1200 x 80 DMirror

 
 

(‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ, Reading Mangala Samaraweera: the problem of 'thymos' යන හිසින්, 2021 සැප්තැම්බර් 18 දින පළවූ ලිපියේ සිංහල පරිවර්තනය)
 
Dinesh(කර්තෘ නීතීඥයෙකු වන අතර, එක්සත් රාජධානියේ රාජකීය හමුදා විද්‍යා පීඨයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලය)
‘ගෝලීය ආරක්‍ෂාව’ පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි. ඔහු, එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ සාමාජිකයකු ලෙස
සහ 2014 දී මංගල විසින් ආරම්භ කරන ලද ‘සමගි බලවේගය’ නම් සමාජ දේශපාලන ව්‍යාපාරයේ කැඳවුම්කරු වශයෙන්
මංගල සමරවීර මහතාගේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වී සිටියෙකි.)
 
මංගල සමරවීර උත්සාහ කළේ ‘තයිමස්’ (thymos) ගැටලුව විසඳීමට ය.
 
දේශපාලන විද්‍යාඥ ෆ්‍රැන්සිස් ෆුකුයාමා නිර්වචනය කරන පරිදි, ‘තයිමස්’ යනු, මිනිස් ‘ආත්මයේ’ ඇති, ගෞරවය සහ පිළිගැනීම ලැබීමට ආශා උපදවන කොටසයි.  
 
ෆුකුයාමා එම සංකල්පය, මිනිස් ආත්මයට කොටස් තුනක් ඇතැයි කී ප්ලේටෝගෙන් උපුටා ගත් අතර, ප්ලේටෝගේ ‘ත්‍රිත්ව ආත්ම’ සංකල්පයට අනුව, ආත්මයේ පළමු කොටස ආශාවටත්, දෙවන කොටස තර්කානුකූලභාවයටත්, ‘තයිමස්’ නම් වූ තුන්වෙනි කොටස පිළිගැනීමට ලක් වීමේ ආශාවටත් සම්බන්ධ කළේය.  
 
Francis Fukuyama no Fronteiras do Pensamento São Paulo 27510183913
ෆ්‍රැන්සිස් ෆුකුයාමා (Francis Fukuyama)
 
 
ෆුකුයාමා විසින් ‘තයිමස්’ තව දුරටත් ‘අයිසෝතයිමියා’ (isothymia) හෙවත්, අනෙක් අය හා සමානව සැලකුම් ලැබීමට ඇති ආශාව, සහ 'මෙගලොතයිමියා' (megalothymia) හෙවත්, අන් අයට වඩා උසස් ලෙස සලකනු ලැබීමේ ආශාව යනුවෙන් උප කොටස් දෙකකට බෙදා දැක්වීය. 
 
 
සමකාලීන ‘අනන්‍යතා දේශපාලනයේ’ (identity politics) නියැලෙන, කොන් වීමට ලක් වූ ජනවාර්ගික හෝ ආගමික සුළුතරයන්, සමරිසි ප්‍රජාව, සරණාගතයින්, සහ සමාන පිළිගැනීමක් ඉල්ලා සිටින කාන්තාවන් වැනි සමාජ කණ්ඩායම්, අන් අය හා සමානව සැලකුම් ලැබීමට තම කණ්ඩායමට ඇති අයිතිය ඉල්ලා මෙහෙයවනු ලබන්නේ ‘අයිසෝතයිමියා’ හෙවත්, අනෙක් අය හා සමානව සැලකුම් ලැබීමට ඇති ආශාව මගිනි. 
 
  
සමකාලීන අනන්‍යතා දේශපාලනයේ අනෙක් පදනම වූ ‘මෙගලොතයිමියා’ හෙවත් අන් අයට වඩා උසස් කොට සලකනු ලැබීමේ ආශාව මගින් මෙහෙයවෙන් දේශපාලන බලවේග අද මෙන්ම, අතීතයේ ද දැකිය හැකි විය. 
 
ෆුකුයාමා සඳහන් කළේ, ‘මෙගලොතයිමියා’ විශාල අවදානම් ගෙන, දැවැන්ත අරගලවල යෙදී, විශාල ප්‍රතිඵල සොයන අතර, එයට හේතුව, එමගින්, තමා අනෙක් අයට වඩා උසස් යැයි පිළිගැනීමට ලක් වන බැවිනි. 
 
ෆුකුයාමා නිරීක්ෂණය කළේ ‘මෙගලොතයිමියා’ පදනම් කර ගෙන ඒබ්‍රහම් ලින්කන් හෝ වින්සන්ට් චර්චිල් හෝ නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයින් හෝ,  සීසර්, හිට්ලර් හෝ මාඕ වැනි පීඩකයන් බිහි විය හැකි බවයි.  
 
‘අයිසෝතයිමියා’ සහ ‘මෙගලොතයිමියා’ විසින් සමකාලීන අනන්‍යතා දේශපාලනය මෙහෙයවෙති.  මුලින් ‘අයිසෝතයිමියා’ විසින් මෙහෙයවනු ලැබූ සමහර නායකයින්ට පහසුවෙන් ‘මෙගලොතයිමියා’ වෙත ලිස්සා යා හැකිය.
 
 
 
අනන්‍යතා දේශපාලනය:
 
සමකාලීන දේශපාලනයේ මංගල ඉටු කළ කාර්යභාරය අවබෝධ කර ගැනීම සඳහා සංකල්පීය රාමුවක් අපට ලබා දීමට ‘තයිමස්’ ට පුළුවන.  ‘අනන්‍යතා දේශපාලනයේ’ මූලික පදනම ‘තයිමස්’ වන අතර, ෆුකුයාමා අවධාරණය කළේ, ‘අනන්‍යතා දේශපාලනය’ 1980 සහ ’90 දශකයේ සංස්කෘතික දේශපාලනය තුළ දැකිය හැකි වූ, ඉතා මෑතකදී මතු වූ යෙදුමක් බවයි.
 
විසිවන සියවසේ ලෝක දේශපාලනය සංවිධානය වී තිබුණේ ආර්ථික දැක්ම පදනම් කර ගෙන බෙදී වෙන් වූ, වාම-දකුණු කඳවුරු ඔස්සේ ය.  
 
සම්ප්‍රදායික වම, සිය දේශපාලනය සමානාත්මතාව, යහපත් සමාජ ආරක්ෂාව, සහ ආර්ථික සම්පත් සාධාරණ ලෙස නැවත බෙදාහැරීම වැනි ඉල්ලීම් මත පදනම් කර ගත් අතර, කම්කරුවන්, වෘත්තීය සමිති සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වටා ඔවුන්ගේ දේශපාලනය කේන්ද්‍ර ගත කළේය. 
 
සම්ප්‍රදායික දකුණ, වැඩි නිදහසක් පුරවැසියන්ට ඉල්ලා සිටි අතර, මූලික වශයෙන් ආණ්ඩුවේ බලය අඩු කිරීමටත්, පෞද්ගලික අංශය ප්‍රවර්‍ධනය කිරීමටත් උනන්දු විය.  
 
එහෙත්, අනන්‍යතා දේශපාලනයේ වර්ධනය විසින් 20 වන සියවසේ ලෝක දේශපාලනයේ සාම්ප්‍රදායික වාම-දකුණු කණ්ඩායම්වල බෙදීමට පදනම් වූ මූලික චින්තනයේ වෙනසක්, විසි එක් වන සියවසේ දී ඇති කළේය.  
 
‘වම’, පුළුල් ආර්ථික සමානතාව ඇති කිරීමේ ඉල්ලීම් සඳහා අඩු අවධානයක් යොමු කිරීමට පටන් ගත් අතර, අනන්‍යතා දේශපාලනයේ යෙදෙන, කොන් වීමට ලක් වූ කණ්ඩායම් වලට බලපාන අයිතිවාසිකම් ප්‍රශ්න කෙරෙහි වැඩි උනන්දුව දක්වන්නට නැඹුරු විය.
 
 
නිදසුනක් ලෙස, ශ්‍රී ලංකාවේ පවා, මාක්ස්-ලෙනින්වාදී ජවිපෙය (JVP), පුරවැසියෙකුගේ ලිංගික මනාපයන් පදනම් කර ගෙන වෙනස්කම් වලට ලක් කිරීම අවසන් කරන බවට පොරොන්දු වූ අතර, සමරිසි ප්‍රජාවේ ඉල්ලීම් වලට එකඟව කටයුතු කිරීමට උත්සාහ කළේය. 
 
  
මෙසේ කොන් වීමට ලක් වූ කණ්ඩායම් වලට අනන්‍යතා දේශපාලනය තුළින් සමාජයක සාමූහික ක්‍රියාවන් අවහිර කිරීමේ හැකියාව ලැබුණු බව ෆුකුයාමා සඳහන් කරන අතර, එම හැකියාව ඔහු හැඳින්වූයේ ‘නිෂේධ බලය’ (vetocracy) ලෙස ය.
 
අනන්‍යතා දේශපාලනයේ යෙදෙන කණ්ඩායම්වල ‘නිෂේධ බලය’ විසින් සාම්ප්‍රදායික පවුල් සාරධර්ම, සමාජ-සංස්කෘතික සම්මතයන්, ජනවාර්ගික හා ආගමික බහුතරයේ ආධිපත්‍යය සහ සාම්ප්‍රදායික ශ්‍රම බෙදීම පවා  අභියෝගයට ලක් කළේය. 
 
 නිදසුනක් වශයෙන්, සමකාලීන ස්ත්‍රී-පුරුෂ යුවලකගේ විවාහක තත්ත්වයට සමාන තත්ත්වයක් සමලිංගික විවාහ වලට ලැබෙනු දැකීමට අකමැති බොහෝ දෙනෙකුට සමලිංගික විවාහ අයිතීන් සඳහා වූ ව්‍යාපාර පිළිගත නොහැකි විය; කොන් වූ, සුළුතර ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් වල අයිතීන් සඳහා වන ව්‍යාපාරයන්හි 'අයිසොතයිමියා' විසින් ආධිපත්‍යය හිමි ජනවාර්ගික හා ආගමික බහුතරයේ 'මෙගලොතයිමියා' අභියෝගයට ලක් කර ඇත; 
 
එමෙන්ම,  සේවා අංශය මූලික කර ගත් නව ආර්ථිකය තුළ පිරිමින් වෙනුවට කාන්තාවන් වැඩි වැඩියෙන් රැකියා අවස්ථා උදා කර ගනිමින් සිටියි.
 
