දේශපාලනයේ කොයිතරම් කපටි හා උපායශීලී ලෙස නියැළුණා වුවද, පළපුරුදු වුවද, තමාගේ පාලනය ගිලිහී ගොස් දේශපාලන වශයෙන් හුදෙකලා වන අවස්ථාවලට මුහුණ දීමට දේශපාලකයන්ට සිදුවෙයි.

පහළ දේශපාලන ස්ථරවල නායකයන්ට තමන්ගේ හුදෙකලාවීම් එතරම් සංකාවක් ඇති කරන්නේ නැත. ඔහුන් සිටින උස අඩු නිසාය. එවැනි අවස්ථා බලවත් ලෙස බලපෑම් කරන්නේ දේශපාලන ස්ථරවල ඉහළින්ම සිටින නායකයන් වෙතය. එවැනි නායකයන්ට ඒ නිසා විඳදරාගැනීම අපහසු වන බලවත් සංකා ඇතිකරයි.

මේ මොහොතේ, බැලූ බැල්මට එළෙස නොවේයැයි පෙනෙතත්, එළෙස නොවන බවට ඔවුන්ද හැඟෙව්වත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, අගමැති රනිල් වික්‍රමසිංහත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් සිටින්නේ එවැනි දේශපාලන වශයෙන් හුදෙකලාවීමේ, එකම ඉරණමක සමාන කොටස්කාරයන් බවට පත්වී ය.

සිරිසේන ජනාධිපතිවරයා ඉහළින්ම සිටින ඒ ඉරණමේ කොටස්කරුවාය. 2015 ජනවාරියේ ජනාධිපතිධූරයට පත්වී නොබෝ දිනකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකකම මහත් උද්දාමයෙන් භාරගත් සිරිසේන මහතා, අවුරුදු පහක් ගතවන විට ශ්‍රීලනිපයට අත්කර දී තිබෙන්නේ මහා විනාශයකි. අද‌ ශ්‍රීලනිපයක් නැත. පක්ෂයක් ලෙස ඊට කළ හැකි කිසිවක්ද නැත.

Maithripala SLFPඒ බව ජනාධිපති සිරිසේනත්, දැනට ඔහු වටා ඉතිරිව සිටින අතලොස්සක් දේශපාලනඥයන් පිරිසත් වුවද හොඳින්ම දන්නවා ඇත. පුද්ගලයන් හැටියට අද ශ්‍රීලිනිපයේ ඉතිරිව සිටින්නේ, සභාපතිත්, ලේකම් හා මධ්‍යම කාරක සභාවේ පිරිසත්, මන්ත්‍රීවරුන් පිරිසත් පමණය. ඉතිරි සියල්ලෝම ජනාධිපති සිරිසේන අතහැර දමා ගොස්ය. මධ්‍යම කාරක සභාවේ සාමාජික සමහරුන්ද ඇත්තවශයෙන්ම ශ්‍රීලනිපයේ නැත. ඉදිරියටත් එයින් එකිනෙකා ඉවත් වනු ඇත.

හොඳම උදාහරණය ආචාර්ය සරත් අමුණුගමය. මාසයකට පෙර, රටේ ආරක්ෂාව පිළිබඳ උපදෙස් දීමට ජනාධිපතිවරයා පත්කළ විශේෂ කමිටුවේ සභාපතිධූරය දුන්නේද ආචාර්ය අමුණුගමටය. මොනවා වුණත් මේ දක්වා ඔහු ජනාධිපති සිරිසේනගේ පැත්තේ සිටිනු දකින්නට හැකි විය. එහෙත්, අද වන විට ඔහුද සිටින්නේ පොහොට්ටුවේ පැත්තේය. අගෝස්තු 11 වැනිදා ඔහුද ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා කරන සමුළුවෙහි මුල් පෙළේම වාඩිවී සිටියේය.

ඇයි ශ්‍රීලනිපයට 2018 පළාත් පාලන ඡන්දයේ සිටි ලක්ෂ 14? ඒ අය ශ්‍රීලනිපය සමග රැඳී සිටිනවා නොවේද? නැත. ඊළඟ මොහොතේ ඒ පිරිසද ශ්‍රීලනිපය අතහැර පොහොට්ටුවේ සුවඳ ඉවකරමින් යනු ඇත. ජනාධිපතිවරණය පැවැත්වෙන බවට ප්‍රකාශයට පත්කිරීමේ සිට මේ පිරිස ක්‍රම ක්‍රමයෙන් පොහොට්ටුව සමග එකතුවන ආකාරය අපට ඉදිරියේදී දැකගත හැකිවනවා ඇත.

