ජනමාධ්‍ය මර්ධනය කිරීම සඳහා අලුත් නීති සංශෝධනයක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙන බව වාර්තා වෙයි.

තවමත් ඒ සංශෝධනයේ ඇති නිශ්චිත ප්‍රතිපාදන මොනවාදැයි දැනගන්නට නැතත්, වෛරී ප්‍රකාශන හා අසත්‍ය ප්‍රවෘත්ති පළකිරීමට එරෙහි රුපියල් දසලක්ෂක දඩයක් හා අවුරුදු පහක සිරදඩුවමක් නියම කළ හැකි විධිවිධාන දණ්ඩනීති සංග්‍රහයට ඇතුළු කරන්නට හදන බවට දැනගන්නට තිබේ.

මේ නම්, මාධ්‍ය මර්ධනය සඳහා ආණ්ඩුව ගෙන එන ව්‍යාපෘතියක් බව පැහැදිළිව කිව යුතුය. එහි උත්ප්‍රාසය 2001දී සාපරාධී අපරාධය නමැති අපරාධ වරද දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත්කොට, ජනමාධ්‍යවේදීන් ආණ්ඩුවේ ලොක්කන්‌ගේ උවමනාව මත නඩු පවරා හිරේට යැවීමේ මර්ධන නීතිය ඉවත් කළ ආණ්ඩුවේ නායකයන්ම මේ මර්ධන නීතිය ගෙන ඒමට මූලිකත්තවය ගැනීමයි.

ලිබරල් මතවාද දරන රනිල් වික්‍රමසිංහ, අගමැතිවරයා වශවෙන් 2001දී ඒ ඉදිරිගාමී නීති සංශෝධනය ගෙන ආ අතර, දැන් ඔහුගේ ආණ්ඩුවම වෙනත් විදිහකට යළි ආපස්සට හැරවීමට වෙහෙසෙන බව පෙනේ.

තවත් විශේෂත්වයක් තිබේ. රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීමෙන් පසුගිය කාලයේ ලංකාවේ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ස්වාධීන අධිකාරයක් පිහිටුවීමේ පනත් කෙටුම්පතක් ගැන සැකච්ඡාවක් ඇති විය. ඒ පිළිබඳ නිසි සංවාදයක් ඇති කර ගැනීමට එහි පුරෝගාමීන්ම අසමත් වීමට අමතරව, වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ඒ පනත් කෙටුම්පත කෙරෙහි දැක්වූ ඇල්මැරුණු බව නැතහොත් විරෝධයද නිසා මාධ්‍ය නියාමනය කිරීම සඳහා ගෙන ආ ඒ පනත් කෙටුම්පත නිසි සංවාදයකින් තොරවම අකර්මණ්‍ය විය.

කාරණය වැරදි තැනින් අල්ලාගත් සිරස වැනි ජඩ මාධ්‍ය ආතයන මෙය 'මාධ්‍ය මර්ධනයට ගෙන ආ පනතක්' දැයි සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවාදයක් සමාජගත කළ අතර, පැය විසිහතරේම ඒ ගෙන ගිය ඒ ප්‍රචාරයට බයවුණු වික්‍රමසිංහ ආණ්ඩුව 'මාධ්‍ය මර්දනයට තමන්ගේ නම ගෑවෙති' යි, බියෙන් ඒ සම්බන්ධයෙන් මැදිහත්වුණේ නැත.

යම් හෙයකින්, ඒ අවස්ථාවේදී දේශපාලන වුවමනාවකින් යුතුව ඊට මැදිහත් වන්නට ආණ්ඩුවට කොන්ද පන තිබුණා නම්, මෙවැනි ඉතා මර්දනකාරී නීතියක් ගෙන ඒමේ පවට කරගහන්නට අද ආණ්ඩුවට සිදුවන්නේ නැත.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයේ මුල් කෙටුම්පතේද අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා මෙන්ම ස්වාධීන මාධ්‍ය කොමිසමක්ද තිබුණු බව ඒ අතරම යළි මතක් කළ යුතුය. කුමන කරුණක් නිසා හෝ 19 සම්මත කැරුණේ ඒ කොටස හලා දමාය.

