ආණ්ඩුවක ධුර කාලය අවසන්වෙමින්, බලයේ සිටින අණ්ඩුව මහා අර්බුදයක පැටලී එහෙත් නොවැටී සිටින ගමන් සහ ප්‍රධාන පෙළේ ජාතික මැතිවරණ තුනක් ඉදිරියේ එළිපත්තේ සිටින අප සමාජයේ දේශපාලන විවාද ද උත්සන්න වී තිබේ.

මේ විවාද තුළ නඩු ඇසීමට නැතහොත් විනිශ්චයට භාජනය වෙමින් තිබෙන සංසිද්ධීන් ගණනාවක්ම තිබේ.

එයින් එකක් වන්නේ ලිබරල්වාදයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාත්, ඔහු වෙනුවෙන් පුවත්පත්වල තීරු ලිපි සහ විශේෂාංග ලිපි ලියන ලේඛකයිනුත් මේ ලිබරල්වාදය විත්ති කූඩුවට දමා නඩු ඇසීමේ පළමු පිරිසයි. වාමාංශික පිරිසක් ද මෙම කාර්යයේ යෙදෙති.

අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති අපේක්ෂක සංසිද්ධිය වටා සිදුවන දේශපාලන සාකච්ඡාවලද මෙම ලිබරල්වාදයට විරුද්ධ නඩු ඇසීම යම්කිසි දුරකට සිදුවේ.

Sep 1 talk 3ලිබරල්වාදය පිළිබඳ මෙම සාකච්ඡාව දේශපාලන දක්ෂිණාංශය සහ දේශපාලන වාමාංශය යන එකිනෙකට වෙනස් මූලාශ්‍ර දෙකකින් මතුවන්නේ යන කරුණ ගැන තරමක් සිතා බැලීමෙන් මෙම සාකච්ඡාව ආරම්භ කිරීම වැදගත් වේ. 

දේශපාලන දක්ෂිණාංශයේ ප්‍රහාරයට ඉලක්ක වී තිබෙන්නේ, නව ලිබරල් ආර්ථික දැක්ම සහ ප්‍රතිපත්ති නොවේ. ලිබරල්වාදයේ දේශපාලන දැක්ම සහ ක්‍රියාමාර්ගයි.

නව ලිබරල්වාදී දේශපාලන දැක්ම අවධාරණය කරන මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, සුළුජන අයිතිවාසිකම්, දේශපාලන විවෘතභාවය සහ රාජ්‍යයේ කාර්යභාරය ලඝු කිරීම මෙම දක්ෂිණාංශික දේශපාලන විචාරකයන්ගේ විවේචනයනට ගොදුරු වන තේමාය.

ඔවුන්ගේ සාංකාවට තුඩුදී ඇති කාරණය නම්, නව ලිබරල්වාදී දේශපාලන න්‍යාය පත්‍රය විසින්, රාජ්‍යය දුර්වල කරන්නේය යන ප්‍රතිඵලයයි. නව ලිබරල්වාදී නියමයන්ට අනුව මානව අයිතිවාසිකම් රකින, බටහිර රාජ්‍ය පද්ධතියට වගඋත්තර කීමට බැඳී සිටින, සුළු ජන කොටස්වල දේශපාලන ඉල්ලීම්වලට ඉඩ ලබාදෙන ලිබරල් ප්‍රතිසංස්කරණවලින්, ලංකාවේ රාජ්‍යය දුර්වල කරනු ඇති බවත්, දුර්වල රාජ්‍යයක ඇති දේශපාලන අස්ථාවරභාවය ආර්ථික සංවර්ධනයට සහ සමෘද්ධියකට බාධාකාරී බවත් මෙම විවේචනයෙන් තවදුරටත් කියැවේ.

වාම විවේචනය:

ලිබරල්වාදය පිළිබඳ වාමාංශික විවේචනය මූලික වශයෙන්ම එල්ලවන්නේ, නව ලිබරල්වාදී ආර්ථික දැක්ම සහ ප්‍රතිසංස්කරණවලට එරෙහිවය.

නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ධනවාදී ප්‍රාග්ධනයේ ලෝක පරිමාණ ව්‍යාප්තිය, එම ප්‍රාග්ධනයේ ලාභ උපරිම කරගැනීමේ නව අවශ්‍යතා, ඒ මත පදනම්ව ලෝක සහ ජාතික ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලුතෙන් උග්‍රවන ආර්ථික බලයේ අසමානතා, උග්‍රවන ශ්‍රම සූරාකෑම, දරිද්‍රතාව, සමාජ විශමතා, ආර්ථික වර්ධනය, පරිසර විනාශය සහ ඒවායේ ප්‍රතිඵල ලෙස ඇතිවන සමාජ-දේශපාලන අර්බුද ගැන මෙම විවේචනය අවධාරණය කරයි.

ඒ අතින් බලනවිට ලිබරල්වාදය පිළිබඳ දේශපාලන වාමාංශයේ විවේචනය, දේශපාලන දක්ෂිණාංශයේ විවේචනයට වඩා ඉදිරියට ගොස් තිබේ. එය වනාහී ලංකාවේ දේශපාලන සාකච්ඡාවේ මධ්‍යයට ගෙන ආයුතු විවේචනයක්ද වේ.

මෙම සාකච්ඡා වට සිදුවන්නේ ලංකාවේ දේශපාලනයේ වර්තමාන අර්බුදය සහ මොහොතද පසුබිම් කරගෙනය. එම දේශපාලන මොහොත සමග සම්බන්ධ කර බලන විට ලිබරල්වාදය පිළිබඳව දේශපාලන දක්ෂිණාංශයත්, දේශපාලන වාමාංශයත් කරන විවේචන ආස්ථාන දෙකක් වෙතින් පැන නගින නමුදු, ඒවායේ එක් පොදු ගුණාකාරයක්ද තිබේ.

එය නම් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගල කිරීම අනවශ්‍ය, වැරදි සහ නොමග ගිය න්‍යාය පත්‍රයක්ය යන්නයි. මේ අනුව දේශපාලන ලිබරල්වාදය සතුරෙකු කර සැලකීම ලංකාවේ වර්තමාන දේශපාලන සාකච්ඡාව තුළ දක්ෂිණාංශය සහ වාමාංශය එකට හමුවී අත්වැල් බැඳ ගන්නා බුද්ධිමය අවකාශය බවද කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය. වාමාංශය පැත්තෙන් බලනවිට මෙය වනාහී වැටීමෙන් වැළකිය යුතු උගුලක් බව කිව යුතුව තිබේ.

දේශපාලන ලිබරල්වාදය:

එහෙත් ලිබරල්වාදය පිළිබඳ වර්තමානයේ ලංකාවේ මෙන්ම ලෝකයේද මතුවන ගැටලුව ලංකාවේ දැනට සිදුකරමින් තිබෙන ආකාරයේ අතිසරලකරණයකට භාජනය කළ නොහැකිය; නොයුතුය. මන්දයත්, දේශපාලන ලිබරල්වාදය සහ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය අතැ ඇති ප්‍රතිමානීය (normative) සම්බන්ධතාව නිසාය.

යුරෝපයේ ආර්ථික දර්ශකයක් ලෙස ලිබරල්වාදය බිහිවූයේ පූර්ව-ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආර්ථික ධර්මයක් ලෙස බව ඇත්තය. එය, මතවාදයේ සහ ධනේශ්වර පන්තියේ නිල ලෝක ධර්මය වූ බවද ඇත්තය. එය මාක්ස්ගේ සහ සමාජවාදී සම්ප්‍රදායේ නිර්දය විවේචනයට පාත්‍රවූ බවද ඇත්තය.

Sep 1 talk 4එහෙත් ලෝකයේ දේශපාලනය දැන් තිබෙන්නේ ඊට වඩා වෙනස් ඓතිහාසික සන්දර්භයක් තුළය. එම වෙනස නීර්ණය කරන එක් දේශපාලන සාධකයක් වන්නේ, ලෝකයේ නූතනත්වය විසින් බිහිකරන ලද දේශපාලන ධර්ම, ආණ්ඩුක්‍රම සහ රාජ්‍යය පිළිබඳ න්‍යායික දැක්මවල් අතුරින්, මනුෂ්‍යයන්ට අඩුවෙන්ම පීඩාකාරී, මනුෂ්‍යයන්ට වැඩියෙන්ම නිදහස, අයිතිවාසිකම් සහ සමානත්වය යථාර්ථවාදී ලෙස පොරොන්දු වන සහ ඉෂ්ට කරන දේශපාලන ධර්මය ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදය වන්නේය යන්නයි. 

