නූතන  රාජ්‍යයට අදාල සියලුම ප්‍රදාන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප ( නිදහස, සමාජ ගිවිසුම් නියාය, සීමිත ආණ්ඩුව, පරමාධිපත්‍ය බලය, ව්‍යවස්ථාවාදය, ලෞකීක
වාදය, නීතිය ඉදිරියේ සමානතාවය, බලතල වෙන් කිරීම යනාදි) ලිබරල් වාදයෙන් ලැබී තිබෙන දායාදයන් ලෙස සැලකිය හැකිය. 
 
වර්තමාන ලොකයේ රාජ්‍යය පිලිබද දාර්ශනික සංවාදයක් ආරම්භවන්නේ 16 වන ශත වර්ශයෙදීය. එය යුරෝපයේ පැවති අත්තනෝමතික රාජාණ්ඩු ක්‍රමයට එරෙහිව යුරෝපයේ විප්ලව රැල්ලක් ඇතිකිරීමට හේතුවූ (1688  බ්‍රිතාන්‍ය විප්ලවය, 1776 ඇමරිකන් විප්ලවය හා 1789 ප්‍රන්ස විප්ලවය) සංවාදයක් ලෙස සැලකිය හැකි ය. 
 
සම්භාව්‍ය ලිබරල් වාදය එම සංවාදය හා විප්ලව ක්‍රියා දාමය තුළ ඇතිවී පෝෂනය වූ දර්ශන වාදයක් ලෙස සැලකිය හැකිය.
 
 
ලිබරල් නොවීම:
 
 
ප්‍රජාතන්ත්‍රවාදි අර්ථයෙන් ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ හා දේශපාලන සංස්කෘතියේ ඇති වී තිබෙන ගරහැලීම හා විකෘතිය  කෙරෙහි ලංකාවේ දේශපලනය ලිබරල් ආභාෂයකින් තොරව වැඩවසම් හා මාක්ස්වාදි අදහස් වලින් පමනක් පෝෂණය වී තිබීම වැදගත් සාදකයක් ලෙස බලපා තිබෙන බව පෙනේ.
 
 
ලංකාව නූතන රටක් බවට පත්වීම්මෙන් පසු නිදහසට පෙර යූරෝපීය රට වලට ගොස් උසස් අද්‍යාපනය ලබා ලංකාව ට පැමිනි අය අතර මාක්ස්වාදීන් ලොකූ කණ්ඩායමක් සිටියා වුවද ඔවුන් අතර එකදු ලිබරල් වාදියෙක් හෝ නොසිටියේය.
 
Mohandas K Gandhi leader Mahatma Indian 
මහත්මා ගාන්ධි 
 
 
එහෙත් එය ඉන්දියාවේ සිදුවුනේ අනෙක් අතටය. උසස් අධ්‍යාපනය සදහා යුරෝපයට ගොස් ආපසු ඉන්දිවට පැමිනි අය අතර ලිබරල් වාදීන් ( මහත්මා ගාන්ධි ද ඇතුලුව) ලොකු කණ්ඩායමක් සිටියේය. මාක්ස්වාදීන් සිටියේ පොඩි කණ්ඩායමකි.
 
ඉන්දියානු නිදහස් අරගලය ගලා ගියේ ලිබරල් දාරශනීක රාමුවක් හරාය. ඉංදියාවේ රාජ්‍යය හා ජාතිය ගොඩ නැගීම කෙරෙහි සේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙරෙහි මූලික වශයෙන් බලපෑවේද ලිබරල් වාදි අදහස්‍ ය. 
 
ලිබරල් වාදය සම්බන්දයෙන් ලංකාවේ පැවති තත්වය ඊට සහමුලින් වෙන්ස් ය. ලිබරල් චින්තකයින්ගේ එකම මුල් පොතක්වත් අද දක්වා සිංහල භාෂාවෙන් පලවී නැත. එහෙත් සිංහල භාෂවෙන් පළවී තිබෙන මක්ස්වාදි මුල් පොත් ගනන 50 කට වැඩිය.
 
70 හා80 දශකයේ ලංකාවේ තරුණ පරපුර රුසියන්, චීන හා කියුබානු  විප්ලවල තොරතුරු කටපාඩමින්  කියන්නට දැන සිටියේය. එහෙත් බ්‍රිතාන්‍ය, ඇමරිකන් හෝ ප්‍රංශ විප්ලව ගැන කිසිවක් දැන සිටියේ නැත.
 
