අද මාර්තු 22 වෙනිදා. සර්ව පාක්ෂික සමුළුවට හරියටම තියෙන්නේ තව දවසයි.


මෛත්‍රී නං කියන්නේ මේ වෙලාවේ රට පත්වෙලා තියෙන බරපතල අර්බුදය ඉස්සරහා හැම දේශපාලන පක්ෂයක්ම ඇවිත් තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න ඕනි කියලා.

ඇත්තටම මෛත්‍රී එහෙම කියනවා ඇත්තේ බොහෝම සද්භාවයෙන් වෙන්න පුළුවන්. ඒත් ඉතින් යෝජනා ඉදිරිපත් කරන්න තියෙන්නේ රාජපක්ෂලටනේ. රටේ රාළ මෛත්‍රීගෙන් අහන්නේ කවුද දැන් රාජපක්ෂලා විශ්වාස කරන්නේ.

දැනටමත් ජාතික ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වෙන්නේ නෑ කියලා ඉවරයි. ඊට අමතරව විමල්, වාසු, ගම්මන්පිලත් සහභාගී වෙන්නත් නෑලු. හැබැයි එයාලට සුළු පක්ෂ සන්ධානයේ පක්ෂ දහයේ එකඟතාවයක් හදා ගන්න බැරිවෙලා. රතනයි, තිස්ස විතාරණයි යනවලු. සුළු පක්ෂ සන්ධානයේ කවදාවත් කෙලින් තීරණ තිබුණේ නෑ. ඔක්කොම භාග තීරණ.

සජිත්ගේ සජබෙත් සහභාගී වෙන්නේ නෑලු. ඇත්තටම සජීත්ලා කිව්ව කතාවේ හැටියට සහභාගී වෙන්නත් බෑ. එයාලා මේ ආණ්ඩුවට කල් දුන්නේ මාසයයිනේ. එහෙම කිව්වට පස්සේ කොහොමවත් ඕකට යන බෑ. ජීවන් තොන්ඩමනුත් එන්නේ නෑ කියලා තිබුණා.

රනිලුයි, දෙමළ ජාතික සන්ධානයයි තවම මොකුත් කියලා නෑ.

පෙරේදා ගම්පහ ශ්‍රීලනිප දිස්ත්‍රික් නියෝජිත සමුළුවේදීය නිමල් සිරිපාල නං කිව්වේ සර්ව පාක්ෂික සමුළුවක් ලබාගැනීමම ශ්‍රීලනිපය ලබාගත්ත විශාල ජයග්‍රහණයක් කියලා. රටේ රාළට නං නිමල් සිරිපාලට කියන්න තියෙන්නේ ලබාගත්ත ජයග්‍රහණය ආණ්ඩුව ඇතුළේම වැටිලා සාමකාමීව සමරන්න කියලා.

ඇත්තටම රටේ රාළ කියන්නේ ශ්‍රීලනිපය මේ රටේ ජනතාවගේ ජන මනස තේරුම් ගන්න ඕනි.


දැන් ආයෙත් ජන මනස ඇතුළේ රාජපක්ෂලාට ඉඩක් නෑ. දැන් ශ්‍රීලනිපය තෝරන්න ඕනි රාජපක්ෂලාගේ ගොඩටම වැටිලා තොලොංචි වෙලා යනවද, නැත්තං එළියට ඇවිත් තියනදේවත් බේරගන්නවද කියලයි. සර්ව පාක්ෂික සමුළුව නෙවෙයි මොන සමුළු තිබ්බත් දැන් රාජපක්ෂලාට ආය No Chance. දැන් රාජපක්ෂලා අවුට්.



ඇත්තටම මේ රටේ කිසිම ප්‍රශ්නයකට මෙතනින් එහාට රාජපක්ෂලා එක්ක උත්තර හොයලා වැඩක් නෑ. එහෙම උත්සහ දැරීමත් පට්ට ගොං වැඩක්. ඇත්තටම රාජපක්ෂලාට බෑ. ඒක තේරුම් ගන්න බැරි මැරිලා ඉපදිච්චි අයට තමයි. රාජපක්ෂලාට දැන් කියන්න තියෙන්නේ Go Home කියලා තමයි.

ඒක නිසා රටේ රාළ නං කියන්නේ ඔය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී උනා නොවුණා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. ඕකට වැය කරන තේ වියදමත් අපරාදේ.

