රටක ජනාධිපතිධුරය කියන්නේ බොහෝම වගකීම් සහගත තනතුරක්. අපේ රටේ නම් පළමුවෙනි පුරවැසියා ජනාධිපති.
විධායක ජනාධිපතිධූරය ගැන රටේ රාළට තියෙන විවේචනය ටිකකට පැත්තකින් තියලා කතා කොලොත් විධායක ජනාධිපතිධූරය කියන මෙවලම හරියට ආයෝජනය කළා නං මාර වැඩක් කරන්න පුළුවන් කියලා සමහරු කියනවනේ. මේ රටට ගොඩක් වැඩ කරන්න පුළුවන් කියලා කියනවනේ.
හැබැයි එහෙම ආයෝජනය කරපු කෙනෙක් අපේ රටේ විධායක ජනාධිපති ඉතිහාසයේම හිටලා නෑ. හැම කෙනාම එතෙන්ට එනකං නං මාර මානව ප්‍රේමියෝ. ආවට පස්සේ තමයි යකා වෙන්නේ.
ඒ නිසා අපේ රටේ ජනතාවට කවදාවත් සැබෑ නොවුණ සිහින ජනාධිපති කෙනෙක් ඉන්නවා. එයා තවම හම්බ වෙලා නැති නිසා හැමදාම දියසෙන් කෙනෙක් ගැන අපි සිහින මවනවා. එහෙම සිහිනයක් ජනතාවට තියෙන නිසා හැමදාම දියසෙන්ලා ටිකක් ජනාධිපතිවරණයක් ඉවර වෙලා ටික කාලයකින් බිහිවෙනවා.
දැන් බැසිල් දියසෙන්, නාමල් දියසෙන් ආණ්ඩුව පැත්තෙන් ඉන්නවා. විපක්ෂ පැත්තෙන් සජිත් දියසෙන්, අනුර දියසෙන් එක්ක දියසෙන්ලා විස්සක් විතර ඉන්නවා.
කොහොම හරි ජනාධිපතිවරණය ආපු ගමන් අපේ රටේ මිනිස්සු කරන්නේ ලෝකේ කොහේ හරි ඉන්න, නැත්තං හිටපු නමක් තියන ජනාධිපති කෙනෙක් ගෙනෙල්ලා අර දියසෙන්ට පූට්ටු කරලා ඡන්දය ඉවර වෙනකං සිහින මව මවා ජොලියේ ඉන්නවා. හැබැයි අපේ මිනිස්සුන්ට තවමත් හිතන්න බෑ එහෙම ඇත්ත මිනිහෙක් මේ පඬරැල්වලින් හදන්න බෑ කියලා. ඇත්තටම එහෙම හදන්න පුළුවන් ඔය කියන නායකයෙකගේ මපට් එකක් විතරයි.
ඒකට ඉතින් ලෝකේ ඉන්න එක එක වර්ගයේ බඩු ඡන්ද කාලෙට මෙහේට import කරනවා. මෙහේ පට්ට ධනවාදියා ලෝකේ ඉන්න පට්ට සමාජවාදියාට අන්ඳනවා. චේ ගෙනත් මෙහේ පචේලාට අන්ඳනවා. බලන්නකෝ ඡන්ද කාලෙට නෙල්සන් මැන්ඩෙලා, පිදෙල් කස්ත්‍රෝ, චේ ගුවේරා, පුටින්. මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ, මාවෝලා ඔක්කොම ඉන්නේ මෙහේ.
හැබැයි ඡන්දය ඉවර උන ගමන් අපේ හාදයා පිස්සු කෙලින්න පටන් ගන්නවා. ඊට පස්සේ අපේ මිනිස්සු අර ආරූඩයෙන් මිදිලා ඒ මිනිහට අම්මමෝ නැතිව අවුරුදු පහක් බනිනවා. පහුගිය කාලේ අපි හොයාගත්ත පුටින්ට, ලී ක්වාන් යූට, මහතීර්ට උනෙත් ඒක.
ඇත්තටම විධායක ජනාධිපති ධූරය ගැන හිතුවට පස්සේ අපේ රටේ මේ දක්වා සාර්ථක ජනාධිපතිවරයෙක් නං හිටලම නෑ. ඔක්කොම හිටලා තියෙන්නේ අසාර්ථක ජනාධිපතිවරු. දැන් ෆයිට් එක තියෙන්නේ අසාර්ථකම ජනාධිපති වෙන්නේ කවුද කියලා.
දැනට තියන ප්‍රතිඵල අනුව නං අපේ වර්තමාන ජනාධිපතිතුමා තමයි ඒ තැනට ළගා වෙලා ඉන්නේ. මේ අවුරුදු තුනත් ගියහම ඒකේ තවත් හොද progress එකක් තියෙයි. අනාගතයේදී එන ජනාධිපති උත්තමයෙක් ඒ record එක කැඩුවොත් තමයි.