සමාජවාදය මෙන්ම දේශපාලන ධර්මයක් ලෙස ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයද අවභාවිත කිරීමට, දූෂණය කරනු ලැබීමට, පීඩකයන්ගේ අතේ ආයුධයක් වීමට පාත්‍ර වී තිබේ.

එහෙත් දේශපාලන ක්‍රමයක් ලෙස ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සතු එක් ගුණයක් තිබේ. ස්වයං-නිරවද්‍යකරණයට (Auto-correction) ඉඩ ලබාදෙන සහ හැකියාව තිබෙන දැනට ලෝකයේ තිබෙන එකම දේශපාලන ක්‍රමය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි.

තමන්ට එරෙහිවීමේ වරදට මනුෂ්‍යයින් සිරගෙදරට නොදමන සහ ඝාතනය නොකරන, සුදු වෑන් දමා උස්සාගෙන යන්නේ නැති එකම දේශපාලන ක්‍රමයද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයයි. මේවා සිදුකරන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමානීය මූලධර්මවලින් බැහැරට ගිය සහ ඒවා ප්‍රතික්ෂේප කරන දේශපාලනඥයන්, රාජ්‍ය පාලකයන්, හමුදා නිලධරතන්ත්‍රයන්ය; පාලක කොමිසාර්වරුන්ය.

ප්‍රතිමානීය මූලධර්ම

දේශපාලන ලිබරල්වාදයේ, එනම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති, අන් දේශපාලන ධර්මවල නැති, මෙම ප්‍රතිමානීය මූලධර්ම මොනවාද? පුද්ගල සහ පුරවැසි නිදහස, පුද්ගල සමානත්වය, වෙනස්කම් ඉවසීම, සමාජ දේශපාලන බහුවිධතාව පිළිගැනීම, නීතියේ ආධිපත්‍යය හා බැඳුණු යුක්තිය සහ සාධාරණත්වය, බලය ගැන සැක කිරීම සහ බලයට සංවරණ යෙදීම, බලයේ සීමා නියම කිරීම, සමාජමය විවෘතභාවය මෙම ප්‍රතිමානීය ජන ලැයිස්තුවේ ප්‍රධාන සාධකයි.

ලංකාවේ දේශපාලනයේ වර්තමාන නිමේෂයේ ඇති එක් ලක්ෂණයක් නම්, අප රටේ දේශපාලනයේද අඩු වැඩි වශයෙන්, නොනැසී පැවතුණු මෙම ප්‍රතිමානීයතා ලැයිස්තුව මකා දැමීමේ හැකියාව මෙරට පුරවැසියන් ඉදිරියේ පහළ වී තිබීමයි.

වෙන කිසිදාක නොතිබි විශේෂත්වයක් මෙවර ජනාධිපතිවරණයේ තිබේ. එය නම් ‘ප්‍රජාතන්ත්‍රවාදය දැන් අපට හොඳටම ඇති. එය අද අපට දරන්නට බැරි සුඛෝපභෝගී වස්තුවක්. එය ඉතිහාසයේ කුණු ගොඩට වීසි කරමු” යන ඉදිරි දැකීම ඍජුවම මතු කරන දේශපාලන බලවේග බලමුළු ගැන්වී, නිර්ප්‍රජාතන්ත්‍රවාදී සහ අධිකාරවාදී දේශපාලන පරිවර්තනයක් සඳහා කඳවුරු බැඳගෙන සිටීමයි.

මෙම පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය පරාජය කිරීම, ලංකාවේ සමාජවාදී ප්‍රතිසංස්කරණ සඳහා සටන් කරන කම්කරු පන්ති සහ පීඩිත සමාජ කොටස්වල අභිලාෂ නියෝජනය කරන දේශපාලන බලවේග ඉදිරියේද ඇති ප්‍රධාන කර්තව්‍යය බවට පත්වී තිබෙන්නේ මේ පසුබිම තුළය.