රටට ගොඩදාන්න ඕකට බෑ. රටේ රාළ කැට තියලා කියනවා ඕකෙන් මේ රටට ශත පහක වැඩක් වෙන්නේ නෑ. රාජපක්ෂලා ඔය කරන්න හදන්නේ ප්‍රශ්නය කල් දාගෙන විරෝධය සමසේ බෙදා ගන්න එක.

මෙහෙම කියනකොට ශ්‍රීලනිප අපේ යාළුවෝ තරහා වෙයිද දන්නෑ. කමක් නෑ ඉතින් රටේ රාළ තරහා නෑ.

දැන් මේ රටේ දේශපාලන වශයෙන් දුර්වලම තැන ඉන්නේ රාජපක්ෂලා. එයාලටත් ඒක දැනෙනවා. ඒක රටේ රාළ පහුගිය ලිපිවල කියලා ඇති. ඒක නිසා රාජපක්ෂලා මේ දුෂ්කර කාලේ ඔළුව පාත් කරගෙනම යන්න හදන්නේ. ඇත්තටම අද රට පාලනය කරන්නේ ආණ්ඩුව නෙවෙයි, පොළිසිය. පොළිසිය නැත්තං තෙල් පොලිම්වල මිනිස්සු සිය ගානක් දැනටත් මරාගෙන.


රාජපක්ෂලා අකුලාගෙන කියන්න හොදම උදාහරණය තමයි අර සජිත්ලයි, ජවිපෙ සමාජවාදී තරුණ සංගමයයි ජනාධිපති කාර්යාලයේ ලගට ඇවිත් කරපු උද්ඝෝෂණ. රාජපක්ෂ අකුලලා නැත්ත ඔච්චර සෙල්ලමක් දාන්න දෙයිද?


ඔයාලා දන්නවනේ පහුගිය දවස්වල අර ජනාධිපති කාර්යාලය ලග උද්ඝෝෂණවලටම වෙන් කරලා තියෙන තැනවත් ඔය අප්පොහාමිලා උද්ඝෝෂණයක් කරන්න දුන්නේ නෑ. ඔයාලා හිතන්නේ මේ එකපාරට රාජපක්ෂලාට පහල උන සත්ව කරුණාවක් කියලද?

ඇත්තටම දැන් රට හැමතැනම තියෙන්නේ රාජපක්ෂ විරෝධයක්. දැක්ක තැන හූ කියනවා. සාප කරනවා. හෙන ඉල්ලනවා. නිකං හිතන්නකෝ තෙල් පෝලිම් ළග, ගෑස් පෝලිම් ළග තියන තත්වය. ඒ තැනකට රාජපක්ෂ කෙනෙක් ආවොත් මොකකින් මොකක් වෙයිද?

පහුගිය දවසක ෂෙඩ් එකක් ලග පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙකුට මිනිස්සු බැරල්වලින් ගහන පෝස්ට් එකක් දැක්කා. ඊයේ කනක හේරත්ට ඒ කියන්නේ කෑගල්ලේ ලිත්‍රො ගෑස් ලොක්කා. මිනිහටත් ගෑස් සිලින්ඩරයකින් ගහලාලු. ජනාධිපතිතුමා ජනතාවට ආචාර කරන්න වීදුරුව පාත් කරනකොට සර් දැන් සැපද කියලා අහනවා.

රටේ මෙච්චර අර්බුදයක් තියෙද්දී මහින්ද දවස් දෙකක උතුරේ සංචාරයකට ගියා. උතුරේ අම්මලා පාරට බැහැලා අතුරුදහන් උන ළමයි ඉල්ලනවා. අන්තිමට මහින්ද වදින්න ගිය නල්ලූර් කොවිලටත් නොගොහින් ගෙදර එනවා. ඇත්තටම අපරාදේ ඕවට කරන වියදම.

ඒක නිසා රට පුරාම තියෙන විරෝධය ගැන රාජපක්ෂලාට දැන් දැනිලා තියෙන්නේ. ඒ ගැන බුද්ධි අංශ වාර්තා එයාලට ඇවිත් ඇති. පහුගිය දවසක පත්තරේක තිබුණා අසංවිධානාත්මක ජනතා නැගිටීමක් උනත් වෙන්න ඉඩ තියනවා කියලා බුද්ධි අංශ වාර්තා කළා කියලා.


