බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කරනකොට ගොඩක් අය කිව්වේ එයා අජානීය අශ්වයෙක් කියලා. ටක් ගාලා රේස් එක ගහයි කියලා. හැබැයි මේ දක්වා නං

බැසිල් දිගටම කළේ නා ගැනීම හා හත් පොලේ ගා ගැනීම විතරයි.

රටේ රාළට බැසිල්ගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි. ඔබ තවදුරටත් මුදල් ඇමතිකම දැරීම කෙතරම් දුරට සදාචාර සම්පන්නද කියලා විතරයි. ඉල්ලා අස්වෙලා තමන්ගේ ගම රට බලා යනවා නං ඇත්තටම ඔයිට වඩා හොඳයි.

ශ්‍රී ලාංකිකයෙක් විදිහට බැසිල්ට එහෙම කියන්න මේ රටේ ඕනිම පුරවැසියෙකුට සුජාත අයිතියක් තියනවා. ඒත් ඉතින් එහෙම කිව්වා කියලා ඒක මේ සම්ම කපේ වෙන දෙයක් නෙවෙයි. බැසිල් ඔතෙන්ට එන්න ගහපු ගේම්වල හැටියට ඉල්ලා අස්වෙන්න නෙවෙයි ඔතනින් උඩට යන්න තව කොච්චර ගේම් ගහයිද?

ඒ වගේම බැසිල් තවදුරටත් මුදල් ඇමතිකම දැරීම සදාචාරාත්මක නෑ කියන යෝජනාව ඉල්ලා අස්කර ගන්න රටේ රාළ ලෑස්තිත් නෑ. බැසිල් ඉල්ලා අස් නූනත් මුදල් ඇමති කමෙන් ඉල්ලා අස්වෙන්න කියන යෝජනාව වලංගු යෝජනාවක් විදහට තවදුරටත් තියෙයි.

 

පහුගිය ජනවාරි 30 වෙනිදා ඉරිදා දිවයින පත්තරේට බැසිල් බරපතල කතාවක් කියලා තිබුණා. දැන් බැසිල් ඒක කොච්චර හංගන්න හැදුවත් එක ජාත්‍යන්තරව අවධානයට ලක්වෙලා ඉවරයි. ඇත්තටම ඒක මේ රටේ මුදල් ඇමති කෙනෙක් නෙවෙයි මුදල් අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයෙක්වත් කියන්න හොද කතාවක් නෙවෙයි.

 

එක තැනක බැසිල් කියනවා දැන් අපට මොන ක්‍රමයකට හරි ඩොලර් ඕනි කියලා. එතනදී බැසිල් කියන හදන්නේ කළු සල්ලි (Black money) විදිහට හරි ඩොලර් ඕනි කියලා.

ඇත්තටම අපේ රටට ඩොලර් හරි වෙනත් මුදල් වර්ගයක් හරි ගේනවා නං ඒකට පිලිගත්ත රාජ්‍ය ක්‍රමවේදයක් තියනවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලයි. ඒ වගේම ඒක නීත්‍යානුකුල ක්‍රමය වේදයක් .ඒක වෙන්නේ මහ බැංකුව අධීක්ෂණය හරහා අපේ බැංකු පද්ධතියෙන්.

ඒ ක්‍රමවේදය මගහැරලා මුදල් ගේන ක්‍රමත් තියනවා. හැබැයි මහ බැංකුව හැම වෙලේම හදන්නේ ඒක විදිමත් ක්‍රමයට ගේන්න ගන්න. එහෙම ගේන එක ප්‍රවර්ධනය කරන්න දිරි ගැන්වීම් පවා මහ බැංකුවෙන් යෝජනා කරනවා.

හැබැයි එහෙම තියෙද්දී බැසිල් කියනවා රාජ්‍යය මගහැරලා උනත් කමක් නෑ ඩොලර් ගේන්න කියලා. කොහොම ආවත් ඒ මුදල් අපේ රටේ මුදල් සංසරණයට එකතු වෙනවා කියලා. ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පූළුවන්.

 

පහුගිය දවස්වල අපේ රටෙන් විදේශ විනිමය පිට කරන්න හදපු කීපදෙනෙක් රේගුවෙන් අත්තඩංගුවට ගත්තද? ඇත්තටම බැසිල් මේ කරන්නේ ඩෝලර් කළු කඩය ශක්තිමත් කරන එක. අද ඩොළර් කළු කඩේ Sales rep වෙලා තියෙන්නේ මුදල් ඇමති. බැසිල් කියන කතාව සාධාරණීකරණය කරන්න ගිහින් තමයි බැසිල් අමාරුවේ වැටුනේ.

