'පොහොට්ටුව පාලනය කරන බැසිල්ගේ සූත්‍රය මැයෙන්' 2019 ජුනි 28 ‘ද ලීඩර්‘ වෙබ් අඩවියේ

(https://theleader.lk/review/503-2019-06-28-16-49-24) ඉදිරිපත් කළ ලිපියේ සඳහන් කල කරුණු දිවයින වෙබ් අඩවියේ “ගාල්ල පොහොට්ටුවේ රැස්වීමට චන්දිම වැද්ද නොගත් හේතුව” යන (http://divaina.com/daily/index.php/visheshanga3/30578-2019-07-09-14-12-38) මැයෙන් සඳහන් ලිපියෙන් තහවුරු වී ඇත.

ඉහත ලිපියෙන් අප හෙළිදරව් කරනු ලැබුවේ විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන දෙපළ විසින් මතවාදීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට භාවිතා කළ උපාය උපක්‍රම, බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුව පාලනය කරන අකෘතිය සහ සියල්ලට ඉහළින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම තත්ත්වය පාලනය කරන බව හෙළිදරව්වයි.

එහි දිගුවක් ලෙස මෙම ලිපිය නැවත ලියන්නේ දිවයිනේ සඳහන් පුවතින් අපගේ හෙළිදරව්ව විග්‍රහ කිරීමටයි.

දිවයින ලිපියට අනුව මහින්ද රාජපක්ෂ මහතා චන්දිම වීරක්කොඩි මහතාගේ ගැටළුව නිරාකරණය කිරීමට බාර දෙනු ලබන්නේ ඩලස් අලහප්පෙරුමටයි. අවසන් මොහොතේදී ඔවුන්ගේ කාර්ය බහුලතාවය තුළ ඔහුගෙන් එම වගකීම ගිලිහී යයි.

මෙය තමයි ඩලස් ගැටළුව නිරාකරණය කරන උපායශීලී ස්වභාවය.

මහින්ද රාජපක්ෂ මහතා, තමාට නිරාකරණය කිරීමට අපහසු සංවේදී ගැටළු නිරාකරණය කිරීමට බාරදෙන්නේ ඩලස්ටය. මහින්ද රාජපක්ෂ මහතා ඩලස් ප්‍රශ්න විසදන ආකාරය හොඳටම දනියි. ඒ සඳහා පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ ඇති තරම් උදාහරණ ඇත.

2005 දී ඇතිවූ රාජපක්ෂ රජයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් එහා මෙහා කර රජයේ හා පක්ෂයේ තනතුරු සඳහා නවකයින් ආදේශ කිරීමේ බැසිල්ගේ යාන්ත්‍රණයේ මහ මොළකරු වූයේ ඩලස් අලහප්පෙරුමයි. මේ අවසරයෙන් දක්ෂයින් හා තමාට අවනත නොවන පුද්ගලයින් කපා දැමීමෙන් තමා පක්ෂයේ ඉහළට පැමිණීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගත්තේය.

මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී 2005 දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ දී චන්ද්‍රිකා කුමාරතුංග පක්ෂ නායකත්වයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයට පත් කරන විට පැරණි පාක්ෂිකයන්ගෙන් පැන නැඟිය හැකි චෝදනා වලින් හා අපකීර්තියෙන් නිදහස් වීම සඳහා එදිනම පක්ෂයේ ජාතික සංවිධායක බවට බණ්ඩාරනායක පවුලේ ඥාතීත්වයක් ඇති අනුරුද්ධ රත්වත්තේ පත් කරන්නේ ඩලස්ගේ උපායකට අනුවයි. ඒ අවසරයෙන් එනම්, අර හාමුදුරුවන්ටත් බෙදන්න න්‍යායෙන් තමන් පක්ෂයේ භාණ්ඩාගාරික වීමටද ඩලස් උපායශීලි විය.

ඉන් පසු ඇරඹුණ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දඩයමේ ක්‍රියාවලිය තුළ ඇතැම් සංවේදී අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ මහතා තම හෘද සාක්ෂියට අනුව පිළිතුරු දීමට අසීරු වන විට ඒ සඳහා ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී තත්ත්වය කළමනාකරණය කරනු ලැබුවේද ඩලස් විසිනි.

දිවයින ලිපියේ සදහන් දෙවන කාරණය වනුයේ චන්දිමගේ ගැටළුව විසදීමට බැසිල් විසින් එම පක්ෂයේ රේණුක පෙරේරාට පැවරුවැයි යන පුවතයි. එහි අර්ථය බැසිල්ට එය විසඳීමට අවශ්‍යතාවයක් නොතිබූ බවයි. නෙළුම් මාවතේ රේණුක ‌පෙරේරා පාවිච්චි කරන්නේ ඩස්බින් එකක් විදිහටයි.

දිවයින ලිපියට අනුව තෙවන කාරණය වන්නේ ගාල්ල බල මණ්ඩලයේ ප්‍රාදේශීය නායකයන් චන්දිමට දැඩි විරෝධයක් දක්වන බවයි. මෙම ප්‍රාදේශීය නායකයන් යනු හිටපු පළාත් සභා නායකයන් සහ පළාත් පාලන ප්‍රධානීන්ය. මොවුන්ට තම නායකයන් විසින් දැනටමත් පෙන්වාදී ඇති ආසන සංවිධායකකම්, අනාගත පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීන් වීමේ අවස්ථාව නමැති කැරට් අල හැරෙන්නට දේශපාලන දැක්මක් නොමැත. ඔවුන්ට දේශපාලන චින්තනයක් හෝ දේශපාලන වශයෙන් කැමති, අකමැති දේවල් නොමැත. ඔවුන්ගේ රුචි අරුචිකම් වන්නේද පෙහොට්ටු නායකයන් විසින් ඔවුන් මත පටවපු ඒවා පමණි. අවශ්‍ය නම් බැසිල් රාජපක්ෂ මහතාගේ එක් දුරකතන ඇමතුමෙන් ඔවුන්ගේ කැමැත්ත, අකමැත්ත වෙනස් කළ හැකිය.