 LGBT AP
2000 දශකයේ මැද භාගයේදී කොන් වූ කණ්ඩායම් වල අයිතීන් ප්‍රවර්‍ධනය කිරීම කෙරෙහි 'වම' වැඩි අවධානයක් යොමු කිරීමට පටන් ගත් අතර, ෆුකුයාමා සඳහන් කරන පරිදි 'දකුණ', "තමන් අයත් වන ජාතිය, ආගම, හෝ භාෂාව වැනි සංස්කෘතික අනන්‍යතාවයක් පදනම් කර ගෙන, සාම්ප්‍රදායික ජාතික අනන්‍යතාවය ආරක්ෂා කිරීමට උත්සාහ කරන දේශප්‍රේමීන් ලෙස,” තම දේශපාලන භූමිකාව නැවත අර්ථ නිරූපණය කර ගත්තේය. 
 
  
කොන් වූ, සුලුතර කණ්ඩායම් වල අනන්‍යතා දේශපාලනය මෙන්ම, නව ආර්ථික ප්‍රවණතාවන් ද සාම්ප්‍රදායික පවුල් සාරධර්ම, සමාජ-සංස්කෘතික සම්මතයන් වැනි දේ අගය කළ, ප්‍රධාන ගතානුගතික ධාරාවේ බොහෝ මිනිසුන්ගේ සිත් සතන් තුළ නොරුස්නාවක් ගොඩනැඟූ අතර, එහි ප්‍රතිඵලය වූයේ, "දකුණු" කඳවුරේ දේශපාලන නායකයින් විසින් එකී නොරුස්නාවට දේශපාලන වටිනාකමක් ලබා දී, තම කණ්ඩායම් ගෞරවය කැළලකට, අපකීර්තියට හෝ වෙනත් ආකාරයකින් නොසලකා හැරීමකට ලක්ව ඇතැයි යන හැඟීම වටා 'නොරුස්නාවේ දේශපාලනය' තුළ ජනතාව බලමුලු ගැන්වීමයි.  
 
21 වන සියවසේ දෙවන දශකය තුළ ලෝකයේ බොහෝ රටවල මතු වූ, ජාතිය, ආගම, හෝ භාෂාව පදනම් කර ගත් ‘ජනතාවාදී ජාතිකවාදයට’ මාවත විවර කළේ, ඉහත කී සාම්ප්‍රදායික සමාජයන් අත්දුටු මෙම තර්ජනය බව ෆුකුයාමා පෙන්වා දුන්නේය.
 
1970 දශකයේ මැද භාගයේ සිට ලෝකයේ රටවල් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට තල්ලු වී ගෙන ආ ප්‍රවණතාවක් දැකිය හැකි වූ අතර, අද, 'ජනප්‍රිය ජාතිකවාදයේ’ (populist nationalism) නැගීම මගින් එම ප්‍රවණතාව තර්ජනයට ලක් කර ඇත.  
 
1970 දශකයේ මුල් භාගයේ සිට 2000 ගණන් වල මැද භාගය දක්වා කාලය තුළ, මැතිවරණ පදනම් කර ගත් ලොව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගණන 35 සිට 110 දක්වා වැඩි වූ අතර, එම ප්‍රජාතන්ත්‍රීයකරණ රැල්ල මගින් 'ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය' රජයක ප්‍රකෘති ස්වරූපය බවට පොදු පිළිගැනීමකට ලක් කෙරුණි. 
 
 
කෙසේ වෙතත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මගින් ශක්තිමත් වෙමින් සිටි කොන් වූ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද ‘අයිසොතයිමියා’ ඉල්ලීම් නිසා, බොහෝ සාම්ප්‍රදායික, මධ්‍යම පාන්තික මිනිසුන්ගේ ‘තයිමස්’ තර්ජනයට ලක්විය.  
 
  
එය බොහෝ සාම්ප්‍රදායික, මධ්‍යම පාන්තික සිත් සතන් තුළ 'මෙගාලෝතිමියාව' දැල්වූ අතර, එය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉවත දමා, පටු වාර්ගික හෝ ආගමික පදනම් මත තමන්ට සමීප දේශපාලන චරිත වෙත ඇදී යාමට ඔවුන් පෙළඹවීය. සමහර දේශපාලන විද්‍යාඥයින් මෙම ‘අර්බුදය' සැලකුවේ “ප්‍රජාතන්ත්‍රවාදයේ අවපාතයක්” ලෙස ය.
 
කොන් වූ කණ්ඩායම් වල ‘අයිසොතයිමියා’ අනන්‍යතා දේශපාලනය සහ ජනප්‍රිය-ජාතිකවාදී නායකයින්ට සහයෝගය දුන් බොහෝ සාම්ප්‍රදායික, මධ්‍යම පාන්තික පුද්ගලයින්ගේ ‘මෙගාලෝතිමියා’ අනන්‍යතා දේශපාලනය අතර සහ-සම්බන්ධය වන්නේ එකක් අනෙකෙහි මතුවීමට සහ පෝෂණයට හේතු වීම බව දැන් කෙනෙකුට තේරුම් ගත හැකිය.  
 
එම ජනතාවාදී නායකයින් තමන් වටා රොක් වූ “ජනතාවට” ඒත්තු ගැන්වූයේ, ඔවුන්ගේ රටවල සහ සමාජවල පැරණි පිළිවෙල ආපසු ලබා ගත යුතු බවයි!  උදාහරණයක් වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් “ඇමරිකාව යළිත් ශ්‍රේෂ්ඨ ‍රටක් කරන බවට” පොරොන්දු වූ අතර, නරේන්ද්‍ර මෝදි “නව ඉන්දියාවක්” ද, ගෝඨාභය රාජපක්ෂ “ප්‍රති-ව්‍යුහ ගත කළ, අනාගතයක් සහිත රටක්!” ද පොරොන්දු වූහ.
 
 
 
මංගල සමරවීර:
 
Mangala
වෙනස් ආරක දේශපාලනඥයෙක් වූ මංගල
 
 
1990 ජූලි මාසයේදී ‘මව් පෙරමුණ’ පිහිටුවීමත් සමඟ මානව හිමිකම් ආරක්ෂකයෙකු ලෙස මංගලගේ දේශපාලනය ආරම්භ විය. 80 දශකයේ අග භාගයේ ජවිපෙ කැරැල්ලේදී, මාතර මැතිවරණ කොට්ඨාශයේ මංගලගේ නිවස, අතුරුදහන් වූ තරුණයන් සොයමින් සිටි බොහෝ දෙනෙකුට 'රැකවරණය දුන් මධ්‍යස්ථානයක්' විය. 
 
 ‘මව් පෙරමුණ’ පිහිටුවනු ලැබුවේ 1980 දශකයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ලට එරෙහිව ආණ්ඩුව දැක්වූ සන්නද්ධ ප්‍රතිචාරයේ ප්‍රතිපලයක් ලෙස දරුවන් හෝ ස්වාමිපුරුෂයන් ඝාතනය වූ හෝ අතුරුදහන් වූ කාන්තාවන් විසිනි.  
 
අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට ස්වාධීන කොමිසමක් පිහිටුවීම සහ වින්දිතයින්ගේ යැපෙන්නන්ට වන්දි ලබා දීම මව් පෙරමුණේ අරමුණ විය.  සියළුම පීඩාකාරී නීති ඉවත් කරන ලෙසත්, පැරා-මිලිටරි ඝාතක කණ්ඩායම් විසුරුවා හැර, සියලු දේශපාලන සිරකරුවන්ගේ නම් හෙළි කරන ලෙසත් මව් පෙරමුණ රජයට තවදුරටත් බල කළේය.
 
‘මව් පෙරමුණේ’ සම කැඳවුම්කරු වශයෙන් (අනෙක් කැඳවුම්කරු මහින්ද රාජපක්ෂ ය) මංගල, දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරීන් (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්  ඇතුළුව), විදේශීය මාධ්‍යවේදීන්, සහ '88-89 තරුණ කැරැල්ල පිළිබඳ ඉගෙනීමට උනන්දුවක් දැක්වූ පර්යේෂකයින්ගේ අවධානය දිනා ගත්තේය. 
 
 jlkjdf
 
 ‘මව් පෙරමුණ’ තුළ මංගල ඉටු කළ කාර්යභාරය, ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ඔහුගේ දේශපාලන සුවිශේෂත්වය හැඩ ගැස්වීම ආරම්භ කළේය.  ඔහු සංඥා කළේ තමා මානව හිමිකම් ආරක්ෂා කරන, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින, සහ කොන් වූ ජනතාව වෙනුවෙන් සටන් කරන අයෙකු බවය. 
 
 කෙසේ වෙතත්, 90 දශකයේ මුල් භාගයේදී, ශ්‍රී ලංකාවේ 'පීඩන කණ්ඩායම් දේශපාලනය' එතරම් ශක්තිමත් නොවූ අතර, තම ලැයිස්තුවේ සිටින අය ජීවතුන් අතර සිටිනවාද? නැත්නම්, මියගොස් ඇත්ද? යන්න පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස රජයට බලපෑම් කිරීමෙන් 'මව් පෙරමුණ' අත් කර ගත්තේ සුලු සාර්ථකත්වයකි.
 
මංගල, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ (චන්ද්‍රිකා) සමීප දේශපාලන හා පෞද්ගලික සගයෙකු වූ අතර, 1994 දී සූරියකන්ද සමූහ මිනීවළ කැණීමේදී එම සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් විය. 80 දශකයේ අග භාගයේ ජවිපෙ කැරැල්ලේදී ආණ්ඩුවේ හමුදා විසින් පාසල් ළමුන් පිරිසක් ඝාතනය කර, සුරියකන්දේ වළ දමා තිබුණි. චන්ද්‍රිකා සහ මංගල අතර පැවති දැඩි සම්බන්ධතාවය, මංගලගේ දේශපාලනය පමණක් නොව, සමකාලීන ලාංකීය දේශපාලනය ද හැඩ ගැස්වීමට ඉවහල් විය.
 
seseter 
90 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ අනන්‍යතා දේශපාලනය ප්‍රධාන වශයෙන් පැවතුණේ සුළුතර දෙමළ ජනවාර්ගික ප්‍රශ්නය මත ය.  දෙමළ ගැටළුව හැරුණු විට ජාතික දේශපාලන න්‍යාය පත්‍රය සකස් කිරීමේදී අනන්‍යතා දේශපාලනය බලවත් කාර්යභාරයක් ඉටු කළේ නැත.  
 