ඒකට එක හේතුවක් තමයි එතුමාම කියන විදිහට එතුමාට තියෙන අඩු දේශපාලන අද්දැකීම. හැබැයි දේශපාලන අද්දැකීම් නැති උනත් ජනාධිපති තුමා තමන්ගේ මොලේ පාවිච්චි කරලා වැඩ කලා නම් එතුමාටත් මේ රටට යමක් කරන්න තිබුනා. තවමත් ඉඩ තියනවා.
නිකං බොරුවට මම ඉස්සරහා අවුරුදු තුනේ රටට දුන්න පොරොන්දු ඔක්කොම ඉෂ්ඨ කරනවා කියලා කියකියා හිටලා නං වැඩක් නෑ. ජනාධිපතිතුමා කොහොම කිව්වත් මේ රටේ ජනතාව දැන් දන්නවා ඒවා එතුමාට කරන්න බෑ කියලා.
කරනවා නං දැන් සෞභාග්‍යයේ දැක්ම තියෙන්න ඕනි එතුමා අතේ. ඒකට ඉළක්ක සහගත කාල සටහනක් හදලා තියෙන්න ඕනි. වැඩේ දැන් පටන් අරන් තියෙන්න ඕනි. ඒක ගැන පසු විපරම සිද්ධ වෙමින් තියෙන්න ඕනි.
හැබැයි එහෙම එකක් තවම නං වෙනවා නෙවෙයි වෙන පාටක්වත් පේන්න නෑ.
ගෝඨාභය 'යන්ඩ ජනාධිපති' කළ පවුලේ 'වෙන්ඩ ජනාධිපතිලා'
දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ආණ්ඩුව ඇතුළේ යන්ඩ ජනාධිපති කෙනෙක් වෙලා ඉවරයි. ගෝඨාභය ජනාධිපතිතුමාට එහෙම වෙන්නේ මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න වෙන්ඩ ජනාධිපතිලා හින්දයි. සෞභාග්‍යයේ දැක්ම අවම මට්ටමින් හරි ක්‍රියාත්මක නොවීමට එක ප්‍රධාන හේතුවක් තමයි ආණ්ඩුව ඇතුළේ ඉන්න වෙන්ඩ ජනාධිපතිලා. වෙන්ඩ ජනාධිපතිලා අතර ප්‍රමුඛයා බැසිල්. ඊළඟට ඒ තරගයේ නාමලුත් ඉන්නවා.
සමහරවිට නාමල් තරගයට දැන්මම එන්න හිතන්න නෑ. නාමල් හිතාගෙන ඉන්න ඇත්තේ බාප්පිලාගේ ඇවෑමෙන් රජවෙන්න.හැබැයි දැන් මහින්ද - ශිරන්ති යුවලට දැනෙන්නේ නාමල්ට එහෙම හිටියොත් කවදාවත් රජ වෙන්න බෑ කියලා. එහෙම උනොත් කවදාවත් නාමල පිපෙන්නේ නෑ. පොහොට්ටුව ඇතුලෙදීම නා පොහොට්ටුව විනාශ කරලා දානවා.
ඒ අවධානම නිසා නාමල්ටත් දැන් කිරුළ වෙනුවෙන් සටන් කරන්න වෙලා. තව ටික කාලයක් මහින්ද සක්‍රීය දේශපාලනයේ හිටියොත් ඒ කිරුළ අයිති කරගන්න පුලුවන් කියලා නාමල්ට හිතෙනවා ඇති. රටේ රාළට නං ඒ ගැන තියෙන්නේ 40% ක විශ්වාසයක්. බැසිල්ට 60% ක චාන්ස් එකක් තවමත් තියනවා. ඒ කියන්නේ දිනන්න නෙවෙයි පොහොට්ටුවේ බලය අල්ලගන්න.
ජනාධිපතිතුමාගේ භූමිකාව ?
කොහොම හරි දැන් පොහොට්ටුව ඇතුළේ සටන ක්‍රියාත්මකයි. රටේ රාළ ඊයේ ඒ ගැන කතා කලා. අද රටේ රාළ ඒ ගැන කතා කරන්නේ නෑ. අද කතා කරන්නේ ඒ සටන ඉස්සරහා ජනාධිපතිතුමාගේ භූමිකාව මොකද්ද කියන එක.
මෙතනදී ජනාධිපතිතුමාට කරන්න වැඩ තුනක් තියනවා. පළවෙනි එක තමයි ඔය කදවුරු දෙකටම කොටු නොවී ඔය කදවුරු දෙකම පාවිච්චි කරගෙන තමන් රටේ ජනතාවට දුන්න පොරොන්දුව ඉෂ්ඨ කරන එක. නැත්තනම් ඉතින් බැසිල්ගේ හරි නාමල්ගේ හරි කදවුරේ ඉත්තෙක් වීම. මේ කාරණා තුනෙන් ජනාධිපතිතුමා තෝරගන්න ඕනි පළවෙනි එක කියලා විවාදයක් නෑ.
