ප්‍රබන්ධකරණයේ ප්‍රමිති අර්බුදය නොහොත් අවර ගනයේ ප්‍රබන්ධකරණය ලියන්නකු දඟගෙහි ලෑමෙහි හේතුව වන්නේ නම් හිරගෙදර ලැග්ග යුතු වන්නේ ශක්තික නොවේ; අපමණකි.

සිපිරිගෙයක් අලුතින් තනා එය මුළුමනින් ම පුරවන්නට තරම් ලියන්නන් මෙකී ප්‍රමිතිකරණ පොලිසියට හසුවීම අතිශයින් සුලබ සංසිද්ධියක් වනු ඇත. 

‘ශක්තිකගේ ප්‍රබන්ධකරණයේ ශක්තිය’ ගැන වහරන බොහෝ ලියන්නන් මේ වන විටත් සිරබත්කමින් සිටිය යුතු ය. ‘කවරගනයේ’ දේශපාලනික ප්‍රබන්ධකරණයක නිරත වුව ද ඇතැම්විට ශක්තික සත්කුමාර නම් තරුණ ලියන්නාට යන්නට සිදුවන්නේ ‘අවර ගනයේ’ ලිවීම් නිසා සිරගත කළ ලියන්නන්ගෙන් පිරුණු සිපිරි ගෙදරකට ය. එසේ වී නම් ශක්තික සත්කුමාරට තනිව වසන්නට සිදුවන්නේ නැත. 

මෙකී සුපිරි සිපිරිගෙය සාහිත්‍ය ඔස්තාර්ලාට මරු තැනක් වන්නට ඉඩ තිබේ. ලියන්නට වඩා ලියන්නන්ට උපදෙස් දෙන්නටත්, ලියන්නට වඩා ලියන්නන්ට අතහිත දෙන්නටත්, ලියන්නට වඩා ගුරුකුල තනන්නටත්, ලියන්නට වඩා අවිචාරී විචාර පතරංග ගොතන්නටත් කාලය ශ්‍රමය නිර්ලෝභීව වගුරන මෙකී සාහිත්‍ය සක්විත්තන්ට සිපිරිගෙය තුළ සක්විති රණසිංහ පන්නයේ ලිවීමේ පංති පවත්වන්නට හැකි වනු ඇත.

ශක්තික සිද්ධිය පිළිබඳ කොළඹ කේන්ද්‍රීය ‘සාහිත්‍ය අවකාශය’ කැළඹුණු බවකි මුල සිටම නොපෙනුණි. මන්ද යත් ශක්තික සත්කුමාර වනාහී කොළඹ සංස්කෘතික කවයන්හි රැස් වළලු අතර ගැවසෙන්නකු නොවේ. ඔහු ‘සිවිල්’ විය හැකි පත්තරකාරකම පවා අතහැර ගමට ගොස් රජයේ රස්සාවක් කරමින් නිර්මාණකරණයේ නියැලෙන්නට තීන්දු කළ ලියන්නෙකි. කොටින්ම ඔහු සිවිල් චරිතයක් නොවේ. 

ඔහු සම්මානලාභියකු යැයි කීවාට ඒවා යෞවන සම්මාන හා වයඹ සම්මාන ආදී පරිධියේ එක්තරා සීමාවක නතර වී තිබේ. ඉදින් ඔහු වෙනුවෙන් පෙනී සිටීම තුළ එසේ පෙනී සිටින්නන්ට පෙරලා අතපත් වන දෙයක් නැත. ප්‍රකාශනයේ නිදහස සඳහා වුව පෙනී සිටින්නට නම් වින්දිතයා සිවිල් චරිතයක් විය යුතු ය; නැතහොත් කොළඹ රැස්වළලු වල ආලෝකය වැටී තිබිය යුතු ය. ශක්තිකට ඒවා නැත. 

