පාස්කු ඉරිදා සිදුවුණ බෝම්බ පිපිරීම වලක්වාගැනීමට නොහැකි වන්නේ කාගේ වරදක් නිසාද? මේ වන විට පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තේ ඒ වන විට රාජකාරියේ නිරතව සිටි පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා බව තීරණය කරමින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. සැබැවින්ම පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වාගැනීමේ වරද මේ දෙදෙනාගේ පිටට පැටවිය හැකිද?

එසේ කිරීම කොතරම් යුක්ති සහගතද?

මේ දෙදෙනා පිට වරද පැටවීමට හේතුපාදක වී තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසමක වාර්තාව බව ද දැනගන්නට තිබේ.

ජනාධිපතිවරයෙකු පත් කළ කොමිසමකින් සිදුකර තිබෙන නිර්දේශ මත කිසියම් වරදකට වගකිව යුත්තන් මින් පෙර මේ අන්දමට කඩිනමින් අත්අඩංගුවට ගෙන තිබේද?

නියර මිටි තැනින් වතුර බැසීම:

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ජනාධිපතිවරයා බව මහජනතාවට අවබෝධවී අවසන්ය. ඒ අවබෝධය ලැබෙන්නේ ව්‍යසනය සිදුවන විට ජනාධිපතිවරයා රටේ නොසිටීම හරහාය. සිදුවුණේ කුමක්ද? සිදුවුණේ කෙසේද? යන ප්‍රශ්නවලට පිළිතුරු සමාජයට ගලා ආවේ ඉහලම මට්ටමින්ය. ජනාධිපතිවරයාගේ මුග්ධ හිතුවක්කාර ක්‍රියා පිළිවෙත් සියල්ලට හේතුවී තිබෙන බව ලොකු කුඩා කාටත් පැහැදිළිය.

ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා නොගැනීමේ වරදට වරදකරුවෙකු නොවේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවත් ජනතාවට එය පිළිගත නොහැකිය. ඒ තරමටම දැන් කරුණු අනාවරණය වී ඇත. එහෙත් ජනාධිපතිවරයාට නීතිය ක්‍රියාත්මක කිරීමට තත්වයක් රටේ නැත.

මෙතෙක් රට පාලනය කළ කිසිම පාලකයෙකු අතින් සිදු නොවුණ අන්දමේ වරදකි ජනාධිපති සිරිසේන අතින් සිදුව තිබෙන්නේ, එහෙත් ඔහුට වැරදි කරුවන් නම් කිරීම‌ට හා තමන් නිර්දේෂී බව විදහා පෑමට පුළුවන් වී තිබේ. අප ජීවත් වන්නේ පුදුම රටක නොවේද?

හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීම :

ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කිරීමත් ඉන් වරදකරුවන් බවට පත්වන පුද්ගලයන් කවුරුන්ද යන්න කල්තියා ප්‍රකාශ වීමත්, හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමට නොදෙවෙනි තත්වයකි. 

කොමිසම පත්කරන්නේ කිසිම විනිවිදභාවයකින් තොරවය. ජනාධිපතිගේ අභිමතය පරිදිය, ඒ නිසා මේ කොමිසමේ සාමාජිකයන්ට හෘර්ද සාක්ෂියට එකඟව කටයුතු කිරීමේදී සදාචාරාත්මක ප්‍රශ්නයක් පැනනගින්නේය.  

කෙසේවෙතත් කොමිසමේ සාමාජිකයන් තිදෙනාම ඒකමතික තීන්දුවක්ද ලබාදී තිබෙන්නේ, එසේ නොවේනම් තත්වය කොතරම් කණගාටුදායකද? කෙසේවෙතත් මේ කොමිසමේ එක් සාමාජිකයකු විසින් දෙන ලද වාර්තාවක් මත අති සරල අන්දමට වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන් දංගෙඩියට දක්කන්නට පියවර ගන්නා තැනකට තල්ලුවී තිබෙන ඇති සැටි පෙනේ. 

එක අතකට මේ වූ කලී නීතිය ක්‍රියාත්මක කිරීමේ ‌ෙඑතිහාසික තත්වයක් විය හැකිය. සැබැවින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් පමණක් නොව රට තුළ සිදුවන සියලු අපරාධ හා දූෂණ වංචා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන අන්දම විකාරරූපී නාටකයක් සදිසිය.

යුක්තිය පසිඳලීම නිසි අන්දමට සිදුනොවන්නේ කාගේ වරදකින්ද?




