යුක්‍රේන - රුසියා ගැටුම ලෝක මට්ටමේ ඛේදවාචකයක් බවට පත් වෙලා ඉවරයි.



දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ වැඩිම ජනකොටසක් සරණාගතයෝ බවට පත්කළ අවස්ථාව මේක. ජීවිත බේරගන්න පැනලා ඇවිත් සරණාගත තත්වයට පත් උනාට පස්සේ ගොඩක් අයට හිතෙන්නේ මැරුණා නම් ඊට වඩා හොදයි කියලා.

ඇත්තටම මාධ්‍යවල පෙන්නන ඔය සැලකිලි එයාලට නෑ. ඔයාලට මතක ඇති සිරියාවේ සරණාගතයින්ට කොහොමද ඔය යුරෝපයේ කට්ටිය සැලකුවේ කියලා.
දැන් පෝලන්තයට මේක දරා ගන්න බෑ. පෝලන්තයට වඩා මහ බලගතු එංගලන්තයත් තවම යුක්‍රේන සරණාගතයන්ගෙන් පන්දාහක් බාර අරගෙන නෑ.

දැනට පෝලන්තයේ විතරක් යුක්‍රේන සරණාගතයන් ලක්ෂ 16 කට වැඩිය ඉන්නවා.

Redrow founder vows to pay for 1,000 Ukraine refugees to come to UK |  Ukraine | The Guardian

ඊළඟට රටේ රාළට එන තොරතුරුවලට අනුව නං මරණ සංඛ්‍යාව මීට වඩා ගොඩක් වැඩී. තුවාල වෙන ගාන මරණ සංඛ්‍යාව වගේ තුන් හතර ගුණයක්.

කොහොම උනත්, කොතන උනත්, කාට එරෙහිව උනත් යුද්ධය ම්ලේඡයි. යුද්ධයෙන් කාටවත් ජයග්‍රහණයක් නං අත් වෙන්නේ නෑ. ජයග්‍රහණ අස්සේ උනත් තියෙන්නේ පරාජය.

කොහොම උනත් ප්‍රශ්නය යුද්ධය දක්වා වර්ධනය උනාට පස්සෙ යුද්ධය ඇතුළේ සදාචාරයක් හොයන්න බෑ.

සෙර්වියර් වගේ ෆිල්ම් එකක යුද්ධයේ කුරිරුකම ඉතාමත් හොඳට පෙන්නනවා. යුද්ධය ඇතුළේ උනත් මනුෂකම මතුවෙන හැටිත් ඉතාමත් තාත්විකව පෙන්නනවා. ඒක යුද්ධයට අපි සජීවීව ගෙනියන චිත්‍රපටියක්.

ඒකේ අතාත්වික දේකට තියෙන්නේ ඒ මනුස්සකම තියන අය ඔක්කොම ඇමරිකන්කාරයෝ වීම විතරයි. ඒ තමයි බටහිර ප්‍රචාරක යාන්ත්‍රණය හැම ක්ෂේත්‍රයක් ආක්‍රමණය කරලා තියන විදිහ. ඒකෙන් රටේ රාළ කියන්න හදන්නේ ඇමරිකන්කාරයෝ ඔක්කොම අමනුෂ්‍යයෝ කියලා නෙවෙයි.

 

දැන් අපි ඔරජිනල් ඇමරිකන්කාරයොයි, ඩුබ්ලිකේට් ඇමරිකන්කාරයොයි දෙගොල්ලොම දැකලා තියනවා. ඒක නිසා එකක් තේරෙනවා ඇමරිකන්කාරයෝ කියනදේට වඩා යථාර්ථය ගොඩක් දුරයි කියලා. හොදම උදාහරණය බැසිල්.

 

ඒක වෙනම කතාවක්. අපි කතා කළේ යුක්‍රේන - රුසියා යුද්දේ ගැන. ඇත්තටම කරන්න ඕනි ප්‍රශ්නය යුද්ධය දක්වා වර්ධනය වෙන්න නොදී නතර කරගන්න එක. නැත්තං ඔය කදුළු වලට මොකුත් හම්බ වෙන්නේ නෑ. බටහිර කරන්නේ වෛරය වපුර, වපුර යුද්ධ කරපන් කියලා ආයුධ දෙන එක විතරයි.