එසේ වන බැවින් ම, ඔහු ‘දින සියය’, ‘දින දෙසීය’ ආදී වශයෙන් තනුකව මෙනෙහි කළ හැකි සිරකරුවෙක් පමණක් වන තරමට අතැර දැමීම යුක්ති යුක්ත ද?

ඔහුගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම සියල්ලන්ගේම ප්‍රකාශනයේ, නිර්මාණකරණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමක් නොවන්නේ කවර අර්ථයකින් ද? ශක්තිකගේ නිදහස වෙනුවෙන් අද දවසේ (17) කොළඹදී පැවැත්වෙන්නට නියමිත විරෝධතා ව්‍යාපාරයට නා නා විධ හේතු පාමින් නො ඒම වූ කලි එසේ නො එන්නාගේ දේශපාලනික හෘදය සාක්ෂිය පිළිබඳ තමන් තුළ ම ශේෂ වන සදාකලික ගැටළුවක් වන්නේ ය.

අප දන්නා ශක්තිකගේ සමාජ දේශපාලන භාවිතය තිබුණේ වාම ප්‍රවේශයක ය. ගෙදර තිබූ ‘සදහම්’ පරිසරයට අනුකූල වන ලෙස 2005 ‘’දිවි මගට පහන් වැට’’ බඳු කෘතියක් පළකිරීමෙන් ග්‍රන්ථකරණයට පිවිසුණත් ඔහු ඉතා ඉක්මනින් යුද විරෝධී ව්‍යාපාරය සමඟ වැඩ කරන්නට පටන් ගත්තේ ය. නව සම සමාජ පක්ෂය පළ කරන ‘හරය’ පත්තරයට ලිපි ද කවි ද සම්පාදනය කළා පමණක් නොව, ඔහු මැයි රැලිවලට පවා සහභාගී වන උද්යෝගීමත් චරිතයක් විය.

ඊට සමාන්තරව, ප්‍රධාන ධාරාවේ පත්තරවල නිර්මාණ පළකරන්නකු සහ නිදහස් ලේඛකයකු වූ ඔහු කලක් 'ලක්බිම’ පත්තරයට ද, ඉන් පසු මා විසින් සංස්කරණය කෙරුණු ‘සියත’ පත්තරයටද එක්විය. නව සම සමාජ පක්ෂයෙන් බිඳී ගිය මහින්ද දේවගේ ඇතුළු කණ්ඩායම බිහිකළ සමාජවාදී පක්ෂයේ ‘අසණි’ පත්තරයේ සාහිත්‍ය පිටුව සංස්කරණය කරන්නා වූයේ ද ශක්තික ය. ඒ ඔස්සේ ම ඉදිරියට ගොස් ‘විප්ලවය’ සඟරාව ද, ඉක්බිති ‘හිරු සොයා යන මිනිස්සු’ සඟරාවද සංස්කරණය කරන්නට හෙතෙම ක්‍රියා කළේ ය.

නමුත් පසන් ජයතිලක ෆේස්බුක් සමාජ අඩවියේ ‘සංඝ හැමිනෙන්න’ ලෙස ලියූ සටහනේ දෙමළ සංහාරක යුද්ධය පිළිබඳ ගත් ස්ථාවරයේදී ‘ආයු රක්ඛත්තු ආවඩා’ යැයි ලියා සිංහල හමුදාවට පණපොවන්නට රත්න ශ්‍රී විජේසිංහ ගත් ස්ථාවරයට ශක්තික සමාන්තර කිරීම සිදුකර තිබිණ. 

ආරම්භයේදීම ශක්තික ප්‍රශ්නයට මතවාදීව මැදිහත් වෙමින් සිටි වාම කවයන් නියෝජනය කළ ක්‍රියාධරයන්ට, ශක්තික පිළිබඳ අඛන්ඩ ස්ථාවරයක් දැරීමට පසන් ජයතිලකගේ ‘හෙළිදරව්ව’ හරහා දෙගෙඩියාවක් ඇතිවූවා වන්නට පිළිවන. නො එසේ නම් ‘අවරගනයේ නිර්මාණයක් ලෙස’ තමන් තුළ ‍රෙජිස්තරව සිටි ශක්තිකගේ කෙටිකතාව වෙනුවෙන් පෙනී සිටීමට මුළ සිට පැවති දෙගෙඩියාව එලෙසින්ම පවත්වා ගැනීමට පසන් ජයතිලකගේ සටහන හේතුභූත වූවා වන්නට ද පිළිවන. 