ඇත්තටම ඔයාලා රටේ රාළ ලිපිය දිගටම කියෙව්වා නං ඔයාලා දන්නවා රටේ රාළ ඔය අසංවිධානාත්මක ජනතා නැගිටීමක් ගැන කියන්නේ ගිය අවුරුද්දේ ඉදන්. ඇත්තටම රටේ රාළ කිව්වේ එහෙම එකකට රටේ රාළ බයයි කියලා. ඒකෙන් මහා විනාශයක් වෙන්න පුළුවන් කියලා. දැන් ටික ටික මිනිස්සු නීතිය අතට ගනිමින් ඉන්නවා.



බලන්න තෙල් පෝලිම්වල රාජපක්ෂ විරෝධය වගේම අනෙකා මරලා දාන්න තරමට ආවේගශීලී වෙච්චි මිනිස්සු ඉන්නවා. අනිකාගේ ගෑස් ටැංකි කඩා ගන්නවා. ගහ ගන්නවා. මේ තමයි රාජපක්ෂලා මේ රටට ඇති කරලා දුන්න සංස්කෘතිකය. දැන් මේ මතුවෙන විරෝධයට පහර දුන්නොත් ඒක තමයි මේ ආණ්ඩුවේ අවසානය. ඒක තැනක ගැහුවොත් මිනිස්සු තවත් ප්‍රචන්ඩ වෙනවා.

රටේ රාළ හිතෙන්නේ දැන් හමුදාවට වගේම පොළීසියටත් තත්ව තේරිලා ඇති.ඒක නිසා රාජපක්ෂගේ උපක්‍රම තමයි මේ තත්වය සමනය කරගන්නකං ෂේප් එකේ යන එක. ඒකට සර්ව පාක්ෂික සමුළු නියමයි.සාම කතා ඕනි එකකට දැන් රාජපක්ෂලා කැමතියි. ආණ්ඩුව දැන් ඇච්චෝ බැච්චෝ ගොඩක්ගේ කට වහලා තියෙන්නේ.ඉතින් ඇයි මේ තත්වය සමනය කරගන්න රාජපක්ෂලාට උදව් කරන්නේ.ඒක රටට කරන හතුරුකමක්. ශ්‍රිලනිපය ඒක තේරුම් ගන්න ඕනි.ඒක මහ මෝඩ වැඩක්.

ඒක නිසා මේ වෙලාවේ තියන සර්ව පාක්ෂික සමුළු වැඩක් නෑ. ඇත්තටම මේවා කරන්න ඕනි අර්බුදය පටන් ගන්නකොට. දැන් මේ සියල්ල යල් පැනලා.



රටේ රාළ යෝජනා කරන්නේ දැන් සර්ව පාක්ෂික සමුළුවක් ඕනි ආණ්ඩුවට නෙවෙයි. දැන් සර්ව පාක්ෂික සමුළුවක් ඕනි විපක්ෂයට.ඒ තමයි රාජපක්ෂලා එලවන්න පොදු ජාතික එකඟතාවයක් හදා ගන්න. මොකද ඔය විපක්ෂේ කණ්ඩායම් මොනතරම් කයිවාරු ගැහුවත් ඊළඟට කාටවත් තනියෙම බලය ගන්න බෑ. ඒක නොතේරෙනවා කියන්නේ වෙන මොකවත් තේරෙන්නේ නෑ කියන එකයි. බල උන්නතිකාමයෙන් අන්ධ වෙලා.


ඇත්තටම සර්ව පාක්ෂික පරිප්පුව කාලා හරි ශ්‍රීලනිපයටත් එළියට එන්න වෙනවා. එහෙම ආවේ නැත්තං ශ්‍රීලනිපයත් රාජපක්ෂලා එක්කම දිය වෙනවා. ශ්‍රීලනිපය මෙතනදී අනුගමනය කරන උපක්‍රම රටේ රාළට හොඳට තේරෙනවා. දැන් ඕක ඇතුළේ හිටලා බේරගන්න බලවේගයක් ශ්‍රීලනිපයට නෑ. දැන් ආණ්ඩුව කරන්නේ බොරුවක් කියන්න හොදම සාක්කිය තමයි ආණ්ඩුව ඇත්ත කතාව රටට හැංගීම.

රටේ ජනතාවට ඇත්ත තත්වය හංගලා තියන සර්ව පාක්ෂික සමුළු මොකටද?

