පෙරේදා ඒ කියන්නේ මාර්තු 23 වෙනිදා, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව පැවැත්වුනා.
ඒකට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පහලොවෙන් හතක්ම සහභාගී උනේ නෑ. සහභාගී වෙච්චි ඒවයින් ශ්‍රීලනිපයයි, දෙමල සන්ධානයයි ඇරුණම අනිත් එක පක්ෂයකටවත් පාර්ලිමේන්තු මන්ත්‍රීලා දෙන්නෙක් නෑ. ඒවා තනි පුද්ගල පක්ෂ. රතන හාමුදුරුවන්ගේ වගේ කොල්ල කාපු මන්ත්‍රී ධූරත් තියනවා. තව ඉතින් මන්ත්‍රී ධූරය විකුණපු පක්ෂ කෑලිත් තිබ්බා.
පුද්ගලයෙක් විදිහට රනිල් එතන ප්‍රභල භූමිකාවක් කළා වගේ දැක්කා. කොහොම උනත් පෙනුමට අනුව නං ඒක ලොකු සමුළුවක්. ජනාධිපති ප්‍රමුඛ කැබිනට් එක හිටියා. කබ්රාල් හිටියා. ඊට අමතරව නිළධාරින් තමයි අනිත් අය. ආ... ඩයනා ගමගේත් හිටියා.
කොහොම හරි ජනාධිපතිතුමා වැඩේ පටන් අරන් ආර්ථික විග්‍රහය කරන්න කබ්රාල්ට Hand Over කළා. පුදකොටම කාපි යකා කියලා කබ්රාල් රනිල් ගෙන් මදි නොකියන්න කෑවා. ඇත්තටම එතනදී රනිල් genuine. කබ්රාල් නං ගොංම තමයි. කොහොම හරි ජනාධිපතිතුමා රනිල්ගෙන් සමාව අරන් වැඩේ ෂේප් කරගත්තා.
ගොඩක් ඇමතිවරු එකිනෙකාට රහස් කියව ගන්නවා දැක්කා. ජනාධිපතිතුමාට කෙලින්ම පිටි පස්සේ හිටිය සෙට් එක ඒ වැඩේ ජයටම කළා. මාධ්‍යවල පෙන්නපු විදිහට නං ජනාධිපතිතුමාගේ භූමිකාව පටන් අරන් ටික වෙලාවකින් අවසන් වගේ දැක්කේ. මහින්ද හිටියට වැඩි සද්ද කළේ නෑ. සම්බන්ධන් වගේම මහින්දත් පෙනුමට තමයි ගෙනත් තියාගෙන හිටියේ.
කොහොම හරි සමුළුවට වැදගත් යෝජනා ටිකක් ඉදිරිපත් උනේ ශ්‍රීලනිපය පැත්තෙනුයි, එජාපය පැත්තෙනුයි විතරයි. ඒත් ඉතින් ශ්‍රීලනිප යෝජනාත් එකතු කරගෙන වැඩේ ගොඩ දාගත්තේ රනිල්. අනේ මන්දා මෛත්‍රී සර්ව පාක්ෂික සමුළුවක් කැදවලා රනිල් ගොඩදාලා දුන්නද කියලත් හිතෙනවා.
ඩයනත් එයාගේ සුපුරුදු යෝජනා දෙකෙන් එකක් උන කන්සා යෝජනාව ඉදිරිපත් කළා. එයා නිතර කියන ගණිකා වෘත්තිය නීතිගත කිරීම ගැන කිව්වේ නෑ. සමහරවිට කියලා මාධ්‍යවල පෙන්නුවේ නැද්ද දන්නේ නෑ.
රතන හාමුදුරුවොත් උන්නාන්සේගේ කාබනික කෘෂිකර්මය ගැන කතා කළේම නෑ. ජනාධිපතිට උපදෙස් ටිකක් දෙනවා දැක්කා.
රනිල් නං තැන් දෙක තුනකදීම කොක්ක ඇද්දා. කබ්රාල්ගෙන් පස්සේ රනිල් පැටලුනේ බැසිල් එක්ක. ඒ IMF වාර්තාව දුන්නේ නෑ කියලා. ඇත්තටම බැසිල් කිව්වේ එහෙම එකක් තවම ලැබිලා නෑ කියලා. එවලා තියෙන්නේ Draft එක විතරයි කිව්වා.
