විෂක්ෂයේ කට්ටියත් ඔන්න අං පටලවා ගන්න පටන් අරන්. රටේ රාළ අද කතා කරන්නේ සජබේ ඇතුළේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන අර්බුදය ගැන.

ඒකේ ඉතින් ආය හංගන්න දෙයක් නෑ. ඔය කට්ටිය ප්‍රසිද්ධියේ බැන ගන්නේ.

මේ තත්වය කොතන දක්වා වර්ධනය වෙන්න පුළුවන්ද? අවසානයේ සජබයට අත් වෙන්න නියමිත ඉරණම මොකද්ද? ඕකනේ තියන ප්‍රශ්නේ.

ඒක තේරුම් ගන්න අපිට සජබෙ ඉතිහාසයට යන්න වෙනවා. වැඩි දුරකුත් නැති නිසා ලේසී. සරළව කිව්වොත් මහා මැතිවරණය අවසන් වෙනකොට සජබෙ තිබ්බ තැනයි දැන් තියන තැනයි සන්සන්දනය කරන්න පුළුවන්.

මුලදී තිබුණ මන්ත්‍රී ධූර ගානත් එක්ක හිතුවොත් නං සජබෙ දැන් පොඩි වෙලා.

ඊළඟට අපි සජබෙයි ජාතික ජන බලවේගයයි සන්සන්දනය කළොත් මේක තවත් හොදට තේරුම් ගන්න පුළුවන්.

 

ඇත්තටම මේ මොහොතේ ජාතික ජන බලවේගය සජබෙට වඩා මතවාදී බලයක් නියෝජනය කරනවා. සජබෙට ග්‍රාමීය ජනතාවගේ ආකර්ෂණයක් තියනවා. හැබැයි නාගරික මැද පන්තියේ ආකර්ෂණය ජාතික ජන බලවේගය සජබෙට වඩා දිනාගෙන ඉන්නවා. ඇත්තටම එතන තරගය තියෙන්නේ 43 සේනාංකයයි, ජාතික ජන බලවේගයයි අතර.

 

ඇයි සජබයට එහෙම උනේ ?


සජබෙ සමහරවිට මේ විග්‍රහය පිලිගන්න එකක් නෑ. ඒත් ඕක තමයි රටේ රාළට දැනෙන මහ පොලවේ තියන ඇත්ත.

ඇත්තටම ඇයි සජබයට මැද පන්තික මතවාදය ඇතුළේ ජාතික ජන බලවේගය ඉක්මවන්න බැරි. ඒකට ප්‍රධාන හේතුව මැද පන්තික බලවේගය තවමත් හිතනවා සජිත්ට රට ගොඩනගන සැළැස්මක් නෑ කියලා. සාධාරණ විදිහට හිතුවොත් ඒකේ ඇත්තක් තියනවා.

ඇයි සජබයට එහෙම උනේ. ඒකට තමයි උත්තර හොයන්න ඕනි. ඒක බේරගන්න වෙන්නේ සජබේ බිහිවුණ තැනට ගිහින්.

සජබෙ බිහිවෙන්න බලපාපු ප්‍රධාන හේතුව මොකක්ද කියලා ඇහුවොත් ඒකට තියෙන්නේ හරිම සරළ උත්තරයක්. ඒකට තියන එකම උත්තරය සජිත්ගේ තිබුණ බල පෙරේතකම. ඒක තමයි උත්තරේ.

 

එජාපය ඇතුළේ රනිල්ට, සජිත්ට එක්ක එකට ඉන්න බැරි තැනට ගැටුම වර්ධනයට උනේ ප්‍රතිපත්තිමය කාරණයක් මුල්කරගෙන නෙවෙයි. සජිත් නායකත්වයෙන් හැර වෙන කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්න සුදානම් උනේ නෑ. ඇත්තටම සජිත්ගේ ඒ නොසිදෙන නායකත්ව පිපාසය තිබුණේ නැත්නම් එජාපය දෙකඩ වෙන්නේ නෑ.

 

රනිල් නායකත්වය අත්හරින්න එකඟ උනත් සජිත්ට දෙන්න එකඟ උනේ නෑ. හැබැයි රනිල්ටයි, සජිත්ටයි කරූ කියලා තවත් Option එකක් තිබුණා. රනිල් ඒක උරගාලා බලන්න එකඟ උනත් සජිත් එකඟ උනේ නෑ. ප්‍රතිථලය උනේ එජාපය දෙකඩවීම.