නමුත් මා දන්නා ශක්තික එසේ නොවේ. ඔහුගේ පළමු ප්‍රබන්ධ ග්‍රන්ථය වූ 2010 වසරේ ‘බූන්දිය’ විසින් ප්‍රකාශිත ‘වෙඩිවැදුණු පන්හිඳ’ කෘතියේ ‘මගේ කවිය’ මැයෙන් ඔහු මෙසේ ලියයි:

"ඔත්පලව කාලය
ගොළුව ඇත හදවත
පුරන්ව ගොස් මිනිසත්කම
ඉරිතලා මගේ කවි සිත

ලොවම තනි යායක්
කීවත් අපේ මහ කිවිඳු
එළෙසින් දකින ඇස
ගලවා දමයි බොල් පොළවට

කොටියා කොටියාමය
දෙමළා දෙමළාමය
මේක අපේ සිංහල රට
ලිවිය යුතුයි සිංහලකම ගැන

තව දස වසරකින්
සුරපුරක් වේය මේ ලක
වේලක් කා දිනකට
සැමදෙන දකිව් ඒ සිහිනය''

ඔහු එම කෘතියේ පිවිසුම් සටහනේ මේ අර්ථයම ගද්‍යයෙන් ද ලියයි; මෙලෙසිනි.

..’’තව වසර දහයකින් මේ රට සුරපුරයක් වන බව කියන, ලියන, රඟපා පෙන්වන සහෘද කලාකරුවනි! සහිත්‍ය නිර්මාණකරුවනි ! මඳක් නවතින්න. පිටුපස හැරී බලන්න....පුදුමාතලන් කඳවුරෙහි ඉකිබිඳුම, උතුරට හැරී තිබුණු තුවක්කුව දකුණට හැරීම, සරසවි හා ඉන් පිටත සිසුන්ගේ වල්මත්ව හැසිරීම සුපර් ස්ටාර් කෙනෙක් වීමට බහුජාතික සමාගම් ඉදිරියේ දණ නමන තරුණ කැළ තම මව් බස අසමත් 29%ක හා ගණිතය අසමත් 51%ක අවිචාරශීලී සාමාන්‍ය පෙළ සිසුන් ඔබට නොපෙනේද?’’

දස වසරකින් ලංකාව සුරපුරයක් වනු ඇතැයි සිහින දකින්න යැයි ඔහු අභියෝග කළ සමාජය හරියටම දස වසරකින් ඔහු අල්ලා සිරගත කර ඇත.

‘වෙඩිවැදුණු පන්හිඳි’ කෘතියේ ‘අවජාතකයෝ’ මැයෙන් යුත් කවියේ දී ඔහු සිය ස්ථාවරය දැඩිව පවසයි. ඒ කවියට නිමිත්ත වන්නේ ඔහු එවක සිටි බෝඩිමේ මිතුරන් විසින් කෙරුණු ප්‍රකාශයකි. ‘’කොටි සංවිධානය පරදා මේ ලැබූ යුද ජයග්‍රහණය සමරන්නැති උන් අවජාතකයෝ ...’’ යැයි බෝඩිමේදී ඔහුට අසන්නට ලැබෙයි. ඔහු නිර්භිතව තම මතය පළ කරයි. මෙලෙසිනි;

"සබඳ ඔබ නිවැරදියි
අපි අවජාතකයෝ වෙමු

ඇසුණත් රතිඤ්ඤා හඬ
දැනුණත් කිරිබත් සුවඳ
පෙනුණත් සිංහධජ
නුඹලා පිරූවත් සව්දිය
කෙලෙසද සමරමු ද අපි
යුද ජයග්‍රහණය
යුද්ධයෙන් පැරදී සිටින අපි’’

