මෛත්‍රී වෙනුවෙන් ලිවීම අනතුරුදායකය. එයට හේතුව මෛත්‍රී දේශපාලකයෙකු වීමයි. දේශපාලකයන්ට පවතින රැකවරණය අපට නැත. 

 

කෙසේවුවත් මෛත්‍රී වෙනුවෙන් ලිවීමට හැක්කේ ද දේශපාලනඥයෙකු නොවන්නෙකුට පමණි. 
 
මා විශ්වාස කරන අන්දමට මෛත්‍රී වැරදීමෙන් හෝ ජනතා අභිලාෂයන් ඉටුකිරීමට වැඩ කර ඇති අතර අද ඔහුට දඩුවම් ලැබෙනවානම් ලැබෙන්නේ ඒ වැරදීමකින් හෝ සිදුකළ ඒ වරද වෙනුවෙන් වීමයි. 
 
වෙන කිසිදු හෝ සරණක් නැති විට ජනතාවගේ සරණ පතන්නට දේශපාලනඥයෙකුට සිදුවේ. එහිදී  ඔහුට ජනතාවගේ අභිලාෂයන් ද ඉටුකරන්නට ද ඔහුට සිදු වේ. 
 
මෛත්‍රීට දඩුවම් ලැබෙනවා නම් ලැබෙන්නේ දේශපාලනඥයෙකු වශයෙන් ඔහු කළ වැරදි වලට නොවේ. 
 
සාමාන්‍යෙයන් දේශපාලනඥයන් අතින් සිදුනොවන වැරදි ඔහු සිදුකළ නිසාවෙනි. එයට ජනතාව වෙනුවෙන් ජනතාවගේ පැත්තේ සිට තීන්දු ගැනීම ද අවශ්‍ය වේ.
 
මගේ විශ්වාසය 2015 වන විට රාජපක්ෂ පාලනය වැරදි පාරක ගමන් කරමින් සිටි බව ය. එහෙත් ඒ ගමන වැළැක්වීටම බෙල්ල දීමට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. ඉදිරිපත් වූයේ මෛත්‍රීය. ඒ ඔහු ජනතාව පැත්තේ සිට කළ පළමු වරදයි. මෛත්‍රී එය නොකළේ නම් අද ගෝඨාභය නම් ජනාධිපතිවරයෙකු නැති බව ද මතක තබා ගත යුතුය. ගෝඨාභයට මාවත විවෘත කළේ මෛත්‍රීය. ඒ 2015 දී ය. ඒ ඔහුගේ පළමු වරදයි.
 
යට ගොස් සිටි සරත් පොන්සේකා උඩ ආවේ ද මෛත්‍රී නිසා ය. සරත් මහතා ද යට ගියේ ඔහු දේශපාලනඥයන්ගේ සම්බන්ධයකින් තොර ව උඩ ආ සාමාන්‍ය ජනතාව අතරින් ම බිහිවූවෙකු නිසා ය. ඔහුට ද පරම්පරා පවුල් පසුබිමක් තිබුණේ නැත. 
 
සරත් පොන්සේකා තුළ ද තිබුණේ සාමාන්‍ය ජනතාව සතුව පවත්නා ශක්තිය  ම පමණි. අර්බුදකාරී අවස්ථාවකදී රට ගැලවෙන්නේ සාමාන්‍ය ජනතාව සතු ශක්තිය මතු කරගැනීමෙන් පමණි. 
 
කෙසේවුව ද ප්‍රභූ පවුලක ඉපදුන ද සාමාන්‍ය ජනතාව සතු ශක්තිය තමන් තුළ ඇතිකරගැනීමට සාමාන්‍ය ජනතාව සමග ජීවත් වී මහින්ද රාජපක්ෂ මහතා සමත් වූ බව ද කිව යුතුය. 
 
මේ අනුව ප්‍රභාකරන් පරදින්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව සතු ශක්තිය නැවත මතුව සමගි වී ඒම නිසා ය. එය ඔහු අපේක්ෂා නොකළ දෙයකි. නොසිතූ දෙයකි. ඔහු සිතා සිටියේ දකුනේ පවතින්නේ ප්‍රභූ දේශපාලනයක් පමණක් බවකි.
 
