කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් පළමු වටයේදී ආණ්ඩුව ලැබූ ප්‍රශංසා සහ දිනාගත් විශ්වාසය මේ වනවිට ඉතා සීඝ්‍රයෙන් බිඳ වැටෙමින් ඇත.

එයට හේතු ලෙස දැක්වෙන පොදු කතාව වන්නේ, මැතිවරණය කෙසේ හෝ පැවැත්වීම වෙනුවෙන් ආණ්ඩුව කෝවිඞ්-19 පාලනය කරගැනීමේ වගකීම අතහැර ඇති බවය.

ඒ වෙනුවෙන් ගෙන තිබූ පියවර සියල්ල පාහේ නොමනා හදිස්සියකින් අතහැර දැමූ හෙයින් නැවත ආසාදනය පැතිරෙන්නට පටන් ගෙන ඇති බවත් එවැනි ආසාදන හා නිරෝදායන සම්බන්ධ නිවැරදි තොරතුරු ලබාදීම පමා කෙරෙන අතර, ඇතැම් විට ඒවා නිවැරදිද යන්න ප්‍රශ්නකාරි බවත්ය.

කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ ආණ්ඩුවේ වගකීම පිලිබඳව දැනුවත් සමාජය එවැනි අවිනිශ්චිත හා අවිශ්වාසයක රැඳෙන්නට හේතු ඇත.

පළමුවැන්න, ස්වාධීනව රාජකාරි වගකීම් ඉටු කළ යුතු ඉහළ සෞඛ්‍ය බලධාරීන් තමන්ගේ ස්වාධීනත්වය ගැන කෙතරම් පාරම් බෑවත් ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරිත්වය ආණ්ඩුවේ මැතිවරණ න්‍යාය පත්‍රයට ගැලපීමය.

''ස්වාධීනව රාජකාරි වගකීම් ඉටු කළ යුතු ඉහළ සෞඛ්‍ය බලධාරීන් තමන්ගේ ස්වාධීනත්වය ගැන කෙතරම් පාරම් බෑවත් ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරිත්වය ආණ්ඩුවේ මැතිවරණ න්‍යාය පත්‍රයට ගැලපීමය.''

පසුගිය ජූලි 03 වන දින කොටහේනේ ජින්තුපිටියෙහි ස්වයං නිරෝදායනයක සිටි පුද්ගලයෙකු කෝවිඞ්-19 ආසාදිත යැයි හඳුනා ගනු ලැබීමෙන් පසු ඔහුගේ නිවස අවට 154 කු නිරෝදායනය සඳහා යොමු කරනු ලැබිණ.

කෙසේමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍යයට පවසා තිබුණේ, එම පුද්ගලයා දින 14 ක අනිවාර්ය නිරෝදායනයෙන් පසු නිවසේ ස්වයං නිරෝදායනයක සිටි හෙයින් ඔහුගෙන් වෙනත් අයට ආසාදනයවීමේ ඉඩක් නැති බවය.

වෛද්‍ය අනිල් ජාසිංහට එය එළෙස නිශ්චිතව සහතික කළ හැකිව තිබුණි නම්, ජනතාවගේ මුදලින් 154 කු දින 14 ක් නිරෝදායනය සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවක් නොවුනි.

එය, රත්මලානේ වැලි ගල්කිස්සෙන් මුහුදට දමා වැල්ලවත්තේදී එකතුවන තෙක් බලා සිටින වෙරළ සංරක්ෂණයේ රජයේ නිලධාරීන් කියු කතාවට සමාන කතාවකි.

''වෛද්‍ය අනිල් ජාසිංහගේ කතාව රත්මලානේ වැලි ගල්කිස්සෙන් මුහුදට දමා වැල්ලවත්තේදී එකතුවන තෙක් බලා සිටින වෙරළ සංරක්ෂණයේ රජයේ නිලධාරීන් කියු කතාවට සමාන කතාවකි.''

කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමේ වගකීම් පවරා ඇති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊට වඩා වගකීමෙන් යුතුව කන්දකාඩු හා සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවල ආසාදනයවීම් පිළිබඳව ජූලි 10 වන දින මාධ්‍ය දැනුවත්කර තිබිණ.