එම නිසා, 1994 දී චන්ද්‍රිකා ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී මංගලගේ කණ්ඩායම් දේශපාලන ව්‍යාපාර ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ නැත.  
 
චන්ද්‍රිකා මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූයේ, වසර 11 ක් පුරා පැවති සිවිල් යුද්ධය අවසන් කර, ජනවාර්ගික ගැටළුව විසඳන බවයි.  
 
ඒ හැරුණු විට, චන්ද්‍රිකාගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පෙර පැවති වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීමටත්, අල්ලස, දූෂණය සහ නාස්තිය තුරන් කරමින්, වෙළඳපොල ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයට මානව මුහුණුවරක් ලබා දී, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටත් ය.
 
fsgdf
 
චන්ද්‍රිකාගේ  පාලන කාලය තුළ මංගල කණිෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකු ලෙස දෙමළ ජනවාර්ගික ගැටලුව කෙරෙහි අවධානය යොමු කළ අතර, උතුර හා දකුණ අතර සංහිඳියාව ඇති කිරීමට උත්සාහ කළේය.  ඔහු "සුදු නෙළුම්" සංහිඳියා ව්‍යාපාරය ආරම්භ කළේය, 
 
1983 ජනවාර්ගික කෝලාහල වලදී ගිනිබත් වූ යාපනය පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීමේ "පොතයි-ගඩොලයි" ව්‍යාපෘතිය සහ "සුදු නෙළුම්” ව්‍යාපාරයේ දෙවන අදියරෙහි ප්‍රධාන ව්‍යාපෘතිය ලෙස වීදි රංගන ශිල්පීන් 300 කට අධික සංඛ්‍යාවක් විසින් සිදු කරන ලද දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් වූ 'තවලම' පටන් ගත්තේය.  
 
 

 
කෙසේ වෙතත්, එල්ටීටීඊය සමඟ පැවති සාම සාකච්ඡා බිඳවැටීම සහ රට යුද්ධයට ලිස්සා යාම නිසා ඇති වූ තත්ත්වය මංගලගේ සංහිඳියා ව්‍යාපාර හා ව්‍යාපෘති කෙරෙහි සතුරු ආකල්පයක් වර්ධනය කළේය.  
 
මංගලගේ "තවලම" වැඩසටහන නැවැත්වීම සඳහා එවකට ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්ත, චන්ද්‍රිකා වෙත බලපෑම් කළේය. එම බලපෑම් සාර්ථක වූ අතර, අවසානයේ, මංගලගේ "සුදු නෙලුම්" සහ "තවලම" සිඳී ගියේය.
 
90 දශකයේ දී අනන්‍යතා දේශපාලනයට ලැබුණු සාපේක්ෂ අඩු වැදගත්කම කෙතෙක් ද යන්න,  මංගලගේ සංහිඳියා ව්‍යාපාරවලට අත්වූ ඉරණම මගින් පෙන්නුම් කරයි: අනන්‍යතා දේශපාලනය තිබුණේ ජාතික දේශපාලනයේ ඈත කොණකය!  
 
කෙසේ වෙතත්, අධෛර්යයට පත් වූ මංගල දිරි ගැන්වීම හා ඔහුට මඟ පෙන්වීම සඳහා, එවකට විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.  මංගලගේ සංහිඳියා ව්‍යාපාර මැකී ගියද, සුළු ජාතික ජනවාර්ගික ක්‍රියාකාරීන් සහ සාම ක්‍රියාකාරීන් ඇතුළු සමාන අදහස් ඇති, දේශපාලන උනන්දුවක් දක්වන කණ්ඩායම් සමඟ මංගල, ඔහුගේ සබඳතා පුළුල් කළේය.
 
 
2000 දශකයේ මුල් භාගයේදී මංගල සංඥා කළේ, තම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මූලධර්ම එතරම් ශක්තිමත් නැති බවත්, අවශ්‍ය ඕනෑම ආකාරයකින් බලය තහවුරු කර ගැනීම සඳහා ඔහු සිය දේශපාලන මූල ධර්මයන්ගෙන් ඉවත්ව යාමට සුදානම් බවත්‍ ය.  
 
  
2001 දෙසැම්බරයේදී රනිල් වික්‍රමසිංහ (රනිල්) විසින් ජනාධිපති චන්ද්‍රිකාගෙන් උදුරා ගත් ආණ්ඩුව නැවත ලබා ගැනීමේ ව්‍යාපෘතියක මංගල නියැලුණේය. එම කාලයේ චන්ද්‍රිකා විධායක ජනාධිපති ලෙස රැඳී සිටිද්දී, ඇයගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා වූ, එජාප නායක රනිල් අගමැති විය. 
 
එහිදී, නෝර්වේ මැදිහත් වීමෙන් එල්ටීටීඊය සමඟ රනිල් අත්සන් කළ සාම ගිවිසුම බිඳ දැමීමට සහ ‍රනිල්ගේ රජය පෙරළීමට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම පවා භාවිතා කිරීමට මංගල සූදානම් විය. 
 
 මේ අතර, සාම සාකච්ඡා පැවති කාලය තුළ දෙමළ අනන්‍යතා දේශපාලනය ජාතික දේශපාලනයේ මුල් තැනට පැමිණියේය. ජනවාර්ගික ගැටුම් වලට අදාළ ගැටලු විසඳීම සඳහා බොහෝ නව රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ආරම්භ කෙරිණි. 
 
කෙසේ වෙතත්, එම රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන, සහ සාම තැරැව්කාර නෝර්වේ පවා එල්ටීටීඊ සංවිධානයේ හවුල්කරුවන් ලෙස සිංහල බෞද්ධ බහුතරය දුටු අතර, එමගින් බහුතර සිංහලයින්ගේ බලාපොරොත්තු සුන් විය.  
 
එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බැලූ මංගල, රනිල් වෙතින් ප්‍රධාන කැබිනට් අමාත්‍යාංශ තුනක් ආපසු ලබා ගැනීමට චන්ද්‍රිකා පෙළඹවීමට උත්සාහ කළේය.  
 
ඇය මුලින් අකමැති වුවද, 2003 නොවැම්බර් මස මුලදී රනිල් විදෙස් ගත වූ අවස්ථාවකදී, “පාර්ලිමේන්තුව කල්තැබීමට, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට, වීදිවලට හමුදාව යැවීමට සහ වැදගත් අමාත්‍යාංශ තුනක් (ආරක්ෂක, අභ්‍යන්තර කටයුතු, සහ මාධ්‍ය)  ආපසු පවරා ගැනීමට, මංගල චන්ද්‍රිකාව පෙළඹවීමට සමත් විය. 
 
අවසානයේ, 2004 ජනවාරි මාසයේදී චන්ද්‍රිකා විසින් රනිල්ගේ රජය නියමිත කාලයට කලින් විසුරුවා හැරුණි.
 
 dsfdf
මහින්ද සහ මංගල හිතවත්කම නොනැසී පවතින.
  
මහින්ද රාජපක්ෂ (මහින්ද) ප්‍රථම වරට තරග කළ 2005 ජනාධිපතිවරණයේදී මංගල මහින්දට සහාය දුන්නේය.  කෙසේ වෙතත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වටිනාකම් ආරක්ෂා කර ගැනීමට හා වර්ධනය කිරීමට මහින්ද සුදුසු අයෙකු නොවන බව සිතූ (එමෙන්ම, ඇගේ වෙනත් හේතු) චන්ද්‍රිකා වෙනස් මතයක සිටි අතර, ඇය රනිල් වෙත වක්‍රව සහය දැක්වූවාය.  
 
එසේ වුවද, මංගලගේ පැහැදිලි කිරීම වූයේ, දේශපාලන බලය කොක්කෙන් හෝ කෙක්කෙන් රැක ගැනීම අත්‍යවශ්‍ය වන බවත්, එසේ නොකළහොත්, ඔහුගේ දේශපාලනය සාර්ථක කර ගත නොහැකි බවයි!  
 
මහින්දගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා මංගල වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව ඇතැමෙක් විශ්වාස කරන අතර, උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා ටිරාන් අලස් හරහා කොටි සංවිධානය මාර්ගයෙන් ඡන්ද වර්ජනයකට මංගල පහසුකම් සැලසූ බව ඔවුන්ගේ මතයයි.
 
 
 
මහින්දගේ විදේශ ඇමති :
 
2005 දී, රටේ දකුණේ ඡන්දයෙන් ජනාධිපති ලෙස මහින්ද තෝරා පත් වූ අතර, ඔහු මංගලට ඔහුගේ කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු විෂය පථය ලබා දුන්නේය.  එල්ටීටීඊය සමඟ සාම සාකච්ඡා නැවතීම සහ සටන් විරාම ගිවිසුම නිෂ්ඵල වීමත් සමඟ, මහින්දගේ රජය එල්ටීටීඊයට එරෙහිව යුද්ධය ආරම්භ කළේය.  
 
මංගලට විදේශ ඇමති වශයෙන් යුරෝපා හා අනෙකුත් බලවත් ජාතීන් වෙත යාමට සිදු වූ අතර, එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීමට ඔවුන් පොළඹවා ගත්තේය.  මෙම උත්සාහය, ලොව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ප්‍රභූ පැලැන්තිය සමඟ මංගලගේ ජාත්‍යන්තර සබඳතා වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් ලබා දුන්නේය. 
 