තුන්වනුව මෛත්‍රී මහතා කළ අපරාධය රනිල්ට එරෙහි වීම ය. රනිල්ට සර් කියනවා යැයි කියන තැන සිට රනිල් සර්ගේ පංතියේ සිටින දඩබ්බර ම ශිෂ්‍යයා බවට පත් වී සර් කීම වෙනුවට පංති කට් කරන්නට වීම ය.
  
රනිල් ද දේශපාලනයෙන් ශික්ෂිත නායකයෙකි. එනම් ජනතාවගේ පැත්තේ සිට නොව බලවත් පෙළැන්තිය පැත්තේ සිට සැම විටම තීන්දු තීරණ ගැනීමට තරම් ශික්ෂණයක් ලබාගෙන සිටින නායකයෙකි.
 
 ජේවීපී එක ද මේ ශික්ෂණය ඉගෙනගත්තේ රනිල්ගෙනි. එසේ නැතිනම් ඒ ශික්ෂණය ජේවීපී එකට ඉගැන්වීමට රනිල් සමත් විය. 
 
ජනතාව සමග නොව බලය හා බලවත් අය සමග නිවැරදිව සිටගන්නා දේශපාලනය රනිල් විසින් ජේවීපී එකට උගන්වන ලදී. නැතිනම් ඒ සදහා ගුරුවරයෙකු සොයමින් සිටි ජේවීපීයට රනිල් සර් හම්බ විය. 
 
විමල් මහතා එය ඉගෙනගත්තේ මහින්ද මහතාගෙනි. මහින්ද මහතා දෘෂ්‍යමාන කුරහන් සාටකයක පොරවා ගත්තේය. විමල් මහතා අදෘෂ්‍යමාන නොඑසේනම් ස්මාර්ට් දේශප්‍රේමී සාටකයක් පොරවා ගත්තේය. මේ සාටක දෙක අතර ද අද සටනක් පවතියි. 
 
කුරහන් සාටකය පැළද නොගෙන දේශප්‍රේමී වීමට කැමති අය බොහෝ සේ සිටීම නොඑසේනම් කුරහන් සාටකය පොරවාගැනීමට යම් ලැජ්ජාවක් ඇති අයට ජාතික ඇදුම ඇද දේශප්‍රේමී වන්නට යම් ලැජ්ජාවක් ඇති අයට විමල්ගේ ස්මාට් ඇදුම ශක්තියකි. 
 
ඇත්තටම දේශප්‍රේමය ඇත්තේ කොහේද කියා ඇසුවොත් මට කියන්නට ඇත්තේ සරමේ කියා ය. විමල්ට සරමක් නැත. මේ විවේචනය විමල්ට පමණක් නොව සරම් නොඅදින බොහෝ ජනනායකයන්ට මා විසින් එල්ල කරනු ලබන්නකි. ගෙදරට පමණක් නොව රටටත් සරම ඇදීම ජනනායකයෙකුගේ වගකීමකි. අමාරුවෙන් හෝ එය කළ යුතුය.
  
සමහර විට විමල් ඒ සදහා නැකත එළඹෙන තුරු සිටිනවා විය හැකිය. එසේ නම් එහිත් වරදක් නැත. 
 
කෙසේ හෝ මෛත්‍රී ජේවීපීය මෙන් රනිල් කියන දේවත් විමල් මෙන් මහින්ද කියන දෙයවත් ඇසුවේ නැත. මෛත්‍රී මෛත්‍රී ම වෙන්නට උත්සාහ කළ අවස්ථා තිබුණි. නොඑසේනම් සිරිසේන වෙන්නට උත්සාහ කළ අවස්ථා තිබිණි. මේ දඩුවම් දෙන්නට හදන්නේ ඒ සිරිසේනටය.
 
මෝදිට කුඩේ ඉහලීමට වඩා දෙයක් ඉන්දියාව වෙනුවෙන් කරන්නට මෛත්‍රී සිතුවේ නැත. ඒ ගෞරවය හා බිය අතර වෙනස මෛත්‍රී දැන සිටි බැවිනි. 
 