ඇත්තටම එජාපය දෙකඩ උනා කිව්වට මහ පොලොවේදී නම් එජාපය තුනට කැඩුනා. ලොකු කෑල්ල සජිත්ට ගියා. පොඩි කැල්ල රනිල්ට ගියා. මේ දෙක අතර තිබුණු තවත් ලොකු කෑල්ලක් මහ පොලොවටම සමතලා උනා.

ගිය පාර මහ මැතිවරණයේදී සැළකිය යුතු එජාප ඡන්දදායකයෝ ප්‍රමාණයක් ඡන්ද පොලට අවේ නෑ. ඒ අය තවම ඔය දෙකටම නැතිව වෙනමම හිතන බලවේගයක්.

එදා එජාපය වටේට තිබුණ අනෙක් බලවේග හා කණ්ඩායම් මහ මැතිවරණය ඉලක්ක කරගෙන සජබේ එක්ක සන්ධානගත උනා. ඇත්තටම හදිසි මහ මැතිවරණයක් ඉස්සරහා වෙන කරන්න දෙයක් එයාලට තිබුණේ නෑ. හකීම්, රිෂාඩ්, මනෝ, දිගම්බරම්, පාඨළී, වෙල්ගම ඒ අය. ඊට අමතර සජිත්ට පුද්ගලිකවම අකමැති ෆොන්සේකා, රාජිතලා පවා ඒ ගොඩට වැටුණා.

දැන් මේ එකතු උන අයගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ආණ්ඩුවට ගිහිල්ලා. හකීම්, රිෂාඩ්ගේ පක්ෂවල මන්ත්‍රීවරු, ඩයනා ඒ අය. ඇත්තටම සජිත්ට සජබේ කියන එකතුව ආරක්ෂා කරගන්න බැරි උනා. ඒක තමයි තිත්ත උනත් ඇත්ත කතාව.

 

සජබේ ආරක්ෂා කර ගැනීමේ මූලික වගකීම තිබුණේ සජිත්ට. සජිත්ට ඒ වගකීම හරියට තේරුම් ගන්න බැරි උනා. එතනදී සජිත් ෆේල්. සජිත් තවමත් ඒ ප්‍රශ්නය ඉස්සරහා act කරන්නේ ගොන් පාට් එකක්. මොකද සජිත්ට තිබුණා සමගිය ජන බලවේගය පොදු ජාතික වැඩපිළිවෙලක් යටතට ගොනු කරගන්න. සමගි කරගන්න. දෙමළ සන්ධානය පවා ඒ පොදු එකඟතාවයට ගේන්න තිබුණා. ඒ අවස්ථාව සජිත් අතින් Miss උනා.

 

Sajith sah

සජිත්ට මැදපන්තියට කතා කරන්න තිබුණ හොදම සම්පත් දෙක තමයි පාඨළී හා ෆොන්සේකා.

 

රටේ රාළ නං කියන්නේ Miss උනා නෙවෙයි සජිත්ට No Option කියලයි. ඇත්තටම ඔතෙන්ට නිවැරදි වැඩපිළිවෙලක් ආදේශ කළා නං අද ඔය කිසිම කෙනෙක් සජබේ දාලා යන්නේ නෑ. සජිත්ට මැදපන්තියට කතා කරන්න තිබුණ හොදම සම්පත් දෙක තමයි පාඨළී හා ෆොන්සේකා. ඒක හරියට සජිත් use කළේ නෑ.

සජිත්ට වමට කතා කරන්න වෙල්ගම යොදා ගන්න තිබුණා. ඒ වගේම හරීන්, හර්ෂ, මනුෂල හරියට යොදවනවද කියන ප්‍රශ්නය රටේ රාළට නං තියනවා.

දෙමළ සන්ධානය එක්ක හොද ගනුදෙනුවක් කරන්න සජිත් යුහුසුළු උනේම නෑ. රටේ රාළ හිතන්නේ බැසිල් එතනදී සජිත්ට වඩා ඉදිරියෙන් හිටියා.

ඇත්තටම ජාතික ජන බලවේගය හරිනීලා හරහා මැද පන්තියට කතා කරනවා. එයාලා සජිත්ගේ ඒ කළමණාකරණ දුර්වලතාවය හරියටම පාවිච්චි කර ගත්තා. සජිතුත් හුරුවෙලා තියෙන්නෙත් අර රාජපක්ෂලා වගේම පම්පෝරි දේශපාලනයකට. හැබැයි සජිත්ට වඩා ඒ ක්ෂේත්‍රයේ කෙළ පැමිණ අය තමයි රාජපක්ෂලා.