දේශපාලනිකව එබැඳු ස්ථාවරයක් දැරූ ඔහු සංඝ සමාජයේ සිවුරු ඔසවා සීතාම්බර පටපිළි පෙන්වූව ද, ඔහුට ‘’බුදුන්’ සමඟ ගැටළුවක් තිබුණේ නැත. ඔහු බුදුන් ලියන්නේ මෙලෙසිනි.

"අකාලික බුද්ධාගම් පොතේ
පිටු අතර වැඩහිඳී
රෝහිණී නදියේ දිය දබරය
වැලකූ බුදු සමිඳ"

බුදුන්, රෝහිණියේ දිය දබරය වැළකන්නට ක්‍රියාකොට වදාළා සේ ක්‍රියාකිරීම බුද්ධ පුත්‍රයන්ගේ බුද්ධ භාවිතය නොවේ. තමන්ගේ අභිනික්මන පිළිබඳ වන බෞද්ධ සාහිත්‍යය කවර කවර යුගවල කවරාකාරව වරනැඟෙනු වුව පෙනීම බුදුවරයකු සසලව යන්නට හේතුවක් නොවුන ද බුද්ධ පුත්‍රයෝ නම් සසලව යති. එ් සසලවීම විග්‍රහකරගත යුතු වන්නේ දේශපාලනිකව ය.

වරප්‍රසාදිත ආගමික යාන්ත්‍රණයේ සැකැස්ම හා පදනම රාජ්‍ය බල ව්‍යුහයේම විශාල පංගුවකි. මෙකී සංසිද්ධිය අප දේශපාලනිකව කියවා ගත යුත්තේ එබැවිනි. මෙකී ප්‍රති-පෝෂණයේ ඇති ව්‍යුහාත්මක ස්වරූපය විශ්ලේෂණය කරගැනීම දේශපාලන කාරණාවකි. සන්නද්ධ හමුදාවන් රාජ මර්ධන යන්ත්‍රයේ කොටස්කරුවන් වන්නේ යම් සේද, ඊට සමාන්තර ප්‍රවේශයකින් ආගමික සංස්ථා විසින් සදාචාරවාදය ළෙළවමින් රාජ්‍ය මර්ධන යන්ත්‍රයේ දෘෂ්ටිවාදී කොටස්කරුවන් බවට පත්වෙයි. රාජ්‍ය යාන්ත්‍රණයේ සකල බල තුලනයන් පවතින්නේ මෙකී ව්‍යුහමය සහ-සම්බන්ධයන් මත ය. සංස්ථාපිත ආගම් යනු හැම විටම රාජ්‍යයේ දෘෂ්ටිමය මර්දන උපකරණයක් බව අප සිහි තබාගත යුතුවන්නේ එබැවිනි.

ආගමික වක්තෘවරුන්ගෙන් දර්ශනය එකී දාර්ශනික හරයන්ගෙන් හා භාවිතයෙන් ගළවා සංස්ථාවන් බවට පත් කළ මේකී ආගම්වල පදනම ඇත්තේ අතීත ප්‍රබන්ධමය ස්වරූපයන් තුළ බව ඒවායේ වත්මන් පොල්මඃකාර ප්‍රභූ භික්ෂු යාන්ත්‍රණය දනී. එකී ප්‍රබන්ධ නැවත ප්‍රබන්දගත කොට ඒවා පාර ප්‍රබන්ධ බවට පත් කිරීමට ඉඩදීම, පවතින සංස්ථාපිත ආගමික පදනම සොළවයි. එය ඔවුන් තුළ මහත් භීතියක් ජනති කරයි. ඒ වනාහී පැවැත්ම පිළිබඳ භීතියකි. කලාකරුවාගේ පරිකල්පනය ක්‍රමයෙන් සමාජයට කාන්දු වුවහොත් සදාචාර අසිපත ළෙලවන්නට ආගමික සංස්ථාවන්ට ඇති ශක්‍යතාව අර්බුදයට යයි. මෙකී සංස්ථාවන් ඊට ඉඩ නොදෙනා දේශපාලනය පවතින්නේ එතැන ය.

