශපාලනය ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා නව දේශපාලන දැක්මක් සහ ක්‍රියාපිළිවෙතක් අවශ්‍ය ය. එවැනි වැඩපිළිවෙළක් සාම්ප්‍රදායික චින්තයෙන් මිදී, පවතින තත්ත්වය තේරුම් ගත් යථාර්ථවාදී විය යුතුය.

 

සාම්ප්‍රදායික චින්තනය ප්‍රමාණවත් නොවන බව..

පවතින ව්‍යසනකාරී තත්ත්වයට සාම්ප්‍රදායික චින්තනය ප්‍රමාණවත් නොවන බවට උදාහරණයක් මාලිගාවත්ත සිද්ධියෙන්ම ගෙනහැර දැක්විය හැකිය. මරණ තුනක් ඇතිවීම සහ අසහනකාරී තත්ත්වයක් ඇතිවීම ගැන එම මුදල් බෙදීමට පැමිණි පුද්ගලයා ඔහුගේ සහායට පැමිණි තවත් හත්දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට නඩු පැවරීමට කටයුතු සිදුවෙමින් පවතී.

පවතින නීති අනුව ඔවුන්ට දඬුවම් ද ලැබෙනු ඇත. ඔවුන්ගේ පරිත්‍යාගීලීත්වයට අවසානයේදී සිරදඬුවමක් සහ දඩයක් නියම වුවහොත් පුදුමයක් නොවේ. දෑස් වසා ඇති අධිකරණයේ දෙව්දුව අපක්ෂපාතව නඩුව විසඳනු ඇත.

පෝලිමේ ගොස් දෙන දෙයක් නිහඬව ගැනීමට වඩා ඉදිරියේ සිටින තැනැත්තා පෙරළා ගෙන ගොස් පැහැර ගැනීමේ මානසිකත්වයක් බිහිවූයේ කෙසේද? ඔවුන් දරිද්‍රතාවටත් අපේක්ෂා භංගත්වයටත් පත් කළ ආර්ථිකය සහ දේශපාලනය ඊට වගකිව යුතු නැත්ද? මීට ලැබෙන පිළිතුර කුමක් වුවත් මහා කුණාටුවක පෙර නිමිති පහළව ඇතැයි සිතේ.

Gotabaya He

මේ තත්ත්වයට විසඳුම් වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ වන්නේ ආර්ථිකයේ ප්‍රමුඛස්ථානවලට ඔහුට හිතවත් අය පත්කිරීමයි. ඔහුගේ හිතවතුන් බොහොමයක් හමුදාවේ සිටින හෝ ඉන් විශ්‍රාම ගිය අය නිසා එම පත්වීම්වලට සුදුස්සන් වන්නේ ඔවුන් ය. ඔහුට විශ්වාසයක් ඇත්තේ ඔවුන් කෙරේය.

තමාට හිතවත් විශ්වාස අය තමාගේම කාර්යන් සඳහා පත්කර ගැනීමේ වරදක් නැත. එහි ඵලවිපාක අත්වන්නේ ඔහුටය. එහෙත් රටක් පාලනය කිරීම ඊට හාත්පසින්ම වෙනස් ය. ඔහු ජනාධිපති තනතුරෙන් ඉවත්ව ගිය පසු ද රට පවතී. මීට පෙර සිටි පාලකයන් ඉවත්ව ගිය ද රාජ්‍ය පාලනය අවසන් වූයේ නැත. එහි පිරිහීමක් දක්නට ලැබෙන නමුත් රාජ්‍යය අහෝසි වන්නේ නැත.

රාජ්‍ය පාලනයේ පවතින මෙම ලක්ෂණය නිසාම රාජ්‍ය පාලනයට පිළිගත් නීතිරීති මෙන්ම සම්ප්‍රදායන් ද ගොඩ නැගී ඇත. ඒවායේ පදනම වන්නේ පුද්ගල රුචි අරුචිකම් නොව සමාජයේ අවශ්‍යතාවයි.

සමාජ සංවර්ධනයේ විවිධ අවධීන් අනුව සමාජ අවශ්‍යතාවන් ද වෙනස් වේ. එවිට සමහර නීතිරීති නොගැළපෙන තත්ත්වයට පත්වන අතර නව නීතිරීති මෙන්ම සම්ප්‍රදායන් ද ගොඩ නැගේ. ඒ සඳහා ද පිළිගත් ක්‍රියා පටිපාටි පවතී. වෙනස්කම් සිදුකළ යුත්තේ ඒ අනුවය.

එය රාජ්‍ය පරිපාලනයේ පදනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට කාර්යාල ක්‍රියාපටිපාටිය දක්වාම පිළිගත් සම්ප්‍රදායයි.

එහෙත් දැනට සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම අනෙකුත් නීතිරීති සහ සම්ප්‍රදායන් නොසලකා තමාට අවශ්‍ය පරිදි සියල්ල හැසිරවීමය. එය ඉතාමත් අසතුටුදායක තත්ත්වයක් මෙන්ම දැනට පවතින තත්ත්වය යටතේ එය ගොඩ ඒමට නොහැකි තරම් අගාධයකට තබන භයානක ගමනක මුල් පියවර විය හැකිය.

 

පොදු යහපත ප්‍රමුඛ කර ගත් සමානාත්මතා දර්ශනයක්

අද රට මුහුණ දී ඇති දේශපාලන සහ ආර්ථික වසංගතයෙන් ගොඩ ඒමට හැකිවන්නේ බලය සහ බලහත්කාරය පදනම් දැක්මකින් සහ ක්‍රියාමාර්ගයකින් නොව පවතින යථාර්ථය තේරුම් ගත් තම පුද්ගලික අභිලාෂයන් නොව පොදු යහපත ප්‍රමුඛ කර ගත් සමානාත්මතා දර්ශනයක් පදනම් කරගත් දේශපාලන සහ ආර්ථික ක්‍රියාමාර්ගයකින් පමණි.

අපේ රටේ දැනට සිටින දේශපාලකයන්ට එවැනි දැක්මක් හෝ ශික්ෂණයක් තිබෙන බවක් මෙතෙක් පෙන්නුම් කර නැත.

[මහින්ද හත්තක - මෙම ලිපිය  2020 මැයි 31දා රාවය පුවත්පතේ ( ravaya.lk ) පලවූවකි]

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්