රටේ රාළගේ කියවීමේ හැටියට සජබේ තියෙන්නේ තවත් පිපිරීමක් ඉස්සරහා. මීට මාස ගාණකට උඩදී රටේ රාළ ඔය අනතුරු ඇගවීම කළා. දැන් ඒ කතාවේ ඇත්ත සජබේ ඇතුළෙන්ම එලියට එන්න පටන් අරන්.

 දැන් ෆොන්සේකා කියනවා පරණ ප්‍රේමදාසගේ කතා කියකියා ගිහින් හරියන්නේ නෑ කියලා. ඒ කියන්නේ රටේ රාළ කියන දියුණු වැඩපිළිවෙළක අවශ්‍යතාවය ෆොන්සේකලාට පවා දැනෙනවා. රටේ රාළ ඔය කතාව සජිත්ට කිව්වේ සජබෙ හදපු දවසේ.

 

තව දුරටත් මේ රටේ මළවුන්ගේ දේශපාලනය කර තියාගෙන ගිහින් ගොඩයන්න බෑ. සජිතුත් දැන් ඇතුළෙන් එන විරෝධයට රිටන් දෙන්න පටන් අරන්. රාජපක්ෂලා දැන් කොහෙන් හිනා වෙනවද දන්නේ නෑ. ඇත්තටම රාජපක්ෂලා හරි කැමති සජිත් වගේ විපක්ෂ නායකයෙක් ඉන්නවා නම්.  බැසිල් තරං සජිත්ට ආර්යාවන් ආදරේ නැතිව ඇති. පහුගිය දවස්වල සජිත්ගේ කතා ටික දිහා බැලුවොත් සජිත් ඇදලා තියෙන ඇදිල්ල තේරුම් ගන්න පුළුවන්.

 

සජිත් කියනවා අච්චාරු ආණ්ඩු හදන්න කැමති නෑ ලු.එයාගේ ආණ්ඩුවේ පින් ඇමතිකම් නෑ ලු. සූට් මහගෙන ජනාධිපති වෙන්න හීන දකින අය ලොකු ලොකු පම්පෝරි ගැහුවට ඒ කාටවත් වැඩවලින් එයා එක්ක හැරෙන්නවත් බැරිලු. ඇත්තටම ඒක අමන මරි මෝඩ ගොං අධිතක්සේරුවක්. සජිත්ගේ ඒ කතාවලින් ඔප්පු කරලා තියනවා සජිත් පොදු ගමනකට සුදානම් නෑ කියලා.

සජිත්ට රටේ රාළ ඉස්සෙල්ලා කියනවා කෑම වට්ටෝරුත් එක්ක දේශපාලනය සන්සන්දනය කරන මෝඩ වැඩේ කරන්න එපා කියලා. ඒක හොදයි කන්න විතරක් දේශපාලනය කරන අයට. සජිත් අච්චාරු ආණ්ඩු හදන්නේ නෑ කියලා කියන්නේ තනි සජබෙ ආණ්ඩුවක් හදනවා කියන එකනේ. සජිත් තවමත් දේශපාලනයේ හැසිරෙන්නේ ළදරුවෙක් වගේ. නැත්තං මේ දශක කීපයේ ආණ්ඩු හැදිලා තියන විදිහ විශ්ලේෂණය කර ගන්න බැරි අමතකවීමක් සජිත්ට තියනවා.

ඇත්තටම සජිත් ඉන්නේ මායා ලෝකෙක. ඕකට කියන්නේ දේශපාලන මායා රෝගය කියලා. සජිත් වඩා තනි ආණ්ඩු ගැන මහ ලොකු පම්පෝරි ගහපු අය තමයි රාජපක්ෂලා. තනි සිංහල ආණ්ඩු ගැනත් කිව්වා. ඒ කොච්චර පම්පෝරි ගැහුවත් අන්තිමට හදන්න උනේ ඔය සජිත් කියන ජාතියේ අච්චාරුවක්ම තමයි. හැබැයි ඒක අච්චාරුවක් උනත් ඒකට තුනෙන් දෙකක් තිබ්බා. 20 වෙනි සංශෝධනයෙන් ජේආර්ට වඩා වැඩි බලයක් තියන ජනාධිපති කෙනෙක් ඉන්නවා.

ඇත්තටම දේශපාලන වශයෙන් හිතුවොත් සජිත්ගේ සජබ කණ්ඩායමට සාපේක්ෂව පොදුජන පෙරමුණේ බැසිල්ගේ කණ්ඩායම ඉස්සරහින් ඉන්නවා. හැබැයි අද මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ. ඒක අමුතුවෙන් කියන්න ඕනි නෑ.