 
 මංගල එල්ටීටීඊයට විරුද්ධ වූ අතර, ඔහුගේ නම එල්ටීටීඊ හි මරණ ලැයිස්තුවට ඇතුළත් විය. එසේ වුවද, මංගල, දෙමළ ජනයා කෙරෙහි සානුකම්පික විය.  මංගල නීති විරෝධී මිනීමැරුම් වලට විරුද්ධ වූ අතර, රජය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවට පිළිතුරු දීමට ඔහුට සිදු විය.  ඒ හැර, සුළුතර දෙමළ ප්‍රශ්නය විසඳීම සඳහා හමුදා ප්‍රවේශයක් භාවිතා කිරීම ගැන මංගල විශ්වාස කළේ නැත.  
  
මංගල ආණ්ඩුවේ පහත් සදාචාරය හෙළා දුටු අතර, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ (ගෝඨාභය) සමඟ ආරක්ෂක මණ්ඩලයේ දී දැඩි වාද විවාද කළේය. මංගල සමඟ වැඩ කිරීම ගෝඨාභයට අපහසුතාවයක් වූ අතර, 2007 පෙබරවාරි මාසයේදී රාජපක්ෂවරුන් ඔහුව කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමීය. 
 
එය මංගල පුදුමයට පත් කළේය.  ප්‍රවෘත්තිය ලැබෙන විට ඔහු සිංගප්පූරුවේ සිටි අතර, ඔහුගේ සමීපතම මිතුරියක් සමඟ අයිස්ක්‍රීම් කමින් සිටියේය!
 
 
 
illiberal democracy:
 
අවසානයේදී, ඔහු සහ රාජපක්ෂ පවුල අතර වෙනස මංගල තේරුම් ගත්තේය!  මංගල "ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය" සඳහා පෙනී සිටි අතර, මහින්ද පෙනී සිටියේ, "ලිබරල් නොවන ප්‍රජාතන්ත්‍රවාදය” වෙනුවෙනි (හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් 2014 දී, illiberal democracy යන යෙදුම භාවිතා කළේය).  
 
බොහෝ කලකට පසු, 2016 මැයි මාසයේදී, මහින්ද වෙත විවෘත ලිපියක් ලියමින් මංගල මෙසේ පැවසීය, “ඇත්තෙන්ම මම මේ තිත්ත ඇත්ත තේරුම් ගත්තේ වසර 10 කට පෙර ඔබ බලය නැමැති ග්‍රීස් කණුවේ මුදුනට නැඟ, ජනාධිපති වීමෙන් පසුවය.  ඔබට මතක නම්, 2007 දී ඔබේ සමාගමයෙන් වෙන්වීමට පෙර, අත් අකුරින්, පිටු 13 ක ලිපියක් මම ඔබට එවමින්, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීම, සංහිඳියාව නොසලකා හැරීම, සහ යහපාලනයේ මූලික පදනම් උල්ලංඝනය කිරීමේ ඔබේ ප්‍රතිපත්තිය රටේ විනාශයට හා ඔබේ පරිහානියට හේතු වන බව අවධාරණය කළෙමි”. 
 
බලය ලබා ගැනීම සඳහා තම දේශපාලන මූලධර්ම උල්ලංඝණය නොකළ යුතු බවට වූ පාඩම මංගල ඉගෙන ගත්තේය!  ඔහු මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත් වී, 2007 ජූනි මාසයේදී "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (මහජන) පිළ" නමින් නව පක්ෂයක් පිහිටුවීය.  පසුව, 2010 අගෝස්තු 6 වෙනිදා, මංගල එජාපයට සම්බන්ධ විය.
 
dhdfg
එජාපය මංගලට පොහොසත් පසක් ලබා දුන්නේය
 
 
දියුණු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වූ ඔහුගේ අරගලය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය මංගලට පොහොසත් පසක් ලබා දුන්නේය. 
 
 ඔහු එජාප මාධ්‍ය අංශයට නායකත්වය දුන් අතර, රජයේ (2010-2015 අතර) ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම, ජනවාර්ගික ගැටලුව සම්බන්ධ වැරදි පිළිවෙත, මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර, ජාතිවාදය, නිදහස මැඩපැවැත්වීම, අතුරුදහන් වීම්, චීන ගැති විදේශ ප්‍රතිපත්තිය, ඥාති සංග්‍රහය, අල්ලස, දූෂණය සහ නාස්තිය යනාදී ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම් ගැන අනුකම්පා විරහිතව ආණ්ඩුවට පහර දුන්නේය.  
 
ඊට අමතරව, චන්ද්‍රිකාගේ ආධාරයෙන් මංගල ඔහු වටා මානව අයිතිවාසිකම් සංවිධාන සහ සිවිල් සමාජ ව්‍යාපාර එකතු කර ගත් අතර, රාජපක්ෂ සහෝදරයන්ට එරෙහිව, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ, දෙපක්ෂයේම සමහර පුද්ගලයින් සමඟ උපාය මාර්ගික සම්බන්ධකම් ඇති කර ගත්තේය.
 
2014 දී මංගල විසින් ඔහු වටා එකතු වූ කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් සමාජ-දේශපාලන ව්‍යාපාරයක් වන “සමගි බලවේගය” පිහිටුවීය.  ව්‍යාපාරයේ සියලු දෙනාම සාකච්ඡා මේසයේ ප්‍රධානියා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල්ව පිළිගත්තේය. 
 
මෙම ව්‍යාපාරය නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේදී හමු වූ අතර, එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු ආකාරයක සුවපහසු සබඳතාවක් නොතිබූ කණ්ඩායම්, දේශපාලනඥයින් සහ පුද්ගලයින්, නිදසුනක් වශයෙන්, “අතුරුදහන් වූවන්ගේ පවුල්”, “සමබිම” වැනි කණ්ඩායම්, සුමන්තිරන්, වික්‍රමබාහු, මනෝ ගනේෂන් වැනි දේශපාලනඥයින්, නිමල්කා ප්‍රනාන්දු, බ්‍රිටෝ ප්‍රනාන්දු, කෙලී සේනානායක (හිටපු ජවිපෙ ප්‍රවීණ) වැනි මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්, සහ වාමාංශික දේශපාලන පසුබිමක් ඇති ප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥයින් ද රැස්වීම් සඳහා සහභාගී වූහ.  
 
dgf
 
ප්‍රතිපත්තිමය වශයෙන් එජාපය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් වුවද, දෙමළ හා මුස්ලිම් ජනයා කෙරෙහි විවෘතව අනුකම්පා දක්වන මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන සහ එවැනි දේශපාලනඥයින් සමඟ එතරම් පහසු සම්බන්ධතාවක් එජාපයට තිබුණේ නැත.  මංගලගේ 'සමගි බලවේගය' එජාප දේශපාලනයට අමුතු එකතු කිරීමක් විය.  
 
එජාප නායක රනිල් සහ මහලේකම් තිස්ස අත්තනායකගෙන් වෙනස් නොවුණු සහයෝගයක් දිගටම ලැබුණද, බොහෝ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් එජාපය එවැනි කණ්ඩායම් හා පුද්ගලයින් සමඟ සම්බන්ධ වීම විවේචනය කළේ, බහුතර සිංහල බෞද්ධ ඡන්දදායකයින් එමගින් දුරස් වේ යැයි ඔවුන් සිතූ බැවිනි.  
 
ආණ්ඩුව සහ බොදු බල සේනා වැනි සංවිධාන, සමගි බලවේගයට එරෙහිව විවෘතව පහර දුන්හ.  එසේ වුවද, ව්‍යාපාරය අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර, මහින්දගේ රජයට එරෙහිව මහජන මතය හැඩ ගැස්වීමට සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම ප්‍රවර්ධනය කිරීමට දායක වූ ක්‍රියාකාරකම් සිදු කළේය.
 
 
චන්ද්‍රිකා ප්‍රථම වරට තරඟ කළ 1994 ජනාධිපතිවරණයේදී මෙන් නොව, 2015 ජනාධිපතිවරණයේදී මානව හිමිකම් හා සුළුතර අයිතිවාසිකම් කණ්ඩායම්, සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.  
 
  
2015 සහ 2019 අතර පැවති යහපාලන රජය ලබා දුන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ ඔවුන් දියත් කළ නව ලිබරල් ප්‍රතිපත්ති වල අවධාරණය කළ ප්‍රධාන කරුණු පෙන්නුම් කරන්නේ, එම සිවිල් සමාජ කණ්ඩායම් සහ පුද්ගලයින් සාම්ප්‍රදායික එජාප දේශපාලනය කෙරෙහි ඇති කළ බලපෑමයි. 
 
 2015 ජනාධිපතිවරණය, මහින්දගේ ජනප්‍රිය ජාතිකවාදය සහ මෛත්‍රීගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය අතර සටනක් වූ අතර, මෛත්‍රීගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය ඡන්දදායකයින්ගේ හදවත් හා මනස් දිනා ගත්තේය.
 
ජනාධිපතිවරණයේදී මෛත්‍රීට සහාය දුන් බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආණ්ඩුවේ කිසිදු තනතුරක් නොපිළිගත්තද, ආණ්ඩුවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය සකස් කිරීමේදී ඔවුන් බලවත් විය.  
 
මංගල නව ආණ්ඩුවේ කටයුතු ආරම්භ කළේ, යුද්ධයෙන් පසු වගවීම පිළිබඳව 2016 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එන ලද මතභේදයට තුඩු දුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට කොටස්කරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් කරමිනි.  
 
"යහපාලනය" රජය ශ්‍රී ලංකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ආයතන කිහිපයක් හඳුන්වා දුන්නේය.  සමහර ඒවා නම්, විධායක ජනාධිපති බලය සීමා කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත, මානව හිමිකම් කොමිසම ශක්තිමත් කිරීම යනාදියයි. එසේම, ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා සාමූහික බලය බෙදා ගැනීමේ ආයතනික රාමුවක් (consociational) සහිත නව ව්‍යවස්ථාවක් යෝජනා කිරීම සඳහා කමිටු පත් කරන ලද අතර, මුදල් ඇමතිවරයා ලෙස මංගල, මත්පැන්හල් වලින් කාන්තාවන් මත්පැන් මිලදී ගැනීම තහනම් කළ පෞරාණික නීති වෙනස් කිරීමට, සහ කාන්තාවන් සම්බන්ධ අයිතීන් ශක්තිමත් කිරීමට උත්සාහ කළේය. 
 