 

ජඩමාධය භාවිතාවට එරෙහි ආණ්ඩුවේ පිළිතුර :

දැන් යෝජිත නීති සංශෝධනයෙන් සිදුවිය හැකි මාධ්‍ය මර්දනයක් වේ නම් ඊට සම්පූරණයෙන්ම වගකිය යුතු වන්නේ පසුගිය කාලයේ ජාතිවාදය කරවටක් ගිලී තමන්ගේ දේශපාලන හාම්පුතාලාගේ වුවමනා එපාකම් වෙනුවෙන් අසත්‍ය වර්ගවාදී, වෛරී හා වුවමනාවෙන්ම, මහජනතාව නොමග යවන සුළු හා එකිනෙකා මරාගන්නා සුළු, ප්‍රවෘත්ති හා වෙනත් විශේෂාංහ පළකළ පුවත්පත් හා විද්‍යුත් නාලිකා කිහිපයයි.

මේ මර්දනය එන්නේ ඔවුන්ගේ ජඩමාධය භාවිතාවට එරෙහි ආණ්ඩුවේ පිළිතුර හැටියටය. දැන් ඒ සියළු ජඩමාධ්‍යකරුවන්ට ජනමාධ්‍ය නිදහසේ අගය වැටහී තිබේ. මහත් ආවේගයෙන් ඒ ගැන කතුවැකිද, ලිපිද ලියති, කතාකරති. අනෙක් අය ඒ ගැන කතා නොකරන්නේ ඇයි දැයි විමසති.

එහෙත් ඒ මර්දනය කැඳවාගත්තේ ජනමාධ්‍යකරුවන් වශයෙන් පෙනී සිටින තමන්ම විසින්ම බව මේ ජඩමාධ්‍යකරුවන් දැනගත යුතුය. ආණ්ඩුවට බනින්නට පෙර දෝෂාරෝපණය ලැබීමට හැම අතින්ම සුදුස්සෝ ඔවුහුය. මේ ජඩමාධයකරුවන්ගේ අධම භාවිතය නිසා පසුගිය කාලයේ සිදුවූ විනාශය අත්දුටු රටේ මිනිසුන් පවා, මෙවැනි මර්දන නීතිවලට එකසිතින් අත උස්සා කැමැත්ත දුන්නත් එය පුදුමයක් නොවේ.

 

අයිසීසීපීආර් පනත හා ශක්තික සත්කුමාර :

තවමත් මේ සංශෝධනයේ තිබෙන වචන ගැන අප දන්නේ නැත. එහෙත් 'වෛරී ප්‍රකාශන' , 'අසත්‍ය ප්‍රවෘත්ති' වැනි යෙදුම්වල ඇති විනාශකාරී පුළුල් බව හා ඒ හරහා තමන්ගේ කැමැත්ත භාවිතා කිරීමට සමහරුන්ට ලැබෙන භයානක ඉඩ සලකා බැලූ විට, දැනුදු පවතින නීතියකින් හොඳ උදාහරණ දිය හැකිය.

ඒ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) පනතයි. එම පනත යටතේ සිදුවිය හැකි වරද , එහි 3(1) වගන්තියේ සඳහන් වන අන්දමට මෙසේය.

'කිසිම නැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස්ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය'. පනත යටතේ වරදකරන්නෙකු බවට සැකකරන්නකු අත්අඩංගුවට ගත් විට ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයකින් පමනි. මහේස්ත්‍රාත් අධිකරණයට ඇප දිය නොහැකිය.

ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය ඇවිලවීමට එරෙහිව ගෙනා මෙම පනත අද පාවිච්චි වන්නේ කුමකටද? තමන්ට වුවමනා වුවමනා මිනිසුන් ඇප නැතිවම රිමාන්ඩ් භාරයේ තබා ගැනීමටය.

