74 වෙනිදා නිදහස ආණ්ඩුව නං මහත් අභිමානයෙන් සැමරුවා. චාම් උත්සවයක් කිව්වට ඉතින් ආණ්ඩුව පැත්තෙන් දාන්ඩ ඕනි ඔක්කොම සෙල්ලං ටික දැම්මා. පුම්බන්න ඕනි අය පිම්බුණාද කියන ප්‍රශ්නය නං රටේ රාළට වගේම එයාලටත් ඇති.



ඇත්තටම මේ වෙලාවේ එච්චර වියදමක් කරන්න ඕනිද කියන ප්‍රශ්නේ රටේ රාළට නං තියනවා. ඒත් ඉතින් රටේ රාළට නොදැනුන ජාතික අභිමානයක් ජනාධිපතිතුමාට දැනුනද දන්නේ නෑ.

කොහොම උනත් දැන් ඒකත් ඉවරයි. ඒත් ඒ එක්ක බැදුනු තවමත් ඉවර නොවුන ප්‍රශ්නයක් තියනවා. ඇත්තටම ඒක ජාතිකව වගේම ජාත්‍යන්තරවත් කතා බහට ලක්වෙලා තියන මාතෘකාවක්.  

ඔයාලා දන්නවා පහුගිය නිදහස් සමරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වර්ජනය කළා. සාමාන්‍යයෙන් විපක්ෂ නායකයා රාජ්‍ය උත්සවයක් වර්ජනය කරනවා කියන්නේ ටිකක් බරපතල සිද්ධියක්. විශේෂයෙන්ම නිදහස් දිනය වගේ එකක්.

හැබැයි විපක්ෂ නායකයාගේ වර්ජනයට වැඩිය අද අවධානය යොමු වෙලා තියෙන්නේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් නිදහස් සමරුව වර්ජනය කිරීම.

අපේ රටේ සමස්ථ කතෝලික ප්‍රජාවේම අනන්‍යතාවය පිලිබිඹු කරන්නේ කතෝලික සභාවෙන්. ඒකත් එක්ක බැදුණු චේන් එකකට තමයි අපේ රටේ සහෝදර කතෝලික ප්‍රජාව ගැට ගැහිලා තියෙන්නේ. ඒ කතෝලික සභාවේ මූලිකයා තමයි අගරදගුරු.

ලෝකය පුරාම ක්‍රිස්තියානි භක්තියයන් විසිරිලා ඉන්නවා. ඒ හැම රටකම අගරදගුරුතුමෙක් ඉන්නවා.එයාලා සියලු දෙනාම පාප් වහන්සේගේ මූලිකත්වයෙන් අර වගේම චේන් එකකින් එකිනෙකාට සම්බන්ධයි. සමස්ථ කිතුණු ප්‍රජාව කියන්නේ එහෙම ජාතික හා ජාත්‍යන්තර දැලකින් එකිනෙකට ගැට ගැහිලා තියන සමකාමී ආගමික කණ්ඩායමක්.

එයාලා විවිධ ජාතීන්ට අයත් වෙන්න පුළුවන්. ශ්‍රී ලාංකීය කිතුණුවන් කියන්නේ අපට ඉතා සමීප ලෙන්ගතු කණ්ඩායමක්. හැම වෙලාවෙම ජාතික අභිලාශයන් නියෝජනය කරපු ජන කොට්ඨාශයක්.




කොහොම උනත් අද ඒ කිතුණු ප්‍රජාව රාජපක්ෂවරු එක්ක ලොකු ආරවුලක පැටලිලා. අද ආණ්ඩුවට එරෙහිව දෙපයින් හිටගෙන අරගල කරන එක ප්‍රධාන කණ්ඩායමක් බවට කතෝලික ප්‍රජාව පත්වෙලා. සමස්ථ ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව වෙනුවෙන් නිදහස් සමරු උත්සවයක් වර්ජනය කරලා අගරදගුරු හිමියන් දැන් රාජපක්ෂලාගේ කනට එකක් ගහලා ඉවරයි.

 


ඇත්තටම ඒක ආණ්ඩුව දිය යුතුම කනේ පාරක්. එක නිසා නිදහස් සමරු රාජ්‍ය උත්සවය වර්ජනය කිරීමට අගරදගුරු හිමියන් ගත් තීරණය රටේ රාළ නං අත් දෙකම උස්සලා අනුමත කරනවා.