 මානව අයිතිවාසිකම්, සුළුතර අයිතිවාසිකම් සහ සමරිසි + (LGBTQA+) අයිතිවාසිකම් ගැන විවෘතව සාකච්ඡා කෙරිණි.  
 
ඊට අමතරව, සමාජය 'මිලිටරීහරණය' (de-militarisation) කිරීමේ ක්‍රියාවලියක් සිදු වූ අතර, ඒ හරහා සිවිල් සමාජය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තේය. 
 
 රජයේ වැඩ කටයුතු වලදී සිංහල බෞද්ධ බහුතරවාදය විසින් සිදු කරන ලද බලපෑම අඩු කිරීමට උත්සාහ කිරීමේදී, මංගල සහ රනිල් කැපී පෙනුනි.  රජය විසින් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) පිහිටුවන ලද අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසම ශක්තිමත් කිරීම සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කළේය.
 
 
මිනිසුන්ට අයිතිවාසිකම් සහ නිදහස ලබා දී තිබියදීත්, 2019 වන විට ලිබරල් (බොහෝ අය නව ලිබරල් යැයි කියන) ප්‍රජාතන්ත්‍රවාදී “යහපාලනය” රජය සහ මංගල, මෛත්‍රී, රනිල්, සහ චන්ද්‍රිකා ඔවුන් වෙත 2015 දී තිබූ සුජාතභාවය (legitimacy) නැති කර ගත්හ. 
 
 
අවසානයේදී ජනප්‍රිය ජාතිකවාදියෙක් සහ මහින්දගේ සහෝදරයෙක්  වූ ගෝඨාභය රාජපක්ෂ (ගෝඨාභය) 2019 ජනාධිපතිවරණයේදී "යහපාලනය" රජය පරාජය කළේය.  
 
එය සිදුවූයේ කෙසේද?  "යහපාලන" රජයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයේ පරාජය පැහැදිලි කිරීමට තර්කානුකූල ක්‍රමයක් තිබේද?
 
 
 
 
ෆුකුයාමා සහ මංගල:
 
ෆුකුයාමා යෝජනා කරන්නේ, 21 වන සියවසේ දෙවන දශකය වන විට, ‘වීටෝක්‍රසි’ හෙවත් 'නිෂේධ බලය'නම් වූ සමාජයේ සාමූහික ක්‍රියාවන් අවහිර කිරීමට කොන් වූ කණ්ඩායම් වල අනන්‍යතා දේශපාලනයට ඇති හැකියාව, සාම්ප්‍රදායික සමාජ-සංස්කෘතික සම්මතයන් සහ වටිනාකම් අගය කරන, පැරණි පිළිවෙල පිළිගන්නා බහුතරයකගේ 'නොරුස්නාවේ දේශපාලනය' අවුස්සන ලද බවයි. 
 
එහි ප්‍රතිඵලය වූයේ, "දකුණු" කඳවුරේ දේශපාලන නායකයින් විසින් එකී නොරුස්නාවට දේශපාලන වටිනාකමක් ලබා දී, තම කණ්ඩායම් ගෞරවය කැළලකට, අපකීර්තියට හෝ වෙනත් ආකාරයකින් නොසලකා හැරීමකට ලක්ව ඇතැයි යන හැඟීම වටා 'නොරුස්නාවේ දේශපාලනය' තුළ ජනතාව බලමුලු ගැන්වීමයි. 
 
එම ජනතාවාදී-ජාතිකවාදී නායකයෝ “තම රටවල සහ සමාජවල පැරණි පිළිවෙල නැවත ලබා ගැනීම සඳහා” ඔවුන් වටා මිනිසුන් එක්රැස් කළහ!  මෙම ලිපියේ මුලින් සඳහන් කළ පරිදි, සමහර දේශපාලන විද්‍යාඥයින් මෙම 'අර්බුදය’ සැලකුවේ “ප්‍රජාතන්ත්‍රවාදයේ අවපාතයක්” ලෙසිනි.
 
 
21 වැනි සියවසේ දෙවන දශකය තුළ ලෝකයේ බොහෝ රටවලට අත් වූ, ෆුකුයාමා සඳහන් කරන ඉරණම ම “යහපාලනය” රජයට සහ එහි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති වලට ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ අත් විඳින්නට සිදු විය.  
 
 
“යහපාලනය” රජය ගෙන ආ හෝ ගෙන ඒමට උත්සාහ කළ සමහර ප්‍රධාන ප්‍රතිපත්ති සහ වෙනස්කම් මගින් ලංකාවේ සාම්ප්‍රදායික බහුතරයේ සාමූහික ක්‍රියාවන් අවහිර වී හෝ අවහිර කිරීමේ තර්ජනයට ලක් වී තිබුණි.  
 

  
නිදසුනක් ලෙස, 2019 දී සමන්තා පවර් (වර්තමාන එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ප්‍රධානී) මංගල ගැන කළ කතාවක් සම්බන්ධයෙන් පසුතැවිල්ල ප්‍රකාශ කරමින්, ජාතිකවාදී හිතවාදී තීරු ලිපි රචකයෙකු වූ මාලින්ද සෙනෙවිරත්න සඳහන් කළේ, “ලිබරල්වාදය, නව ලිබරල් ආර්ථික පරමාදර්ශයන් ලෙස සැලකේ.  සුවදායී ලෝකයක් සහ සුවදායී, අර්ථවත් ජීවන රටාවක් සම්බන්ධයෙන් ගත් කල, එය පැහැදිලිවම බුද්ධිමය විරෝධී මෙන්ම, බියකරු සිහිනයකි” යනුවෙනි. ඔහු, නව ලිබරල්වාදය සැලකුවේ බුද්ධිමය විරෝධී පරමාදර්ශයක් ලෙස සහ අර්ථවත් ජීවන රටාවකට ඇති බියකරු සිහිනයක් ලෙස ය!
 
මතවාදී නායකයින් සහ රාජපක්ෂ කඳවුරේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය පමණක් නොව, ‘යහපාලනය’ රජයේ ජනාධිපති මෛත්‍රී ද, මංගල, රනිල් සහ චන්ද්‍රිකා විසින් හඳුන්වා දුන් නව ලිබරල්වාදී අදහස් සහ ප්‍රතිපත්ති විවෘතව විවේචනය කළේය.  
 
මන්ද?  ෆුකුයාමා සංකල්පනය කළ පරිදි, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර විසින් ගෙන එන ලද, නව ලිබරල්වාදී අදහස් සහ අනන්‍යතා දේශපාලනය නිසා පැරණි ක්‍රමය විශ්වාස කළ බොහෝ දෙනාගේ ‘තයිමස්’ තර්ජනයට ලක්ව තිබුණි.  ෆුකුයාමා සටහන් කළේ, "සමකාලීන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විසින් 'තයිමස්' ගැටලුව සම්පූර්ණයෙන් විසඳා නැති බවයි”.
 
 
පශ්චාත් යුද කාලීන වගවීම පිළිබඳව 2016 දී මංගල ගෙන ආ මතභේදයට තුඩු දුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව බොහෝ ශ්‍රී ලාංකිකයන් පිළිගත්තේ නැත.  මංගල,  යෝජනාව සම්බන්ධයෙන් සිය සාධාරණ හේතු ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළද, බොහෝ ශ්‍රී ලාංකිකයින් යෝජනාව බොහෝ දුරට හැඟීම් මත පදනම්, වෙනස් ලෙස වටහාගෙන තිබුණි.  
 
සම්භාව්‍ය ආර්ථික න්‍යායන් මඟින් උගැන්වෙන්නේ, මිනිසුන්ට තාර්කික තේරීම් කළ හැකි බවත්, පුද්ගලයන් තම මූල්‍ය වාසිය උපරිම කර ගැනීමට උත්සාහ කරන බවත් ය. 
 
එහෙත්, චර්යාධර්මවාදීන් (behaviourists) නිරීක්ෂණය කළේ, වඩා ප්‍රබල හැඟීම් බොහෝ විට අපගේ තාර්කික තේරීම් වළක්වාලන බවයි.  
 
ගෞරවයට ඇති ආශාව නිසැකවම තාර්කික තේරීම් වලට බාධා කරන බව ෆුකුයාමාගේ අවබෝධයයි.  
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කොටි හිතවාදී සංවිධානයක් බව බොහෝ ශ්‍රී ලාංකිකයින් විශ්වාස කරන අතර, එම නිසා කවුන්සිලය ‘එල්ටීටීඊය පරාජය කළ රණවිරුවන්ට’ එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය නොකළ යුතුය යන මතය දරයි.  
 
එයින් ගම්‍ය වන පරිදි, සුළුතර දෙමළ ප්‍රශ්නය ගැන විවෘතව අදහස් දැක්වූ සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒකාබද්ධ යෝජනාව ගෙන ආ මංගල, එල්ටීටීඊ හිතවාදී හා ඇමරිකානු ගැති දේශපාලනඥයෙකු යැයි බොහෝ දෙනා සිතූහ. 
 
 මෙම අවබෝධය අවසානයේ මංගලගේ දේශපාලන සුජාතභාවයට පමණක් නොව, “යහපාලනය” රජයේ සුජාතභාවයට ද තර්ජනය කළේය.  ආණ්ඩුවේ සිටින, මංගල සහ සුළුතර හිතැති නායකයින් දෙස බොහෝ සිංහල බෞද්ධයන් දුටුවේ, ඔවුන්ගේ අනන්‍යතාවයට හා වටිනාකම් වලට තර්ජනයක් ලෙසිනි.  
 
 
සිංහල බෞද්ධ බහුතරය තවදුරටත් අමනාප කර ගනිමින්, රනිල් සහ මංගල යන දෙදෙනාම ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය විවේචනය කළ සිංහල බෞද්ධ හිතැති දේශපාලනඥයින්ට එරෙහිව  පාර්ලිමේන්තුවේදී 'ජාතිවාදීන්' යන වචනය භාවිතා කළහ.
 