ලංකාව නිදහස ලබා ගත්තේ නිදහස් අරගලයකින් නොවීමද (එය බ්‍රිතාන්‍යන් ගෙන් ලංකාවට තෑගි ලැබුන දෙයක් විය.) ලංකාවේ නායකයින්ගේ අපරනත භාවය කෙරෙහි බලපෑ වැදගත් සාදකයක් විය.
 
 
නිදහසේ සිට මේ දක්වා රට පාලනය කළ දේසපාලන නායකයින් ලිබරල් ශික්ෂනයකින් තොර වීම ඔවුන්ගේ අසාර්තක භාවය කෙරෙහි බලපෑ වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය.
 
 
නිදහස ලබා ගැනීමෙන් පසු ලිබරල් ශික්ෂනයක් නැතිකම පාලකයින් කෙරෙහි සේම සමාජය කෙරෙහි ද බල පෑවේය. අවුල් ඇති කරගත් දේවල් අතර වර්ග කුල ආගම් ප්‍රශ්නය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ආණ්ඩු පාලන කට යුතු කර ගෙන යාමට අසමත් වීම හා රටේ ආර්ථිකය හා ආණ්ඩුවේ අයවැය ප්‍රසස්ත ලෙස කලමණාකරනයට තිබුන නොහැකියාව වැනි දේ ප්‍රදාන තැනක් ගත්තේය.
 
 
චෙල්වනායගම්: 
 
 
දෙමළ ජනතාවට ඔවුන් ගේ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීම පිලිබද ප්‍රශ්නයේදී ඒ සඳහා කරන අයිතිවාසිකම් සටන අහිංසාවාදි ප්‍රජාතන්ත්‍ර වාදි රාමුවක තබා ගනිමින් ඉදිරියට ගෙනයාම චෙල්වනායගම් වැනි දෙමල නායකයින්ගේ බලවත් අපේක්ෂාව වී තිබුන බව පැහැදිලිව පෙනෙන්ට තිබුනි.
 
1961 උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවූ සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරය ඔවුන්ට අහිමි කර තිබුන භාෂා අයිතිවාසිකම් හිමිකර ගැනීම සඳහා කෙරුනු සටනේ උච්චතම අවස්තාව ලෙස සැලකිය හැකිය. 
 
එහිදී බලයේ සිටි සිරිමාවෝ ආණ්ඩුව කලේ එක දිගට දින 57 ක් උතුරු නැගෙනහිර ප්‍රදේශ වල පැවති සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරය පරාජය කරනු පිනිස එම වැඩ සටහනට නායකත්වය දුන් දෙමළ නායකයින් 51 කු අත්අඩංගුවට ගෙන දින 170 වක් පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තැබීමය.
 
 
විජේවීර හා ප්‍රභාකරන් :
 
Wijeweera and prabhakaran
 
විජේවීර - ප්‍රභාකරන් 
 
 
අඩුම වශයෙන් එම දැවැන්ත විරෝධතා ව්‍යාපාරයෙන් පසුව වත් ආණ්ඩුව ඔවුන් ගේ භාෂා ප්‍රශ්නය විසදුවේ නැත. ඒ වෙනුවට කළේ තවත් කලකට පසුව විශ්ව විද්‍යාලවලට දෙමළ සිසුන්ට ඇතුළුවීමට තිබෙන හැකියාව සීමා කිරීමට හේතුවන ලෙස ප්‍රමිති නීති ඇතිකරන පිලිවෙතක් ඇති කිරීමය.
 
එම ප්‍රතිපත්ති දෙමළ තරුණ පරපුරේ බලවත් කෝපයට හේතුවූ අතර වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින තැනකට දෙමළ ජනයා තල්ලු කිරීමට එම තත්වය බල පෑවේය.
 
ප්‍රචන්ඩ අරගලයක් මගින් රාජ්‍යය බලය අල්ලා ගැනීමට උත්සහා කරන වැඩ සටහනකට පලමුවෙන් තල්ලු වූයේ දකුණේ සිංහල තරුන තරුනියන්‍ ය. එවැනි ප්‍රචන්ඩ වැඩ සටහනකට දෙමළ තරුණ තරුණියන් යොමුවූයේ ඉන් පසුවය. 
 
එම සිංහල දෙමළ කැරළි වර්ග දෙක කෙරෙහිම මාකස්වාදි ප්‍රචන්ඩ අරගල න්‍යාය බල පෑවේය. අනෙක් අතට ඇතිවූ මේ සිංහල දෙමළ කැරලි කෙරෙහි එක් ආකාරයකට හෝ තවත් අකාරයකට වර්ග, කුල, ආගම් සාදකය බල පෑවේය.
 