ව්‍යුහගත ආගම් සහ ප්‍රබන්ධ සාහිත්‍යය (සහ කලාව) පැහැදිලිවම දෙකකි. වාරණය පැමිණෙන්නේ පැවැත්ම වෙනුවෙන් මේ විෂයන් දෙක පටලවා පෙන්වන ගෝත්‍රිකයන් වෙතිනි. මා මෙම ගෝත්‍රික ක්‍රියාවලියේ සෘජු වින්දිතයකුව සිටි බැවින් මම අද්දැකීමෙන්ම ඒ බව දනිමි. අද ශක්තික සත්කුමාර සාහිත්‍යකරුවා සිරගත කළ නීතිය එ කල නො වීය. එය වී නම් ශක්තිකට පෙර හිරේ විලංගුවේ ළගින්නේ මා ය. සිංහල බෞද්ධ මූලධර්මවාදීන්ගේ සෘජු මෙහෙයවීමෙන් නොවේ. ‘මේරි නම් වූ මරියා’ සමඟ වූ යුද්ධය ඇවිළුණේ සිංහල කතෝලික මූලධර්මවාදීන්ගේ මෙහෙයවීමෙනි.

එ කල එය, කතෝලික සභාවේ ‘නිල ප්‍රකාශනය’ වූ ‘ඥානාර්ථ ප්‍රදීපය’ පත්තරයේ මුල් පුවත විය. මා අත් අඩංගුවට ගෙන දඟගෙයි ලෑමට අවශ්‍ය නිල ඉල්ලීම චන්ද්‍රිකානු ආණ්ඩුවේ සංස්කෘතික ඇමති වූ ලක්ෂ්මන් ජයකොඩි වෙත රැගෙන යනු ලැබීමේ තීන්දුව ගෙන තිබුණේ වර්තමාන ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ, සිංහල-කතෝලික අසම සම මහවිරු මැල්කම් කාදිනල් රංජිත් ප්‍රමුඛ කතෝලික රදගුරු සම්මේලන විසිනි. ලංකාව නම් රාජ්‍ය තුළ කතෝලිකභාවය යනු සිංහල බෞද්ධ අධිපතිවාදයේ ගර්භායේ පැන නැඟුණක් බව හැම නිතරම මෙනෙහි කරමින් සිටින්නේ මෙම කාදිනල්වරයාම ය.

ශක්තික සත්කුමාරගේ ‘අර්ධ’ මැයෙන් වූ කෙටිකතාවට එරෙහිව පෙළගැහුණු ‘අර්ධාකාර’ සංඝ නඩයේ පිහිටට පැමිණියේ ‘’විශිෂ්ට ගනයේ නීතියක් ලෙස කලක දී කොළඹ ඇතැම් විද්වත් කෙළැඹියන් ඕසේ දැමූ, ඔජ වඩවනු ලැබූ පනතකි. මෙයින් යළිවරක් පැහැදිලි වන්නේ කවර නීතියක් පම්පාදනය කළ ද එය කැමති අතකට නමා ගැනීමේ විභවයක් අධිපති දෘෂ්ටිවාදය තුළ පවත්නා බව යි.