 

අනික බැසිල් කියන කතාවේ ලොකු වාසියක් තියනවා කියලා රටේ රාළට නං පේන්නේ නෑ. ඒක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය දුර්වල කිරීමක්. බැසිල් කියන්නේ ඒක මහ බැංකුවට අනුව වැරදි උනත් රටට අනුව හරි කියලා. රටේ රාළ කියන්නේ ඒක මේ රටේ මූල්‍ය නීතියට අනුව වැරදී නම් රටට අනුවත් වැරදී. සමහරවිට රාජපක්ෂලාට අනුව හරි ඇති.

ඇත්තටම බැසිල්ගේ ඒ කතාවෙන් අපේ රටේ රාජ්‍ය මූල්‍ය විනය සම්බන්ධව තියෙන ජාත්‍යන්තර විශ්වාසය බිද වැටෙනවා.

අපේ මුදල් ඇමති මාර බඩුවක්. රටේ ආයෝජන කරන්න කියලා ආයෝජකයන්ට කතා කරනවා. හැබැයි කළු සල්ලි උනත් අවුලක් නෑ කියලා ඉගිබිගි දෙනවා.

බැසිල්ගේ ඒ කතාවට ආකර්ෂණය වෙන කළු සල්ලිකාරයෝ ටිකක් හිටී. සමහර විට Pandora Papers වල තියන ඒවත් එයි. හැබැයි genuine ආයෝජකයා අපි දිහා බලන්නේවත් නෑ.


බැසිල්ගේ ඒ කතාවෙන් එකක් පැහැදිලියි බැසිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියට අනුව එයා ස්ථානගත වෙන්න හදන්නේ genuine ව්‍යාපාරිකයා මත නෙවෙයි කළු සල්ලි මුදලාලි මත කියලා .ලෝකයේ කළු සල්ලි සුදු කරන තිප්පොලක් විදිහට පහුගිය කාලේ අපේ රට හදුන්වමින් තිබුණා. ඇත්තටම බැසිල්ගේ කතාවෙන් උනේ ඒ මතය ආයෙත් තහවුරු කිරීම.



ඒක ජාත්‍යන්තර මාධ්‍යවලින් පවා දැන් කතා කරන්න පටන් අරන්. බැසිල් කියන්නේ රටට මොන ක්‍රමයකට හරි ඩොලර් ඕනි කියලා. බැසිල් ඒ ප්‍රතිපත්තියේ ප්‍රායෝගිකව ඉන්න බව පහුගිය කාලේ ඔප්පු කරලා පෙන්නුවා.

කැබිනට් මණ්ඩලයටත් නොදන්නවා ගිය සැප්තැම්බර් 06 වෙනිදා රෑ 12.06 ට යුගදනව් බලාගාරයේ කොටස්වලින් 40% ක් ඇමරිකවේ New fortress energy සමාගමට විකිණීමෙන් පෙන්නුවේ කොහොම හරි ඩොලර් ඕනි කියන බැසිල්ගේ ප්‍රතිපත්ති තමයි.

 ඊට අමතරව පහුගිය කාලේ උදය ගම්මන්පිල මැදිහත් වෙලා ඉන්දියාව එක්ක අත්සන් කරපු ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමෙන් පෙන්නුවේත් කොහොම හරි ඩොලර් ඕනි කියන එකම තමයි.

රටේ භූ දේශපාලනික තත්වයන් ඩොලර් ඉස්සරහා නොසලකා හරින්න තරමට ඩොලර් වියරුව නරුම වෙලා ඉවරයි.

පහුගිය කාලේ රජය අත්සන් කරපු ගොඩක් ගිවිසුම්වල තිබුණේ බැසිල්ගේ කොහෙන් හරි, කොහොම හරි ඩොලර් ගැනීමේ ප්‍රතිපත්තියම තමයි.

 

ඊළඟට බැසිල් ඒ පුවත්පත් සාකච්ඡාවෙදීම කියනවා කළු සල්ලි යොදවලා උතුරු කොරියාවෙන් යුද්ධයට ආයුද ගත්තා කියලා .රටේ රාළට නං හිතෙන්නේ බැසිල්ගේ දේශපාලන ජීවිතයේ කරපු අමන මරි මෝඩම කතාව ඒක වෙන්න ඇති.