  
දෙමළ හා ඉන්දියන් විරෝදය ජේවීපී කැරලි දෙකේම ප්‍රවර්තක සාදකයක් ලෙස ක්‍රියා කළ අතර සිංහල විරෝදය ද එල්ටීටීඊ දෙමළ කැරැල්ලේ ප්‍රවර්ථක සාදකයක් ලෙස ක්‍රියා කළේය.
 
 
මෙම සිංහල දෙමළ කැරලි වර්ග දෙකේ තිබන තවත් වැදගත් ලක්ෂනයක් මෙ සේය.
 
ජෙවීපී කැරලි දෙකම සිංහල බෞද්ධ බොහෝදුරට ගොවිගම නොවන මාක්ස්වාදයට බර ග්‍රාමිය තරුණ ව්‍යාපාරයක්  හා බොහෝදුරට ඊට සමාන සිංහල බෞද්ධ සමාජ පසු බිමක් ඇති ආණ්ඩුවේ හමුදාවක් අතර සිදුවූ ප්‍රචන්ඩ අරගල දෙකක් ලෙස සැලකිය හැකිය.
 
එහි පෙනෙන්නට තිබෙන තවත් වැදගත් ලක්ෂනයක් වනුයේ කැරලි කරුවන් හා කැරලි මර්දන කරන ආරක්ෂක හමුදා එක සමාන සමාජ පසු බිමක් ඇති අය වුවද එකි නෙකාට එරෙහිව මුදා හරින කෲරත්වයේ පරිමාව ද ඉතා විශාල බවය. 
 
අනෙක් අතට සිංහල - දෙමළ වශයෙන් හෝ ජේවීපී හා එල්ටීටීඊ වශයෙන් බෙදා දැක්විය හැකි කැරලි කරුවන් දෙපිරිස අතර බැලූ බැලමට පෙනෙන වාර්ගික හා ආගමික වෙනසක් තිබුනද සමාජ පසුබිම අනුව එම දෙ පිරිස අතර තිබුනේ අපූරු  සමාන කමකි.
 
විජෙවීර අයත් වූ යේ සිංහල කරාව කුලයටය. ප්‍රභාකරන් අයත් වූයේ දෙමළ කරයාර් කුලයටය.
 
 දෙවැනි කැරැල්ලේ විජේවීර ගේ දෙවැනියා වූයේ ගමනායකය. ඔහු අයත් වුයේ ඊනියා සිංල කුල දූරාවලියේ පහලම තත්වයක් හිමිකරගත් කුලයකටය. ප්‍රභාකරන් ගේ ව්‍යාපාරයේ දෙවැනියා වූ තමිල් චෙල්වම් අයත්වූයේද ඊනියා දෙමළ කුළ දූරාවලිය තුල ආන්තික තත්වයක් හිමි කරගත් කුලයකටය.
 
මෙම දෙපක්ෂය තුළ එකිනෙකා කෙරෙහි වන සැගවුන අනුකම්පාවක් තිබුනා විය හැකිය. එහෙත් ප්‍රසිද්ධියේ  පෙනෙන්න්ට තිබුනේ ඉහ වහා ගිය වෛරයකි. 
 
  
ජේවීපී දෙවැනි කැරැල්ල ආරක්ෂක හමුදා විසින් පරාජය කිරීමෙන් පසුව ජේවීපීයට අරක්ෂක හමුදා ගැන තිබුනේ බලවත් විරෝධයක් හා අප්‍රසාදයකි. ආරක්ෂක හමුදා ජේවීපීය සමග සටන් කිරීම අත් හැර එල්ටීටීඊ ය සමග සටන් කරන තැනකට මාරුවීමත් සමග ජේවීපිය ආරක්ෂක හමුදාවන්ට වැඩියෙන්ම ප්‍රේම කරන ව්‍යාපාරය බවට පත්විය.
 
 
ප්‍රචණ්ඩ කැරලි:
 
 
ජේවීපීයේ හා එල්ටීටීඊ යේ ප්‍රචණ්ඩ ප්‍රවේශය ශ්‍රී ලංකා රාජ්‍යය සිය ප්‍රමානයට නොගැලපෙන තරම් විශාල ආරක්ෂක හමුදාවන් මත යැපෙන, එම ආරක්ෂක හමුදාවන් නඩත්තු කිරීමට රටට ඔරොත්තු නොදෙන තරමට වැය බරක් දරන කෲර හා මාංස භක්ෂක පෙනුමකින් යුතු අවලස්සන වූ රාජ්‍යයක් බවට පත් කිරීමට හේතු විය.
 