ගිය පාර ජනාධිපතිතුමාගේ නිදහස් දින කතාවෙන් කිව්වේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ කරනවා කියලා. හැබැයි ඊට අවුරුද්දකට පස්සේ බලනකොට ඒ පැත්තට එක පිරවරක්වත් තියන්න රාජපක්ෂලාටත් බැරි වෙලා.

ඒ වෙනුවට වෙලා තියෙන්නේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තවත් බෝම්බයක් එක්ක ගැට ගැහුණු සැකමුසු කතාවක් කිතුණු ප්‍රජාව ඉස්සරහා නිර්මාණය වීමයි. ඒක හරියට ලිහන්න තවමත් පොළීසිය මැදිහත් වෙලා නෑ.

දැන් දවස් 1000 කට වඩා වැඩි කාලයක ඉදන් යුක්තිය ඉල්ලන පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න බැරි උන රාජපක්ෂලා තමන්ගේ ගජ මිතුරන් වෙනුවෙන් කිසිම ලැජ්ජාවක් නැතිව නීතිය නමමින් ඉන්නවා.

අද ඒක කිතුණු ප්‍රජාව ප්‍රශ්න කරන්න පටන් අරන්.



පාස්කු ප්‍රහාරය හමුවේ ඇත්තටම කිතුණුවන්ට ජාත්‍යන්තරයට යෑම හැර වෙන උත්තරයක් නැති තැනට මෙයාලා ප්‍රශ්නය තල්ලු කරලා. එයාලා අද කියන්නේ ජාත්‍යන්තරට යෑමෙන් හැර මේ රටේ තුලින් නම් යුක්තිය ඉෂ්ඨ කරගන්න බෑ කියලයි.




කොහොම උනත් නිදහස් සමරුව වර්ජනය කරලා රාජපක්ෂලාට එක කනේ පාරක් ගහලා අගරදගුරු හිමියන් නිකං හිටියේ නෑ. නිදහස් සමරුව පවත්වෙන වේලේම කොළඹ අපරාධ කොට්ඨාසයශයට ගිහින් දෙවෙනි කනේ පහරත් ගැහුවා. ඇත්තටම එතුමා බලන්න ගියේ CCD බාරයේ තියාගෙන ඉන්න පොලීසිය විසින් බෝම්බයක් තිබ්බාය කියලා හදුන්වපු සැකකරුව.

අර සරත් වීරසේකර කිව්ව බෝම්බයේ කිල්ප් එක ඇදලා හඳුන්කූරු ගහලා පිපිරෙන්න සෙට් කළා කියන සැකකරුව. අර එයාගේ කාමරයේ තිබුණ ගිනි පෙට්ටියේ කූරු 15 ක් අඩුවෙලා තියනවා කිව්වේ මෙයා ගැන තමයි. හැබැයි පොළිසියට එයා එහෙම කෙනෙක් උනාට කතෝලික සභාව වගේම රදගුරු හිමියන් එයාට සළකන්නේ වීරයෙක් විදිහට. ඒ බෝම්බය හොයාගෙන, පල්ලිය දැනුවත් කරලා වෙන්න ගිය මහා විනාශය වලක්වා ගත්ත වීරයා විදිහට.

ඒ බව අගරදගුරු හිමියන්ගේ ප්‍රකාශයෙක් CCD එක ළගදී කිව්වා. ඒ කතාවට අනුව පොළීසිය මේ හිර කරගෙනම ඉන්නේ අහිංසකයෙක්. කතෝලික සභාව කියන්නේ ඒ පුද්ගලයාට නීතියේ රැකවරණය නැති කරලා කියලා. නීතියේ නිදහස ඒ මුණී කියන පුද්ගලයාට නෑ කියලා. ඇත්තටම අගරදගුරු හිමියන්ගේ CCD ගමනෙන් බොරැල්ලේ බෝම්බය සම්බන්ධ පොළිස් පරීක්ෂණ උඩු යටිකුරු කරලා තියනවා.