 107639864 99ac0e64 7b3d 4dae 9a17 b76443e38adaජනාධිපතිගේ පරම බලය ඉවහල් කරගෙන මේ වන විටත් සේවයේ යොදවා සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයෙන් ඇප ලබා සිටින්නෙකි.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ සිදුවුන ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ඉතා සූක්ෂම අන්දමට  කරුණු විමර්ෂණය කොට ඒවා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි  පියවර සම්බන්ධව උපදෙස් පතමින් නීතිපති දෙපාර්තමේන්තුවට ගොනු රාශියක් භාර දී තිබෙන බව  වාර්තාවේ. 

ඒ විමර්ෂනත් ජනාධිපතිවරයා පත් කළ කොමිසමක වාර්තා අතර ස්වරූපය හා වෙනස, අහසට පොළව මෙනි. එහෙත් ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් ඉදිරි පියවරක් පේනතෙක් මානයකවත් නැති සේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ෂන අනුව ඉදිරි පියවර සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වුන අපරාධ සම්බන්ධව යුක්තිය පසිඳලීම නිසි අන්දමට සිදුනොවන්නේ කාගේ වරදකින්ද?

ජනාධීපතිගේ පරම බලය ඉවහල් කරගෙන මේ වන විටත් සේවයේ යොදවා සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයෙන් ඇප ලබා සිටින්නෙකි.

 තවත් අපරාධ සම්බන්ධව අධිකරණයෙන් ඇප ලබා සිටින පුද්ගලයන් නැවත සේවයට පිහිටුවීම, උසස්වීම් ලබාදීම්, ජනාධිපති සම්මාන ලබාදීම, සහ අත්අඩංගුවට ගතයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට නොහැකිව තිබෙන්නේ ජනාධිපති නීතිකව හෝ අනීතිකව බුක්ති විඳින - පරිහරණය කරන, පරම බලය නිසාය යන්න නොරහසකි.

ත්‍රිවිධ හමුදාවට අණදීමේ නෛතික බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන්නේ ජනාධිපතිටය. එය කොතරම් ආධිපත්‍යවාදී ස්වරූපයක පවතින්නේද යත්, ප්‍රහාරයෙන් පසුව යම් තීන්දු තීරණ ගැනීමටත් අගමැතිවරයාට ත්‍රිවිධ හමුදාවේ නායකයන් හෝ ආරක්ෂක ලේකම් කැඳවීමට බලයක් නැති බව අනාවරණය වූවකි. 

ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකිවයුතු පරම බලය ඇති පුද්ගලයා දිවයිනෙන් බැහැරව සිටීම, නීතිය හා සාමය නැමැති අමාත්‍යංශයත් ජනාධිපතිවරයා අනීතිකව තමා යටතේ තබාගෙන රටින් පිටවීම වරදක් ලෙස, අපරාධයට වගකිව යුත්තන් සොයා ගැනීමට පත්කළ කොමිසමට නොපෙනීයාම විශ්මයජනකය. 

ජාතික ආරක්ෂක කවුන්සිලය නොකැඳවීම යනු රටේ ජාතික ආරක්ෂාව මායිම් නොකිරීමක් ලෙස කොමිසමට නොපෙනුණිද? 

ජාතික ආරක්ෂාව සහ දේශපාලනය:

විශ්‍රාම ලත් යුද හමුදාපතිවරයෙකු ජාතික ආරක්ෂාව ගැන සි‌ය අදහස් දක්වමින් ‌පෙන්වා දුන්නේ රට ආරක්ෂා කිරීම ත්‍රිවිධ හමුදාවේ පරම වගකීම වන්නේ නමුත්,රටේ ජන ජිවිතය ආරක්ෂා කිරීම ද ජාතික ආරක්ෂාවට අදාළ තත්වයක් බවය. 

ජන ජිවිතයේ දෛනික පැවැත්ම බිඳ වැටෙන හදිසි තත්වයන්හිදී හමුදාවේ සේවය ‌පොලීසිය‌ට ලබා දෙන්නේ ඒ පදනම ඔස්සේ ‌ගොඩ නැඟුණ නෛතික රාමුවක් පවතින නිසා බව ද එතුමා පවසයි. එතුමාගේ විග්‍රහයෙන් වැඩි දුරටත් අවධාරණය කළේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වගවීමක් රටේ පාලකයා වෙත කොන්දේසි විරහිතව පැවරී තිබෙන බවය. 

ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව මඟින් නිසි අන්දමින් ඉටු කිරීමේ වගකීමෙන් රටේ පාලකයා දුරස්ථ වුණහොත් එහි වරද ඔහු භාර ගතයුතුම වන්නේය. හේතුව නම්, හමුදාව රටේ පාලකයාගේ අණක් පිළිපැදීමට සැදී පැහැදී සිටිය ද දේශපාලන නායකත්වයෙන් වියුක්තව තීරණ ගැනීමට හමුදාවට නොහැකි බැවිනි. එසේ වුවහොත් ඒ රට තුළ හමුදාමය පාලනයකි පවතින්නේ.

ජාතික ආරක්ෂාව උදෙසා දේශපාලන නායකත්වය අවශ්‍ය වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවෙන් ලබා දී තිබෙන ව්‍යුහමය තත්වයන්ගේ පරිපාලනයට බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටක රාජ්‍ය නායකයාට තමන්ගේ අභිමතය මත ජාතික ආරක්ෂාව දේශපාලන බලය වෙනුවෙන් හැසිරවිය නොහැකි බවත් එතුමා පැවසීය. 

එහෙත් ලංකාවේ පවතින තත්වය කණගාටුදායක බව ද එතුමා පෙන්වා දුන්නේය. එතුමා නිදසුනක් ලෙස දැක්වුයේ ජාතික ආරක්ෂාව යනුවෙන් අමාත්‍යාංශයක් ගොඩ නගා එය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දෙන ලෙස ජනතාවගේ පැත්තෙන් කළ ඉල්ලීම තුළ තිබුණේ ජාතික ආරක්ෂාව  සම්බන්ධයෙන් විශ්වාසයක් ජවතාවට උවමනා විමය.

එය ඉතා සාධාරණ තත්වයක් ලෙස දුටු එතුමා පෙන්වා දුන්නේ,ජනාධිපතිවරයා එවන් අමාත්‍යාංශයක් ඇති කිරිමට පියවර නොගැනීමත්, සරත් ෆොන්සේකාට ඒ වගකීම පවරා දීමට අසතුටු වීමත් තුළ සැබැවින්ම තිබෙන්නේ ජාතික ආරක්ෂාවට වඩා දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ මානසිකත්වය ඉස්මතුවීම බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සිටම මුස්ලිම් විරෝධයක් !

ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුව මතුවන්නේ විදේශ රටකින් ආක්‍රමණයක් සිදු කරන යථාර්තයක් නිසා නොවේ. රටේ පුරවැසියන් දේශපාලන අරමුණු මත ‌බෙදා වෙන් කර තිබෙන නිසාය. මේ සංදර්භය තුළ සුලු ජාතීන් බලවත්ය, ශක්තිමත්ය යන මානසිකත්වය මහ ජාතිය තුළ වැඩී වර්ධනය වේ. 

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සිටම මුස්ලිම් කඩවලින් බඩු ගැනීම හා ආහාර ගැනීමට විරුද්ධ මත සමාජ ගත කිරීමක් තිබුණේ එහෙයිනි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඒ මතයට බලපත්‍රයක් ලියන්නට ජාතීවාදීන් ලොකු වෙහෙසක් දරන්නේය. මේ මුග්ධ පිළිවෙත් ඔස්සේ තත්වය තවත් නරක් වන්නේය. පාලකයන් ඒ ගැන අසංවේදීය.

ලංකාව අභ්‍යන්තර කැරළි කෝලාහල සම්බන්ධව පමනක් නොව, බෝම්බ පිපිරවීම් සම්බන්ධව ද නුහුරු අත්දැකීම් තිබෙන රටක් නොවන්නේය. ඊට අදාළ යාථාර්ථයක් තිබේ. ඒ කුමක් ද? ඉතා සරලව පැවසුහොත් පුරවැසියන්, කතා කරන භාෂාව අදහන ආගම මත බේදා වෙන් කොට සලකන තත්වයක් දේශපාලනිකව නඩත්තු කිරීමයි. 

ඒ බෙදා වෙන් කිරිම තුළ බෙදි වෙන්වීමක් ද සැබැවින්ම තිබෙන්නේය. ඒ මක් නිසා ද? නිදහස හා ස්වාධීනත්වය අහිමි සංදර්භයක් තුළ අයිතිවාසිකම් දිනා ගැනීම පිණිසය. මේ වූ කලී ඉතා නරක දේශපාලන තත්වයකි. අභාග්‍ය වන්නේ එම දේශපාලන තත්වය දේශපාලන බලය වෙනුවෙන් කේවල් කිරීමේ ක්‍රියාවලියකට අද වන විට පරිවර්ථනය වි තිබිමය. 

