ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපතිවරණ ව්‍යපාරය නිල වශයෙන් දියත්කොට ඇත. එහි ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂය.

ශ්‍රීලනිපය සහ පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරයෙක් ලෙස මෙතෙක් නාමිකව පෙනීසිටි මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණේ නායකයා ලෙසද දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කොට තිබේ. ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය දේශපාලන වශයෙන් දියවීයෑමේ තවත් තීරණාත්මක අවස්ථාවක්ද ඒ සමගම ආරම්භ වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ ආධාරකරුවන් හෝ පොහොට්ටු පක්ෂය අපේක්ෂා කළ තරම් උද්යෝගයක් හෝ කලබලයක් රටේ ඇති කළේ නැත. එය තවත් දේශපාලන සිදුවීමක් පමණක් වී ඇති බව පෙනේ. කිහිප දෙනෙකු සමග කතා කිරීමෙන් මට පෙනුන දෙයක් නම් ගෝඨාභය රාජපක්ෂට ඇති මහජන ප්‍රතිචාරය උද්යෝගයෙන් තොර ප්‍රවේශම්කාරී එකක්ය යන්නයි.

පසුගිය අවුරුද්දක පමණ කාලය තුළ ඔහු ගැන ගොඩනගා තිබුණු මාධ්‍ය ප්‍රචාරය නිසාම, මහජනයා ඔහු ගැන දක්වන්නේ සංශයවාදී ප්‍රතිචාරයක් වීමට හොඳටම ඉඩ තිබේ.

 

රනිල්ගේ උපහාස රසය:

Kammuthukarayaමේ අතර, ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය, තමන් වෙත පෙර නොතිබුණු දේශපාලන උපහාසයක් නිර්මාණය කරගැනීමට අගමැති රනිල්ටද අවස්ථාව ලබාදී ඇත. තම සහෝදරයා ටර්මිනේටර් කෙනෙකු යැයි බැසිල් රාජපක්ෂ කළ හැඳින්වීමට උපහාසාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින් 'ලංකාවේ ජනතාවට කම්මුතුකාරයෙකු අවශ්‍ය නැතැ'යි අගමැතිවරයා කියා ඇත.

'කම්මුතුකාරයා' යනු ගෝඨාභයගේ දේශපාලන චරිතය හැඳින්වීමට ඇති වඩාත් ගැළපෙන වචනයකි. ඔහු ලංකාවේ අමාරුවෙන් හෝ දිගටම පවතින ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, සුළු ජන අයිතිවාසිකම්, පුරවැසි නිදහස යන බොහොමයක කම්මුතුකාරයෙකු වන බවට පොරොන්දු වි සිටින්නෙකි. නිරායුධ, අහිංසක පුරවැසියන් ඉදිරියේ ඔහුට දේශීය ආර්නෝල්ඩ් ශ්වාසිනෙගර් කෙනෙකු වීමද දුෂ්කර නොවනු ඇත.

'කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමය' යන ගැමි පිරුළද රනිල් මේ දිනවල ගෝඨාභය ගැන පාවිච්චි කරයි. එය වනාහි රාජපක්ෂ පවුලේ දේශපාලන වශයෙන් වැරදි හදාගැනීමට ඇති නොහැකියාව සහ නොසූදානම ගැන එජාපය පැත්තෙන් මෙතෙක් ආ හොඳම අලංකාරෝක්ති ප්‍රකාශයයි.

ගෝඨාභට රාජපක්ෂ ගැන දේශපාලන වශයෙන් මතවාදී ප්‍රහාරයක් දියත් කිරීමට එජපයේ රනිල් පාර්ශවය මෙන්ම සජිත් පාර්ශවයද ඉදිරිපත් වී තිබේ. සජිත් පාර්ශවයේ ප්‍රධානියෙකු වන මුදල් ඇමති මංගල සමරවීර නිකුත් කර ඇති ප්‍රකාශය ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතිය ගැන මෙතෙක් කර ඇති ඉතාම ප්‍රබල සහ කර්කෂ විවේචනයද වෙයි.

 

එජාපය පිළිබඳව ප්‍රධාන ප්‍රශ්න දෙකක්:

මේ අතර එජාපය පිළිබඳව ප්‍රධාන ප්‍රශ්න දෙකක් දැනට මතුවී තිබේ. පළමුවැන්න, එජාපය ගෝඨාභය සහ රාජපක්ෂ කඳවුර සමග පවත්වාගෙන යන ඇත්ත සම්බන්ධය කුමක්ද යන්නයි. දෙවැන්න, දැනට පවතින ජනාධිපති අපේක්ෂක පොරය, රාජපක්ෂ කඳවුරට වාසි නොවන පරිදි සාමකාමී ලෙස විසඳාගැනීමට, රනිල් සහ සජිත් පාර්ශව දෙකට හැකිවනු ඇද්ද යන්නයි.