 

පුළුල් පෙරමුණක් සෑදීමේ වුවමනාවක් නොමැති බව !

ඉහත කරුණු වලින් පැහැදිලිවන කාරණය වන්නේ බැසිල් රාජපක්ෂ මහතාට ඊලඟ ජනාධිපතිවරණය දිනවීමට අවශ්‍ය පුළුල් පෙරමුණක් සෑදීමේ වුවමනාවක් නොමැති බවයි.

මෙහි චන්දිම සාධකය ඉවත් කර දිගින් දිගටම පොහොට්ටුවේ සිදුවන ක්‍රියාවලිය දෙස බලමු. පොහොට්ටුවේ අරමුණ පුළුල් පෙරමුණක් නිර්මාණය කිරීම නොව තමන්ගේ පිරිස කැබලි වලට වෙන් කිරීමයි. ඔවුන් පිළිවෙලින් දමිළ, මුස්ලිම් සුළු ජාතීන්ගේ ඡන්ද පදනම ඔවුන්ගෙන් ඈත් කරගනිමින් සිටියි. එයට අමතරව සිංහල බෞද්ධ ඡන්දද ටිකින් ටික ඈත් කර ගනිමින් සිටියි.

ඇත්ත වශයෙන්ම බැසිල්ට අවශ්‍ය එක් අන්තයකට තල්ලු කරන ලද ඔළුවක් නැති ප්‍රාදේශීය දේශපාලන නායකයන් ටික නඩත්තු කිරීම පමණයි. එනම් රනිල් විරෝධී පිල දෙකඩ කර තැබීම පමණයි. මෙය තමයි බැසිල්ගේ සූත්‍රය. මෙය තමයි රනිල් බැසිල්ගෙන් ඉල්ලා සිටින සූත්‍රයත්.

ප්‍රාදේශීය නායකයන් ඇස් බැන්දුමක පැටලී ඇත. විමල් හා ඩලස් විසින් ඔවුන් මෙහෙයවීමට භාවිතා කළ මතවාදයෙන් ඔවුන් ජයග්‍රහණයෙන් කුල්මත් වී අන්ධයන් සේ කටයුතු කරමින් සිටියි. කෙතරම් අන්ධද කිවහොත් ඔවුන්ට යාන්තමින් හෝ නොතේරෙන කාරණා වන්නේ 2015 මහ මැතිවරණයෙන් ඔවුන් පරාජය වීම, ජනාධිපති වරණයක් ජයග්‍රහණය කිරීම සඳහා 2018 පළාත් පාලන මැතිවරණයෙන් ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණයට තව ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් එකතු කරගත යුතු බව සහ 2018 ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තුවේ 113ක් සාදාගැනීමට නොහැකි වීමයි. විහිළුවට කාරණය නම් මෙවැනි ඔළුවක් නැති ප්‍රාදේශීය නායකයන් රටේ අනාගතය තීරණය කිරීමට ඉදිරිපත් වීමයි.

සිදුවෙමින් යන තත්ත්වය විමල් වීරවංශට තේරුම් ගියද ඔහුට කිරීමට කිසිවක් ඉතිරිවී නොමැත. ඔහු වැපුරූ අස්වැන්න බැසිල් තම ග්‍රහණයට හසුකර ගෙන අවසන්ය. දැන් ඔවුන්ට ඉතිරී වී ඇත්තේ රතන හා ඥාණසාර හාමුදුරුවරු සමඟ තරඟය තුළ තමාට ඉතිරිවී ඇති අවසන් පදනමත් ඉතිරිකර ගැනීම පමණයි. එහිදී ඔහුට මුස්ලිම් ජන්ද පෙහොට්ටුවෙන් ඈත් වුවද ගැටළුවක් නැත. ඔහු බැසිල්ට හඟවමින් සිටින්නේ ඔබත් නසාගෙන මමත් නැසෙන බවයි.

බැසිල්ට ද මෙම තත්ත්වය ගැටළුවක් නොමැත. ඔහුගේ සූත්‍රය වන්නේ එක් අන්තයකට තල්ලු කරන ලද ප්‍රාදේශීය නායකයන් පිරිසක් පාලන කිරීම පමණයි. රනිල් ඔහුගෙන් ඉල්ලා සිටින්නේද එපමණයි.

අවසාන විග්‍රහයකදී බැසිල්ගේ සූත්‍රය වෙනස්ම එකකි. අනාගත ශ්‍රී ලංකාවේ සැබෑ නායකයෙකු වීමයි. එනම් මහින්ද රාජපක්ෂ පරාජය කර දැමීමයි. එහි අර්ථය මහින්ද උරුමය නාමල්ගෙන් උදුරා ගැනීමයි. විමල්ට මෙන්ම ඩලස්ටද ඇත්තේ අනාගත නායකත්වයේ පුද්ගලික අපේක්ෂාවක්. මේ සියල්ලට රනිල් වික්‍රමසිංහ එකඟයි. මහින්ද හා රනිල් අතර සූත්‍රය වෙනමම එකකි. එය මතුවට හෙළිදරව් කරන්නෙමු.

(මකියාවෙල්ලි )

සබැඳි පුවත් :
පොහොට්ටුව පාලනය කරන බැසිල්ගේ සූත්‍රය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්