 

කතෝලික සභාවේ ප්‍රකාශවලින් පොලිස් පරීක්ෂණවල නිවැරදිතාව ප්‍රශ්න කරන්න පටන් අරන්. එදා කතෝලික සභාව මේ ආණ්ඩුවට චෝදනා කළේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනා එල්ල වෙලා ඉන්න මෛත්‍රීව ආරක්ෂා කරනවා කියලා. හැබැයි අද වෙනකොටම මෛත්‍රීට එල්ල කරන චොදනාව ද්වීතික එකක් වෙලා. අද එයාලා පස්කු ප්‍රහාරය සම්බන්ධව කියන්නේ මුස්ලිම් අන්තවාදීන් යොදාගෙන බලය ලබා ගැනීම වෙනුවෙන් කරපු දේශපාලන මෙහෙයුමක් කියලා.


ඒක එහෙම නං මෛත්‍රීට මෙතෙක් එල්ල කරපු චෝදනාව බල රහිත වෙනවා. මොකද මෛත්‍රී තමයි එතකොට බලයේ හිටියේ. බලය ගන්න මෛත්‍රීට උවමනාවක් තිබුණේ නෑ. මෛත්‍රීට තිබුණා නම් තිබුණේ බලය රැක ගැනීමේ උවමනාව. හැබැයි ඒකට මේ වගේ ප්‍රහාරයක් හිතාමතා එල්ල කරගනී කියලා හිතන්න බෑ. එතකොට වෙන්නේ බලය ගිලිහීම.



තමන් ප්‍රහාරය ගැන දැනුවත් නෑ කියලා මෛත්‍රී අවසානයට කරපු අන්තර් ජාල සාකච්ඡාවකදීත් කියලා තිබුණා. ඒත් මෛත්‍රී ඒක අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න ඕනි. එහෙම නං එතකොට බලය අවශ්‍ය වෙලා හිටපු කණ්ඩායම දෙසට තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. ඇත්තටම බලය අවශ්‍යව හිටියේ රාජපක්ෂවරු.



පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණ සහරාන්ට පඩි ගෙව්ව බව අගමැති මහින්ද ගැටඹේ පන්සලේ හාමුදුරුවෝ ඉස්සරහා පිලිගත්තවා. ඒ වගේම මේ ප්‍රහාරය ගැන මහින්ද දැනගෙන හිටියා, ඒ ගැන මහින්දගේ ආරක්ෂකයන් දැනගෙන හිටියා කියලා විමල් මහින්දවත් තියාගෙන මාධ්‍ය ඉස්සරහා ලිපියක් පවා කියෙව්වා.

දැන් බොරැල්ලේ සිද්ධස්ථානය බෝම්බ නාට්ටියක් බව සිරිල් ගාමිණී පියතුමා කියලා තියනවා. එහෙනම් උන් වහන්සේ මේ චෝදනා කරන්නේ මේ ආණ්ඩුවට.

සිරිල් ගාමිණී පියතුමා කියන සොනික් කියන පුද්ගලයා කවුද කියලා තවම ආණ්ඩුව උත්තර දීලා නෑ. සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශවලට අනුව මේ පරීක්ෂණවලදී CID අත්තඩංගුවට ගත්ත සොනික් කියන පුද්ගලයා හමුදා බුද්ධි අංශ මැදිහත් වෙලා අරන් ගිහිල්ලා තියනවා. ඇයි ඒ? කවූද ඒ? කෝ දැන් එයා?

ඇත්තටම සිරිල් ගාමිණී පියතුමා කියන්නේ ඇත්ත නම් එතන ප්‍රශ්නය තියනවා. එයාලා චෝදනා කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවට අනුව ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියලයි.

ඇත්තටම මෙතන දැන් සැකයක් තියනවා. යහපාලන ආණ්ඩුව නං පාස්කු බෝම්බයට වගකියන්න ඕනි. ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න රාජපක්ෂලා මෙච්ච බය ඇයි? අනික මෙච්චර අපකීර්තියක් විදගෙන රාජපක්ෂලා මෛත්‍රීව ආරක්ෂා කරයිද? 74 වෙනි නිදහස් සමරුව වර්ජනය කරමින් අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් නැවත වරක් ලාංකික සමාජය වෙත ඒ ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් කරලා තියනවා. දැන් උත්තර දෙන්න තියෙන්නේ රාජපක්ෂලාට.දැන් උත්තර දෙන්න පරක්කු උනා වැඩිද කියලත් හිතනවා.



එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට,
රටේ රාළ

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්