ලංකාවේ දේශපාලන උරුමය

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතිය, පුළුල් සමාජ, පක්ෂ සහ දේශපාලන සන්ධානගත පෙරමුණක් විසින් ඉදිරියට ගෙන යා යුත්තක් වී තිබේ. එය වනාහී ලෝක ධනවාදී ප්‍රාග්ධනයේ ව්‍යාපෘතිය වන නව – ලිබරල්වාදය (Neo-liberalism) සමග කලවම් කරගත යුත්තක් නොවේ. එයින් පැහැදිලිවම වෙන් කර ගත යුත්තකි.

එවැනි වෙන් කිරීමක් සඳහා අප කළ යුත්තේ ලංකාවේ විසිවැනි සියවසේ නවීනතම දේශපාලන පරිවර්තනයේ ඉතිහාසය දෙස නැවත හැරී බැලීමයි. එසේ කරන විට, විශේෂයෙන් වාමාංශික දෘෂ්ටි කෝණයකින්, ඒ දෙස බලන විට පැහැදිලි වන දෙයක් නම් අප රටේ විසිවැනි සියවසේ සිදුවූ දේශපාලන පරිවර්තනයේ සහ නවීනත්වයේ ඉතාම වටිනාම උරුමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වන්නේය යන්නයි.

Sep 1 talk 5එය වූ කලී ධාරා දෙකක් සම්මිශ්‍රණය වූ ප්‍රජාතන්ත්‍රවාදයකි. පළමුවැන්න දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයයි. දෙවැන්න සමාජමය ප්‍රජාතන්ත්‍රවාදයයි. 

වර්තමාන ලංකාවේ පවත්නා දේශපාලන සුවිශේෂත්වය තුළ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර, ස්ථායී කර එය අප රටේ රාජ්‍යයේ සහ දේශපාලන ව්‍යුහයේ ප්‍රතිමානීය රාමුව බවට ශක්තිමත්ව යළි ගොඩනැගිය යුතුව තිබේ. සමාජමය ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයද ඇතුළුව එම දේශපාලන ප්‍රජාතන්ත්‍රීයකරණ ප්‍රයත්නයේ සමාජමය පණිවුඩය බවට නැවත පත් කළ යුතුව තිබේ.

දැනට අලුත් වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලය තුළ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී උරුමයේ ඉතාම සාරවත් අංග දෙක නිර්මාණාත්මක ලෙස බද්ධ කර, එය පොදුජන දේශපාලන අපේක්ෂාව බවටද පරිවර්තනය කිරීම, දැනට විවෘත වී ඇති දේශපාලන අවකාශය තුළ කළ යුතු සහ කළ හැකි කාර්යයකි. එසේ කිරීම අප සමාජයේ දේශපාලන අරගලය නව අවධියක් කරා ගෙන යෑමක්ද වනු ඇත.

එවැනි ප්‍රයත්නයකට එකතු වන බලවේගවල සිටින බුද්ධිමය ශ්‍රේණීන් විසින් පිළිගත යුතුව තිබෙන එක් යථාර්ථයක් නම්, සමාජයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල ඇති දෘෂ්ටිමය සහ ක්‍රියාමාර්ගික විවිධත්වයයි. සමහර බලවේග අවමවාදී ප්‍රජාතන්ත්‍රවාදීන් විය හැකිය. තවත් ඒවා උපරිමවාදී ප්‍රජාතන්ත්‍රවාදීන් විය හැකිය. තවත් අය ව්‍යවස්ථාවාදී සහ නෛතිකවාදී ප්‍රජාතන්ත්‍රවාදීන් විය හැකිය. තවත් බලවේග ආර්ථිකවාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විය හැකිය.

දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියලු බලවේගවලට ඉඩ සපයයි. එය ඒකත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතියක් නොව බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපෘතීන්ට ඉඩ සලසයි.

මේ කරුණ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අලුත් සාකච්ඡාවේ සාකච්ඡා විය යුතු තේමාවක්ද වේ.

(ජයදේව උයන්ගොඩ -රාවය August 31, 2019)

jayadewa Uyangoda This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්