මම වෙසක් පෝය දවසේ Modern Love Mumbai බැලුවා. ගෞතම සිද්ධාර්ථ දුන්න ආදරේ ගැන හිතද්දී වෙසක් පෝය කියන්නේ ආදරේ ගැන කතාකරන්න

හොදම දවස වෙන්නත් පුලුවන්කම තිබුණා.

පළවෙනි Modern Love පාදක වෙලා තිබුණේ New York නගරයට. දෙවැන්න යුරෝපයට.

Mumbai Series එක එනකන් මම බලාගෙන හිටියේ නූතන ඉන්දියානු සිනමාකරුවන්ගේ කතාන්දර කීමේ හැකියාව මාව අමන්දානන්දයට පත්කරල තිබෙන නිසා. New York හෝ යුරෝපයේ ‘නූතන ආදරයට’ වඩා මුම්බායි වල නූතන ආදරකතා අපේ සමාජයට, ජීවිතේට, අත්දැකීම්වලට සහ පරිකල්පනයට කිට්ටුයි.

Modern Love බලපු පැය කීපය හැර දවසේ ඉතුරු පැය කීපයත්, මේ සතියේ ගෙවුණු අනෙක් දවස් කීපයෙත්, ආදරය ගැන හාංකවිස්සියක දෙයක් ෆෝන් එකේ, ෆේස්බුක් එකේ, පත්තරේ හෝ රූපවාහිනියෙ පුවත්වල තිබ්බෙ නෑ. ගුටි ගහගත්ත ඒවා, ගෙවල් ගිණිතියපුවා, පලිගන්න කියන ඒවා, හිරේ විලංගුවේ දාන්න කියන ඒවා, විරුද්ධයි / එකග නෑ කියන ඒවා, ගොඩයන්න බෑ කියන ඒවා වගේ තරහ සහ ක්‍රෝධය පිරිච්ච සිද්ධීන් දාමයක් තමා එදිනෙදා ජීවිතේ පිරෙන්න තිබ්බේ.  


ඒ හින්දමද කොහෙදෝ ආදරය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙන අත්දැකීමක් ටීවී එකේ දකිද්දි හිත ගැස්සුණේ.

පළවෙනි එපිසෝඩ් එකේ එන්නේ ධෙර්‍යවන්ත මුස්ලිම් කෙල්ලෙකුයි බෝරින් කොල්ලෙකුයි, දෙවනි එකේ ඉන්නේ සිංදු කියන තරුණ කෝල්ලෙකුයි එයාට ආදරේ ආච්චියි ඒ කොල්ලා ආදරේ චෙෆ් කෙනෙක් වෙච්ච කොල්ලෙකුයි. තුන්වෙනි එකේ ඉන්නෙ ඉන්දියානු චීන අම්මෙකුයි එයාගෙ පුතයි ඒ පුතාගේ ඉන්දියානු පෙම්වතියයි. හතරවෙනි එකේ ඉන්නේ වයසක ඇන්ටි කෙනෙකුයි ලාබාල තරුණ ගැටයෙකුයි. පස්වෙනි එකේ වයස 30 පැන්න Landscape කරන අලුත් තාලේ තරුණියකුයි හරිම සාම්ප්‍රදායික තරුණ රජයේ සේවකයෙකුයි. අන්තිම එකේ ඉන්නේ බැදපු ජෝඩුවක්. බිරිද ලේඛිකාවක්. සැමියා කවදාවත් වෙලාවට එන්නෙ නැති හෝටලේක මැනේජර් කෙනෙක්.

280597182 558150755668413 6532767295293584184 n

Modern Love කියන එකට සිංහල වචනය ‘නූතන / නවීන ආදරය’ කියන එක. මේ කතාවල හම්බවෙන ‘ආදරය’ කියන තරම් නූතනම නෑ. පිරිමි පිරිමින්ට ආදරය කිරීම, වෙන ජාතියක කෙනෙක් තව ආගමක කෙනෙකුට ආදරය කිරීම, පවුල් ජීවිත ඇතුලේ ආදරය බෝරිං වීම, නොගැලපෙන සමාජ පන්ති දෙකක අය ආදරය කිරීම වගේ ‘ආදර කතා’ මනුෂ්‍ය ශිෂ්ඨාචාරය පුරාම තිබිල තියෙනවා.

 

ඉතින් ඇත්තටම මෙතනදී Modern වෙන්නේ ආදරයටත් වඩා ‘ආදරය කරන මිනිස්සු’ සහ ඒ ‘මිනිස්සුන්ගේ ජීවිත සංදර්භය’ (context). මිනිස්සු Modern වීම දීර්ඝකාලීන සමාජ සිද්ධීන ගොඩක සුභවාදී ප්‍රතිඵලයක්.

 

අපේ දේශපාලනය මේ තරම් ආන්තික ලෙස බෙදිල තියෙනවා මම කවදාවත් අත්විදලා නෑ. මම තරම් ටීවී එකේ දේශපාලන විවාදවලදී ජවිපේ එරංග සමග හෝ, සජබෙ එරන්ද සමග හෝ, පෙරටුගාමී පුබුදු සමග හෝ රණ්ඩු වුන කෙනෙක් නැතුව ඇති. ඒ හැමදාම, ඊටපස්සෙ තව ගොඩාක් වෙලාවක් එලියට වෙලා ඒ අය එක්ක කතාකර කර ඉදලා ගෙදර යනවා.