ඔයා ඉල්ලන්නේ Draft එකද කියලා බැසිල් ඇහුවා. රනිලුත් අතෑරියේ නෑ. රනිල් කිව්වේ මට එපා දෙන දෙයක් පාර්ලිමේන්තුවට දෙන්න කියලා.
හැබැයි මෙතනදී ගොඩක් අය නොදැක්ක දෙයක් රටේ රාළ දැක්කා.රනිල් එක්කම පිටිපස්සෙන් තමයි කබ්රාල් හිටියේ. බැසිල් රනිල්ගෙන් අහනකොට ඔයා ඉල්ලන්නේ Draft එකද කියලා රනිල්ගේ පිටිපස්සේ ඉදින් කබ්රාල් බැසිල්ට අතින් සංඥා කළා ඒක දෙන්න එපා කියලා.
කොහොම හරි මාධ්‍යවල පෙන්නපු දේවල් ටික ඇතුළේ එතනත් ලොක්කා බැසිල් තමයි.
එතනදී බැසිල් රනිල්ට උත්තර දුන්න විදිහේ පොඩි අශෝභන කමක් තිබුණා. ඒකෙන් විමල් කියපු එක දෙයක් තහවුරු උනා. බැසිල්ට විරුද්ධ මත ඉවසන්න බැරි ගතියක් තියන බව පේනවා. බැසිල්ට විරුද්ධ මත ඇලජික් වගේ. ඊළඟට ඉතින් බැසිල් තමයි මේ ආණ්ඩුව ගෙනියන්නේ කියන එක පැහැදිලියි. අනිත් අය රූකඩම තමයි. ඕනි දෙයක් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කරන්නේ බැසිල්. සර්ව පාක්ෂික සමුළුවේදී ආණ්ඩුවේ සර්ව බලධාරීයා බැසිල් බව තහවුරු උනා.
ඇත්තටම එතන බැසිල් උත්තර නොදුන්න ප්‍රශ්න කීපයක් තියනවා. ඒ වගේම ඇසිය යුතු ඒත් අහපු නැති ප්‍රශ්න ටිකකුත් තියනවා. මෛත්‍රීගේ එතනදී ශ්‍රීලනිපය යෝජනාවක් විදිහට ඉදිරිපත් කරපු රටේ සිද්ධ වෙන මහා පරිමාණ දූෂණවලට වහාම පියවර ගැනීම ගැන බැසිල් උත්තර දුන්නේ නෑ. බැසිල් හිතන්න ඇතී කොහොමද දෙයියනේ කටක් ඇරලා ඒ ගැන කියන්නේ. තමනුයි. කබ්රාලුයි, කැබිනට් එකයි තියාගෙන කියලා.
එතනදී ශ්‍රීලනිපය වගේම රනිලුත් කිව්ව කතාවක් තමයි සංවර්ධනයේ ප්‍රමුඛතාව හදුනා ගන්න කියලා. අනවශ්‍යය සංවර්ධන වැඩ නතර කරලා ජනතාවට සහන දෙන්න කියලා. ඒ වෙනුවෙන්ම අලුත් අයවැයෙන් ඉදිරිපත් කරන්න කියලා.
කොහොම හරි මේ අප්‍රියෙල් වෙනකොට ජනතාවට විශාල සහන දෙනවා කියලා බැසිල් කිව්වා. සහන ගැන කියනකොට බැසිල්ට හිනා යනවා. ජනතාව අන්දපු විදිහ මතක් වෙලා වෙන්න ඇති. බැසිල්ට නෙවෙයි පහුගිය කාලේ බැසිල් දෙනවා කියපු සහන මතක් වෙනකොටත් කාටද හිනා යන්නේ නැත්තේ.
ඊළඟට රටේ රාළ කියන මේ ප්‍රශ්නය කවුරු හරි ඇහුවද දන්නේ නෑ. මොකද එහෙම උත්තරයක් ආවේ නෑ. ඒ තමයි දැන් බැසිල් ඉන්දියාවේ ගිහින් අත්සන් කරලා එන ගිවිසුම් මොනවද කියලා. රට ඒ ගැන මොකුත්ම දන්නේ නෑ. රට මිනිස්සුත් එක්කම විකුණලා එන්න බැරි මිනිහෙක් නෙවෙයි බැසිල් කියන්නේ. ඒක හින්දා ඒක අහන්න ඕනි ප්‍රශ්නයක්.