මේ ප්‍රශ්න දෙකටම ලැබෙන පිළිතුරු ලඟ එන ජනාධිපතිවරණය වටා හැඩගැසෙන ලංකාවේ දේශපාලන අනාගතයේ ගමන්මග තීරණය කිරීමට බෙහෙවින් හේතුවනු ඇති බවද පෙනේ.

පළමුවැනි ප්‍රශ්නය ගැන සිතීමේදී, එජාපයේ රනිල් පාර්ශවය ගෝඨාභය රාජපක්ෂ මෙන්ම රාජපක්ෂ කඳවුරද සමග ගෙනගිය සහ ගෙනයන මිත්‍ර සම්බන්ධතා පිළිබඳ පසුගිය කාලයේ ආ මාධ්‍ය වාර්තාවලින් යෝජනා වන දේ අමතක කළ නොහැකිය.

ගෝඨාභය රාජපක්ෂට අලුත් ශ්‍රී ලංකා පාස්පෝට් බලපත්‍රයක් ලබාදීමට වජිර අබේවර්ධන සහ සාගල රත්නායක යන ඇමතිවරුන් කර ඇති අසාමාන්‍ය උදවු ගැන ඇති මාධ්‍ය වාර්තා ඇත්තනම්, තම ද්විත්ව පුරවැසිභාවයේ රහස සහ ව්‍යාජ කතාන්දරය ආරක්ෂා කරගැනීමට ගෝඨාභය, රනිල් පාර්ශවය දක්වා ඇත්තේ සෘජු උදවුවකි. එය වනාහි ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමේ උපක්‍රමික ආඛ්‍යානයේම කොටසක් වන්නට හොඳටම ඉඩ තිබේ.

Gotabhaya USAදැනට තිබෙන තත්වය නිරීක්ෂණය කරන කෙනෙකුට අනුමාන කළ හැකි දෙයක් නම් තම ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ කරුණ ගුප්ත රහසක් ලෙස පවත්වාගැනීම ගෝඨාභය රාජපක්ෂගේ උපායික සැලැස්මේ කොටසක්ය යන්නයි. ඔහුගේ ජනාධිපති අපේක්ෂක ඉල්ලුම්පත්‍රයට නීතිමය අභියෝගයක් ඇති නොකරන දේශපාලන වාරතාවරණයක් ද, භීතියක්ද රටේ ඇති කිරීම ගෝඨාභයගේ මෙම උපායික ක්‍රියාමාර්ගයේ කොටසක් ද වන බව පෙනේ.

එජාපයේ රනිල් පාර්ශවය මෙම ක්‍රියාවලියේම හවුල්කාරයන් නොවන බන ඔප්පුවනතුරු, අගමැති රනිල් අලුතෙන් ලබාගෙන තිබෙන, දේශපාලන උපාහාසයට ඇති සමත්කමේ ඒ තරම් දේශපාලන අර්ථයක් නොතිබෙනු ඇත.

රනිල් - සජිත් ප්‍රතිවිරෝධතා !

දෙවැනි ප්‍රශ්නය වන, එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කව්ද යන්න සාමකාමිව විසඳ ගැනීමට රනිල් සහ සජිත් පාර්ශව දෙකට හැකි වන්නේ ද නැද්ද යන්නට පැහැදිළි පිළිතුරක් තවමත් නැත.

තමන්ගේ දේශපාලන පසමිතුරුතා මහජනතාව ඉදිරියේ වහගැනීමට අප රටේ දේශපාලඥයන් සතු අසාමාන්‍ය හැකියාව ප්‍රදර්ශනය කරමින් රනිල් සහ සජිත්, සජිත්ගේ නිවාස ව්‍යපෘති කිරීමේ උත්සව සභාවල එකට සිනාසෙමින් සිටියත්, එම දෙදෙනා දැනට පැටලී සිටින්නේ දේශපාලන පක්ෂයක් හැටියට එජාපයේ අනාගතය මෙන්ම ඊළඟ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයද නිර්ණය කිරීමට හේතුවන මහා බල අරගලයකය.

දැනට පෙනෙන හැටියට නම් එජාපයේ අභ්‍යන්තර බලතුලනය සජිත්ට වාසි වන පරිදි තීරණාත්මක ලෙස වෙනස් වී තිබේ. ඒ බව පිළිගැනීමට රනිල් පාර්ශවය සූදානම්ද නැද්ද යන්න තවමත් පැහැදිළි නැත.

රනිල් සහ සජිත් අතර ඇති අභ්‍යන්තර බලඅරගලය අද ඊයේ ඇතිවූවක් නොවේ. එය අවුරුදු ගණනාවක් තිස්සේ පවතින්නකි. එම බල අරගලය තිවුණු වූ සෑම අවස්ථාවකම, සජිත් කොන්කර දමා තම නායකත්වය ආරක්ෂාකර ගැනීමට රනිල් සමත් විය.