 

ඇත්තටම අපි හිතමු එහෙම දෙයක් වෙලා තිබුණා කියලා. ඒක ඇත්තට ලෝකය නොදන්න රහසක්. මේ අපි ඉන්න ලෝක තත්වය ඉස්සරහා මොන මෝඩයද අනේ ඒ කතාව කියන්නේ. රාජ්‍ය තාන්ත්‍රික බව ගැන දශමයක හරි දැනුමක් තියනවා නම් ඔහොම ගොං කතාවක් කියන්නේ නෑ.

ඕකට තමයි රටේ රාළ හැමදාම කියන්නේ රාජපක්ෂලාගේ වැඩවසම් පම්පෝරි කියලා. මහ ලොකු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියලා පොහොට්ටුවේ බයියලා පුම්බලා තිබිබ බැසිල් නිකම්ම නිකං හිස් කලගෙඩියක් කියලා ඒ කතාවෙන් එයාම ඔප්පු කලා.

 

එතනදී කරුණු කීපයක් ගැන ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වෙන එක නවත්තන්න බෑ. එකක් අවි මිලදී ගැනීමට කළු සල්ලි කොහෙන්ද කියන එක. ඒ කළු සල්ලි කාගෙද? ඒවා බැසිල් handle කළේ කොහොමද? කවුද රටවල් දෙක අතර ඒජන්තයා? ඒක නිල සම්බන්ධයක්ද? ඒ ආයුධවලට ගෙවීම් කළේ කොහොමද? අනේ මන්දා මේ ප්‍රශ්න ටික ගැන මතක් වෙනකොට ඇගේ හිරිගඩු පිපෙනවා.



මේ ආයුධ ජාවාරමේ හා කළු සල්ලි ජාවාරමේ බැසිල් හිටියේ කොතනද?


අනික තමයි ලෝකයේ එකිනෙකට සමාන්තරව යන ජාවාරම් තුනක් විදිහට තමයි ආයුද ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම වගේම ඒ හා බැදුනු කළු සල්ලි වෙළපොල හදුන්වන්නේ.

එතකොට මේ ආයුධ ජාවාරමේ හා කළු සල්ලි ජාවාරමේ බැසිල් හිටියේ කොතනද? රටක රාජ්‍ය තාන්ත්‍රිකයන් එහෙම කියපු ගමන් ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා වගේ ඒ රටත් ලෝකය ඉස්සරහා Black list වෙනවා. රටේ රාළ කියන්නේ දැන් ඒක අපට වෙලා ඉවරයි.

රාජපක්ෂ පවුලේ ඔක්කොම දාලා ඇද්දත් ඒ Damage එක හදන්න බෑ. හෙට දවසේ ලෝකය ඉස්සරහා අපේ Brand එක මොකද්ද කියලා දැන් ලියවිලා ඉවරයි. මරු මොළ හතක් නේද මේක.

හෙට දවසේ අපි ලෝකයේ හැම අතින්ම පහලට වැටෙන්න බැසිල්ගේ ඒ පුවත්පත් සාකච්ඡාව විතරක් ඇති. ඊළඟට ලෝකය සලකා බලන්නේ ඇයි උතුරු කොරියාවත් එක්ක එහෙම ගනුදෙනුවක් කළේ කියන එකයි.

මොකද උතුරු කොරියාව කියන්නේ ගොඩක් දුරට ජාත්‍යන්තර සම්බාධකවලට ලක් වෙච්චි රටක්.

එයාලා එක්ක ආයුධ ගනුදෙනුවක් කළා කියන එක ජාත්‍යන්තර ප්‍රජාව ඉස්සරහා අනිවාර්ය ප්‍රශ්න කිරීමකට ලක්වෙන කාරණයක්? කිම් ජොං අන්ටත් බඩ කපාගන්න හිතිලා ඇති බැසිල් කියන කතාවලට.

අද බටහිර රටවල්වලට උතුරු කොරියාව එකක් තියන එක ප්‍රධාන ගැටුමක් තමයි උතුරු කොරියානු අවි වෙලදාම. ජාත්‍යන්තර සම්බාධක මැද්දේ උතුරු කොරියාවෙන් ආයුද ගන්නවා නං ඒකේ නීත්‍යානුකූලභාවයේ ප්‍රශ්නයක් තියනවා.

ඇත්තටම එහෙම ගත්තා නං ඒක රහස් ගනුදෙනුවක් වෙන්න ඕනි. රට වෙනුවෙන් ඒ හොර ගනුදෙනුව කලා නං අඩුම ගානේ කට පියාගෙන ඉන්න ඕනි. රටම පාවා නොදී.