මේ අවස්ථාවේ ජාතිවාදීන්ගේ පරම හතුරෙකු වි සිටින රිෂාඩ් බදියුදීන් රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවක ඇමතිවරයෙකු වීනම් සියලු ආවේගාත්මක කටයුතු ක්‍රියා  දාමයන් වැස්සක් පෑයු ලෙසින් නිම විය හැකිය. බරපතල තත්වය නම් රිෂාඩ් බදියුදීන්ටද ආණඩුකරණයේ තීරක බලයක් භුක්ති විඳින්නට හැකි වී  තිබීමය.එය ඔහුට උරුම කළේ කවුරුන් ද?
යළිත් අවධාරණය කළ යුතු කරුණක් තිබේ. ඒ කුමක් ද?

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපතිවරයාට සිය වගකීමෙන් නිදහස් විමට සදාචාරාත්මක අයිතියක් නැත. එහෙත් ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි, දියුණු තත්වයක යාන්ත්‍රණයක් ද රටේ නැත. මෙවන් අවකාශයක දී ජානාධිපතිවරයාට  සිය පැවැත්ම උදෙසා විනාශයේ වගකීම් කවුරුන් හෝ මත පැටවීම හැර වෙනත් විකල්පයක් තිබේද? ඒත් නැත. ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය අභිමත අන්දමින් හැසිර වීමට ජානාදීපතිවරයාට හැකියාව ද තිබේ.


පොලිස්පති හා ආරක්ෂක ලේකම්
hemasiri pujitha 1000px
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන විට, පොලිස්පති හා ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගෙන ඇති අසන්නට ලැබෙන විට මා සිටියේ රජයේ උසස් නිලධාරියෙකුගේ නිල කාමරයේය. එම අවස්ථාවේ එම කාමරය තුළ උසස් පොලිස් නිලධාරියෙක්, නීතිඥවරයෙක්, සහ වෛද්‍යවරයෙක් ඇතුළු පස් දෙනෙක් අසුන්ගෙන සිටියහ. 

පොලිස්පති  හා ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගත් පුවත ගැන සඳහන් කරමින් රජයේ උසස් නිලධාරියා පවසා සිටියේ බරපතල කාරණාවක් යයි මට සිතුණි. '.... ආණ්ඩුවේ ඉහල පදවි දැරීම ඉතා භයානක බවයි  මේ අත්අඩංගුවට ගැනීමෙන් තහවුරු වෙන්නේ මට මෙතන ප්‍රශ්න දෙකක් පේනවා. එකක් තමයි යම් පදවියක් දරන්න නිල සුදුසුකම් තිබුණත් දේශපාලන සාධක ඉවහල්කරගෙන ඒ පදවියට පත්වීම නොමනා බව. 

අනෙක තමයි ඉහළ පදවි දැරීමේ මානසිකත්වයෙන් පෙළෙන උදවිය ඒ පදවි ලුහුබැඳ‌ ගොස් ඒ පදවිවලට පත්වීම අනුවනකමක් බව. මේ දෙකම මහා ඛෙදවාචකයක්. මේ දෙකටම අපේ රටේ පවතින පිරිහුණු දේශපාලන ක්‍රමය තමයි වගකියන්න ඔනෑ. 

ජනාධිපතිවරයා මීට කලින් පත් කරලා අයින්කරලා දාපු ආරක්ෂක ලේකම්ල අද සැනසුම් සුසුම් හෙලනවා ඇත. ඒ කිසි කෙනෙක් රාජකාරි කළේ සැනසීමකින් නොවන බව මම දන්නවා. ජනාධිපතිට මොකක් ද තියෙන බලය නිලධාරීන්ට කුණුහරුපෙන් බනින්න. පොඩි කකුල් තියෙන අය ලොකු සපත්තු දා ගත්තම ඇවිදින්න බෑම තමයි.''

මේ අවස්ථාවේ සිට උසස් පොලිස් නිලධාරියා පවසා සිටියේ පූජිත් ජයසුන්දර සැබැවින්ම පොලිසියට ප්‍රශ්නයක් වුව, පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වාගැනීමට අසමත්විය යන චෝදනාව ඔහුට එල්ල කළ නොහැකි බවයි. ඔහු පැවසූ අදහසක් මෙසේය.