හොඳම සමකාලීන උදාහරණය ශක්තික සත්කුමාර කෙටි කතාකරුවාය. තම පොලිසියට පැමිණ භික්ෂූන් පිරිසක් කළ බලපෑමකට යටත් වූ පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා, ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව අයිසීසීපීආර් පනත යටතේ චෝදනා ගොනු කළේ ඒ පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකි බව හොඳින් දැන දැන භික්ෂූන්ගේ හා වෙනත් අයගේ බලපෑම නිසාය.

පොලිසිය වැරදියට චෝදනා කළත්, එය වැරදි බව පෙන්වා දෙන්නට මහේස්ත්‍රාත්වරියට හැකිව තිබුණු නමුත් එයද සිදු නොවීය. එහි ප්‍රතිඵලය කුමක්ද? අප්‍රෙල් මාසයේ මුලදී අත්අඩංගුවට ගැනුණු සත්කුමාර තවමත් මාස කිහිපයක් ඇප නොලැබ රිමාන්ඩ් භාරයේ සිටීමය.

එකම හේතුව පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා අයිසීසීපීආර් පනත කාගේ හෝ ඉගැන්නුම් බහකට අවභාවිතයේ යෙදවීමය. (දැන් ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබේ)

 

නීතියේ වුවමනාවන් මත නොව, පුද්ගලික වුවමනාවන් මත

එක දෙයක් සඳහා ගෙන ආ පනතක් ඊට හාත්පසින්ම විරුද්ධ වෙනත් දේකට යොදා ගැනීමට ලංකාවේ අවසරය ඇත්තේ මේ විදිහට නීතියේ වුවමනාවන් මත නොව, පුද්ගලික වුවමනාවන් මත කටයුතු කරන්නට යෑම නිසාය. සාපරාධී අපහාසය ලංකාවේ නීතියේ තිබුණ කාලයේද එයම සිදුවිය.

ඒ වරද සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලධාරියා වුනේ නීතිපතිවරයාය. ආණ්ඩුව දේශපාලකයන්ගේ හා උසස් නිලධාරීන්ගේ වුවමනා එපාකම්වලට අනුව නීතිපතිවරයා පක්ෂපාතීව නඩු පැවරීමත්, පවරන ලද නඩු ඉවත් කර ගැනීමත්, එකළ සුලභ දෙයක් විය.

සාපරාධී අපහාසය වරද දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කිරීමට හඩක් නැගුනේද නීතිපතිවරයා මේ නීතිය අවභාවිතයේ යෙදවීම නිසාය. නීතිපතිවරයා ආණ්ඩුවේ වුවමනාවන්ට අනුව හැසිරීම ලංකාවට අලුත් දෙයක් නොවේ.

රාජපක්ෂ අන්තේවාසිකයෙකු වූ මොහාන් පීරිස් නීතිපතිවරයා සිටි කාලයේ, සාපරාධී අපහාස පිළිබඳ වරද පැවතුනේ නම්, ලංකාවේ පුවත්පත් කතෘවරුන් කී දෙනෙකුට හිරේ ලගින්නට සිදුවන්නට ඉඩ තිබුණි දැයි කල්පානා කළ යුතුය. නීතිපතිවරයාම එසේ කරන විට පොලිස් නාලධාරීන් ගැන කවර කතාද.

 

කිරිඇල්ලගේ නිලධාරීන් තිදෙනෙකු අයිසීසීපීආර් යටතේ රිමාන්ඩ් :

ශක්තික සත්කුමාරගේ සිද්ධියට අමතරව අප්‍රෙල් 21 වෙනිදාට පසු අත්අඩංගුවට ගත් කීදෙනෙකු අයිසීසීපීආර් යටතේ චෝදනා ඉදිරිපත් කළ යුතු අවස්ථාවල එසේ කර නැතිද? චෝදනා ඉදිරිපත් නොකළ යුතු අවස්ථා කීයක එසේ කර ඇත්ද? ඊයේ පෙරේදා රූපවාහිනී සංවාදයකට සහභාගී වුණු මුජිබර් රහුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රශ්න කරේ අයිසීසීපීආර් යටතේ නඩු දමන්නෙ මුස්ලිම් ජාතිකයන් වරද කළ විට පමණක්ද කියාය.

