රනිල් වික්‍රමසිංහ ගෝල්ෆේස් අරගලය දිය කරලා දාන්න උත්සාහ කරන්නේ මහින්දට වඩා ඉතා ම සූක්ෂ්ම ලෙසයි.



කපටිකම සහ තක්කඩිකම ඇරෙන්න කිසිම පිරිපහදුකමක් නැති ගමේ චණ්ඩියෙකු වූ මහින්ද උත්සාහ කළේ තමන් ගේ සපත්තු ලෙව කන ජොන්ස්ටන් ලා, සනත් නිශාන්තලා වැනි ත්‍රාඩයන් ලව්වා ගාලු මුවදොරට මැරයන් එවා විරෝධතාවට පහර දී එය විනාශ කරන්නයි.

ඒත් ඒ මෝඩ උත්සාහය පාරා වළල්ලක් වගේ අනෙක් පැත්තට කැරකිලා අරගලය පෙරටත් වඩා ශක්තිමත් වුණා. මහින්ද ගේ මැරයන්ට අත්වුණු ඉරණම මේ වන විට මුළු ලෝකයේ ම ප්‍රසිද්ධයි.

ඒ සිදුවීමෙන් දවස් ගාණකට පසුවත් තාමත් මහින්ද එළියට එන්නට බැරිව මිලිටරි ආරක්ෂාව සහිතව සැඟවිලා ඉන්නවා.

 

සූක්ෂ්ම බව අතින් මහින්දට වඩා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්න රනිල් ගාලු මුවදොර අරගලය කඩාකප්පල් කරන්නේ ඊට වඩා බෙහෙවින් ම සියුම් ලෙසයි. ඔහු මේ වන විට ගෝටාගෝගමට රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව ප්‍රකාශ කරලා තියෙනවා.

 

ගෝටාගෝගමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයන්න කොළඹ මහ නගර සභාව, සෞඛ්‍ය අමාත්‍යංශය, පොලීසිය සහ හමුදාව වැනි රජයේ අංශ එකතු කරලා කමිටුවක් පත් කොට තිබෙනවා.

ඉතා ම ඉක්මනින් ගෝල්ෆේස් අරගලකරුවන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම්, පානීය ජල පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ කෑමබීම තවත් වැඩිපුර ලැබෙයි. දැනට අරගලය සිදුවන භූමි භාගය සම්පූර්ණයෙන් ම අරගලකරුවන්ට ම ලබා දෙයි. ගෝටාගෝගම පොලීසියෙන් හෝ හමුදාවෙන් කිසිම බලපෑමක් නැති ඉතා ම ආරක්ෂිත, මෙයට වඩා පහසුකම් තියෙන තැනක් බවට පත්වෙයි.

ඒ වගේ ම මේ අරගලයේ ඉන්න අය සමග සාකච්ඡා කරන්න, සම්බන්ධීකරණය කරන්න රනිල් තමන් ගාව වැඩකරන තරුණ කණ්ඩායමක් පත් කරලා තියෙනවා.

202205asia srilanka protester fire

ගෝල්ෆේස් අරගලය සාර්ථක වෙන්න බලපාපු සටන්කාමී ගුණය එයට ලැබුණේ රාජපක්ෂ ආණ්ඩුවෙන් එය කඩාකප්පල් කරන්න මුල සිට ම ගත් පියවර නිසා.

 

ආණ්ඩුවේ හෙංචයියන් අරගල භූමිය තුළ ප්ලාන්ට් කරලා නොයෙක් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න ඔවුන් පළවෙනි දවසේ සිට ම උත්සාහ කළා. චීවරධාරීන් ගේ පෙළපාලියක් ගාලු මුවදොරට එවන්න හැදුවා. බුද්ධි අංශ නිලධාරීන් ගෝල්ෆේස් භූමියේ සැරිසරන්න පටන් ගත්තා. ඇණ ගහපු බැරියර් දාලා හතරවටින් ම පාරවල් අවහිර කළා. නඩු දැම්මා. අන්තිමේදී පොලීසියේ අනුග්‍රහය ඇතුව මහින්ද ගේ පාදඩ මැරයන් ඇවිත් අරගලයට ප්‍රහාරයක් දියත් කළා. ඉන්පස්සේ ඇඳිරි නීතිය දැම්මා. වෙඩි තැබීමේ නියෝග දුන්නා.

ගෝල්ෆේස් අරගලයේ ජීව ගුණය ගොඩනැගෙන්න මේ හැම බාධාවක් ම බලපෑවා. ඒ වගේ ම අරගලය දිගු කලක් පවතින්න, එයට ලක්ෂ ගණනින් මිනිසුන් එකතු වෙන්න මේ හැම බාධාවක් ම ප්‍රබල හේතුවක් වුණා.