අද මේ මොහොතේ තියෙන්නේ එහෙම විරුද්ධ දේශපාලන මතයක් දැරීම ඉවසන්න හෝ දරාගන්න පුලුවන් සමාජයක්ද? අනෙකාගේ මතයට ගහනවා තියා ඒ අදහස ෆේස්බුක් එකේ කියවන්න තරම්වත් ශිෂ්ඨ ඉවසීමක් තියෙනවාද?

ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ධනාත්මක වෙනසක් ඇතිකිරීමට නම් ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් වඩාත් ‘සිවිල්’ විදියට, මහජනතාව ඉදිරියේ විවාද කලයුතු බව අපිට තේරුණේ මීට අවුරුදු පහකට හයකට කලින්.

ඒ නිසා තමා එවකට සජබෙ නියෝජනය කල රසික ජයකොඩි, ජවිපෙ එරංග ගුණසේකර, යූඑන්පියේ දිනුක් කොළඹගේ සහ මම තවත් දේශපාලනිකව වෙනස් මත දරන තරුණ කණ්ඩායම් එක්ක NextGenSL පිහිටුවාගත්තෙ. අපි පාක් වල, හෝල් වල, ටීවී එකේ මිනිස්සු ඉදිරියේ විවාද කලා. බොහෝ දේශපාලන මතවාද වලට එකග නොවී ඉන්න එකග වුනා. කවුරුවත් කාටවත් ගැහුවෙත් නෑ, ගිණි තිබ්බෙත් නෑ. ඒක Modern Political love එකක්.

අතිශය විකාරරූපී Modern ජීවිත ඇතුලෙත් ආදරය හොයාගන්න මිනිස්සු මහන්සිවෙන්නේ මනුෂ්‍යත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය අවම සාධකය එය නිසයි.

 1 ModernLove

Modern Love කියන්නේ ශිෂ්ඨ සමාජය විසින් අනෙකාව ඉවසීම, අනෙකාගෙ පෞද්ගලිකත්වයට ගරු කිරීම, අනෙකාගෙ වෙනස් බවට ආදරය කිරීම ගැන Series එකක්. Love කියන්නෙම අනෙකාගෙ වෙනසට තියෙන ගෞරවාන්විත බැදීමක්.

 

වාමාංශික දේශපාලනය, දක්ෂිණාංශික දේශපාලනය, ලිබරල් දේශපාලනය, ජාතිකවාදී දේශපාලනය වගේ මේ හැම වෙනසක්ම හැදිලා තියෙන්නේ සමාජ අවශ්‍යතාවය මත. සමහරු බලයෙ ඉන්නවා. සමහරු බලය ගන්න බලාගෙන ඉන්නවා. අවුරුදු සියගාණක කැපකිරීම් වලින් තමා දේශපාලන අයිතිවාසිකම්, ඡන්ද බලය, නියෝජනය සදහා සමාන අයිතිය, සමානාත්මතාවය වගේ දේවල් දිනාගත්තේ. ගිය සතියේ අපි අවුරුදු ගාණක් පස්සට විසිවුණා.

එහෙමත් නැත්නම් අපි ගිය සතියේ ලේ කදුලු වලින් අත්වින්දේ පහුගිය අවුරුදු ගාණක් තිස්සේ අපේ ඉහල පරම්පරාව නඩත්තු කරගෙන ආපු ‘ආදරය විරහිත’ දේශපාලන වව්‍යාපෘතියක මහා පිපිරීමක්ද?

 

Modern Love Episode එකක් අපේ දේශපාලනයටත් අත්‍යවශ්‍යම මොහොතක් මේක. ඒකෙ පදනම, හැම පරණ ආදර කතාවකම තියෙන වට්ටෝරුවක්, ඉවසීම සහ දරාගැනීම.

 

ලංකාවේ දේශපාලනය උභතෝකෝටිකයි. අරගල භූමිය විසින් ‘ආදරය ඉල්ලනවා’. එලියේ භාවිතය විසින් 78 / 83 / 88 වගේම ‘ලේ සහ කදුළු ඉල්ලනවා’.  වෙනස් කණ්ඩායම් එකතුවෙලා කියනවා. හැබැයි වෙනස් මතයක් අහගෙන ඉන්න සංවාදකරුවන් නෑ.

Love නෙමේ Modern. Love කරන මිනිස්සු සහ ඒ මිනිස්සුන්ගේ ජීවිත සංදර්භය. Politics නෙමේ Modern කරන්න ඕන. Politics කරන මිනිස්සු සහ ඒ මිනිස්සු දේශපාලනය කරන විදිහ.



milinda(මිලින්ද රාජපක්ෂ)
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

2022.05.16

(Milinda Rajapaksha ගේ ෆේස්බුක් පිටුවෙන්..)


 

 

 Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්