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ නිලධාරීන් තිදෙනෙකු අයිසීසීපීආර් යටතේ දැන් මාස දෙකකට අධික කාලයක් රිමාන්ඩ බන්ධනාගාරගත කර තිබෙන්නේය.

ඒ ජනාධිපතිවරයා විවේචනය කරමින් ලියූ ලිපියක් තැපැල් කරේ යන චෝදනාවටය. ඒ ලිපිය දුටු අන්ෂුමාත්‍ර සිහිබුද්ධියක් ඇති කෙනෙකුට අයිසීසීපීආර් තියා සාමාන්‍ය නීතිය යටතේවත් කළ වරදක් එහි නැති බව පැහැදිළිව පෙනේ. එහෙත්, ඔවුන් රඳවා තබාගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ වුවමනාවටය. නැතහොත්, ඔවුන් මුදා හැරියොත් ජනාධිපති උදහස් වෙතැයි පොලිසියට ඇති බය නිසාය.

මේ විදිහට අලුත් සංශෝධනයද, පොලිසියේ වුවමනා මත අවභාවිතයේ යොදවන්නට ඇති ඉඩ කඩ ගැන සැකයක් තබා ගත යුතු නැත. අත්අඩංගුවට ගතයුතු තරමේ 'අසත්‍ය ප්‍රවෘත්ති' යන්න තීරණය කරන්නේ පොලිසිය හා නීතිපති නම් 'වෛරී ප්‍රකාශන' යන්න තීරණය කරන්නේ පොලිසිය හා නීතිපති නම්, ජනමාධ්‍යවේදීන්ට අවුරුදු පහක සිරදඩුවම් හා ලක්ෂ දහයක දඩ නියම කිරීම කෙසේ වෙතත්, අන්තිමට සිදුවන්නේ බලවතුන්ට ඕනෑ විදිහට හැකි තරම් කාලයක් ජනමාධ්‍යවේදීන් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ හැකියාව ඒ අයට නිරායාසයෙන්ම ලැබීමය.

මේ විදිහට මර්ධනය තමා ලඟට කැඳවාගත්, ජාතිවාදී හා ආචාරධර්ම විරහිත සියලු මුද්‍රිත හා විද්‍යුත් ජඩමාධ්‍යවේදීන්ට දොස් කියන අතරේ ආණ්ඩුවේ මේ මර්දනීය නීතිවලට එරෙහිව කිටයූතු කිරීමට අවශ්‍යය.

මන්ද යත්, මෙවැනි මර්දන නීතිවල සැබෑ අවදානම ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවිරෝධී හා වර්ගවාදී දේශපාලකයන් සමග එකට කනබොන, ඔවුන්ගේ වුවමනා එපාකම්වලට අනුව සිය මාධ්‍ය හසුරුවන්නට දිවිහිමියෙන් කැපවී සිටින ජඩමාධ්‍යකරුවන්ට නොව, ප්‍රජාතන්ත්‍රවාදී හා ආචාරධාර්මික මූලධර්ම මත සිට විවේචනය කරන ජනමාධ්‍යවේදීන්ට නිසාය.

අනෙක් අතට, ජාතික ආරක්ෂාව, සාමය ආරක්ෂා කිරීමට හෝ වෙනත් කාරණා ඉදිරියට දමමින්, මෙවැනි කැළඹිළි සහිත අවස්ථා ප්‍රයෝජනයට ගනිමින්, හැම කල්හිම ආණ්ඩු, මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ හා වෙනත් අයිතිවාසිකම් මර්දනයට අවශ්‍ය නීති සම්පාදනය කරගන්නා බවද අලුත් අත්දැකීමක් නොවේ.

(කේ.ඩබ්ලිව්. ජනරංජන -අනිද්දා පුවත්පතින්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්