 

මෙතනදී එකක් පැහැදිලි සජිත්ගේ උවමනාවත් තියෙනෙත් මේ අත්තනෝමතික බලය අරන් තනි ගමනක් යන්න. ඒ කියන්නේ රාජපක්ෂලා යන ගමනම තමයි සජිත් යන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම රාජපක්ෂලාට කනපිට හැරෙව්වම හම්බ වෙන්නේ සජිත්.

 

සජිත් එකක් දැන ගන්න ඕනි. සජිත් අච්චාරු කියන්නේ බලවේගවල එකතුවකටනේ. බලවේග එතකු කරලා හරි වැඩපිළිවෙලක් හදලා, වගකීම් පවරලා, ඒ පුද්ගලයන් වගකීම්වලින් බැදුනම තමයි නියම ජයග්‍රහණ ගේන්න පුළුවන්. ඒ එකගතාව හදන්න ඕනි ප්‍රතිපත්තිමය කාරණාවලට. සජිත් ඒකට කියන්නේ අච්චාරුව නං එතකොට සජිත් දැන් හදන්න යන්නේ වන්ඩුවක්ද? නැත්තං ලැවරියක්ද?

ඇත්තටම රටේ රාළ කියන්නේ සජිත් යන්නේ ඔය මනසෙන් නං ඔය ගමන යන්න පුළුවන් තවත් කෙටි කාලෙකට විතරයි. ඇත්තටම සජබේ බ්ලාස්ට් වෙනවා. බ්ලාස්ට් වෙනවා කියන්නේ Politically. එහෙම නැතිව තාත්තා වගේ නෙවෙයි. ඒ බ්ලාස්ට් වීමේ සම්පුර්ණ වගකීම සජිත් බාරගන්න ඕනි.

සජබේ ඉදිරිපෙළ කියාකාරීන් අද ගොඩක් කළකිරීමෙන් කතා කර බව තමයි පේන්නේ. අද චම්පික කියනවා රටේ වත්මන් අභියෝගවලට සජබේට උත්තර නෑ කියලා. ඇත්තටම ඒක පාඨළී කියන්න ඕනි නෑ ඕනි පොඩි ළමයෙක් දන්නවා.

අද සජබේ ගොඩක් අය පේන්න නෑ.ඇත්තටම කළකිරිලා. සජිත් කරන්නේ ඇතුළේ ඉන්න තමන්ට අහියෝගයක් වෙයි කියලා හිතෙන අයට හොය හොයා ගහන එක.

සජිත්ට අනුව විපක්ෂයේ කිසි කෙනෙකුට ජනාධිපති සිහිනය දැකින්න තහනම්. ඒක අයිති One and only සජිත්ට. ඒ සිහිනය දැකීමේ පරම අයිතිය තියෙන්නේ සජිත්ට විතරයි. අනිත් අයට සියලුම හිමිකම් ඇහිරිණි. ජනාධිපති සූට් මහනවා නං සජිත්ගේ මැෂමන්ට එකට විතරයි මහන්න පුළුවන්.

මේ වෙලාවේ රටට පොදු එකඟතා වැඩපිලිවෙලක් නිර්මාණය කරනවා වෙනුවට තවමත් ප්‍රේමදාස බයිලය විතරක් ගහගෙන නං යන්න හදන්නේ සජිත් අනිවාර්යෙන්ම දේශපාලන වශයෙන් තනි වෙන එක නවත්තන්න බෑ. ආයෙත් කැලේ පනින්න වෙන එක නවත්තන්න බෑ. සජිත් නං කෑලේ පැන්නට අපිට කමක් නෑ. හැබැයි සජිත් කෑලේ පනින්නේ මේ රටත් නන්නත්තාර කරලා.

සජබෙ වටේට හිටිය ගොඩක් අය අද නෑ. වෙල්ගම, පාඨළීලා නෑ. ෆොන්සේකාත් ඉන්නේ ගැට්ටේ. රාජිත හොයා ගන්නවත් නෑ. සජිත් කියන්නේ එයා තරම් නිර්මාණශීලි කෙනෙක් නෑ කියලා.

 

ඇත්තටම ඒක මාර නිර්මාණශීලීකමක්. ලොකු ගස් ටික කපලා දාලා තුත්තිරි ටික විතරයක් ඉතුරු කරගෙන. එතකොට ඈතට එක යායකට පේන නිසා ලස්සනකුත් ඇති. ඒත් මේ තියෙන්නේ තුත්තිරි. ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියනවනේ.

 

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ
(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)



Leader Whats app
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්