'..... රටේ පොලිස්පතිට හැම තිස්සේම රටේ නායකයාගෙන් එල්ලවෙන්නේ දෝෂාරෝපණ නම්, රටේ නායකයා රටේ පොලිස්පතිට අකමැති නම්, තමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණ කරනවා කියාලා සිතනවා නම් පොලිස්පතිට සිද්ධ වෙන්නේ පදවිය අත් හරින්න. නැත්නම් පාඩුවේ ඉන්න. මට පොලිස්පති වෙන්න සුදුසුකම් තිබුණා නං, මාව පොලිස්පති පදවියට පත් කළත් මම පදවිය භාර ගන්නේ නෑ. එකම හේතුවයි තිබෙන්නේ. පොලිස්පති විදිහට වැඩ කරන්න ස්වාධීනත්වය  හා නිදහස කාටවත්ම ලැබෙන්නේ නැහැ. වැඩ බලන පොලිස්පතිට නීතිපති දන්වනවා අර දෙදෙනා අත්අඩංගුවට ගන්න කියලා. ඇයි නොගත්තේ. එහෙත් ගන්න බෑ. ඇයි නීතිපති වැඩ බලන පොලිස්පතිට බල කරන්නෙ? අන්තිමට වැඩ බලන පොලිස්පති අකමැත්තෙන් හරි  පියවරක් ගන්නවා. කවදා හරි අන්තිමට අමාරුවේ වැටෙන්නේ වැඩබලන පොලිස්පති. මොකද නීතිය ඉදිරියේදී මට කරන්න දෙයක් තිබුණේ නෑ කියන්නෙ නිදහසට කාරණාවක්  නෙමේ...'

මේ අදහස් දැක්වීමට ඇහුම්කන් දී සිටි  වෛද්‍යවරයා පැවසුවේ මෙවැන්නකි. 

මේ විදිහට ඉස්සරහට ගියොත් කිසිම උසස් තනතුරකට හොඳම පුද්ගලයෝ පත් නොවෙන්න පුළුවන්නේ. රාජකාරියක් කිරීමයි රාජකාරිය ඇතුලේ දේශපාලනය කිරීමයි දෙකම ඉහල නිලධාරියෙකුට කරන්න වෙනවා නම් ඒක කණගාටුදායක නේ. අපිට මේ වැටහෙන්නේ  මේ අටේ රාජකාරි කරන්න බැරි බවද? මම අහන්නේ වැදගත් තනතුරක් දරන එක, දැලි පිහියෙන් කිරි කෑමක්ද?

තමන් කියන දේ ප්‍රශ්න නොකරන උදවිය  පත්කර ගත් මහින්ද !

මේ කතාබහ තුලදී තහවුරු කාරණය වුණේ මෛත්‍රීපාල සිරිසේනට පෙර රාජ්‍ය සේවයේ තත්වය නරක නැති බවයි. මහින්ද රාජපක්ෂ තමා ලඟට තෝරාගත්තේ තමන් කියන දේ ප්‍රශ්න නොකරන උදවියයි. ඒ නිසා ඔහු ලඟට ගිය සෑම දෙනාම ගියේ කැමැත්තෙනි. බොහෝ දෙනා වැරදි වැඩ කළේද කැමැත්තෙනි. 

ඒ තත්වය වෙනස්වීමත් මෛත්‍රීපාලනයක් තුළ අපේක්ෂා කෙරිණි. එහෙත් මිනිස්සු එක්ක අවබෝධයෙන් වැඩ කිරීමට අවශ්‍ය සත්‍යතාවක් මෛත්‍රීපාල සිරිසේන ලඟ නොමැති හෙයින් තත්වය තිබුණාට වඩා නරක් වී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් විය, යන වරද මත හිටපු පොලිස්පතිට හා හිටපු ආරක්ෂක ලේකම්ට අච්චු නොකළ හොත් ඉන් උගත හැකි පාඩම් දෙකක් ඇත. පළමුවැන්න නම් රජයේ ඉහල පදවි දැරීම භයානක බවයි. දෙවැන්න අප ජීවත් වන්නේ නීතියක් නැති රටක බවයි.

පතුරොම් පෙට්ටගමක දමා වසා යතුර තමන් අත තබාගෙන තුවක්කුව මුරකරුට දී කුකුළන් හොරකන් කිරීමට වත්තට ඇතුළුවන සොර සතුරන් ගැන වගේ වගක් නැතුව අයිතිකරු නිදා ගනී. සොර සතුරන් සියළු කුකුළන් මරාගෙන පිටව යයි. සොරුන්ට වෙඩි තමා කුකුළන් රැකබලා නොගත් වරදට මුරකරු වැරදි කරු වෙයි.
වගකීම් සහිත රස්සාවක් නොකර සිටීම යහපත් නොවේද? මේ වූ කලී මෛත්‍රී පාලනය සාරඵලද?