එහෙත් මෙවර, එජාපයේ නායකත්වය සජිත් අතට මාරුවුවහොත්, ජනාධිපතිවරණයේදී එජාපයේ ඉරණම වනු ඇත්තේ කුමක්ද? ගෝඨාභය සහ රනිල් ප්‍රධාන අපේක්ෂකයන් වන ජනාධිපතිවරණයකදී, ගෝඨාභයට පහසු ජයක් ලැබෙනු ඇත යන්න දැනට බොහෝ දෙනා දරන අනුමානයයි.

එජාපය දෙකඩ වීමට ඉඩ ඇතැ'යි සමහරු කියති. දෙකඩ නොවුනත් සජිත් පාර්ශවය, රනිල් වෙනුවෙන් මහන්සි වී ඡන්ද ව්‍යාපාරයට සහභාගි නොවීමට බොහෝ විට ඉඩ තිබේ.

 

සුළු ජන ඡන්ද:

text 96මේ අතර එජාපයේ ජනාධිපති අපේකෂකයා රනිල් හෝ සජිත් හෝ ඉදිරියට පැමිණියත්, ඒ කවුරුන් හෝ මුහුණ දෙන අභියෝගයක් වන්නේ, ගෝඨාභය පරාජය කිරීමේ පොදු පෙරමුණක් ගොඩනැගීමට හැකි වන්නේද යන්නයි.

දැනට රටේ තිබෙන තත්වය අනුව, ජනාධිපතිවරණයේදී ඡන්දදායක චර්යාවේ ප්‍රධාන ප්‍රවණතාවය වන්නට ඉඩ තිබෙන්නේ, සිංහල සමාජයේ බහුතර සහය ගෝඨාභයට ලැබීමත්, දෙමළ හා මුස්ලිම් සමාජවල අතීරණාත්මක තත්වයක් ඇතිවීමත්ය.

සිංහල සමාජයේ බහුතර ඡන්දයෙන් පමණක් ජනාධිපතිවරණය ජය ගැනීම පහසු කාර්යයක් නොවන බව රාජපක්ෂ කඳවුරද දනී. එහෙත්, රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයෙකුට සුළුජන ප්‍රජාවගේ බහුතර සහයක් ලැබීමේ සහතිකයක් දැනට නැත. එම සහතිකය අලුතෙන් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂටද හැකිකමක් නැත.

එහෙත් සුළු ජන බහුතරයේ සහය කිසිදු එජාප අපේක්ෂකයෙකුට ලැබෙන බවට සහතිකයක් දැනට නැත. එජාපය ඇතුලේ ඇති නායකත්වය බල අරගලයට සහභාගිවීමට සුළු ජන ප්‍රජාව නියෝජනය කරන පක්ෂද පැහැදිළිව ප්‍රතික්ෂේප කර ඇත.

රාජපක්ෂට විකල්පයක්?

මේ පසුබිම තුළ, ජනාධිපති අපේක්ෂක සටනින් ජයගැනීමට සජිත් සමත් වූවත්, ඔහු ඉදිරියේ ඇති අභියෝගය සුළුපටු එකක් නොවේ. ජනධිපතිවරණයෙන් ජයගන්නට නම්, ඔහු කළ යුත්තේ, ගෝඨාභයට රාජපක්ෂවාදී විකල්පයක්, එනම් 'බලගතු පාලකයා' යන විකල්පය වීම නොවේ. රාජපක්ෂ ව්‍යාපෘතියටම කොළපාට කමිසයක් හැඳගෙන ඉදිරිපත්වීම නොවේ.

 MAngala Textමංගල සමරවීර ගෝඨාභයගේ ව්‍යාපෘතිය ගැන ඊයේ පෙරේදා ඉදිරිපත් කළ දැඩි විවේචනය පදනම් කොටගත්, ලිබරල්වාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් ලෙස ඉදිරිපත් වීමය. ඒ සඳහා පුළුල් බහුවර්ගික සහ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක් අලුතෙන් ගොඩනැගීමය.

එවැනි පුළුල් සහ ගැඔුරු දේශපාලන දැක්මක් තමන්ට තිබෙන බවක් සජිත් ප්‍රේමදාස මහතා තවමත් ප්‍රදර්ශනය කර නැත. එබැවින් ඉදිරි මාස දෙක තුන තුළ මංගල සමරවීර වැනි සජිත් සමග සිටින දේශපාලන වශයෙන් ප්‍රභුද්ධ කොටස්වලට සිදුවනු ඇත්තේ සජිත් ප්‍රේමදාස ප්‍රජාතන්ත්‍රවාදියෙකු සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස නැවත නිර්මාණය කිරීමයි. ඔහු වටා අලුත් ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් නිර්මාණය කිරීමයි.