ජේවීපිය සිංහල මහ වර්ගය නියෝජනය කල සංවිධානයක් වීම නිසා එය සන්නද්ද අරගලයකින් ලංකාවේ රාජ්‍ය බලය අල්ලාගැනීමට අසාර්තක උත්සහායන් දෙකක යෙදෙන විට එල්ටීටීඊය සුලු ජනවර්ගයක් නියෝජනය කල සංවිධානයක් වීම හේතු කොට ගෙන එය ශ්‍රී ලංකා රාජ්‍යය අල්ලා ගන්නවා වෙනුවට ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යය ක් දිනාගැනීමට බලවත් හා බිහිසුනු උත්සහායක යෙදුනේය.
 
සිංහල ජන වර්ගය දෙමළ විරෝදි වර්ගවාදි අස්තානයක තල්ලු කිරීමට ජේවීපීය අතින් ඉටුවී තිබෙන කාර්‍ය් බාරය අති විශාල වනවාසේම දෙමළ ජන වර්ගය සිංහළ විරෝදි වර්ගවාදි අසතානයකට තල්ලු කිරීමට එල්ටීටීඊය විසින් සිදු කර තිබෙන කාර්‍යබාරයද අතිවිශාලය.
 
මෙම ව්‍යාපාර දෙකේ ප්‍රචණ්ඩ ප්‍රවේශයන් හා එවා පරාජය කිරීම සදහා රජයේ ආරක්ෂක හමුදා ක්‍රියාවට නගන ලද ප්‍රති ප්‍රචන්ඩ ප්‍රවේශයන් සමාජ -දේශපාලන ක්‍රමයට හා ආර්ථික ක්‍රමයට කර තිබෙන හානිය අති විශාලය. 
 
දැන් රටේ ඇතිවී තිබෙන බිදවැටීම, අසමත් භාවය හා බංකොලොත්බාවය කෙරෙහි රට පාලනය කල පාලකයින්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිත ක්‍රියාකාරකම් වලට අතිරේකව මෙම කැරලිකාර ව්‍යාපාර දෙකේ සහාසික හා ප්‍රචන්ඩ ක්‍රියා කාරකම්ද විශාල ප්‍රමානයකට බලපා තිබෙන බව ඒ ගැන කරන තක්සේරුව කදී අමතක නොකල යුතුය.
 
  
සමාජය තුළ වර්ගවාදි හා ආගම්වාදි පදනමක් මත සමාජය බේද බින්න කොට සමාජය කැබලි කිරීමෙහිලා රටේ සම්ප්‍රදායි දේශපාලන ව්‍යාපාර පමනක් නොව මම ගනෙහිලා සැලකිය හැකි සටන්කාමි දේශපාලන ව්‍යාපාර ද විශාල කාර්‍යබාරයක් ඉටුකර තිබෙන්නේ යැයි කිව හැකිය.
 
 
එවැනි ව්‍යාපාරවල සහාසික ක්‍රියා කාරකම් නිසා සිංහල දෙමල සමාජයේ විශාල පිරිසකගේ ජීවිත අහිමිවන විට ඒවා විසින් හා එම කැරලි මර්දනය කල ආරක්ෂක හමුදා විසින් තරගකාරිලෙස සමාජය මත මුදාහරින ලද අති විශාල කෲරත්වය විසින් නොමැරී ජීවතුන් අතර සිටි මිනිසුන්ද අඩු වැඩි වශයෙන් අද්‍යාත්මික වශයෙන් මරනයට පත් කොට සමාජ අද්‍යාමය රෝගි කිරීමට හා විකෘති කිරීමට හේතු විය.
 
මේ කැරලිකරුවන් දෙපිරිස දීර්ඝ කාලින අර්තයෙන් ආර්ථිකයට කරන ලද හානියද අති විශාලය. රටේ ඇතිවී තිබෙන බංකොලොත් බාවය කෙරෙහි එම තත්වයද බලපා තිබෙන්නේ යැයි කිව හැකිය.
 
දැන් අපට මෙම අර්බුදය තුළ අර්බුදය ජය ගැනීමට අවශ්‍යය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ දිනාගත යුතුව තිබෙන්නේ කෙසේද කියන කාරනය ඊලග ලිපියෙන් සලකා බැලිය හැකිය.
 
 
 
7314454(වික්ටර් අයිවන් )
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
 
 
 
 
 
 
කියවන්න - 
 
 
 
 

THE LEADER TV 
 
බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
අපෙන් රටට ම ගව පෝර? | මොණරවිල ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්