අතුරලියේ රතන බෞද්ධ භික්ෂුව, හසිදි නීතිය පවතිද්දිම ඉස්ලාම් ආගමික ප්‍රජාවට එරෙහිව මහජන කැළැඹීම් ඇති කරන්නට වෛරී ප්‍රකාශන භාවිත කළේ ය. එතැනින් නොනැවතී සිංහල ජාතියේ නාමයෙන්, බුදුන්ගේ ‘දන්ත ධාතුව’ පෙනෙනෙ තෙක් මානයේ 'සියදිවි නසාගන්නට' තැත් කළේ ය. ‘මාරාන්තික උපවාස’ අවකාශයට පැමිණි ජනාධිපති සමාලාභී ගලගොඩඅත්තේ ඥානසාර බෞද්ධ භික්ෂුව තමන් ලබා දෙන පැය කිහිපය ඇතුළත මුස්ලිම් ඇමතීන් ඉල්ලා අස් නොවුවහොත් රට පුරා 'සැණකෙළි' පවත්වන බවට ප්‍රසිද්ධියේ තර්ජනය කළේ ය. සිංහලකම ගැන කියමින්, සිංහල බෞද්ධභාවය උත්කර්ෂයට නඟමින් රාජ්‍ය දෘෂ්ටිවාදයට උඩගෙඩි දෙන මැල්කම් රංජිත් කාදිනල් තැන ද මහනුවරට පැමිණ රතන භික්ෂුවගේ ඉස්ලාමික විරෝධී අන්තවාදී සටන ‘බෙන්සාරු’ කරලී ය. මේ කිසිම අධිරංගනයක් ශක්තිකට විලංගු ලූ පනතට අනුකූල වූයේ නැත.

‘’සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය’’ පිළිබඳ පනතට අනුකූලව (අයි.සී.පී.පී.ආර්.’ පනත) වුව වෛරීභාවයේ පරිමාණය තීරණය කරන්නේ පොලිසිය යි. පොලිසිය විසින් ඉදිරිපත් කෙරෙන ‘කතාව’ නොහොත් ‘නිමිත්ත’ මෙකී නීතියට එකඟ ද, අනුකූලද යන්න මහේස්ත්‍රාත් අධිකරණය සළකා බැලිය යුතු ය.

පොලීසිය ගොනු කරන ‘කතාවේ’ ස්වරූපය අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්නට සිදුවන්නෙකුට ඇප ලබා දෙන්නට යළි එම මහේස්ත්‍රාත් අධිකරණයට නොහැකි වීම මෙම නීතියේ ස්වරූපයයි. නමුත් පොලිසිය විසින් ගොනු කෙරෙන ‘කතාව’ මෙවන් නඩුවක් දැමීමට ප්‍රමාණවත්දැයි සළකා බැලීමට මහේස්ත්‍රාත්වරයාට නොහැකි ද?

කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැර ගැනීම සහ පසුව ඔවුන් අතුරුදන් කිරීමට අදාළ සිද්ධියේ සාක්ෂි දුන් ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ඇතුළු මැර පිරිසක් නාවික හමුදා මූලස්ථානය තුළදී ම ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීම හා පැහැර ගැනීමට උත්සාහ දැරීමේ සිද්ධිය සම්බන්ධ ‘කතාව’ පොලීසිය ගොනු කර තිබුණේ පහළ උසාවියකින් පවා ඇප දීම ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙසට ය.

කොටුව පොලීසිය මෙම විමර්ශන සිදු කර ඇත්තේ , ඉතාමත් අගතිකාමි ලෙස බව පෙනී යන බව එහිදී පෙන්වා දුන් මහෙස්ත්‍රාත් රංග දිසානායක එහිදී පවසා සිටියේ මෙම නඩුව පිළිබඳ විමර්ශන කටයුතු කොටුව පොලිස් ස්ථානයෙන් ඉවත් කර ‘’කොළඹ අපරාධ විමර්ශන ඒකකයට’ බාර දීමට ක්‍රියා කරන ලෙස ය. මෙහිදී මතුවෙන වැදගත්ම කාරණය වන්නේ මහේස්ත්‍රාත්වරයකු විසින් ම පොලීසිය විසින් නඩු පැවරීමේදී හිතාමතාම සිදුකරන ‘දෝෂ’ අනාවරණය වීමයි.