කිසිවකු මුහුදේ රැල්ල පාගන විට, තමාගේ දෙපා වැල්ලේ එක තැනක තිබියදී, දෙපතුල්වලට යටින් වැලි මුහුද දෙසට ගසාගෙන යනු දැනගන්නට ගනියි. ජනාධිපති සිරිසේන අද අත්විඳිමින් සිටින්නේද එවැනි දෙයකි. සභාපතිවරයා හැටියට ඔහු ශ්‍රීලනිපයේ ඉහළම සිටියද, ඔහු නොදැනිම, ඔහුගේ දෙපා යටින් ශ්‍රීලනිපය පොහොට්ටුව පැත්තට ගසාගෙන යමින් තිබේ. එය වැළැක්වීමට සිරිසේන ජනාධිපතිවරයා සමත් නැත.

Mahinda SLFPසිරිසේන මහතාට පක්ෂ නායකත්වය භාරදුන් මහින්ද රාජපක්ෂ නොබෝ දිනකින්ම අලුත් පක්ෂයේ වැඩ පටන් ගත්තේය. මුල් කාලයේ එහි මහජන රැස්වීම්වලට ඔහු ඈතින් සිට අතවනා පමණක් සහය පළකළේය. ඒ, විනය විරෝධී චෝදනා තමා වෙත පටවන්නට ශ්‍රීලනිපය නායකත්වයට ඉඩ නොදීම සඳහා විය හැකිය.

පක්ෂයට පිටතින් මෙලෙස විවිධ දේශපාලන ක්‍රියාකම්වල යෙදී මහින්ද රාජපක්ෂ උත්සාහ කළේ, ඊට නරක ප්‍රතිචාරයක් පක්ෂය වෙතින් එනවාද නැද්ද යන්න ගැන මුට්ටිය දමා බැලීමටය. ඔහු හිතුවා හරිය, ජනාධිපති සිරිසේන එවැනි අවස්ථාවල කිසිම එදිරිවාදී ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එහි ප්‍රතිඵලය, තමා කුමක් කළද, ඊට එදිරිවන්නට ශ්‍රීලනිපයට පෞරුෂයක් නැති බව මහින්ද රාජපක්ෂට තහවුරු වීමයි.

ඒ අතර 2017 නොවැම්බරයේ ඔහු ප්‍රසිද්ධියේ පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගත්තේය. එහෙත් කිසිවක් ශ්‍රිලනිපය පැත්තෙන් කෙරුණේ නැත. අද මහින්ද රාජපක්ෂ මහතාට, ශ්‍රීලනිපයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු හැටියට සිටින අතරේම, ඒ දේශපාලන පෙරමුණු දෙකේ සිටීම නිසා ලැබෙන විපක්ෂ නායකකමත් භුක්ති විඳින අතරේම, තවත් පක්ෂයක් තනා එහි නායකත්වය භාරගැනීමට තරම් හයියක් ලැබී තිබේ.

එක පක්ෂයක සාමාජිකත්වය දරමින්, ඒ නිසාම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකමත් දරමින් ඊට සතුරු පක්ෂයක නායකකම දරන දේශපාලකයන් ලංකාවේ මිස අන් කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක සිටින බවක් අප දන්නේ නැත.

Dayasiri SLFPමෙවැන්නක් ඕනෑම පක්ෂයක ව්‍යවස්ථාව අනුව විනය විරෝධී ක්‍රියාවක් බව පැහැදිළිය. එවැනි විනය විරෝධී තත්වයකදී වුවත්, මහින්ද රාජපක්ෂට එරෙහිව කිසිවක් කරන්නට සභාපති සිරිසේනටවත් අන් කිසිම පක්ෂ නිලධාරියෙකුටවත් නොහැකි වී තිබේ.

දයාසිරි ජයසේකර වැනි ජවසම්පන්න දේශපාලකයෙකු ඒ තත්වයට එරෙහි හැකිතරම් ප්‍රතිචාර දැක්වුවද, පක්ෂ නායකත්වය වෙතින් ඒ කිසිවක් ගැන කොළ එළියක් දැල්වෙන පාටක් නැත.

අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය නිර්භය තීන්දු තීරණ ගැනීම වෙනුවට තමාගේ පෞද්ගලික දේශපාලන නායකත්වය දෙස බලා තීන්දු නොගෙන සිටීමේන් හා වැරදි තීන්දු ගැනීමෙන්, මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රීලනිපය අන්තයටම දියකර හැරි නායකයා බවට ඉතිහාස ගත වන්නේය. අද ඔහුට යන්නට තැනක් නැත. තවත් මාස කිහිපයකින් නිල කාලය අවසන් වූ පසු, කුමන දේශපාලන භූමිකාවද යෙදුනද සිරිසේන මහතාට උරුමවන්නේ දේශපාලනයේ කුණු බක්කිය මිස අන් කිසිවක් නොවේ.

පොහොට්ටුව පැත්තටත් යන්නටත් බැරි, සභාපති සිරිසේන සමග සිටින කිහිප දෙනාට කළ හැකි දෙයක් තිබේ. එකක් නම්, වෙනම කණ්ඩායමක් හැටියට එක්සත් ජාතික පෙරමුණ සමග එකතු වීමයි. ඔවුන්ට තවදුරටත් දේශපාලන ඉඩක් හැදෙනු ඇත්තේ එවැනි තීරණයකින් පමණය.

දෙවැන්න තවදුරටත් ශ්‍රීලනිපය ගැන බලාපොරොත්තු තබමින් බිංදුවේ සිට ශ්‍රීලනිපය ඔසවන ස්ථාවරයකට යෑමයි. එවිට යම් දිනෙක යළිත් ශ්‍රීලනිපය හිස එසෙව්වොත්, අසීරු මොහොතේ ශ්‍රීලනිපය අතනොහැර සිටියාය යන ආස්වාදය සමග එහි දේශාපාලන බලයද හිමිකර ගැනීමට ඔවුන්ට හැකි වනවා ඇත.

සභාපති පුටුවෙන්ද වෙනත් තනතුරුවලින්ද සිරිසේන මහතා ඉවත්වී පක්ෂයේ සම්පූර්ණ ආධිපත්‍යය දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර වැනි ජවසම්පන්න අලුත් නායකයන්ට භාර විය යුතුය. එය පහසු දෙයක් නොවේ. ජනාධිපතිවරණයටත් වඩා ඒ අපහසුව දැනෙනු ඇත්තේ ඊළඟ මහමැතිවරණයේදීය.

ශ්‍රීලනිපය ගොඩගැනීමේ වැඩසටහනක් ඉදිරියට ගන්නට අවශ්‍ය දේශපාලන බලය, එනම් මන්ත්‍රීධූර ඔවුන්ට ලැබෙන්නේ ඊළඟ මහමැතිවරණයෙනි. තනි ශ්‍රීලනිපයකින් ඡන්දය ඉල්ලීමෙන් ඒ බලය නොලැබෙන නිසා, අනිවාර්යයෙන්ම ඔවුන්‌ගේ තෝරා ගැනීම විය යුත්තේ, එක්සත් ජාතික පෙරමුණ සමග වැඩ කිරීමය.

Sajith UNP 2020

දෙවැනි හුදෙකලා වන නායකයා අගමැති රනිල් වික්‍රමසිංහය. අද ඔහු පත් වී තිබෙන්නේද, දෙපා යටින් පක්ෂය තමා වෙතින් ඉවතට ඇදී යන ඉරණම් මොහොතකටය. සජිත් ප්‍රේමදාස බලවේගය නවත්තන්නට හැකියාවක් දැන් නම් නැති බව පැහැදිළිව පෙනෙයි. මනුවර්ණට ආරංචි වන පරිදි, කුමන හේතුවක් නිසා වත් පියවරක් පස්සට ගන්නට අකමැති ස්ථාවරයක සජිත් ප්‍රේමදාස මහතා පසුවෙයි.

හුදෙක් එය ඔහුගේ පෞද්ගලික වුවමනාවට පමණක් නොවේ. ඔහු පිටුපස සිටින මංගල, මලික්, කබීර් වැනි මැති ඇමතිවරුන්ගේ බලපෑමත්, ඊට පිටතින් සිටින මහරජා, ටිරාන් අලස් වැනි බලවේගවල වුවමනාවත් නිසාය.