අඩුම ගානේ ඒ ගිවිසුම් පාර්ලිමේන්තුවට හරි ඉදිරිපත් කරන්න කියලා කවුරුත් කිව්වේ නෑ.
කොහොම හරි වැඩේ ඉවර වෙලා සභාව තමෝ සතුටින් විසිර යන්න ඇති. ඕක තමයි ඉතින් වෙන්නේ. ආයෙත් දවසක එකතු වෙලා තවත් වාද බයිලා ටිකක් ගහයි. කොහොම හරි ඒ සතුටත් වැඩිවෙලා තියෙන්න නැතිව ඇති.
ඇයි ඉතින් ජාතික ජන බලවේගය ජන ගඟක් එක්ක ඇවිත් නුගේගොඩ වටකරගෙන ඉන්නවා දකින්න ඇතිනේ. ඒකේ සටන්කාමීත්වය උපරිමට තිබුණා. අර සජිත්ගේ එකේ වගේ බජව් තිබුණේ නෑ. හැබැයි ඉතින් ඔය තමයි ජවිපේ උපරිමය. ඔතනින් හැරිලා එන එක තමයි තියෙන්නේ.
ඕනි නං ජනාධිපති ලේකම් කාර්යාලය ලගට හරි පාර්ලිමේන්තු වටරවුම ලගට හරි යයි. මේ රටේ විපක්ෂය ඔහොම දෙකට තුනට කැඩිලා උද්ඝෝෂණ කලාට ඒක රටට දැනුනට රාජපක්ෂලාට දැනෙන්නේ නෑ. ඒකෙන් බලය අහිමි වීමේ බය එයාලට දැනෙන්නේ නෑ. එයාලා කැමති සජිතුයි, අනුරයි අතර එකිනෙකා පරයා යන්න කරන ඔය සටනට.
දැන් මේ රටට ඕනි ඒකාබද්ධ සටනක්. ඒක තේරුම් ගන්න බැරි තරමටම ජවිපෙ හා සජබේ නායකයන්ගේ ඔළු කුරුවල් වෙලා ඉවරයි. දෙගොල්ලොම කරන්නේ තමන්ගේ කණ්ඩායම එකතු කරගෙන අනෙකාට හයිය පෙන්නා ගෑනීම. ඇත්තටම දෙගොල්ලෝම කතා කරන්නේ ගැලරියට. රාජපක්ෂලා එලවන මාර්ග සිතියමක් ඔය දෙගොල්ලොම අතේම නෑ.
කොහොම උනත් ජවිපෙ වටේට මේ එකතු වෙන්නේ පරණ ශ්‍රී ලංකා කාරයොයි, ගියපාර හිටපු පොහොට්ටුකාරයොයි කියලා එයාලට තේරෙන්නේ නෑ. සජිත් වටේට පරණ යූඑන්පීකාරයෝ එකතු වෙන යම් ප්‍රවණතාවයක් තියනවා.
රනිල්ට ඒක දැනෙන්නේ විදිහක් නෑ. ඒක ශ්‍රීලනිපයට දැනෙන්නෙත් නෑ. ඇත්තටම එහෙම තේරුමක් නෑ .ඒකට හොදම උදාහරණයක් තියනවා. මේ ලගදී දවසක ඔයාලා දකින්න ඇති එස්බී Voice cut එකක් දෙන තැනක දයාසිරි පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා. එස්බී කියන ඒවට හිනා වෙමින් ඒවත් අනුමත කරමින් දයාසිරි එස්බීගේ බඩියා වෙලා හිටියා.
එස්බීත් දයාසිරි දිහා බලබලා වැඩේ දෙනවා.ඇත්තටම දයාසිරිට දැනෙන්නේ නෑ එයා ශ්‍රීලනිපයේ මහ ලේකම් කියලා. දයාසිරිට ශ්‍රීලනිප මනසක් නෑ.දයාසිරිට තියෙන්නේ යූඑන්පී මනසක්. නැත්තං අර අන්ත දක්ෂිණාංශික දේශපාලන මජරයෙක් පිටිපස්සේ එල්ලිලා හිටීද? ඇත්තටම දයාසිරි එතන ඉන්න ඕනි නෑ.
රටේ රාළට දයාසිරිට කියන්න තියෙන්නේ විලි ලැජ්ජයි දයාසිරි කියලා විතරයි. ඉතින් අනේ මෙයාලත් එක්ක මොන රට හැදිලිද?
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.
මීට

(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්..)