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව:

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවෙන් මතු දිනෙක නිකුත් කරන වාර්තාවෙන් (නිකුත් නොකළහොත්) ජනාධිපතිවරයා‌ මේ ප්‍රහාරය වලක්වා ගැනීමට අපොහොසත් වී ඇත යනුවෙන් නිර්දේශ කළහොත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන නිර්දේශය කමක්ද? ජනාධිපතිවරයා වහාම අත්අඩංගුට ගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස් දිය හැකිද?

ජනාධිපතිවරයා පත් කළ කොමිසමේ කටයුතු සිදුවුණ අන්දමට වඩා තේරීම් කාරක සභාවේ කටයුතු වල විනිවිදභාවයක් නොතිබේද? පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශ වූයේ අහිංසක පුවැසියන් නම්, ඒ ප්‍රහාරයට සම්බන්ධ තේරීම්කාරක සභාවෙන් සිදු කරන විමර්ශනය ගැන දැනගැනීමට පුරවැසියන්ට තිබෙන අයිතිය ඉතා වැදගත්ය.

ආරක්ෂක කවුන්සිලය නොකැඳවීම, ඊට අගමැති ඇතුළු අදාළ අය නොකැඳවීම, පොලිස්පති නොකැඳවීම, රටින් පිටව යන විට වැඩ බැලීමට කිසිවෙකුත් පත් නොකිරීම, ත්‍රිවිධ හමුදාවරුන්ට, පොලිස්පතිට, ආරක්ෂක ලේකම්ට, ප්‍රහාරයෙන් පසුව හෝ අගමැති සමග සාකච්ඡා කිරීමට අවසර නොදීම යනාදියට ජනාධිපතිවරයා වගකිව යුතු නොවේයැයි යනුවෙන් අදාළ‌ කොමිසම ලබා දී තිබෙන නිර්දේශය තුළ තිබෙන්නේද?

නිලන්ත ජයවර්ධන:

තේරීම්කාරක සභාවේදී නිරවුල් ලෙස සාක්ෂි ලබාදුන් නිලධාරී  බුද්ධි නිලධාරියා සාක්ෂි ලබාදීමෙන් පසු ගෙදර ගියේය. ඔහුගෙන් ආරක්ෂක තොරතරු ජනාධිපතිට වාර්තා කරන පුද්ගලයා ගැන අනාවරණය විය. ඔහු නිලන්ත ජයවර්ධනයි. ඔහු කවුරුන්ද? ඔහුගේ රාජකාරිය කුමක්ද? යනාදිය එලියට පැහැදිළිව එන්නේ තේරීම්කාරක සභාවේදීය. මේ පුද්ගලයා තේරීම්කාරක සභාවට එක දිනක් කැඳවීමට හැකි වී නම් විමර්ෂනය තව දුරට පවත්වාගෙන යාමේ තේරුමක් නැත.

ජනාධිපති සිය බලය යොදා නිලන්ත ජයවර්ධනයට තේරීම්කාරක සභාවට යන්නට අවසර නොදෙන්නේද? හිටපු පොලිස්පති හා හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාර ගත කිරීමෙන් පොලීසියට සහ නාලධාරීන්ට ලබා දෙන පනිවිඩයක් තිබේද? ඒ පනිවිඩය කාගේද? ඒ පනිවිඩයේ තේරුම කුමක්ද?

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඇත්ත වශයෙන් දැන් රටට  දැනගන්නට කිසිවක් අමුතුවෙන් ඉතිරිව නැත. තේරීම්කාරක සභාව වාර්තාවක් නිකුත් කළත් නැතත් දැනටමත් ඇත්ත හෙළි වී හමාරය.

සැබෑම අපරාධකරුවා කවුරුන්ද? අපරාධයට දඩුවම කුමක්ද? අපරාධය වෙනුවෙන් අපරාධකරුවාට  අඩුවම් ලබාදීමට හැක්කේ රටේ අධිකරණයටද? නැතහොත් මහජන අධිකරණයටද?
- මහාචාර්ය සරත් විජේසූරිය - (අනිද්දා  පුවත්පතින් උපුටා ගැනිණ)
  
 Prof. Sarath Wijesuriya

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්