විශේෂයෙන්ම රටවල් දෙකක් අතර නිර්මාණ වෙන යුද්ධයක් වළක්වා ගන්නට තියන හොදම ක්‍රමය තමයි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම වේදය.

හැබැයි මේ මොන ක්‍රමවේදය භාවිතා කළත් අන්තිමට යුද්ධය එනවා. ඒකට ඒ රට අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තියත් බලපානවා. විශේෂයෙන්ම මෙතනදී කලාපීය ආරක්ෂාව කියන සාධකය වැදගත්. රටක රාජ්‍ය නායකයෙකුට තමන්ගේ රටේ ආරක්ෂාව ගැන හිතනවා වගේම තමන් ගන්න තීරණ කලාපීය ආරක්ෂාවට කොහොමද බලපාන්නේ කියලත් හිතන්න වෙනවා.

මොකද මේ බහු ධ්‍රැවීය ලෝකයේ බලතුලනය දැන් හරි වෙනස්. දැන් ලෝක බලවතුන්ට අමතරව කලාපීය වශයෙනුත් බලවතුන් නිර්මාණය වෙලා ඉන්නවා.

යුක්‍රේන තියෙන්නේ එහෙම කලාපයක තියෙන සුවිශේෂී පිහිටීමක් සහිත රටක්. ඒ වගේම එකිනෙකාට විරුද්ධ ලෝක බලවතුන් දෙන්නෙක් අතර මැද පිහිටපු රටක්. එක පැත්තකින් නේටෝව. අනිත් පැත්තෙන් රුසියාව. මේ දෙපැත්තේම අවශ්‍යතාවයන්ට එකිනෙකට ප්‍රති විරුද්ධයි.

 

දැන් කාටහරි අහන්න පුළුවන් යුක්‍රේන ජනතාවගේ බහුතරය නේටෝ සාමාජිකත්වය ගන්න කැමති නම් රුසියාවට තියන අමාරුව මොකද්ද කියලා. නෑ ඒ ප්‍රශ්නය එහෙම නෙවෙයි අන්න ඕනි. යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ගැනීම රුසියාවට කොහොමද බලපාන්නේ කියලයි අහන්න ඕනි.

 

නේටෝව කියන්නේ රුසියාවට මාරාන්තික ප්‍රශ්නයක්. ඒකෙන් රුසියාව නේටෝ මිසයිල පරාසය ඇතුලට වැටෙනවා. ඒක නිසා එක ජනවරමක් නෙවෙයි ජනවරම් දහයක් තිබුණත් යුක්‍රේනය නේටෝවේ සාමාජිකත්වය ගන්න ඉස්සෙල්ලා රුසියාව ඇක්ෂන් එකක් ගන්නවා.

2014 දීත් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළැ. ඒත් ඔය ප්‍රශ්නයටම තමයි. ඒ අද්දැකීම සෙලෙන්ස්කිට තියනවා. ඒක නිසා කවුරු පුටින් වැරදිකාරයෙක් කලත් රුසියාවට සාපේක්ෂව ඒ තීරණය පුටින් ගන්න එක නවත්තන්න බෑ. රුසියාවට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.


සිරිමාවෝ ගේ විදේශ ප්‍රතිපත්තිය උනේ නොබැදි පිලිවෙත...

non aligned movement conference 1976 Colombo Sri Lanka - YouTube

මේක තේරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණ කීපයක් අපේ රටේ තියනවා. දේශපාලන වශයෙන් මොන විවේචනය තිබුණත් එදා මෙදා තුර මේ රටේ හොදම විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කළේ අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක. එතුමියගේ විදේශ ප්‍රතිපත්තිය උනේ නොබැදි පිලිවෙත.