දැන් ෆොන්සේකා පැහැදිලි කිරීමක් කරලා තියනවා උතුරු කොරියාවෙන් ආයුද ගත්තේ නෑ කියලා. එතකොට එහෙනම් මේවා ගෙනාවේ මොකටද? ඒවා නීත්‍යානුකූල අවි නෙවෙයිද? ඇත්තටම බැසිල් කළේ අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය ප්‍රශ්නයක් දාගැනීමක්. ඉල්ලං කෑමක්.

යුද්ධය සම්බන්ධව වගේම ආයුධ, ගුවන් යානා ගනුදෙනු ගැනත් රාජපක්ෂවරුන්ට ඒ කාලේ දිගටම චෝදනා එල්ල උනා. ඒ චෝදනාවලට ආයෙත් තටු දීමක් තමයි බැසිල් කරලා තියෙන්නේ.

බැසිල් ඒ කතාවක් කියන්න ඇත්තේ කළු සල්ලි ගැන කියපු කතාව සාධාරණීකරණය කරන්න වෙන්න ඕනි. හැබැයි ඒකෙන් බරපතලම අපහසුවට පත් උනේ අපේ රට. විදේශ ඇමති ජීඑල් පීරිස් බැසිල්ගේ කතාවට දක්වපු ප්‍රතිචාරයෙන් ඒක පේනවා.

Screenshot 2022 02 01 180408


ඊළඟට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය මේ මාසේ අවසානයේ පටන් ගන්නවා. ජිනීවා මානව හිමිකම් කොමිෂමෙන් අපේ හමුදාවලට එල්ල උන එක චෝදනාවක් තමයි අතුරුදහන් කිරීම් හා මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධ චෝදනාව. දැන් බැසිල් ඒ චෝදනාවට තව කොටසක් එකතු කරලා තියනවා. ඒ තමයි ඒ අනීතික මුදල් වගේම අනීති අවි ආයුධ කිරන කොටස. මේවා අතර අවස්ථා සම්බන්ධයක් හදාගන්න බැරි තරමට එයාලා ලාමක නෑ.



රටේ රාළ හිතන්නේ ඒ ප්‍රශ්න කිරීමත් මේ පාර වෙන්න බැරි නෑ. බැසිල් මේ කොහේවත් නැති මරාලයකට තමයි රට ඇදලා දාලා තියෙන්නේ. ඒක නිසා අන්තිමට ජීඑල්ට කියන්න උනා බැසිල්ගේ කතාවෙන් එයා එහෙම දෙයක් අදහස් කළේ නෑ කියලා. ජීඑල් කළේ බැසිල් ලෝකය ඉස්සරහා බබා කරන එක. බබා කරලා ෆේල් කරන එක.

ඇත්තටම එතනදී ජීඑල්ට වෙන කරන්න දෙයක් නෑ. ඔය කරුණු දෙක මත බැසිල්ව ප්‍රශ්න කරන්න ඕනි. ඒ අයතිය මේ රටේ ජනතාවට තියනවා. ඇත්තටම හරි නම් බැසිල් පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රශ්න කිරීමට ලක් වෙන්න ඕනි. හරි නම් රට හතුරු වීම කියන කාරණය මත බැසිල්ට විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕනි.

පෙරේදා අයවැයෙන් වැඩ ලක්ෂයක් මාධ්‍ය සාකච්ඡාවෙදි ඔය ප්‍රශ්න ඇදුනම බැසිල් කිව්වේ ඒක අමතක කරමු කියලා. ඒක බැසිල්ට අමතක කරන්න ලේසි ඇති. ඒත් ඒක අමතක කරන්න රටක් විදිහට අපට බෑ.

 බැසිල්ට කරන්න තියෙන්නේ වෙච්චි වරද පිලි අරගෙන රට අපකීර්තියට ලක් නොකර ඉල්ලා අස්වෙන්න. රටේ රාළ පටන් ගන්න කොටම කිව්වා වගේම ඒක මේ සම්ම කපේදී වෙන්නේ නෑ. හැබැයි අඩුම වශයෙන් බැසිල් ජාතියෙන් සමාව ගන්න ඕනි.

රටේ රාළට මෙතනදී මෙහෙම උදාහරණයක් කියලා නවතිනවා.

ඒක රුසියන් සාහිත්‍ය පොතක තිබුණ උදාහරණයක්.

කකුල් හතරක් තියන අශ්වයෙක් උනත් යම් වෙලාවක වැටෙන්න පුළුවන්. හැබැයි කකුල් හතරක් තියෙන අශ්වයෙක් හැම වෙලේම වැටෙනවා නං උගෙන් වැඩක් නෑ. රටේ රාළ කියන්නේ බැසිලුත් ඒ ජාතියේ අශ්වයෙක් කියලා.



එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

 


Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image