  
අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා වූ පළිගැනීමේ යුක්ති ආකෘතියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඒකාබද්ධ යෝජනාවට පදනම් විය. 
 
 සත්‍ය හා සංහිඳියා කොමිසම (TRC) දකුණු අප්‍රිකාවේ කළාක් මෙන්, පශ්චාත් යුද කාලීන වගවීමේ ගැටලුව විසඳීම සඳහා, පාපොච්චාරණයට සමාව දීමේ යුක්තිය පසිඳලීම සඳහා වූ විකල්ප ආදර්ශයක් අනුගමනය කිරීමට මංගල සූදානම් නොවීය.  
 
මංගල පැවසුවේ, “පාපොච්චාරණය කිරීම සහ සමාව දීම ශ්‍රී ලාංකික සංස්කෘතියේ කොටසක් නොවන බැවින්, පාපොච්ඡාරණය කිරීම සඳහා සමාව දීම, ශ්‍රී ලංකාවේදී සිදු නොවන බවත්, එබැවින්, අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ය. 
 
 දකුණු අප්‍රිකානු සන්දර්භය තුළ පවා සමහර ප්‍රසිද්ධ පුද්ගලයින් තර්‍ක කළේ දකුණු අප්‍රිකානු සමාජයේ සංස්කෘතිය හා සදාචාරාත්මක සම්මතයන් අපරාධකරුවන්ට දඬුවම් දීම සඳහා වන බවයි.  
 
උදාහරණයක් වශයෙන්, TRC කොමසාරිස්වරයෙකු වීමට අයදුම් කළ මුල්ම සම්මුඛ පරීක්‍ෂකයා වූ මහාචාර්යවරයා සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ, දඬුවම් දීම, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ කොටසක් බවත්, එය දකුණු අප්‍රිකානු සදාචාරාත්මක සම්මුතියේ කොටසක් වන අතරම, නීති පද්ධතියට සහ දේවධර්මානුකූල විශ්වාසයට ද එකඟ බවත්‍ ය. කරුණු කොමිසමට හෙළිදරව් කිරීමත් සමඟ එන මහජනයාට මුහුණ දීමේදී අපහසුතාවය දඬුවම් දීමේ ක්‍රමයක් ලෙස තමා විශ්වාස කරන බවත් ඔහු කීවේය. 
 
ස්ටීව් බිකෝගේ පවුලේ සාමජිකයන් ද TRC මතය සමඟ එකඟ නොවූ අතර, ඔවුන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තුළ TRC කොමිසමේ නීත්‍යානුකූලභාවයට අභියෝග කරමින්, තමන්ට ‘යුක්තිය’ අවශ්‍ය යැයි හඬා වැළපෙමින් ඉල්ලීය. 
 
බිකෝ මරා දැමූ බව පිළිගත් අපරාධකරුවන්ට එරෙහිව TRC නඩු පැවරුවේ නැත. 
 
tutu
අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු
  
 අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු විශ්වාස කළේ, සංහිඳියාව ලාභ දෙයක් නොවන බවත්, අවසානයේ දී සමාව දීම හා පසුතැවීම මත එය ඇති වන බවත්, එය පාපොච්චාරණය මත රඳා පවතින බවත් ය.  මිනීමැරුම් හෝ වධහිංසා සිදු කළ අයට තමන් දේශපාලනිකව ක්‍රියා කළ බව ඔප්පු කළ හැකි නම්, හැකි තරම් පුළුල් ලෙස සමාව දීමේ ක්‍රියාවලියක් සඳහා අගරදගුරු ටූටූ කැමති විය.  
 
එම නිසා සමාජයේ සංස්කෘතික හා සදාචාරාත්මක සංග්‍රහයන් මත පදනම්ව TRC ට එරෙහිව නැඟුණු තර්කය දකුණු අප්‍රිකානු රජය ප්‍රතික්ෂේප කළ අතර, TRC යාන්ත්‍රණය ඉදිරියට ගෙන ගියේය. 
 
අවාසනාව නම්, සංහිඳියාව ඇති කිරීමට සමාව දීමේ ඇති සදාතනික වටිනාකම, අගරදගුරු ටුටුගෙන් හෝ, නෙල්සන් මැන්ඩෙලාගෙන් හෝ, 1945 ශාන්ත ෆ්‍රැන්සිස්කෝ සම්මේලනයේදී ජේ. ආර්. ජයවර්ධන කළ කතාවෙන් හෝ තේරුම් ගැනීමට මංගල අපොහොසත් විමයි.
 
  
මංගල, රනිල්, චන්ද්‍රිකා සහ ආණ්ඩුව පිළිබඳව බොහෝ සිංහල බෞද්ධයින් තුළ තිබූ නොරුස්නාව, ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා සාමුහික බලය බෙදා ගැනීමේ ආයතනික රාමුවක් සහිත නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය ගත් උත්සාහය හේතුවෙන් තවදුරටත් දැඩි විය.  
 
මෙම උත්සාහය සිංහල බෞද්ධ බහුතරයකගේ පැවැත්මට එල්ල වූ තර්ජනයක් ලෙස බහුතරය සැලකූහ.  ඔවුන් එය දුටුවේ රට කෑලි දෙකකට බෙදීමේ කුමන්ත්‍රණයක් ලෙසයි!  
 
ඔබ මංගලගෙන් ඇසුවොත් ඔහු පවසන්නේ, සිංහල බෞද්ධ බහුතරවාදය සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් මර්දනය කරන බැවින්, එයට විරුද්ධ බවත්, එසේම, වෙනස් කොට සැලකීම බෞද්ධයින්ගේ දර්‍ශනවාදී චින්තනයට අනුකූල නොවන බව ඔහුට නිසැක බවත් ය. 
 
 
මංගලට අවශ්‍ය වූයේ, සිංහල බෞද්ධ බහුතරයේ ‘මෙගලොතයිමියා’ අනන්‍යතා දේශපාලනය මෙරට දේශපාලනය කෙරෙහි කළ බලපෑම අඩු කිරීමට හෝ නැති කිරීමට ය.  එම අරමුණට ළඟාවීම සඳහා මංගල විසින් සුළුතරයේ ‘අයිසොතයිමියා’ අනන්‍යතා දේශපාලනය භාවිතා කළේය.  ඔහුට වැරදුණ තැන එතැනය!
 
  
මංගල, රනිල්, චන්ද්‍රිකා, සහ ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න විසින් ජනවාර්ගික ගැටළුව විසඳීම සඳහා ඉදිරිපත් කළ විසඳුම පදනම් වූයේ, 1960 දශකයේ අග භාගයේ අරෙන්ඩ් ලෙයිෆාර්ට් විසින් න්‍යාය ගත කරන ලද සාමූහික මූලධර්ම (consociational) මත ය.  
 
වාර්ගිකත්වය, ආගම හෝ භාෂාව වැනි සංස්කෘතික අනන්‍යතාවයන්ගෙන් බෙදුණු සමාජයන් තුළ තිරසාර සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සාමූහික ප්‍රවේශයේ (consociational  approach) ඇති දුර්වලතා ගැන සාකච්ඡා කිරීමට මෙය සුදුසු තැනක් නොවුණත්, එක් මූලික කරුණක් මම අවධාරණය කරමි.  මංගල (රනිල් සහ චන්ද්‍රිකා ද) විශ්වාස කළේ, ලංකාවේ වඩාත්ම භේදකාරී සංස්කෘතික අනන්‍යතාවය වන ජනවාර්ගිකත්වය පදනම් කරගත්, දේශපාලන බලය බෙදා ගැනීමේ ( power-sharing) ක්‍රමවේදයක් මගින් තිරසාර සාමයක් සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කළ හැකි බවයි.  
 
අවාසනාව නම්, අවම වශයෙන් ඔවුන්ට තම අසල්වැසියා වන ඉන්දියාවේ ජවහර්ලාල් නේරුගෙන් වත් පාඩමක් ඉගෙන ගැනීමට නොහැකි වීමයි.  
 
mangala S
 
දේශපාලන විද්‍යාඥ පිලිප් ජී. රොඩර් මෙසේ ලිවීය, “ඉන්දියාව එහි වඩාත්ම පුපුරණ සුළු සංස්කෘතික බෙදීම වූ, හින්දු හා මුස්ලිම්වරුන් අතර වූ ආගමික බෙදීම පදනම් කර ගෙන බලය බෙදා හැරීම වළක්වා ඇත.  ඇත්තෙන්ම, 1950 දශකයේදී භාෂාමය රාජ්‍යයන් නිර්‍මාණය කිරීමේදී ඉන්දියානු රජය ඉන්දියාවෙන් වෙන්වීමේ ලොකුම තර්ජනය එල්ල කළ හැකි ආකාරයේ අනන්‍යතා දෙකට -  එනම්, ඉස්ලාමය සහ සාම්ප්‍රදායික පාලකයින් විසින් පාලනය කරන ලද කුමාරවරුන්ගේ රාජ්‍යයන් - ප්‍රතිවිරුද්ධ සමබරතාවක් ඇති කළේය.  
 
නව රාජ්‍යයන් සඳහා පදනම ලෙස ජවහර්ලාල් නේරු ආගම යොදා ගැනීම ප්‍රතික්ෂේප කළ අතර, ආගම පදනම් කරගත් සීක් රාජ්‍යයක් සඳහා වූ සැලසුම් අවහිර කළේ, හරියටම එය ‘පාකිස්ථානු-ශෛල්‍යයේ’ බෙදී වෙන්වීමකට තුඩු දෙනු ඇතැයි යන බිය නිසා ය.  
 
ඊට අමතරව, සාමුහික බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයේ සාර්ථකත්වය ඇගයීම සඳහා සිදු කරන ලද බැරෑරුම් අධ්‍යයනයන් ද ඇත.  
 
උදාහරණයක් වශයෙන් ඇන්තනි ඩී. ස්මිත්, පෝල් ආර්. බ්‍රාස්, ඩොනල්ඩ් රොත්චයිල්ඩ්, පිලිප් ජී. රොඩර් සහ ෆ්‍රැන්සිස් ෆුකුයාමා වැන්නවුන්, වාර්ගික ගැටලු විසඳීම සඳහා විකල්ප ආයතනික රාමුවක්  ගොඩ නැගීමේ ප්‍රවේශයන් “බහුවිධ-බහුතර ප්‍රවේශයේ” සිට “අනන්‍යතාවයේ සිට අනන්‍යතාවන් දක්වා” වන ප්‍රවේශය දක්වා ඉදිරිපත් කරයි. 
 