සජිත් ප්‍රේමදාසගේ, රනිල් විරෝධී කැරැල්ල වනාහි, අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ගැසූ මනා සේ සැලසුම් කළ කැරැල්ලකි. මීට පෙර, පක්ෂයේ නායකකම සඳහා සජිත් ප්‍රේමදාස තමාම ඉදිරිපත්වීමෙන්ම, කරු ජයසූරිය වැනි දේශපාලකයන් ඉදිරියට දමමින් ගැසූ කැරලි පහසුවෙන් පරාජය කරන්නට රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා සමත් විය.

විවිධාකාරයෙන් කල්මැරීම, තීරණය ගතයුතු අවස්ථාවල තීරණය නොගැනීම, විරෝධතා ගණන් නොගෙන සිටීම වැනි ක්‍රියාමාර්ග හරහා ඒ හැම කැරැල්ලක්ම පරාජය කර, තත්වය තමාට වාසිදායක වන ලෙස හසුරුවා ගන්නට වික්‍රමසිංහ මහතා සමත් විය.

ඒ කාලයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් රනිල්ගේ 'තීරණය ගතයුතු අවස්ථාවල නොගෙන සිටීමේ පුරුද්ද' සැලකුවේ දේශපාලන පරිණතකමක් හැටියට. ඒ හැම අවස්ථාවකදී පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත් නොසලකා, තමාට වුවමනා හැටියට සියලු දේවල් හසුරවා ගන්නට රනිල් සමත් විය. අවසානයේ සිදුවුණේ, කැරලි ගැසූවන්, එලෙස කළා දැයි තමන්වත් නොදන්නා තරමට නිශ්ෂබ්දතාවක් පක්ෂය තුළ ගොඩනැගීමයි.

එහෙත්, මෙවර එම අතීතයෙන් සජිත් ප්‍රේමදාස (පාර්ශවය) පාඩම් ඉගෙනගෙන ඇති බව පෙනේ. ඔවුන්ගේ මුළු සටනම, පක්ෂයේ බලසීමාවට පිටින් පවත්වාගෙන යෑමෙන් ඒ බව පැහැදිළි වේ. කෙටියෙන් කීවොත්, මෙවර කැරැල්ල ලොක්කාට අතපොවන්නට බැරි මානයේ සිට ගැසූ එළියේ කැරැල්ලකි. බදුල්ලේ රැලියත්, මාතරදී පවත්වන්නට යන එහි දෙවැන්නත් සංකේතවත් කරන්නේ ඒ 'එළියේ සටන' යි. ඒවාට අතපොවා පහරදෙන්නට හෝ එය නොදුටුවා සේ සිටින්නට හෝ දැන් නායක රනිල්ට නොහැකිය.

Ranil UNP 0ඒ එළියේ කැරැල්ලෙන් පක්ෂය තුළට මෙන්ම පිටතටද කළ හැකි විශාල බලපෑමක් කරන්නට ද සජිත් පාර්ශවය සමත් වී තිබේ. බදුල්ලේ රැලියට පෙර කිසිසේත් සජිත් නොඉවසූ සමරුන් ඉන්පසුව අඩු ගණනේ ඔහු ගැන 'සලකා බලන' තත්වයකටවත් පත්වී තිබෙන බවද පෙනේ. එය අගමැතිවරයාගේ ආධිපත්‍යයට කළ බලවත් පහරදීමකි.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි බලයක් හා වැඩි පිරිසකගේ ඉල්ලීමක් තමාට තිබෙන්නේ යැයි කියමින් ප්‍රයෝගකාරී ලෙස ඊට එරෙහිව යන්නට රනිල් වික්‍රමසිංහට දැන් නම් ඉඩක් නැත. ඇත්තවශයෙන්ම ඔහු වටා සිටින අතලොස්සක් හැරෙන්නට, කිසිවෙකු ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහු අපේක්ෂකයෙකු විය යුතු යැ'යි කියන්නේ නැත.

මේ තත්වය යටතේ අගමැතිවරයාට ඇත්තේ ගෞරවනීය ලෙස පැත්තකට වී සිටීමේ ස්ථාවරය තෝරා ගැනීමට පමණකි.
එහෙත්, ඉහත කී කිසිවක්, ඊළඟ ජනාධිපතිවරණය දිනාගැනීමේ 'සූත්‍රයක්' සජිත් ප්‍රේමදාස මහතා සතුව ඇතැ'යි නොහැඟවෙන බවද සටහන් කර තැබිය යුතුය.