 

ගෝටාගෝගමට රාජ්‍ය අනුග්‍රහය ලැබුණට පස්සේ මේ සටන්කාමී ජීව ගුණය නැති වෙලා ගිහිල්ලා අරගල භූමිය ටිකෙන් ටික ‘කලා උයනක්’ බවට පත්වෙයි කියලා රනිල් ගණන් හදනවා වෙන්න පුළුවන්. මේ සටන්කාමී බව, ප්‍රතිරෝධය, ඝට්ටනය නතර වුණාට පස්සේ මිනිසුන්ට මෙතැනට එකතු වෙන්න, කැපකිරීම් කරන්න හේතුවක් නැතිව යනවා. මේක ඔබ හිතනවාට වඩා බරපතළ අභියෝගයක්.

 

කොටින් ම සාම සාකච්ඡා යන අතරේ එල්.ටී.ටී.ඊ සංවිධානය දෙකට කඩන්නට පවා රනිල් භාවිතා කළේ මේ උපක්‍රමයමයි. ඒ නිසා මෙය ඔහු පුරුදු වෙන්නට කරන දෙයක් නෙවෙයි.

දේශපාලන අරගල, විරෝධතා සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිකයින්ට මේ තත්ත්වය එක්ක අමාරුවෙන් හරි ගනුදෙනු කරලා අරගලය දිගට ම පවත්වාගෙන යන්න පුළුවන්.

ඒත් එහෙම පුහුණුවක් හෝ අත්දැකීමක් නැති සාමාන්‍ය මිනිසුන්ට මේ සිදුවුණේ මොකක්දැයි හිතාගන්න පවා බැරිව යනවා.

 

ඒ නිසා පුරවැසි අරගලය මෙතැන් සිට අලුත් කළ යුතුයි. දීර්ඝ සටනකට, මැරතන් එකකට අප දැන් සූදානම් විය යුතුයි. මේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි අවංකව විශ්ලේෂණය කොට බැලිය යුතුයි.

 

මැරතන් එකක් කියන්නේ මීටර් 100 දුවනවා වගේ උද්වේගකර තරගයක් නෙවෙයි. මැරතන් එකක් දුවනකොට මීටර් 100 දුවනවා වගේ මිනිසුන් උමතුවෙන් ඔල්වරසන් දෙන්නේ නැහැ. රූපවාහිනියේ ඇලී ගැලී ඒ දිහා බලන්නේ නැහැ. හුඟක් අය කම්මැලි හිතිලා, රූපවාහිනිය වහලා නැගිටලා යන්න යනවා. තවත් අය වෙලාවෙන් වෙලාවට ඇවිත් තරගයේ තත්ත්වය බලනවා.

මේ කවුරු ආවා ගියත්, කවුරු අතරමග නැගිටලා ගියත් තරගය දිගට ම පැවැත්වෙනවා. තරගකරුවන් මොන අමාරුකම් මැද වුවත් දිගට ම ධාවනයේ යෙදෙනවා.

මැරතන් එකක ස්වභාවය ඒකයි.

 

ගෝල්ෆේස් එකට පමණක් කොටුවෙන්නේ නැතුව මේ පුරවැසි අරගලය මැරතන් එකක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක හැම පුරවැසියෙකු ම උත්තර සෙවිය යුතු ප්‍රශ්නයක්.

 

මම විශ්වාස කරන්නේ අඩු තරමින් තවත් අවුරුදු 10ක්වත් මේ පුරවැසි අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ ක්‍රමයක් අප සොයාගත යුතු බවයි.
මේ වගේ අර්බුදයකින් රටකට සම්පූර්ණයෙන් ම ගොඩඑන්න අඩු ම තරමේ අවුරුදු 10ක් ගත වෙනවා.

ඒ කාල සීමාව තුළ අලුත් දේශපාලන ක්‍රමයක් වෙනුවෙන්, පුළුල් ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, දේශපාලන පක්ෂ බෙල්ලෙන් අල්ලා ඇදගෙන නිවැරදි මාවතේ ගෙනයාම වෙනුවෙන් අප අඛණ්ඩ මැදිහත්වීම් කළ යුතුයි.

මම විශ්වාස කරන්නේ දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙන් ඉන්න පුරවැසි සමාජයක් නිර්මාණය කිරීම ගැන පමණයි. දැනුවත් පුරවැසියන් දේශපාලනඥයන්ට, දේශපාලන පක්ෂවලට නාස් ලණුව දමා නිවැරදි දිශාවට ඇදගෙන යා යුතුයි.

රනිල් වැනි කෙනෙකු සමග මෙය කිරීම ඉතා ම අමාරුයි. ඒත් අමාරුයි කියලා කියන්නේ එය කළ නොහැකියි කියන එක නෙවෙයි.

සුන් ට්සු ගේ The Art of War පොතේ මෙහෙම කතාවක් තියෙනවා.


"සතුරා තේරුම් ගන්න
ඔබවත් තේරුම් ගන්න
අරගල සියයයි
ජයග්‍රහණ සියයයි"



 
Rasik

(රසික ජයකොඩි)
දේශපාලන විශේශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

15 - 05 - 2022
(Rasika Jayakody ගේ ෆේස්බුක් පිටුවෙන්..)




සබැඳි පුවත් :


'ගෝඨා ගෝ ගම' රකින වගකීම රුවන්ට පවරයි


 

 

Leader Whats app

  

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්