මේ අර්බුදයේ හතර මායිම ජනාධිපති දන්නේ නෑ කියන එක එතුමාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් පැහැදිලියි. ඒ වගේ රටේ ආර්ථිකය අර්බුදය ගැන කිසිම දෙයක් මුදල් ඇමති පසුගිය මාස තුන හමාරක් කාලය ඇතුළේ රටට කියලා නෑ. කියන්න මිනිහා දන්නෙත් නෑ.

රාජපක්ෂලා කරන්නේ රට ඕනි දේ නෙවෙයි. තමන්ට හිතෙන දේ. කොටින්ම රාජපක්ෂලාට හැසිරෙන්නේ මේ රට තමන්ගේම පෞද්ගලිකව බූදයක් කියලා හිතාගෙන. ඉල්සේල්ලාම ඒ වැඩවසම් සිතුවිල්ල රාජපක්ෂලාගෙන් අයින් කරන්න ඕනි. ඒක ඉතින් බලයේ තියාගෙන කරන්න බෑ. ඒකට පන්නන්නම ඕනි.


එහෙම ජන මනස හැදිලා තියන වෙලාවක දැන් රාජපක්ෂලා එක්ක ඉන්නේ ශ්‍රිලනිපය කියලා Brand වීම ශ්‍රීලනිපයට මාරාන්තිකයි. මෛත්‍රී එහෙම නෑ කියලා දැන් කොච්චර කිව්වත් වැඩක් නෑ.


සර්ව විපාක්ෂික සමුළුවක් !



රටේ රාළ නං යෝජනා කරන්නේ වහාම විපක්ෂය එකතු වෙලා පොදු එකඟතාවයකට එන්න ඕනි. ඒ වෙනුවෙන් සර්ව පාක්ෂික සමුළුවවක් තියමු. ඒකට ශ්‍රීලනිපය ඇතුළු සුළු පක්ෂ සන්ධානෙටත් කියමු. රටේ ආර්ථිකය සම්බන්ධව ගන්නා පොදු ක්‍රියාමාර්ග ගැන පොදු එකඟතාවයක් එතනදී හදාගමු.

ඊළඟට මේ රටට කරන දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන පොදු එකඟතාවයක් හදාගන්න ඕනි. තව කරුණු ගොඩක් තියනවා. අඩුම ගානේ මූලික කාරණා ගැන පළල් එකඟතාවයකට විපක්ෂය එන්න ඕනි. ඒ ගැන රටේ ජනතාවට සහතික වෙන්න ඕනි.

එහෙම නැතිව විපක්ෂය කට්ටිය තවමත් ඉන්නේ තනියෙන් ගෙඩිය කඩා ගැනීමේ කුහක න්‍යාය පත්‍රයක නම්, එකක් ඒක කවදාවත් වෙන්නේ නෑ. නැත්තං විපක්ෂයට තවදුරටත් වෙන්නේ ජනාධිපති කාර්යාලය ලගට ගිහින් හැරිලා එන්න තමයි. ජාතික ජන බලවේගයට වෙන්නේ 23 වෙනිදා නුගේගොඩට එකතු වෙලා ටිකක් කෑගලා ආපහු එන්න තමයි.

ඇත්තටම දැන් මේ සටන එහෙම කෙලවර වෙන්න ඕනි කියලා බලාපොරොත්තුවක් මේ රටේ ජනතාවට නං නෑ. සටනට උත්තරයක් ඕනි. ඇත්තටම මේකට උත්තරය විදිහට රටේ රාළ නං දකින්නේ පිලිපීනයේ මාකෝස් පවුල බලයෙන් පහ කළා වගේ ජනතා නැගිටීමකක් තමයි හොඳ. ඒකට ජනතාව සුදානම් නොකට බිඳ වැටෙන රාජපක්ෂ රෙජීමට මුක්කු ගැහීම බරපතල දේශපාලන වරදක්.

ඒක නිසා ශ්‍රී ලාංකික දේශපාලනයේ රාජපක්ෂලාට අත්වෙන ඉරණම දැනටමත් එයාලගේ නලලේ කොටලා ඉවරයි.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.
මීට
රටේ රාළ
(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)

 Priynatha witharana

 

 

 

 

The Leader TV අද වීඩියෝ

 
 
 
 
 

Leader Whats app


  31

32

 

33

 

34

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්