ඔහු කියා තිබුණේ කලින් හඳුනාගත් ආසාදනයවූ 57 දෙනකු සමග ජූලි 10 වන දින උදයේ සනාථ වූ 196 දෙනා ගත් විට ආසාදනය වූ සංඛ්‍යාව 253 ක් බවය. ඒ අතර කරන ලද පී.සී.ආර් පරීක්ෂණ තවත් 375 ක වාර්තා බලාපොරොත්තුවෙන් ඉන්නා බවත් ඒ අතුරින්ද ඇතැම්විට ආසාදනයවීම් තිබිය හැකි හෙයින් මුලු සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවත්ය.

මෙම ආසාදන ඇතැම්විට කඳවුරුවල රැඳවියන් බැලීමට පැමිණි 116 ගෙන් හෝ පසුගිය දිනවල අධිකරණ නියෝග මත කඳවුරු වෙත යොමු කෙරුණු කිහිප දෙනාගෙන් සිදුවන්නට ඇතැයි ඔහු කියා තිබිණ.

ඒ සම්බන්ධයෙන් ඉන් එහාට ආසාදනයවීම් නොවන්නට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ඔහු කියා තිබුණු අතර, ඔහුගේ වැදගත් අවධාරණයක් වූයේ, තව තවත් ආසාදනයවීම් තිබිය හැකි හෙයින් සමාජයට ආසාදනයවීමේ ඉඩක් ඇත්තේම නැතැයි කිව නොහැකි බැවින් ජනතාව ප්‍රවේසම්වීමට පියවර ගත යුතුය යන්නය.

එහි සත්‍යයක් ඇත. ජනතාවගේ පැත්තෙන් කෝවිඞ්-19 දැන් මග හැරුණු අවදානමක තත්ත්වයට පත්ව තිබෙන්නකි. බොහෝවිට මුඛ ආවරණ පැළඳීමත් අමතක කෙරෙන්නකි. සමාජ දුරස්ථ භාවය රැකීම අමතක වූවකි.

Corona Devolorසමාජ මතය හැදෙන්නේ දැන් සියල්ල යථා තත්ත්වයට පත්ව ඇති ලෙසිනි

එවැනි සමාජ මානසිකත්වයකට මූලික හේතුව, මැතිවරණ ප්‍රචාරය සඳහා අවශ්‍ය ඉඩකඩ සකසා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව අන්තර් දිස්ත්‍රික් ගමනා ගමන සීමා ඉවත් කර, දින ගණනාවක් ඇතුළත ඇඳිරි නීතියද සහමුලින් ඉවත්කර, සමාජ දුරස්ථභාවය සඳහාවන අවධාරණය කෙමෙන් අතහැර දමා පෞද්ගලික බස් ධාවනය, පාසල් විවෘත කිරීමට පියවර ගැනීම, එකවර 500 ක් දක්වා ළමුන්ට අමතර පංති පැවැත්වීමට ටියුෂන් ගුරුවරුන්ට අවසරදීම, අවන් හල්, හෝටල් පෙර පරදි විවෘත කර පවත්වා ගැනීමට අවසරදීම වැනි පියවර සමග 2019 ජනාධිපතිවරණ යුගයට රට ගෙන යනු ලැබීමය.

ඒ සමග විපක්ෂයේ අනෙක් පක්ෂ හා කණ්ඩායම් වලට අදාල සීමා තහංචි විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයින් ගෙන යන්නාවූ ප්‍රචාරක කටයුතු වලට අදාල නොවීම, ජනතාව අතර කෝවිඞ්-19 පැතිරීම සම්බන්ධ අවදානම හෑල්ලු කෙරෙන්නේය.

''විපක්ෂයේ අනෙක් පක්ෂ හා කණ්ඩායම් වලට අදාල සීමා තහංචි විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයින් ගෙන යන්නාවූ ප්‍රචාරක කටයුතු වලට අදාල නොවීම, ජනතාව අතර කෝවිඞ්-19 පැතිරීම සම්බන්ධ අවදානම හෑල්ලු කෙරෙන්නේය.''

ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කාර්යන් සඳහා ලැබෙන මාධ්‍ය ආවරණ සමග ජනතාව දකින්නේ පෙර පුරුදු සාමාන්‍ය සමාජ පැවැත්මකි. එබැවින් සමාජ මතය හැදෙන්නේ දැන් සියල්ල යථා තත්ත්වයට පත්ව ඇති ලෙසිනි.

මේ මැතිවරණ උණුසුම පෙර මැතිවරණ වලදී මෙන් විශාල මුදල් වැය කෙරෙන, යෝධ තොරණ ඉදිකෙරෙන, පෙළපාලි යන මැතිවරණ උණුසුමක් සමග නොවුනත් සාකච්ඡා ඇත්තේ ඡන්දය දීමේ කාරණාව ගැනය.

මැතිවරණය ආසන්න වන විට ඒ සඳහා ඇති සමාජ උනන්දුව සමග කෝවිඞ්-19 ගැන උනන්දුව අත හැරෙන්නේය. එනිසා ආසාදනය වන සංඛ්‍යා ගැන පසුගිය මාස කිහිපයේ මෙන් දැන් කතා වන්නේ නැත.

එවැනි පසුබිමක, කෝවිඞ්-19 වසංගතයේ පැතිරීම නැවත ඉහළ යන බවද එතරම් අවධානයට ලක් නොවන්නකි.

හමුදාපති දැන්වූ ජූලි 10 වන දින උදය කන්දකාඩු හා සේනපුර ආසාදනය වූ 253 ට අමතරව එදින රාත්‍රී වනවිට අනෙක් ආසාදිතයින්ද සමග එදින මුලු සංඛ්‍යාව මෙතෙක් වාර්තාවූ ඉහළම සංඛ්‍යාව වන 300 ක් විය. ඊට අමතරව ඒ සතියෙහි ජින්තුපිටියේ 01 කුද, වැලිකඩ බන්ධනාගාරයේ 01 කු සමග ඊයේ තවත් 01 කුද, කන්දකාඩු කඳවුරේ උපදේශිකාවක් මාරවිලින්ද වාර්තා වූ සංඛ්‍යාවන්ය.

 

කෝවිඞ්-19 පැතිරීමේ ස්වරූපයක් ....

ඔවුන්ගේ සම්බන්ධතා සියල්ල කොපමණද යන්න හා පී.සී.ආර් පරීක්ෂණ වලින් පසු ඒ සම්බන්ධතා අතුරින් කී දෙනෙකු ආසාදනයවී සිටියේදැයි කිසිදු තොරතුරක් බලධාරීන් විසින් සවිස්තරව ඉදිරිපත්කර නැත.

ඒ අතර, අම්බලන්තොට තවත් 15 ක් නිරෝදායනයට ලක් කිරීම, අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් 22 කු නිරෝදායනයට ලක් කිරීම, පැල්මඩුල්ලේ තවත් 15 කු නිරෝදායනයට ලක් කිරීම කෝවිඞ්-19 පැතිරීමේ ස්වරූපය පෙන්වන්නේය.

තවමත් කන්දකාඩු හා සේනපුර කඳවුරුවලට කෝවිඞ්-19 වයිරසය ඇතුලු වූයේ කෙසේදැයි ස්ථිරව ප්‍රකාශ වී නැත. හමුදාපති අනුමාන කළ අයුරු එය රැඳවියන් බැලීමට පැමිණි ඔවුන්ගේ ඥාතීන් 116 දෙනාගෙන් නම්, ඔවුන් 116 දෙනා පමණක් නොව, ඔවුන්ගේ සමීප සම්බන්ධකම් අනුව තවත් සිය ගණනක අලුත් වටයක්ද ආසාදනය වන්නට ඉඩ ඇත.

උසාවි නියෝග මත කඳවුරු වලට යොමු කළ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගෙන් නම්, ඔවුන්ගේ සමාජ සම්බන්ධතා අතරද ආසාදනයට ලක් වූවන් සිටිය හැකිය. ඇතැම් විට කන්දකාඩු හා සේනපුරට කෝවිඞ්-19 වයිරසය මේ දෙපාර්ශවයෙන්ම ඇතුලු වන්නටද ඉඩ තිබිණ.