එදා මාෂල් ටිටෝලා එක්ක කරට කර සිටින් සිරිමාවෝ නොබැදි පිලිවෙත ලෝකය ඇතුළේ ශක්තිමත් කළා. එදා ලෝකය කියන්නේ අද වගේ බහු ධ්‍රැවීය ලෝකයක් නෙවෙයි. එදා තිබුණේ ද්වි ධ්‍රැවීය ලෝකයක්. ලෝකේ ඇමරිකන් කදවුර හා සෝවියට් කදවුර කියලා කදවුරු දෙකයි තිබුනේ.

මේ කදවුරු දෙකට ගැති නැතිව හිටපු නොබැදි සමුළුව තිබුණා. එදා අපේ අසල්වැසි ඉන්දියාව හිටියේ සෝවියට් කදවුරේ බරව. එක නිසා ඉන්දියාවට ඇමරිකාව එක්ක ලොකු ඇරියස් එකක් තිබුණා. හැබැයි සිරිමාවෝ මේ තත්වය ඉස්සරහා අති විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික බවක් පෙන්නුවා.

එදා ඉන්දියාව ශ්‍රී ලංකාවට දැක්වූයේ ගෞරවයක්. එදත් ශ්‍රී ලංකාවට අද තියෙන භූ දේශපාලන වටිනාකම ඒ විදිහටම තිබුණා. එදත් අපි පිහිටලා තිබුණේ මෙතනම තමයි. එදාත් බටහිර සහ නැගෙනහිරට යන්න තිබුණ දොරටුව මෙතන තමයි. එදත් ත්‍රිකුණාමලයට, මන්නාරමට, පූනරීන්වලට. සාම්පූර්වලට ඔය වටිනාකමම තිබුණා.

අද ඉන්දියාව එක එක විදිහට උදුර ගන්න හදන උතුරේ දුපත් ඔය විදිහටම තිබුණා. සමහර ඒවට එදා ඉන්දියාව අයිතිවාසිකම් කිව්වා. අපේ මුහුදට එදා ඉන්දියාව අයිතිවාසිකම් කිව්වා.

 

හැබැයි මේ හැම දෙයක්ම රාජ්‍ය තාන්ත්‍රිකව විසදන්න එදා සිරිමාවෝට පුළුවන් උනා. ඇත්තටම ගොඩක් ප්‍රශ්නවල වැඩි වාසිය අපට එන විදිහට විසද ගත්තා. සිරිමාවෝගේ නොබැදි පිලිවෙතට ඉන්දියාව ගරු කළා. ඉන්දියාව විතරක් නෙවෙයි මුළු ලෝකයම ගරු කළා.

 

හැබැයි 1977 දී බලය ජේආර් අතට ගියාට පස්සේ තත්වය සහමුලින්ම වෙනස් උනා. ජේආර් කියන්නේ ඇමරිකන් ගැත්තෙක්. යැංකි ඩීකී කියලා කිව්වේ ජේආර්ට. හැබැයි ජේආර් බැසිල් වගේ ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි.

කොහොම හරි ජේආර් ගෙනිච්චේ ඇමරිකන් ගැති පිලිවෙතක්. ඒක ඉන්දියාව ඉවසුවේ නෑ. ජේආර් හරහා මේ එන්නේ ඉන්දියාවට තර්ජනයක් කියලා ඉන්දියාව සැලකුවා. ඒක නිසා ඉන්දියාව එදා පටන් අපිව අඩපන කරන්න මැදිහත් උනා. ඉන්දියාව ඒකට නිල නොවන වගේම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමත් පාවිච්චි කලා.

ඒ වෙනකොට අපේ රටේ වෙනම රාජ්‍යයක් ඉල්ලමින් හිටිය දෙමළ තරුණයන්ට ඉන්දියාව ආයුධ දුන්නා, ආයුධ පුහුණුව දුන්නා. සල්ලි දුන්නා. ඉන්දියාව ඇතුළේ රැකවරණය දුන්නා. ඒ විතරක් නෙවෙයි මැදිහත් වෙන්න පුළුවන් පළවෙනි වෙලාවෙම මැදිහත් වෙලා ජේආර් යටත් කළා.