ඒත් තවමත් වෙලා නැත්තෙත් ඒක. ඒ වගේම අර කදවුරු දෙකේ කොයිකකවත් සෘජු ඉත්තෙක් බවට තවමත් එතුමා තවම පත්වෙලා නෑ. ඒකත් කියන්න ඕනි. හැබැයි විටින්විට ඒ කදවුරු දෙකේ උගුල්වලට පය තියන බව නම් පේනවා.
මෙතනදී කවුරුත් හරි කියයි බැසිල් ජනාධිපතිතුමා ඉත්තෙක් කරගෙන ඉවරයි කියලා. ඒකටත් හේතුවක් තියනවා. ඒ පොහොට්ටුව ඇතුළේ බැසිල් තහවුරු කරගෙන තියන බලයේ පංගුව නිසයි. පොහොට්ටුවේ යාන්ත්‍රණයෙන් 90% ක් තියෙන්නේ බැසිල් අතේ. මතවාදීමය වශයෙන් පොහොට්ටුවේ තියෙන්නේ බැසිල්ගේ මතය. මේවා එක්ක හිතද්දී අවම වශයෙන් පොහොට්ටුවේ 70% ක විතර බලයක් බැසිල් තහවුරු කරගෙන තියනවා.
ඒ වගේම තමයි බැසිල් හරහා තමයි ඇමරිකන් ඉන්දියන් උපායමාර්ගික සැලැස්ම අපේ රට ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. එතනදී නම් ජනාධිපතිවරයා බොහොම දැනුවත්ව බැසිල්ගේ ස්ථාවරයේ ඉන්න බව පේනවා. ඒක බැසිල්ගේ උගුල්වලට පය තැබීමක් නෙවෙයි. ඒක එතුමගෙත් ස්ථාවරය.
විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩු ඇතුළේ මහින්ද අනුගමනය කරපු චීන ගැති ආර්ථික ප්‍රතිපත්තිය දැන් ටික ටික ක්ෂය වෙමින් බැසිල්ගේ ඇමරිකන් ඉන්දියන් ගැති ආර්ථික ක්‍රමයට මාරු කරමින් තියනවා. හැබැයි චීනයට තවම විශ්වාසී මිනිහා මහින්ද. මහින්ද ඒ චීන ලව් එක උපක්රමිකව නාමල්ට හරවයි.
කොහොම උනත් බැසිල්ගේ හා ගෝඨාභයගේ ආර්ථික මෙහෙයුම ගොඩක් දුරට සමානයි. ඒ නිසාම අවසානයේ ගෝඨාභය බැසිල් ජනාධිපති කරන්න ඕනි කියන තැනට තල්ලු වෙන්න පුළුවන්. ඒකට ජනාධිපතිතුමාගේ පෞද්ගලික කැමැත්තට වඩා බටහිර තීරණය වැදගත් වෙයි.
රටේ රාළ බැසිල් හා ජනාධිපතිතුමාගේ ස්ථාවරයන් සමානවීම් උගුල් විදිහට සලකන්නේ නෑ.
අවසාන වශයෙන් බැසිල් ගෝඨාභයට ඇටවපු උගුල මොකද්ද කියලා කවුරු හරි රටේ රාළගෙන් ඇහුවොත් රටේ රාළට නං කියන්න තියෙන්නේ සල්ගාදු රැළිය කියලා. ඒ රැලියෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආයෙත් අපේ රටේ ජනාධිපති අපේක්ෂකයෙක් නොවෙන බව බැසිල් ස්ථිර කළා. ගෝඨාභයට තිබුණ අවසන් දොරත් බැසිල් සල්ගාදු පිටියේදී වහලා දැම්මා.
ඒක නිසා ගෝඨාභය ජනාධිපතිතුමා පරිණත කෙනෙක් නං දැනවත් මේ කදවුරු දෙකටම කොටු නොවී ජනතාව වෙනුවෙන් කරන සටන ඉදිරියට ගන්න ඕනි. මොකද ගෝඨාභය දුන්න එක පොරොන්දුවක්වත් තවම ඉෂ්ඨ වෙලා නෑ. ඒක අවංකවම එතුමා පිලිගන්න ඕනි. ඒක තේරුම් ගන්න නං හරියට ඔළුවට සිහිය සැපත් කරගන්න ඕනි.
ඒකට නං කරන්න තියෙන්නේ අර කණ්ඩායම් දෙක විසින් ජනාධිපතිතුමාගේ ඔළුව හදන්න එතුමා වටේ තියලා ඉන්න කේවට්ටයෝ ටික හරියට හදුනා ගෙන එයාලගෙන් බේරීමයි.
ඒත් ඒක කරන්න ගෝඨාභය ජනාධිපතිවරයාට පුළුවන් වෙයි කියලා රටේ රාළට නං ශත පහක ෂුවර් එකක් නෑ.
ඇත්තටම ජනාධිපති ගෝඨාභය කියන්නෙත් ජනාධිපතිලා අන්ඳන්න හදපු විධායක මෆියාව ඇතුළේ අතමං වෙලා ඉන්න තවත් ජනාධිපති කෙනෙක් විතරයි.
අයියෝ එහෙම අපරාධයක්.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.
මීට
රටේ රාළ
(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)