මේවායේ කෙළවර සම්බන්ධකම් සෙවීමටත් ඔවුන්ගෙන් ආසාදනය වූවන් හඳුනා ගැනීමටත් ඉදිරි දිනවල පී.සී.ආර් පරීක්ෂණ සිය ගණනින් නොව, දහස් ගණනින් කළ යුතු වන්නේය. පැතිරීමේ අවදානම හඳුනා ගැනීමට හැකි වන්නේ එවිටය.

''මේ දෙවන රවුම පෙරට වඩා බරපතල් විය හැක්කේ මෙවර එය ප්‍රජාව අතර පැතිරීමක ප්‍රවනතාවක් දැනටත් පෙන්වන බැවිනි.''

එතෙක් අප මේ කතා කරන්නේ සියල්ල සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇතැයි වන සමාජ මානසිකත්වයක් වගා කරන්නාවූ මැතිවරණ ක්‍රියාවලියක, සංඛ්‍යා ගැන පමණි.

එවැනි නිදහස් සමාජ පැවැත්මක් නඩත්තු කිරීම මැතිවරණය අවසන් වනවිට නැවත දෙවන රවුමකට හේතු විය හැක. මේ දෙවන රවුම පෙරට වඩා බරපතල් විය හැක්කේ මෙවර එය ප්‍රජාව අතර පැතිරීමක ප්‍රවනතාවක් දැනටත් පෙන්වන බැවිනි.

 

වහාම ගතයුතු පියවර කිහිපයක් !

එහෙත් තවමත් බරපතල වසංගත තත්ත්වයකට වර්ධනය නොවන්නට වහා පියවර ගත හැකිව ඇත.

#  පළමුව, මැතිවරණය අවසන් වනතෙක් රාත්‍රී 09 සිට පාන්දර 05 දක්වා රට පුරා ඇඳිරි නීතිය පැනවිය යුතුය. ඇඳිරි නීතිය විසින් සමාජ ක්‍රියාකාරිත්වයෙහි යම් පාලනයක් ඇති කළද, එය ප්‍රචාරක කටයුතු වලට බලපාන්නේ නැත.

#  මැතිවරණ ප්‍රචාරක සාකච්ඡා, අපේක්ෂක හමුවීම් සියල්ල තහනම් කළ යුතුය.

#  පාසල් සියල්ල වසා තැබිය යුතුය. අමතර පංති පැවැත්වීමද තහනම් කළ යුතුය.

#  කෝවිඞ්-19 ආසාදිතයින් හමුවන ප්‍රදේශ සහ ඔවුන්ගේ සම්බන්ධකම් පිළිබඳව නොපමාව සියලු තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුය.

නොදැනුවත්ව ඇති විය හැකි සම්බන්ධතා වලින් අනෙකුන්ට වැළකිය හැක්කේ එවිටය.

''ඉතා කෙටියෙන් කියන්නේ නම්, මැතිවරණ කටයුතු සඳහා ඉඩ තැබිය යුත්තේ කෝවිඞ්-19 පාලනය කිරීමේ පියවර විසින් ඉතිරි කරන ඉඩ ප්‍රමාණයට පමණි. ප්‍රමුඛතාව විය යුත්තේ කෝවිඞ්-19 න් තොර සමාජයක් සමග පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම මිස, කෝවිඩ්-19 සමග පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම නොවේ.''
- කුසල් පෙරේරා (ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී)

ඉතා කෙටියෙන් කියන්නේ නම්, මැතිවරණ කටයුතු සඳහා ඉඩ තැබිය යුත්තේ කෝවිඞ්-19 පාලනය කිරීමේ පියවර විසින් ඉතිරි කරන ඉඩ ප්‍රමාණයට පමණි. ප්‍රමුඛතාව විය යුත්තේ කෝවිඞ්-19 න් තොර සමාජයක් සමග පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම මිස, කෝවිඞ්-19 සමග පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම නොවේ.

එබැවින් තමන්ගේ ප්‍රචාරක කාර්යන් කෝවිඞ්-19 පාලනය කිරීමේ පියවර සමගින් කරන්නේ කෙසේද යන්න පක්ෂ හා අපේක්ෂකයින් විසින් අලුතින් සිතිය යුතු ඔවුන්ගේ වගකීමකි.

(කුසල් පෙරේරා- 2020 ජුලි 11 වන දින)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්