 

එදා ජේආර් හිතුවා අපේ උදව්වට ඇමරිකාවේ එයි කියලා. ජේආර්ගේ හොදම යාළුවා රේගන් එයි කියලා. හැබැයි එදා ඇමරිකාව සෙලෙන්ස්කිට කරපු දේම අපටත් කළා. යුද්ධයක් උනේ නෑ. ජේආර් හතරගාතේ දාලා යටත් උනා. ඉන්දියාව අපේ ගුවන් සීමාව ආක්‍රමණය කළා. උතුරට පරිප්පු දැම්මා.

 

යටත් වෙච්චි ජේආර් පාවිච්චි කරලා රටටම ඇදිරි නීතිය දාලා ඉන්දියාව ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළා.අදත් අපේ රටේ ඒක නීතියක් බවට පත් වෙලා තියෙන්නේ එහෙමයි. ඒ ජේආර්ගේ ඇමරිකන් ගැතිකම හින්දා අපට හම්බ වෙච්ච දායාදය තමයි.

එදා ඉන්දු - ලංකා ගිවිසුමට අපි විතරක් නෙවෙයි කොටි සංවිධානයත් විරුද්ධ උනා.

ඒත් ඉන්දියාවට ශ්‍රී ලංකා හසුරුවන්න තියන උපකරණය උන ඉන්දු ලංකා ගිවිසුම අපට බලහත්කාරයෙන් පැටෙව්වා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇවිත් පලාත් සභා කියන සුදු අලියත් අපට හම්බ උනා.

එදා මෙදා තුර ලෝකය වෙනස් උනා. හැබැයි ඉන්දියාව අපට එල්ල කරන පීඩනය වෙනස් වෙලා නෑ. සෝවියට් දේශය බිද වැටුණා. ඉන්දියාව කාටත් හොර රහසේ බටහිර කදවුරට රිංගුවා. ඒ බටහිර හරි නිසා නෙවෙයි චීනයට මුහුණ දීමට ඉන්දියාවට බැරි නිසා.

 

දැන් අද අපේ රටේ බලයේ ඉන්න මේ නිවට රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව, ඇමරිකාව වගේම චීනය මේ පොලොව උඩට ගෙනත් දාගෙන අපේ රට වෙන්දේසි කරකර දෙනවා. තමන්ට කොමිස් එක හම්බ වෙනවා නං ඕනි කෙනෙකුට මේ රට පවා දෙන තුප්පහි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.

 

ඒක ඇතුළේ ඉන්දියාවට අපිට අලුතින් ගහලා අල්ලන්න දෙයක් නෑ. මේ නිවටයෝ ටික ඉන්දියාවට සියල්ල වැඳ වැඳ දෙනවා. ඒක නිසා අපට යුද්ධයක් නෑ.

හැබැයි අපටත් යුද්ධය ළගදීම එනවා. ඒ අපට ගහන යුද්ධයක් නං නෙවෙයි. අපේ භූමිය උඩ ඉදන් ලෝක බලවතුන් ගහගන්න යුද්ධයක්. අපට මැරෙන්න වෙන්නේ අනුන්ගේ යුද්ධයකට මැදි වෙලා.

ඒ අතින් හරි හෝ වැරදි යුක්‍රේනුවාට තමන්ගේ රට ආක්‍රමණය කරපු සතුරා විරුද්ධ සටන් කරලා මැරෙන්න හරි වාසනාව තියනවා. අපට ඒකත් නෑ. අපට ගහපු එකා මොකුද කියලා හොයාගන්න බැරුව තමයි මැරෙන්න වෙන්නේ.

වෙඩි තියපු එකාට වෛර කරන්නවත් වෙඩි තියපු එකා මොකාද කියලා නොදැන ඒ තත්වෙට මේ රට පත්කරපු රාජපක්ෂලාට වෛරයෙන් තමයි අපට මැරෙන්න වෙන්නේ.

යුක්‍රේනුවයි, අපියි අතර තියන වෙනස එච්චරයි. වෙනස තියෙන්නේ පුටින් ඉස්සර උනා. ඒක නිසා රාජ්‍ය නායකයාගේ වගකීම ජාතිකව විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් ගැට ගැහෙණ එකක්. සෙලෙන්ස්කිට උනේ ඒක බැලන්ස් කර ගන්න බැරි බටහිර ගැති තැනකට තල්ලු වීම.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්