මෙකී 11 දෙනා පැහැර ගැනීමේ සිද්ධියට අදාලව ම ‘බරපතල අපරාධ ගණනාවක චූදිතයකු වන’ හිටපු නාවික හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගොඩ "රණ විරුවකු" ලෙස පිළිගනිමින් ඔහු කිසිවිටෙකත් අත් අඩංගුවට ගැනීම තහනම් කළ බුවනෙක අලුවිහාරේ, විජිත් කේ මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ ප්‍රකාශය 'ඓතිහාසික' එකක් වනු ඇත. සිංහල-බෞද්ධ අධිපතිවාදය තුළ නීතිය නැමෙන ආකාරය එබඳු ය.

පාස්කු දින සිද්ධිදාමයෙන් පසු නාත්තන්ඩිය ප්‍රදේශය පුරා සිංහල අන්තවාදය වැපිරූ පුද්ගල සමූහයක් වෙනුවෙන් මාරවිල අධිකරණයේ නීතිඥ සංගමය පෙනී සිටි නිර්ලජ්ජිත ආකාරය ‘ගගන’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණ. ඔවුන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නීතිය වෙනුවෙන් නොවේ ‘සිංහලකම’ වෙනුවෙනි. මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දිය නොහැකි පරිදි මෙම ‘කතාව’ ගොනු කර ඇතැයි එදින, මෙම මාරවිල නීතිඥ සංගමය පොලීසියට දෝෂාරෝපණය කළ නමුත් මීළඟ නඩුවාරයට පෙර රුපියල් පනස් දහසේ ශරීර ඇප මත චූදිතයන් 31 දෙනෙකු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා ක්‍රියා කළේ ය. ඒ කෙසේ ද? නීති නැමී ඇත්තේ කොතැනින් ද?

ඉදින්, ශක්තික සත්කුමාරගේ හිරගතභාවය පිළිබඳ අපිට නිගමනය කළ හැක්කේ කුමක්ද?

කොටින් ම, ශක්තික වනාහී සිංහල බෞද්ධ ආධිපත්‍ය පවත්වාගෙන යාම සඳහා සිංහල බෞද්ධ රාජ්‍ය විසින් පවත්වාගෙන යනු ලබන නීතිය විසින් පීඩාවට පත්කෙරුණු ගොදුරකි.

සද් චේදනාවෙන් පත්කරගත් බැව් කියන ජනාධිපතිවරයා මොන තරම් දුෂ්ඨකමේ සෞන්දර්ය පතුරුවන්නෙක්දැයි අත්දකින්නා සේ ම, "සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය" මත පදනම් වූ බව පවසන පනත් පවා, බල ගැන්වීමේ ක්‍රියාවලිය පවතින්නේ සිංහල බෞද්ධ අධිපති දෘෂ්ඨිවාදයේ අනුහසට යටත්ව බව නිගමනය කිරීම අපහසු වන්නේ නැත.

අපරාධ මර්දන කොන්දේසි අභියස පිඩාවට පත්ව සිටින නිර්මාණාත්මක ලියන්නකු පිළිබඳ සදාචාර විනිශ්චයන් දීම මෙන්ම ඔහුගේ ලිවීමේ ප්‍රමිතිය ප්‍රශ්න කිරීම, සෘජුවම රාජ්‍ය මර්දන යන්ත්‍රණයට උඩගෙඩිදීමකි; දැනුවත්ව හෝ නොදැනුවත්ව ඊට හවුල් වීමකි.

එසේ ප්‍රශ්න කරන්නන්ගේ ලීවීමේ ශක්‍යතාව පවතින්නේ කවර ප්‍රමිතියකදැයි මූලාරම්භයේදීම මට ලියන්නට සිදුවුණු තර්කනය ගොඩනැගෙන්නේ ශක්තිකගේ ඉරණමට එරෙහිව ය.☐

(මංජුල වෙඩිවර්ධන- උපුටා ගැනීම jdslanka.org/s)

manjula wediwardana2

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්