එහෙත්, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුව විසඳීම සඳහා අනන්‍යතා දේශපාලනයේ යෙදුණු මංගල, රනිල් සහ චන්ද්‍රිකා, සීමිත දැක්මක් සහිත ප්‍රවේශයක් යෝජනා කළ අතර, විකල්ප යාන්ත්‍රණයන් ගැන සලකා බැලීමට උත්සුක නොවූහ.
 
 
මංගලගේ, රනිල්ගේ සහ චන්ද්‍රිකාගේ ‘අයිසොතයිමියා’ අනන්‍යතා දේශපාලනයට හෝ, අනෙක් අතට, රාජපක්ෂලාගේ ‘මෙගලොතයිමියා’ බහුතරවාදයට එකිනෙකා නොමැතිව පැවතිය නොහැකි බව පෙනෙන්නට තිබුණි!  
 
 
"යහපාලනය" රජය පැවති සමයේ සුළු ජාතික දේශපාලන නායකයින් කැබිනට් මණ්ඩලයේ බොහෝ තනතුරු දැරූ හෙයින්, ජනවාර්ගික සුළුතරයේ 'අයිසොතයිමියා' දේශපාලනය 'යහපාලනය' සමයේ බලවත් වූ අතර, සමහර අවස්ථාවල ඔවුන් සාම්ප්‍රදායික බහුතරයේ සාමූහික ක්‍රියාවන් අවහිර කිරීම හෝ අවහිර කිරීමට තර්ජනය කිරීම හෝ කළහ.  
 
රාජපක්ෂවරුන් විසින් නායකත්වය දුන් විපක්ෂය එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන, ‘යහපාලනය’ ආණ්ඩුවේ සුළුතර හිතැති න්‍යාය පත්‍රයට එරෙහිව බහුතර සිංහල බෞද්ධ ජනතාව තුළ ජාතිකවාදී හැඟීම් බලමුලු ගැන්වීය.
 
 kandy violance
මහනුවර සිංහල - මුස්ලිම් කෝලාහල
 
 
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී (PCOI) සමහර සාක්ෂිකරුවන් පෙන්වා දුන්නේ, යහපාලනය කැබිනට් මණ්ඩලය ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන එතරම් කලබල වීමට අකමැති වූ හෙයින්, අන්තවාදීන් සහ/හෝ ආවෘත ඉස්ලාමීය ව්‍යාපාර විසින් එල්ල කරන ලද තර්ජන ගැන කලින් කළ අනතුරු ඇඟවීම් නොසලකා හැර සිටි හෝ නොසලකා හැරීමට ඉඩ හැරි බවයි. 
 
 2016 නොවැම්බරයේදී, ‘යහපාලනය’ ආණ්ඩුවේ සිටි, ජනප්‍රිය ජාතිකවාදයට හිතෛෂී කැබිනට් ඇමතිවරයෙකු වූ, විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්, ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කරන තර්ජන ගැන අනතුරු ඇඟවූ අතර "ISIS ත්‍රස්තවාදය ගැන මහජනතාව තුළ විශාල භීතියක් ඇති වී තිබේ,” යනුවෙන් පැවසීය.  
 
ඔහු තර්ජනය කරමින් අවධාරණය කළේ, "යමෙකු අන්තවාදය පැතිරවීමට උත්සාහ කළහොත්, අද සිට අපි එයට ඉඩ නොදෙනු ඇත"  යනුවෙනි. ඇමති රාජපක්‍ෂගේ ප්‍රකාශයට වහාම ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය (MCSL) කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ කීර්ති නාමය විනාශ කිරීමට නැඹුරු වූ සමහර අන්තවාදී කොටස් වලට ඉතා සුදුසු මොහොතක" මෙම ප්‍රකාශය පැමිණි බවයි.
 
2017 ජනවාරි මස මුලදී, නාඳුනන කණ්ඩායමක් විසින්, නුගේගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින්ට අයත් සමහර නිවෙස් වල තාප්ප සහ ගේට්ටු වල "සිංහලේ" යන වචනය ලියා තිබුණි.  
 
මාස තුනකට පසු සිදු වූ තවත් ප්‍රහාරයකින් මුස්ලිම්වරුන්ට අයත් වෙළඳසැල් කිහිපයක්ම ගිනිබත් විය.  ජුනි මාසයේදී මහරගම සහ විජේරාම ප්‍රදේශවල මුස්ලිම්වරුන්ට අයත් වෙළඳසැල් වලට පෙට්රල් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු සොල්දාදුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර, සැකකරු බොදු බල සේනා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව විමර්ශකයන් සොයා ගත්තේය. 
 
 2017 ජූනි මස මැද භාගයේදී, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි එවැන්ජලිස්ත සන්ධානය එම වර්ෂයේම ක්‍රිස්තියානුවන්ට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් 20 ක් ප්‍රකාශයට පත් කළ අතර, ඒවා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කළ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරවලට සමාන්තරව දියත් වූ ප්‍රහාර බව අවධාරණය කළේය.  
 
එම ප්‍රකාශය මගින් තවදුරටත් සඳහන් කළේ, “වත්මන් රජය 2015 දී බලයට පත් වූ දා සිට පල්ලි, පූජකයන් සහ ක්‍රිස්තියානුවන්ට එරෙහිව සිදු කළ ආගමික හිංසා සිදුවීම් 190 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන" බවයි.
 
 
2018 පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් විපක්ෂය විශිෂ්ඨ ජයක් ලැබූ අතර, එම ජයග්‍රහණය ජනප්‍රිය ජාතිකවාදී කඳවුරේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීය. 
 
 
 2018 පෙබරවාරි 26 වෙනිදා නැගෙනහිර අම්පාරේ ‘වඳ කොත්තු’ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් ප්‍රහාරයක් දියත් විය.  යම් කණ්ඩායමක් රාත්‍රී හෝටලයකට සහ මුස්ලිම් පල්ලියකට හානි සිදු කළ අතර, අම්පාර ප්‍රදේශයේ විපක්ෂ දේශපාලනඥයෙකුගේ සම්බන්ධයක් මෙම කණ්ඩායමට තිබූ බව මූලික විමර්ශනයේදී සොයාගෙන ඇත.  
 
මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ගොඩනැගීමක් සිදු වෙමින් පැවති අතර, 2018 පෙබරවාරි 22 දින තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිංහල ලොරි රථ රියදුරෙකුට මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසින් පහර දී තිබුණි.  පහර කෑමට ලක්වූ තැනැත්තා මාර්තු 3 දා මිය ගිය අතර, එම පුවත හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ ආගමික කෝලහාල ඇති විය.  
 
එම කෝළාහල ඇති කළේ මහනුවර ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් නොව, වෙනත් ප්‍රදේශ වලින් පැමිණි පිරිස් විසින් බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.  කෝලාහල ඇති කිරීම සඳහා අනුරාධපුර, දඹුල්ල සහ කුරුණෑගල ප්‍රදේශ වලින් බොහෝ දෙනෙක් පැමිණි බව, අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධ විමර්ශන වලදී හෙළි විය.  
 
මහනුවර දිස්ත්‍රික්කයේ විපක්ෂ දේශපාලනඥයින් දෙදෙනෙකුගේ නම් මෙම කෝලාහල සම්බන්ධයෙන් කියැවිණ.  
 
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තත්වය පාලනය කළ නමුත්, කැරලිකරුවන් මුස්ලිම් පල්ලි, නිවාස, සාප්පු සහ වාහන වලට හානි සිදු කළ අතර, පුද්ගලයන් දෙදෙනෙක් මිය ගියහ.  
 
 
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පෙළඹවීමට ප්‍රධාන සාධකයක් වූයේ මහනුවර දිස්ත්‍රික්කයේ (දිගන සිදුවීම්) ඇති වූ කෝලාහල බව පසුව පළ වූ ඇතැම් පර්‍යේෂණාත්මක ලිපි වල වාර්තා විය.
 
  
රට තුළ මතුවෙමින් පවතින තත්වය “යහපාලන” සන්ධාන ආණ්ඩුවට අහිතකර වූ අතර, කලබල වූ ජනාධිපති මෛත්‍රී, රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කිහිප වරක්ම උත්සාහ කළේය.  
 
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු අගමැති වීමේ ආරාධනය පිළි නොගත් අතර, අවසානයේ, 2018 ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපති මෛත්‍රී විසින් විපක්ෂයේ සිටි මහින්දව අගමැති ලෙස පත් කළේය.  
 
වාර්ගික කරුණු පිළිබඳ සාපේක්ෂව මධ්‍යස්ථ මතධාරියෙකු වූ ජනාධිපති මෛත්‍රී විවෘතව කියා සිටියේ, රනිල්, මංගල සහ චන්ද්‍රිකා ගේ ප්‍රතිපත්ති සිංහල බෞද්ධ බහුතරයේ සහ බෞද්ධ පූජ්‍ය පක්ෂයේ බලාපොරොත්තු සුන් කළ බවයි. 
 
 කෙසේ වෙතත්, මහින්දව අගමැති ලෙස පත් කිරීම රට ව්‍යවස්ථානුකූල අර්බුදයකට තල්ලු කළ අතර, මහින්ද අගමැති ලෙස සිටියේ දින 52 ක් පමණි.  2018 දෙසැම්බර් 16 වෙනිදා මෛත්‍රීට නැවතත් රනිල්ව අගමැති ලෙස පත් කිරීමට සිදු විය.
 
දින 10 කට පසු, එනම්, 2018 දෙසැම්බර් 26 දා, යතුරුපැදිවලින් පැමිණි තරුණයන් කිහිප දෙනෙකු මහනුවරට නුදුරින් පිහිටි මාවනැල්ල නගරයේ බෞද්ධ ප්‍රතිමා කිහිපයකට හානි කළහ.  
 