රාජපක්ෂට බිය නොවූ මෛත්‍රී මෝදිට බිය වූයේ ද නැත. චීනයට යට  වූයේ ද නැත. ඇමරිකාව මායිම් කළේ ද නැත. 
 
ඒ සියල්ල සිදුකිරීමේ දී මෛත්‍රී සිතුවේ ජනතාව තමා සමග කියා ය. එසේ සිතන්නට සිදුවූයේ ම වෙනත් කිසිවෙකු තමා සමග නැති බව ඔහුට දැනුන බැවිනි.
 
 දැන් ජනතාව ද මෛත්‍රී සමග නැත. ඒ නිසා මෛත්‍රී දඩුවම් විදින්නට සූදානම් විය යුතුය. මේ දඩුවම් කරන්නට හදන්නේ මෛත්‍රීට නොව ජනතාවටය.
 
පාස්කු සිදුවීම මෛත්‍රීගේ අසාර්ථකත්වය නොවේ. යහපාලන රජයේ අසාර්ථකත්වයයි. ඒ රජයේ පළපුරුදු නායකයා මෙයට පෙර රටේ දෙවතාවක් ම අගමැති පදවිය හොබවා සිටි නායකයා රනිල් ය. ඒ අනුව ඔහුට රට වෙනුවෙන් මෛත්‍රීට වඩා වගකීමක් තිබිණි. 
  
19 වන සංශෝධනය අනුවත් ඒ බලය ලැබී තිබිණි. ඒ අනුව රජයක් ලෙස වැඩි වගකීම එන්නේ රනිල් අතටය. එහෙත් රනිල් මුලිමනින් ම නිදහස් වී තිබේ. මෛත්‍රී හිර කර තිබේ. 
 
මෙයට හේතුව අන්කිසිවක් නොව මෛත්‍රී සාමාන්‍ය ජනතාව මත විශ්වාසය තබා කටයුතු කිරීමයි. එය ප්‍රභූ දේශපාලනය නොවේ.
 
කෙසේවුවත් අද ජනතාව මෛත්‍රීගේ පැත්තේ නොවේ. එහෙත් මෛත්‍රීට දඩුවම් දෙන්නට ගියොත් ජනතාව මෛත්‍රීගේ පැත්තේය.
 
 ඒ සාමාන්‍ය ජනතාවගේ හැටිය. සාමාන්‍ය ජනතාවට ඉව තිබේ. කොමිසමට නොතිබුණේ ද එය ම ය. එය විභාග සමත් වී නොව සමත් නොවීම ලබාගත යුතු දෙයකි. සාමාන්‍ය ජනතාව එය ලබාගෙන ඇත්තේ එසේ ය. විභාග අසමත් වීමෙනි.
 
කෙසේවුවත් විභාග සමත් වූවන් විසින් විභාග අසමත් වුවන්ට දඩුවම් කිරීම ද මේ රටේ ස්ථාපිත ව ඇති සම්ප්‍රදායකි. මෛත්‍රීට සාපේක්ෂව රනිල් විභාග සමත් අයෙකි. කොමිසම රනිල් සමත් කර මෛත්‍රී පේල් කරන්නේ ඒ නිසා ය.
 
මේ පාස් පේල් වැඩවලින් රටට කිසිදු යහපතක් වන්නේ නැත. පාස් පේල් නැතිව දකින්නට හැකිවන තරු රට අසමත් ය. සමත් යන්නෙහි මෙහිදී අදහස පාස් යන්න නොව හැකි යන්නයි. 
 
රටට හැකියාව ලැබී නැත්තේ විභාග සමතුන් නිසා ද විය හැකිය. රට අසමත් වන්නේ විභාග සමතුන් නිසා ද විය හැකිය. මේ විභාග සමතුන් ආත්ම විවේචනයකට යායුතු කාලයයි. එවිට ඔවුන්ට ද මෛත්‍රී සමත් කිරීමට සිතෙන්නට ඉඩ ඇත.
 
(උදයසිරි වික්‍රමරත්න - gammiris.lk)

 
 
 
 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

 

මෛත්‍රිට අධිකරණයකින් දඬුවම් දෙනව නම් මම කැමතියි! - දෙහිවල ශිලනිප සංවිධායක 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්