Mahinda 0

මේ මොහොතේ, බලවත් උද්දාමයකින් සිටින බව පෙනෙන, නමුත් කිසිසේත් එසේ නොවන මහින්ද රාජපක්ෂ, මේ ඉරණමට ගොදුරුවූ තුන්වැන්නාය. ඔහු අගෝස්තු 11 වැනිදා වන විට ගත්තේ පහසු තීරණයක් නොවේ. තමා මීට අවුරුදු ගණනකට පෙර සැලසුම් කළ අනාගත දේශපාලන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ආපස්සට හරවන තීරණකි.

2009 යුද්ධය අවසාන කොට, 2010 දී මැතිවරණයෙන් ජයගෙන, ඒ වර්ෂයේදීම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්ෂ ගෙනාවේ, ඉතා පැහැදිළි අනාගත සැලසුමක් සහිතවය. තමා හැකි තරම් කාලයක් ජනාධිපතිධූරයේ සිටීමත්, එය කළ නොහැකි අවස්ථාව වන විට නාමල් රාජපක්ෂ ඒ සඳහා සූදානම් කිරීමත් ඔහුගේ උපාය මාර්ගය විය.

එවිට රටේ දේශපාලන බලය, 'රාජපක්ෂවරුන්' අත නොව 'මහින්ද රාජපක්ෂ පවුල' තුළම පවතිනු ඇත. පසුගිය සතියේත් '19 වැනි සංශෝධනය ගෙනාවේ මා ජනාධිපතිවරණයට ඉල්ලන එක වලක්වන්නටත්, නාමල් ඉල්ලන එක වලක්වන්නටත්' බව මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ, මේ මානසිකත්වයේ ප්‍රකාශනයක් හැටියටය.

දැන් හොඳින් හෝ නරකින් අපේක්ෂත්වය ගෝඨාභයට ලැබී තිබේ. ඔහුට ජනාධිපති වන්නට අවස්ථාවක් ලැබුණොත්, නැවත මහින්ද රාජපක්ෂ පවුලට දෙශපාලන බලයක් ඔහුගෙන් නොලැබෙන බව පැහැදිළිය.

2005 දී ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාරයට සහය වීමට ලංකාවට පැමිණියාක් මෙන්, මේ වන විට ඇමෙරිකාවේ සිටින ගෝඨාභය රාජපක්ෂගේ පුතාටද, ජනාධිපති තාත්තාගෙන් පසුව අනුප්‍රාප්තිකයාවීමේ වුවමනාවක් ඇතිවුණොත් පුදුමයක්ද නැත.

Gotabaya Familyකිසිම දේශපාලන පසුබිමක් නැති වුවද, ගෝඨාභයගේ පුතා ඊළඟට කරතබාගෙන යෑමට පොහොට්ටුවේ වහල් මානසිකත්වයෙන් හෙබි සියලු දෙනාම එක පයින් එකතු වනු ඇත. ඊට ගැළපෙන තර්ක නිපදවනු ඇත. එවිට නාමල් රාජපක්ෂට සමකාලීන එකම පවුලේ බලවත් තරඟකාරයෙක්, එනම් තවත් ජනාධිපති පුතෙක්, හමුවෙයි. ඒ වන විට නාමල් තල්ලුකරගෙන යන්නට මහින්ද රාජපක්ෂ කෙනෙකු බලගතු දේශපාලනයේ නොසිටිනු ඇත.

මහින්ද රාජපක්ෂ දේශපාලන රේඩාර් තිරයට මේ සියල්ල හසුවී නොතිබෙන්නට හැකියාවක් නැත. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ හැර වෙනත් දිනන අස්සයෙකු පොහොට්ටුවට නැත. රාජපක්ෂ මුද්‍රාව නැති වෙනත් අපේක්ෂකයෙකු එම පාර්ශවය විසින් නිර්මාණය කරනු ලැබ තිබුණේද නැත.

ඉතින්, දැන් එළඹී ඇත්තේ මහින්දගේ ආධිපත්‍යය ගෝඨාභය වෙත මාරු වන අවස්ථාවයි. ගෝඨාභයගේ ප්‍රචාරක පෝස්ටර්වල මහින්ද රාජපක්ෂගේ පින්තූරය ක්‍රමයෙන් කුඩා වෙමින්, ගෝඨාභයගේ පින්තුරය විශාල වෙමින් පෙන්වන්නේ මේ අනාගත දේශපාලන ඉරණමයි. මහින්ද රාජපක්ෂගේ කල් ඉකුත්වීමේ කලාවයි.

(අනිද්දා -2019 අගෝ 18)

subscribeYT

නවතම පුවත්