මෙහිදී ඇති දේශපාලන සරදම නම් මෙම ප්‍රජාතන්ත්‍රවාදී රැල්ල ගොඩනැගිය යුතුව තිබෙන්නේ පවතින ආණ්ඩුවට විරුද්ධව නොව, විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට විරුද්ධව යන්නයි.

 

ජවිපෙහි මූලික මුලෝපායික ඉලක්කය !

මේ අතර ජවිපෙ අපේක්ෂකයා අනුර කුමාර මහතා වීමට බොහෝ විට ඉඩ තිබෙන බව පෙනේ. මෙවර ජනාධිපතිවරණ සටනේදී ජවිපෙහි මූලික මුලෝපායික ඉලක්කය වී තිබෙන්නේ, පක්ෂය ගොඩනැගීම සහ පක්ෂයේ ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම බව පෙනේ. ඒ මගින් පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩා යහපත් ප්‍රතිඵල ඇති කර ගැනීමට හැකිවනු ඇත යන කරුණ ජවිපෙහි මුලෝපායික ගණන් බැලීම තුළ තිබෙන බව පෙනේ.

ජවිපෙ අපේක්ෂා කරන බව පෙනෙන්නේ, තම ඡන්ද ප්‍රමාණය මිලියනයක් ඉක්මවා යා හැකි බවයි. ජවිපෙ නොවන අයගේ අදහස එය ලක්ෂ හතක් පමණ විය හැකි බවයි. ප්‍රධාන පක්ෂ සහ අපේක්ෂකයන් ගැන ජනතාව කලකිරී සිටින පසුබිමක, අනුරට ලැබෙන මධ්‍යම පන්තික සහ සුළු ජන ප්‍රජා ඡන්දය වැඩි වීමේ ප්‍රවණතාවක් දැනට තිබේ.

විද්‍යාත්මක මහජන මත සමීක්ෂණ සිදුනොකරන අප රටේ, මැතිවරණයේ සංඛ්‍යාලේකනමය ප්‍රවණතා ගැන අනාවැකි කීම දුෂ්කරය. ඒ හැරත්, තමන් ඡන්දය දෙන්නේ කාටද යන්න නාඳුනන අයට ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් අකමැති සහ භීතිය දක්වන ලංකාව සහ ඉන්දියාව වැනි රටවල පූර්ව - මැතිවරණ ජනමත විමසීම් යනු විශ්වාසය තැබිය නොහැකි ව්‍යායාමයන්ය.

එබැවින් පූර්ව මැතිවරණ මහජන මත විමසීම් සිදුකිරීම, අප රටේ විශ්වවිද්‍යාලවල සිටින ප්‍රෝඬාකාර පර්යේෂණ ප්‍රජාවගේ වෘත්තියක්ද වී තිබේ. එය වෙනම තකා කළ යුතු තේමාවකි.

JVP Text

 

ප්‍රහේලිකාව !

ජවිපෙ අනුර කුමාර මහතා ලක්ෂ 7ක් ඡන්ද ලබාගන්නේ නම් ඒවා අති බහුතරය රාජපක්ෂ විරෝධී ඡන්ද වීමට බොහෝ විට ඉඩ තිබේ. එයින් ඇතිවිය හැකි දේශපාලන පළවිපාක ගැන නොසලකා හැරීමට ජවිපෙ නායකත්වය මෙවර තීරණය කර ඇති බවද පෙනේ.

රාජපක්ෂ සහෝදරවරුන්ගේ මර්ධනකාරී පාලනතන්ත්‍රයක් යටතේ තමන්ට වඩා වාසිදායක දේශපාලන මාවතක් විවෘත වනු ඇතැයි ජවිපෙ නායකත්වය මූලෝපායික වශයෙන් සිතන්නේද යන්න ගැන තවමත් පැහැදිළි නැත. ජවිපෙ ඉදිරියෙත් තිබෙන්නේද විසඳීමට පහසු නැති ප්‍රහේලිකාවකි. මෙය වනාහි දුර්වල වෙමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ලෝකය මට්ටමෙන් මුහුණ දෙන ප්‍රහේලිකාවක්ද වෙයි.

ප්‍රහේලිකාවේ දොරටුවක් වීම හැර එයින් එළියට එන්නේ කෙසේදැයි සිතීමට මෙම බලවේගවලට දේශපාලන සහ බුද්ධිමය වශයෙන් නොහැකි වීමද, වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රහේලිකාව එනම් Democracy Paradox එක, පුනර්නිර්මාණය කිරීමේ සාධකයකි.

jayadewa Uyangoda

 

(ජයදේව උයන්ගොඩ - අනිද්දා 2019.08.18)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්