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයේ කණ්ඩායම් නායකයා වන සහරාන් හෂීම් මාවනැල්ල බුදු පිළිම ප්‍රහාරයේ අපරාධකරුවන් රැඩිකල්භාවයට පත් කළ බවත්, හෂීම් 2018 දී මාස කිහිපයක සිට මාවනැල්ලේ ජීවත් වූ බවත්, පසුව වාර්තා විය. 
 
මාවනැල්ල සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ බලධාරීන්ට ලැබුණු තොරතුරු මත, වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල් වත්තක් 2019 ජනවාරි 17 දා පොලිසිය වැටලූ අතර, ඔවුහු එම ස්ථානයේ තිබී ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත්හ.  
 
මෙම කාලය තුළ මෛත්‍රී සහ රනිල් අතර දුර්වල සන්ධානයක් පැවති අතර, එම බිදුණු සන්ධානය, පුද්ගලයන් 269 ක් ජීවිතක්‍ෂයට පත් කරමින්, 2019 අප්‍රේල් 21 දින කතෝලික දේවස්ථාන සහ හෝටල් වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර වළක්වා ගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය විය.  
 NEGOMBO, SRI LANKA - APRIL 21 : Officials inspect the damaged St. Sebastian's Church after multiple explosions targeting churches and hotels across Sri Lanka on April 21, 2019 in Negombo, north of Colombo, Sri Lanka. At least 207 people were killed and hundreds of others wounded in multiple blasts that hit eight different locations -- including churches where Christians were marking Easter Sunday -- and 5-star hotels in commercial capital Colombo. (Photo by Chamila Karunarathne/Anadolu Agency/Getty Images)
දින පහකට පසු, එනම්, 2019 අප්‍රේල් 26 දින, රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, "රැඩිකල් ඉස්ලාමය පාලනය කරන්න, ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසයි!" යනුවෙනි.
 
   
පාස්කු ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් රජය, තවදුරටත් සිදු කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර වැළැක්වූ අතර, ඉතිරි වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිෂ්ක්‍රීය කළේය.  
 
කෙසේ වෙතත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පුත්තලම, කුරුණෑගල, ගම්පහ, මාතලේ සහ තවත් සමහර දිස්ත්‍රික්කවල මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ විය. කලහකාරීන් මුස්ලිම් පල්ලිවලට හානි කළ අතර, මුස්ලිම්වරුන්ට අයත් සාප්පු කොල්ල කෑහ.  
 
සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පාසලේ (RSIS) අම්රේෂ් ගුණසිංහම් සඳහන් කරන්නේ, "විශ්ලේෂකයින්ට අනුව මෙම ප්‍රහාර හුදෙක් පාස්කු බෝම්බ ප්‍රහාරයට සෘජු පළිගැනීමක් ලෙස එල්ල කළ ප්‍රහාර ලෙස සැලකිය යුතු නොවේ.  එම ප්‍රහාර වලදී, ප්‍රහාරකයන් විසින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව, සිංහල බෞද්ධයින් තුළ තිබූ අතීත අගතිගාමීත්වය අවස්ථාවාදී ලෙස ඉස්මතු කරවන, මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයේ පූර්ව රටාවන් අනුගමනය කර ඇත" යනුවෙනි. 
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එළැඹි, අවුරුද්දේ ඉතිරි කාලය පුරාම, සිංහල බෞද්ධයින් සහ මුස්ලිම්වරුන් අතරත්, සහ කතෝලිකයන් සහ මුස්ලිම්වරුන් අතරත් ආතතිය දිගටම පැවතුනි.  
 
මාස හතකට පසු, මිලියන 6.9 ක් (52.25%) ජනතාව ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දී, ඔහුව ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්හ. ගෝඨාභය දිවුරුම් දුන්නේ, පුරාණ බෞද්ධ විහාරස්ථානයක දී වන අතර, ඔහුගේ කතාවේදී, සිංහල බහුතරයේ සහයෝගය ගැන ස්තූති කළේය.
 
 
ෆුකුයාමා නිරීක්ෂණය කළ පරිදි සහ මෙම ලිපියේ කලින් සඳහන් කළ පරිදි, ‘මෙගලොතයිමියාව’ විශාල අවදානම් ගෙන, දැවැන්ත අරගලවල යෙදී, විශාල බලපෑම් ඇති කිරීමට උත්සාහ කරන අතර, ඒබ්‍රහම් ලින්කන් වැනි නායකයින්ට හෝ හිට්ලර් වැනි පීඩකයන්ට එමගින් අවස්ථාව උදා විය හැකිය.  
 
  
කොන් වූ කණ්ඩායම් වල ‘අයිසොතයිමියා’ අනන්‍යතා දේශපාලනය සහ ජනප්‍රිය-ජාතිකවාදී නායකයින්ට සහයෝගය දුන් පැරණි පිළිවෙළේ සිටි බොහෝ සාම්ප්‍රදායික, මධ්‍යම පාන්තික පුද්ගලයින්ගේ ‘මෙගලොතයිමියා’ අනන්‍යතා දේශපාලනය අතර සහ-සම්බන්ධය වන්නේ, එය අනෙකා නිර්මාණය කරමින් එකිනෙකා පෝෂණය කිරීමයි.  
 
අප සඳහන් කළ පරිදි, මංගල (රනිල් සහ චන්ද්‍රිකා) ගේ ‘අයිසොතයිමියා’ දේශපාලනය, රාජපක්ෂලාගේ ‘මෙගලොතයිමියා’ දේශපාලනයේ පැවැත්ම සහ සාර්ථක වීමේ හැකියාව උපරිම කර තිබේ.  
 
‘තයිමස්’ ගැටලුව විසඳීම සඳහා මංගල අනුගමනය කළ ප්‍රවේශය පිළිබඳව වන මෙම නිරීක්ෂණය බොහෝ ප්‍රශ්න මතු කරයි.  
 
හාස්‍යයට කරුණ නම්, ශ්‍රී ලංකාවේ 'ජනප්‍රිය ජාතිකවාදයේ ජයග්‍රහණය' සඳහා මංගල, රනිල්, චන්ද්‍රිකා සහ ඔවුනට සහය දුන්, ‘අනන්‍යතා දේශපාලනය’ තුළින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීමට උත්සාහ කළ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර ද වගකිව යුතු වීමයි.
 
 
 
නිගමනය:
 
219856730 3689699934464311 7160925631510998364 n
 
මංගල බලවත් දේශපාලනඥයෙකු ලෙස, අනන්‍යතා දේශපාලනය තුළින්, සහ චන්ද්‍රිකා, මහින්ද, රනිල්, සහ මෛත්‍රී වැනි ඉහළ පෙළේ නායකයින් හරහා සමාජ තත්ත්‍වයේ වෙනසක් ඇති කිරීමට දශක තුනකටත් වැඩි කාලයක් උත්සාහ කළේය.  
 
ලංකාවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා 2015 දී තේරී පත් වූ රජය පරාජය වීමෙන් පසු මංගල, පාර්ලිමේන්තු දේශපාලනයෙන් විශ්‍රාම ගත්තේය. 
 
 ඔහුගේ උපකල්පන, දැක්ම සහ ප්‍රවේශයන් ගැන මෙනෙහි කිරීමට එය ඔහුට කාලය ලබා දුන්නේය.  
 
මංගල, නව පරපුරේ ඡන්ද දායකයින් සමඟ වෙනස ආරම්භ කළ යුතු යැයි නිගමනය කළේය. සමාජ මාධ්‍ය හරහා නව පරම්පරාවට බලපෑම් කිරීම සඳහා මංගල මෙවර නව මතවාදී නායකයින් කාණ්ඩයක් සොයා ගත්තේය!  ඒ, යොහානි ගේ සිට ඔටාරා දක්වා සමාජ මාධ්‍ය තුළ විශාල අනුගාමිකයන් පිරිසක් සිටින 'තරු' හරහා සමාජ පරිවර්තනයකට බලපෑම් කිරීමයි. 
 
මංගල, ටික්-ටොක් / යූටියුබ් වීඩියෝ පටයක තමන්ම පෙනී සිටියේ, සමාජ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහා සටන් කරන “රජෙකු” ගේ චරිතයටය.
 

 
කෙසේ වෙතත්, මංගලගේ නව දේශපාලන ගමන ආරම්භ කිරීමට පෙර මංගලට නික්ම යාමට සිදු විය!  මංගලගේ සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන්ගෙන් උගත යුතු පාඩම් බොහෝ ය.  
 
ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී, ඩග්ලස් සී නෝර්ත් අවධාරණය කළේ, “ඉතිහාසය වැදගත් ය.  එය වැදගත් වන්නේ අතීතයෙන් අපට පාඩම් ඉගෙන ගත හැකි නිසා පමණක් නොව, සමාජයේ ආයතන අඛණ්ඩව පැවතීම මත වර්තමානය සහ අනාගතය අතීතයට සම්බන්ධ වන බැවිනි.  අද සහ හෙට තේරීම් අතීතය අනුව හැඩ ගැසී ඇත.”
 
මංගල සමරවීර උත්සාහ කළේ ‘තයිමස්’ ගැටලුව විසඳීමට ය.  කෙසේ වෙතත්, මංගල හෝ සමකාලීන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයන් විසින් ‘තයිමස්’ ගැටලුව මුළුමනින්ම විසඳා නැත!  
 
මෙම කර්තෘගේ අදහස නම්, ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති ‘තයිමස්’ ගැටලුව විසඳීම සඳහා දේශපාලනය තුළ සංස්කෘතික අනන්‍යතාවන් අධෛර්යමත් කරන, සහ හරස් කැපෙන (cross-cutting), සංස්කෘතික නොවන (non-cultural) අනන්‍යතාවන් දිරිමත් කරන, නව දේශපාලන හා ආර්ථික ආයතන රාමුවක් රටට අවශ්‍ය බවයි.
 
  
(නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ විසිනි)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

 


 

THE LEADER TV 
 
 
 
බේබද්දෝද රාජ්‍ය ඇමතියෝය. 
 
 
 
සන්නා මහ රෑ ‌හෙළිකළ යු-ටියුබ් ගණිකාවෝ...!
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58